වෛද්‍ය සාෆි අධිකරණයට නඩුව අද (11) පස්වරුව දක්වා කල් යයි

(11.07.2019 – 11:13 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් අද අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව ඇති නඩුව පස්වරුව දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා නොමැතිවීම හේතුවෙන්.

කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් කාරියවසම් මහතා හමුවේ වෛද්‍ය සාෆිට එරෙහි නඩු විභාගය ඇරඹුණේ පෙරවරුවේයි.

ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක පෙනී සිටින බැවින් නඩුව කල් තබන ලෙස අගතියට පත් පාර්ශවයෙන් කළ ඉල්ලීමකට අනුවයි පස්වරු 1 දක්වා එය කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

රජයේ වෛද්‍ය නිලධාරීවරයාගේ නිරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබුණි.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියා.

මෙම සිද්ධියට අදාලව කරුණු ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මුල් අවස්ථාවේදී පැමිණියා නම් ඉතාමත් යහපත් බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් වූ රැඳවුම් නියෝග අවසන් කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාවරයද අද අධිකරණයට දැනුම්දීමට නියමිතයි.

එසේම වෛද්‍යවරයා සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු වඳභාවයට පත්වූ බව කියන කාන්තාවන් පිරිසකට සිදුකිරීමට නියමිත පැලෝපීය නාල පරීක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ මතය සහිත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මේ අතර කුරුණෑගල අධිකරණය තුල සහ ඉන් පිටත විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ.

සැකසහිත ආකාරයට වත්කම් ඉපයීම සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි කුරුණෑගල – නුවර පාරේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 24 වනදා රාත්‍රියේයි ෴

+++++++++++++++++++++

ෂාෆිගේ නඩුව පැවැත්වෙන කුරුණෑගල අධිකරණය අසල විරෝධතාවක්

(11.07.2019 – 12:03 +0530 – sinhala.adaderana.lk)

අද (11) දිනයේදී වෛද්‍ය ෂාෆි සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණය අසල සිංහලේ ජාතික සංවිධානයේ අද විරෝධතාවක් පවත්වා ඇත.

සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා ඇතුලු පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇත.

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ල වී ඇති, අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාග කෙරෙයි.

එහිදී මව්වරුන්ගේ පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි අද පෙරවරවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබුවේය.

නඩුව කැඳවුනු ලැබුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් කාරියවසම් මහතා ඉදිරියේයි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 27 වනදා අධිකරණය විසින් විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා‍දෙන ලද නියෝග අනුව සංකීර්ණ තත්ත්වයක් උදා වී ඇති බවයි.

ඒ අනුව බී වාර්තා ඉදිරිපත් කර අධිකරණයෙන් නිශ්චිත නියෝග කිහිපයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී ඇත.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුවට පෙනී සිටිය යුතුව තිබුණේ අද නොව මීට පෙර අවස්ථාවේදී බවයි.

කෙසේවෙතත් නඩුව වැඩිදුර සලකා බැලීම අද පස්වරු 01.00 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

+++++++++++++++++++++

සාෆිට විරෝධය පා කුරුණෑගල උද්ඝෝෂණයක්

(11.07.2019 – 13:16 +0530 – lankadeepa.lk)

වඳ සැත්කම් චෝදනාවට ලක්ව සිටින ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට සහ තවත් සිද්ධීන් කීපයකටම විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් අපේ ජනබල පක්ෂයේ මෙහෙයවීමෙන් අද (11) කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට දී පැවැත්විණි.

අපේ ජනබල පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් මහතාගේ මෙහෙයවීමෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

විරෝධතා පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් හඬ නගා විරෝධතා පාඨ කියමින් මෙම උද්ඝෝෂණය පවත්වන ලදී.

ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධ වඳසැත්කම් සිද්ධිය, රණවිරුවන් සිරගත කර සිටීම,වනාන්තර විනාශය, විශ්‍රාම වැටුප් විෂමතාවය ආදි කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

+++++++++++++++++++++

ෂාෆි යළි රිමාන්ඩ්

(11.07.2019 – 19:02 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කලේය.

කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා පැවසුවේ අයතා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනාවල බරපතලකම සහ මහජන කැලඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරන බවයි.

කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන් බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වු අගතියට පත් පාර්ශ්වය ඉල්ලා සිටියේ සැකකරු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බැවින් එම පරීක්ෂණ වෙනත් අංශයක් වෙත භාරදීමට පියවර ගන්නා ලෙසයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි අද දින කැඳවූ අතර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ෂාෆි වෛද්‍යවරයා ද අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේය.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන එම ත්‍රස්ත කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේ යැයි ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීමෙන් පසු ඊයේ ඔහුට එරෙහිව මාස තුනකට ලබාදී තිබූ රැඳවුම් නියෝගය අවලංගු කළ බවයි.

ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබූ අයථා වත්කම් චෝදනාව පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම අයථා ලෙස මුදල් උපයාගෙන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වන වැරදි සිදුකළ බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි කරුණු මේ දක්වා ඔහුට එරෙහිව ඉදිරිපත් වී නැති නමුත් තවදුරටත් විමර්ශන කරන බව ද ඔහු දැනුම් දුන්නේය.

ෂාෆි වෛද්‍යවරයා විසින් කුරුණෑගල රෝහලේදී සැක සහිත සිසේරියන් සැත්කම් සිදුකළ බවට මව්වරුන් 850 කට අධික පිරිසකගෙන් පැමිණිලි ලැබී ඇති අතර එම මව්වරුන්ගෙන් වෙන් වෙන්ව ප්‍රකාශ සටහන් කර, රෝහලේ ඇති ඇද ඉහපත් ලබාගෙන සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කළේය.

පසුගිය වසර කිහිපයේ එම රෝහලෙන් වෙනත් වෛද්‍යවරුන් වෙන් වෙන්ව සිදුකළ සිසේරියන් සැත්කම් පිළිබඳ වාර්තාගෙන ඒ වෛද්‍යවරුන් කරනු ලැබූ සැත්කම් ගැන සහ එහිදී ඇති වී ඇතැයි කියන සංකූලතා පිළිබඳ වාර්තාවක් සකස් කළ යුතු බවත්, ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ෂාෆි වෛද්‍යවරයාගෙන් සැත්කම් කර ගැනීමෙන් පසු වසර දෙකක් ඉක්මයනතුරුත්, දරුවන් නොමැති බවට පැමිණිලි කළ මව්වරුන් 147 දෙනා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ලබා දුන් උපදෙස් පරිදි SHG පරීක්ෂාවක් අනිවාර්යයෙන් සිදු කිරීම සඳහා නියෝගයක් කරන ලෙසත්, ඔහු ඉල්ලා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ වෛද්‍ය ෂාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි කිසිවෙකු විසින් ඉල්ලා අස්කර ගෙන ඇත්නම් එය ඉදිරි විමර්ශන කටයුතුවලට බාධාවක් බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ කිසිවෙකු මෙතෙක් එවැනි ඉල්ලා අස්කර ගැනීමක් සිදුකර නොමැති බවයි.‍

මේ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ගෙවුණු වසර 07 ක කාලය තුළ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් විසි දෙනෙකු විසින් සීසේරින් සැත්කම් 17,600 ක් සිදුකර ඇති අතර ඉන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් එනම් 4372 ක් වෛද්‍ය ෂාෆි විසින් සිදුකර ඇති බවයි.

මෙලෙස වැඩි සැත්කම් ප්‍රමාණයක් වෛද්‍ය ෂාෆි විසින් සිදු කර ඇත්තේ ඇයි දැයි සී.අයි.ඩී. පරීක්ෂණවල අවධානය යොමු වි නොමැති බව නීතිඥවරුන් පෙන්වා දුන්නේය.

එසේම පැලේපියනාලය තත්පර 10 ක කාලයක් සිරකරගෙන සිටීම එය විනාශ විමට ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මිනිත්තු ගණනක් එය සිරකරගෙන සිටීම අවශ්‍ය නොවන බවත්, ඒ පිළිබඳව නිසි විමර්ශනයක් කර නොමැති බවත් ඔවුන් කරුණු ගෙනහැර දක්වමින් කියා සිටියේය.

මේ අතර මව්වරුන් 147 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත SHG වෛද්‍ය පරීක්ෂණය සිදුකළ යුත්තේ කුමනාකාරයකින් ද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් පස් දෙනෙකුට නොඅඩු කණ්ඩායමක් විසින් නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

එසේම වෛද්‍ය මොහොමඩ් ෂාෆි කුරුණෑගල නගරය ආසන්නයේ රුපියල් කෝටි 4 කට ඉඩමක් මිලදී ගෙන ඇති බවත්, ඔහුගේ එම දේපල ඇතුළු කෝටි ගණනක් වටිනා දේපල රැසක් අඩුවෙන් තක්සේරු කර ඇති බවටත්, කරුණු හෙළි වී ඇතැයි අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ තමාට ද එම තක්සේරු කිරීම් පිළිබඳව ගැටලුවක් පවතින බවයි.

ඒ අනුව වෛද්‍ය මොහොමඩ් ෂාෆිගේ සියලු දේපල පිළිබඳව තක්සේරු වාර්තාවක් කැඳවන මෙන් රජය තක්සේරු දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවේය.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අගතියට පත් පුද්ගලයින් පිළිබඳ සි.අයි.ඩි. පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා ද සහභාගී කර ගැනීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී ඔවුන් ඉල්ලා සිටියේ සී.අයි.ඩි.යේ වෙනත් නිලධාරීන් කණ්ඩායම් ඉදිරි පරීක්ෂණ සඳහා ලබාදීමට කටයුතු කරන ලෙසයි.

+++++++++++++++++++++

ෂාෆිට එරෙහිව මව්වරු සමඟ රතන හිමිත් පා ගමනක

(11.07.2019 – 18:37 +0530 – sinhala.adaderana.lk)

ෂාෆි වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් සිදුකරගත් මව්වරුන් රැසක් අද (11) දින අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගේ පා ගමන ආරම්භ වූයේ කුරුණෑගල ඇත්කඳ විහාරය අසලිනි.

මෙම පා ගමනට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඊට එක්ව සිටියේය.

එහිදී අදහස් දක්වමින් රතන හිමි ප්‍රකාශ කළ සිටියේ මෙම වෛද්‍යවරයා සහරාන්ට වඩා දරුණු අපරාධකාරයෙකු නමුත් මේ පිළිබඳව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සාධාරණ මැදිහත්වීමක් සිදු නොකළ බවත්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පෙනී සිටින්නේ ෂාෆි වෛද්‍යවරයා වෙනුවෙන් බවත් ඔහුට විරුද්ධ ප්‍රමාණවත් සාක්ෂි ප්‍රමාණවත් තරම් තිබියදීත් මෙම සිදුවීම යටපත් කර ෂාෆි වෛද්‍යවරයා නිදොස් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් රතන හිමි ප්‍රකාශ කලේය.

පා ගමනින් ආ පිරිස ෂාෆි වෛද්‍යවරයාට එරෙහි නඩු විභාගය ආරම්භ වන අවස්ථාව වන විට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය වෙත ළඟා වුණි ෴

+++++++++++++++++++++

කුරුණෑගල වෛද්‍ය සාෆි රිමාන්ඩ්

(11.07.2019 – 18:25 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළා.

රැඳවුම් නියෝග යටතේ රහස් පොලිසිය භාරයේ පසු වූ වෛද්‍යවරයා අද අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් රඳවාගෙන සිටියද, එම පනත යටතේ වරදක් කර ඇතැයි මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

වෛද්‍යවරයා විසින් වඳ භාවයට පත්කළ බව පවසමින් පැමිණිලි කළ කාන්තාවන් 143 දෙනෙකු එස්.එච්.කේ. පරීක්ෂණයකට ලක් කිරීමට අවසර ලබාදෙන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහිදී වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ කාන්තාවන් අදාළ පරීක්ෂණයට යොමු කිරීම පිළිබඳව තමන්ද එකඟ වන බවයි.

එහෙත් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ලම අසත්‍ය බවද ඔවුන් ප්‍රකාශ කළා. අදාළ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ වෛද්‍යවරයාගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඉඩම්වල වර්තමාන වටිනාකම පොලිසිය ඉදිරිපත් කර නොමැති බවයි.

බැංකු දෙකක ගිණුම් පිළිබඳ විමර්ශනයක් සිදුකර නොමැති බව ප්‍රකාශ කළ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් එක්තරා බැංකුවකට සාෆි නමින් මිලියන 115 ක මුදලක් හුවමාරු වී ඇති බවද පෙන්වා දුන්නා.

සියළු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට ඇප ලබාදෙනවාද නැද්ද යන තීන්දුව පස්වරු 5.30 ට ලබාදෙන බවයි සඳහන් කළේ.

ඒ අනුව එම වේලාවට නඩුව කැඳවූ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් නියෝග කළේ සැකකරු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

මේ අතර, වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරු සම්පත් අහිමි වූ මව්වරුන් 500 දෙනෙකු අද පෙරවරුවේ කුරුණෑගල – ඇත්කඳ රජමහා විහාරයට එක් රැස්ව සිටියා.

අනතුරුව භික්ෂුන් වහන්සේ සහ මව්වරුන් පාගමනින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපිටට පැමිණි බවයි එහි සිටි හිරු වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට අපේ ජනබල පක්ෂය අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වූයේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින්.

+++++++++++++++++++++

රතන හිමිගෙන් චෝදනාවක්

(13.07.2019 – 20:48 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් පිළිබඳව අධිකරණයට කරුණූ වාර්තා කිරීමේදී ඔහුට පක්ෂපාතී ලෙස කටයුතු කර ඇති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ කුරුණෑගලදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව සඳහන් කළ අතර ඊට වෛද්‍ය සාෆි හේතුවෙන් අගතියට පත් මව්වරුන් වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥයින් කිහිප දෙනෙකුද එක්ව සිටියා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

සාෆි සම්බන්ධයෙන් CID එක අධිකරණයට කොළේ වහනවා

(16.07.2019 – mawbima.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් පිළිබඳ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී ඔහුට පක්‍ෂපාතී ලෙස කටයුතු කර ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී කොළේ වසා ගසා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ සිසේරියන් සැත්කම්වලින් අගතියට පත් මවුවරුන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් කිහිපදෙනකු සමඟ පසුගිය 13 වැනිදා කුරුණෑගල ඇත්කඳ රජමහ විහාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ අතුරලියේ රතන හිමියෝ,

“වෛද්‍ය සාෆි දේපළ සම්බන්ධයෙන් ඔහු සම්පූර්ණයෙන්ම සුද්ද කරලා නිර්දෝශී කරලා තියෙනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එවැනි දේපළක් නැති බව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. මේක ඇත්තටම රටේ ජනතාවට කරපු සාහසික අපරාධයක්.

පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ මහජනයාගේ සල්ලිවලින් යැපෙන ආයතනයක්. ඒ ආයතනය බලාකියා ගන්නේ, නඩත්තු කරන්නේ අපි. රටේ අපරාධයක් වුණොත් ඒක හෙළි කරන එක ඒ ආයතනයේ වගකීමක්. එහෙම අපරාධයක් සිදුවූ විට ඒ වුණු අපරාධය ඒ ආයතනය විසින් වහලා දානවා නම් ඒක ඉතා බරපතළ ප්‍රශ්නයක්.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ත්‍රස්තවාදය යටතේ සහරාන් සහ ඔහුගේ කල්ලියට තියෙන සම්බන්ධකම් නොවේ හොයන්න තිබුණේ. මේ අපරාධය සම්බන්ධයෙනුයි හොයන්න තිබුණේ. ‘ඇල් ඇෂෝෂියේෂන් ග්‍රාන් ප්‍රයිවට් ලිමිටඩ්’ කියලා ආයතනයක් තියෙනවා. මේක සෞදි අරාබියානු ආයතනයක්. මේකට සල්ලි එන්නේ සෞදි අරාබියෙන්. මේ එවපු සල්ලි ගැන හෙව්වද? මොනවා නිසාද මොවුන්ට සල්ලි එවලා තියෙන්නේ. ඒවා පිළිබඳ කිසිම වාර්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නෑ. ඒ නිසයි මම කියන්නේ මේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළේ වහලා ගැහීමක් කියලා.

අගතියට පත් මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සමන් බණ්ඩාර දිසානායක මහතා කරුණු ඉදිරිපත් කරමින්,

අධිකරණයට කරුණු ඉදිරිපත් කරන කොට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කරලා තියෙන්නේ කොළේ වහලා ගැහීමක් තමා. නීතිපතිතුමාට අපි කියනවා වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ දේපළ සම්බන්ධයෙන් කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාව සලකලා බලන්න කියලා.

නඩුව කැඳවපු පළමු අවස්ථාවේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග ලබාදුන්නා සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් තියෙන ගිණුම් වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. නමුත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කිසිදු වේලාවක ඒ වාර්තාව ඉදිරිපත් කළේ නෑ. සාෆි ෂිහාබ්දීන් අරාබි ජාතිකයෙක්, ඉන්දියානු ජාතිකයෙක් හා ලංකාවේ තවත් දෙන්නෙක් සමග එකතු වෙලා විශාල සමාගමක් ආරම්භ කරලා තියෙනවා. ඒ සමාගමට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ සෞදි අරාබියෙන්. මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කතා කරන්නේ නෑ. ඒ ගැන ඔවුන් නිහඬයි. කුරුණෑගල නගරය මැද තියෙන ‘රියෝ බාර්’ කියන දේපළ ඔහු මිලදී ගත්තේ කෝටි 13 කට. මේ දේපළ සම්බන්ධයෙන් හවුල්කරුවන් පිළිබඳ විස්තර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන නෑ. තව අපි දේපළ 07 ක් පිළිබඳ හෙළි කිරීමක් කළා. ඒ පිළිබඳවත් කිසිම තොරතුරක් හොයාගෙන නෑ. ඇමැති රිෂාඩ් බදියුදීන්ට පස්සේ විශාල දේපළක් හා විශාල මුදලක් තියෙන තැනැත්තා සාෆි ෂිහාබ්දීන්.”

එහිදී අදහස් දැක්වූ නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා,

“සාෆි ෂිහාබ්දීන් විසින් කෝටි එකහමාරකට අරන් තියෙනවා කුරුණෑගල – නුවර පාරේ රසායනාගාරයක්. ඒක ගත්තේ කෝටි එකහමාරකට වුණාට ඒ වගේ විසි ගුණයකටත් වැඩියි වටිනාකම. තවත් ඔප්පුවක් තියෙනවා වටිනාකම දාලා තියෙන්නේ ලක්‍ෂ 10 යි. ඉඩම පර්චස් 02 යි. ඒ ඉඩමේ පර්චස 01 ක් රුපියල් ලක්‍ෂ 30 කට වඩා වටිනවා. මේ වගේ ඔප්පු විශාල ප්‍රමාණයක් අපි සතුව තියෙනවා.

අවුරුදු 14 ක් වෛද්‍ය වෘත්තිය කරපු කෙනකුට තියා මහ පරිමාණයෙන් කුඩු ජාවාරම් කරපු කෙනකුටවත් මේ තරම් විශාල මුදලක් උපයාගන්න බැහැ. ඒ නිසයි මම කියන්නේ රිෂාඩ් බදියුදීන්ට පස්සේ ලංකාවේ විශාලම දේපළ තියෙන්නේ වෛද්‍ය සාෆිට බව. නමුත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කිසිදු විමර්ශනයක් කර නැහැ. වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට අයිති බැංකු ගිණුම්වලින් ගිණුම් 02 ක් අප හොයා ගත්තා. ඒ ගිණුම්වලට ගණින්න බැරි තරම් මුදල් ලැබිලා තියෙනවා.”

+++++++++++++++++++++

සාෆි ගැන පරීක්ෂණයක් කරන්නැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දන්වයි

(17.07.2019 – 22:28 +0530 – lankadeepa.lk)

කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර නිසි අයුරින් පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලිඛිතව දන්වා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා ඇතුළු නීතිඥයින් පිරිසක් මෙන්ම එලෙස අගතියට පත් පිරිස් ජාතික පොලිස් කොමිසමට කරන ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් එම කොමිසම වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට යොමුකරන ලද ලිපියක් අනුව විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාට ඒ බව දන්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඕ.පී ලක්ෂ්මන් මහතා වැඩ බලන පොලිස්පතිවරයාට යෙමු කරන ලද එම ලිපියේ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය යටතේ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර එම විමර්ශන කටයුතු සිදුකරන ලෙසද දන්වා ඇතැයි පැවාසේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී සිදු කෙරුණ සැත්කම් වලදී මව්වරුන් වද භාවයට පත් කළැයි කියන සිද්ධියකට වෛද්‍ය සාෆි 1978 අංක 49 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඉකුත් මැයි මස 27 අත් අඩංගුවට ගත් අතර ඉකුත් 11 වැනිදින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුය මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය ෴

+++++++++++++++++++++

ෂාෆි සිසේරියන් කළ බව කියන කිසිදු මවක් වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණ නෑ

(18.07.2019 – 19:04 +0530 – sinhala.adaderana.lk)

මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට චෝදනා එල්ල කරන මව්වරුන්ට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම සඳහා කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල සහ ද සොයිසා කාන්තා රෝහල සූදානම් කර තිබුණද මෙතෙක් කිසිදු මවක් ඒ සඳහා පැමිණ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් වනද්‍යකරණයට ලක්වූ මව්වරුන් වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව අද මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම වෛද්‍ය පරීක්ෂණවලට සහභාගී නොවීමට හේතු පැහැදිලි කළේය.

මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ මෙම පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවන අතර කාසල් වීදියේ කාන්තා රෝහල සහ ද සොයිසා කාන්තා රෝහල සූදානම් කර තිබුණද මෙතෙක් කිසිදු මවක් ඒ සඳහා පැමිණ නොමැති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ සම්බන්ධව පක්ෂපාති වී ඇති බවත් ඔහුගේ කමිටුවලින් වෛද්‍ය ෂාෆිටවත් සාධාරණයක් ඉටුවෙයිද කියලා ජනතාවට සැක සහිත බවයි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා පැවසුවේ SHG පරීක්ෂණය මඟින් පැලෝපීය නාල අවහිරයක් නැති බවට ඔප්පු වන බවත් ඒ නිසා තමන් විසින් එය සිදු කිරීම ප්‍රතික්ෂේප කළ බවත්ය.

“සාමාන්‍ය එක්ස් – රේ එකකට වඩා පනස් ගුණයක් ප්‍රභලයි. පිළිකා සහ ඩිම්බ කෝෂවලට හානිවෙන්න පුළුවන්. මව්වරුන්ට මේ පරීක්ෂණය හානිදායකයි.”යනුවෙන් ඒ මහතා පැවසීය.

+++++++++++++++++++++

අම්මලා දන්නේ නෑ ගර්භාෂයේ හානි වුණ කොටස් – සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාව නොමඟ යවනවා

(20.07.2019 – 20:41 +0530 – sinhala.adaderana.lk)

වන්ද්‍යාකරණයට ලක් කර ඇතැයි චෝදනා කළ කිසිදු මවක් මේ වන තෙක් කොළඹ කාසල් රෝහලට හෝ සොයිසා කාන්තා රෝහලට පැමිණ නියමිත පරීක්ෂාව සිදුකරගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ප්‍රකාශ කිරීම ජනතාව නොමග යැවීමක් බව වන්ද්‍යාකරණයට ලක්ව ඇති මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පවසයි.

කෙසේ වෙතත් අද (20) පැවති මාධ්‍ය හමුවදී නීතීඥවරා පෙන්වා දුන්නේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් එම කොළඹ කාසල් හා සොයිසා කාන්තා රෝහල්වල සිදුකරන HSG පරීක්ෂණ මේවනවිට අත්හිටුවා ඇති බවයි.

ලීගල් ඇක්ෂන් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ චාරක අබේවික්‍රම මහතා මේ පිළිබඳව පහත පරිදි අදහස් දැක්වීය.

“මව්වරුන් දන්නේ නෑ ගර්භාෂය ආශ්‍රිත පද්ධතියේ කුමන කොටසටද හානි සිදුවෙලා තියෙන්නේ කියලා – ප්‍රධාන වශයෙන් ගර්භාෂය, පැලෝපීය නාලය, ඩිම්බ කෝෂය. මේ අංගයන් තුනේ ඕනෑම තැනකට හානි කර මව්වරු වන්ද්‍යාකරණය කළ හැකියි.

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාගේ විමර්ශන අතුරු වාර්තාවේ පැහැදිලිව දක්වා තිබෙනවා මෙය HSG පරීක්ෂණයෙන් පමණක් සොයාගත හැකි තත්ත්වයක් නොවන බව.

මේ සඳහා ඔහුගේ නිර්දේශය වුණේ නවීන තාක්ෂණයෙන් මුළු පද්ධතියම පරීක්ෂා කිරීමයි.

ඒ අනුව මුල් අවධියේම HSG පරීක්ෂණය නවත්වන්න මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අපට සැකයක් මතු වුණා මෙම අපරාධය සිදු වී ඇත්තේ පැලෝපීය නාලය හරහා නොවන බවට.

මහේස්ත්‍රාත්වරා CID යට නියෝග කළාවිශේෂඥ කමිටුවේ ක්‍රියාකාරීත්වය නවත්වන්න.

අධිකරණයට උපදෙස් ලබා දීමට කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති නියෝග කළා මහාචාර්යවරු 5කගෙන් සමන්විත කමිටුවකින්මේ ගැන තීරණ ගත යුතු බව.

මේ කාරණාව හරිහැටි නොදැන සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ජනතාව නොමග යවනවා.”

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • කොයි විදිහට අර්ථකතනය කලත් අධිකරණයට අනිසි බලපෑමක් තමයි මේ සිදුවෙන්නේ. නීතිය නිසිලෙස ක්‍රියාත්මක කරන්න අධිකරණයට පෙළපාලියෙන් ගිහින් කියන්න ඕනේ නැහැ. පෙළපාලියෙන් යන අය කියන්නේ එයාලට ඕනේ තීන්දුව දෙන්න කියලා.
    අධිකරණයේ නඩු අහන්න කලින් එයාල නඩුඅහලා වැරදිකාරයා කවුද කියල තීරණය කරලයි තියෙන්නේ.
    මේ පෙළපාලිය සංවිධානය කරපු අයත් එයට සහභාගි උන අයත් කරන්නේ අධිකරණයට අභියෝග කිරීමක්; විනිශ්චය කරුවන්ට අනිසි බලපෑමක්; අනවශ්‍ය පීඩනයක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *