ප්‍රභාගේ දොස්තර අත්අඩංගුවට – මෛත්‍රිට හා ගෝඨාට ගහන්න ස්නයිපර්කරුවන් හොයලා

(20.08.2019 – epaper.aruna.lk)

ප්‍රභූ ඝාතනයක් ඇතුළු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සඳහා උතුරේ නිද්‍රාශීලී කොටි කණ්ඩායම් මෙහෙයවමින් සිටි බව කියන හිටපු කොටි නායක ප්‍රභාකරන්ගේ වෛද්‍යවරයා වූ සින්නයියා සිවරූබන් යාපනය, පලෙයි රෝහලේදී ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. අධිබල සී ෆෝ එකතුකරලා.

යුද හමුදාව හා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) ඒකාබද්ධව දීර්ඝ විමර්ශන හයකින් පසුව ඔහු ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. කොටි නායක ප්‍රභාකරන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසද කටයුතු කළ සිවරූබන් යාපනය රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ලෙසද කටයුතු කර ඇත.

කොටි නායක ප්‍රභාකරන්ට ආරක්ෂාව සැපයූ රාධා නමැති බළකායේ කණ්ඩායම් තුනක් ස්විස් කොටි ජාලය සමගද එක්වී මෙහෙයවා ඇත්තේ මෙම වෛද්‍යවරයා බව ජාතික ආරක්ෂක කවුන්සිලයට වාර්තාවී ඇත.

ඔඩ්ඩුසුඩාන්වල පසුගිය ජුනි 22 වැනිදා අසු වූ එල්.ටී.ටී.ඊ. කණ්ඩායම්වලට අයත් දිනේෂ්, කරන් කොටි ජාලයේ ප්‍රබල චරිතයක් ලෙස මෙම වෛද්‍යවරයා කටයුතු කර ඇතැයි හෙළි වී ති​බේ.

ඔඩ්ඩුසුඩාන් කොටි කණ්ඩායම යටතේ මෙහෙයවූ කණ්ඩායම් විසින් නවීකරණය කළ ස්නයිපර් අවියක් ඇතුළු ස්නයිපර් අවි දෙකක් ප්‍රභූ ඝාතනයකට යොදා ගැනීමට සූදානම් වූ බවට අනාවරණය වූ අතර එය වත්මන් ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ​ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට යෙද වූ බවට ද හෙළි විය. එම ඉලක්ක අතර නැගෙනහිර හිටපු කොටි සන්නද්ධ නායක කරුණා අම්මාන්ද වූ බව බුද්ධි අංශ හෙළි කර ගෙන තිබිණි.

ස්නයිපර් අවි ක්‍රියාත්මක කිරීම සඳහා වෙඩික්කරුවන් තෝරා ඇත්තේ මෙම වෛද්‍යවරයා බවට බුද්ධි තොරතුරු ඇති අතර ඔහු සී ෆෝ වර්ගයේ අධි බලැති පුපුරන ද්‍රව්‍ය ඉදිරි ප්‍රහාරයන් සඳහා එකතු කරමින් යන බවටද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට හා බුද්ධි අංශවලටද තොරතුරු ලැබී තිබිණි.

සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා විට සේවය කළේ යාපනය, පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙසය.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවකු ලෙස පුහුණු වීමේදී මෙම පුද්ගලයාට වියදම් කර ඇත්තේ කොටි සංවිධානයැයි බුද්ධි අංශ කලින් හෙළි කරගෙන තිබිණි.

රිවිරැස මෙහෙයුමේදී තුවාල ලබන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හට ප්‍රතිකාර ලබාදීමද කර ඇත්තේ සිවරූබන් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කියයි.

යුද සමයේ කිලිනොච්චියට පැන සිටි ඔහු වන්නි අවසන් සටනින් පසු අවතැන් කඳවුරක සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි අයෙකි.

මෙම වෛද්‍යවරයා අල්ජසිරා රූපවාහිනියට ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කරන බවට ප්‍රකාශ පවා ලබාදී ඇත.

ස්විස් කොටි ජාලයේ වුවමනාවට ප්‍රභූ ඝාතනයක් සඳහා වෙර දරන බවට ඇති තොරතුරු මත මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන ය​ාමට නියමිත විය.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා

***************************************

අන්තවාදී කල්ලි, කොටි, පාතාලය ගෝඨාට එරෙහිව එකතු වේ. – බුද්ධි අංශ අනතුරක් ගැන කියයි. ගෝඨාට විශේෂ ආරක්ෂාවක්?

(20.08.2019 – colombotoday.com)

ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල හා පාතාලයේ ප්‍රබල ඉලක්කයක්ව පවතින බව බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් මත වහාම විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය අධ්‍යයනය කරගෙන යන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග අනාවරණය කළේය.

මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක ලේකම් සාන්ත කෝට්ටෙගොඩ ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩල ප්‍රධානීන්ද අවධානය යොමුකර ඊට අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි එම ආරංචි මාර්ග සනාථ කළේය.

දෙමළ ඩයස්පෝරාවේ මෙහෙයවීම මත ක්‍රියාත්මක එල්.ටී.ටී.ඊ. කණ්ඩායම්, පාතාල කණ්ඩායම් සමග එක්වී දකුණේ ප්‍රභූවරුන් ඝාතනය කිරීමට කළ සැලසුම් කිහිපයක් බුද්ධි අංශ හෙළිකරගෙන තිබිණි. එහිදී වැඩිම තර්ජනය ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත බවද බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

ඔඩ්ඩුසුඩාන්වලදී පසුගිය වසරේ ජුනි 22 වැනිදා අල්ලාගත් දිනේෂ් නමැති කොටි සාමාජිකයාගෙන් හෙළි වූ තොරතුරු අනුව සොයාගත් අවි ආයුදවලට අමතරව ප්‍රභූ ඝාතනයක් සඳහා කුමාන්කුලම් ප්‍රදේශයෙන් ගොඩගත් ස්නයිපර් දෙකක් ගැනද හෙළිවිය. එම ස්නයිපර් අවිවලට සිදුවූ දේ හෙළිනොවුණු අතර ප්‍රභූ ඝාතන සඳහා ඒවා දකුණට එවා ඇතැයි යුද හමුදා බුද්ධි අංශවලට හෙළි විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලසුමකට මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ සහාය ඇතිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු ප්‍රධානි, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ සැලසුමක් තිබූ බවට සැකකරන තොරතුරු හමුවන්නේ බුද්ධි අංශ කරගෙන යන විමර්ශන අතරේය.

කුගන් සාමි හෙවත් කනපති කදිරවේලි නමැති හින්දු පූජකවරයා පොහොට්ටුව නියෝජනය කරන දේශපාලනඥයකු ඝාතනයක් සඳහා වූ සැලසුමක්ද හමුදා බුද්ධි අංශය හා රාජ්‍ය ඔත්තු සේවාව අනාවරණය කර තිබේ.

පොහොට්ටුවේ ඉලක්කයක් සඳහා ජාත්‍යන්තරයේ වුවමනාව මත වින්දන්, කාර්තික් ඇතුළු එල්.ටී.ටී.ඊ. හා දකුණේ පාතාලය සමග සම්බන්ධකම් පත්වන ගණේමුල්ල සංජීව කල්ලිය ඇතුළු කණ්ඩායම් කැසකවන බවද හෙළිවන්නේ අයියර් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

දකුණේ පාතාලයේ කොස්ගොඩ තාරක කල්ලිය හා කොස්ගොඩ සුජිත් කල්ලිය, පාකිස්තානු අන්තවාදී කණ්ඩායම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මෙරටට ආර්.පී.ජී. අවි දෙකක් ඇතුළු ආයුධ තොගයක් එවා ඇතැයි බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වන්නේ මේ අතරය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්ප්‍රාප්තියට එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව, පාතාල කල්ලි මෙන්ම අන්තවාදී කණ්ඩායම්ද බියට පත්ව ඇති බවත් විදෙස් බලවේග සමග එක්ව ප්‍රභූ ඝාතනයකට උත්සාහ කළ හැකි බවත් බුද්ධි අංශ අනතුරු අඟවා ඇත ෴

***************************************

හූනන්ට ජාතික වීරවරයන්ගේ නම් දීමෙන් එම වීරවරයන් අවඥාවට ලක් කරනවා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(20.08.2019 – epaper.aruna.lk)

වත්මන් රජය විසින් පින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය මෙරට ස්ථාපිත කරන බව පැවැසුවද, මෙරට වීර චරිත පිළිබඳව කියැවුණු කතා පවා පෙළ පොත්වලින් ඉවත්කර රටේ ඉතිහාසය විකෘති කරමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

උන්වහන්සේ මේ බව පැවැසුවේ ඊයේ (19 වැනිදා) අලුත් හූනන් හයකට ජාතික වීරයන්ගේ නම් දෙති මැයෙන් පළ වූ පුවතක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමි :

“මේ හූනන්ට ජාතික වීරවරයන්ගේ නම් දැමීම ඉතිහාසය ගොඩනැගූ වීරවරයන් අවඥාවට සහ අපහාසයට ලක්කිරීමට ගත් උත්සාහයක් ලෙස මම දකිනවා. මෙම අපහාස කිරීම්වලට ජාත්‍යන්තර සහය ලබා ගන්න රාජ්‍ය නොවන සංවිධාන වගේම ඇතැම් රජයේ පුද්ගලයන් කටයුතු කරමින් සිටිනවා. අපට අද ආත්මගෞරවයක් ඇතුව ජීවත්වීමට රට ආරක්ෂා කළේ මෙම වීරවරයන්. ඔවුන්ට ගැරහීම මුළු මහත් ජාතියක් වශයෙන් අප හෙළාදකිනවා. ඒ වගේම අපේ රටේ ඇතැමුන්ට ඉතිහාසයත් එක්ක වෛරයක් තියෙනවා. වර්තමානයේ ප්‍රෞඪ‍ ඉතිහාසයට උරුමකම් කියන ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානවල විනාශය දෙස බලා සිටිනවා වගේම ඉතිහාසය අකාමකා දමන්න උත්සාහ කරමින් සිටිනවා.”

එමෙන්ම උතුරේ හඳුනාගත් බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන හාරසිය ගණනක් තර්ජනයට ලක්ව ඇති බවද ඇතැම් ඒවා විනාශ වී ඇති බවද ඒ හිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ ෴

***************************************

රාජ්‍ය බැංකුවක් තුළ සිදුවූ සොරකමක් CCTV ඇසට හසුවෙයි

(06.12.2018 – aruna.lk)

පසුගිය දිනෙක රාජ්‍ය බැංකුවක් තුළ නවීන පන්නයේ මෝටර් රථයක යතුරක් පුද්ගලයෙකු විසින් සොරකම් කරන ආකාරයේ වීඩියෝවක් නිකුත් වී තිබෙනවා.

තම පුද්ගලික අවශ්‍යතාවයක් සදහා මහනුවර පිහිටි රාජ්‍ය බැංකුවක් සදහා ගිය පුද්ගලයෙකුට ඔහුගේ මෝටර් රථයේ යතුර අමතකවී එහි දමා එම බැංකුව තුළ වෙනත් ස්ථානයක ගොස් තිබෙනවා.

ඒ අතරවාරයේ බැංකුවට පැමිණෙන පුද්ගලයෙකු එම යතුර සොරකම් කරගෙන යන ආකාරය බැංකුවේ සවිකර ඇති CCTV ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙනවා.

මෙම සිදුවීමෙන් අනතුරුව ඒ පිළිබදව කිසිවක් නොදන්නා මෝටර් රථයේ යතුරෙහි හිමිකරු යතුරු සොයාගෙන අදාළ ස්ථානයට එන විට එය දක්නට ලැබී නැහැ.

අවසානයේ මහනුවර පොලීසියේ පැමිණිල්ලක් ද දමා මේ වන තුරුත් තම මෝටර් රථයේ යතුර නොමැතිව ඔහු එය සොයමින් සිටිනවා.

මේ වන විටත් අදාළ මෝටර් රථය නිවසට රැගෙන යාමට නොහැකිව එම මෝටර් රථයේ හිමිකරුවා දැඩි ගැටළුවක මුහුණ දී තිබෙනවා.

මෙම CCTV දර්ශනයේ යතුර සොරකම් කරන පුද්ගලයා හෝ ඔහු සම්බන්ධයෙන් යමක් දන්නේ නම් මෙම දුරකථන අංක වලට කතාකරන ලෙස මෝටර් රථයේ හිමිකරු ඉල්ලා සිටිනවා.

075 564 0136
081 205 4344
075 098 1567

***************************************

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුවියක හොස්ටල් නාන කාමරයේදී බිළිඳකු ප්‍රසූත කරලා

(20.08.2019 – gossiplankanews.com)

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නේවාසිකව සිටි සිසුවියක් ඊයේ (19දා) අලුයම එහි නාන කාමරයක් තුළදී දරුවකු ප්‍රසූත කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. ප්‍රසූත කරන ලද බිලිඳා මියගොස් ඇති අතර සිසුවිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.

ආහාර නිෂ්පාදන තාක්ෂණ වෛද්‍ය පාඨමාලාව හදාරන මැය පළමු වසරේ සිසුවියකි. මිහින්තලේ පදිංචි ඇය 20 හැවිරිදි වියේ පසුවන්නියකි.

මෙම වසරේ ජුනි මැද භාගයේදි විශ්වවිද්‍යාලයට පැමිණ තිබූ මෙම සිසුවිය එහි නේවාසිකාගාරයේ තවත් සිසුවියන් තිදෙනකු සමඟ නවාතැන් ගෙන සිටි බව පැවසේ. ගම් ප්‍රදේශයට ගොස් සිටි ඇය පෙරේදා (18දා) සවස මිහින්තලේ නිවෙසේ සිට පැමිණ අනෙකුත් සිසුවියන් සමඟ කිසිම වෙනසක් නොපෙන්වා කල් ගත කර ඇති අතර ඔවුනොවුන් නිවෙස්වලින් රැගෙන ආ ආහාර සවස එකිනෙකා බෙදා හදාගෙන අනුභව කර ඇති නමුත් රාත්‍රි කෑම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය කියයි.

රාත්‍රි එකොළහට පමණ සිසුවිය බඩේ අමාරුවක් බව පවසා වේදනාවෙන් සිටින විට අනෙකුත් සිසුවියන් ඇයට වේදනා නාශක පෙති දී නොයෙකුත් ප්‍රතිකාර පවා ලබාදී තිබූ බව පොලිසිය කියයි. රාත්‍රි උදර වේදනාව වැඩි වූයෙන් අනෙකුත් සිසුවියන් ඒ බව එහි පාලනාධිකාරියට දැනුම් දීමට සූදානම් වෙද්දි සිසුවිය වැසිකිළිය තුළට ගොස් ‍දොර වසාගෙන පැයකට අධික කාලයක් ගත කර ඇත.

පසුව ඇය චීත්ත රෙද්දක් සිසුවියන්ගෙන් ඉල්ලාගෙන මඳ වේලාවක් ගතවෙදි චිත්ත රෙද්දේ යමක් ඔතාගෙන එයින් පිටතට පැමිණ ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසිය. චීත්ත රෙද්ද අතරින් බිලිඳු දරුවකුගේ පාද දෙක හා හිස දැකීමෙන් කලබලයට පත් අනෙකුත් සිසුවියන් ඒ බව වහා පාලනාධිකාරියට දැනුම් දිමට නැවතත් පියවර ගෙන ඇත. පසුව ඇය මේක කාටවත් කියන්න එපා මම හෙට උදේම ගමේ යනවා යැයි පවසා තිබේ.

මඳ වේලාවකදී එම ස්ථානයට පැමිණි පාලනාධිකාරියේ සාමාජිකාවක් වහා ක්‍රියාත්මක වී නේවාසිකව සිටින කථිකාචාර්යවරයකුද එම ස්ථානයට ගෙන්වා සිසුවිය රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි. සිසුවිය අත රැඳි චිත්ත රෙද්දේ ඔතා සිටි බිලිඳා ඒ වන විටත් මියගොස් සිට ඇත.

රෝහල් ගතව සිටි සිසුවිය මිහින්තලේ පදිංචි පුද්ගලයකු සමග පැවැත්වූ සමීප සබඳතාවක් හේතුවෙන් ගැබ් ගන්නට ඇති බව සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇති අතර ඇය ගැබ්ගෙන සිටි බව අන් අයට නොතේරීම ගැටලු සහගත විය.

– එම්. සී. පෙරේරා

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *