පිනා සහ ගුරා පාසල් සිසුවෙකුට පහර දෙයි කලිසම ඉරාදමයි

(27.07.2019 – 19:22 +0530 – sinhala.adaderana.lk)

විදුහල්පති හා ගුරුවරු එක්ව පාසල් සිසුවෙකුට කලිසම ඉරා පහර දීලා

විදුහල්පතිවරයා සහ ගුරුවරුන් විසින් තම කලිසම ඉරා පහරදුන් බව පවසමින් සිසුවෙකු ඉංගිරිය රෝහලට ඇතුළත් කර ඇත.

සිසුවාගේ මව පවසන්නේ අලුතින් කලිසමක් මැසීමට වත්කමක් නොතිබුණු නිසා දරුවාට පරණ කලිසම ඇඳගෙන පාසලට යාමට සිදු වූ බවයි.

හොරණ ප්‍රදේශයේ එක්තරා පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දී තිබුණි.

විදුහල්පතිවරයා සහ පංතිභාර ගුරුවරයා එම සිසුවාට ඊයේ මෙලෙස පහර දී ඇත්තේ ඇඟට තද වූ කලිසමක් ඇඳගෙන ආ බවට පවසමිනි.

ඉන් නොනැවතුණු ගුරුවරුන් සිසුවාගේ කලිසම ඉරා දමා ඇත.

ඉන් පසුව අදාළ සිසුවා ඉංගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණි.

“මම කකා ඉද්දි මාව නැගිට්ටලා ලොකු සර් මගේ මෙතනට ගැහුවා.

ඊට පස්සේ එළියට ඇදගෙන ඇවිත් ආයේ ගැහුවා.

හිරිවැටුණත් එක්ක. මගේ කලිසම හිරයි. යාලුවෙක් කලිසමක් දුන්නා.

පෙරේදා ඒක ඇඳගෙන ගියා.

මුකුත් කිව්වේ නැහැ. ඊයේ ඇඳගෙන ගියාම මට ලොකු සර් ගැහුවා.

අජිත් සර් ගැහුවේ කොන්දට. දැන් මගේ මේ බෙල්ල හරවන්න බැහැ. රිදෙනවා.”යනුවෙන් පහරකෑමට ලක්වු සිසුවා ප්‍රකාශ කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට අප විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධ කරගත්ත ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

විනයගරුක දරුවෙක් රටට දායාද කිරීමට පාසැල් ගුරුවරුන් ගන්නා පියවර අප කිසිම අවස්ථාවක අභියෝගයට ලක් කරන්නේ නැත.

නමුත් ගැටලු හඳුනානොගෙන සීමාව ඉක්මවා පියවර ගැනීම පාසැල් දරුවන්ට ඔරොත්තු නොදෙන බවට ගුරුවරුන් ද අවබෝධ කරගත යුතු කරුණක්.

*****************************************

දුම්රිය හරස් මාර්ගයකදී අනතුරක් – අයෙක් මරුට

(27.07.2019 – 11:05 +0530 – sinhala.adaderana.lk)

කළුතර උතුර, නාගස්හංදිය දුම්රිය හරස් මාර්ගයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

ත්‍රිරෝද රථයක්, කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු සාගරිකා දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු සහ පසුපස අසුනේ ගමන් ගත් පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන්ගත් පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි කළුතර උතුර, විලේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

++++++++++++++++++++++++

*****************************************

1) පෙඩරල් රට සහ සිංහල බිල්ලෝ.. 2) ක්ලෙමන්ට් ආවේ ‘බුලත්මද කන්නේ. සුරුට්ටුද බොන්නේ. මෙහෙත් හරි වැස්ස. එහෙත් හෙම වෙන්නැ’ අහන්නද ? – උදය ගම්මන්පිල

(27.07.2019 – 16:40 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද කතාවක් මෙහි දැක්වෙයි :

පෙඩරල් රට සහ සිංහල බිල්ලෝ

2015 වසර වන විට උතුරු වසන්තයෙන්, නැඟෙනහිර නවෝදයෙන් පිබිදුණු දෙමළ ජනතාවක් තමයි උතුරු නැගෙනහිර ප්‍රදේශවල හිටියේ. මහා මාර්ග ඇල මාර්ග පාසැල් ගොඩනැගිලි රෝහල් ඉදිවුණා. ගොවියට ගොවි උපකරණ ධීවරයන්ට ධීවර ආම්පන්නත් ලැබුණා. අනාගතය පිලිබඳ සුභවාදී බලාපොරොත්තුවක් ඇතිවී තිබුණා. ඒ සියල්ලටම වඩා උතුරේ ජනතාවට ජීවත්වීමේ අයිතිය ලැබුණා, ඡන්දය දීලා ගෙදර යද්දි අත කපා ගන්නෙ නැති අයිතිය ලැබුණා. පවතින පාලනය විවේචනය කරලා හිසට වෙඩි නොවැදී සිටීමේ අයිතිය තිබුණා. මෙවැනි සුන්දර පරිසරයක් උතුරු-නැගෙනහිර නිර්මාණය වුණා විතරක් නොවෙයි අනික් පලාත්වල ජනතාවට ලැබී තිබුණු පළාත් සභාව කියන ආයතනය ඔවුන්ටද ලබා ගන්නට හැකි වුණා. නමුත් 2015 ජනාධිපතිවරණය එන විට දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව නොමඟ යවලා හංසයාට කතිරෙ ගහලා උතුරේ ඇතිවුණු සංවර්ධනයත් ප්‍රජාතන්ත්‍රවාදයක් පොඩිපට්ටම් කර දැමීමට කටයුතු කලා.

දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අවුරුදු පහක් කොළඹ සැපට ඉන්නවා. ලෝකය පුරා සවාරි ගසමින් දෙමළ ජනතාවගේ දුක විකුණනවා. ඡන්දෙ කාලෙට දෙමළ ජනතාව ගාවට ගිහිල්ලා සිංහල බිල්ලෙක් මවල පෙඩරල් රටක් ගැන දෙමල රටක් ගැන සිහිනයක් විකුණල දෙමළ ජනතාව රවට්ටලා දෙමළ ජනතාවගේ ඡන්දය ගන්නවා. අහිංසක දෙමළ ජනතාවත් රැවටිලා ඡන්දය දෙනවා. ඉන්පස්සෙ මේ නායකයෝ ආයෙත් අතුරුදහන් වෙනවා.

2013 පළාත් සභා මැතිවරණයේදී උතුරේ ජනතාව ගෙඩිය පිටින් ඡන්දය දුන්නේ දෙමළ ජාතික සන්ධානයට. 1987 දී පළාත් සභා දිනා ගැනීමට දෙමළ ජනතාව ජීවිත පූජා කරලා සටන් කරලා, බලය බෙදුවොත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳෙනවා කියන මිථ්‍යාවට රැවටිලා බොහොම බලාපොරොත්තු තියාගෙන තමයි හිටියෙ. ඕස්ට්‍රේලියානු රූපවාහිනියක් දෙමළ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ කාරිනියක් සමග කළ සාකච්ඡාවකදී ඇය කියනවා කොළඹ නගරයේ පාසැල් වල තියෙනවා පිහිනුම් තටාක. අපේ පංතිකාමර වැසි දිනවල පිහිනුම් තටාක බවට පත්වෙනවා. අපේ දෙමළ රටකින් තොර අපට අස්වැසිල්ලක් නැහැ. ඒ නිසා මගේ ජීවිතය දෙමළ ඊළාම් අරගලය වෙනුවෙන් පූජා කිරීමට තීරණය කළා කියලා. කොළඹ පාසල් කිහිපයකට පමණක් පිහිනුම් තටාක තිබියදී ඇයගේ පාසලේ ඉරණම මොනරාගල පොළොන්නරුව හම්බන්තොට පාසැල්වල දරුවන්ටත් එදා තිබුණු බව මෙම දියණියට මෙම දෙමළ නායකයන් බෙදුම්වාදි විෂබීජය පොවන අවස්ථාවේදී කියලා තිබුණේ නැහැ.

බලය බෙදීමෙන් ප්‍රශ්න විසඳුනා ද ?

මෙදා පළාත් සභා දිනාගත්තාම දෙමළ ජනතාවට මහා ලොකු බලාපොරොත්තුවක් ආවා දැන් අපේ ප්‍රශ්න විසඳෙයි කියලා. මොකද බලය බෙදුනම ප්‍රශ්න විසදෙනවා කියලා නේ නායකයෝ කියලා දීලා තියෙන්නේ. ඒ මදිවට නීති විශාරදයෙක් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙක් වන විග්නේෂ්වරන් මැතිතුමා උතුරේ මහ ඇමැති ධුරයට පත්කළා දෙමළ ජාතික සන්ධානයෙන්. මෙන්න දෙමළ ජනතාවගේ බලාපොරොත්තු තවත් ඉහළ නැංවුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා පනතින් දීලා තියෙන බලතල උපරිමයට ප්‍රයෝජනයට අරගෙන අපට විශාල වැඩ කොටසක් කරාවි කියලා දෙමළ ජනතාව හිතුවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම වැදගත් විෂයන් 36 ක බලය පළාත් සභාවට ලබා දීලා තියෙනවා. අධ්‍යාපන සෞඛ්‍ය මහමාර්ග කෘෂිකර්මය කර්මාන්ත ධීවර වැනි වැදගත් විෂයන් ගණනාවක් ඒ අතර තිබෙනවා. මෙම විෂයන්ගෙන් විශාල සේවයක් ජනතාවට කළ හැකි. අප මේ පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ, කොළඹ දිස්ත්‍රික් ජනතාව අපව පත් කරලා එව්වෙ, පළාත් අමාත්‍යවරුන් විදිහට අප කළ සේවය නිසයි. නමුත් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් බලයට පැමිණ මොකද කලේ. අර විෂයන් 36 ට අත ගැහුවේ නැහැ. ඒ සඳහා ලැබුණු අරමුදල් ප්‍රයෝජනයට ගත්තෙත් නැහැ. උතුරේම මන්ත්‍රිවරුන් චෝදනා නගන්නට ගත්තා අධ්‍යාපනයට වෙන් කරලා උතුරු පළාත් සභාවට යවපු මුදල් ප්‍රයෝජනයට නොගෙන ආපසු හරවා එවනවා කියලා. වසර පහක් තිස්සේ තමන්ට අයිති නැති විෂයයන් පිළිබඳව යෝජනා සම්මත කරමින් පළාත් සභාව කාලය නාස්ති කළා. ජාත්‍යන්තර සබඳතා, මානව හිමිකම්, බලය බෙදීම – මේවා ගැන තමයි අවුරුදු 5 ක් තිස්සේ පළාත් සභාව යෝජනා කරමින් කාලය නාස්ති කරලා පළාත් සභාව පුස්සක් බවට පත් කළේ.

2017 සැප්තැම්බර් මාසයේ නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරෙනවා. 2018 සැප්තැම්බර් මාසයේ උතුරු පළාත් සභාව විසුරුවා හැරෙනවා. මේ පළාත් සභාවලින් බලය බෙදා හැරීමෙන් දෙමළ ජනතාවට යහපතක් සිද්ධ වුණා නම් මේ වන විට දෙමළ ජනතාව පාරට බැහැලා කෑ ගහලා කියන්න අවශ්‍යයි පළාත් සභා අපට දියව් කියලා. අපේ අහිමි කළ පළාත් සභා නොමැතිව අපට ඉන්නට බැහැ කියලා. නමුත් උතුරු පළාතේ පළාත් සභා ඡන්දය තියමු කියලා උද්ඝෝෂණයක් තබා පෙළපාළියක් තබා නිකම්ම නිකම් කෙඳිරියක් වත් එන්නේ නැහැ. ඒ ඇයි. උතුරු පළාතේ ජනතාවට පළාත් සභා තිබුණත් එකයි නැතත් එකයි නිසා. බලය බෙදුවත් එකයි, නැතත් එකයි නිසා. බලය බෙදුවහම දේශපාලකයන්ට නම් බලය ලැබෙනවා. උතුරේ දේශපාලකයන්ට බලවත් වෙන්න විතරක් නෙවෙයි ධනවත් වෙන්නත් අවස්ථාව ලැබෙනවා. නමුත් අහිංසක දෙමළ ජනතාවට ඒකෙන් ලැබෙන දෙයක් නැහැ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් නියෝජනය කරන්නේ උතුරු නැගෙනහිර ජීවත් වන අහිංසක දෙමළ ජනතාව නෙවෙයි. පිටරට ඉන්න සැපට ජීවත් වෙන දෙමළ ජනතාවයි. ඒ අය කාලා බීලා ඉවර වෙලා ඉතුරු වෙලා තියන සල්ලි වලින් විනෝදාංශයට කරන දෙය තමයි දෙමළ බෙදුම්වාදයට සහාය දැක්වීම. ඒ නිසා අද දෙමළ බෙදුම්වාදය පෝෂණය කිරීමට අරමුදල් එවන පිටරට සිටින දෙමළ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිනවා මිසක උතුරේ සිටින අහිංසක දෙමළ ජනතාව වෙනුවෙන් මේ අය පෙනී සිටින්නේ නැහැ.

මේක භයානක ක්‍රීඩාවක්. බලය බෙදීමේ මිත්‍යාව අරගෙන දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට කරමින් මේ අය අද උත්සාහ දරන්නේ මිනී කඳු මතින් ලේ ගංගා ගලන මූසල ප්‍රදේශ බවට උතුරු නැගෙනහිර පළාත් පත් කරන්නටයි. ඒ නිසා අපි දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටිනවා අවුරුදු හැත්තෑවක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව රවට්ටපු ඒ සටන් පාඨය විසි කරලා දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න අතට අරං සංවර්ධනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අරුනළු උතුරු පළාතට අරගෙන යන්න කියලා.

ක්ලෙමන්ට් ආවේ ‘බුලත්මද කන්නේ. සුරුට්ටුද බොන්නේ. මෙහෙත් හරි වැස්ස. එහෙත් හෙම වෙන්නැ’ අහන්නද ?

ඒ වගේම ගරු විදේශ අමාත්‍යතුමා මේ ගරු සභාවේ දී එක්සත් ජාතීන්ගේ රැස්වීමේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමනට් නියලෙට් සෝෂි ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. මේ කරුණු සමග අපට එකඟ වන්නට බැහැ. ලෝකය සමඟ ආණ්ඩුව ගනුදෙනු සිදුකරන දොරටුව තමයි විදේශ අමාත්‍යංශය. මේ දොරටුව තියෙන්නෙ රට ඇතුලට – ගේ ඇතුලට ආලෝකය සිසිලස ගෙන එන්නට මිස සුළිසුළං ගෙට අරන් ගේ ඇතුලේ තියෙන බඩු මුට්ටු විනාශ කරගන්නට නොවේ. ඒ නිසා සුළිසුළං එන විට දොර වසා දැමීමේ වගකීම තියෙන්නෙ විදේශ අමාත්‍යාංශයේ බලධාරීන්ටයි. ඔවුන් ඒ වගකීම ඉටු කළාද ? ක්ලෙමන්ට් නියලෙක්සි අසවල් නඩු පිළිබඳව තොරතුරු අසාවි කියලා නඩු තුනක් පිළිබඳව විදේශ අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දෙනවා 2019.07.09 දින දරන ලිපියකින්. මේකෙදි කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් හමුවිය යුතුයි කියලා ඉල්ලීමක් කරනවා. ක්ලෙමන්ට් විනිසුරුවරුන් හමුවන්නේ මොකටද?. ‘බුලත් විට ද කන්නේ. සුරුට්ටුද බොන්නේ. එහෙත් හරි වැස්ස මෙහෙත් හරි වැස්ස’ කියන්නද ? නැහැ. අර කලින් සඳහන් කළ නඩු ගැන කතා කරන්නට. ඒ නිසා විදේශ අමාත්‍යාංශයට යුතුකමක් තිබුණා ‘අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) වගන්තිය යටතේ අධිකරණයට මැදිහත්වීම සිර දඬුවම් ලැබිය හැකි වරදක්; ඒ නිසා ඔබට එයට අවස්ථාව ලබාදෙන්නට බෑ’ කියන එක ක්ලෙමන්ට දැනුම් දෙන්න. ඒ වගකීම ඉටු කලේ නැහැ. ඒ වෙනුවට විදේශ කටයුතු අමාත්‍යවරයා එය සාධාරණීකරණය කරන්නට උත්සාහ කරන්නේ මෙය 2015 සිට අට වතාවක් වුණා කියලයි. අට වතාවක් නෙවෙයි 800 වතාවක් කළත් වැරැද්ද වැරැද්දමයි කියන එක අප විදේශ අමාත්‍යතුමන්ට සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

*****************************************

‘1990 සුවසැරිය’ට වසර තුනයි… දෙලක්ෂ දාහත් දාහක් රෝහල් ගත කරයි…

(27.07.2019 – 17:30 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවය විප්ලවීය මාවතකට රැගෙන ගිය 1990 සුවසැරිය ගිලන් රථ සේවය අද (27) සිය තුන්වන උපන්දිනය එම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය.

මෙම අවස්ථාවට සුවසැරිය ගිලන් රථයක ඉපදුණු මුල්ම දරුවා වූ මාතර තෙලිජ්ජවිල ජී.පී. යසිරු නෙල්ෂාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ද සහභාගී වූ අතර යසිරුගේ තුන්වන උපන් දිනය මෙහිදී උත්කර්ශවත් අයුරින් සැමරීමද කැපී පෙනුණි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ගතවූ වසර තුනක කාලය තුළදී සුවසැරිය මගින් පුද්ගලයින් දෙලක්ෂ දාහත් දාහක් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙන බවයි.

“මෙම ගණන සාමාන්‍ය අගයක් විදිහට බැලුවොත් මේ වසර 03 තුළ සෑම දිනයකම අපි පුද්ගලයින් 200 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙනවා. මෙම ප්‍රමාණය මේ වනවිට දිනකට 700 ක් දක්වා වැඩිවී තිබෙනවා. 1990 සුවසැරිය තමයි මේ වනවිට ශ්‍රී ලංකාවේ තිබෙන වඩාත්ම කාර්යක්ෂම රාජ්‍ය සේවාව. ලංකාවේ කොහේ හිටියත් අපි රෝගියෙකු වෙත විනාඩි 12 කට අඩු කාලයකදී ඇවිල්ලා තිබෙනවා. මේ වේගය මාර්ග අපහසුතා අඩු නාගරික ප්‍රදේශවල මීටත් වඩා වැඩියි.”

“එදා මෙම සේවාව ආරම්භ කරන කොට අපි විශාල අභියෝග වලට මුහුණ දුන්නා. එම අභියෝග ජයගනිමින් අපි පැමිණි මාවත දෙස බලන විට මා අතිශය සතුටු වෙනවා. සුවසැරිය කියන්නේ පොදු මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සේවාවක්. එදා සල්ලි තිබෙන අයට පමණයි ගිලන් රථයකින් ගිහින් රෝහලකට ඇතුළත් වෙන්න පුළුවන් වුණේ. අද ලංකාවේ ඕනම කෙනෙකුට එම අවස්ථාව තිබෙනවා.”

සුවසැරිය කාර්ය මණ්ඩලයට ස්වේච්ඡාවෙන් නායකත්වය දෙන දුමින්ද්‍ර රත්නායක මහතාටත්, අධ්‍යක්ෂ මණ්ඩලයටත් කාර්ය මණ්ඩලයේ සියළුම දෙනාටත් මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විශේෂ ස්තූතියක් පුද කළේය.

– ගයාන් චතුරංග

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *