බලධාරීන්ගේ ඇස් ඇරුණු හිරු සී.අයි.ඒ. අනාවරණය

(25.05.2019 – 20:34 +0530 – hirunews.lk/sinhala)

හිරු සී.අයි.ඒ. අනාවරණයෙන් පසු ඇඹිලිපිටිය වැඩිහිටි නිවාසයේ රෝගීව අසාධ්‍ය තත්ත්වයේ සිටි මව්පියන් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබෙනවා.

අදාල වැඩිහිටි නිවාසය පරීක්ෂා කළ රාජ්‍ය නිලධාරීන් අනාවරණය කර ගත්තේ එය කූට ලේඛන සකසා නීති විරෝධීව පවත්වාගෙන ගොස් ඇති බවයි.

හිරු සී.අයි.ඒ. හරහා පසුගිය වෙසක් පොහෝ දිනයේ අප හෙළි කලේ ඇඹිලිපිටිය සුරියගම ප්‍රදේශයේ ඉතා අපිරිසිදු ලෙස පවත්වාගෙන ගිය වැඩිහිටි නිවසක් පිළිබඳවයි.

එහි සිටි වැඩිහිටියන් දැඩි ලෙස රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයේ සිටියත් කිසිදු ප්‍රතිකාරයක් නොකොට බලහත්කාරයෙන් රඳවා තබා තිබුනා.

වැඩිහිටි නිවාසයේ පාලකයා සිදුකර තිබුනේ මෙම නිවාසය පෙන්වමින් කූට ලේඛණ සකසා කලක පටන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපයා ගැනීමයි.

මොවුන්ගේ ගැලවුම්කරුවන් ලෙස හිරු සී.අයි.ඒ. කණ්ඩායම එහි යන විටත් ඔවුන් වේදනාවෙන් විලාප නැගුවා.

අපගේ මෙම අනාවරණයෙන් පසු වැඩිහිටි නිවසේ පාලකයා ලහි ලහියේ මෙම නිවස සුද්ද පවිත්‍ර කිරීම අරඹා තිබුනේ රාජ්‍ය නිලධාරීන් මෙහි පැමිණෙන බවට ලද තොරතුරුත් සමගයි.

ඒ පිළිබඳ සොයා බැලීමට හිරු සී.අයි.ඒ. කණ්ඩායම එහි ලගා වී ඔහුගෙන් ප්‍රශ්න කළා.

සී.අයි.ඒ. අනාවරණය අනුව මෙම වැඩිහිටි නිවස පරීක්ෂා කිරීම සදහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම ස්ථානයට ලඟාවු අතර එහිදී මෙය කූට ලේඛන මත පවත්වා ගෙන ගොස් ඇති බව අනාවරණය වුණා.

රාජ්‍ය නිලධාරීන් මෙහිදී තිරණය කළේ කිසිදු පහසුකමක් නොමැති මෙහි තවදුරටත් වැඩිහිටියන් රදවා තැබිය නොහැකි බවටයි.

කෙසේ වෙතත් අපගේ පළමු අනාවරණයේදී අසාධ්‍ය තත්ත්වයේ සිටි වැඩිහිටියන් දෙදෙනා මෙම අවස්ථාව වන විට නිවාසය තුළ සිටියේ නැහැ.

දැඩි ලෙස රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයෙන් සිටි වැඩිහිටියන් දෙදෙනා ඇඹිලිපිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අයුරු අපට දැකගත හැකි වුණා.

එසේම, අපගේ අනාවරණයෙන් පසු ක්‍රියාත්මක වු රාජ්‍ය නිලධාරීන් කිසිදු පහසුකමක් නොමැතිව අසරණව සිටි මෙම වැඩිහිටියන් පහසුකම් සහිත වෙනත් වැඩිහිටි නිවාස වෙත භාරදීමට ඊයේ දිනයේදී කටයුතු කළා.

***************************************

බදුයුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි නිවැරදිකරුවන් වී ප‍්‍රසන්න වරදකරු වෙයි.. ත‍්‍රස්තවාදය ඇති කිරීමේ චෝදනාව පොහොට්ටුවට..

(26.05.2019 – 10:40 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මුළු රටේම විශ්වාසය භංග වී සිටින රිෂාඩ් බදියුදීන්ගේ විශ්වාසය තහවුරු කරන තේරීම් කාරක සභාවක් මිස ඔහුට දඬුවම් කරන තේරීම් කාරක සභාවක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මේ තේරීම් කාරක සභාවත් මහ බැංකු හොරකම ගැන සෙවූ ජනාධිපති කොමිසමට නොදෙවෙනි බව පැවසූ රණතුංග මහතා මහ බැංකු හොරකමේ ප්‍රධාන චූදිතයන්ට මෙන්ම රිෂාඩ් බදියුදීන්ටත් නිදැල්ලේ සිටින්නට මෙතුළින් ඉඩ සැලසෙන බවත් ඔහුට එරෙහි පියවරක් ගැනීමට තරම් කොන්දක් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හැකියාවක් නැති බව පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ගුවන්තොටුපොළ සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ නිලධාරීන් පිරිසක් උඩුගම්පොළ දී හමු වූ අවස්ථාවේදීය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරයේ නිරත ව සිටින තමන්ට මුහුණ දෙන්නට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම සාකච්ඡාව පැවැත්විණි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරකයන් පැමිණීම අවම අගයක පැවතෙන නමුත් ගුවන්තොටුපොළේ සංචාරක කවුළු හිමි පෞද්ගලික ආයතන තම එක් සාමාජිකයකුගෙන් රුපියල් 20,000 ක මාසික වාරිකයක් අය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී එම සංගමයේ නිලධාරීහු කරුණු දැක්වූහ. එසේම ආදායම පහත වැටී ඇති මොහොතක ලීසිං වාරික ගෙවාගැනීමේ ගැටලු ඇති බව ද ඔවුහූ පෙන්වා දුන්හ.

ප්‍රහාරයෙන් මසකට වැඩි කලක් ගත වී ඇති නමුත් ගුවන්තොටුපොළ බලධාරීන්ට මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරගැනීමට නොහැකි වී ඇති බව පෙන්වා දුන් එම සංගමයේ නිලධාරිහු මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මිස තමන් වැනි ස්ව ශක්තියෙන් නැගී සිටින අයට වත්මන් රජයෙන් කිසිදු සහනයක් හිමිනොවන බවත් ප්‍රකාශ කළහ.

සංචාරක මාර්ගෝපදේශක රියදුරන් මුහුණ පා සිටින ගැටලු විසඳා ගැනීම සඳහා තමා සෘජුව මැදිහත් වන බව ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසීය. එසේම ගුවන්තොටුපොළේ මාසික වාරික, ලීසිං වාරික සම්බන්ධයෙන් සහන ලබාගත හැකිදැයි සොයා බැලීම සඳහා බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවට ප්‍රතිඥා දුන් රණතුංග මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පත් කෙරෙන ඉදිරි රජයක් යටතේ මෙම ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම සඳහා සුවිශේෂ අවධානයක් යොමුකරන බවත් පැවසීය. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරගන්න ගුවන්තොටුපොළ බලධාරීන්ට පමණක් නොව සමස්ථ ආණ්ඩුවටම තවම පුළුවන් වෙලා නැහැ. ප්‍රහාරයෙන් මාසයකටත් වැඩි කාලයක් ගත වෙලා තියෙන කොටත් ආණ්ඩුව හැසිරෙන්නේ හරියට නින්දෙන් නැගට්ටා වගෙයි. ඒ අතින් ගත්තම මේ ආණ්ඩුව සීයට දෙසියක් අසමත් ආණ්ඩුවක් බව කිව යුතුයි.

ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාවන් නිසා හටගත් මෙම ව්‍යසනයට මුල්වෙච්ච කරුණු සොයලා ඒක මර්දනය කරන්න උත්සාහ කරනවාට වඩා ආණ්ඩුව දැන් කරන්නේ මේ සිද්ධිය පොහොට්ටුවේ කරපිටට දාලා දේශපාලන වාසියක් ගන්නයි. මේක තමයි ඇත්ත තත්ත්වය.අන්තිමේදී අන්තවාදය පෝෂණය කරපු රිෂාඩ්ලා, හිස්බුල්ලලා, අසාත් සාලිලා නිවැරැදිකාරයෝ වෙලා ප්‍රසන්න රණතුංගලා වැරැදිකාරයන් වෙන තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ.

ආණ්ඩුව කටයුතු කරන්නේ පැහැදිලිවම ඉදිරි ජනාධිපතිවරණය දිහා බලාගෙන බව පේනවා. ආණ්ඩුව බයයි මුස්ලිම් ඡන්ද ටික නැති වෙයි කියලා. 2015 න් පස්සේ මේ ආණ්ඩුව හැසිරිච්ඡ අමන විදිය නිසා සිංහල බෞද්ධ ඡන්ද ආණ්ඩුවට නැති වුණා. ඊළඟට පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා කතෝලික ඡන්ද ටිකත් නැති වුණා. ආණ්ඩුවට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දෙමළ සහ මුස්ලිම් ඡන්ද ටිකක් පමණයි.

ඒ නිසා තමයි ආණ්ඩුව රිෂාඩ් බදියුදීන් බේරගන්න ඔච්චර උත්සහ දරන්නේ. රිෂාඩ්ව බේරගන්න මෙච්චර දඟලන්නේ මේ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් රිෂාඩ්ගෙන් කප්පම් ගන්නවද කියන සැකයක් දැන් ජනතාව තුළ මතු වෙලා තියෙනවා. හැබැයි මොන සෙල්ලම් දැම්මත් රිෂාඩ් බේරගන්න ඇමැතිවරුන්ට ඊළඟ වතාවේ ජනතා ඡන්දෙන් නම් පාර්ලිමේන්තු එන්න වෙන්නේ නැහැ කියන එකත් මතක තබාගත යුතුයි.

ආණ්ඩුවටම බහුතරය හිමි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන විශ්වාසයක් නැති නිසයි අපි ඒකට සහභාගී නොවන්නේ. මේ හදන්නේ මහ බැංකුව හොරකම වගේ මේකත් යටගහන්නයි. මහ බැංකු හොරකම ගැන හොයන්න ජනාධිපති කොමිසම් පත් කළාට වැඩක් වුණාද? ප්‍රධාන හොරු දෙන්නම අදටත් නිදැල්ලේ. මේ හදන්නේ රිෂාඩ්ගේ නිර්දෝෂයි කියලා ඔප්පු කරගන්නයි.

මේ වගකීමෙන් කර අරින්න ජනාධිපතිවරයාටත් බැහැ. මොකද එතුමට ඕනේ නම් පුළුවන් රිෂාඩ් ඇමැතිකමෙන් අයින් කරන්න කියලා අගමැතිවරයට දැනුම් දෙන්න. එහෙම කරන්නේ නැහැ. ඒ වගේම තමන් යටතේ තියෙන පොලීසියට උපදෙස් දෙන්න පුළුවන් රිෂාඩ් ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා. එහෙම කරන්නෙත් නැහැ. මේකෙන් පේන්නේ ජනාධිපතිවරයත් රිෂාඩ් ආරක්ෂා කරන බවයි.

රිෂාඩ් පමණක් නොවෙයි අසාත් සාලි, හිස්බුල්ලා කියන දෙදෙනාත් මේ අන්තවාදය පෝෂණය කළා. ඒවට පැහැදිලිව සාක්ෂි තිබෙනවා. විශේෂයෙන් අසාත් සාලි අන්තවාදය පෝෂණය කළා පමණක් නොවෙයි ජාතීන් අතර ගැටුම් ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරනවා. පල්ලිවලට බල්ලෝ ගේන්න එපා කියනවා. හැබැයි පියල් නිශාන්තට ක්‍රියාත්මක වෙච්ච නීතිය අසාත් සාලිට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

ආසත් සාලි, හිස්බුල්ලා කියන ආණ්ඩුකාරවරුන් ගැන සෘජු ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන්කම තියෙද්දිත් ජනාධිපතිවරයා නිහඬව ඉන්නේ ඉදිරියේදී මුස්ලිම් ඡන්ද ටිකක් ඩැහැගන්න පුළුවන්ද කියලා හිතන නිසයි. මේ මොනවා කළත් වැඩක් නැහැ ජනාධිපති, අගමැති දෙන්නම දැන් රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. දැන් ඕනේ අලුත් නායකයෙක්.

රටේ ජනතාව දැන් අලුත් නායකත්වයක් ඉල්ලා සිටිනවා. ඒ නායකත්වය අන්තවාදයට, ත්‍රස්තවාදයට යට නොවන සෘජු නායකත්වයක් විය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාගේ අයෝමය නායකත්වයේ ආශිර්වාදය ලබන නායකත්වයක් විය යුතුයි. අන්න ඒ නායකයා රටේ නායකත්වයට පත් කරන්න තමයි අපි කවුරුත් මේ වෙහෙසෙන්නේ.

ගුවන්තොටුපොළ සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ සභාපති අජිත් රාමනායක , ප්‍රධාන ලේකම් අසංක ගොඩකුඹුර මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

+++++++++++++++++++++++++++++++++++

බදියුදීන්ට සහ හිස්බුල්ලාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි 2 ක්

(26.05.2019 – 17:41 +0530 – sinhala.adaderana.lk)

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසා සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඔවුන් සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් මේ වන විට ලැබී ඇති බවයි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි විමර්ශනය කිරීම සඳහා යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත ෴

+++++++++++++++++++++

26.05.2019

+++++++++++++++++++++++++++++++++++

ඇල්පිටිය පිටිගල ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (26.05.2019)

+++++++++++++++++++++++++++++++++++

26.05.2019

+++++++++++++++++++++++++++++++++++

WhatsApp ඔස්සේ අන්තවාදය ප්‍රචාරය කළ අයෙක් අත්අඩංගුවට

(26.05.2019 – 16:14 +0530 – sinhala.adaderana.lk)

අලුත්ගම පොලීසිය විසින් අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී අන්තවාදී අදහස් ප්‍රචාරය කරන ‘වට්ස් ඇප්’ ජාලයක් පවත්වාගෙන ගිය බවට සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට අත්අඩංගුවට ගත් තරුණයාගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පවසා සිටියි.

අලුත්ගම පොලීසිය විසින් අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබු අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සැකකාර තරුණයා දර්ගා නගරය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන්ය.

මීට අමතරව අදාළ ‘වට්ස් ඇප්’ජාලය හා සම්බන්ධ වු එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණයින් දෙදෙනෙකු ද අලුත්ගම පොලීසිය මන් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් අන්තවාදී ක්‍රියාවන්වලට සම්බන්ධ නොමැති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ෴

+++++++++++++++++++++++++++++++++++

නාරාහේන්පිට නිවසකින් සන්නිවේදන සහ තාක්ෂණික උපකරණ රැසක් හමුවයි

(26.05.2019 – 15:55 +0530 – sinhala.adaderana.lk)

යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව නාරාහේන්පිට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි නිවසක තිබි යුද හමුදා හිස්වැසුම් 4 ක්, නිවෙස්වල භාවිතයට අවසර නොමැති පිහි 10 ක්, සංනිවේදන හා තාක්ෂණික උපකරණ රැසක්ද සොයා ගැනීමට හැකි වුණි.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 06 කට අයත් ප්‍රදේශ කිහිපයක අදත් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව යුද හමුදාව පවසයි.

යුද හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ පොලීසිය සහ ඒකාබද්ධව මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව බොරැල්ල වනාතමුල්ල, ටර්පන්ටයින් නිවාස සංකීර්ණයේ පිහිටි නිවෙස්, යුධ හමුදා කණ්ඩායම් කිහිපයක් විසින් පරික්ෂාවට ලක් කරනු ලැබුවේය.

අද දෙරණ වාර්තාකරු සදහන් කළේ ඉන් සැකකටයුතු කිසිවක් හමු නොවුණු බවයි.

මේ අතර ඇහැලියගොඩ නගරයේ වෙළදසැල් සහ ඒ අවට ගම්මානවල නිවෙස්ද අද යුද හමුදාව විසින් සෝදිසි කරනු ලැබුවේය.

මීට සමගාමීව ගම්පහ , පුත්තලම, කුරුණෑගල, කලුතර යන දිස්ත්‍රික්ක වල ප්‍රදේශ රැසකද අද (26) දිනයේදී සෝදිසි මෙහෙයුම් දියත් කෙරෙන බව යුධ හමුදාව ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++++++++++++++++

26.05.2019

***************************************

පිහිටක් අපේක්ෂාවෙන් සිටින දියණියන් 4 දෙනෙකුගේ පියෙක්

(26.05.2019 – 12:50 +0530 – hirunews.lk/sinhala)

කුඩා වයසේ පසුවන දියණියන් සිව්දෙනෙකු සමඟ ස්ථිර රැකියාවක් නොමැතිව ජීවත්වීමේ සටනක නිරතව සිටින පියෙකු පිළිබඳව ගලේවෙල – දේවහුව ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ධම්මික සුබසිංහ වන 38 හැවිරිදි පියා සහ වයස අවුරුදු 14 සිට අවුරුද්දක් වයසැති දියණියන් සිව්දෙනා සමඟ දිවිගෙවන්නේ නොයෙකුත් දුෂ්කරතාවන් මධ්‍යයේයි.

ඔහුගේ 34 හැවිරිදි බිරිඳ අධිරුධිර පීඩනය හේතුවෙන් මිය ගොස් ඇත්තේ බාලදියණියට මාස 6 ක් වීමට ආසන්න වී තිබියදියි.

එදා පටන් තමන් මෙම දියණියන් සිව්දෙනා ජීවත් කරවීමට මහත් වෙහෙසක් ගන්නා බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කුප්පි ලාම්පු එළියෙන් දිවි ගෙවන ඔවුන් ශරීර අවශ්‍යතා නිසි පරිදි ඉටුකරගැනීමට සෞඛ්‍යාරක්ෂිත වැසිකිලියක් පවා නොමැති බව එහි ගිය අප ප්‍රාදේශීය වාර්තාකරුට දක්නට ලැබුණා.

සිය 14 හැවිරිදි සිය වැඩිමහල් දියණියගේ සහයෝගයෙන් අනෙකුත් දියණියන් තුන්දෙනාගේ වැඩකටයුතුද, මවකගෙන් ඉටුවිය යුතු සියලූ කාර්යයන් හා සමානවම යුතුකම් ඉෂ්ඨ කිරීමට කටයුතු කරන බවයි ධම්මික කියා සිටියේ.

කුමන අපහසුතා මධ්‍යයේ වුවද තම දියණියන් සිව්දෙනාගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය යුතුකම් ඉටු කිරීමට තමන් ඇප කැපවන බව මෙම ධෛර්යවන්ත පියා සඳහන් කළේ කඳුලු සළමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *