දේශීය ව්‍යාපාරිකයා වළපල්ලට – රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා

(12.06.2019 – 12:48 +0530 – lankadeepa.lk)

සෝයා මීට් නිෂ්පාදනයෙන් ව්‍යාපාරික ලෝකයට පිවිසි රයිගම් සමාගම අද විවිධ භාණ්ඩ නිපදවන සමාගම් රාශියකින් යුතු සමූහ ව්‍යාපාරයකි. එහි සභාපති ආචාර්ය රවි ලියනගේ මහතාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ප්‍රථම උපාධිය දිනාගත් ලියනගේ මහතා ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන්ම ආචාර්ය උපාධිය දිනාගත්තේ ඇමරිකාවේ ලැක්ක්‍රෝෂ් විස්කොන්සින් විශ්ව විද්‍යාලයෙනි. ‘කළ යුත්තේ කුමක්ද’ විශේෂාංගයෙන් අද එතුමන් සමඟ සාකච්ඡා කරන්නේ දේශීය ව්‍යවසායකයන්ට තිබෙන අභියෝග පිළිබඳවය.

ඕනෑම රටකට කර්මාන්තකරුවා විශේෂය. ලංකාව වැනි රටකට ඔවුහු සුවිශේෂයෝය. ලංකාවේ කර්මාන්ත සේම කෘෂි කර්මාන්තයද දැන් මුහුණ දී සිටින්නේ විශාල අභියෝගයකටය. ඊට හේතු වී තිබෙන්නේ සේවා ආර්ථිකය ඉහළ යාමය.

එය බොහෝ දෙනා කතා නොකරන කාරණයකි. කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා සේවා ලෙස ආර්ථිකයේ අංශ තුනකි. දැනට අවුරුදු 20කට පමණ පෙර ලංකාවේ ආර්ථිකයේ සියයට 55 ක් පමණ නියෝජනය කරන ලද්දේ කර්මාන්ත හා කෘෂිකර්මාන්ත අංශ විසිනි. කෘෂිකර්මාන්තයට සියයට 12 ක් පමණද කර්මාන්ත අංශයට සියයට 40කට වැඩි ප්‍රමාණයක්ද හිමි විය. එහෙත් 2018 වනවිට කර්මාන්ත අංශය සියයට 30 ක් දක්වා ද කෘෂිකර්මාන්තය සියයට 7.5 දක්වා ද පහත බැස තිබේ. වර්ධනය වී තිබෙන්නේ සේවා අංශයයි. එය සියයට 62 ක් දක්වා වර්ධනය වී තිබේ. බූවල්ලකු ලෙස කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ගිලගෙන තිබෙන්නේ සේවා අංශය විසිනි. අතට අහුවෙන කර්මාන්ත (Tangible Sector) රැකගන්න සේවා අංශය අත්‍යවශ්‍යමය. අතට අහුවෙන කර්මාන්ත ලෙස සැලකෙන්නේ කෘෂිකර්මාන්ත හා කර්මාන්ත ශාලාය. ඒ දෙක නැතිව සේවා අංශය පමණක් තිබීමෙන් පලක් නැත.

බැංකු, රක්‍ෂණ, විදුලි සංදේශ, දුරකථන සහ මුල්‍ය සමාගම් තිබෙන්නේ කර්මාන්ත හා කෘෂිකර්මාන්ත අංශවලට අවශ්‍ය මුහුන් සහ උදව් සැපයීමටය. ඊට අමතරව අධ්‍යාපන, සෞඛ්‍ය හා සංචාරක යනාදි වශයෙන් තවත් ක්‍ෂේත්‍ර කීපයක්ද සේවා අංශයෙහි තිබේ. එහෙත් සේවා ආර්ථිකය වැඩි දායකත්වයක් දිය යුත්තේ කර්මාන්ත හා කෘෂිකර්මාන්ත අංශවලටය. කර්මාන්ත හා කෘෂිකර්මාන්ත අංශ නැතිව සේවා ආර්ථිකයකට පැවැත්මක් නැත. කර්මාන්ත හා කෘෂිකර්මාන්තය නැති නම් බැංකු ණය දෙන්නේ කාටද? රක්‍ෂණ සමාගම් රක්‍ෂණය කරන්නේ මොනවාද? කර්මාන්ත හා කෘෂිකර්මාන්ත අංශ හැකිළෙද්දී සේවා අංශය ප්‍රසාරණයවීම ශෝචනීය තත්ත්වයකි. මේ ගමනේ කෙළවර කර්මාන්ත හා කෘෂිකර්මාන්තය නැති වෙයිද? එසේ නොවීමට රටක් හැටියට ගෙන තිබෙන ප්‍රතිපත්ති තීරණ මොනවාද? මෙය ආර්ථීකයේ පවතින අසමතුලිත තත්ත්වයකි. එය ඉතා ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්නයකි. සේවා අංශය ප්‍රසාරණය වීම ලෝක තත්ත්වයක් බව සැබෑවකි. එහෙත් එය පමණක් පිම්බීම රටක චිර පැවත්මට හිතකර කාරණයක් නොවේ.

කර්මාන්ත හා කෘෂිකර්මාන්ත අංශවලට ආයෝජකයන්, ව්‍යවසායකයන් නොපෙළඹෙන්නේ සහේතුකවය. ඒ අංශ දෙකේම කරදර බහුලය. කෘෂිකර්මාන්තයේ ප්‍රශ්න රාශියකි. පළමු කාරණය බරපතළ ලෙස මහන්සි වීමට සිදුවීමයි. ශ්‍රම හිඟය, සාධාරණ මිලක් නොමැතිකම, ස්වාභාවික විපත් හා වන සත්ව හානි දැන් කෘෂිකර්මාන්තයට තිබෙන බරපතළ ප්‍රශ්නය. කර්මාන්තකරුවන්ටද එසේම බරපතළ ප්‍රශ්න පවතී. රාජ්‍ය නිලධාරීන්ගේ සහාය නොලැබීම, අවශ්‍ය අනුමැතිය කලට වෙලාවට නොලැබීම, විවිධ අල්ලස් දීමට සිදුවීම, සේවක උද්ඝෝෂණ, ඉහළ බැංකු පොලිය කර්මාන්තකරුවන්ට තිබෙන ප්‍රශ්න රාශියකින් අතළොස්සකි.

ඒ නිසා බොහෝ දෙනා කර්මාන්ත හා කෘෂිකර්මාන්ත අංශවලට යොමු නොවී පහසුවෙන් කළ හැකි ව්‍යාපාරවලට යොමු වෙති. රටින් බඩු ගෙනැවිත් විකිණීම දැන් බොහෝ දෙනා පහසුවට කරන ව්‍යාපාරයකි. රක්‍ෂණ හා මුල්‍ය සමාගම් ද පහසු ව්‍යාපාරය. ඒවා කර්මාන්ත හා කෘෂිකර්මාන්ත අංශ තරම් අභියෝගාත්මක හෝ අවදානම් සහිත ව්‍යාපාර නොවේ.

රටේ ආර්ථිකයේ මේ අසමතුලිතතාව ඇති වී තිබෙන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වරදිනි. ප්‍රතිපත්ති සම්පාදකයන් දැන් දැන් කතා කරන්නේ සාපේක්‍ෂ වාසිය (Comparative Advantage) ගැනය. ඔවුන් කියන්නේ යම් යම් භාණ්ඩ අපේ රටේ නිෂ්පාදනය නොකර වෙනත් රටවලින් ආනයනය කිරීම වාසිදායක බවය. ප්‍රතිපත්ති සම්පාදකයන් කියන්නේ බදු දමා දේශීය ව්‍යාපාර ආරක්‍ෂා කිරීම ප්‍රයෝජනයක් නැති බවය. ප්‍රතිඵල රහිත බවය. එහෙයින් යම් භාණ්ඩයක් මෙරට නිෂ්පාදනය කිරීමට යන මුදලට වඩා අඩු මුදලකින් ඒ භාණ්ඩය රටින් ගෙන්විය හැකි නම් එය මෙහි නිෂ්පාදනය නොකර රටින්ම ගෙන්විය යුතු බව ප්‍රතිපත්ති සම්පාදකයෝ කියති. ඔවුන් කියන්නේ ඒ භාණ්ඩය මෙරටෙහි නිෂ්පාදනය කරනවාට වඩා රටින් ගෙන්වීම ලාබදායක බවය. සාපේක්‍ෂව වාසි බවය. එහෙත් වෙනත් රටවලින් ගෙන්වන භාණ්ඩවලට ගෙවන්නට ඩොලර් උපයන්නේ කව්ද කෙසේද කියා ඒ ප්‍රතිපත්ති සම්පාදකයෝ කතා නොකරති. එතැනදි ඔවුහු ගොළුවත රකිති.

උදාහරණයකට අපි දිය ලුණු ගැන කතා කරමු. ලංකාවේ ලොකුම ලුණු නිෂ්පාදකයා රයිගම් සමාගමයි. අපේ ලුණු ලේවා අක්කර 3000 කට වඩා විශාලය. මේස ලුණු හදන පළමු පිරිපහදු තුනම මෙරටෙහි ස්ථාපිත කළේ අපේ සමාගමය. හතරවැනි පිරිපහදුවත් කුච්චවෙලියේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඉස්සර ලංකාවේ මේස ලුණු නිෂ්පාදනය කළේ නැත. ගෙන්නුවේ රටිනි. 2007 වන විටත් රට වටේම මුහුද තියෙද්දි රටට අවශ්‍ය ලුණු වලින් සියයට 33 ක් ගෙන්නුවේ පිටරට වලිනි. ප්‍රතිපත්ති සම්පාදකයන් කියන සාපේක්‍ෂ වාසිය ගැන දැන් අපි කතා කරමු. ලුණු කිලෝවක් නිෂ්පාදනය කිරීමට අපට රුපියල් අටත් දහයත් අතර මුදලක් වැය වෙයි. එහෙත් නැව් ගාස්තුත් සමඟ රුපියල් 3.50කට අපට ඉන්දියාවෙන් දිය ලුණු ගෙන්විය හැකිය. එසේ නම් ලංකාවේ ලුණු හදනවාට වඩා ඉන්දියාවෙන් ගෙන්වීම සාපේක්‍ෂව වාසි බව සාත්‍යයක්මය. එහෙත් ලංකාවේ ලුණු හදන විට මුහුදු වතුර සේම හිරු එළියද ලැබෙන්නේ නොමිලේය. විදුලිය වැය වන්නේ සුළු ප්‍රමාණයකි. අනෙක් සියල්ල වැය වන්නේ කම්කරු වැටුප් ගෙවීමටය. ඒ සල්ලි යන්නේ පොදු ජනතාව අතටය. ඒ ජනතාව සිටින්නේ රැකියා හිඟ පුත්තලම, හම්බන්තොට හා කුච්චවේලියේය.

ඒ අතරින් සියයට අනූවක්ම වෘත්තීය පුහුණුවක් හෝ පළපුරුද්දක් නැතිව ලුණු කඩන කාන්තාවෝය. ඔවුහු ළමයා පාසලට දමා ලේවායට පැමිණ ලුණු කඩා පාසල ඇරුනු පසු දරුවා ද රැගෙන නිවෙස්වලට යති. අවුරුද්දකට පමණ පෙර පයින් පැමිණි ඒ කාන්තාවන් දැන් පැමිණෙන්නේ යතුරු පැදිවලිනි. ඔවුන් ඒ සඳහා මුදල් උපයා ගත්තේ ලුණු කැඩීමෙනි. ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ ගියේ, ඒ ගැමි ආර්ථිකය වර්ධනය වූයේ අපේ ලුණු ලේවා නිසාය. සාපේක්‍ෂ වාසිය ගැන සිතා දේශීය ලුණු ලේවා වසා දමා ඉන්දියාවෙන් ලුණු ආනයනය කළොත් පුත්තලමේ, කුච්චවෙලියේ හා හම්බන්තොට ජීවත්වන ඒ ගැමියන්ට අත්වන්නේ කෙබඳු ඉරණමක්ද? නූගත් නොදැනුවත් ඒ මිනිසුන්ට දිවි රැකගන්නට කළ හැකි රැකියා අවස්ථා ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් නිර්මාණය කරනු ලැබ තිබේද? ඉදින් සාපේක්‍ෂ වාසිය ගැන න්‍යාය කෙතරම් ප්‍රායෝගිකද? ඇත්තෙන්ම ඔය කිසිදු ප්‍රායෝගිකත්වයක් නැති පොතේ ගුරු න්‍යායයක්ම නොවන්නේද? අනෙක රටින් ලුණු කිලෝවක් ගෙන්වීමට වැය වන රුපියල් 3.50 උපයන්නෝ ඒ ප්‍රතිපත්ති සම්පාදකයෝද?

සාපේක්‍ෂ වාසිය නමැති ඔලමොට්ටල න්‍යාය හේතුවෙන් රටක සමස්ත ආර්ථිකය දියුණු නොවන බව ප්‍රතිපත්ති සම්පාදකයෝ දැන්වත් තේරුම් ගත යුත්තෝය. නිෂ්පාදන කම්හල් හා ගොවි බිම් වැසී යන්නේ ඔය ඔලමොට්ටල න්‍යාය කරපින්නා ගත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මහිමයෙනි.

අර්තාපල් හා ලොකු ලූනු වගා වැනසී ගොවීන් ඒ වගාබිම්වලින් ඉවත්වී අද ඉදිකිරීම් වැඩ බිම්වල කුලීකරුවන් වී සිටින්නේ ද ඒ ඔල මොට්ටල ප්‍රතිපත්ති සම්පාදනයේ මහිමයෙනි. අද අල ලූනු ගොවිතැනක් නැත. තිබෙන්නේ රටින් ගෙන්වා විකිණීමකි. හාල් ටිකත් මෙරට නිෂ්පාදනය නොකර රටින් ගෙන්වීම සාපේක්‍ෂව වාසි බව මේ ප්‍රතිපත්ති සම්පාදකයන් ළඟදීම කියනු නිසැකය. ගොවියන්ගේ දරුවෝ දැනටත් කෘෂිකර්මන්තයෙහි නොයෙදෙති. ඒ වියදම සාපේක්‍ෂව ආදායමක් නොමැති හෙයිනි. නිෂ්පාදකයනට සාධාරණ මිලක් නොමැති හෙයිනි. ඒ සියල්ලටද වගකිව යුත්තෝ ප්‍රතිපත්ති සම්පාදකයෝමය. නිල්, කොළ, රතු කවුරුත් මේ තත්ත්වයට වගකිව යුත්තෝය. මේ තත්ත්වය තවදුරටත් ගියහොත් කෘෂිකර්මාන්තය මේරටින් ඇතුගෑවී යනු නිසැකය.

ආර්ථිකයේ සංයුතියේ තිබෙන මේ ප්‍රශ්නය නිරාකරණය කළ යුතුමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වට්ටෝරු උපදෙස් දැන්වත් ප්‍රතික්‍ෂේප කළ යුතුය. නිෂ්පාදන ආර්ථිකය හෙවත් කර්මාන්ත හා කෘෂිකර්මාන්තය හැකිළෙද්දී සේවා ආර්ථිකය තව තවත් ඉහළ යාම රටක් හැටියට අති භයානකය. අනාගතයේදී රටට අත්වන ඉරණමද අති භයානකය. නිෂ්පාදන ආර්ථිකයෙන් ඉවත්වීමට රාජ්‍ය ප්‍රතිපත්තියට අමතරව බලපාන තවත් සාධක ද තිබේ. ඒ තිබෙන කරදර, අපහසුතා, ආරවුල්, ගැටලුකාරී තත්ත්වයන් හා සංකීර්ණතා ආයෝජනයට සාපේක්ෂව ආදායම පහත වැටීම ප්‍රබල කාරණයකි. ආදායම අඩුවූ විට ආදායම් වැඩි යමකට යොමුවීම ස්වාභාවික හා සහේතුක කාරණයකි. අවදානම අඩු දෙයකට යොමුවීමද තාර්කිකය. රටේ පමණක් නොව ලෝකයේද ඇත්තේ ආර්ථික පසු බෑමකි. එය අපට නැවැත්විය නොහැකිය. එහෙයින් මෙවැනි අවස්ථාවල අභියෝග සේම අවදානම අවම කරගැනීමට උත්සාහ කිරීම ව්‍යාපාරිකයන්ගේ ස්වභාවයකි. ඒ සම්බන්ධයෙන් ව්‍යපාරිකයන්ට වරදක් කිව නොහැකිය. ආර්ථිකයේ සියයට 100 ක් තිබිය යුත්තේ කම්හල් පමණක්ම නොවේ. ගොවිබිම් පමණක්ද නොවේ. සිල්ලර වෙළඳාම සේම තොග වෙළෙඳාමද තිබිය යුතුය. බැංකු, රක්‍ෂණ, මූල්‍ය සමාගම්ද තිබිය යුතුය. එහෙත් තිබිය යුත්තේ ඒවා පමණක් නොවේ. අතට අහුවෙන කර්මාන්ත හා කෘෂිකර්මාන්තයට සේවා සැපයීමට ඒවා තිබිය යුතුමය.

ප්‍රතිපත්ති සම්පාදකයන් තවදුරටත් සාපේක්‍ෂ වාසිය ගැනම සිතුවොත් රටේ ඉතිරි වන්නේ කවර කර්මාන්තයද? සාපේක්‍ෂ වාසිය ගැනම සිතා තීන්දු තීරණ ගතහොත් හා ඒ තීරණ මත ක්‍රියාත්මක වුවහොත් ලංකාවේ කිසිම කර්මාන්තයක් නොපවතිනු නිසැකය. ඒ අයුරින් සියලු භාණ්ඩ විදේශවලින් ගෙන්වීමට තීරණය කළහොත් ඒ සියල්ල ගෙන්වීමට අවශ්‍ය විදේශ විනිමය (ඩොලර්) උපයන්නේ හෝ සොයා දෙන්නේ ඒ තීන්දු තීරණ ගන්නා පුද්ගලයන්ගේ කාගෙන්දැයි පැන නඟින්නේ බරපතළ ප්‍රශ්නයකි. දැනටත් රටේ තිබෙන්නේ විසඳාගත නොහැකි ගෙවුම් ශේෂ හිඟයකි. ඩොලරය තිබෙන්නේ ළඟා විය නොහැකි තරම් උසකිනි. රටක් ලෙස දැනට අප සිටින්නේ ඩොලරයට වැඳවැටෙමිනි. ඩොලර්වලට ඉල්ලුම වැඩි වී තිබෙන්නේ රටින් බඩු ගෙන්වීමටය. රටින් ආනයනය කරන භාණ්ඩවලට ගෙවීමට සිදුවන ඩොලර් ප්‍රමාණය එතෙරට භාණ්ඩ යවා උපයන ඩොලර් ප්‍රමාණය මෙන් සිව් ගුණයකි. එවිට ඒ පරතරය පියවා ගන්නේ කෙසේද? දැනට එය කරන්නේ ණය ගැනීමෙනි. ඒ සඳහා ණය ගැනීමට සිදුවන්නේද ඩොලර්වලිනි. ඒ ණයවලට පොලිය ගෙවීමට සිදුවන්නේද ඩොලර්වලිනි. දැනටත් රටක් ලෙස අප ගෙන තිබෙන ණයවලට වඩා පොලිය ගෙවීමට යන වියදම වැඩිය. ඒ පොලිය ගෙවීමටද දැන් ණය ගනියි. එසේ ගන්නේද ඩොලර් ණයය. ණය සේම ණය පොලියද පොලිය ගෙවීමට ගන්නා ණය මෙන්ම ඊට අදාළ පොලියද ගෙවිය යුත්තේ ඩොලර් වලිනි. ඒ නිසා ඩොලරය සිටින්නේ අපට ළඟාවිය නොහැකි උසකිනි.

එක ගැහැනු ළමයකුට පිරිමි ළමයින් හතර පස් දෙනෙකු ඇල්ම බැල්ම දමන විට ඒ ගැහැනු ළමයා සිතන පතන හා ක්‍රියා කරන ආකාරය ගැන කියන ජනප්‍රිය කතාවක් තිබේ. ඇය එලෙස ක්‍රියා කරන්නේ ඇයට තිබෙන ඉල්ලුම වැඩි නිසාය. අද ඇමෙරිකන් ඩොලරයටද ඇත්තේ එකී ගැහැනු ළමයාට තිබෙන ඉල්ලුමටත් වඩා ඉහළ ඉල්ලුමකි. මෙය මවන ලද ඉල්ලුමකි. මෙහි මැවුම්කරුවෝ සාපේක්‍ෂ වාසිය ගැනම සිතා තීන්දු තීරණ ගත් පුද්ගලයෝය. ව්‍යවසායකයන් වන අපට තිබෙන ප්‍රශ්නය මේ ඉහළ ඉල්ලුම සපුරන්නට ඩොලර් උපයන්නේ කවුද යන්නය. ප්‍රතිපත්ති සම්පාදනයට දායක වන සියල්ලක්ම මේ තත්ත්වයට වගකිව යුතුය. මූල්‍ය ප්‍රතිපත්ති (Monetary Policy) තීන්දු කරන්නේ මහ බැංකුවය. රජයේ ආදායම් වියදම් ප්‍රතිපත්ති (Fiscal Policy) පිළිබඳ තීන්දු ගන්නේ මහා භාණ්ඩාගාරයයි. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ තීරණ මත ඩොලරය හැසිරවීමට මහ බැංකුවට සිදුවෙයි. සනීපාරක්‍ෂක තුවා රටින් ගෙන්වීම සම්බන්ධයෙන් පැවැති සෙස් බද්ද ඉවත් කළේ මහා භාණ්ඩාගාරයයි. දැන් ඒවා නිමි භාණ්ඩ ලෙස රටින් ගෙන්වීමට රටින් පිටට සල්ලි ගලා යයි.

රටින් පිටට එසේ යන්නේ ඩොලර්ය. නිමි භාණ්ඩ ලෙස ඒ සනීපාරක්‍ෂක තුවා ගෙන්වීමේදී ගෙවන බද්දට වඩා වැඩි බදු ප්‍රතිශතයක් සනීපාරක්‍ෂක තුවා නිපදවීමට රටින් ගෙන්වන අමුද්‍රව්‍යවලට ගෙවීමට අපට සිදුවී තිබේ. මෙය විහිළුවක් නොවෙන්නේද? ඉතින් මෙලෙස ව්‍යාපාර කළ හැකිද? අපේ ආයෝජනවලට සිදුවන්නේ කුමක්ද? අපේ සේවකයන්ගේ රස්සාවලට වෙන්නේ මොකක්ද? සාපේක්‍ෂ වාසිය ගැනම නන්දොඩවන ප්‍රතිපත්ති සම්පාදකයන් ඒවා ගැන නොසිතන්නේ ඇයිද යන්න බරපතළ ප්‍රශ්නයකි. ගෙවුම් ශේෂය හා විදේශ විනිමය හැසිරවීම සහ රටේ ආර්ථිකයේ සංයුතිය එකිනෙකට බැඳුණු ඒවාය. අමාත්‍යාංශ වෙන වෙනම තිබුණාට ඒවා වෙන්කළ නොහැකිය. ඒවා එකිනෙකට බැඳී පවතී. රටකට ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ එහෙයිනි. ඒ ජාතික ප්‍රතිපත්ති සැකසිය යුත්තේ දේශීය ව්‍යාපාර හා දේශීය ව්‍යවසායකයන් රැකෙන අයුරින් මිස ඔවුන්ගේ ගෙල සිඳින අයුරින් නොවේ.

සාකච්ඡා සටහන : ගුණසිංහ හේරත්

*****************************************

Parliamentarian Dr.Wijedasa Rajapaksha said Prime Minister Ranil Wickramasinha never win a Presidential Election and if he can, party would nominated in 2010 and 2015 as presidential Candidate. (11.06.2019)

+++++++++++++++++++++++++++++++++++++

කැබිනට් රැස්වීම දිගින් දිගටම නොපැවැත්වුවොත් අගමැති ධුරය අහෝසි වනවා – ඩිලාන් පෙරේරා

(13.06.2019 – 19:59 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් රැස්වීම දිගින් දිගටම නොපැවැත් වුවහොත් ව්‍යවස්ථානුකුලව අග්‍රාමාත්‍ය ධුරය අහෝසි වීමේ අවධානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

මේ අතර, බල කේන්ද්‍ර දෙකක් බිහිවීම හරහා රට අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *