වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් හයදෙනෙක් (06) මරුට – 52 ක් රෝහලේ

(04.08.2019 – 06:39 +0530 – sinhala.adaderana.lk)

වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් ඇත.

මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වන බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් තවත් පුද්ගලයින් 52 ක් තුවාල ලබා ඇති අතර ඔවුන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාලකරුවන් අතර පිරිමි 43 ක් , කාන්තාවන් 08 ක් සහ කුඩා දරුවෙක් සිටී.

අද (04) උදැසන 05:15 ට පමණ ඇල්පිටියේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වු පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසයි.

https://www.youtube.com/watch?v=gQZcoEmyuwo#t=5

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=y0eSloidn_g#t=5
ලංගම බස් රථය තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයේ ගැටී තිබෙනවා.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=1ndIAcXzdSA#t=5

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=t4zAF0rouBg#t=5

***************************************

තහනම් සංවිධානයක නායකයෙකු හා අන්තවාදී මත පැතිරවූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

(03.08.2019 – 20:49 +0530 – sinhala.adaderana.lk)

මෙරට තහනම් සංවිධානයක් වන ‘ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම්’ නමැති සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු වාලච්චේන ඔට්ටමාවඩි අබ්දුල් පාර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මොහොමඩ් නවුෂඩ් උමාර් නමැත්තා වන බවයි.

එමෙන්ම අදාළ ත්‍රස්ත සංවිධානයේ මතවාදය පැතිර වූ 25 හැවිරිදි මොහොමඩ් ස්මයිල් මොහොමඩ් සලමන් නැමැත්තා ද අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන අතර අනුරාධපුර ජයනෙත්ති පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

***************************************

ගෝඨාගේ පාසල් මතක අවදි කළ ආනන්දේ ගුරුවරිය

(03.08.2019 – 19:14 +0530 – sinhala.adaderana.lk)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කුඩා කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේදී අකුරු කළ ගුරුවරියක් අද ගෝඨාභය මහතාගේ පාසල් කාලයේ මතකය අවදි කළේය.

ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ගම්පහ දේශපාලන කාර්යාලය විවෘත කිරීම අද ඒ මහතාට කොළඹ ආනන්ද විද්‍යාලයේදී අධ්‍යාපනය ලබාදුන් ගුරුවරිය අතින් සිදුකෙරුණි.

එහිදී සෝමා සූරියආරච්චි නැමැති මෙම ගුරුවරිය ගෝඨාභය රාජපක්ෂ මහතා ආනන්ද විද්‍යාලයට ඇතුලු වූ අවදියේ මතකය අවදි කළේ මෙසේය.

“ඇත්ත වශයෙන්ම ගෝඨාභය මහත්මයා මට හමුවුණ ආනන්දේ දස දහස් ගණන් සිසුන් අතර මගේ රට, අපේ රට, ඔබේ රට බිය සැකක් නැතුව බන්දේසියක තියලා භාර දෙන්න පුළුවන් ශක්තිමත් යුග පුර්ෂයෙක්.

ඔහු මුළු තුන් මාසෙම හැඬුවා මගේ පන්තියේ.

මේ සාරි පොටේ එල්ලිලා අඬනවා ගෙදර යන්න ඕන කියලා.

මම කිව්වා ගෙදර? ගෙදර කොහෙද අර කැලේනේ ගෙදර තියෙන්නේ කියලා.

ඔච්චර ඈත ඉඳලා තාත්තා උදේ පාන්දර ගෙනල්ලා ගේට්ටුව ළඟින් ඇතුළු කරලා පන්තියට දාලා යනකොට ඒ වෙලේ ඉඳන් ජනේල් පොළුවල එල්ලිලා අඬනවා තාත්තා එන්න, තාත්තා එන්න මට ගෙදර යන්න කියලා.

මෙයා අඬනවා අඬනවා. තුන් මාසෙම ඉවර වෙලා මම දවසක් කිව්වා පුතේ ලේන්සුව ගන්න අරන් ඔය නහය පිහිදාගන්න කියලා.

ලේන්සුවක් නෑ මැඩම්…

මං කිව්වා ඇයි?

අම්මා දාලා නෑ…

අම්මා දාන්නේ මොකටද? මේ ලොකු ළමයෙක්නේ දැන්. ඔයා දාගන්න එපැයි කියලා මම කිව්වා.

ඉතිං අරන් මගේ සාරි පොටෙන් පිහිදනවා..

ඒ ඇඬුවට පාඩම උගන්වන හැම දෙයක්ම මතකයි.

හරී ඉවසිලිමත්..

ඒ දරුවන් ඔක්කොම එක්ක සමානාත්මතාවයෙන් ගතකරන්න පුළුවන් චරිතයක් තමයි ගෝඨාභය රාජපක්ෂ චරිතය.

අපේ රටට දැන් අපිට ඕන නෑ පක්ෂ, පාලකයෝ දැන් මුළු රටටම මුළු දේශයටම පාලකයින් එපා වෙලා.

අපිට ඕන නායකයෝ…”

***************************************

ජනාධිපතිවරණය වෙනුවෙන් පොහොට්ටුව රට පුරා ‘ඊ-කැන්වසින්’ අරඹයි

(03.08.2019 – 19:05 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (03) උදෑසන එකම වේලාවකදී දිවයින පුරා ආරම්භ කරනු ලැබුවේය.

මෙරට ප්‍රථම වතාවට ඊ තාක්ෂණය භාවිත කරමින් දිවයිනම ආවරණය වන පරිදි මෙම පූර්ව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද සහ හෙට දෙදින තුළ සිදුකෙරෙයි.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු අද උදෑසන 7.54 ට යෙදුණු සුබ නැතකින් ආරම්භ කරනු ලැබුවේය.

මෙහි විශේෂත්වය වන්නේ ඊ තාක්ෂණය ඔස්සේ ‘වි කැන්’ නම් ජංගම දුරකථන යෙදවුම යොදා ගනිමින් මෙම ප්‍රචාරක කටයුත්ත සිදු කිරීමයි.

දිවයිනේ සෑම නිවසක්ම ආවරණය වන පරිදි අද සහ හෙට යන දෙදින තුළ ගෙයින් ගෙට ගොස් දේශපාලන දත්ත ලබාගැනීම සිදු වෙයි.

අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද ගෙයින් ගෙට ගොස් දේශපාලන තොරතුරු එක් රැස් කිරීමේ කාර්යයයේ නිරත වුණි.

මේ අතර දිවයිනේ සෑම ප්‍රදේශයකම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ඊ කැන්වසින් ව්‍යාපාරයෙහි අද නිරත වුණි.

දිවයින පුරා ක්‍රියාත්මක ගෙයින් ගෙට යෑමේ මෙම වැඩසටහන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සිට බැසිල් රාජපක්ෂ මහතා අන්තර්ජාලය ඔස්සේ නිරීක්ෂණය කරනු ලැබුවේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පළමු මෙහොතේදීම අදාළ යෙඳවුමට හැත්තෑ අටදාස් පන්සිය ගණනක් ඇතුළු වී සිටි බවයි.

උතුරු පළාතේ පවා මෙම ප්‍රචාරක කටයුත්ත ඉතා හොඳින් සිදු වෙමින් පවතින බවත් ඒ පිළිබඳ ඉතා හොඳ ප්‍රතිචාරයක් දැක ගැනීමට හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++

***************************************

කෘතිම ඖෂධ හිඟයක් නිර්මාණය කර මුදල් ගරන සෞඛ්‍ය බලධාරීන්

(03.08.2019 – 18:58 +0530 – sinhala.adaderana.lk)

කෘතීම ඖෂධ හිඟයක් නිර්මාණය කර එම හිඟය පියවා ගැනීම සඳහා රුපියල් කෝටි ගණනින් මහජන මුදල් වියදම් කර හදිසි මිලදී ගැනීම් සිදුකිරීමේ මාෆියාවක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ අතර වෛද්‍ය සැපයීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිකුත් කළ විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවක දැක්වෙන්නේ හදිසි මිලදී ගැනීම් සිදු කිරීමේදී ඇතැම් අවස්ථාවල එම මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් පිළිබඳව කතාබහට ලක්ව ඇති පසුබිමක ඊට අදාළ තවත් කරුණු රැසක්, වෛද්‍ය සැපයීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිකුත් කළ විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවක දැක්වෙයි.

කල්ඉකුත් වීමට ආසන්නව තිබියදී ඖෂධ මිලදී ගැනීම සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම මඟින් රට තුළ කෘත්‍රිම ඖෂධ හිඟයක් නිර්මාණය කරන ආකාරය එම වාර්තාවෙන් පැහැදිලි වනවා.

මේ දිනවල රටපුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය නිර්මාණය වී ඇත්තේ කල්ඉකුත්වීමට ආසන්න ඖෂධ මිලදී ගැනීම, එම ඖෂධ කෙටි කාලයක් තුළ ඉවත් කිරීමට සිදුවීම හා ගෙන්වා ඇති ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වූ පසු ඒවාද ඉවත දැමීමට සිදුවීම හේතුවෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වූ විට රේගුව විසින් ඒවා නිදහස් නොකරන අතර එවැනි ඖෂධ රට තුළට ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ගත යුතු වෙයි.

විගණාකාධිපති විශේෂ විගණන වාර්තාවේ සඳහන් වන පරිදි කල්ඉකුත්වීමට ආසන්න ඖෂධ රට තුළට ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2015 වසරේදී පමණක් සිය විරෝධතා නොදැක්වීමේ ලිපි 1334 ක් නිකුත් කර ඇත.

ඖෂධ හිඟයක් රට තුළ නිර්මාණය වූ පසු සෞඛ්‍ය බලධාරීන් පෞද්ගලික අංශයෙන් රෝහල්වලට ඖෂධ මිලදී ගැනීමට යොමුවීම නිසා රුපියල් කෝටි ගණනින් වංචා සිදුව ඇති අයුරු මෙම විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණය කරයි.

ඖෂධ සංස්ථාවෙන් ශත 64 කට මිලදී ගත හැකිව තිබූ ක්ෂයරෝගය සඳහා භාවිත කෙරෙන ඖෂධයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන තිබුණේ රුපියල් 64 කටයි.

එමගින් මිල වැඩිවීමේ ප්‍රතිශතය සියයට 9900 ක්.

ඖෂධ සංස්ථාවෙන් රුපියල් 32 යි ශත 32 කට මිලදී ගත හැකිව තිබූ බැක්ටීරියා නාශක ප්‍රතිජීවක ඖෂධයක් හදිසි මිලදී ගැනීම් මගින් මිලට ගෙන තිබුණේ රුපියල් 396 කටයි.

හෝර්මෝන පද්ධතිය ආශ්‍රිතව ලබාදෙන එන්නතක් ඖෂධ සංස්ථාවෙන් රුපියල් 1058 කට ලබාගත හැකිව තිබියදී පෞද්ගලික අංශයෙන් එය මිලට ගෙන තිබුණේ රුපියල් 19,000 කටයි.

එමඟින් මිල වැඩිවීමේ ප්‍රතිශතය සියයට 1696 ක්.

මේ පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“ඖෂධ තත්ත්වයෙන් බාල බව ඔප්පුවන විට රෝගීන් ඒවා පරිභෝජනය කරලා ඉවරයි.

කල් ඉකුත් වීමට ආසන්න ඖෂධත් අවසන් වී ඖෂධ හිඟයක් ඇති වෙනවා.

ඖෂධ මාෆියාවට අවශ්‍ය පහසුකම තමයි ඖෂධ හිඟයක් නිර්මාණය කර සම්පූර්ණ කර දීම.

හිඟයක් ඇතිවුණාම සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව හදිසි මිලදී ගැනීම් කරනවා.

මේ සියල්ල හරහා වංචාව කරගන්න පහසු වෙනවා.

දිගමට මේ දේ සිදුවීම ජනතාවගේ ජීවත් වීමේ අයිතියට එල්ල කරන මරු පහරක්”

***************************************

සහරාන්ගේ බෝම්බයේ දුරස්ථ පාලකය තියෙන්නේ අමෙරිකාව අතේ

(03.08.2019 – 18:53 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකානු උපාය මාර්ගයකට අනුව සහරාන්ගේ ත්‍රස්ත ප්‍රහාරය ක්‍රියාත්මක වු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

ඊයේ ඩුබායිහිදී පැවති එළිය සම්මන්ත්‍රණයේ දී සිය අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

අමෙරිකාව විසින් ලොව රටවල් වල ආගමික ගැටලුවක් නිර්මාණය කිරීම තුළින් රට තුළට ඇතුළු වීමට උත්සාහ ගන්නා බවත් පාස්කු ඉරිදා මෙරට සිදුවු ප්‍රහාරය ගැන අමෙරිකාව පූර්වයෙන් දැන සිටි බවත් උන්වහන්සේ පැවසීය.

සහරාන් විසින් සිදු කළ බෝම්බ ප්‍රහාරයේයේ දුරස්ථ පාලකය තියෙන්නේ අමෙරිකාව අතේ බව උන්වහන්සේ පැවසීය.

එසේම අපි අපේක්ෂා කරන නායකයින් ද ත්‍රස්තවාදීන් තුරුලේ තබා ගෙන හුරතල් කරන නායකයින් නොවිය යුතු බවත් එසේ නොවුණහොත් ඉදිරියේ දී ද මෙම අර්බුධය ඇති වන බවත් අභයතිස්ස හිමි ප්‍රකාශ කළේය.

බෙදුම්වාදය ඇතිකිරීමේ තවත් පියවරක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මේ වන විට සූදානම් වන බවත් යම් ආකාරයකින් විධායක ජනාධිපති ක්‍රමය පමණක් ඉවත් කර 13 වන සංශෝධනය ඉතිරි වුවහොත් රට බෙදී යන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

+++++++++++++++++++++

වහාබ් අන්තවාදයයි – ඇමරිකන් ව්‍යාප්තවාදයයි දෙකම එකටයි ක්‍රියාත්මක වෙන්නෙ (30.07.2019)

+++++++++++++++++++++

විනාඩි 3 න් පුටින් කරපු කතාව පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විනාඩි 2 න් කරපු විදිය (30.07.2019)

***************************************

මෙරට නායකත්වය විදේශ රටවල් මැදිහත්ව තීරණය කිරීමේ තත්ත්වයක් මතු වෙලා

(03.08.2019 – 22:11 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ මෙරට නායකත්වය විදේශ රටවල් මැදිහත්ව තීරණය කිරීමේ තත්ත්වයක් මතුව ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති වැඩසටහනකදී.

***************************************

කාදිනල් හිමිපාණන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට

(03.08.2019 – 22:01 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත පැමිණියා.

ඒ, පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ සුව දුක් විමසීම සඳහායි.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත ගිය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පුද්ගලයින්ගේ ඥාතීන්ගේ සහ තුවාල ලැබූ පුද්ගලයින්ගේ සුවදුක් විමසමින් ඔවුන්ට ආශිර්වාද කළා.

එම ජනතාවට මුදල් ආධාර ලබා දුන්නේද කාදිනල් හිමියන් අතින්.

ඔවුන් වෙනුවෙන් කටුවාපිටිය දේවස්ථානය තුල දේව මෙහෙයක් සහ විශේෂ දේශන කිහිපයක්ද පැවැත්වුණා.

මේ අතර, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන්ගේ ඥාතීන්ගේ සහ තුවාල ලැබූ පුද්ගලයින්ගේ සුව දුක් විමසීමට ඊයේ පස්වරුවේ එක්වුණා.

***************************************

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් ළඟම පාසල තහනම් පාසල වෙලා

(03.08.2019 – 21:00 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (04) දිනයේ පැවැත්වෙනවා.

කෙසේ වෙතත් පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිට විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් ගම්බද පාසලක සිසුන් 6 දෙනෙකු තවමත් පාසලක් නොමැතිව නිවසට වී පාසල් යන තම යහළුවන් දෙස බලා සුසුම් හෙළන බව ඔබ දන්නවාද ?

මේ ළඟම පාසල – හොදම පාසල යැයි කියනා රටේ පාසලක් නැති දරුවන්ගේ කතාවයි.

රත්නපුර පරකඩුව කනිෂ්ඨ විද්‍යාලයටත්, රත්නපුර බෝධිමළුව ප්‍රාථමික විද්‍යාලයටත් ගියපු මේ දරුවන් ලකුණු 166, 168, 167, 170, 172, 173 වගේ ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබාගත්ත ඉතා දක්ෂ දරුවෝ හය දෙනෙක්.

දරුවන්ගේ දෙමාපියන් පවසන්නේ ඇහැළියගොඩ ජාතික පාසල ආසන්නයේ සිටින මෙම දරුවන්ට එම පාසල අහිමිව තිබෙන්නේ ඔවුන් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත්වීම හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්වුන මේ දක්ෂ දරුවන්ට අධ්‍යාපන බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් ඊළඟ ශිෂ්‍යත්ව විභාගය ආරම්භවීමට නියමිත කාලය දක්වාම පාසලක් නොලැබීම ඉතාමත් අවාසන්වන්ත තත්ත්වයක්.

***************************************

ජේලර්වරයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

(03.08.2019 – 19:10 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා අම්බලන්ගොඩ – කුලීගොඩ මංසන්ධියේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අද පස්වරු 6 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වන 44 හැවිරිදි තිළිණ රුවන් තිහාර ජයරත්න, කුලීගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

https://www.youtube.com/watch?v=RwJGYZqW764#t=5

***************************************

ටිපර් රථ අනතුරකින් එක් අයෙකු රෝහලේ

(03.08.2019 – 13:54 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල දඹුල්ල මාර්ගයේදී අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක් තවත් වාහන 3ක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද උදෑසන 11 ට පමණ සිදුවූ මේ අනතුරින් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කුරුණෑගල රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ටිපර් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම අනතුරට හේතුව බවයි පොලීසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසළ සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

එම වීඩියෝව :

https://www.youtube.com/watch?v=dQDfGYXrQTA#t=5

***************************************

සජිත්ට එංගලන්තයෙන් දී ඇත්තේ අසනීපකාරයෙකුට දෙන සානුකම්පිත උපාධියක්.. – දන්න කියන කෙනෙක්ගේ හෙළිදරවුව මෙන්න..

(04.08.2019 – 22:32 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස උද්දච්ච මෝඩ පුද්ගලයෙක් යයි සිංහලේ සංවිධානය සඳහන් කරයි.

සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාට බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාලයකින් ලබා දී ඇති උපාධිය විභාගයට පෙනී සිටීමට නොහැකි බව දැන්වීමෙන් ලබාදෙන උපාධියක් බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට ලබාදී ඇත්තේ අසනීප වූ පුද්ගලයෙකුට ලබාගෙන සානුකම්පිත උපාධියක් බව ඔහු කියා සිටියේ එම විශ්වවිද්‍යාලයෙන් ගෙන්වා ගන්නා ලද විද්‍යුත් ලිපියක්ද උපුටා දක්වමිනි.

+++++++++++++++++++++++++++++++++++

05.08.2019

***************************************

ජනාධිපතිවරණයට පෙර ඇමරිකාව අවසන් තුරුම්පුව අදින්න සූදානම් … ආපදා හෝ හදිසි තත්වයක් ඇති කරන්න සැලසුම් …

(06.08.2019 – 00:02 +0530 – lankacnews.com)

‘සහරාන්ගේ කල්ලිය’ වැනි තවත් ත්‍රස්ත කල්ලියක් ලවා මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කරවා රට තුළ හදිසි තත්වයක් ඇතිකොට ඒ තත්ත්වය යටතේ ජනාධිපතිවරණය කල් දමා, රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් භාරකාර ආණ්ඩුවක් හැදීම ඇමරිකානු එක්සත් ජනපදයේ අවසන් තුරුම්පුව වී ඇති බවත් ඒ නිසා ඉදිරි මාස කීපය ඉතාමත් තීරණාත්මක කාලයක් වනු ඇති බවත් ඒ තුරුම්පුව ඇදීමට ඇමරිකාවට ඉඩ නොදීම රටට ආදරය කරන කාගේත් වගකීම බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේදී පැවති STOP USA සංවිධානයේ දෙවන සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය :

“ඇක්සා ගිවිසුම අනුව ඇමරිකානු හමුදාවන්ට හදිසි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ කඩ හදලා දීලා ඉවරයි. එසේම ඇමෙරිකානු ආරක්ෂක හමුදාවන්ට, නිලධාරීන්ට හා ඔවුන්ගේ කොන්ත්‍රාත් කරුවන්ට තම රටේදීවත් නැති වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දෙන්නයි දැන් සෝෆා ගිවිසුම අත්සන් කර ගැනීමට බලන්නේ. ශ්‍රී ලංකාවට වීසා නැතිව එන්න, බඩුබාහිරාදිය පරීක්ෂා කිරීමෙන් තොරව ගෙන එන්න, නිදහසේ ශ්‍රී ලංකාව තුළ සැරිසරන්න, අධිආරක්ෂිත කලාපවලට ඇතුළු වීමට, මේ ඇමරිකන් පුරවැසියන්ට සෝෆා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉඩකඩ ලැබෙනවා.

‘ගිවිසුම් තුනකින් රට වැනසීම’

ඒ විදිහට සෝෆා ගිවිසුම අත්සන් කරගත් පසුව ශ්‍රී ලංකාව තුළ මේ ඇමෙරිකන් පුරවැසියන්ට පදිංචි වීමට අවශ්‍යයි. ආර්ථිකමය වශයෙනුත් මේ රට තමන්ගේ ග්‍රහණයට ගැනීම ඇමරිකාවේ ඊළඟ වුවමනාවයි. ඒ සඳහා තමයි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගෙන එන්නේ. ඒ ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ ඉඩම් වෙළෙඳපොළ සක්‍රිය කළ යුතුයි. ඒ සඳහා ඔවුන් යෝජනා කරනවා නව ඉඩම් පනත් දෙකක් ගෙන ඒමට. එකක් තමයි ඉඩම් සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත. එමගින් බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට සින්නක්කර ඔප්පු දෙනවා. පෞද්ගලික ඉඩම් ටික ඇමරිකානු සමාගම්වලට තුට්ටු දෙකට කොල්ල කා ගැනීමයි එහි අරමුණ. ඒ වගේම රජයේ ඉඩම් සියල්ල, රාජ්‍ය ඉඩම් බැංකු පනත යටතේ ඉඩම් බැංකුවකට පැවරෙනවා. අදාළ විෂය භාර ඇමතිවරයාගේ කැමැත්ත ඇතොත් අක්කර දහස් ගණනින් රජයේ ඉඩම් ඇමරිකානු සමාගම්වලට මිලදී ගත හැකියි.

‘ඉඩම් අක්කර 12,33,000 ක්’

එක් පැත්තකින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 33,000 ක සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹීමට නියමිතයි. එහි සුපිරි මහල්නිවාස සංකීර්ණ, සුපිරි වෙළඳසැල් ආදියත් විශාල වශයෙන් ඇතුළත් වෙනවා. ඒ පිළිබඳව විමසා බැලුවාම පෙනීයනවා ‘සෝෆා ගිවිසුම යටතේ එන ඇමරිකානුවන්ගේ පවුල්වලට දීර්ඝකාලීනව රැඳී සිටීමටයි මේ සුපිරි නිවාස සංකීර්ණ ඉදිවන්නේ’ කියා. ඒ වගේම ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා දිස්ත්‍රික්ක 07 ක් හරහා දිවෙන අක්කර ලක්ෂ 12 ක් ඇතුළත් වන විශේෂ ආර්ථික කොරිඩෝවක් ඉදිකිරීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමින් ඉඩකඩ හදලා දෙනවා. ඉඩම් පනත් දෙක හදා දී මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් ගිවිසුමට අත්සන් තැබුවාම මේ රටේ පුරාවිද්‍යාත්මක උරුමයන් සහිත ඉඩම් අක්කර 12,33,000 ක් ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතු වෙනවා.

‘ආපදා අධිරාජ්‍යවාදය’

අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යොදා ගන්නා නූතන ක්‍රමවේදය තමයි ආපදා අධිරාජ්‍යවාදය. රටක් තුළ පළමුව ආපදාවක් ඇතිකොට එම ආපදාවට පිළියම් කිරීමේ මුවාවෙන් එයට රිංගා ගැනීම මෙහිදී සිදු කෙරෙනවා. ඇක්සා ගිවිසුම ගැහුවාට මදි. ශ්‍රී ලංකාවට රිංගන්න නම් ආපදා තත්ත්වයක් – හදිසි තත්ත්වයක් ඇති කළ යුතුයි. හදිසි තත්ත්වය හදන්න එදා ඇමෙරිකා එක්සත් ජනපදයට වේළුපිල්ලේ පිරබාහරන්ගේ කුලී සේනාංකය හිටියා. අද ඒ හදිසි තත්ත්වය හදන්න සහරාන්ලා වුවමනා වෙලා තිබෙනවා. සහරාන්ලා වහබි අන්තවාදයෙන් පිස්සු වැටිලා, මරාගෙන මැරෙනකොට ඇති ිවන මරාගැනිල්ල නිසා ‘ශ්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් – වහාම මැදිහත් විය යුතුයි’ කියා ඇමරිකානු 07 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණිය ඇතුළු ඇක්සා ගිවිසුමේ උපලේඛනවල සඳහන් හමුදා අනුඛණ්ඩ රිංගා ගන්නවා. ඒකයි ඇමරිකාවේ සැලසුම වුනේ.

නමුත් ඇමෙරිකාව බලාපොරොත්තු වූ සිංහල – මුස්ලිම් මරාගැනිල්ල ඒ ආකාරයට සිදු වුණේ නැහැ. ඒ නිසායි තවමත් ඇමරිකානු හමුදාවන්ට අපේ රටට රිංග ගන්න බැරි වෙලා තියෙන්නේ. තමන්ගේ සැලසුම ඇමරිකාව අතහරී කියා හිතන්න බැහැ. ඔවුන්ට තවමත් ආපදා තත්ත්වයක් – හදිසි තත්ත්වයක් අත්‍යවශ්‍ය වී තිබෙනවා. ඉදිරි මාස 03 – 04, මේ රටේ ඉරණම සමඟ ඉතා තදින් බැඳුණු මාස කීපයක්. ඇමරිකා එක්සත් ජනපදය, තමන්ගේ ‘රූකඩ බත්බැලයා’ වන රනිල් වික්‍රමසිංහගේ බලය ගිලිහෙන තෙක් නිහඬව සිටියි ගියා කිසිවිටෙක හිතන්න එපා. ඔවුන්ගේ අවසාන තුරුම්පුව තමයි ‘අප්‍රේල් 21’ සහරාන් ලවා හදාගන්න දඟලපු හදිසි තත්වය ‘තවත් සහරාන්ලා’ දෙතුන්දෙනකු ලවා හදා ගැනීම, ඒ හදිසි තත්ත්වය අවශ්‍ය මාත්‍රා ගණනට හැදුනාම ඒ තත්ත්වය මත ජනාධිපතිවරණය කල් දැමීම, ඉන්පසු හදිසි තත්ත්වය රතු පාවාඩ බවට පත්කරගෙන ගිවිසුමෙන් ලබාදී තිබෙන වරම අනුව ඇමෙරිකාවේ 07 වැනි ඉන්දු – පැසිපික් නාවික බලඇණිය ශ්‍රී ලංකාව තුළට කඩා වැදීම, ඉන්පසු අගමැති ලවා සෝෆා ගිවිසුම අත්සන් කරවා ගැනීම, රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තාවකාලික භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම.

ඒ තුරුම්පුව මේ මාස 03-04 තුළ අදින්නයි හදන්නේ. ඊට එරෙහිව කළ යුතු සියල්ල අපි කළ යුතු වෙනවා. STOP USA සංවිධානය ගොඩනැගුණේ ඇමරිකානු ගිවිසුම් තුනකින් මේ රට වනසන එක නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේගයක් ගොඩනැගීම සඳහායි. ඒ සඳහා එක්වන ලෙස සියලුදෙනාට ඇරයුම් කරනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

+++++++++++++++++++++

ජනාධිපතිවරණයෙන් දිනන්න බැරි තමුන්ගේ ජොකියට භාරකාර ආණ්ඩුවක් හදලා දෙන්නයි සූදානම – විමල් වීරවංශ

(05.08.2019 – YouTube > Wimal Weerawansa)

2019-08-04 විමල් මහනුවර සම්මන්ත්‍රණයේදී කළ සුවිශේෂි අනාවරණය

***************************************

කාලය ගත වෙනවා.. දේශපාලන තීන්දුවක් ගන්න වෙනවා.. – දිනේෂ් ගුණවර්ධන

(05.08.2019 – 16:40 +0530 – lankacnews.com)

“අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට මූණදෙන්න බැහැ. ඒ අය එනව යනව ආණ්ඩුව ගෙනයන්න බැරි තත්වයට පත්වෙලා ඉවරයි. ආණ්ඩුවේ කාලය සීමා වෙලා ඉවරයි. ආණ්ඩුවට ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යන්න බැහැ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්. අපේ කාලේ 6.8 කට ගිය සංවර්ධන වේගය දැන් කඩා වැටිල. 2.5 ට පහට බැහැල සතිදෙකකට ඉස්සරවෙලා දුන්න ප්‍රකාශයේ. මේක ඕනම පොඩි එකෙකුට තේරෙනවා. මේ නිසා රට ආපස්සට යන්නේ.මේ අර්බූදය තමයි අද අපේ හමුවේ ‍ඇත්තේ” යයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

සමස්ත ලංකා ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය මගින් ඇඹිලිපිටිය ඩී. ඒ. රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ගොවි සමලුවට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී. සමස්ත ලංකා ගොවි අයිතීන් සුරුකීමේ සංවිධානයේ ජාතික සංවිධායක ගයාන් මේනක දිසානායක මහතා සහ ගොවි සංවිධන එක්ව මෙම සමුලුව සූදානම් කර තිබිණි.

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සොයිසා, ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් මෙන්ම ඇඹිලිපිටිය නගරසභාවේ සභාපති ලලිත් ගමගේ මහතා හා ඇඹිලිපිටියේ වෙළද ප්‍රජාව සහභාගී වී සිටිනු දක්නට විය.

වලව කලාපය නියෝජනය කරන ගොවීන් මෙන්ම ගොවි සංගම් නිලධානීන් දහසක් පමණ දෙනා සහභාගී වී සිටින ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා :

“ස්ථාවර හොද මිලකට තමන්ගේ නිෂ්පාදනය අලවිකර ගත හැකි විශ්වාසය තමයි ආර්ථිකයක ඉදිරි ගමන. ඒතුලින් තමයි අලුත් ආදායම් මාර්ග වලට තව තව පිවිසෙන්නට පුලුවන් කම එන්නේ. මොකක්ද ආණ්ඩුව කලේ. ඒ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම කපා දැම්මා. අවුරුදු පන්සියයකට පස්සේ – පරංගි ආවට පස්සේ අපේ කුලු බඩු සොයාගෙන, අවුරුදු පන්සියකට පස්සේ තමයි අපේ මහා වරාය හැදුවේ. අවුරුදු පන්සියයක් ගියා අපිට දෙවැනි වරාය හදන්න.

උතුරේ ගොවීන් ආහාර නිෂ්පාදනය කලා. මට මතකයි බණ්ඩාරණායක මැතිණිය සමග යාපනයට ගියපු කාලේ – 80 ගණන් වල, එතුමියව පිළිගත්තේ ගොවිජනතාව මිරිස් ලූණු ආදී මල්මාලා පිළිගන්වලා. මේ රටේ සශ්‍රීක පලාතක් හැටියට උතුරේ ආහාර නිෂ්පාදනය වැඩිකලා. ඒ සියල්ල විනාශ කලා. උන්හිටිතැන් නැති ගොවීන් බවට ඒ පලාත් පත්කලා.

අපේ රටේ උක් ගොවිතැන අපිට ආදායමක් ගත හැකි ලෙස, බිලියන ගණන් පිටරටින් ගේන සීනි ජාවාරම ඉදිරියේ දණ ගහන්නේ නැතිව, මේ මහ පොලොවේ උක් වගාවෙන් සීනි නිෂ්පාදනය කල හැකි දේශයක් බවට පරිවර්තනය කරන්න පුලුවන් බවත් අපේ ගොවි ජනතාව ඔප්පුකරල තියෙනවා. ඒ සදහා ලැබෙන සහයෝගය වෙනුවට සීනි ජාවාරමක් බවට පත්කර ගැනීමේ වෙළද ප්‍රතිපත්ත්තියකට ගමන් කිරීම නිසා අද අපි අර්බුදයකට මුහුණ දෙනවා.

පොල් කර්මාන්තය, රබර් කර්මාන්තය මිල අන්තිමට වැටිල. වෙනද හදන හදන රබර්ෂීට් එක චීනය ගන්නව. චීනයට රබර් විකුණලා ඉවරවෙන්නේ නැහැ ලංකාව. චීනය කියන්නේ ලෝක ජනගහනයෙන් යෝධම ජනගහණය ඉන්න රට. චීනයට ආහාර විකුණුවත් ඉවරවෙන්නේ නැහැ. එසේ කරන්න බැරිනිසා තමයි අද ඇමරිකාව චීනයට තර්ජනය කරන්නේ. චීනය හැරිලා ආපසු තර්ජනය කරනව තවදුරටත් ඔබට යටවෙන චීනයක් ලොකයේ නැහැ කියල. අවුරුදු 70 ක විප්ලවයෙන් පසු චීනය අද ලෝකයේ දෙවැනි ධනවත් රට බවට පත්වෙලා තියෙනවා. ඒ රටේ ගොවිජනතාව, කර්මාන්ත කරුවන්, ව්‍යාපාරිකයන් ඒ රට ශක්තිමත් රටක් බවට පත්කරල තියෙනවා. අපට තියෙන්නේ ඒ අනාගතය නිර්මාණය කරන්න.

මේ පලාත්වල හඩ මේ පලාත්වල දුක සතුට බවට පරිවර්තනය කල හැකි නායකත්වයක් ශක්තියක් සහයෝගයක් ඉදිරියට ගෙනයාම සදහා ඒ ගමනට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් ගොඩනැගීමේ කාර්යයට අපි කැපවී සිටිනව.

අද මේ රට අන්තයටම වැටිලා. අද ෆිනෑන්ස් කොම්පැණි වලින් නිකුත් කරන සිතාසි පමණයි අපට තියෙන්නේ. ඒ වෙළද ව්‍යාපාරිකයින්ට, ගණුදෙනු කරුවන්ට හා කර්මාන්ත වලට.

ආණ්ඩුව මෙවැනි අර්බුදයකදී ‘අවුරුද්දකින් මේක කල් දානවා’ කියන පොරොන්දුව ඉෂ්ඨ කරල නැහැ. කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. යලිත් අපේ ඉතිරි කර්මාන්ත ටික වැහිලා පිටරටට මේවා විකුණලා දමන ජාත්‍යන්තර මහා අපරාධයකට අපි ගොදුරුකරගන්නයි හදන්නේ.

කාලය වේගයෙන් ගමන් කරනවා. මේ ශක්තිමත් දේශපාලන තීන්දුව ගන්න වෙනවා. අපිට අවශ්‍ය පොහොර ටික – අපිට අවශ්‍ය ගොවි ණය ටික – ඒ වගේම අපිට අවශ්‍ය බීජටික – රජයේ ගොවිපලවල් වල නිෂ්පාදනය කල හැකියි. රජයට එහෙම වැඩපිලිවෙලක් නැහැ. රජයේ හැම ප්‍රධාන ගොවිපලක්ම විකුණල ඉවරයි.

එවැනි රටක ගොවීන්ට සාධාරණ මිලට බීජ දෙන්න පුලුවන් කමක් නැහැ. ඒ නිසා මේ වැඩ පිළිවෙල වෙනස්කොට අපිට විශ්වාසය තැබිය හැකි අපිට ස්වංපෝෂිත විය හැකි වැඩපිළිවෙලකට යා යුතුයි. අපේ රට බොහොම සශ්‍රීක රටක්. ඕනෑම බීජයක් වැපුරුවාම දවස් 60 න් 90 න් පල නෙලන්න පුලුවන් මහ පොලොවක් අපිට තියෙන්නේ. එය ඉටුකරන ජනතාව ගොවිජනතාවමයි. ඒවා විනාශ කරන ආණ්ඩුවලට වැඩිකල් ගමන් කරන්නට ඉඩ නොදී ඉවත් කරන්නට මේවගේ සමුලු ඉතා වැදගත්.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ අතින් ගොවීන් සදහා පොල් පැල බෙදා දීමක් සහ පරිඝණක බෙදා දීමක් සිදු විය.

– ප්‍රගීත් ජනක

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *