පොල්අතු නිවහන ගිනි අරන් දිඹුලාගල පවුලක් අවතැන්

(25.06.2019 – mawbima.lk)

අවුරුද්දක් වයසැති කුඩා දරුවකු සමඟ ගැබිනි මවක සහ පියකු පදිංචිව සිටි දිඹුලාගල විජයබාහුපුර දේවගල ගම්මානයේ පොල්අතු සෙවිලිකළ කටුමැටි ගෙයක් ඉකුත්දා ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් එම දරු පවුලම අවතැන් වී ඇතැයි වාර්තා වේ.

මෙම ගින්නෙන් තම හැඳුනුම්පත්, රෙදිපිළි උප්පැන්න සහතික, සායන පොත් මෙන්ම නිවෙසේ තිබූ මුළු සේසතම දැවී අළු වී යෑමෙන් තමන් දැඩි අසරණභාවයට පත්ව සිටින බව 22 වියැති එක්දරු මවක වන ඩී.එම්. උපේක්ෂා වනමලී ප්‍රියරත්න මහත්මිය කඳුළු සලමින් පැවැසුවාය.

සැමියා, කුලී වැඩවල නිරත වෙමින් තම දරුපවුල රකින අතර නිවෙසත් එහි තිබූ සියල්ලත් හදිසියේ ගිනි ගැනීමෙන් තමන් දැඩි අසරණභාවයට පත්ව සිටින බවද වනමලී ප්‍රියරත්න මහත්මිය හැඬූ කඳුළින් පවසන්නීය.

ඇය තම දුක් ගැනවිල්ල මෙලෙසින් ඉදිරිපත් කළාය :

“දරුවට කන්න දෙන්න කියලා හාල් හුණ්ඩුවක් මුට්ටියට දාලා ළිපෙන් තියලා මම ගෙදර ලාම්පුතෙල් නැති නිසා දරුවත් එක්ක ලාම්පුතෙල් ගන්න කීයක් හරි ඉල්ලා ගන්න අම්මාගේ ගෙදර ගියා. මහත්තයා ඒවෙනකොට කුලී වැඩට ගිහින්. විනාඩි 30 කින් විතර මම ගෙදර එද්දී මුළු ගෙදරම බිත්ති හතර ඉතිරි වෙන්න ගිහි අරන් විනාශ වෙලා. මහත්තයාට මේ දවස්වල හරියට කියලා කුලී වැඩක්වත් නැහැ. දැන් මේ ගෙදරට ආයේ පොල්අතු ටිකක්වත් ගන්න සල්ලි නැහැ. දරුවාගේ කිරිපිටි ටික පවා ගින්නෙන් විනාශ වුණා. ඉතිරි වුණේ ඇඳගෙන ඉන්න ඇඳුම් ටික විතරයි. ග්‍රාම නිලධාරිවරිය ඇවිත් විස්තර ලියාගෙන ගියා.

අපිට රජයෙන් රුපියල් 2500 ක සමෘද්ධි සහනාධාරය විතරයි ලැබෙන්නේ. හම්බ වෙන්න ඉන්න දරුවාගේ සායන කාඩ් එක පවා පිච්චිලා. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට රෙදිපිළි ටිකක්, ගෙදරට බඩු ටිකක්, පොල් අතු ටිකක් වහගන්නත් උදවු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

මේ පවුලට උදවු කිරීමට හැකි පරිත්‍යාගශීලීන් වෙත්නම් ඩී.එම්.යූ.එම්. ප්‍රියරත්න, ලංකා බැංකුව, අරලගංවිල බැංකු ගිණුම 77358142 ට පරිත්‍යාග කළ හැකිය. 078 397 9681 දුරකථන අංකය ඇමැතීමෙන් වැඩි විස්තර දැනගත හැකිය.

D M U M Priyaratne
Bank of Ceylon – Aralaganwila
A/C No. : 77358142

මනම්පිටිය – නිමල් ජයරත්න

***************************************

වසර තිස්හතරකට පසු එතෙර සිට සොයා ආ මව් සෙනෙහස

(23.06.2019 – 21:55 +0530 – hirunews.lk/sinhala)

වසර 34 කට පසු ඔස්ට්‍රේලියාවේ සිට සිය මව සොයා මෙරටට පැමිණි දියණියක් පිළිබඳ පසුගියදා අපට වාර්තා වුණා. ඒ, කිරින්ද – පුහුල්වැල්ල ප්‍රදේශයෙන්.

https://www.youtube.com/watch?v=HvRmnD-u7k4#t=5

***************************************

සුව සැරිය නව ගිලන්රථ 27 ක් නැගෙනහිර පළාතට

(23.06.2019 – 21:05 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ සුව සැරිය ගිලන්රථ 27 ක් බෙදා දීමේ උත්සවයක් අම්පාර දිසාපති කාර්යාලයේදී සිදු කෙරුණා.

මෙම උත්සවය පැවැත්වුනේ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස්වරයාගේ සහ අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

https://www.youtube.com/watch?v=IvAMVcS3-qU

***************************************

වහාබ් මතවාදයේ දරුණුකම ගැන මවුලවිවරයෙක් හෙළිකරයි

(24.06.2019 – nethnews.lk)

වහාබ් මතවාදීන්ගේ කි‍්‍රයාකාරකම් සහ අන්තවාදය සම්බන්ධයෙන් තමා 2012 වසරේදී බලධාරීන් දැනුවත් කළ බව ගාල්ලේ මුස්ලිම් පල්ලි භාරකරුවන්ගේ සංගමයේ සභාපති M. Z. මොහොමඩ් මවුලවී පවසනවා.

ඒ, නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්.

අන්තවාදී කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා :

එහිදී “මෙම වහාබ් මතවාදය දරුණු මතවාදයක් බව ඒ පිළිබඳව බොහෝදුරට අධ්‍යනය කළ මට තේරුම් ගියා. මේ වතවාදය දරන අය වෙනස් පුද්ලගයන් බවට පත්වෙනවා.. ඉන්පසු ඒ අය කරන දේ පිළිබඳව කලින් තීරණය කරන්න අමාරුයි. මොනවා මොනවා කරයිද දන්නෑ.” යනුවෙන් සඳහන් කළා.

***************************************

රූපවාහිනියේ දුටු දේ අත්හදා බලන්න ගිය සිසුවා මිය යයි

(25.06.2019 – mawbima.lk)

පෞද්ගලික රූපවාහිනි නාළිකාවක පසුගිය විසි දෙවැනිදා දහවල් කාලයේදී විකාශය වූ සියදිවි නසා ගැනීමේ සිද්ධියක් අනුකරණය කිරීමට ගිය තෙල්දෙණිය ගිඩ්ඩව කනිටු විදුහලේ පස් වැනි වසරේ වයස අවුරුදු දහයක පාසල් ශිෂ්‍යයකු තම මිත්තණියගේ නිවෙසේ බාල්කයක රෙදි කඩකින් තොණ්ඩුවක් සාදා එල්ලීමේදී එම තොණ්ඩුව හිර වීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ දුක්මුසු සිද්ධියක් ගිඩ්ඩව ප්‍රදේශයෙන් වාර්තා වේ.

සිය මිත්තණියගේ නිවෙසේ ඇඳක් මත සෙල්ලම් කරමින් සිටි දරුවා මෙසේ එල්ලෙන්නට ගොස් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තෙල්දෙණිය පොලිස් වසමේ ගිඩ්ඩව ප්‍රදේශයේ පදිංචි ගිඩ්ඩව කනිටු විදුහලේ පස් වැනි වසරේ ශිෂ්‍යයෙකි.

සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ බාන්ස් රඹුක්වැල්ල මහතා විසින් ගිඩ්ඩව ප්‍රදේශයේ පිහිටි එම නිවෙසේදී පැවැත්විණි.

මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තෙල්දෙණිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසත් වැඩ බලන මහෙස්ත්‍රාත් බාන්ස් රඹුක්වැල්ල මහතා තෙල්දෙණිය පොලිසියට නියෝග කළේය.

මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් පනස් පස් හැවිරිදි මිත්තණිය කීවේ දරුවාගේ පියා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී මියගොස් ඇති බවත් ඔහුට දරුවන් තිදෙනකු සිටින බවත්ය.

පියා මිය යෑමෙන් පසු දරුවාගේ මව වෙනත් විවාහයක් කරගෙන සිටින බවත් ඇය කොහේ සිටින්නේදැයි තමන් නොදන්නා බවත් ඇය සඳහන් කළාය.

මියගිය දරුවා විසි දෙවැනිදා දහවල් රූපවාහිනි වැඩසටහනක් නරඹමින් සිටිය අතර එහි විකාශය වූ සියදිවි නසා ගැනීමේ සිද්ධියක් අනුකරණය කරමින් නිවෙසේ ඇඳක් මත සෙල්ලම් කරමින් සිටි බවත් පසුව රෙදි කඩකින් එල්ලෙන්නට ගොස් මෙම සිද්ධිය වී ඇති බව සඳහන් කළාය.

මරණය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණය තෙල්දෙණිය දිසා මූලික රෝහලේ පැවැති අතර මෙම පාසල් ශිෂ්‍යයාගේ මළ සිරුර පවුලේ ළඟම ඥාතියකුට භාරදීමටත් නියෝග කළේය.

තෙල්දෙණිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී. එස්. පත්මකුමාර මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක මුනිදාස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂණ පවත්වන ලදී ෴

***************************************

‘සෝෆා’ ගිවිසුම අත්සන් කරන්න ඉඩ දෙන්න එපා !

(25.06.2019 – 07:18 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ආණ්ඩුව අමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජීත නව ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමට ඉඩ නොතබන්නැයි විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

‘රට පාවාදෙන අමෙරිකන් ගිවිසුම් ඉරාදමන්න’ මැයෙන් ඊයේ (18) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාද මෙම ඉල්ලීම සිදු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි :

“ඉන්දියාව සහ අමෙරිකාව එකමුතුයි. ලංකාවේ යුද කඳවුරක් කරන්න ඉන්දියාව ඉඩ දෙන්නේ නැහැ. අපි චීනයට ගැති වුණොත් ඉන්දියාව තරහ වෙනවා. යූ.එන්.පී එකෙන් එන්නේ කවුද අදාළ නැහැ; පොදුජන පෙරමුණෙන් එන්නේ කවුද අදාළ නැහැ. කරන්නේ මොනවද කියන එකයි වැදගත්. විදෙස් රටක් සමඟ ගිවිසුමක් අත්සන් කළොත් ඊළඟ ආණ්ඩුව එය අහෝසි කරන්නේ නැහැ. ජනාධිපතිතුමා ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මේ කරුමෙන් අපි ගලවලා දෙන්න.”

මේ අතර අමෙරිකාව සමග කෙසේ හෝ ‘සෝෆා’ ගිවිසුම අත්සන් කිරීම සදහා අණ්ඩුව කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා අමෙරිකාවට මේ වන විටත් වාචික වශයෙන් ආණ්ඩුව පොරොන්දු ලබා දී ඇති බවයි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=sfIAhxtJVfQ

***************************************

දෙහිවලදී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි

(24.06.2019 – 21:35 +0530 – sinhala.adaderana.lk)

දෙහිවල ගුවන් පාලමේ සිය කොළඹ දෙසට වන්නට ගාලුපාරේ දකුණු පසින් පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු එහි හිමිකරුට පිහියෙන් ඇන පලා ගොස් තිබේ.

පොලීසීය සඳහන් කළේ තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදි මිය ගොස් ඇති බවයි.

වෙළඳසැලේ හිමි එහි දොර වසා ඒය තුලට වී විවේක ගනිමි සිටියදී අදාල සැකකරු වෙළඳසැලේ දෙර කඩා වෙළෙඳ සැල ඇතුලට පැමින එහි තිබු මුදල් සොරකම් කිරිමට තැත් කර ඇත.

එය වැලැක්වීමට ගිය අවස්ථාවේදි සැකකරු විසින් වෙළඳසැල් හිමියාට පිහියකින් පහර දී පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

අද (24) සවස 3 ට පමණ මෙම ඝතනය සිදු වි තිබේ.

මියගිය පුද්ගලයා නැදිමාල එබ්‍රහීම් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි අබ්දුල් හෂිස් නැමැති තිදරු පියෙකු බව දෙහිවල පොලිසිය සඳහන් කළේය ෴

***************************************

පෙළ පොතට වෛවර්ණ රුව යෙදූ, අධ්‍යාපන ඇමති අකිලට, ජනපති කොමිසමෙන් නොතීසි

(25.06.2019 – 07:45 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, පෙළ පොත් මුද්‍රණයේදී සිදුව ඇති බවට පැවසෙන දූෂණ හා වංචාවකට අදාළව කොමිසම් සභාව වෙත ලැබී ඇති පැමිණිල්ලකට අදාළවයි.

එම පැමිණිල්ල ඊයේ දින විභාගයට ගත් අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්, වත්මන් අධ්‍යාපන සැපයීම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ සාක්ෂි ලබාදී තිබෙනවා.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පෙළ පොත් මුද්‍රණය කිරීමේදී තම රුව ඇතුළත් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෞද්ගලිකව තමන් වෙත දැනුම් දුන් බවයි.

තමාගේ ඡායාරූපය වර්ණ 4 කින් යුක්ත වන ආකාරයට තම අත්සන සහිතව නිවේදනයක් ලෙස පෙළ පොත්වලට යොදා ගන්නා ලෙසටයි දැනුම් දී ඇත්තේ.

ඉදිරි දේශපාලන ගමන් මගට, පැවැත්මට සහ ජනප්‍රියතාවයට ඡායාරූපය යොදන ලෙසට ද තමාට අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම් දුන් බව සැපයීම් අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

පෙළ පොත්වලට අමතරව ගුරු අත්පොත්වලට ද තම ඡායාරූපය යොදන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.

ඒ අනුව සෑම පෙළපොත් මුද්‍රණයකටම එම අමතර පිටුව ඇතුළත් කිරීම සඳහා වැය බරක් යෙදීමට සිදුවූ බවයි වත්මන් අධ්‍යාපන සැපයීම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ.

ඒ අනුව පෙළ පොත් කෝටි 4 ක් සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ රුව සහිත ඡායාරූපය ඇතුළු පිටුවක් ඇතුළත් කර තිබෙනවා.

එම සාක්ෂිවලට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා එළඹෙන ලබන මස 1 වන දින පෙරවරු 9.30 ට ජනාධිපති කොමිසම් සභාවේ පොලිස් ඒකකයට පැමිණෙන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට නොතීසි නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, ලබන මස 8 වන දා ජනාධිපති කොමිසම් සභාව හමුවේ සාක්ෂි ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයාට සිතාසි ද නිකුත් කර ඇති බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

***************************************

හිස්බුල්ලාට සෞදියෙන් කෝටි 300 ක් ආවේ කොහොමද ?

(24.06.2019 – 10:43 +0530 – lankadeepa.lk)

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ.එම්.එල්. හිස්බුල්ලා මහතාගේ බැටික්ලෝ කැම්පස් ආයතනයට (Batticaloa Campus (Pvt) Ltd) සෞදි අරාබියෙන් රුපියල් කෝටි 300කට වැඩි මුදලක් ලැබුණු ආකාරය බරපතළ සැක කටයුතු හෙයින් විදේශ කටයුතු අමාත්‍යාංශය සවුදි අරාබි තානාපති කාර්යාලයේ ද සහාය ලබාගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර එහි ඇත්ත නැත්ත වහාම හෙළි කර ගත යුතු බව එම ආයතනය ගැන විමර්ශන පැවැත්වූ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව රජයට නිර්දේශ කර ඇත.

මෙම නිර්දේශය කරනු ලැබ ඇත්තේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ නිරීක්ෂණ වාර්තාව මගිනි.

සවුදි අරාබියේ ෂෙයික්අල් රෂාඩ් අබ්දුල්අෂිස්, සෙයික් හලීඩ් ඩාවුඩි, අබු සාලිත්, ෂෙයික් ෆෙරාස් නෂීර්, ෂෙයික් ලිමාන් අලිඅල් ජුෆාලි හා ෂෙයික්අලි අබ්දුල්ලා අල් ජුෆාරී යන පුද්ගලයන්ගෙන් මෙම මුදල් අවස්ථා හතරක දී පොලී රහිත ණය මුදල් වශයෙන් ලබාගත් බවට හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර ඇතත් ඔහු ඒ ණය මුදල් පිළිඳව ලංකා බැංකුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ කිසිදු ආකාරයකින් දැනුම්වත් කර නැතැයි ද එම නිරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

බැටික්ලෝ කැම්පස් ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා ඔහුගේ පුත් අහමඩ් හිරාස් හිස්බුල්ලා යන මහත්වරුන් සෞදියෙන් ලැබුණු මෙම මුදල් පිළිබඳව කරන ප්‍රකාශ එකිනෙකට පරස්පර බව පෙනී යන්නේ යැයි පවසන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විදේශ මුදල්වලට අමතරව මෙරටින් ද රුපියල් කෝටි 70 ක පමණ මුදලක් බැටික්ලෝ කැම්පස් ආයතනයට වරින්වර ලැබී ඇතැයි ද සඳහන් කරයි.

මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනයට නීත්‍යානුකූලව දී තිබූ අක්කර 35ට අමතරව අක්කර අටක භූමි ප්‍රදේශයක් නීත්‍යානුකූල නොවන ආකාරයට අත්පත් කරගෙන අනවසර ගොඩනැගිලි ඉදිකර ඇති බවටත් තවත් අක්කර 15ක් විවිධ ඉදිකිරීම් සඳහ හෙළි පෙහෙළි කර තිබූ බවටත් නිරික්ෂණය වී යැයි කාරක සභා වාර්තාව පෙන්වා දෙයි.

ප්‍රදේශයේ පිහිටීම හා දේශගුණික තත්ත්වය අනුව මෙම ආයතනය අධ්‍යාපන ආයතනයක් ලෙස මේ ස්ථානයේ පවත්වගෙන යෑම නුසුදුසු මෙන්ම ඉතා අසීරු බව ද සඳහන් කරයි.

මෙම ආයතනය බිහි කිරීමේ අරමුණ ෂරියා නීතියට අදාළ උලමාවරුන් බිහි කිරීම බවට සැක පහළ වන බවත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා දෙමළ සභාවෙන් කලකට පෙර දී කළ ප්‍රකාශයකින් ද ඒ බව තහවුරු වන බවත් ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දැක්වෙයි.

මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසා ඇති හෙයින් ඒ පිළිබඳ වාර්තාව ද ඉදිරි කාලයේ දී ලැබීමට නියමිතව ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි ෴

***************************************

‘‘අපිට පල්ලියෙන් ගෙයක් අරන් දුන්නා – රට ඉඳන් සල්ලි එවුවා අපි මුස්ලිම් ආගමට ආවා කියලා’’ සිංහල ගමක් මුස්ලිම් වුන හැටි බැලුම්ගලට හෙළිවෙයි

(25.06.2019 – nethgossip.lk)

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි රෙඩ්බානාගම නම් ගම්මානය මීට වසර 15 කට පමණ පෙර සිංහල බෞද්ධ ජනතාව ජීවත් වූ ගම්මානයක්. එහෙත් මේ වන විට එම ගම්මානයේ ජීවත් වූ සිංහල බෞද්ධ පවුල් 55 ක් පමණ ඉස්ලාම් ආගමට හැරී ඇති බව නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම සිදුකළ ගවේෂණයකදී අනාවරණය වුනා.

දැඩි ආර්ථික දුෂ්කරතා සහිතව ජීවත් වන එම ගම්වැසියන් ධීවර රැකියාව සහ කුලී වැඩ තම ජීවනෝපාය කරගනිමින් ජීවත් වන අතර ඔවුන් ඉස්ලාම් ආගමට බඳවා ගත් අවස්ථාවේදී නිවාස සහ තවත් වරප්‍රසාද ඔවුන්ට ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම ඔවුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ ‘‘අපිට පල්ලියෙන් ගෙයක් අරන් දුන්නා. රට ඉඳන් සල්ලි එවුවා අපි මුස්ලිම් ආගමට ආවා කියලා’’ යනුවෙන්. කෙසේ නමුත් ඉන් අනතුරුව පල්ලියෙන් කිසිඳු උපකාරයක් ඔවුන්ට සිදුකර නොමැති බවද නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම සිදුකළ ගවේෂණයේදී අනාවරණය වුනා.

මේ සම්බන්ධයෙන් නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම සිදුකළ රහසිගත පටිගතකිරීම් සහිත වීඩියෝව පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *