ත්‍රස්ත සැකකරුවන් වන්දි සමඟ උත්සවාකාරයෙන් පවුලේ අයට භාරදෙන්න – ගම්මන්පිල

(05.08.2019 – 21:03 +0530 – sinhala.adaderana.lk)

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පිළිබඳ සාධාරණ විමර්ශනයක් සිදු කිරීමට පොලීසිය අපොහොසත් වු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

“පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමඟ නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා.

එතුමා ගැන අපි පොලිසියට පැමිණිලි කළත් අඩුම ගණනේ පොලිසිය විසින් ප්‍රකාශයක් වත් සටහන් කර ගන්නේ නැතුව එතුමාව නිදහස් කළා.

පොලිසියට අයිති දෙයක් නෙමෙයි කෙනෙක් නිදහස් ද නැද්ද කියන එක.

පොලීසිය කළ යුත්තේ විමර්ශණයේ තොරතුරු උසාවියට වාර්ථා කිරීමයි.

උසාවියිය තීරනය කල යුත්තේ නිදොස්ද නැද්ද කියන එක.

රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයාගේ කුණු සේදීම සඳහා බිහි කල කුණු ලොන්ඩරිය නමින් රට දන්නා තේරීම් කාරක සභාව සිය වාර්තාව දෙන්නත් කලින් එයාට ඇමති ධූරයකුත් ලැබුණා.

රිෂාඩ්ට එක නීතියකුයි අනිත් අයට තව නීතියකුයි තිබෙන්න බෑනෙ.

ඒ නිසා කඩු බෙදා දීමේ ජාතික උත්සවයක් පවත්වලා, කඩු අත්අඩංගුවට ගැනීම ගැන සමාව අයදිමින් රට පුරා අත්අඩංගුවට ගත් කඩු තොග අයිතිකරුවන්ටම බෙදා දෙන්න කියලා අපි යෝජනා කරනවා.

ඒ වගේම අත්අඩංගුවේ සිටින ජාතික තහුහිද් ජමාත් සාමාජිකයන්ද ඇතුළු ත්‍රස්තවාදී සැකකරුවන් වන්දි සමඟ නැවත පවුලේ සාමාජිකයින්ට උත්සවාකාරයෙන් භාර දෙන්න කියලා අපි යෝජනා කරනවා.

වන්දි ගෙවීම සඳහා දැන් හානි පූර්ණ කාර්යාලය කියල එකකුත් පිහිටුවලා තියෙනවානේ.

එය යටතේ දැන් ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමද නීත්‍යනුකූල වී තිබෙනවා.

ඒකත් මදි නම් පාස්කු ඉරිදා පල්ලි ගිය සියළුම දෙනා වැරදි වෙලාවේ වැරදි ස්ථානයේ සිටීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නත් පුළුවන්.”

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

කසල තේ සමග ලොරියක් ප‍්‍රපාතයට පෙරලේ..

(05.08.2019 – 17:30 +0530 – lankacnews.com)

පිලිමතලාවේ සිට ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවහනය කරමින් තිබු ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබා දිමට යාමේදි ලොරි රථය ප්‍රපාතයකට පෙරලි ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා සහ යතුරුපැදිකරු තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

අද (05) උදැසන මෙම අනතුර සිදු වි ඇත්තේ තලවකැලේ ඩයගම ප්‍රධාන මාර්ගයේ ලිදුල නාගසේන අග්‍රකන්ද කැල්ඩොනියා ප්‍රදේශයේදිය.

ධාවනය වෙමින් තිබු ලොරි රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබා දිමට උත්සහ කිරිමේදි ලොරි රථය ප්‍රපාතයට පෙරලි ඇත.

ලොරි රථය පෙරලෙන අවස්තාවේ ලොරි රථයේ රියදුරා ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති අතර යතුරුපැදිකරුටද යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගයේ අභියස කන්දක ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, ලොරි රථය ප්‍රපාතයට පෙරලි පෞද්ගලික ජල විදුලි බලාගාරයක ආරක්ෂක මුර කුටියක් අසලට පෙරලි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේය.

අනතුරෙන් මුර කුටියටද සුළු අලාභ හානි සිදු වි ඇත.

තුවාල ලැබු රිය සහයකයා සහ යතුරුපැදිකරු ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සහා නුවරඑලිය මුලික රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුරට පත් ලොරි රථයේ කසල තේ කිලෝ පන්දහසක් පමණ ප්‍රවාහනය කරමින් තිබු බවයි ආගරපතන පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවේ නිලධාරියෙකු පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

***************************************

Ven. Prof. Medagoda Abayathissa Thero Said Prime Minister Ranil Wickramasingha must take responsible if any Terror Attack to Dalada Perahera (05.08.2019)

***************************************

වැල්ලවත්ත ගැටුම පාලනයට පොලීසියෙන් කඳුළු ගෑස්

(05.08.2019 – 19:23 +0530 – sinhala.adaderana.lk)

වැල්ලවත්ත මයුර පෙදෙසේදී ඊයේ (04) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීම සඳහා කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිසියට සිදු වී ඇත.

සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර දේපොළ හානි රැසක් ද සිදුව තිබේ.

වැල්ලවත්ත මයුර පෙදෙසේ පිහිටි ලක්මුතු සෙවන මහල් නිවාස සංකීර්ණයේ පිරිසක් සහ ඊට යාබදව පදිංචිව සිටින ඉදිකිරීම් ආයතනයක කම්කරුවන් පිරිසක් අතර ඊයේ රාත්‍රි 10:40 ට පමණ මෙම ගැටුම හටගෙන තිබුණි.

ජංගම දුරකතනයක් අස්ථානගත වීම මුල් කරගනිමින් ආරම්භ වූ ආරවුල පසුව පුද්ගලයින් 150 දෙනෙකු පමණ මැදිහත්වූ ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

වැඩබිමේ සිටි කම්කරුවන් එහිදී නිවාස සංකීර්ණය දෙසට මත්පැන් බෝතල්වලින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එක් කම්කරුවෙකු නිවාස සංකීර්ණය දෙසට මත්පැන් බෝතල්වලින් ප්‍රහාරයක් එල්ල කරන ආකාරය අයෙකු ජංගම දුරකතනයකින් පටිගත කර තිබුණි.

ඉන් කෝපයට පත් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් වැඩබිම දෙසට දිව යන ආකාරය සීසීටීවී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව වැල්ලවත්ත පොලිස් නිලධාරීන් ද පැමිණ තත්ත්වය සමථයකට පත් කිරීමට උත්සාහ කළේය.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකය එම ස්ථානයට කැඳවා තිබූ අතර ‍තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිසියට සිදු විය.

සිද්ධියෙන් ගැටුමට සම්බන්ධ පුද්ගලයින් 09 දෙනෙකු සහ වැල්ලවත්ත පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

ගැටුමෙන් ත්‍රිරෝද රථ 07කට,යතුරුපැදියකට හා මෝටර් රථයකට දැඩි අලාභහානි සිදුව තිබේ.

නිවාස සංකීර්ණය අසල පදිංචිව සිටින ගැටුමට සම්බන්ධ වූ කම්කරුවන් කලක සිට තමන්ට විවිධ ගැටලු ඇති කරන ආකාරයෙන් හැසිරී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

***************************************

එජාපයේ පාක්ෂිකයෝ දැන් නයා නැති අහිකුණ්ඨකයා වගෙයි-රෝහිත

(05.08.2019 – 18:58 +0530 – sinhala.adaderana.lk)

මුස්ලිම් සහ දමිල ජනතාව වෙනුවෙන් වත්මන් ආණ්ඩුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවන බව පාස්කු ප්‍රහාරයෙන් පසු එම නායකයින්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දුන්බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම ඒ මහතා ප්‍රකාශ කළේ එඩිතර ශක්තිමත් නායකයෙකුගේ රැකවරණය මුළු රටම අපේක්ෂා කරන බවයි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබා ගතහොත් විපක්ෂ නායක ධුරය සහ මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් ඉදිරිපත් වන නීතිමය අභියෝග වලට මුහුණ දීමට සුදානම් බවද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වැඩි දුරටත් අදහස් දැක්වීය ප්‍රකාශ කළේය.

මේ අතර, එහිද අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවුවේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද හේතුවෙන් අද වනවිට එහි පාක්ෂිකයින්ගේ බලාපොරොත්තු සුන්වී ඇති බවයි.

ගමේ ඉන්න එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් මේ වන විට සිටින්නේ නයා නැති අහිකුණ්ඨකයා ලෙස බවත් මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එහිදි අදහස් පළ කළේය.

+++++++++++++++++++++

***************************************

කොළඹ කුණු වෙයිද ?

(05.08.2019 – 22:29 +0530 – hirunews.lk/sinhala)

‍වත්තල – කෙළවරපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ භාරගැනීමේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඇතැම් දේශපාලනඥයින් අදාළ අංගනය වෙත පැමිණ සිදුකරන බාධාවන් ගැටුමක් කරා දුරදිග නොයනු පිණිස මෙම තීරණය ගත් බවයි.

මීතොටමුල්ල කසළ කන්ද 2017 වසරේ නායයාමෙන් අනතුරුව කොළඹ ඇතුළු තදාසන්න නගරවල එක් රැස්වෙමින් තිබූ කසළවලට පිළියමක් ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් වත්තල – කෙළවරපිටිය මෙම කසළ අංගනය ආරම්භ කර තිබුණා.

ඒ අනුව වසර දෙකකට වැඩි කාලයක් කුණු මෙම කසළ අංගනය වෙත රැගෙන ඒම හේතුවෙන් එහි කසළ ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවයි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව පෙන්වා දෙන්නේ.

කෙළවරපිටිය කසළ අංගනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු පිරිසක් අද එහි නිරීක්ෂණයක නිරත වී තිබුණා.

එහිදී ඔවුන් චෝදනා කළේ මෙම කසළ අංගනය ප්‍රදේශවාසීන්ට දැඩි සෞඛ්‍ය ගැටලු මතුකර ඇති බවයි.

මේ අතර, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ කසළ සම්බන්ධයෙන් වගකීමක් තම අමාත්‍යාංශය වෙත පැවරී නොමැති වුවත් ජාතික වගකීමක් ලෙස සලකා කසළ ගැටලුව පිළියම් යෙදීමට පියවර ගෙන තිබු බවයි.

එහෙත්, මෙවැනි අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම් සහ නිලධාරීන්ට තර්ජනය කිරීම් පවතින පසුබිමක ගැටුමක් වළක්වා ගැනීම සඳහා කසළ භාරගැනීමේ කටයුතු නතර කිරීමට තීරණය කළ බව එම අමාත්‍යාංශය සඳහන් කළා.

***************************************

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන 575 ක් අතුරුදන් – අමාත්‍යාංශයේ ලේකම්වරියගෙන් ලිපියක්

(05.08.2019 – 20:24 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන 575 ක් අතුරුදන් වි ඇති බව දන්වමින් එම අමාත්‍යාංශයේ ලේකම්වරිය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන සංචිතය පිළිබදව විගණකාධිපතිවරයා සිදුකරන ලද විශේෂ විගණනයකින් හෙළිදරව්වී ඇත්තේ එම අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථාන ගතවි ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංයේ වාහන 575 ක් ක් සොයාගැනීමට නොහැකිවී ඇති බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පොලිස්පතිවරයා වෙත යවා ඇති ලිපිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අතුරුදන් බවට පැමිණිලි කර ඇති වාහනවල අංක සමගින් නියෝජ්‍ය පොලිස්පති එල්.ඒච්.ඒ.ඩබ්ලිව්.කේ.සිල්වා මහතාගේ අත්සනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාශ රැසකට දන්වා ඇත්තේ අදාල වාහන පිළිබදව සොයාබලා එළඹෙන 10 වනදාට පෙර වාර්තා කරන ලෙසයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන කළමණාකරණය පිළිබදව විශේෂ විගණන වාර්තාවක් එළිදක්මින් විගණකාධිපතිවරයා සදහන් කර ඇත්තේ එම අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇති බවයි.

එබැවින් අදාල වාහන සොයා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන ලෙසද විගණකාධිපතිවරයා මෙම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම මෙම වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ සීඒ/1/17/1 දරණ චක්‍රලේඛයට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාවිතා කිරීමට හිමිකම් ඇත්තේ අමාත්‍යාංශය සතු වාහන තුනක් පමණක් වුවද ඔහු වාහන 18 ක් භාවිතා කර ඇති බවයි.

තවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ද අමාත්‍යාංශයෙන් හිමිකම් ලබන වාහන 3 ට අමතරව තවත් වාහන 8 ක් භාවිතා කර ඇති බවද විගණන වාර්තාවේ සදහන්.

***************************************

තහනම් වූ ඊළාම් කොඩිය ෆින්ලන්තයේ එසවේ

(05.08.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala)

යුදමය වශයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කොට වසර 10 ක් ගතව ඇතත් එම සංවිධානය සහ එහි මතවාදයන් තවමත් ලොව පුරා විවිධ ස්ථානවල ප්‍රවර්ධනය කෙරෙනවා.

ෆින්ලන්තයේ දෙමළ ඩයස්පෝරාව සංවිධානය කළ උත්සවයක ඊලාම් කොඩිය ප්‍රදර්ශනය කරන දර්ශන පෙළක් හිරු ප්‍රවෘත්ති වෙත ලැබුණේ එරට සිංහල ඩයස්පෝරාවේ සාමාජිකයෙකු වෙතින්.

දෙමළ ක්‍රීඩා උළෙල ලෙස නම් කර තිබූ මෙම උත්සවය ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර ඊයේ සංවිධානය කර තිබුණා.

එම උත්සව භූමියේ ෆින්ලන්ත ජාතික ධජය සමඟ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ ධජය ද ප්‍රදර්ශනය කර තිබීම විශේෂත්වයක්.

කුඩා දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති ආචාර පෙළපාලියේ ද එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ ධජය ප්‍රදර්ශනය කර තිබුණා. කෙසේ වෙතත්, අදාළ සිද්ධිය පිළිබදව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් පොලීසිය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සදහන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *