නෙළුම් කුලුනේ වැඩ ඉබි ගමනේ : රජයට මිලියන 5,475 ක ආදායමක් නැති වෙලා

(08.08.2019 – 22:00 +0530 – lankadeepa.lk)

නෙළුම් කුලුන පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් නිසි ආකාරයට පවරා නොගැනීමත්, ඉදිකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන නිසි කාලයට තීරණ නොගැනීම හා කොන්ත්‍රාත්කරු විසින් සිදු කරන ලද ප්‍රමාදයන් නිසා ඇස්තමේන්තුගත අගයන් අනුව 2018 අගෝස්තු 30 වන විට රුපියල් මිලියන 5,475 ක පමණ ආදායමක් රජයට අහිමි වි තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන පරීක්ෂණයකින් පසු නිගමනය කර තිබේ.

නෙළුම් කුලුනේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ වීම සහ ණය මුදල සීමා වීම මත ණය මුදල සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එක්සිම් බැංකුවට ගෙවනු ලැබ තිබූ අමතර එකඟතා ගාස්තු ප්‍රමාණය වන රුපියල් 141,487,103 ක පමණ මුදල නිෂ්ඵල (අනාර්ථික) ගනුදෙනුවක් වී ඇති බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිගමනය කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ නෙළුම් කුලුන ඉදි කිරීම පිළිබඳ කළ විගණනයකින් පසු විශේෂ විගණන වාර්තාව නිකුත් කරමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

2012 නොවැම්බර් 12 දින ආරම්භ කරන ලද නෙළුම් කුලුන ඉදිකිරීමේ ව්‍යාපෘතිය දින 912 කින් අවසන් වීමට නියමිතව තිබුණ ද 2018 දෙසැම්බර් 31 වන විටත් ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් තිබුණු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි. මෙම ව්‍යාපෘතියට අදාලව විධිමත් ශඛ්‍යතා අධ්‍යයන වාර්තාවක් පිළියෙල කර නොතිබුණු බව විගණකාධිපති දෙපාර්තමේනව්තුව නිරීක්ෂණය කර තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණ අනුව සහ අවබෝධතා ගිවිසුම අනුව අදාළ ඉඩම පැවරීමක් කර නොතිබූ බව නිරීක්ෂණය කරන විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතියේ මෙහි උපදේශන ගාස්තු ලෙස මොරටු විශ්ව විද්‍යාලයට ගෙවීමට එකඟ වී තිබූ රුපියල් 198,691,500 න් රුපියල් 150,000,000 ගෙවා තිබුණ ද ඊට කැබිනට් අනුමැතිය ලබා ගෙන නොමැති බව ද සඳහන් කරයි.

ව්‍යාපෘතියේ උපදේශක ගාස්තු වශයෙන් වාරික 12 ක් ගෙවීමෙන් පසු එම ගෙවීම් අත්හිටුවා ගිවිසුම් කොන්දේසිවලට පරිබාහිරව කොන්ත්‍රාත් අධීක්ෂණය වෙනුවෙන් යැයි සඳහන් කරමින් 2015 නොවැම්බර් මස සිට මසකට රුපියල් 3,000,000 බැගින් ගෙවමින් පවතින බවත්, එසේ ගෙවීමට හේතුව මනා අධීක්ෂණයකින් තොරව ඉදි කිරීම් සිදු කිරීමට ඉඩ හැරීමෙන් සිදුවිය හැකි හානි වලක්වා ගැනීම බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දුන් බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.

නෙළුම් කුලුන ඉදි කිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ නිරීක්ෂණයන් අනුව එම ගිවිසුම සංශෝධනය කර නොතිබුණු බව ද විගණන වාර්තාවේ දක්වා ඇත.

කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන් පසු 2015 අගෝස්තු 28 දිනැති විදුලි සංදේශ කොමිෂන් සභා තීරණයක් අනුව කොන්ත්‍රාත් කාලය 2017 අගෝස්තු දක්වා දීර්ඝ කිර තිබුණ ද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබුණු බවත්, 2018 ජුනි 30 වන විටත් නෙළුම් කුලුනේ ඉදිකිරීම් අවසන්වී නොතිබුණ ද කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර නොතිබුණු බවත්, ඒ සම්බන්ධ නිර්දේශයක් ව්‍යාපෘති උපදේශන ඒකකයෙන් ඉදිරිපත් කර නැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දන්වා ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නෙළුම් කුලුනේ සියලුම විදුලි සෝපාන සහ තරප්පු සවිකිරීම 2017 සැප්තැම්බර් 30 වන විට අවසන් කළ යුතු වුවත් 2018 මැයි 11 වන විටත් එය අවසන් කර නොතිබූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු සහ සංවර්ධන නිලධාරියකු පිළිවෙළින් රුපියල් 3,320,000 ක සහ රුපියල් 2,185,000 ක මුදල් මොරටුව විශ්ව විද්‍යාලයේ උපදේශන ඒකකයෙන් ලබාගෙන ඇති බව නිරීක්ෂණය කරන විගණකාධිපති දෙපාර්තමේන්තුව එය ආචාරධර්මානුකූල නොවන බව සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අදාල නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව පියවර ගත යුතු බව එම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

නෙළුම් කුලුන ව්‍යාපෘතිය සිදු කරන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පස් දෙනකු සඳහා 2013 ජනවාරි පළමු වැනි දා සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලයේ කමිටු දීමනා ලෙස චක්‍රලේඛ විධිවිධානවලට පිටින් රුපියල් 10,920,000 ක් ගෙවා ඇතැයි නිරීක්ෂණය කර ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව කළමනාකරණ සේවා චක්‍රලේඛවලට අනුගත නොවී කළ එම ගෙවීම් යළි එම නිලධාරීන්ගෙන් අය කර ගන්නා ලෙස ද නිර්දේශ කර ඇත.

විදුලි සංදේශ පනත අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සමාගමක් පිහිටුවීම සඳහා බලතල නොමැති වුවව ද සමාගමක් ස්ථානපය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොළඹ නෙළුම් කුලුන දේපොළ කළමනාකරණ සමාගමකට බදු දීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කර තිබුණ ද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබූ බව නිරීක්ෂණය කර ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව තම නිර්දේශ ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ නෙළුම් කුලුන වාණිජකරණය කිරීමට ප්‍රථම ණය වාරික සහ ණය ගැනුම් පිරිවැය ඇතුළත් වන පරිදි නිවැරදි ආදායම් පුරෝකථනයක් සිදු කළ යුතු බවයි ෴

– තරිඳු ජයවර්ධන

***************************************

ඉහළ වටිනාකමක් ඇති නිල් ආරුනූල් මැණික මහජන ප්‍රදර්ශනයට

(08.08.2019 – 19:49 +0530 – lankadeepa.lk)

ලොව වැඩිම වාණිජ වටිනාකමකින් සමන්විත බව කියන නිල් ආරුනූල් මැණික මහනුවර, පේරාදෙණිය පාරේ අංක 676 පිහිටි ස්ථානයේ මේ දිනවල මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ යනුවෙන් හඳුන්වන මෙම මැණික ප්‍රදර්ශනයට තබා ඇත්තේ මෙරට විශාලතම ආභරණ ප්‍රදර්ශනාගාරය වන මහනුවර, පේරාදෙණිය පාරේ පිහිටි ‘ටියේෂ්’ ප්‍රදර්ශනාගාරයේ ය.කැරට් 332 කින් බරින් යුතු ශ්‍රී ලංකාවේ නිල ආරුනූල් මැණිකක් වන මෙම ‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ මැණිකේ වත්මන් හිමිකරුවන් වන්නේ ‘ටියේෂ්’ ආයතනයේ හිමිකරුවන් වන ‘ද ෆොන්සේකා’ පවුලයි.

මෙම මැණික අවුරුදු මිලියන 800 ක ඉතිහාසයකට හිමිකම් කියන බව දැනට ගණනය කර තිබේ.රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ගම්මානයේ පතලකින් ‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ මැණිකේ මවු පාෂාණය සොයාගෙන ඇත්තේ 1980 දශකයේ මුල් භාගයේදීය. එහි බර කැරට් 201,500 ක් එනම් කිලෝග්‍රෑම් 40.03 ක් ලෙස ගණනය කර තිබිණි.

කැරට් 18 ක කහ සහ සුදු රත්තරංවලින් නිමවා ඇති මෙරට තවත් වටිනා මැණික් ගල් ඔබ්බවනු ලැබූ කිරුළක ‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ මැණික රඳවා ඇත. මැණික තබා ඇති ගොඩනැගිල්ලට පැය 24 මුළුල්ලේ ක්‍රියාත්මක විශේෂ ආරක්ෂාවක් ද ලබා දී තිබේ.

***************************************

පොහොට්ටුවට සහය පළකරමින් කලාකරුවන් පිරිසකගෙන් ‘ෆුල් පේජ් ඇඩ්’ එකක්

(09.08.2019 – gossiplankanews.com)

අද දින ජාතික පුවත්පත්වල සිය මුහුණු සමග පළ කර තිබෙන වෙළෙඳ දැන්වීමක් මගින් කලා ක්ෂෙත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණට (පොහොට්ටුව) සහයෝගය පළ කර තිබේ. එළැඹෙන මැතිවරණ ඉලක්ක කරගෙන තමන්ගේ පක්ෂපාතීත්වය ප්‍රකාශ කිරීම වෙනුවෙන් නිදහස් කලා සන්ධානය නමැති කලා එකමුතුව මගින් මෙම වෙළෙඳ දැන්වීම ජාතික පුවත්පත්වල පිටුවක් පුරා දිස්වන සේ පළ කර තිබේ.

පහත පළවන්නේ එම පිටුවේ සඳහන් කලා ශිල්පීන් පිරිසයි :

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදයක් ගැන අනතුරු ඇඟවීමක් ?

(09.08.2019 – 11:46 +0530 – sinhala.adaderana.lk)

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ‘ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය’ විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදය පහතින් දැක්වෙයි :

“ඉස්ලාම් ආගමේ කොන්දේසිවලට යටත් නොවූ අයට විරුද්ධව කරනු ලබන තර්ජනය හා මර්දනය ඉස්ලාම් ආගමේ ආරම්යේ සිට වර්තමානය දක්වා සිදුවම්න් පවතින්නේය.

ඉස්ලාම් ප්‍රතිපත්තිය නොපිළිගන්නා අයට ද, එය ප්‍රතික්ෂේප කර හැරගිය අයට ද එරෙහිව ආරම්භ කළ යුධ හඬ දශක ගණනාවක කාලයකට පසුවද තවමත් කුරිරු ලෙස හඬ නගමින් පවතී.

දව්හීත් ජමාත් සහ ජමාත්තේ ඉස්ලාමි යන සංවිධාන විසින් පෝෂණය කර ඉන් පසුව කුඩා කාලයක් තනි සංවිධානයක් ලෙස ක්‍රියාකල ඉස්ලාම් ත්‍රස්තවාදීන් මෙම අවුරුද්දේ අප්‍රේල් මස සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් ඒ අඛණ්ඩ ක්‍රියාවේ එක් කොටසක් විය.

මෙම ප්‍රහාරවලින් අනතුරුව පැවති සාකච්ඡාව හා සංවාද ඉතාමත්ම වැදගත්ය.

ඉස්ලාම් ආගමේ නාමයෙන්, එකී උතුම්භාවයේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් බොහෝ අය නිහඬ භාවය අවසන් කර හඬනගන්නට අවතීරණය වීම, අවශ්‍ය වෙනස් වීම් සඳහා හඬනඟන්නට පෙළඹවීම ද දකින්නට ලැබුනා.

ඉස්ලාම් ආගමේ අන්තවාදය නිසා විපතටපත්වූවන්ගේ හඬ පිළිබඳව අද රජය සහ අනිකුත් සමාජ සංවිධාන විසින් ද වඩා සැලකිලිමත් වීම ඒ සදහා වන ප්‍රධාන හේතු සාධක වලින් එකක්ය.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය (MMDA) විශාල ලෙස සංශෝධනය කළ යුතු බව නැවත නැවතත් පැහැදිලි කරමින් දින කීපයකට පෙර මුස්ලිම් කාන්තා සංවිධාන කිහිපයක් විසින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ අතර, මාධ්‍යවලට හා සමාජ මාධ්‍ය වලට අදහස් ද අඛණ්ඩව ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේ දී එම කාන්තාවන්ට එරෙහිව ඉස්ලාම් අන්තවාදය සිය කුරිරුභාවය පෙන්වා ඇත.

ඉස්ලාම් අන්තවාදීන් කිසිඳු වරදකාරී හැඟීමකින් තොරව ප්‍රසිද්ධියේ එම කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ප්‍රචාරය කිරීම එක පැත්තක සිදුවීමෙන් පැවැත්වෙද්දී, අනෙක් අතට මුස්ලිම් කාන්තා සංවිධාන ඉදිරිපත් කළ සංශෝධන වලට ජමියතුල් උලමා සංවිදානය එකඟ නොවූ අතර මුස්ලිම් දේශපාලකයන් අදාල කරුණු මත ක්‍රියාකිරීම මර්ධනය කරන්නට උත්සාහ කරමින් සිටි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව පැතිරීයන අන්තවාදය සමාජ මාධ්‍යවලින් වර්ධනය වී ඇත.

කුරාන්, හදීස් සහ ඉස්ලාම් දේශන ග්‍රන්ථවල ඇති අන්තවාදය, ප්‍රචණ්ඩත්වය, මූලධර්මවාදය, ක්‍රෝධය, ස්ත්‍රී පුරුෂ වෙනස්කම්, අන්ධභක්තිය යනාදිය උගන්වනු ලබන තෙක් හා ඒවා උතුම්යැයි සලකන තෙක් ඉස්ලාම් ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට නොහැකි බව ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය අවධාරණය කරයි.

වර්ධනය වෙමින් පවතින ඉස්ලාම් අන්තවාදය ඕනෑම අවස්ථාවක මිලේච්ඡ ත්‍රස්තවාදයක් ලෙස වෙනස්විය හැකි අවධානමක පවතින බව අතීතය අපහට උගන්වා ඇත.

මේ පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු විය යුතු බවට ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය ඉල්ලා සිටියි.

ජනතාව විසින් තෝරාපත් නොවූ සමස්ථ ලංකා ජමියතුල් උලමා යනාදී මූලධර්මවාදී සංවිධාන රටේ නීති පිළිබද කරුණුවලට බලපෑම් කිරීම හා මුස්ලිම් වරුන්ගේ කටයුතු වල ආධිපත්‍යය පැතිරවීම ද ජනතාව විසින් තේරීපත් වූ රජය අනුමත නොකළ යුතුය, අනෙක් අතට එය වහාම තහනම් කළ යුතුය.

තව ද, මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය වැනි පෞද්ගලික නීති සියල්ලම තහනම් කර සමස්ත ජනතාවටම ගැලපෙන පොදු නීතිය ක්‍රියාත්මක කර යුතු බව ද අසාධාරණයට විරුද්ධ, යුක්තිය ඉල්ලා හඬ නගන කාන්තාවන්ට එරෙහිව ඉස්ලාම් අන්තවාදීන් විසින් කරනු ලබන ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර ගත යුතු බවට ද රජයෙන් සහ මහජන නියෝජිතයන්ගෙන් ද ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය ඉල්ලා සිටියි ෴

***************************************

ලිත්‍රෝ නඩුවෙන් ගාමිණී සෙනරත් ඇතුලු තුන්දෙනාට නිදහස

(09.08.2019 – hirunews.lk/sinhala)

***************************************

නිට්ටඹුවේ බස් – වෑන් අනතුරකින් මව, පුතු, ඇතුළු තුන්දෙනෙකු මරුට

(07.08.2019 – 21:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව – කලල්පිටිය ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අද පස්වරු 5 ට පමණ අදාළ බස් රථය, කැබ් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් වෑන් රථයේ රියදුරු, ඔහුගේ මව සහ තවත් ඥාතියෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.

වෑන් රථයේ රියදුරුගේ පියා සහ සහෝදරියක් ද අනතුරින් තුවාල ලබා ඇති අතර, ඔවුන් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි වෑන් රථයේ රියදුරු, 47 හැවිරිදි ඔහුගේ මව සහ 57 හැවිරිදි තවත් ඥාතී කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

https://www.youtube.com/watch?v=ndkCLO2qzOU

***************************************

නවසීලන්තයේ සිහින පෙන්වා මුදල් වංචා කළ කතක් රිමාන්ඩ්

(09.08.2019 – 20:59 +0530 – sinhala.adaderana.lk)

නවසීලන්තයේ රැකියාවක් ලබාදෙන බව පවසා තරුණයෙකුගෙන් මුදල් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විසින් නවසීලන්තයේ රැකියාවක් ලබාගැනීම සදහා මෙම සැකකාරියට රු.500,000.00 ක මුදලක් ලබාදී ඇති අතර, පොරොන්දු වූ පරිදි එම රැකියාව ලබා නොදීම හේතුවෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් ඊයේ (08) කොට්ටාව ප්‍රදේශයේදී රමණි ප්‍රදීපිකා නානායක්කාර නොහොත් රමේකා ප්‍රියංගනී රණසිංහ නම් ප්‍රධාන සැකකාරිය හා ඇයට සහය දැක්වූ අයෝධ්‍ය චානක නානායක්කාර යන අය අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 6 ක් හා විදේශ රැකියා සම්බන්ධ වෙනත් ලිපි ලේඛන රාශියක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

වැඩිදුර සොයා බැලීමේදී ඇයට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති අධිකරණවල නඩු 7 ක් පවතින බව අනාවරණය වී ඇති අතර, ඒ හේතුවෙන් ඇය දිවයිනේ පිළිගත් අපරාධකාරිණියක ලෙසද අධිකරණය විසින් හදුන්වා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර, නැවතත් ඇය ‍මේ මස 22 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *