තලාවේ ආනාරක්ෂිත දුම්රිය හරස් මග ගිය වෑන් රථය දුම්රියේ ගැටෙයි

(16.08.2019 – 14:16 +0530 – hirunews.lk/sinhala)

තලාව දුම්රිය ස්ථානයට යාබද දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කරමින් තිබූ වෑන් රථයක් ඊයේ (15) රාත්‍රියේ දුම්රියේ ගැටී සිදු වූ අනතුරකින් එක් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තලාව දුම්රිය ස්ථානයට හා දුම්රිය ස්ථානය පිටුපස පිහිටි ගම්මානයට ගමන් කිරීම සඳහා ඇති මෙම දුම්රිය හරස් මාර්ගය ඔස්සේ නගරය දෙසට ගමන්කරමින් තිබූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ රියදුරු සමඟ තිදෙනකු ගමන් කර ඇති අතර, දුම්රියේ ගැටුණු වෑන් රථය මීටර් කීහිපයක් දුර ඇදී ගොස් දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී නතර වී තිබෙනවා.

වෑන් රථයේ ගමන් ගත් එක් අයෙකු තුවාල ලබා තලාව රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

අදාළ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවේ සේවකයකු නොමැතිකමින් එම ස්ථානය ඉතාමත් අනාරක්ෂිත බවයි ප්‍රදෙශවාසීන් පෙන්වාදෙන්නේ.

මීට පෙරද මෙම ස්ථානයේ අනතුරු සිදුව ඇති බවත්, විශාල පිරිසක් නිරන්තයෙන් ගමන් කරන මෙම හරස් මාර්ගයට දුම්රිය ගේට්ටු සවි කර මුරකරුවකු යෙදවිය යුතු බවත් ප්‍රදේශවාසීන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

https://www.youtube.com/watch?v=-qgHu1SjY-M#t=7

***************************************

පෙර පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් තවත් වාහන 6 ක ගැටේ

(15.08.2019 – 14:48 +0530 – hirunews.lk/sinhala)

විනෝද චාරිකාවක් සඳහා පෙර පාසල් ළමයින් රැගෙන යමින් තිබූ බස්රථයක් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව මංසන්ධිය ආසන්නයේදී තවත් වාහන 6 ක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රියදුරුට බස් රථය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් සුළු තුවාල ලැබූවන් සිසුන් සහ දෙමව්පියන් කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබා වතුපිටිවල රෝහලෙන් පිටව ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

***************************************

යතුරුපැදි දෙකක් ගැටී සිව් දෙනෙකුට තුවාල

(15.08.2019 – 16:59 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් සිදුවූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (15) උදැසන මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසළ වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින් :

https://www.youtube.com/watch?v=0oSzzX6MV60#t=5

***************************************

බඩුත් එක්කම බේකරියේ පාන් ලොරිය උස්සපු අමුතු හොරා CCTV කැමරාවෙන් අල්ලපු හැටි මෙන්න

(15.08.2019 – 10:30 +0530 – hirunews.lk/sinhala)

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ නවතා තිබූ බේකරි නිෂ්පාදන බෙදා හරින කුඩා ලොරි රථයක් සොරකම් කළ සැකකරුවෙකු පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථය සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම සැකකරු ප්‍රධාන මාර්ගය අභියස තිබූ වැන් රථයක දොරක විවෘත කිරිමට උත්සහ කර එය ව්‍යාප්ත වු නිසා වැන් රථයට ඉදිරියෙන් වු කුඩා ලොරි රථයේ දොර විවෘත කර එය පන ගැන්විමට උත්සහ කර ලොරි රථය පන ගැන්විමට නොහැකි වු නිසා සැකකරු විසින්ම ලොරි රථය තල්ලු කර පන ගන්වා ලොරි රථය හැටන් ස්ටැඩන් වතු යායට රැගෙන ගොස් සගවා තිබෙනවා.

පසුව ලොරි රථයේ අයිතිකරුගෙන් හැටන් පොලිසියට කළ පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අවුරුදු 37 වයසැති හැටන් රොතැස් වතුයායේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

https://www.youtube.com/watch?v=M4qyjgnd3Ec#t=5

***************************************

සැමට නිවාස දෙන බවට පාරම්බාන දේශපාලකයින් නොදුටු අසරණ පවුල

(14.08.2019 – 20:23 +0530 – hirunews.lk/sinhala)

දහසකුත් එකක් දුක් කම්කටොළු මැද ඔත්පලව ඇති සිය සැමියාත්, කුඩා දරු දෙදෙනාත් ජීවත් කිරීමට වෙර දරන මවක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණේ රත්නපුර – නගරසභාගම ප්‍රදේශයෙන්.

මේ රත්නපුර නගරසභාගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි නිල්මිණි දිල්රුක්ෂි බර්තලමියුස්.

අනේකවිද සුන්දර බලාපොරොත්තු මහ ගොඩක් නොතිබුණත් සිය සැමියාත් සමග කාටවත් අත්නොපා ජීවත්වූ අතීතයක් මේ අයට තිබුණා.

කුලී වැඩ කර එදිනෙදා වේල සරිකරගත් දිල්රුක්ෂිගේ සැමියා ගසකින් වැටී එක්තැන් වීමත් සමග ජීවිතය ගැටගහගන්නට අද කාගේ හෝ සරණක් පතන්නට සිදුවී තිබෙනවා.

සැමට නිවාස දෙන්නටත්, රට සුඛිතමුදිත කරන්නටත් දේශපාලන වේදිකාවල අතොරක් නොමැතිව පාරම්බාන මෙවන් සමයක මේ පවුල ජීවත්වෙන්නේ හිටවූ උන බට වලට ඉටි රෙදි ගසා සාදාගත් පැල් කොටයකයි.

ඔත්පල වී ඇති සිය සැමියාත් සමග ඉතා අපහසුවෙන් ජීවිතය ගැටගසාගන්නා නිල්මිණි තමන්ට ඇති අපහසුතා වචනයට නැගුවේ මෙලෙසින්.

***************************************

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය කම්පාවට පත්වෙයි

(14.08.2019 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ඛේදවාචකය සම්බන්ධයෙන් යුක්තිසහගත, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් මේ දක්වා සිදු නොවීම සම්බන්ධයෙන් තමන් බලවත් කම්පාවට පත්වන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ එම ඛේදවාචකයට වගකිව යුතු සියලුදෙනා වහා නීතිය හමුවට පමුණුවන ලෙසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය රැස්වීමක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුව මාධ්‍යයට නිවේදනයක් නිකුත් කෙරුණා.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජනතාවගේ සිත් තුළ තවමත් බිය සහ සැකය පවතින බැවින් රටේ සෑම දෙනාටම නිතිය එක ලෙස බලපවත්න බවට රජය සහතිකයක් ලබාදිය යුතු බවයි.

සහතික කළ ලෙසින් පරීක්ෂණවල ප්‍රතිඵල දැනගැනීමට ජනතාව විමසිල්ලෙන් බලා සිටින බවත්, ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම හදිසි සහ අත්‍යාවශ්‍ය කරුණක් බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනා ජාතිය ආගම හෝ වෙනත් තත්ත්වයන් නොතකා රටේ නීතිය හමුවට වහා පමුණුවන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය රජයෙන් සහ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ඊයේ නල්ලූරු කෝවිලේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා.

***************************************

මස්සැන්නේ විජිත හිමි පැහැරගැනීමට උත්සාහ ගත් ‘නාරං සම්පත්’ සොයා සිදුවූ පොලිස් මෙහෙයුම

(16.08.2019 – colombotoday.com)

අතුරුගිරිය ගල්පොත්ත විහාරය වෙත පැමිණි නාදුනන පිරිසක් පසුගියදා එහි වැඩවසන පූජ්‍ය මස්සැන්නේ විජිත හිමි පැහැරගැනීමට ගත් උත්සාහයක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරන ලදි. එලෙස පැමිණි පිරිස විසින් තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේ ජයාරූප පෙන්වා ප්‍රදේශයේ ජීවත්වෙන පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් තොරතුරු විමසා ඇති අතර මේ පිළිබඳව මස්සැන්නේ විජිත හිමි අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

අදාළ සැකකරුවන් පිළිබඳව භික්ෂුන් වහන්සේලාට තොරතුරු වාර්තා වී ඇති අතර මෙම කණ්ඩායම මෙහෙයවා ඇත්තේ බොරැල්ල, ගෝතමී පාරේ ‘නාරං සම්පත්’ නැමැත්තා බවට හඳුනාගෙන ඇත. ඔහු සමග ගෝතමී පාරේ ‘ලොකු සුදු’ සහ කඩුවෙල අධිකරණයේ සේවය කරන හිසේ තට්ටය සහිත නීතිඥවරයෙකු සහ ඔහුගේ රියදුරු මෙලෙස ‘වැගන් ආර්’ රථයකින් එදින පැමිණ තිබේ.

එම තොරතුරු මිරිහාන පොලිස් බලප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැන්වීමෙන් පසු වැලිකඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් සහ භික්ෂුන් වහන්සේලා කිහිපනමක් එක්ව ‘ගෝතමී පාර’ ප්‍රදේශයේ වැටලීමක් සිදුකරන ලද අතර එහිදී ‘ලොකු සුදු’ නැමති පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදි. ඒ සමගම පොලීසිය ‘නාරං සම්පත්’ නැමැත්තාගේ නිවසට පැමිණෙන විට ඔහු නිවසින් පලා ගොස් ඇත.

එදින අතුරුගිරිය ගල්පොත්ත විහාරය වෙත පිරිස පැමිණි බව ‘ලොකු සුදූ’ පිළිගත් අතර මීට වසර හයකට පෙර, අතුරුගිරිය ප්‍රදේශයට පැමිණි බෞද්ධයන් වෙනත් ආගම්වලට හැරවීමට කටයුතු කරන කණ්ඩායමක් අල්ලා පොලීසියට බාර දීම සම්බන්ධ සිද්ධියක් හේතුවෙන්, නිතිඥවරයාගේ කොන්ත්‍රාත්තුවකට පිරිස පැමිණි බවත් ‘ලොකු සුදු’ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළේය.

***************************************

අරාබි ජාතිකයෝ ඉස්ලාමයෙන් ඉවත් වෙති… BBC සමීක්ෂණයකින් හෙළිවෙයි…

(16.08.2019 – colombotoday.com)

තව දුරටත් තමන් ඉස්ලාම් ආගමේ බැතිමතුන් නොවන බව පවසන අරාබි ජාතිකයන් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බව මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල් ගණනාවක කරන ලද සමීක්ෂණයකින් හෙලිවී තිබේ.

කාන්තා අයිතිවාසිකම්, සංක්‍රමණයන්, ආරක්ෂාව හා ලිංගිකත්වය වැනි කාරණා සම්බන්ධයෙන් ඉස්ලාම් ආගම දක්වන දැඩි පිළිවෙත මෙසේ අනාගමික වීම සදහා බලපා ඇතැයි එම සමීක්ෂණය පෙන්වා දෙයි.

2013 8% ක් වූ මෙම ප්‍රතිශතය මේ වන විට 13% දක්වා ඉහළ ගොස් ඇති බවද එම සමීක්ෂණ දත්ත පෙන්වා දෙයි.

BBC අරාබි පුවත් සේවය හා අරාබි පීඩනමාන සමීක්ෂණ ජාලය (Arab Barometer research network) ඒකාබද්දව පලස්තීනය ආශ්‍රිත රටවල් 10 ක පුද්ගලයන් 25.000 කගේ පමණ සහභාගීත්වයෙන් මෙම මත විමසුම සිදුකර ඇත ෴

***************************************

තවුහිද් ජමාත් දෙවැනියා නවුෆර් මවුලවිගේ 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට – අවි පුහුණුව ලබා ඇති බවත් හෙළිවේ

(16.08.2019 – 15:09 +0530 – hirunews.lk/sinhala)

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දෙවැනියා ලෙස කටයුතු කළ නවුෆර් මව්ලවි නමැත්තාගේ පුත්‍රයා වන 16 හැවිරිදි මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා හෙවත් අබු හසාම්, රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකුණගොල්ල – අරක්යාල – බන්දියන් වැව, ප්‍රදේශයේදී අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක්, ඔහු අද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

සැකකරු සහරාන්ගේ නුවරඑළියේ පිහිටි පුහුණු කඳවුරේදී පුහුණුව ලබා ඇති බව ද හෙළි වී තිබෙනවා.

මේ අතර, තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණුව ලැබූ ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානයේ සාමාජිකයන් 12 දෙනෙකු පසුගිය දින කිහිපයේ අත්අඩංගුවට ගැණුනා.

+++++++++++++++++++++

***************************************

ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම ගැන ගැටලුවක් නැහැ

(16.08.2019 – 19:41 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය නිසි පරිදි ඉවත් කරගෙන ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මාසය සිට ජූලි මාසය දක්වා වසරේ දෙවන කාර්තුව තුලදී සිය පුරවැසිභාවය ඉවත් කර ගත් පුද්ගලයින්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් නොවන බවට සමාජ මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය වල ඇමරිකානු වාර්තා උපුටා දක්වමින් සඳහන් කර තිබුණා.

ඒ පිළිබඳව අදහස් දක්වමිනුයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=HJAYRXk74eM

***************************************

පන්සලේ අවාසගෙට පැන්න හොරෙක් – CCTV දර්ශන සහිතයි

(16.08.2019 – 16:51 +0530 – sinhala.adaderana.lk)

ගම්පහ, ඉදිගොල්ල රජමහාවිහාරයේ අවාස ගෙට ඇතුළු වූ නාඳුන පුද්ගලයෙකු විසින් එහි තිබූ මුදල් සොරා ගෙන ගොස් තිබේ.

පසුගිය ඉරිදා මෙම සොරකම සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම පුද්ගලයා විසින් රජමහාවිහාරයේ අවාස ගෙට ඇතුළු වී එහි තිබූ මුදල් සොරා ගන්නා අකාරය විහාරස්ථානයේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණි.

අදාළ සැකකරු විසින් විහාරස්ථානයේ අවාස ගෙය තුළ තිබී රුපියල් ලක්ෂ 20 ක මුදලක් සොරා ගෙන ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගම්පහ පොලීසිය විසින් සිදු කරයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *