නර්තන ආචාර්ය පියසාර ශිල්පාධිපති සූරීන් දිවි ගමනට සමු දෙයි

(02.09.2019 – 13:05 +0530 – sinhala.adaderana.lk)

ලංකාවේ විශිෂ්ඨ බෙර වාදන ශිල්පියෙක් වන පියසාර ශිල්පාධිපති මහතා අභාවප්‍රාප්ත වී ඇත.

බෙර වාදනය මූලිකව ප්‍රාසාංගික කලාවක් ලෙස වර්ධනය කරන ලද පුද්ගලයන් අතර පියසාර ශිල්පාධිපති මහතාට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.

කොළඹ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ පියසාර ශිල්පාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කලක් සේවය කළේය.

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුව ඇත.

++++++++++++++++++++++++

බෙරයත් නැටුමත් ලෝකෙටම ගෙන ගිය හත්කෝරළයේ ගුරුතුමා : පියසාර ශිල්පාධිපති සූරීන්

(14.08.2019 – saaravita.lk)

ශ්‍රී ලාංකික අපගේ බෙර පදය මුළු ලොව පුරා රැගෙන ගිය ඔහු පියසාර ශිල්පාධිපති ය. රටවල් බොහොමයක මේ වන විටත් සංචාරය කර ඇති මොහුව බොහෝ දෙනා හඳුන්වන්නේ පියසාර යන නමිනි. ශ්‍රී ලාංකික පුතුන් බොහොමයකට පමණක් නොව විදේශීය දරුවන්ටද බෙර වාදනය හා නර්තනය ඉගැන්වූ පියසාර ගුරු පියාණන් අද ගෙවන්නේ ඔහුගේ සැඳෑ සමයයි.

1945 මාර්තු මස 19 වැනි දින සාරංගා ශිල්පාධිපතිට හා සව්වානි මෑණියන්ට දාව උපන් පියසාරගේ උපන් ගම වූයේ හත්කෝරළයට අයත් වූ පොල්ගහවෙලය. එකල පොල්ගහවෙලින් නර්තනයට නෑදෑකම් කියූ පරපුරක් බිහිවී තිබුණි. මේ නිසාම නිතර නිතර බෙර වාදන, දවුල් වාදන, තම්මැට්ටම් හඬ ඇසුණු අතර කොහොඹාකංකාරිය ශාන්තිකර්මය ද මේ අතර දක්නට ලැබුණි. මේ නිසාම කුඩා කල පටන්ම නර්තනයට සහ වාදනයට පියසාර ඇළුම් කළේය.

ඔහුගේ මුල්ම ගුරුතුමා වූයේ සෙව්රංගා ගුරු පියාණෝය. ඒ පියාසරගේ කිරිඅත්තාය. මුල්ම ගැටබෙර වාදනය පියාසර ඉගෙන ගත්තේ ඔහුගේ කිරිඅත්තාගෙනි.

1948 වසරේ දී පොල්ගහවෙල වැලිගොඩපිටිය ශ්‍රී සුධර්මාරාම විහාරයේ විහාරාධිපති හිග්ගොඩ පේමානන්ද හිමිපාණන් ගෙන් පියාසර සුබ මොහොතින් අත්පොත් තැබීය. ඉන් පසුව ඔහු අධ්‍යාපනය සඳහා ඇතුළු වූයේ පොල්ගහවෙල ශාන්ත බර්නාදෙන් විදුහලටය. ඒ 1950 වසරේදීය.

මේ කාලයේදීම පියාසරගේ බාප්පා වූ ශිල්පා ගුරුතුමා පොල්ගහවෙල ශිල්පාධිපති කලායතනය ආරම්භ කළේය. එතැන් පටන් පියසාර ද මෙම කලායතනයේ හොඳම ගෝලයෙක් විය. 1958 දී ඔහු පොල්ගහවෙල වැලිගොඩපිටිය විහාරස්ථානයේ දී කලඑළි මංගල්‍ය පැවැත්වීය.

පියාසර නර්තනයට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ද ඇළුම් කළේය. ගමේ තම යාළුවන් හා එක්ව ඔහු ක්‍රිකට් සෙල්ලම් කළේය. ගොවි මහතෙකු වූ තම පියාගේ කුඹුරු වැඩ කටයුතුවලටද පියසාර තමන්ට හැකි අයුරින් සහයෝගය ලබා දුන්නේය. කුඹුරු යායකට මැදිව පිහිටා තිබුණු පියසාරගේ මහගෙදරට නිතර නිතර එකල ලංකාවේ සිටි ප්‍රසිද්ධ නර්තන ශිල්පියෝ ආවා ගියෝය. මේ නිසාම පියසාර කලාවට දැක්වූ ආසාව එන්න එන්නම වැඩි විය. වයස අවුරුදු දහය වෙද්දී ඔහු බාප්පා හා මාමා සමඟ ගමේ පන්සලේ උත්සවවලට, නැටුම්වලට සහභාගි විය. කල් යත්ම ඔහු ශිල්පාධිපති කලායතනයේ ද ඉගැන්වීම් කටයුතුවල නිරත විය.

පණිභාරත, චිත්‍රසේන වැනි නර්තනවේදීන්ගේ නර්තන වින්‍යාසයන් ගැන පියසාරට නිරන්තරයෙන් අසන්නට ලැබුණේ මේ වකවානුවේදීය. මේ නිසාම ඔවුන්ගේ ඇසුරේ හිඳ නර්තනය හදාරන්නට තරුණ පියසාරට අවැසි විය. මේ අතර කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයේ රංග ශාලිකාවේ වේදිකාගත වූ චිත්‍රසේනයන්ගේ නල දමයන්ති මුද්‍රා නාට්‍ය නැරඹූ පියසාරගේ සිත නර්තනය කෙරෙහි වඩ වඩාත් නැඹුරු විය.

පියසාරගේ සිහිනය සැබෑ විය. එවකට ජර්මනියේ තානාපති නිවෙසේ පැවැත්වීමට නියමිතව තිබූ එක්තරා නැටුම් සංදර්ශනයක දී වෙස් නැටුම් කණ්ඩායමක් සූදානම් කරගන්නා ලෙස චිත්‍රසේනයන් පැවසුවේ සයිමන් ශිල්පාධිපතිටය. එනම් පියසාරගේ මාමාටය. ඒ අනුව වෙස් නැටුම් කණ්ඩායමට සම්බන්ධ වී තානාපති නිවෙසේ නර්තනයක් ඉදිරිපත් කරන්නට පියසාරට හැකි විය. නර්තනය අවසානයේ දී චිත්‍රසේනයන් පියසාරට සුබ පතා තම නෘත්‍යාංජලී නම් සංදර්ශනයේ ශිල්පියෙකු ලෙස සහභාගී වීමට ඔහුට අවස්ථාව සලසා දුන්නේය. එතැන් පටන් ඔහු චිත්‍රසේනයන්ගේ නර්තන කණ්ඩායමේ හොඳ ගෝලයෙක් විය.

රටවල් ගණනාවක පියාසර කළ පියසාරගේ මුල්ම විදෙස් ගමනාන්තය වූයේ චීනයයි. ඒ 1967 වර්ෂයේදීය. එහිදී ඔහු බෙර වාදන ශිල්පියෙක් ලෙස චීනය බලා පිටත් විය. එතැන් සිට ඔහු බොහෝ රටවලට සංදර්ශන සඳහා පියාසර කළේය. ඔහු 1968 වසරේදී රජයේ ලලිත කලායතනයේ නැටුම් අංශයට ඇතුළත් විය. වසර හයක කාලයක සිට ලලිත කලායතනයේ පාඨමාලාව හදාරන අවදියේදීම පියසාර චිත්‍රසේන කලායතනයේ ගුරුවරයෙකු ලෙසද සේවය කළේය.

රජයේ ලලිත කලායතනයේ දී පියසාරට අපූරු තරුණියක මුණැගැසුණි. ඒ චන්ද්‍රකාන්තිය. නැටුම් පන්තියේ පැවති ඇසුර අවසානයේ ආදරයක් බවට පෙරළුණි. පියසාර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හතරවැනි වසරේ ඉගෙන ගන්නා අතරතුර චන්ද්‍රකාන්ති පළමු වසරට ඇතුළත් වූවාය. ඒ වන විටත් පියසාර කලායතනයේ ද ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් විය. වර්තමානයේ විදෙස් ගතවීම එතරම් අපහසු නොවුණද, එකල විදෙස් ගතවීම එතරම් පහසු දෙයක් නොවීය. චිත්‍රසේන කලායතනයත් සමඟින් ඔහු බොහෝ රටවල සංචාරය කළේය.

රජයේ ලලිත කලායතනයේ දී කාන්ති ගායනය හා නර්තනය හැදෑරූ අතර ඇයට ද රාජ්‍ය ලලිත නර්තන කණ්ඩායම නියෝජනය කරමින් තමාගේ මුල්ම සංචාරය සඳහා අවස්ථාව ලැබුණි. ඒ ගමනේ දී ප්‍රවීණ ශිල්පියෙකු ලෙසින් පියසාර ද ඒ ගමන හා එක් විය.

1977 වසරේ පියසාරත් චන්ද්‍රකාන්තිත් විවාහ වූවෝය. එතැන් සිට මේ ගුරු දෙපළ එක්ව මේ රටේ දූ දරුවන් උදෙසා නර්තනය ඉගැන්වූවෝය. 1978 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ නැටුම් උපදේශකවරයකු ලෙස පියසාරට පත්වීමක් ලැබුණි. පියසාර ශ්‍රී ලාංකික දරු පරපුරට පමණක් නොව, විදෙස් දරුවන්ටද අපේ බෙර පද කියා දුන්නේය. අපේ රටේ අපේකම විදෙස් රටවල වේදිකාව මතට ගෙන යන්නට පියසාරට ඔහුගේ බිරියගෙන් ලැබුණු අත්වැල ද විශාල සවියක් විය. ඔවුහු මාධවී ශිල්පාධිපතිට ආදරණීය මව්පියෝ වූහ. පියසාර හා කාන්ති එක්ව ඔවුන්ගේ නමින් රංගායතනයක් ආරම්භ කළෝය. ඒ පියසාර-කාන්ති රංගායතනයයි. දරුවන්ට වේදිකාවේ රඟපෑම හුරු කරනවා වෙනුවට දරුවන්ට නර්තන අධ්‍යාපනය ලබාදීමට ද මේ ගුරු දෙපළ දිවා රෑ නොබලා මහන්සි වූවෝය. අද වන විට මොවුන්ගෙන් ඉගෙනගත් දරුවන් ඉහළ නිලතලවල වැජඹීම ඔවුන්ගේ ඒ නිවැරදි මඟපෙන්වීමේ එක් ප්‍රතිඵලයකි. අද විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරු, ගුරු උපදේශකවරු වැනි තනතුරු දරන දරුවන්ට මේ ගුරු දෙපළගේ ආශිර්වාදය නිරන්තරයෙන් හිමිවන්නට ඇත.

සෑම වසරක් අවසානයේ ඔවුහු මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී සිය ශිෂ්‍යයන්ගේ කලඑළි මංගල්‍යයක් පැවැත්වූහ.

දේශීය බෙර වාදනය විදෙස් සංදර්ශන වේදිකාවේ අපූරුවට වාදනය කළ බෙර වාදකයා වූයේ පියසාර ශිල්පාධිපතිය. බෙර ඇසේ සියුම්ව ගැටෙන ඔහුගේ අත හා මුසුවී නැගෙන හඬ අපේ ලාංකික හඬයි. විදේශයන්හිදී තමා දුටු බොහෝ දෑ මෙන්ම තමා අත්විඳි බොහෝ අත්දැකීම් එකතුකොට ඔහු අපූරු දේශීය බෙර නර්තන ලෝකයට හඳුන්වා දුන්නේය. උඩරට බෙරයේ වම් ඇසත්, දවුල් බෙරයේ එක් ඇසකුත් උපයෝගී කර ගනිමින් ඔහු අපූරු බෙරයක් නිර්මාණය කළේය. එය වාදනය කරනුයේ අතින් හා කඩිප්පුවෙනි. අරියසෙන් අහුබුදු ශූරීන් විසින් මෙය නම් කරන ලද්දේ ‘ගැවුල’ නමිනි.

ඔහු සහභාගි වූ විදෙස් සංදර්ශන සුළුපටු නොවේ. විදෙස් රටවලින් ඔහුට බොහෝ ගෞරවනාම තිළිණ කෙරුණි. බෙර ශිල්පය හදාරණ විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහසු වන්නට පියසාර, 1991 වසරේදී සිංග් ලංකා ආයතනය හා එක්ව බෙර නද නමින් කැසට්පටයක් ද එළි දැක්වීය.

කොළඹ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ පියසාර ශිල්පාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කලක් සේවය කළේය.

මීට වසර කිහිපයකට පෙර සංදර්ශනයකට සහභාගි වන්නට විදෙස් රටකට ගිය ගමනක් අතරතුර නාන කාමරයේ ලිස්සා වැටීමෙන් පියසාරගේ හිස නාන තටාකයේ ගැටී අනතුරට ලක් විය. සුළු ප්‍රතිකාරයක් කළ ද ඔහු එය එතරම් ගණනකට ගත්තේ නැත. නමුත් එය ටිකෙන් ටික පියසාරට නොදැනීම උත්සන්න විය. 2013 වසර වන විට පියසාර එක් අතක් ඉහළට එසවීමට නොහැකි තරම් මේ තත්ත්වය උත්සන්න විය. එය තව තවත් වර්ධනය විය. අද වන විට පියසාර ගුරු පියාණන්ට තම කලා කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඈත්වන්නට සිදුව ඇත. ඔහු ගුරුවරයෙකු ලෙසින් ගුරුමුෂ්ඨිය තබාගත් ගුරුවරයකු නොවීය. තමන් දන්නා සියලු දෑ ඔහු මේ රටේ දරු පරපුරට ලබා දුන්නේය. ඔහුගෙන් ඉගෙනගත් විශාල ගෝල පරපුරක් ලංකාවේ පමණක් නොව විදෙස් රටවලද ජීවත් වෙති. ඒ බොහෝ ගෝලයන් අද වෘත්තීමය නැට්ටුකාරයන් වන්නේ ද පියසාර ගුරු පියාණන්ට පින් සිදුවන්නටය.

ගෝල පරපුරේ ආදරය ගෞරවය දිනාගත් පියසාර ගුරු පියාණන් සැබැවින්ම වන්දනීය ගුරුවරයෙකි. බෙරයට අරුතක් එක්කළ අපේ බෙරයේ හඬ මුළු ලොවටම ප්‍රදර්ශනය කළ පියසාර ගුරු පියාණන් අද ගෙවන්නේ ඉතා නිහඬ ජීවිතයකි. නමුත් ඔහු කියා දුන් බොහෝ පාඩම් සදාකාලිකව පවතිනු නොඅනුමානය.

20190813Piyasara-2
20190813Piyasara-1

ආයුබෝ වේවා.. ගුරු පියාණෙනි!

– දිෂානි

+++++++++++++++++++++++++++++++++++++

මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ නර්තන ආචාර්ය පියසාර ශිල්පාධිපති අභාවප්‍රාප්ත වෙයි

(02.09.2019 – 13:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු සිය නිවසේදි අද දහවල් අභාවප්‍රාප්ත වනවිට 86 වන වියේ පසුවුණා.

මේ අතර මෙරට විශිෂ්ඨ බෙර වාදන ශිල්පියෙකු සහ නර්තන ආචාර්යවරයෙකු වන පියසාර ශිල්පාධිපති මහතා ද අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෝකන්දර පිහිටි සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වනවිට 75 වන වියේ පසුවුණා. ඔහු කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් සහ කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කළා ෴

++++++++++++++++++++++++

අභාවප්‍රාප්ත වු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය එතුමාගේ අවසන් කැමැත්ත අනුව රාගම වෛද්‍ය පීඨයට භාර දීමට නියමිතය. (sinhala.adaderana.lk)

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *