34. බලවත් ප්‍රේතයන් දුර්වල ප්‍රේතයන්ට ‘පාට්’ දාන හැටි

11.03.2015

ඉන්ද්‍රා රත්නපුර ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි රූමත් තරුණ කාන්තාවකි. එක් දරු මවකි. දැනට මාස අටක පමණ කාලයක සිට ඉන්ද්‍රා කුරුණෑගල ප්‍රදේශයේ දේවාලයකට යන්නට පටන් ගෙන ඇත. මේ දේවාලයේ සාත්තර කියන්නේ මැණිකෙ මෑණියන්ය. ඇය හතළිස් පස් හැවිරිදිය. ඉන්ද්‍රාගේ බඩේ ගෙඩියක් තියෙන බවත් එය දෙවියන් ලවා සුවපත් කර දෙන බවත් මැණිකෙ මෑණියන් පොරොන්දු වූ නිසා ඇය නිතර එහි යන්නට වූවාය. දැන් ඉන්ද්‍රා දවසක් ඇර දවසක් මැණිකෙ මෑණියන් සොයා යන්නට තරම් පුරුදුව ඇත. මෙය අසාමාන්‍ය දෙයක් බව ඉන්ද්‍රාටද වැටහී ඇත. එහෙත් ඇයට දැන් මැණිකෙ මෑණියන් නොදැක ඉන්නට බැරි තත්ත්වයක් උදා වී තිබේ. මේ පිළිබඳ ඉන්ද්‍රා සැමියාටද පවසා ඇති අතර ඔහු ඇය මනෝ වෛද්‍යවරයකුටද පෙන්වා ප්‍රතිකාර ලබාදී ඇත. එහෙත් කිසිදු වෙනසක් සිදුව නැත.

ඉන්ද්‍රාගේ මේ දවසක් ඇර දවසක් දේවාලයට යන ගමන ගැන සැක සිතා ඉන්ද්‍රාගේ සහෝදරයෙක් ඇගේ සැමියා සමඟ රහසිගතව සාකච්ඡා කළේය. දිනක් ඉන්ද්‍රාට දේවාලයට යන්නට ඉඩහැර පසුපසින් ගොස් ඇත. මේ දේවාලකාරියත් ඉන්ද්‍රාත් අතර අස්වාභාවික සම්බන්ධයක් පවතින බව ඔවුන්ට දැන ගන්නට පුළුවන් විය.

ඇය ආපසු නිවෙසට පැමිණි පසු ඔවුහු ඇගෙන් ප්‍රශ්න කළහ.

‘‘ඔව් අපේ සම්බන්ධය අසාමාන්‍ය බව මට තේරෙනවා. වැරැදි බවත් වැටහෙනවා. ඒත් මට මෑණියෝම ඕනෑ. එයා මට පිරිමියෙක් වගෙයි. මට මේ පවුල් ජීවිතේ අවශ්‍ය නෑ. මෑණියො සොයාගෙන යන්නමයි මට හිතෙන්නේ’’ යි ඉන්ද්‍රා කීවාය.

ඇගේ සහෝදරයාත්, සැමියාත්, මෙහිදී ඉතා ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කළහ. ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය පොලඹවාගෙන රැගෙන ගියහ. එහිදී ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා පළමුවම ඉන්ද්‍රා සමඟ සාකච්ඡා කළේය.

‘‘ඔව් මහත්මයා, මට මැණිකෙගෙ රූපය නිතර මැවිලා පේනවා. එයා හොයාගෙන යන්නමයි හිත. මටත් හිතාගන්න බැහැ මට මොනවද වුණේ කියලා.’’ ඇය ප්‍රකාශ කළාය.

එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ඉන්ද්‍රා පැද්දෙන්නට වූවාය. ඉන් එහා දෙයක් සිදු නොවූ නිසා ශක්ති ගැල්වූ ආරක්ෂා නූලක් ඇයට දමා දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවැත එන්නැයි උපදෙස් දුන්නේය.

දෙවැනි දිනයේ පැමිණි විට ඉන්ද්‍රා ප්‍රලය වී ‘හූ’ කියන්නටත් කෑගසන්නටත් ඇඳුම් ඉරා ගන්නටත් වූවාය. මේ කෑකෝ ගැසීම නතර නොවන බැවින් භූතාත්මය නිහඬ කොට තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි ගවේෂකවරයා කීවේය.

ඊළඟ දිනයේ ඉන්ද්‍රාට ශක්ති කිරණ එල්ල කරන විට ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

‘‘කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?’’
‘‘අප්පෝ.’’
‘‘කවුද එව්වේ?’’
‘‘මැණිකෙ මෑණියෝ මේ නෝනගෙ ඇඟට දැම්මා.’’
‘‘ඒ මොකටද?’’
‘‘මැණිකෙට ඕනෑ ඕනෑ වෙලාවට මෙයාව එක්ක එන්න කියලා මට පවරලා තියෙනවා.’’
‘‘ඉතින්?’’
‘‘මම මැණිකෙ ළඟට ගිහින් දෙනවා.’’
‘‘ඊට පස්සෙ?’’
‘‘මැණිකෙ මෙයාව දේවාලෙ ඇතුළෙ කාමරයට අරන් යනවා.’’
‘‘ඒ මොකටද?’’
‘‘……….’’ භූතයා නිශ්ශබ්දය.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට පිම්බුවේය.
‘‘ඇත්ත කියනවා. මොකටද අරගෙන එන්නෙ?’’
‘‘අනේ මහත්තයෝ ඒවා කියන්න අපට වරම් නෑ.’’
‘‘තමුන් ඔය දේවාලයට ඇවිත් කොයි තරම් කල්ද?’’
‘‘හුඟක් කල්.’’
‘‘මොනවද කරන්නෙ?’’
‘‘එදා ඉඳලා බැල මෙහෙවර කරනවා.’’
‘‘තමුන් දැන් ඉන්නේ ප්‍රේතාත්මයක. දිව්‍යාත්මයකට යන්න කැමැති නැද්ද?’’
‘‘ඒ කොහොමද?’’
‘‘සිද්ධස්ථානයකට ගිහින්, පින්කම්වලට අතහිත දීලා.’’

‘‘මට එහෙම කරන්න බැහැ. මම එහෙම ගියාට ලොකු මාමා මාව එළවනවා.’’
‘‘කවුද ලොකු මාමා කියන්නේ?’’
‘‘මේ මැණිකෙගෙ ලොකු මාමා. එයා බලවත් භූතයෙක්. එයාගෙ අවශ්‍යතාවටයි මම මෙයාගෙ ඇඟේ ඉන්නේ.’’
‘‘එයාව මෙතැනට ගෙන්න දෙන්න බැරිද?’’
‘‘අපෝ බෑ. එයා බලවත්. එයා දැන් හැංගිලා ඉන්නේ.’’

ගවේෂකවරයා ඉන්ද්‍රාගේ ශරීරයෙන් අප්පොගෙ භූතාත්මය ඉවත් කොට ලොකු මාමාගේ භූතාත්මය ගෙන්වීය. මහා ගෝරනාඩුවක් කරමින් දඟලන්නට විය.
‘‘කවුද මේ?’’ ගවේෂකවරයා ඇසීය.
‘‘මම තමයි කුරුං ගුරුන්නාන්සේ. තෝ කවුද මගෙන් ප්‍රශ්න අහන්න’’ යැයි ගවේෂකවරයාට අපහාසාත්මකව කතා කළේය.

ගවේෂකවරයා කිරණ ශක්තිය එල්ලකොට පිච්චුවේය.

‘‘කුරුංගුරා කියන්නේ කවුද?’’
‘‘මේ (මැණිකෙ) මගේ දුව. අක්කගෙ දුව. මගේ අතින් මේ ළමයාට වැරැද්දක් වුණා. ඒ වැරැද්දට ණය ගෙවන්න දැන් කඹුරනවා.’’
‘‘අක්කගෙ දුවට වරදක් කරන්න තරම් උඹ පාහර ජඩයෙක්නෙ. ඇයි උඹ ඒ වගේ දේකට පෙලැඹුණේ?’’
‘‘ආසාවට.’’
‘‘උඹලට මෙහෙම ජීවිත බිලි දෙන්න බැහැ. කරපු අපරාධ මදිවට මේ අහිංසක පවුල් විනාශ කරන්නත් හදනවා. උඹට දින හතක් කල් දෙනවා. ඔය ජඩ වැඩ නතර කරන්න ඕනෑ. ඔය දේවාලෙ කටයුතු වහාම නතර කරන්න ඕනෑ’’ යි කුරුං ගුරාගේ භූතාත්මය ඉතාම දුර්වල වන තුරු ශක්ති කිරණ එල්ල කොට අඩපණ කර දමා එළියට ඇද දැම්මේය.

නැවැත අප්පෝගේ භූතාත්මය ගෙන්වා මෑණියන්ගේ දේවාලය විනාශ කර ආවොත්. බන්ධනවලින් නිදහස් කැර දේවාත්මයකට යවන බව කීය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා අප්පොගේ භූතාත්මයට පින් අනුමෝදන් කැර එන ලෙස ඉන්ද්‍රාගේ සැමියාටත් සහෝදරයාටත් නියම කළේය.

මේ අතර ඉන්ද්‍රා, ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගන්නා බව මැණිකේ මෑණියන් දැනගෙන කසුන් නාගොඩවිතාන මහතාට දුරකතනයෙන් බැන්නාය.

‘‘තමුසෙට සාප වෙනවා. මම තමුන්ගෙන් පළි ගන්නවා.’’
‘‘පාහර වැඩ කරලා. පළිගන්න බැරි නම් මාව මරාගෙන කාපං. උඹල වගේ අය දෙවියන්ගේ නම විකුණලා පෙරේතයන් අල්ලාගෙන ජීවිත විනාශ කරනවා. ඒවාට ඉඩ දෙන්න බැහැ’’ යි නාගොඩවිතාන මහතාද තරවටු කළේය.

සතියකට පසු ඉන්ද්‍රා සමඟ සැමියාගේ සහෝදරයාත් නැවැත පැමිණියහ. එදිනද ඉන්ද්‍රාගේ ශරීරයට අප්පොගේ භූතාත්මය ගෙන්වීය.

‘‘අප්පෝ කොහොමද?’’
‘‘මම දැන් බය නැහැ, මහත්තයා ඔන්න මම වැඩේ දුන්නා.’’
‘‘මොකක්ද කළේ?’’
‘‘අරකිගෙ දේවාලෙ විනාශ කළා. ගිනි තිබ්බා.’’
‘‘ඔය වගේ අපරාධ කරන දේවාලවලට ඔහොම තමයි කරන්න ඕනෑ.’’
‘‘දැන් කෝ කුරුං ගුරා?’’
‘‘අන්න අරකිගෙ දේවාලෙ තිබුණ තැන නැඟිට ගන්න බැරුව වැටිලා ඉන්නවා. තව අවුරුදු සිය ගණනකට එයාට නැඟිටින්න බැහැ’’ යි අප්පොගේ භූතාත්මය කීවේය.
අප්පොගෙ භූතාත්මය බෝධි පූජාවලින් දුන් පින් අනුමෝදන් වී බලවත්ව සිටියේය. ඔහු කළ සේවය පිළිබඳ සලකා නිවෙසේ සාංඝික දානයක් පිරිනමා නැවැත පින් අනුමෝදන් කරන ලෙස ඔවුන්ට උපදෙස් දුන්නේය.

දැන් ඉන්ද්‍රා පියවි තත්ත්වයට පත්ව සිටින්නීය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )