මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියමින් මුලතිව් ගුරුකන්ද රජමහා විහාර නාම පුවරු දෙකම ගලවා දමලා

(14.06.2019 – mawbima.lk)

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ ප්‍රධාන නාම පුවරු දෙකම අද (14) දහවල් මුලතිව් මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියාගත් පිරිසක් ගලවා දැමූ බවට විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසීය.

මුලතිව් නයාරු ප්‍රධාන මාර්ගය අසල පිහිටි ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරුව මාර්ගය අසල පන්සල් භූමියේ ඉදිකොට තිබුණද කිසිදු දැනුම් දීමක් නොමැතිව එකවරම මාර්ගසංවිධන අධිකාරියේ පිරිසක් විසින් අදාල නාම පුවරු දෙකම ගලවා දැමූ බවත් නාම පුවරුව ගලවන අවස්ථාවේදී මුලතිව් පොලිස් නිලධාරීන්ද එම ස්ථානයේ සිටි බවට විහාරාධිපති හිමියන් පැවසීය.

ගුරුකන්ද පුරාණරජමහා විහාරයේ නාමපුවරුව ගලවන අවස්ථාවේදී ඒ පිළිබඳව විමසීමේදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ අදාල නාම පුවරු ඉදිකොට ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියේ බවත් ප්‍රධාන මාර්ගයේ සිට අඩි 15 කට එපිටින් නාමපුවරු ඉදිකළ යුතු බවටත් පවසාය.

අද (14) දින නාම පුවරුව ඉවත් කිරීමෙන් පසුව පන්සලේ නාම පුවරුවක් නොමැති බවටත් ඉතිරිව ඇත්තේ පසුගියදා අධිකරණ නියෝගයකට අනුව දේවාලයේ නම් කරන ලද නීරාවියඩි පිල්ලයාර් කෝවිලේ නම පමණක් බවද විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් වැඩිදුරටත් පැවසීය ෴

***************************************

ලංගමට සැප බස් පමණයි..

(15.06.2019 – 08:02 +0530 – lankacnews.com)

වාහන රක්ෂණ සමාගම් සිය තුන්වැනි පාර්ශ්වයේ රක්ෂණවලින් ලබන ආදායමෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත ප්‍රදාන කෙරෙන සියයට එකක මුදල මේ වන විට සියයට දෙක දක්වා වැඩිකර ඇති බැවින් ඉදිරියේදි හප්පා පලාගිය රිය අනතරුවලින් මිය ගිය හා ආබාධිත වුවන් සදහා ලබාදෙන වන්දි මුදලද වැඩි කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මෙම අදහස් පළකළේ මහවැලි කේන්ද්‍රෙය්දි ‘මහමග අනතුරු අවම දේශයක්’ යටතේ පැවැති වැඩ සටහනේදි හදුනානොගත් අනතුරුවලින් හෙවත් හප්පා පලාගිය රිය අනතුරුවලින් මිය ගිය හා ආබාධිත වු 27 දෙනෙකු සදහා රුපියල් ලක්ෂ හතලිහක වන්දි මුදල් පරිත්‍යාග කළ අවස්ථාවේදිය.

මෙහිදී මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ හරිමග පුවත්පතද අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට පිළිගැන්විණ. උත්සව සභාව අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව ඉදිරියේදී කොමිසම් සභාවක් බවට පත්කිරීමද පියවර ගන්නා බවයි.

ජාතික සභාවේ කාර්යය භාරය පුළුල් කිරීම උදෙසා එම පියවර ගන්නා බවත් ලබන අඟහරුවාදා දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට එහි පත්‍රිකාව ඉදිරිපත් කරන බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

“මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට මම පසුබට වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බස්රථවලට අමතරව ඉදිරියේදී පාසල් සේවා, කාර්යාල සේවා මෙන්ම ත්‍රීවිල් නියාමනය කිරීමටත් පියවර ගන්නවා. එම නියාමනය සිදු කරන ලෙසට දැනටමත් එම සේවාවල සංගම්වලින් ඉල්ලා තිබෙනවා. අද අපිට අවශ්‍ය වන්නේ ආරක්ෂිත ප්‍රවාහන සේවාවන්. ඒ සඳහා එක් පියවරක් ලෙසට සැපපහසු බස් පමණක් ලංගමට ගෙන්වීමට ඉදිරියේදී කටයුතු කරනවා. සමහර ව්‍යපාරිකයෝ මේවාට විරුද්ධයි. නමුත් ජනතාව වෙනුවෙන් සුදුසු පියවර ගන්න මම පසු බට වෙන්නේ නැහැ….” යි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

උත්සව සභාව අමතමින් මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ මනුස්සකම නැති රිය ධාවනය බොහෝ මරණවලට හේතු වී ඇති බවයි.

අනතුරට පත්වු පුද්ගලයා නිසි වෙලාවට රෝහල් කරා ගෙනියන්න කටයුතු නොකළ නිසා අහිංක ජිවිත මහ මග නැතිවෙනවා. අනතරුට පත්වු පුද්ගලයින් රෝහල් ගත කරන්න කටයුතු කරන්න තරම් මනුස්සකම වැඩි දියුණු වි තිබිය යුතුයි. අන්න ඒ තත්ත්වයට දියුණු වු විටයි රියදුරා මිනිසෙකු බවට පත්වන්නේ. ඒ සදහා දැවැන්ත වැඩ සටහන් රටපුරා ක්‍රියාත්මක කරනවා. දැන් අවුරුද්දෙන් අවුරුද්ද මහමඟ සිදුවන මරණ සංඛ්‍යාව අඩුවි තිබෙනවා. අද වන විට මාර්ගයේ ලක්ෂ අසුවක් පමණ රථවාහන ධාවනය වෙනවා. ලක්ෂ තිස් නමයක් පමණ තිබෙන්නේ යතුරු පැදි. ලක්ෂ එකොලහක් පමණ ත්‍රිරෝද රථ, හතළිස් දහසක් පමණ පාසල් වෑන් රථ තිබෙනවා.දැන් අළුතින් එකතුවුයේ කුලි රථ. මේ සියලු දෙනාටම ප්‍රශ්න තිබෙනවා. මේ සියලුදෙනාගෙන් වඩාත් ආරක්ෂාකාරීව වඩාත් ගුනාත්මක සේවාවක් ලබා ගන්න මාර්ග ආරක්ෂාව පිළිවද ජාතික සභාව කටයුතු කරනවා…” යි ද වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා මෙහිදි ප්‍රකාශ කළේය.

මෙම උත්සවයේදී ත්‍රීරෝද රථ, පාසල් සේවා, කාර්යාල සේවා සහ කුලීරථ සේවා නියාමනය කරන ලෙස ඉල්ලමින් එහි සංගම් විසින් සංදේශද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත ඉදිරිපත් කෙරිණ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පි.ජයම්පති හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමතිවරයාගේ අමාත්‍යාංශ ලේකම් මල්කාන්ති ඒකනායක යන මහත්ම මහත්මින් හා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

– තමීර මංජු

***************************************

උප්පැන්න සහතිකවලින් සියයට 18 ක්, ව්‍යාජ බව හෙළිවේ

(15.06.2019 – 12:41 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට සංසරණයේ පවතින උප්පැන්න සහතිකවලින් සියයට 18 ක් පමණ ව්‍යාජ ඒවා බැවින් මින් ඉදිරියට එවැනි ව්‍යාජ උප්පැන්න සහතික නිකුත් කිරීම වැළැක්වීමට පියවර ගන්නා බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, ව්‍යාජ ලෙස සහතික පත්‍ර ඉදිරිපත් කරන්නේ නම්, ඔවුන්ට මාස 6 ක් දක්වා සිර දඬුවම් ද ලැබිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් ආචාර්ය එන්.සී. විතානගේ කියා සිටියේ දරුවන් උපතේ සිටම නව අංකයක් ලබාදීම හරහා ඩිජිටල් උප්පැන්න සහතික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ෴

***************************************

ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ජෙඩාහිදී අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනය හේතු වුණා – INTERPOL

(15.06.2019 – 10:14 +0530 – sinhala.adaderana.lk)

තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් මිල්හාන් නැමැති පුද්ගලයා සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකු සෞදි ජේඩා නුවරදි අත්අඩංගුවට ගැනීම සඳහා තමන් කළ රතු නිවේදනය ද බෙහෙවින් ඉවහල් වු බව ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය සිය වෙබ් පිටුවේ සඳහන් කර ඇත.

එම වෙබ් පිටුවේ සඳහන් පරිදි ජාත්‍යන්තර පොලීසියේ මහලේකම් යෝගන් ස්ටොක් මහතා ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමේ කොටසක් ලෙස අදාළ රතු නිවේදනය නිකුත් කළ බවයි.

මෙම සකරුන් අත්අඩංගුවට ගැනීමට තමන්ට සහයවීමට හැකි වීම ගැන ගෞරවයක් සේ සලකන බව ජාත්‍යන්තර පොලීසියේ මහලේකම්වරයා එම නිවේදනයේ සඳහන් කර ඇත.

ජාත්‍යන්තර වශයෙන් නීතිය මඟ හරිමින් සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් ප්‍රබල මෙවලමක් ලෙස සැලකිව හැකි බවද ඒ මහතා එහි සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර පොලීසිය 29 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර තිබුණේ අහමඞ් මිල්හාන් හයතු මොහොමඩ් යන නමින්ය.

මොහොමඩ් මිල්හාන් තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතයෙකු ලෙසයි සැලකෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි එහි ප්‍රධාන නායකයෙකු ලෙස සැලකෙන මොහොමඩ් මිල්හාන් නැමැත්තා ඇතුළු පස්දෙනෙකු සෞදි ජෙඩා නුවරදි අත්අඩංගුව ගෙන ඊයේ (14) මෙරටට ගෙන එන ලදී.

මෙම සැකකරුවන් අතර සිටින මොහොමඩ් මිල්හාන් නමැත්තා වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවට ද අනාවරණය වී ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මෙම සැකකරුවන් 5 දෙනා තවදුරටත් අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන බව ඔහු පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 102 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඉන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන අතර තවත් 25 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාරයේ පසුවන බවයි.

මේ අතර, පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ තවත් දෙදෙනෙකු යුද හමුදාව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සිදුකළ මෙහෙයුමකදී මහනුවර-හිඟුල ප්‍රදේශයේ ඔවුන්ගේ නිවෙස්වල සැඟව සිටියදී අත්අඩංගුවට ගත්තේය.

ඉහත සඳහන් රතු නිවේදනයට අදාල ජාත්‍යන්තර පොලීසිය සිය වෙබ් පිටුවේ සඳහන් කර ඇති ආකාර පහත පරිදි වේ.

Red Notice leads to arrest of Sri Lanka bombings suspect

+++++++++++++++++++++++++++++++++++

පැය 8කට පසු හිස්බුල්ලා TIDයෙන් පිටත්ව යයි

(15.06.2019 – 18:07 +0530 – sinhala.adaderana.lk)

ප්‍රකාශයක් ලබා දීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා එම ස්ථානයේන් පිටත්ව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පවසයි.

ඔහු සම්බන්ධයෙන් මේ වන විට සිදුවෙමින් පවතින විමර්ශන කටයුතු වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දීමට ඒ මහතාමෙලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත අද (15) උදැසන පැමිණියේය.

2019 අප්‍රේල් 22 වන දින රාත්‍රී 10 ට පමණ ඇඳිරි නීතිය බලපැවැත්වෙන් අවස්ථාවේ කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැකසහිත ලෙස අරාබි ජාතිකයින් දෙදෙනෙකු හමුවී සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇරඹි විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අද පෙරවරු 9.45 ට පමණ ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි අතර පස්වරු 5.45 ට පමන එම ස්ථානයෙන් පිටත්ව ගිය බවද පොලිස් මාධ්‍ය කාර්යාල සඳහන් කළේය.

***************************************

ජනමත විචාරණයකට යන්න සූදානම් කියලා ආරංචියි – රෝහිත අබේගුණවර්ධන

(15.06.2019 – 17:11 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යද, නැද්ද යන්න පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානම් බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිම්න්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ, අද (15) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

“ජනපති සහ අගමැති චුලෝදර, මහෝදර වගේ ද්වන්ද සටනකට ලෑස්ති වෙලා.

18 වනදා කැබිනට් එක රැස්වෙනවා කියනවා. එදාටම පාර්ලිමේන්තුවත් රැස්වෙනවා. පාර්ලිමේන්තුව ඉතාම උණුසුම් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්.

අපිට ලැබෙන අලුත්ම ආරංචිය ජනාධිපවරයාට ඇති බල පාවිච්චි කරමින් ජනමත විචාරණයකට යන්න සූදානම් වෙනවා. ජනමත විචාරණයකින් අහයි දැන් තියෙන තත්ත්වයත් එක්ක පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනෙද? නැද්ද? කියලා. එසේනම් අගමැතිවරයාට දැන් කරන්න තියෙන්නේ 18 වනදාට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න විසුරුවන්න.

අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට ඡන්දය දෙනවා තුනෙන් දෙක ගන්න. එතකොට ජනමත විචාරණයකට යන්න අවශ්‍ය නැහැ. එයට මුවාවී ජනාධිපතිවරණය කල්දාන්න බැහැ” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.”

***************************************

නිකරුණේ අත්අඩංගුවට ගත්තැයි හසලක කතගෙන් පෙත්සමක්

(14.06.2019 – 17:49 +0530 – lankadeepa.lk)

තමන් නැවක සුක්කානමක රුව රැගත් මැක්සි ගවුමක් ඇඳගෙන සිටියදී ධර්ම චක‍්‍රයක රැව රැගත් ඇඳුමක් ඇඳ සිටිනවා යැයි වැරදියට වටහා ගෙන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා මුස්ලිම් කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

කොළොන්ගොඩ පුදලුගස්යායා ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසහීනා නැමැත්තිය විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, හසලක පොලිස් ස්ථානාධිපති චන්දන නිශාන්ත, සහ පොලිස්පතිවරයා නම් කරනු ලැබ ඇත.

නීතීඥ හරිනි ජයවර්ධන, නීතීඥ පුලස්ති හේවාමාන්න සහ ජනාධිපති නීතීඥ ජේ.සී වැලිඅමුණ මහතාගේ උපදෙස් මත ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

පෙත්සම්කරු එක් දරු මවකි.කලක් සෞදි අරාබියේ ගෘහ සේවයේ නියුතුව පසුව වෘත්තීය වශයෙන් ඇඳුම් මසන්නියක වශයෙන් කටයුතු කරන්නීය.

පෙත්සම්කාරිය ඇඳ සිටි මැක්සි ගවුමේ සඳහන් වන්නේ ධර්ම චක‍්‍රයක රුව නොව නැව් සුක්කානමක රැවකි.ඒ අනුව පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , ඊට වන්දි ලබා දෙන ලෙසද , මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.

***************************************

සයිබර් ආරක්ෂණ පනත හරහා ප්‍රකාශන අයිතිය අහෝසි කිරීමේ සූදානමක්

(15.06.2019 – 21:26 +0530 – sinhala.adaderana.lk)

ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත සයිබර් ආරක්ෂණ පනත හරහා ජනතාවගේ ප්‍රකාශන අයිතිය අහෝසි කිරීමට සූදානම් වන බව ‘අන්තර්ජාල නිදහස සුරකින්නෝ’ සංවිධානය පවසයි.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් නීතීඥ මනෝජ් ගමගේ මහතා මේ බව සඳහන් කළා.

“රජයට විරුද්ධව අදහස් දක්වන පුද්ගලයින්ගේ සමාජ ජාලා ගිණුම් අක්‍රීය කරන්න කටයුතු කළා.

වත්මන් ආණ්ඩුව බලයට ඒමට පෙර WI-FI නොමිලේ දෙනව කිව්වා. දැන් සල්ලි දීලත් බැහැ.

සයිබර් ආරක්ෂණ කෙටුම්පතක් ගෙන්න හදනවා. දත්ත ආරක්ෂා කිරීමේ කෙටුම්පතක් ගේන්න හදනවා. අන්තර්ජාලය ආරක්ෂා කරන්න ගේනවා කිව්වට මේවා අධ්‍යනයේදී පේන්න තිබෙන්නේ අන්තර්ජාලය මර්දනය සඳහා ගෙනාව පනත් බවයි.

චීනය සහ මැදපෙරදිග රටවල අන්තර්ජාලය රජය අවශ්‍ය ආකාරයට පාලනය කරනවා. ඒ රටවල් භාවිත කරන තාක්ෂණය ගෙන්වලා ඊළඟ ජනාධිපතිවරණයේදී විරුද්ධ අපේක්ෂකයාගේ නම තිබෙන ගිණුම් අක්‍රීය කරනවා.

ජනාධිපතිවරයාට සහ රජයට අපි කියන්නේ අදහස් පළකිරීමේ අයිතිය නැති කරන්න එපා කියලා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

***************************************

ප්‍රමුඛතාවය දිය යුත්තේ වන විනාශය නැවැත්වීමට – විමල් වීරවංශ

(15.06.2019 – 19:26 +0530 – sinhala.adaderana.lk)

විල්පත්තු රක්ෂිතය හා ඒ අවට පරිවාර ප්‍රදේශ ආශ්‍රිතව වන විනාශය සිදුකළ පුද්ගලයින්ට චෝදනා එල්ල කිරීමට වඩා ප්‍රමුඛතාවය දිය යුත්තේ එම විනාශය නැවැත්වීම සඳහා කටයුතු කිරීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

විල්පත්තු රක්ෂිතයේ සහ කල්ලාරු ප්‍රදේශයේ සිදුකෙරෙන වන විනාශය පිළිබඳව අද දෙරණ උකුස්සා සිදුකළ අනාවරණය අනූව එහි නිරීක්ෂණ චාරිකාවකට අද (15) එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වරින් වර විල්පත්තු වන රක්ෂිතයේ සිදුවන අනවසර කැලෑ එළිකිරීම් සමඟ රක්ෂිතය මායිමේ පිහිටි කල්ලාරු ප්‍රදේශය එළිපෙහෙලි කර නිවාස ගොඩනැගීම සඳහා කිසියම් පිරිසක් උත්සහ දරා ඇති ආකාරය අද දෙරණ උකුස්සා පසුගිය මැයි මස 26 වැනිදා අනාවරණය කළේය.

මැයි 23 සහ 24 දෙදින රාත්‍රි කාලයේදී විශාල පස්කපන යන්ත්‍ර යොදා කල්ලාරු වන රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක් මෙලෙස එළිකර තිබුණි.

නිවාස 25 කට අධික ප්‍රමාණ්‍යක් ගොඩ නැඟීමට කටයුතු කර ඇති ආකාරය අද දෙරණ උකුස්සා හෙලි කිරීමත් සමඟ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් අද එම ප්‍රෙද්ශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මේ සඳහා පක්ෂ නායක විමල් වීරවංශ, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

අනතුරුව පිරිස කටාර් හි ජාසිම් පදනමේ මූල්‍ය ආධාර යටතේ එහි ඉදිකර ඇති ජාසිම් සිටි නිවාස ව්‍යාපෘතියද නිරීක්ෂණය කළේය.

පසුව එම ප්‍රදේශයේ පස් කැනීම් සිදුකරන ස්ථාන කිහිපයක්ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසගේ නිරීක්ෂණයට ලක් විය.

එහිදී අනාවරණ වූයේ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශ්‍ය නිකුත් කර ඇති බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් පස් කැනීම් සහ ප්‍රවාහනය කිරීම සිදුකරන බවයි.

+++++++++++++++++++++

CIA අණාවරණයෙන් පසු මන්ත්‍රී විමල් විල්පත්තුවේ නිරීක්ෂණයක

(15.06.2019 – 20:45 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තුවේ පරිවාර රක්ෂිත වනාන්තරයක් වන කල්ලාරු රක්ෂිතයෙහි සිදු කෙරෙමින් පවතින නිවාස ව්‍යාපෘතියක් පිළිබද හිරු CIA හරහා සිදු කල අණාවරණයෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වුණා.

රක්ෂිත කළාපය තුළ කොන්දේසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන පස් ජාවාරමක් පිළිබදවද එහිදී අනාවරණ වුණා.

විල්පත්තු රක්ෂිතයට අයත් පරිවාර රක්ෂිත කලාපවල සිදුවන වන විනාශය පිළිබඳ හිරු සී.අයි.ඒ හරහා පළමු වරට අනාවරණය කළේ 2015 වර්ෂයේ අප්‍රේල් 23 වැනිදායි.

අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර පළාත්වල කැලෑ හෙලි පෙහෙළි කිරීම නවත්වන ලෙස චක්‍රලේඛයක් ද නිකුත් කළා.

කෙසේ වෙතත්ල නිවාස සංවර්ධන අධිකාරියේ අවසරයෙන් විල්පත්තු රක්ෂිතයට අයත් පරිවාර කලාපයක් වන කල්ලාරු රක්ෂිතයේ වනාන්තර හෙළි පෙහෙළි කරමින් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව අප නැවතත් හිරු සී.අයි.ඒ. හරහා පසුගිය මැයි 31 වැනිදා රටට අනාවරණ කළා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මෙහිදී එම ප්‍රදේශයේ වෙළෙඳ සැලක් පවත්වාගෙන යන පුද්ගලයෙක්ගෙන් ද මන්ත්‍රීවරයා මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිළිබඳ විමසා සිටියා.

මන්ත්‍රීවරයාගේ මෙම සංචාරය අතරතුරදී උනයිත්නගර් නමින් හදුන්වන ප්‍රදේශයක කුඹුරු ඉඩම් සංවර්ධනය කරන මුවාවෙන් සිදුකරගෙන යන මහා පරිමාණ පස් ජාවාරමක් පිළිබදව ද තොරතුරු අනාවරණ වුණා.

***************************************

රාජගිරියේ ඇළක බුදු පිළිම 12 ක්

(15.06.2019 – 18:48 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී අද බුද්ධ ප්‍රතිමා 12 ක් සොයා ගැනුණා.

අදාළ ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරත සේවකයින් පිරිසක් විසිනුයි එම බුද්ධ ප්‍රතිමා සොයාගනු ලැබුවේ.

රාජගිරිය – ලේක් ඩ‍්‍රයිව් – හීන් ඇලෙහි තිබී ප්‍රථමයෙන් ප්‍රතිමා 08 ක් සොයාගෙන තිබූ අතර, පසුව තවත් ප්‍රතිමා 04 ක් අද පස්වරුවේ සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

පසුව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණියා.

කෙසේ වෙතත්, අප කළ විමසීමකදී නාරාහේන්පිට පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එසේම, ඇල මාර්ගයේ තවත් බුද්ධ ප්‍රතිමා තිබේද යන්න පිළිබඳව සොයා බලන බවද ඔහු සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • If authorities removed Buddhist temple nameboards and allowed to keep Hindu Kovil ones then the reporter should explain if the conditions applicable to both cases were the same or if not what were the differences. Both boards on government property or not? If Hindu Kovil boadrs were on private land and Buddhist temple board in government property then the temple could move the boards to their private land.
    Also make sure the minister in charge is not given any Buddhist votes in future and let him suffer for his insolent behaviour. The problem is Sri Lankans in general and Sinhala in particular have short memories and forget the treacherous works done and attitudes of the minister in charge, when it comes to election times. Make sure you cast your votes wisely. Who is the minister in charge? Kalae paththara Kirella?

  • About the Buddha images dithced in the canal, it proves that despite Ranila’s and Sira’s assurances there are lots of muslim extremists at large in the country. We need to round them up and intern them ASAP, if not there could be a bloodbath in the country in not too distant future due to interethnic violence. This incident is a warning to authorities, wake up from your sleep after the central bank robbery. PM where the hell are you? having a great time with Mahendran in S’pore?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *