යුද්ධ හමුදා සෙබළුන් දෙදෙනෙකු අරසපුරකුලම් වැවෙහි ගිලුනු මව සහ දරුවන් දෙදෙනා බේරාගනියි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• යුද්ධ හමුදා සෙබළුන් දෙදෙනෙකු අරසපුරකුලම් වැවෙහි ගිලුනු මව සහ දරුවන් දෙදෙනා බේරාගනියි

• මහජන බැංකුවේ රැකියා දෙන්නැයි මුදල් ඇමති නම් 1800 ක් යවලා

• ගෝඨාගේ දෑත් ශක්තිමත් කිරීමට මුත්තයියා මුරලිදරන් එක්වේ

• කෝට්ටේ රජමහවිහාර පෙරහැරේ අලි දෙදෙනෙක් කුලප්පු වී 17 කට තුවාල (විඩියෝ)

• ෆේස්බුක් සාදයක මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් 4 දෙනෙකු අත්අඩංගුවට (විඩියෝ)විව

• කුලියාපිටියේ වෙළඳසැල් දෙකක ගින්නක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

යුද්ධ හමුදා සෙබළුන් දෙදෙනෙකු අරසපුරකුලම් වැවෙහි ගිලුනු මව සහ දරුවන් දෙදෙනා බේරාගනියි

(08.09.2019 – 07:42 +0530 – army.lk)

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජමේන්තුවේ සෙබළුන් දෙදෙනෙකු කඩිනමින් මැදිහත්වී සෙනසුරාදා (07) දින මධ්‍යහනේ අරසපුරකුලම් වැවෙහි ස්නානය කරමින් සිටියදී දියේ ගිලී අනතුරට ලක්වූ මව සහ දරුවන් දෙදෙනා බේරාගැනීමට සමත් වූහ.

මෙම දියේ ගිලුනු කාන්තාව සහ ඇගේ දරුවන් දෙදෙනා උදව් ඉල්ලා කෑගසමින් සිටිනු දුටු එම වැව පසුකර යමින් සිටි මෙම සෙබළුන් දෙදෙනා ඉතා යුහුසුළුව තමන්ට සිදුවිය හැකි අනතුරු ගැන නොසිතමින් වැව්දිය සමග සටන් කරමින් වටිනා ජිවිත තුනක් (මව සහ පුතුන් දෙදෙනා) ගලවාගැනීමට සමත්වූහ.

ඉතා නිර්භීත ලෙස 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.එස් අමරසිරි සහ ලාන්ස් කෝප්‍රල් ටී.ජී.ජේ.පී. ආරියරත්න මහත් පරිශ්‍රමයක් දරා දියේ ගිලෙමින් සිටි ඔවුන් තිදෙනා වැව්පිටිය වෙත රැගෙනවිත් කඩිනමින් මුලික ප්‍රථමාධාර ලබාදෙමින් එහි එක්රැස් වූ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව කිසිදු පමාවකින් තොරව ඔවුන්ව ළඟම පිහිටි පූනරින් රෝහල වෙත රැගෙන යන ලදී.

අනතුරුව පූනරින් රෝහල වෙතින් වෛද්‍ය උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්‍ෂණ රෝහලට මාරු කර යවා ඇත.

+++++++++++++++++++++

මඩේ එරී දිය යටට යමින් සිටි පවුලක් බේරා ගත් සෙබළුන් දෙදෙනා හිතට දැනුනු දේ පැහැදිළි කරයි

(09.09.2019 – nethnews.lk)

කෙනෙකුගේ ජීවිතය රැකගැනීම වෙනුවෙන් තමාගේ ජීවිතය පරදුවට තැබීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි. එවන් වික‍්‍රමාන්විත මෙහෙවරක් ඉටුකර තවත් අයෙකුට ජීවිතයේ සැබෑ සතුට ගෙන ආ පුවතක් කිලිනොච්චිය, පුනරීන් ප‍්‍රදේශයෙන් ඉකුත් සති අන්තයෙන් වාර්තා වුණා.

අරසපුරකුලම් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ රොන්මඩ සහිත දියවළක ගිලෙමින් සිටි එකම පවුලේ පිරිසක් තම දිවි දෙවැනි කොට මෙලෙස බේරාගත්තේ කිලිනොච්චිය ආරක්ෂක සේනාවට අයත් 05 වන යාන්ත‍්‍රික පාබල රෙජිමේන්තුවේ හමුදා සෙබළුන් දෙදෙනෙක්. දරුවන් දෙදෙනෙකු, බිරිඳ සහ සැමියෙකු මෙලෙස රොන්මඩෙහි එරී ඇති අතර ඔවුන් බේරා දෙන ලෙස පවුලේ බාල දරුවා කෑගසන හඬ ඇසී එම ස්ථානයට ළඟා වූ රණවිරුවන් මෙම මෙහෙයුම ආරම්භ කළේ දැඩි පරිශ‍්‍රමයක් යොදමින්.

ලාන්ස් කෝප‍්‍රල් ජේ. පී. ආරියරත්න ඒ පිළිබඳව නෙත් නිවුස් වෙත පැහැදිළි කරමින් සඳහන් කළේ මඩේ එරෙමින් සිටි පිරිස පිටතට නොපෙනුනු නිසා ඔවුන් සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වූ බවයි.

මෙම මෙහෙයුම සඳහා ලාන්ස් කෝප‍්‍රල් ජී. එස්. අමරසිරි ද, ලාන්ස් කෝප‍්‍රල් ජේ. පී. ආරියරත්න හා එක්ව තිබුණා. මෙම දුෂ්කර මෙහෙයුමෙන් පසු ජීවිතයේ සතුට විඳි එම පවුල දැකීමෙන් තමන්ට ද අතිශය සතුටක් ලැබුණු බව ලාන්ස් කෝප‍්‍රල් ජේ. පී. ආරියරත්න නෙත් නිවුස් වෙත කියා සිටියා.

***************************************

මහජන බැංකුවේ රැකියා දෙන්නැයි මුදල් ඇමති නම් 1800 ක් යවලා

(06.09.2019 – 19:53 +0530 – lankadeepa.lk)

මහජන බැංකුවට කාර්යාල සහයකයින් ලෙස බඳවා ගන්නැයි දන්වමින් මුදල් අමාත්‍යවරයා විසින් ඉකුත් මැයි මාසයේදී බැංකුවේ සභාපතිවරයා වෙත 1800 දෙනකුගේ නම් ලැයිස්තුවක් එවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

පසුව ස්ථිර කරන තුරු මොවුන් බඳවා ගන්නා ලෙස දන්වමින් අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පසු පාසල් හැරගිය අයගේ ලැයිස්තුවක් මෙසේ එවා ඇති බව ද මෙහිදී හෙළි විය.

මෙම 1800 ක ලැයිස්තුවට මහජන බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩලය විරුද්ධ වූ බවත්, පසුව ඉන් 80 ක් තෝරා මාස හයක කාලයක් සඳහා පුහුණුවන්නන් ලෙස බඳවාගෙන තිබෙන බව ද මහජන බැංකුවේ සභාපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා කෝප් කමිටුව හමුවේ සඳහන් කළේය.

අමාත්‍යවරයා එවූ 1800 ක නම් ලැයිස්තුවෙන් 600 ක් පමණ ගැනීමට පළමුව තීරණය කර පසුව එම සංඛ්‍යාව 80 ක් දක්වා අඩු කර ඇතැයිද මෙහිදී අනාවරණය විය.

අ.පො.ස උසස් පෙළ විභාගය අවසන්ව පාසල් හැර ගිය අය පුහුණුවන්නන් ලෙස බඳවා ගැනීම සෑම වසරකම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල සිදුවන බවත්, දෛනික දීමනාවක් යටතේ මාස 6 කට එවැනි අය බඳවාගැනීම බැංකුවට වාසිදායක බවත්, සභාපතිවරයා පැවසූ නමුත් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා එහිදී පැවසුවේ ඇමතිවරයාගේ ලැයිස්තුවකට එය බඳවා ගැනීම අසාධාරණ බවයි.

රාජ්‍ය බැංකුවලට තාවකාලිකව පුහුණුවන්නන් බඳවා ගැනීමේ දී අයදුම්පත් කැඳවා සුදුසුකම් සහිත අය බඳවාගැනීමේ යාන්ත‍්‍රණයක් සකස් කරන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතාට උපදෙස් ලබාදුන්නේය.

සුනිල් හදුන්නෙත්ති මහතා මෙම උපදෙස් ලබාදුන්නේ මහජන බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටී අවස්ථාවේදීය ෴

***************************************

ගෝඨාගේ දෑත් ශක්තිමත් කිරීමට මුත්තයියා මුරලිදරන් එක්වේ

(08.09.2019 – gossiplankanews.com)

අද (08) දහවල් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ආරම්භවූ ‘වියත්මග’ තරුණ සමුළු පූර්ව සැසියට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු විශිෂ්ට පන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන් මහතා එක්වී තිබේ. හිටපු ආරක්ෂක ලේකම් හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට ඔහුගේ දෑත් ශක්තිමත් කිරීමට මුරලිදරන් මහතා එක්ව තිබේ.

ඉදිරියේදී පවත්වන්නට නියමිත තරුණ සමුළුව පිළිබඳ සාකච්ඡාවක් හා වත්මන් දේශපාලන තත්වය ගැන මෙහිදී අදහස් දක්වන්නට නියමිතය.

මීට කලකට පෙරාතුව සිට රටේ දේශපාලන තත්වය ගැන සිය පුද්ගලික අදහස් සෘජුව ප්‍රකාශ කළ අයෙකු වන මුරලිදරන් මහතා සිංහල -දෙමළ වර්ගවාදය ප්‍රතික්ෂේප කළ අයෙකි.

කෙසේ වෙතත් ඔහු දේශපාලනයට කිසිසේත් සම්බන්ධ නොවන බව මින් ඉහත පවසා තිබුණි ෴

***************************************

කෝට්ටේ රජමහවිහාර පෙරහැරේ අලි දෙදෙනෙක් කුලප්පු වී 17 කට තුවාල (විඩියෝ)

(08.09.2019 – gossiplankanews.com)

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර ඊයේ (07) රාත්‍රී ගමන් කළ අවස්ථාවේ අලි දෙදෙනෙකු කුලප්පුවීම හේතුවෙන් කලබලකාරී තත්වයක් ඇති විය.

අලියා මත ගමන් කළ පුද්ගලයකු ඇතුළු පෙරහැරේ නරඹන්නන් ලෙස පැමිණ සිටි පිරිසක් මේ හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරිණි. තුවාල ලද පිරිස අතර කාන්තාවන් 13 දෙනෙකු හා පිරිමින් 04 දෙනෙකු සිටී. තුවාල ලැබු රෝගීන් කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

සිදුවීම අවස්ථාවේ වීඩියෝව :

***************************************

ෆේස්බුක් සාදයක මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් 4 දෙනෙකු අත්අඩංගුවට

(08.09.2019 – 15:11 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් හරහා සංවිධානය කර තිබූ සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 4 දෙනෙකු හැටන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නගරයේ උත්සව ශාලාවක ඊයේ සංවිධාන කර තිබූ මෙම සාදයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 5ක් සහ මත්පෙති තොගයක් හැටන් – සුරාබදු කාර්යාල නිලධාරීන් විසින් භාරයට ගෙන ඇති බව සඳහන්.

එම සාදය සඳහා වයස අවුරුදු 16 ත්, 30 ත් අතර තරුණ තරුණියන් 400 දෙනෙකු පමණ සහභාගි වී සිට ඇති අතර, ඔවුන් පිළියන්දල, මීගමුව, මහනුවර, අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

එම සාදයට සහභාගි වූ ඇතැම් තරුණ තරුණියන් ඔවුන්ගේ දෙමව්පියන් ද සමඟ ඊට එක්ව සිටි බවයි හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

***************************************

කුලියාපිටියේ වෙළඳසැල් දෙකක ගින්නක්

(08.09.2019 – 13:40 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය නගරයේ ප්‍රධාන බස් නැවතුම්පල අසළ වෙළඳසැල් දෙකක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

කුලියාපිටිය නගර සභාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ගින්නෙන් අවන්හලකට සහ පොත් අලෙවිසැලකට හානි සිදුව තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

https://www.youtube.com/watch?v=IXCgfK1Y57A#t=5
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *