වත්මන් රජය යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කළා – ගෝඨාභය රාජපක්ෂ

(24.08.2019 – 19:20 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යාපනය, රැකියාව, සංවර්ධනය, ආරක්ෂාව, ක්‍රීඩා සහ පරිසරය ආදී අංශ ගණනාවක් සම්බන්ධයෙන් තරුණයින්ට බලපා ඇති ගැටලුවලට ලබා දෙන විසඳුම් පිළිබඳ පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය අදහස් පළ කළේය.

ඒ ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට අද පස්වරුවේ එක් වෙමින්.

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ පළමු සමුළුව අද දහවල් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදි පැවැත්වුණි.

ඒ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි තරුණ තරුණියන් මෙම සමුළුවට සහභාගි වි සිටියේය.

මෙම අවස්ථාවට එක්වූ තරුණ තරුණියන්ගෙන් ලබාගත් අදහස් මත, අධ්‍යාපනය, රැකියාව, සංවර්ධනය, ආරක්ෂාව, ක්‍රීඩා සහ පරිසරය ආදී විවිධ මාතෘකා ඔස්සේ ප්‍රශ්න ඉදිරිපත් කෙරුණි.

මුළු දිවයිනම ආවරණය වන පරිදි තරුණ තරුණියන්ගෙන් ලබා ගත් යෝජනාවලින් සමන්විත තාරුණ්‍යෙය් නෙළුම් ප්‍රකාශනය මෙහිදි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිණැමුණි.

සමුළුව පැවැත්වෙන අතරතුරදි විපක්ෂ නායක, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ඊට එක් වුණි.

එහිදී අධ්‍යාපනය සඳහා වැඩි ආයෝජනයක් සිදුකිරීම තම රජයක් යටතේ සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ 21 වන ශත වර්ශය යනු ඥානය මුල් වු ශත වර්ශයක් බවයි.

මේ හේතුවෙන් පොදු ජන පෙරමුණු රජයක් යටතේ පළමු වසර දෙක තුළ විශාල ආයෝජනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.

දැනට ඇති විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කිරීමට, තාක්ෂණික අධ්‍යාපනය පුළුල් කිරීම, දැනට ඇති විශ්වවිද්‍යාල ආසියාවේ ඇති විශ්ව විද්‍යාල අතර උසස් තැනකට ගෙන ඒමටත් කටයුතු කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනය වෙනුවෙන් දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් රැකියාවලට සුදුසු තරුණ තරුණියන් නිර්මාණය කිරීමට හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දැනට ඇති ප්‍රශ්නවලට ද විසඳුම් ලබා දිය යුතු බවත් කාර්මික විද්‍යාල හා තාක්ෂණික විද්‍යාල දියුණු කිරීමද සිදු කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අද ලෝකයේ තාක්ෂණය දෙස බැලූ විට තරුණ තරුණියන්ට අතරමං නොවී ඉදිරියට යාමට ඕනෑ තරම් අවස්ථා ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

වත්මන් රජය බලයට ආ පසු ආරක්ෂාවට කිසිදු ප්‍රමුඛත්වයක් ලබා නොදුන් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය පාලකයන්ට රටක ආරක්ෂාවේ වැදගත්කම පිළිබඳ දැනුමක් තිබිය යුතු බවත් තම රජය යටතේ බුද්ධි අංශ නැවත ස්ථාපනය කර රට ස්ථාවර බවට ගෙන යා යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වත්මන් රජය යටතේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය යන වචන දෙකම පලුදු වු බවත් ගෝඨාභය මහතා පැවසීය.

අනෙකුත් ප්‍රදේශවලට ලබා දෙන සංවර්ධනය උතුරු ප්‍රදේශයටත් ලබා දෙමින් එක රටක් ලෙස ඉදිරියට යන බව ද ඔහු කියා සිටියේය.

තරුණ පරපුර සන්තෝශයෙන් ජීවත් වීම හා සෑම විටම ධනාත්මකව සිතිය යුතු බවත් ඒ මහතා පැවසීය.

***************************************

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ජනපතිට දැනුම්දීමක්

(25.08.2019 – 06:58 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේ ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි දිනයක් සහ වේලාවක් ඒ සදහා ලබාදෙන ලෙස එමගින් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා දිනයක් ලබාදුනහොත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැදවා ප්‍රශ්න කිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේය.

කෙසේවෙතත් තමන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී නොසිටියහොත් එහි අවසන් වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය අගෝස්තු මස 23 වන දින අවසන් වීමට නියමිතව තිබුණ ද එය සැප්තැම්බර් මස 30 වන දින දක්වා දීර්ඝ කිරීමට පසුගියදා පියවර ගනු ලැබීය ෴

***************************************

හදිසි නීතිය ඉවත් කිරීමෙන් ත්‍රස්තවාදීන්ට නිදහස ලැබෙන්නේ නෑ – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන

(25.08.2019 – 07:23 +0530 – sinhala.adaderana.lk)

හදිසි නීතිය ඉවත් කළ ද ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ පුද්ගලයින්ට නිදහස ලබාදීමක් සිදුනොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පුද්ගලයින් පිළිබදව නීතිපති උපදෙස් මත ඉදිරියේ දී කටයුතු කරන බවයි.

දොම්පේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එමෙන්ම හදිසි නිතීය දිර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපාන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව ජාතික තවුහිද් ජමාත් සංවිධානය, ජාමාතේ මිලාතේ ඊබ්‍රහිම් සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තුනට මේ බලනොපාන බව එම මධ්‍යස්ථනය සඳහන් කර ඇත.

දැනට පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් පෙරේදා (23) දින සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය දීර්ඝ නොකිරීමට රජය තීරණය කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

මහජන ආරක්ෂාව වෙනුවෙන් සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට හමුදාව

(24.08.2019 – 18:49 +0530 – sinhala.adaderana.lk)

මහජන ආරක්ෂාව සඳහා සියලු පරිපාලන දිස්ත්‍රික්ක වෙනුවෙන් සන්නද්ධ හමුදාව යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් වී ඇත.

ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ හදිසි නීතිය දීර්ඝ නොකිරීමට ගත් තීරණයත් සමග මහජන ආරක්ෂක බලතල අහිමි වූ සන්නද්ධ හමුදාවලට එම බලතල පැවරීමේ අරමුණින්.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන, අත්අඩංගුවට ගැනීම් හා රඳවාතබාගැනීම් සඳහා හදිසි නීති රෙගුලාසී දීර්ඝ නොකිරීමෙන් කිසිදු බලපෑමක් සිදුනොවන බවයි.

ඉකුත් අප්‍රේල් 21 වනදා එල්ලවූ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසුව රටතුළ උද්ගතවූ තත්වය පාලනය කරීම සඳහා හදිසි නීති රෙගුලාසි බලාත්මක කරනු ලැබූ අතර එය පසුගිය සෑම මාසයක් පාසාම තවදුරටත් දීර්ඝ කරනු ලැබුවේය.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ප්‍රකාශ කළේ හදිසි නීතිය තවදුරටත් දිර්ඝ නොකරන බවයි.

ඒ අනුව හදිසි නීති රෙගුලාසි යටතේ හමුදාවට හිමිව තිබූ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම ඇතුළු යම් යම් බලතල සන්නද්ධ හමුදාවන්ට අහිමි වුණි.

කෙසේවෙතත් හදිසි නීතිය ක්‍රියාත්මක වන කාලවකවානුවේ පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන බැවින් අත්අඩංගුවට පත් සැකකරුවන්ට අදාළව සහ ත්‍රස්වාදය පිළිබඳ විමර්ශනවලට හදිසි නීතිය අවලංගු වීම කිසිදු බලපෑමක් සිදුනොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙවැනි පසුබිමක මහජන ආරක්ෂාව සඳහා සියලු පරිපාලන දිස්ත්‍රික්ක වෙනුවෙන් සන්නද්ධ හමුදාව යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා විසින් අද නිකුත් කර ඇත.

ඒ මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බල තල ප්‍රකාරවයි.

හදිසි නීතිය දීර්ඝ නොකළ ද සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම එහි අරමුණයි.

ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල සහ ඒ ඒ දිස්ත්‍රික්කයට යාබද දේශිය මුහුදු තීරයේ ආරක්ෂාව සදහා කැඳවිමට අදාළ ගැසට් නිවේදනය මගින් නියම කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වූ ත්‍රස්ත කණ්ඩායමක් පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරකට අනුව තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන නගර සියල්ලේම ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන ජාතිකයෙකු සහ ශ්‍රී ලංකාවේ දෙමළ මුස්ලිම් සම්භවයක් සහිත පුද්ගලයින් 05 දෙනෙකු මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවේ කොයිම්බතූර් ඇතුළු නගර කිහිපයකට ඇතුළු වී ඇති බවට අදාළ බුද්ධි අංශ මගින් තහවුරු කර ඇති බව වාර්තා වෙයි.

+++++++++++++++++++++

***************************************

රජයේ රෝහලකදී සිසේරියන් සැත්කමින් දරුවා බිහිවන හැටි සියැසින් දැකගත් පියා

(24.08.2019 – 18:57 +0530 – sinhala.adaderana.lk)

රජයේ රෝහලක සිසේරියන් සැත්කමින් තම දරුවා බිහිවන අයුරු පළමු වතාවට දැක ගැනීමේ අවස්ථාව පියෙකුට හිමිව ඇත.

ඒ, රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේදීයි.

හඟුරන්කෙත, දෙල්පත්කඩ පදිංචි 35 හැවිරිදි චාමලි දිල්හානි සිය තුන්වැනි දරුවා බිහිකිරීමට ඇතුළු වන්නේ, රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලටයි.

ඒ අනුව ඇයගේ සිසේරියන් දරු උපත ඇය අසළම සිට දැක ගැනීමේ අවස්ථාව ඇයගේ ස්වාමි පුරුෂයා වන සෙබළ සනත් ශාන්ත කුමාරට හිමිවුණි.

රිකිල්ලගස්කඩ රෝහල මෙම වැඩසටහන නම් කර ඇත්තේ, සෙනෙහසේ අත්වැල ලෙසයි.

දරු උපතකදී උපත් සහකරුවෙකුගේ අවශ්‍යතාව මවගේ මානසික මට්ටම යහපත්ව පවත්වා ගැනීම සඳහා වර්තමාන ලෝකයේ වඩාත් ආරක්ෂිත සංකල්පයක් ලෙස සැලකෙයි.

අලුත උපන් බිළිදන් මවට ලබාදෙන්නේ හෙදියන් විසිනි.

නමුත් ඊයේ එම අවස්ථාව මෙම පියාට හිමිවුණි.

ශල්‍යාගාරය තුළදීම ඔවුන්ට ඡායාරූපයක් ගැනීමේ අවස්ථාව ද හිමිවීම විශේෂත්වයකි.

***************************************

සජිත් ආවොත් මුලින්ම කන්න දෙන්නේ රනිල්ට – රෝහිත අබේගුණවර්ධන

(24.08.2019 – 17:53 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු තෝරාගත නොහැකිව එක්සත් ජාතික පක්ෂය දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කළුතර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ කල් විවාදය හමුවේ එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීම් හටගෙන බවයි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය :

“UNP එකේ වෙන්වීම සක්‍රයා පොළොවට බැස්සත් වෙනස් කරන්න බෑ. සජිත් පිල, රනිල් පිල, කරූ පිල දැන් මාපිල්ලු වගේ කණ්ඩායම් බෙදිලා. ඊයේ රෑ මාතරින් බීලා අරලියගහ මන්දිරයෙන් කෑවා.

UNP එකට ඉත්තෑවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ මංගල, රාජිත, චම්පික. අනුන්ගේ ගෙට රිංගගෙන දැන් අයිතිකාරයින්ට අනිනවා.

රනිල්ට බැහැලු දැන්. අපි වේලාසනින් කිව්වානේ රනිල්ට බෑ කියලා. ඊයේ මංගලගේ මාතර කතාව බලන්න. ඒකෙ බොහොම පැහැදිලිව කියනවා අපි පරදිනවා කියලා. මංගල සමරවීරගේ ඇට නැති දිවෙන් ඊයේ ඇත්ත කමයි කියවුණේ.

සජිත් ආවොත් මුලින්ම කන්න දෙන්නේ රනිල් වික්‍රසිංහට. ඒ නිසා සජිත්ට එන්න දෙන්නේ නෑ.

සජිත් ඒදණ්ඩේ යනවා දැක්කහම හිතෙනවා ලිස්සන ගහටත් සුදුසු නැහැ කියලා. ජනාධිපති අපේක්ෂකයට ඒදණ්ඩේ යන්න බැරිනම් බැරි මඟුල්වල මොනවට යනවද?”

***************************************

බත්තරමුල්ලට හිම උද්‍යාන, ජල ක්‍රීඩා සහ ශ්‍රී ලංකාවේ උසම ෆෙරිස් රෝදය සමඟින් එන ෆැන්ටසි අයිලන්ඩ් විනෝද උද්‍යානයට මුල්ගල තබයි

(23.08.2019 – biz.adaderana.lk)

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ‍්‍රයේ ඉදිවන විනෝදාත්මක උද්‍යානයට මුල්ගල තැබීම අද (23) දින මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

කොළඹ නගරය විශ්ව නගරයක් බවට පත් කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස මෙම විනෝදාත්මක උද්‍යානය ඉදිකෙරෙන අතර මෙහි ශ‍්‍රී ලංකාවේ උසම ෆෙරිස් රෝදය නිර්මාණය වේ.

තවද හිම උද්‍යාන, ජල ක‍්‍රීඩා උද්‍යාන ඇතුළු විනෝදාංශ රාශියකින් සමන්විතව අන්තර්ජාතික විනෝද උද්‍යානයක් ලෙස ඉදිකෙරෙනු ඇත.

මෙහිදී අදහස් දක්වමින් මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා මෙසේ කියා සිටියේය :

“අද මේ වෝටර්ස් එජ් කලාපයේ, දියවන්නා ගඟෙන් දකුණු ඉවුරේ, මේ ප්‍රදේශයේ, අපි කාලයක සිට සැලසුම් කර තිබෙනවා, විනෝදාස්වාද නගරයක් ගොඩනගන්න. මේකෙන් වම් ඉවුරේ, අනාගත පරිපාලන නගරය, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩනගාගෙන යනවා. එහි ගොඩනැගිලි කටයුතු තව වසර තුනකින් අවසන් වුණාම, කොළඹ නගරයේ දැනට තියෙන ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක් එහි එනවා. ඒ වගේම තව අවුරුදු 4කින් මේ කලාපය හරහා සැහැල්ලු දුම්රිය සේවය ගමන් අරඹනවා. දැනටමත් ඒ සඳහා බිම් මට්ටමේ කෙරෙන පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. එතකොට මේ කලාපය ඉතාමත්ම කලබලකාරී ප්‍රදේශයක් බවට පත්වෙනවා. එතකොට ඒ අයගේත්, පොදුවේ ශ්‍රී ලාංකික මහජනතාවගේත් විනෝදාස්වාදය, මානසික ආතතිය දුරු කිරීම සඳහා මේ කලාපයේ මේ කළම්බු අයි නමින් අපි හඳුන්වන ඒ විශාල ෆෙරිස් වීල් එක පැමිණෙනවා විතරක් නෙමෙයි, දැනටමත් අපි ක්‍රීඩා කටයුතු සඳහා එවැනි අංගෝපාංග කිහිපයක් දියුණු කරලා තියෙනවා.

අපි හැමෝම දන්නවා සංචාරක ව්‍යාපාරය අද අපිට විදේශ ආයෝජන ගෙන්වන ප්‍රධාන මාර්ගයක්. ඉදිරි කාලයේ දී අපි බලාපොරොත්තු වෙනවා, ඉඩම් සංවර්ධණ සංස්ථාවෙන් මේ කලාපය එකතු කරන්න, කොළඹ නගරය සමඟ ජල මාර්ග ඔස්සේ. අපි නියමු ව්‍යාපෘතිය දියත් කළා. එතකොට තවත් දියුණුවත් එතනින් අපිට ලැබෙයි. ඒ වගේම ඒ සංචාරකයින්ගෙන් අපිට ලැබෙන ආදායම මිලියන 4,000 ඉක්මවා ලැබුණාට, ඒකෙන් අඩක් පමණ අපේ රටේ අයත් පිටරට ගෙනියනවා අධ්‍යාපනයට, ඒ වගේම සංචාරය කිරීම සඳහා විදේශ රටවල්වලට, සිංගප්පූරුවට සංතෝෂා දිවයිනට, එහෙම නැත්නම් ඩුබායි රටට, විශාල වශයෙන් අපේ සංචාරකයනුත් ඇදී යනවා. 2018 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් උපයා ගත් ධනය ඩොලර් මිලියන 4,300 යි. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් පිටරටට අරන් ගිය ධනය ඩොලර් මිලියන 1,600 යි. එතකොට අපිට පේනවා, අපේ ඒ ධනය මෙහි ඉතිරි කර ගන්න නම්, ඒ ජනතාවට විනෝදාස්වාදය සැපයෙන ක්‍රියාදාමයක් ඇති කර ගත යුතුයි, විදේශවලින් ඇදී එන සංචාරකයින්ට අමතරව. මම හිතනවා ඒ ප්‍රතිඵල දෙකම විදේශ සංචාරකයිනුත්, දේශීය පිරිසටත්, මේ රට තුළම තමන්ගේ විනෝදාස්වාදය සඳහා කටයුතු කරන්න මෙමඟින් අවස්ථාව ලැබෙයි.”

***************************************

රත්නපුරයේ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ අටදෙනෙකු අත්අඩංගුවට

(25.08.2019 – 08:00 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි හෝටලයක ෆේස්බුක් ඔස්සේ සංවිධාන කර තිබූ සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් අටදෙනෙකු පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සිදුකළ මෙම වැටලීමේදී අයිස්, හොරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයින් 5 දෙනෙකු සහ තරුණියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

රත්නපුර අවට ප්‍රදේශවලම පදිංචි මොවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 795ක්, හෙරොයින් මිලිග්‍රෑම් 345 ක් සහ ගංජා මිලිග්‍රෑම් 4540 ක් සොයාගෙන තිබෙනවා ෴

***************************************

ETI තැන්පත්කරුවන් යළි රතු එළි දල්වයි

(24.08.2019 – 22:40 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. තැම්පත්කරුවන්ගේ අහිමි වු මුදල් අපසු ගෙවීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයෙකුට සහය ලබාදෙන බව ඊ.ටී.අයි. තැම්පත්කරුවන්ගේ සංගමය පවසනවා.

කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සාමාජිකයින් මේ බව සදහන් කළා.

***************************************

ශාරීරිකව කඩාවැටී මනසින් නොවැටී වාසනාව සොයන අංකුඹුරේ වාසනා

(24.08.2019 – 21:20 +0530 – hirunews.lk/sinhala)

ජිවිතේ ශාරීරිකව කඩාවැටි ඔත්පල වුවත් උසස් අධ්‍යාපනය ලැබීමේ දැඩි අධිටනින් පසුවන තරුණියක් පිළිබද අපට වාර්තා වුණේ මහනුවර – අංකුඹුර ප්‍රදේශයෙන්.

මේ මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි වාසනා නදීෂා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභහගය ඉහලින් සමත්වුණු ඇය උසස් පෙළ ජීවවිද්‍යා අංශයෙන් කරන්න සුදානම් වුනේ දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ පොදිබැඳන්.

2016 වර්ෂයේ අප්‍රේල් 21 වෙනිදා ලොරි රථයක් සහ ත්‍රිරෝධ රථයක් එකිනෙක ගැටී සිදුවූ අවාසනාවන්ත අනතුරින් වසනා නදීෂානි බරපතල තුවාල ලබා මාස හතරකට පසු රෝහලේ සිට නිවසට පැමිණියත් වෙනදා මෙන් තම දෛනික කටයුතු තනිව කරගතහැකි තත්වයකින් නම් නොවේ.

අනතුරින් නදිෂනිගේ මොලයට සිදුවූ හානි හේතුවෙන් ශරීරය වාරු නැතිව ගියත් අවුරුදු 3 කට පස්සෙත් ඇය උසස් අධ්‍යාපනය පිළබද තැබූ බලාපොරොත්තු තවමත් අත්හැර නැහැ.

දරුවන් සිව්දෙනෙකු මෙලොවට දායාද කල වාසනා නදීශානිගේ මවත් අවුරුදු කිහිපයක් තිස්සේ දරුණු වකුගඩු රෝගයකින් පීඩා විදින අතර පින්තාරුකරුවෙක් වූ ඇගේ පියාත් පලංචියකින් ඇදවැටී පාදයේ අබාධයකට ලක්වී තිබෙනවා.

කිසිවෙකුගේ හෝ හව්හරණක් නොමැති මේ පවුලේ බර කරට ගත්ත නදිෂනිගේ පියා සිය අපේක්ෂාවන් වචනයට පෙරලුවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *