දකුණේ පාතාලයට ආර්පීජී අවියක් ආවේ ගෝඨාභය ඝාතනයටද? සාමි නැමැති එල්ටීටීඊ ත‍්‍රස්තයෙක් ගෝඨාභයට සමීපවෙන තැතක්…

(18.08.2019 – divaina.com)

2015 ජනවාරි අටවැනිදා සිදු වූ පොදු අපේක්‍ෂක ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු පැවති ඊළඟ මහ මැතිවරණයට අනුව යහපාලනය ආරම්භ වූයේ එම වසරේ අගෝස්තු මස දහඅටවැනිදාය. ඒ අනුව ලබන දහඅටවැනිදාට යහපාලනය බිහිවී සිව් වසරකි. මේ සිව් වර්ෂ පූර්ණයට ඔන්න මෙන්න තිබියදී ඉකුත් සතියේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා යහපාලනය තුළින් සිදු වූ බරපතළ වරදක් නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබීය.

මෙසේ ජනාධිපතිවරයා නිවැරදි කරනු ලැබුවේ කුමක්ද? තිස් වසරක එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජයට පත් කළ ඉකුත් මානුෂීය මෙහෙයුමේදී යුද – ගුවන් – නාවික යන ති‍්‍රවිධ හමුදාවෝම රට වෙනුවෙන් කළ මෙහෙවර ඉතා ප‍්‍රශස්ථ එකක්ම වූහ. අප ලද විජයග‍්‍රහණයේදී ති‍්‍රවිධ හමුදාව සිදු කළ කැපකිරීම් බොහෝ විය. එසේ වුවද යහපාලනය බලයට පැමිණීමෙන් පසුව ඒ වන විට කරළියේ පැවති රාජපක්‍ෂ වෛරය නිසාමදෝ යුද්ධයේදී යුද හමුදාවට නායකත්වය දුන් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට යුද හමුදාවක ලබාගත හැකි ඉහළම ධුරය ලබා දෙමින් ඔහුට ෆීල්ඞ් මාර්ෂල් ධුරය ගෞරවනීය ලෙස පිරිනමන්නට ආණ්ඩුව කටයුතු කළේය. ඒ අනුව සරත් ෆොන්සේකා මහතා මෙරට සිටින ඉහළම හමුදා නිලධාරියා බවට පත්විය. එහිදී නාවික සහ ගුවන් හමුදාවන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිළිය.

නාවික ගුවන් විරුවෝ විජයග‍්‍රාහී සටනේදී කළ මෙහෙවර ආණ්ඩුවට අමතක වී තිබිණි. ඒ වන විට සිය හමුදා ජීවිතයට සමුදී සිටි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යහපාලන දේශපාලනයේ පෙරගමන්කරුවකු බවට පත්ව සිටීමත්, සිරගත කිරීම වැනි සිදු නොවිය යුතු දේ හමුවේ යහපාලනයේ ආරම්භයත් සමග රාජපක්‍ෂ කඳවුරට එලව එලවා පහර දීමට යොදාගත හැකි හොඳම තුරුම්පුවක් බවට ඒ වන විට සරත් ෆොන්සේකා පත්ව සිටීමත් මේ තෝරා ගැනීමට ප‍්‍රබල හේතුවක් වූවාද විය හැකිය. කෙසේ වෙතත් මේ අන්දමට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් ධුරයට පත් කිරීමෙන් පසු දේශපාලන හැලහැප්පීම් මැද කාලය ගෙවී යත්ම ති‍්‍රවිධ හමුදාව අරබයා ගත් කල සේනාධිනායකයා ලෙස තමන් අතින් නාවික හා ගුවන් හමුදාවට අවැඩක් සිදු වූ බව ජනාධිපතිවරයාට වැටහෙන්නට ඇති. එහිදී සිදුවූ වරද නිවැරදි කරන්නට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට අවශ්‍ය වුවද යහපාලන දීගයේ අනෙක් කොටස්කරුවා වූ එක්සත් ජාතික පක්‍ෂය තුළ නිදන්ගතව තිබූ ති‍්‍රවිධ හමුදාව අරබයා වූ මිලිටරි අජීර්ණය සහ පොලිස් රාජ්‍යයක් බවට රට පත් කිරීමේ වුවමනාව සියල්ලට හරස් විය.

බැඳගත්ත බෙරේ ගැසිය යුතු තත්ත්වයක් පැවති නිසා ජනාධිපතිවරයාට සිදු වූයේ නිහඬ වන්නටය. එහෙත් දැන් යහපාලනය නැත. එනිසා කිසිදු බාධාවකින් තොරව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සේනාධිනායකයා ලෙස මෙතෙක් ගත නොහැකිව තිබූ ඒ තීන්දුව නිවැරදිව ගෙන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන ගෞරවනීය ධුරයත්, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකට ‘මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස්’ යන ගෞරවනීය ධුරයත් ඉකුත් සතියේදී පිරිනමනු ලැබීය.

ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමත් සමග සදාකාලිකව රණවිරු අජීර්ණයක පසුවන එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලනයට හොඳටෝම රිදෙන්නට ඇත. එහෙත් සිදුවිය යුතු නිවැරදි දේ දැන් සිදුව අවසන්ය. යුද හමුදාවක ලද හැකි උසස්ම නිලය වන තරු පහේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට හිමිවූවාක් මෙන්ම මේ වන විට හිටපු නාවික හමුදාපති අදමිරාල් වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් දි ෆ්ලීට් සහ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස් යන නාවික සහ ගුවන් හමුදාවක ලද හැකි උසස්ම ධුරයන් වන තරු පහේ ගෞරවනීය ධුරයන්ට පත්කර ඇත.

සේනාධිනායකයා ලෙස ති‍්‍රවිධ හමුදාවම එක හා සමානව අගයමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තාක් මෙන් යහපාලනය සමග සිදු කෙරුණු තවත් නිවැරදි විය යුතු තැන් නැතිද? ඒ පිළිබඳ සලකා බැලීමේදී නම් ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කළ යුතු තවත් බොහෝ දේ ඇත. ඉදිරියේදී මැතිවරණය සමයක් එළැඹෙන බැවින් එහි ඇති වැදගත්කම ද ඉතා ඉහළය.

යහපාලනයේ ආරම්භයත් සමඟ රටේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කැපවී සිටි යුද සහ නාවික බුද්ධි අංශ නිලධාරීන්ට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත තත්ත්වයෙන් දැන්වත් ඔවුන් බේරා ගැනීම ඉන් ප‍්‍රධානම තැනක ඇති කරුණකි. සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ මාලාවකින් අපට සංග‍්‍රහ කර අහිංසක මිනිසුන් 250 ට අධික පිරිසක් අමු අමුවේම ඝාතනය කරන තුරු බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරමින් ඒ නින්දිත දඩයම පසුගිය කාලයේ දිගින් දිගටම සිදුවිය. ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරයාම බුද්ධි අංශ අඩපණ කිරීම නතර කළ යුතු යැයි කියද්දීත් එකී දඩයම අඛණ්ඩව සිදු කෙරිණි. එය මේ මොහොතේද සිදුවන්නකි. එයින් දිනෙන් දින බිඳ වැටුණේ රටේ ජාතික ආරක්‍ෂාවය. එසේ ජාතික ආරක්‍ෂාව බිඳ වැටෙද්දී පසුගිය කාලයේ හිස ඔසවන්නට වෙර දැරූ පාර්ශ්වයන් දෙකක් තිබිණි.

ඉන් ප‍්‍රබලම කණ්ඩායම වූයේ ප‍්‍රංශයේ ජීවත් වන එල්ටීටීඊයේ බුද්ධි අංශ ප‍්‍රබලයකු වූ විනයාගම් සහ නෙදියවන් ඉන්දියාවේ සිටින සිරංජි මාස්ටර් හරහා කි‍්‍රයාත්මක එල්ටීටීඊ ත‍්‍රස්තවාදය ය. යුදමය පරාජයෙන් පසුව එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් ඇතැම් ජාත්‍යන්තර ඔත්තු සේවාවන්හි රහසිගත සහයෝගයන් ද සමගින් යළි හිස ඔසවන්නට පසුගිය කාලයේ අවස්ථා හයකදීම උත්සාහ දැරීය.

ඉන්දියාවේ සිට ප‍්‍රහාරයකට සූදානම්ව මෙරටට පැමිණි ආනන්දරාසා නමැති එල්ටීටීඊ ත‍්‍රස්තවාදියකු වව්නියාව පුළියන්කුලම ප‍්‍රදේශයේදී ආරක්‍ෂක අංශවලින් බේරී බෝම්බ මල්ලක් අතහැර දමා පලා යෑම එම අවස්ථා හය අතරින් අවසන් අවස්ථාව විය. දෙවැනි කණ්ඩායම වන්නේ සහරාන් හෂිම් අප ඉදිරියට රැගෙන ආ මෙරට තුළ කි‍්‍රයාත්මක ඉස්ලාම් ත‍්‍රස්තවාදය ය. සහරාන් හෂීම් ඇතුළු තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන් බිහිසුණු ප‍්‍රහාරයක් එල්ල කර තිබියදී ඔවුන්ට වඩා එල්ටීටීඊයේ කි‍්‍රයාකාරීත්වය ප‍්‍රබල බව අප කියනුයේ කුමක් නිසාදැයි මෙහිදී දැන් කෙනකුට ගැටලුවක් මතු විය හැකිය. සහරාන් ඇතුළු තව්හිද් ජමාත් ත‍්‍රස්තයන් බිහිසුණු ප‍්‍රහාරයක් එල්ල කළ බව සැබෑවකි. එහෙත් ඉන් එහාට ගිය ඊළඟ ප‍්‍රහාරයක සාර්ථක සැලසුමක් ඔවුන්ට නොවීය.

යුද පරාජයන් පසු හත් වතාවක් යළි නැගී සිටීමට උත්සාහ දැරූ එල්ටීටීඊයේ කි‍්‍රයාකාරීත්වය ඇත්තේ ඊට එහා ගිය තැනකය. එකී හය වතාවෙන් පස් වතාවක්ම එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කි‍්‍රයාත්මක වී තිබුණේ විදේශීය ඔත්තු සේවාවන්ගේ සහාය ද ඇතිව කොටි ඩයස්පෝරාවේ මඟ පෙන්වීම යටතේ ජාත්‍යන්තරය දක්වා විහිදී ගිය සැලසුම් අනුවය. තව්හිද් ජමාත් ඉස්ලාම් ත‍්‍රස්තවාදයේත් එල්ටීටීඊයේත් වෙනස ඇත්තේ එතැනය. ඉකුත් 2012 වසරේ ති‍්‍රකුණාමලයේදී සිදු වූ යුද හමුදා ඔත්තුකරුවකු වූ ඊපීඩීපී මුත්තු ඝාතනයේ සිට 2015 වසර දක්වා එල්ටීටීඊය මෙසේ නැගී සිටීමට ගත් උත්සාහයන් තුනක් ආරම්භයේදීම සුණු විසුණු කිරීමට එදා අපේ ආරක්‍ෂක අංශවලට හැකි විය. එහෙත් 2015 වසරේ යහපාලනය බලයට පැමිණීමත් සමග ඒ සියල්ල බිඳ වැටිණි. ඉකුත් 2018 වසරේ ජුනි මාසයේදී ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ඔඩ්ඩුසුඩාන් ප‍්‍රදේශයේදී ති‍්‍රරෝද රථයක යමින් සිටි ත‍්‍රස්තවාදීන් පිරිසක් අහම්බයකින් මෙන් මාර්ග ආරක්‍ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට කොටුවිය.

එසේම 2018 නොවැම්බර් මාසයේදී මඩකලපුව වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු අමානුෂික ලෙස ඝාතනය කෙරිණි. මේ සිදුවීම තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන් සිදු කළ බව කියැවෙමින් තිබුණද රාජ්‍ය බුද්ධි සේවය සහ නාවික බුද්ධි සේවය මෙන්ම යුද හමුදා බුද්ධි සේවය ඒ පිළිබඳ සිදු කළ විමර්ශනයකදී මෙහිදී එල්ටීටීඊය සහ සහරාන් හෂීම් ඇතුළු තව්හිද් ජමාත් කල්ලිය සමග යම් සබඳතාවක් තිබූ බවටද තොරතුරු අනාවරණය විය. කිසියම් ප‍්‍රහාරයක් සඳහා ඉන්දියාවේ සිට පැමිණි ආනන්දරාසා නමැති කොටි ත‍්‍රස්තවාදියා පුලියන්කුලම ප‍්‍රදේශයේදී බෝම්බ මල්ලක් අතහැර දමා පලා යන්නේ මෙම 2019 වසරේ ජනවාරි මාසයේදීය. මේ වන විට සිදුවෙමින් තිබූ දඩයම හමුවේ බුද්ධි අංශ තිබුණේ අඩපණවය. එනිසා මෙම සිදුවීම් ති‍්‍රත්වය ආරම්භයේදීම විනාශ කර දමන්නට ආරක්‍ෂක අංශවලට නොහැකි විය. පසුව රාජ්‍ය බුද්ධි සේවය සහ යුද, නාවික බුද්ධි අංශ එක්ව මෙම සිදුවීම් පිළිබඳ පුළුල් මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළේය. එහිදී හෙළිදරව් වූයේ කුමක්ද? හෙළිදරව් වූ බරපතළම කාරණය වූයේ ඔඩ්ඩුසුඩාන් සිද්ධියේදී එල්ටීටීඊය විසින් සඟවා තබා ගොඩගනු ලැබූ ස්නයිපර් අවි දෙකක් අතුරුදන්ව තිබෙන බවය.

එය මඩකලපුව ප‍්‍රදේශයේ ජීවත් වූ එල්ටීටීඊයේ ස්නයිපර් විශේෂඥයකු වන ඉලක්කියන් මාස්ටර් අතට පත්වූ බව පසුව හෙළි වුවද ඒ වන විටත් ඉලක්කියන් මාස්ටර්ද ප‍්‍රදේශය අතහැර අතුරුදන්ව සිටියේය. මේ ඉලක්කියන් මාස්ටර් අදටත් සිටින්නේ කොතැනකදැයි කිසිවෙක් නොදනිති. එසේම මෙකී බුද්ධි මෙහෙයුමේදී හෙළි වූ ඊළඟ වැදගත්ම කාරණය වූයේ ගනේමුල්ල සංජීව නමැති පාතාල ප‍්‍රබලයා හරහා එල්ටීටීඊය දකුණ් පාතාලයට සම්බන්ධ වී තිබෙන බවය. මේ බව හෙළිවීමත් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ ද සහාය ලබාගෙන හඳුනාගත් එල්ටීටීඊ සාමාජිකයන් සහ දකුණේ පාතාලයන් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ කි‍්‍රයා කළේය. අතිශය භයානකම කරුණ අනාවරණය වූයේ එසේ අත්අඩංගුවට ගත් කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදීය.

ඒ වන විටත් හින්දු පූජකයකුගේ වෙසින් පෙනී සිටි සාමි නමැති එල්ටීටීඊ ත‍්‍රස්තවාදියකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය හරහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සමීපව සිටින බව එහිදී අනාවරණය විය. පසුව මේ කියන සාමි නමැති ත‍්‍රස්තවාදියා සමග එල්ටීටීඊයේ හිටපු තවත් ප‍්‍රබල ත‍්‍රස්තවාදියකු වන වේන්දන් ඇතුළු ත‍්‍රස්තවාදීන් කිහිප දෙනකු සහ එල්ටීටීඊය සමඟ සබඳතා පැවත්වූ දකුණේ පාතාලයන් පිරිසක් ද අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක බුද්ධි අංශ සහ පොලිසියට හැකි විය. එය සිදු වූයේ ඉකුත් 2019 වසරේ මුල් කාලයේදීය. මෙකී සාමි නමැති ත‍්‍රස්තවාදියා පොදුජන පෙරමුණේ දේශපාලනය හරහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සමීප වී තිබුණේ ඉකුත් 2018 වසරේ පෙබරවාරි මාසයේදී පැවති පළාත් පාලන මැතිවරණ සමයේය. යහපාලනය බලයට පැමිණීමත් සමග සිදු වූ බුද්ධි අංශ දඩයමේදී බුද්ධි නිලධාරීන්ට චෝදනා එල්ල වූ සෑම විමර්ශනයකදීම අවසාන ඉලක්කය බවට පත්ව සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂය. එහෙත් උත්සාහය කොතෙක් ප‍්‍රබල වුවද ඒ සියල්ල එකින් එක ව්‍යර්ථ වී ගියේය. එවන් වටපිටාවක් තුළ 2018 පෙබරවාරි වන විට සාමි නමැති එල්ටීටීඊ ත‍්‍රස්තවාදියා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සමීප වූ අරමුණ කුමක් විය හැකිද? ගෝඨාභය රාජපක්‍ෂ මහතා 2020 ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ අපේක්‍ෂකයා වීම ඔහු ඝාතනය කිරීමෙන් හෝ වැළැක්වීම මෙහිදී සාමිගේ අරමුණ වී තිබුණේද? සාමි නමැති ත‍්‍රස්තවාදියා මෙහෙයවා තිබුණේ කොටි ඩයස්පෝරාව විසින් බවද මෙහිදී හෙළිවී තිබිණි. එසේ නම් කොටි ඩයස්පෝරාව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමකට අනුව සාමි නමැති කොටියා ඔහු සමීපයට එව්වේද?

මේ අතරේ මීට සති දෙකකට පමණ ඉහතදී අනාවරණය වූ තවත් කරුණක් වූයේ දකුණේ ගාල්ල පාතාලයට පාකිස්තානයේ සිට ආර්.පී.ජී. වර්ගයේ බිහිසුණු අවි දෙකක් සහ ටී. 56 ගිනි අවි දහයක් සමග රිවෝල්වර 10 ක්ද ලැබුණු බවකි. ගාල්ල ඌරුබොක්ක ප‍්‍රදේශයේ පාතාල ප‍්‍රබලයකු වන මයිකල් නමැත්තකු අතට මෙම අවි තොගය ලැබුණු බවද වාර්තා වූ අතර මේ පිළිබඳ කිසිදු තොරතුරක් මේ දක්වා හෙළිදරව් වී නැත. මෙකී අවි තොගය ලැබීමේ කතාව හෙළි වන්නේ ද දකුණේ පාතාලය සහ එල්ටීටීඊය අතර සබඳතාවක් ගොඩ නැගී තිබෙන වටපිටාවක් තුළය. කලකට ඉහත දකුණේ පාතාලයට සම්බන්ධ වූ ප‍්‍රබල එල්ටීටීඊ සාමාජිකයකු ඝාතකයෙක් ලෙස කටයුතු කළ බව ද අනාවරණය විය.

සියල්ල මෙවන් තත්ත්වයක තිබියදී අද රටේ ආරක්‍ෂක අංශවල ප‍්‍රධානම කාර්යය වී තිබෙන්නේ සහරාන් හෂීම් පසුපස හඹා යෑමය. එය සිදුවිය යුතු දෙයකි. එහෙත් එකම සහ ප‍්‍රමුඛම කාර්යය විය යුත්තේ එය පමණක්ද? අද දවසේ කොටි ඩයස්පෝරාව ඇතුළු එල්ටීටීඊ පාර්ශ්වයන්හි ප‍්‍රකාශිත කරුණ වී තිබෙන්නේ එල්ටීටීඊය පාවා දුන් සහ එල්ටීටීඊයට එරෙහි වූ කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඇතුළු පිරිස් ඝාතනය කළ යුතු යන්නය. එහෙත් ප‍්‍රකාශිත ඉලක්කය එය වුවද සැබෑ ඉලක්කය ඊට හාත්පසින්ම වෙනස් එකක් විය හැකිය.

එය සපුරාගනු වස් මේ මොහොත වන විටත් එල්ටීටීඊ ඩයස්පෝරාව ඇතුළු පාර්ශ්ව විදේශීය ඔත්තු සේවාවන්හි සහාය ද ලබාගෙන ඉන්දියාවට කේන්ද්‍රගත වූ සැලසුමක් දියත් වෙමින් තිබෙන බවක් කියැවෙමින් ඇත. එසේ නම් මේ දියත් වෙමින් තිබෙන්නේ අද දිනයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වයේ වරම් ලබා මේ රටේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වනු ඇතැයි අති බහුතරය විශ්වාස කරනු ලබන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ එල්ටීටීඊ කුමන්ත‍්‍රණයක්ද? එසේ නොමැති නම් ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා හෝ හමුදා නායකත්වයන් ඝාතනය කර සියල්ල උඩුයටිකුරු කිරීමේ සැලසුමක්ද?

අප අද සියල්ල අමතක කර සහරාන් හෂීම් පසුපස යද්දී රට තුළ ජාතීන් අතර ගැටුමක් නිර්මාණය කර සිය ඉලක්ක සපුරා ගැනීම සඳහා සහරාන් හෂීම් ඇතුළු තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදයේ බිහිසුණු ප‍්‍රහාරයක් අපට එල්ල වූයේ මෙවන් වූ විජාතික කුමන්ත‍්‍රණයක් නිසාද විය හැකිය. මේ සියල්ලට පිළිතුරු සෙවීමට නම් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් බුද්ධි අංශවලට නිරවුල්ව කටයුතු කිරීමට හැකි වටපිටාවක් ඇති කරන්න යැයි අප ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට කියනුයේ අද රට ඉදිරියේ ඇති මේ අවසන් කඩඉම නියත වශයෙන්ම ජයගත යුතුව තිබෙන නිසාය.

– සමන් ගමගේ

*****************************************

වසර 4 1/2 තිස්සේ සහරාන්ලා වෙනුවට ගෝඨාභය පසුපස හඹායාමේ විපාකය

(18.08.2019 – divaina.com)

  • පාස්කු ප‍්‍රහාරයට ඉස්ලාමීය ‘පීස් ටීවී’ නිර්මාතෘ සකීර් නායක් සම්බන්ධයි
  • අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වසා දැමීම – රජය පීස් ටීවී අත්හිටුවයි
  • හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහි මෙහෙයුමේ එන්.ජී.ඕ. කාන්තාවන් තිදෙනාට ජර්මනියේ සවාරියක්
  • හිටපු ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට උසස්වීම් ලබාදීම ගැන ස්විස්ටර්ලන්තයේ පිං පඩි ලබන එන්.ජී.ඕ. කි‍්‍රයාකාරියා කෝපයට පත්වෙයි.
  • සහරාන්ගේ අනුගාමිකයෝ තවදුරටත් අසුවෙති

“ඔබ සතුරාව හඳුනා නොගන්තොත් පරාජය වනු නිසැකයි..” – චීන යුද විශ්ලේෂක සුන් ක්ම්සු

තිස් වසරක් තිස්සේ මෙරට දේශපාලකයන් සිටියේ ප‍්‍රභාකරන් නැමැති කොටි මිනීමරුවාට බියෙනි. මේ නිසා ඇතමුන් ප‍්‍රභාකරන්ව හඳුන්වනු ලැබුවේ ‘ප‍්‍රභාකරන් මහත්මයා’ සහ ‘ගරිල්ලා නායකයා’ යනුවෙනි. වරක් පාර්ලිමේන්තුව ඇමතූ දේශපාලකයෙක් පැවසුවේ ප‍්‍රභාකරන්ගේ ශක්තිය අවතක්සේරු නොකරන ලෙසයි.

එසේම හිටපු හමුදාපති ලයනල් බලගල්ල සහ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ නගර්කෝවිල් හමුදා කඳවුර වෙත ගොස් කොයි සංවිධානය පරාජය කළ නොහැකි බව කියා සිටියේය.

අවසානයේ ඇමරිකානු පුරවැසියකුවූ ගෝඨාභය රාජපක්‍ෂ කොටින්ට එරෙහි යුද්ධය මෙහෙයවීම භාරගත්තේය. එදා ඔහු කොටි පරාජය කිරීමේ මෙහෙයුමට අතගහද්දී කිසිවෙකු ඔහු ඇමරිකානු පුරවැසියකු යයි චෝදනා කළේ නැත. යුද්ධ මෙහෙයුම යන අතරේ ප‍්‍රභාකරන්ගේ අතිජාත මිත‍්‍රයාවූ නෝර්වේ හිටපු අමාත්‍ය එරික් සෝල්හයිම් මෙරටට සම්ප‍්‍රාප්ත විය.

ශ‍්‍රී ලංකාවේ කිසිදු දේශපාලකයෙක් ප‍්‍රභාකරන්ට එරෙහි යුද්ධය ජයගැනීමට හැකිවන බව කිව්වේ නැත. ගෝඨාභය රාජපක්‍ෂ පමණක් කොටි පරාජය කළ හැකිබව කියා සිටියා යයි සෝල්හයිම් සඳහන් කළේය.

එසේම ඉන්දීය රෝ ඔත්තු සේවාවේ හිටපු ප‍්‍රධානි බී. රාමන් ද ගෝඨාභය රාජපක්‍ෂ අවතක්සේරුවකට ලක්කරමින් ගෝඨාභය හමුදාව කිලිනොච්චියට ගියහොත් වැනසෙනවා. හිට්ලර්ගේ බලසම්පන්න හමුදාව සෝවියට් දේශයේ ස්ටාලින් ග‍්‍රෑන්ඞ් නුවරදී වැනසුනු අයුරින් ගෝඨාගේ හමුදාව විනාශවෙනවා යයි තරයේ පළකළේය.

අනතුරුව ප‍්‍රභාකරන්ගේ හිතවතිය ලෙස හඳුන්වනු ලැබූ ඉන්දීය ලේඛිකා ඇනිටා ප‍්‍රතාප් ද මෙලෙස පැවසුවාය.

“ප‍්‍රභාකරන් යුද්ධ කරන සැටි මම දුටුවා. ඔහුගේ දැස් මකුළු දැල් වලින් වැසී නැහැ. එක සටනකින් පරාජය වූවාට ප‍්‍රභාකරන් ආපසු හැරී පහර දෙනවා. ඔහුව පරාජය කරන්න කිසිවකුටත් බැහැ. මම ආපසු ශ‍්‍රී ලංකාවට එන්නේ ප‍්‍රභාකරන් ශ‍්‍රී ලංකා හමුදාව පරාජය කළ හැටි ගැන පොතක් ලියන්න” යයි ඇනිටා ප‍්‍රතාප් කීවාය.

එහෙත් 2009 මැයි 18 දා ප‍්‍රභාකරන් මරුමුවට පත්වීමෙන් පසු ඇනිටා මේ දක්වාම කට ඇරියේ නැත. එහෙත් වසර කීපයකට පසු ජපානයේ පැවැති රැස්වීමකදී ඇය ගෝඨාභය රාජපක්‍ෂ දුටුවාය. එහෙත් කතාකළේ නැත. ඒ ලැජ්ජාව නිසාය.

මෙවන් පසුබිමක් මැද ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි සංවිධානය මුළුමනින්ම පරාජය කළ ගෝඨාභය රාජපක්‍ෂ මහමග සහ බස් රථවල සහ දුම්රියවල යාමට බියෙන් සැලුනු ජනතාවගේ බිය නැති කිරීමට කි‍්‍රයාකළේය.

එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්ද? එදා ප‍්‍රභාකරන්ට බියේ බියගුල්ලන් ලෙස සිටි දේශපාලකයන් සහ විවිධ පාර්ශව ගෝඨාභය රාජපක්‍ෂ ද සතුරා ලෙස හඳුන්වා ප‍්‍රහාර එල්ල කිරීමයි. ඒ නොනවත්වන ප‍්‍රහාර විය. එසේම කොටි පරාජය වීමට ආසන්නව තිබියදී ඔහු බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ඬේවිඩ් මිලිබෑන්ඩ් සහ ප‍්‍රංශ විදේශ කටයුතු ඇමැති බර්නාඩ් කුච්නර් හමුවේ හිස නැමුවේ නැත.

2009 අපේ‍්‍රල් 30 දා මොවුන් මෙරටට පැමිණියේ ප‍්‍රභාකරන්ව ගලවා ගැනීමේ මෙහෙයුම සඳහායි.

ඒ වනවිට මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් සහ නෝර්වේ තානාපති ටෝරේ හැට්රන් ප‍්‍රභාකරන්ව බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබුණි. එම තත්ත්වය මැද මිලිබැන්ඩ් සහ කුච්නර් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හමුවී වන්නියට යෑමට අවසර ඉල්ලීය. ඒ සඳහා සටන් විරාමයක් කි‍්‍රයාත්මක කරන ලෙසත් මිලිබෑන්ඩ් සහ කුච්නර් විසින් ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලීමක් කෙරුණි.

එසේම ඔවුන් දෙදෙනා තවදුරටත් පැවසුවේ හමුදාව එල්ල කරන ප‍්‍රහාර වලින් සිවිල් වැසියන්ට විපත් සිදුවන බවයි.

මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බි‍්‍රතාන්‍ය කොටින්ගේ සාවද්‍ය ප‍්‍රචාරවලට ගොදුරුවී ඇති බව කීවේය.

“ත‍්‍රස්තවාදී සංවිධානය ප‍්‍රකාශ කරන කරුණු නිවැරදිද? රජය පවසන ප‍්‍රකාශ නිවැරදිද? කියා බි‍්‍රතාන්‍ය දූත කණ්ඩායම තීන්දුකළ යුතුයි” යයි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මිලිබෑන්ඩ් සහ කුච්නර්ගේ මුහුණට කියා සිටියේය.

මිලිබෑන්ඩ් සහ කුච්නර්ගේ කණ්ඩායමට විදේශ ඇමැති කාල් බිල්ඩන්ද ඇතුලත්වූවන් ඔහුට මෙරටට ඒමට වීසා දීම ප‍්‍රතික්‍ෂේප කෙරුණි.

එදා ඬේවිඩ් මිලිබෑන්ඩ් මෙරටට පැමිණි අවස්ථාවේ හැසිරුණේ ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා තමා යයි සිතමිනි. ඔහු හිටපු ආරක්‍ෂක ලේකම්වරයා තම ඉල්ලීම හමුවේ හිස පාත්කරනු ඇතැයි බලාපොරොත්තු විය. එහෙත් ගෝඨාභය ඔවුන්ව පන්නා ගත්තේය.

බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් සහ ප‍්‍රංශ විදේශ ලේකම් වෙත හිටපු ආරක්‍ෂක ලේකම් කෝපයෙන් වාචික ප‍්‍රහාර එල්ල කළ බව බි‍්‍රතාන්‍ය ටෙලිග‍්‍රාප් පුවත්පත පැවසුවේ මෙවැනි දෙයක් මින් පෙර සිදුවී නැති නිසාය. මෙවන් පසුබිමක් මැද කොටි නායකත්වය පරාජයට පත්වීමෙන් පසු 2007 මැයි මාසයෙන් පසු මෙරටට යුද අපරාධ චෝදනා එල්ල විය.

මේ සඳහා කොටි ඩයස්පෝරාව අතිවිශාල මුදලක් ගෙවා එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්වූ යස්මින් සුකා ගේ සේවය ලබාගැනීමට කි‍්‍රයාකළේය.

යස්මින් සුකාගේ මෙම මෙහෙයුම දිගින් දිගටම කි‍්‍රයාත්මක වන අතර ඇය පසුගිය ජුනි මාසයේ තම නවතම මෙහෙයුම දියත් කළේ ජනාධිපතිධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි චෝදනා ඇමරිකානු අධිකරණයේ නඩු පවරා ඇති බව දක්වමිනි.

සුකා මෙලෙස දක්වා ඇත :

“ජනාධිපතිධුරාපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ශ‍්‍රී ලාංකිකයන් දසදෙනෙක් අලුත් නඩු දහයක් පවරා ඇති අතර ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවීමේ අපේක්‍ෂාවෙන් හිඳින ඔහුට මේ නඩුවලට මුහුණදීමට සිදුවී ඇත.

2005 සිට 2015 දක්වා ශ‍්‍රී ලංකාවේ බලසම්පන්න ආරක්‍ෂක ලේකම්ව සිටි ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකි.”

මෙම නඩුවල මුල්ම පැමිණිලිකරු කැනඩාවේ පුරවැසියකුවූ රෝයි සදානායගම්ය. ඔහු කැනඩාවේදී උතුරු පළාත් මහ ඇමැතිව සිටි සී. විග්නේෂ්වරන් හමුවී සාකච්ඡා කළේය.

අනතුරුව ලන්ඩන් නුවරදී රෝයි සමාදානම් හමුවූයේ හිටපු බී.බී.සී වාර්තාකාරි ප‍්‍රාන්සස් හැරිසන් ඇතුළු කොටි කි‍්‍රයාකාරින්ය.

මෙහිදී නැගෙන ප‍්‍රශ්නය නම් යුද්ධය අවසන් වී වසර 10 ක් වනතුරු මොවුන් නඩු පැවරීමට කල්ගත්තේ මන්දැයි යන්නයි.

එතෙක් මෙතෙක් ඊට ප‍්‍රතිචාරයක් දක්වා නැත. යස්මින් සුකා, හිටපු බීබීසී වාර්තාකාරි ප‍්‍රාන්සස් හැරිසන් සහ කොටි ඩයස්පෝරාවේ මෙරට සිටින එන්.ජී.ඕ. කල්ලිය එකතුවී පැවරූ මෙම නඩුව ගොනුකර ඇති අයුරින් සනාථ වන්නේ එම නඩු ගොනුවට අමුද්‍රව්‍ය සපයා ඇත්තේ මෙරට සිටින ද්‍රෝහීන් කණ්ඩායමක් බවයි.

එම නඩු ගොනුවේ මෙලෙස දක්වා ඇත :

‘..ගෝඨාභය කැලිපෝනියාවේ වෙළෙඳ ව්‍යාපාරයක්ද පවත්වාගෙන යයි. අරමුදල්ද රැස් කරයි. ලොස් ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ විහාරස්ථානයේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අසුන් ගනී. කැලිපෝනියානු විහාරස්ථානයේ පැවිදි පිරිස් රාජපක්‍ෂවරුන්ගේ දේශපාලන ව්‍යාපාරයන්ට ආධාර කරනු වස් මහජන සම්බන්ධිකරණ කටයුතු පැවැත්වීමේදී ඔවුන්ගේ රණකාමී ජාතිකවාදී මතවාදය ප‍්‍රවර්ධනය කිරීම සඳහා මෙම නඩු ක‍්‍රියාමාර්ගය හෙලාදැකීමද සිදුකර ඇත. රාජපක්‍ෂ පාලනය විසින් හමුදා පොලිස් සේනාංක සහ දෙමළ අතුරු කණ්ඩායම්ද භාවිත කරමින් එල්.ටී.ටී.ඊ පාලන ප‍්‍රදේශ වෙත සමූල නාශක ප‍්‍රහාරයක් දියත් කරනු ලැබීය. යුද මුක්ත කලාපයක් තුළ රැකවරණ ලද සිවිල් වැසියන් මතට ජෙට් යානාවකින් බෝම්බ ප‍්‍රහාරද බර කාලතුවක්කු ප‍්‍රහාරද එල්ල කෙරුණි.’

යස්මින් සුකා පැවරූ මෙම නඩුවේ අත්පිටපත කෙටුම්පත්වූයේ මෙරටදී බව තහවුරු වූයේ කැලිපෝනියා විහාරස්ථානයේ සිටින භික්‍ෂූන් වහන්සේලාව ‘පැවිදි පිරිසක්’ ලෙස සඳහන් කිරීමෙනුයි.

එසේම නඩු පැවරූ කණ්ඩායමේ මුල් පැමිණිලිකරු ළඟ රේඩාර් උපකරණ හතරක් සහ ජංගම දුරකථන 600 ක් තිබුණත් රොයි සමාදානම් නැමැති එම පැමිණිලිකරු සිය නඩුවේ දක්වා ඇත්තේ ජංගම දුරකථන කීයක් තිබූ බවයි. එසේම රෝයි සමාදානම් හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහි නඩුව ගොනුකිරීමට පෙර 2009 අපේ‍්‍රල් 10 දා ලන්ඩන් නුවර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී ඔහු සෙල්ෆි ඡායාරූප කීපයක්ද ගෙන ඇත.

මේ අතර 2016 වසරේදී රහස් පොලිසිය හිටපු ආරක්‍ෂක ලේකම් සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනාද අධිකරණය වෙත දක්කාගෙන ගියේය.

2018 වසරේ මාර්තු මසදී ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණි ජෙයනි ත්‍යාගරාජා නැමැති තරුණියක් තම සොහොයුරාව පැහැරගෙන ගියේ හිටපු ආරක්‍ෂක ලේකම් යෙදවූ කණ්ඩායමක් බවත් ඒ බව රහස් පොලිසියේ නිලධාරියකු තමාට හෙලිකළ බවද කීවාය. මේ වසරේ පෙබරවාරිමස ශ‍්‍රී.ල.නි.ප මන්ත‍්‍රී දුමින්ද දිසානායක ඇමරිකානු පුරවැසියකු ජනාධිපතිධුරයට පත් කිරීමට පිරිසක් උත්සාහ කරන බවට චෝදනා කළේය.

එසේම 2018 ජනවාරි 25 දා රජයේ පුවත්පතකට ප‍්‍රකාශයක් කළ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහින්ද රාජපක්‍ෂ සමයේ සුදු වෑන් සංස්කෘතියක් ඇතිවුණ බවට චෝදනා කරනු ලැබීය. එහෙත් එජාප පාලන සමයේ රිචඩ් ද සොයිසාව පැහැරගෙන යෑමට පැමිණි හිටපු පොලිස් අධිකාරි රොනි ගුණසිංහ පැමිණියේ කළු වෑන් එකකින්ද යයි ඔහු පැවසුවේ නැත.

මේහැර 2017 දෙසැම්බර් 03 දා රජයේ සතිඅන්ත පුවත්පතක් භාවිත කරමින් එන්.ජී.ඕ. කි‍්‍රයාකාරිකයෙක් ‘ගෝඨාභය හා නෝවේ සම්බන්ධ දේශපාලනය’ යනුවෙන් ප‍්‍රහාරයක් එල්ල කළේය.

මෙලෙස මඩ ප‍්‍රහාර එල්ල කළ එන්.ජී.ඕ. කි‍්‍රයාකාරිකයෙක් මරණ තර්ජන ඇති බවට වෙබ් අඩවියක් පළකළ මාධ්‍යවේදීන්ගේ නාමලේඛනයට සිය නම ඇතුලත් කරගෙන තිබූ බවත් එය කූඨ ලෙස සකස් කළ නාම ලේඛනයක් බවත් අනාවරණය වී තිබුණි.

මේ පසුබිම මැද ප‍්‍රංශ කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධානි මරියද්‍රාස් හෙවත් බොස්කෝ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ප‍්‍රංශයේ සිට ද්‍රවිඩයන් ගෙනඑමින් ගෝඨාභය රාජපක්‍ෂ මිනිසුන් පැහැරගෙන ගිය බවත් අපරාධ රැසකට සම්බන්ධ බවටත් ප‍්‍රකාශ කිරීමේ සාවද්‍ය මෙහෙයුම් දියත් කරනු ලැබීය.

මෙලෙස ප‍්‍රංශයේ සිට පැමිණි ලාබාල ද්‍රවිඩ තරුණයකුගෙන් ඔබේ වයස කීයද සහ කිලිනොච්චිය ඇත්තේ කුමන ස්ථානයකදැයි විමසූවිට ඔහුට ඊට ප‍්‍රතිචාර දැක්වීමට නොහැකි විය. මේ අතර වන්නි මෙහෙයුම දියත් කිරීම නිසා දෙස් විදෙස් සතුරන් රැසක් ඔහුට එරෙහි විය. කොළඹ පිහිටි බටහිර තානාපති කාර්යාලවල පදයට නටන පාක්‍යසෝති සරවනමුත්තු, නිමල්කා ප‍්‍රනාන්දු, ජෙහාන් පෙරේරා ඇතුළු එන්.ජී.ඕ. කල්ලිය වන්නි මෙහෙයුමට මුළුමනින්ම එරෙහි විය. මෙවන් පසුබිමක් මැද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා තම ඇමරිකානු පුරවැසිබව ඉවත්කරගත් බවට තොරතුරු වාර්තාවීම නිසා ගෝඨාභයගේ සතුරෝ කලබලයට පත්වූහ. මෙය බොරුවක් බව පැවසූ සතුරු පාර්ශවය විගස කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රකාශිකා නැන්සි මැන්ගෝරින් අමතමින් ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිබව ඉවත් කළේද යන්න ප‍්‍රශ්න කළේය. මේ ප‍්‍රශ්න කිරීමට ඇගෙන් ලැබුණේ අතුල් පහරක් වැනි ප‍්‍රකාශයකි.

ඇමරිකාවේ පෞද්ගලික තොරතුරු හෙළි නොකිරීමේ නීතිරීති මත එවන් තොරතුරු අනාවරණය කළ නොහැකි බව තානාපති කාර්යාල ප‍්‍රකාශිකාව කියා සිටියාය. මේ නිසා නොසතුටට පත් සතුරු පාර්ශවය නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමට ගරුකරන රටක්වූ ඇමරිකාව ගෝඨාභයගේ තොරතුරු අනාවරණය නොකිරීම වරදක් බව සඳහන් කරනු ලැබීය.

වඩමාරච්චි මෙහෙයුමේදී බිම්බෝම්බයකින් දිවි ගලවාගත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කොල්ලුපිටියේ පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකුගෙන්ද දිවි බේරාගනු ලැබීය.

මේ සිද්ධිය කලකට පසු සතුරන් හඳුන්වනු ලැබුවේ එය හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනතා අනුකම්පාව ලබාගැනීමට ඔහු විසින්ම කල සැලසුමක් ලෙසිනි.

ගෝඨාභය රාජපක්‍ෂ හමුදාවෙන් විශ‍්‍රාම ගියේ 1992 වසරේයි. එවකට ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවූයේ රන්ජන් විජේරත්නයි. රන්ජන් විජේරත්න ඔහුට විශ‍්‍රාම යෑමට අනුමැතිය දුන්නේය. එහෙත් මෑතකදී දේශපාලනයට පැමිණි සතුරන් පැවසුවේ ඔහු කොටින්ට බියේ රටහැර ගිය බවයි.

මේ අනුව මෙතරම් සතුරන් පිරිසක් සිටි වෙන කිසිම ආරක්‍ෂක ලේකම්වරයකු ලොව නැතැයි තහවුරු විය.

මේ අතර මෙම සතියේ දිනෙක ද්විත්ව රංගනයේ යෙදෙන ‘සේතු ඇන්ඩ් ලතා’ හෙවත් නෝර්වේ පුරවැසියකුවූ නඩරාජන් සේතුරුපන් නැමැත්තා පුද්ගලයකුට තර්ජනය කිරීමේ සිද්ධිය මත නෙල්ලඅඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කිලිනොච්චි අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය. ඔස්ලෝ නුවර සිට සංචාරක වීසා මත මෙරටට පැමිණි සේතුරුපන් ප‍්‍රකාශයක් කරමින් තමාට ශ‍්‍රී ලංකාවට එන ලෙස ඇරයුම් කළේ නොර්වේහි ශ‍්‍රී ලංකා තානාපතිනි කුරේ බව කියා සිටියේය.

මේ සේතු නැමැත්තාට ශ‍්‍රී ලංකාවට එන ලෙස ඇරයුම් කිරීමට ඔහු නෝර්වේ රටේ රාජ්‍ය නිලධාරියකුද?

කලකට පෙර මොහු උතුරට පැමිණ විජයකලා මහේෂ්වරන්ගේ දේශපාලන රැස්වීම්වලටද සහභාගි විය. මෙරටට පැමිණීමට පෙර මොහු තමාව ත‍්‍රස්ත මර්දන ඒකකය මරාදැමීමට සැලසුම් කරන බවද ප‍්‍රකාශ කර තිබුණි. මෙයට වසර ගණනාවකට පෙරද මොහුගේ යටගියාව අප හෙලිකළ විට ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම නැමැති සමාගමට පැමිණිලි කළේය. එම ප‍්‍රයිවට් කම්පැනිය මොහුව ‘යුරෝපා මන්ත‍්‍රීවරයා’ යයි හඳුන්වා තිබුණි. එසේ වූවත් නෝර්වේ පුරවැසියෙක් මෙරට දේශපාලනයට නම් කිරීම ගැන රජය විමර්ශනය කළේ නැත.

මේ අතර ඉන්දීය මාධ්‍ය පැවසුවේ මුම්බායි සිට කි‍්‍රයාත්මකවූ අන්තවාදී ඉස්ලාම් දේශකයකුවූ සකීර් නයාක් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ බවයි. ‘ඉස්ලාමික් රිසර්ච් ෆවුන්ඩේෂන්’ සහ ‘පීස් ටීවී’ නැමැති රූපවාහිනියේ ආරම්භකයාවූ නායක් බංගලදේශයට සහ ශ‍්‍රී ලංකාවට එරෙහිව ප‍්‍රහාර එල්ල කරන ලෙස කියා සිටි බවද ඉන්දීය මාධ්‍ය තවදුරටත් කියා සිටියේය.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කිරීම සඳහා සකීර් නායක් ඉන්දීය රුපියල් කෝටි 212 ක් වැයකර තිබේ. ඩුබායි සිට කි‍්‍රයාත්මක වන ‘පීස් ටීවී’ නැමැති රූපවාහිනිය සේවය ශ‍්‍රී ලංකාව තුළද විනාශය කිරීමට රජය ඉඩදී තිබුණි. එහෙත් දැන් එය නතර කර ඇත. මෙය අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වසා දැමීම වැනි කි‍්‍රයාවකි.

ඉන්දීය බුද්ධි සේවාවන් පිස් ටීවී සහ සකීර් නායක්ගේ කි‍්‍රයාදාමය හෙලිකරන තෙක් ශ‍්‍රී ලංකාවේ බුද්ධි සේවා ඔහු ගැන නිරීක්‍ෂණය කළේ නැත. ඒ මුස්ලිම් ඡන්දවලට මෙරට දේශපාලකයන් නතුවීම නිසාය.

මෙම ‘පීස්ටීවී’ රූපවාහිනී සේවාවේ ගිණුම් ඇත්තේ ලන්ඩන් නුවර අල්රායන් බැංකුවේ බවද හෙලිවිය. මේ පසුබිම මැද අපේ‍්‍රල් 21 එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව ආරක්‍ෂක අංශ දෙවිදියකට කි‍්‍රයාකර ඇත.

ඒ බව තහවුරු වූයේ විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානි ලතිෆ් අපේ‍්‍රල් 9 දා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තමාට එවූ ලිපියකින් එම මහකොමසාරිස් කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීම නිසා ආරක්‍ෂාව යෙදවූ බව පැවසීමයි. මෙම අනතුරු ඇඟවීමත් පොලිස්පතිට හා ආරක්‍ෂක ලේකම්ව සිටි තැනැත්තාට ලත් අනතුරු ඇඟවීමත් එකම ප‍්‍රහාරයක් පිළිබඳව බව තහවුරු විය.

විශේෂ කාර්ය බලකාය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය රැකගනිද්දී මෙරට ආරක්‍ෂක බලධාරීන්ට පල්ලි හා හෝටල් රැකගැනීමට නොහැකිවිය. ඊටත් වඩා ලැජ්ජාවට පත්විය යුතු කරුණක් නම් හමුදාපතිවරයා තමා ප‍්‍රහාරය දැනගත්තේ වෙබ් අඩවියකින් යයි පැවසීමයි.

– කීර්ති වර්ණකුලසූරිය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *