දින 20 ක් පුරා පැවති ආබාධිත රණවිරු විරෝධය අවසන්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• දින 20 ක් පුරා පැවති ආබාධිත රණවිරු විරෝධය අවසන් (විඩියෝ)

• සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය වර්ජනය තවදුරටත් (විඩියෝ)

• සිංහල බෞද්ධයන් කිසිදා හින්දු සම්ප්‍රදායන්ට හෝ පූජාවන්ට විරුද්ධ වී නැහැ

• මුලතිව් ගුරුකන්ද හිමිගේ අපවත්වීමෙන් පස්සේ නඩුවලට වෙච්ච දේ

• ‘ජම්පර් හේෂා’ අත්අඩංගුවට ගන්න නියෝග (විඩියෝ)

• ‘ජම්පර් හේෂා’ට ඇප

• මාතර පල්ලිමුල්ලේදී එක්දරු පියකුව කිඹුලකු ඩැහැගෙන නිල්වලා ගඟට ඇදගෙන යයි

• ගංවතුරෙන් පස්සේ මාතර තැන් රැසක් කිඹුල්ලුන්ගේ ආක්‍රමණයට ලක්වෙලා

+++++++++++++++++++++++++++++++++++

දින 20 ක් පුරා පැවති ආබාධිත රණවිරු විරෝධය අවසන්

(30.09.2019 – 13:59 +0530 – sinhala.adaderana.lk)

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දින 20 ක් පුරා සිදුකළ විරෝධතාවය අද (30) දහවල් අවසන් කළේය.

ඒ ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දු මුල්කරගනිමින්.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත මහතා සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද විරෝධතාව පැවති ස්ථානයට පැමිණ සාකච්ඡා කළ බවයි.

ආබාධිත රණවිරුවන්ගේ ගැටළුවට හෙට (01) දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන රණවිරුවන්ගේ සුවදුක් බැලීමට කොළඹ, කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

රට දැය බේරාගත් විරෝධාර රණවිරුවන් වෙනුවෙන් තමා ලොකු සේවයක් සිදු කරන පුද්ගලයෙක් බවත් පැවසු අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් නිවාස හා ගෙවල් හදා ගැනීම ණය ලබා දී ඇති බවත් මෙහිදී කියා සිටියේය.

රණවිරු ප්‍රජාවට ලබා දිය යුතු උපරිම සහය ලබා දෙන පුද්ගලයෙක් ලෙස ඔවුන්ගේ මෙම ගැටළුවලට පිළිතුරක් රැගෙන නැවත වතාවක් පැමිණෙන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර අද දහවල් රණවිරුවන් විරෝධතාවයේ එක්ව සිටි කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ රණවිරුවන්ගේ සියලු ගැටළුවලට විසඳුමක් ලබා දෙන බව පැවසීය.

එනිසා ඒ ගැන විශ්වාසය තබමින් සියලු දෙනාට එම ස්ථානයෙන් පිටව යන ලෙසත් සඳහන් කර සිටි විපක්ෂ නායකවරයා, උපවාසයේ නියැලී සිටි ආබාධිත රණවිරුවාට ‘තැඹිලි විඳුරුවක්’ පොවා නැඟිටුවා සිටියේය.

විපක්ෂ නායකවරයාගේ පොරොන්දුවෙන් පසුව ආබාධිත රණවිරුවන් විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ගොඩනඟා තිබු තාවකාලික අට්ටාලය ද බිඳ දමන අයුරු ද දක්නට ලැබිණි.

***************************************

සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය වර්ජනය තවදුරටත්

(30.09.2019 – 19:33 +0530 – sinhala.adaderana.lk)

රට පුරා සිදු කෙරෙන වර්ජනවලට විසඳුම් ලබාදීමට පසුගියදා පත්කෙරුණු කැබිනට් අනු කමිටුව සමඟ අද (30) පැවැති සාකච්ඡා අසාර්ථක බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

ඒ අනුව ඉදිරියටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි.

වැටුප් ගැටලුවක් මත ක්ෂේත්‍ර හයක දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව අද පස්වන දිනටත් ක්‍රියාත්මක කෙරුණි.

වැටුප් විෂමතා මුල්කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරු, ස්ථානාධිපතිවරුන් ඇතුළු ක්ෂේත්‍ර හයක දුම්රිය සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ පසුගිය 25 වනදායි.

මේ හේතුවෙන් දුම්රිය සේවා තවමත් අඩාළව පවතියි.

අදත් පිට පළාත්වල සිට කොළඹ කොටුවට ධාවනය කෙරුණේ උදෑසන කාර්යාලීය දුම්රිය කිහිපයක් පමණයි.

වවුනියාව සිට බෙලිඅත්ත දක්වා දිනපතා ධාවනය වන දුම්රිය වවුනියාව දුම්රිය ස්ථානයේ නවතා ඇත්තේ දින හයක සිටයි.

මේ අතර රට පුරා සිදු කෙරෙන වර්ජනවලට විසඳුම් ලබාදීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පත්කෙරුණු කැබිනට් අනු කමිටුව අද පස්වරුවේ පළමු වරට මුදල් අමාත්‍යාංශයේදී රැස් විය.

ඒ හමුවේ ප්‍රථමයෙන්ම පෙනී සිටියේ පසුගියදා අසනීප නිවාඩු වාර්තා කළ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයින්.

එම සාකච්ඡාවෙන් පසු වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති කැබිනට් අනු කමිටුව හමුවේ පෙනී සිටි අතර සාකච්ඡාවෙන් පසු ඔවුන් මාධ්‍ය වෙත කියා සිටියේ සාකච්ඡා අසාර්ථක වූ බවයි.

***************************************

සිංහල බෞද්ධයන් කිසිදා හින්දු සම්ප්‍රදායන්ට හෝ පූජාවන්ට විරුද්ධ වී නැහැ

(01.10.2019 – mawbima.lk)

සිංහල බෞද්ධයන් කිසිදිනෙක හින්දු කෝවිලක සම්ප්‍රදායන්ට හෝ පූජාවන්ට විරුද්ධ වී නැති බවත් දෙමළ ඩයස්පෝරාවේ මුදල් ලබා ගනිමින් අපවත් වූ ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහනයට පහර දීමට පිරිස මෙහෙයවූ අන්තවාදීන් හඳුනා ගැනීමට හැකිවී ඇති බවත් සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති නාරා ටී.අරුන්කාන්ත් මහතා පවසයි.

ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට තහනම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළේත් අවමඟුලට පහර දීමට පිරිස් මෙහෙය වූයේත් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා නායකත්වය දෙන දෙමළ ජාතික මහජන පෙරමුණේ ආධාරකරුවන් බව අරුන්කාන්ත් මහතා කියා සිටී. හෙතෙම මෙසේ පැවැසුවේ සමස්ත ලංකා හින්දු සම්මේලනය විසින් කොළඹ ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථානයේ ඊයේ (30 දා) පැවැත්වූ මධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද සඳහන් කළේය.

ගුරුකන්ද ලොකු හාමුදුරුවන්ගේ ආදාහනයට එරෙහිව තිබුණු විරෝධතාවය සංවිධානය කරන්න ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ පක්‍ෂයේ ආධාරකරුවන් විස්සකට වැඩිය ඊට පෙර දින යාපනයේ සිට මුලතිව්වලට ආවා. ඒ අතරේ යාපනය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි මනිවන්නන් ද සිටියා. මේ අය විරෝධතාව සංවිධානය කරන්න දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ගත්තා. එහෙම ලබා ගත්ත රුපියල් මිලියන ගණනකින් ඉතා සුළු කොටසක් මුලතිව් අහිංසක දෙමළ වැසියන් අතරේ බෙදලා ඒ මිනිස්සු උද්ඝෝෂණයට අරගෙන ආවේ රවට්ටලයි. රුපියල් පන්සීයයි, බත් පාර්සලයයි ගත්තු ඒ මිනිස්සු පැය ගාණක් වැස්සේ තෙමුණා.

පොන්නම්බලම්ගේ පක්‍ෂයේ අයට ඕන රටේ ආයෙත් ජාතිවාදී යුද්ධයක් ඇති කරන්නයි. රට තුළ ගැටුම් ඇති වුණාම විදේශීය රටවල ඉන්න දෙමළ අන්තවාදීන්ට තවදුරටත් එහි රැඳී ඉන්නත් අරමුදල් එකතු කරන්න පුළුවන්. හාමුදුරුවන්ගේ ආදාහනය දවසේදී අන්තවාදීන් වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිය සුභාෂ් කියන නීතිඥයා තමයි අපේ හමුදාව යුද අපරාධ කළා කියලා ජිනීවාවලට ගිහින් බොරු කීවේ. සුභාෂ් තමයි එදා මහෙස්ත්‍රාත් අධිකරණයේදී ‘ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උතුරට වලංගු නැහැ’ කීවේ.

ඒත් එක්කම මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව්වල කතෝලික පියතුමන්ලා තිදෙනෙකුත් මේ කලහකාරි පිරිස සමඟ ගුරුකන්ද හාමුදුරුවන්ගේ ආදාහනයට විරෝධය දක්වන්න ආවා. අපේ කාදිනල්තුමා ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා කියන කොට ඇතැම් පියතුමන්ලා ජාතිවාදි බෙදුම්වාදීන් සමඟ එකට වැඩ කිරීමත් රට තුළ ගැටුම් ඇති කිරීමට කටයුතු කිරීමත් ඇත්තෙන්ම කනගාටුයි.

කෝවිලක් තිබෙන ඉඩමක ආදාහනයක් කළාම කිල්ලට හසුවෙනවා කියන කතාව බොරු. අපේ අය කෝවිල ඉස්සරහ ආදාහනය කරලා අළු ගඟේ පා කරලා යවනවා. අපට හොඳ නම් හාමුදුරුවන්ට හොඳ නැති වෙන්න බැහැ.

දැන් මේ අය ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් අත්අඩංගුවට ගන්න කියනවා. උන්වහන්සේ කරපු වරදක් නැහැ. කලකට ඉහත කොළඹ බාබර් වීදියේ කෝවිලක වේල් උත්සවය තියෙනවාටත් වේල් කරත්තය ඇදගෙන යනවටත් මුස්ලිම්වරු විරුද්ධ වුණා. ඒ වෙලාවේ ඥානසාර හාමුදුරුවෝ තමයි ඉස්සරහට ඇවිත් වේල් උත්සවය තියන්න මුල් වුණේ. නැඟෙනහිර පළාතේ කෝවිල් 13 ක් කඩලා. ඔය කියන කිසිම දෙමළ නායකයෙක් ඒ ගැන කතා කළේ නැහැ. ඥානසාර හාමුදුරුවෝ විතරයි ඒ ගැන කතා කළේ. අපි ඒවා අමතක කරන්න හොඳ නැහැ. මමවත් සමස්ත ලංකා හින්දු සම්මේලනයවත් ඥානසාර හාමුදුරුවෝ හෝ බොදුබල සේනා සංවිධානය සමඟ කිසිම විශේෂ බැඳීමක් නැහැ. අපි ස්වාධීනයි. ඒත් අපි ඇත්ත කතා කළ යුතුයි. අපි හැමෝම රට ගැන සිතිය යුතුයි.

– සපුමල් ජයසේන

+++++++++++++++++++++++++++++++++++

මුලතිව් ගුරුකන්ද හිමිගේ අපවත්වීමෙන් පස්සේ නඩුවලට වෙච්ච දේ

(01.10.2019 – mawbima.lk)

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන් වහන්සේ අපවත් වීමත් සමගම උන්වහන්සේගේ නමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ හා වවුනියාව මහාධිකරණයේ ගොණු කොට ඇති සියලුම නඩු අවසන් වෙයි.

මේ තත්ත්වය නිසා ගුරුකන්ද විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් නීතිමය වශයෙන් විශාල ගැටළුවක් පැන නැගී ඇති අතර එම විහාරස්ථානයේ අයිතිය වෙණුවෙන් යළි අළුතින් නඩු ගොණු කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී තිබේ.

කොළඹ මේධාලංකාරකිත්ති හිමියෝ මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය වෙණුවෙන් අධිකරණ දෙකෙහිම ගොණු කොට තිබූ නඩු සියල්ලම ගොණු කොට තිබුණේ විහාර පරම්පරාවේ නම් වලින් නොව පෞද්ගලික නමින් පෞද්ගලික නඩු වශයෙනි.

මේ තත්ත්වය නිස මේ විහාරස්ථානයේ අයිතිය තහවුරු කිරීම සදහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේද සහය ඇතිව කිසියම් පාර්ශ්වයකට යළිත් අළුතින් නඩු ගොණු කිරීමට සිදුව තිබේ.

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ

+++++++++++++++++++++++++++++++++++

29-09-2019

***************************************

‘ජම්පර් හේෂා’ අත්අඩංගුවට ගන්න නියෝග

(01.10.2019 – mawbima.lk)

හේෂා විතානගේ අත්අඩංගුවට ගන්න නියෝග

මුදල් වංචාවකට අදාළව පවතින නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම නිසා එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මඟින් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගමගේ මහත්මිය ඊයේ (30 දා) නියෝග කළාය.

කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ජේ.ඒ. අනුර මහේන්ද්‍ර නමැති අය විසින් හේෂා විතානගේ මහතාට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලක තිබූ මහේන්ද්‍රට අයත් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් මන්ත්‍රිවරයා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම පිළිබඳව ඇඹිලිපිටිය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

අදාළ නඩුව සඳහා මන්ත්‍රිවරයා පසුගිය නඩු වාරයේදී මෙන්ම නඩුව කැඳවූ ඊයේ (30 දා) දිනයේද අධිකරණය හමුවට පැමිණ සිටියේ නැත. මන්ත්‍රිවරයා වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක්ම පෙනී සිටි අතර පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ශිරාස් යුසුෆ් මහතා සහ නීතිඥ රසාංගා රන්මදු මහත්මිය පෙනී සිටියහ.

මෙහිදී විත්තිකාර මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ විත්තිකරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු බවත් අද දිනයේ ඔහු වෙනුවෙන් ඔහුගේ මව හා පියා අධිකරණයට පැමිණ ඇති බවත්ය.

කෙසේ වෙතත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාස් යුසුෆ් මහතා කරුණු දක්වමින් අධිකරණයට කියා සිටියේ විත්තිකරු කිසිදු හේතුවක් නොදක්වා වාර දෙකකදීම අධිකරණය හමුවේ පෙනී නොසිටි බවත් නීතිය හදන ආයතනයේ සිටින කෙනකු හැටියටත් මන්ත්‍රිවරයකු ලෙසින් නීතියට ගරු කළ යුතු බවත්ය.

එමෙන්ම මේ අය නීතියට අවනත නොවී වෙනත් අයට ප්‍රසිද්ධ වේදිකාවේ ජම්පර් අන්දන්න කතා කිරීමත් පුදුම සහගත බවයි පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවැසීය. මේ නිසා විත්තිකරුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අදාළ නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ලේ නීතිඥ ශිරාස් යුසුෆ් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගමගේ මහත්මිය සැකකාර මන්ත්‍රිවරයා සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කෙරිණි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

‘ජම්පර් හේෂා’ට ඇප

(01.10.2019 – 13:17 +0530 – sinhala.adaderana.lk)

මන්ත්‍රී හේෂාට ඇප

සාවද්‍ය ලෙස දේපළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාව ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

සාවද්‍ය ලෙස දේපළ පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) නියෝග කර කළේය.

පසුව හේෂා විතානගේ මන්ත්‍රීවරයා අද (01) උසාවියට ඉදිරිපත් වි ඇති අතර එහිදි රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මන්ත්‍රීවරයා මුදා හැර ඇත.

ඒ, මීට අදාළ නඩුව මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගමගේ මහතා හමුවේ ඊයේ (30) කැඳවූ අවස්ථාවේදියි.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ජේ.ඒ. අනුර මහේන්ද්‍ර මහතා විසින් ඔහුට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවතින දේපළක් මන්ත්‍රීවරයා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට නඩු පවරා තිබුණි ෴

***************************************

මාතර පල්ලිමුල්ලේදී එක්දරු පියකුව කිඹුලකු ඩැහැගෙන නිල්වලා ගඟට ඇදගෙන යයි

(01.10.2019 – mawbima.lk)

මාතර, කොටුවේගොඩ, පල්ලිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු පෙරේදා රාත්‍රියේ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇති අතර මේ වනතෙක් සිරුර හමු වී නැත.

මෙසේ කිඹුලකු ඩැහැගෙන ඇත්තේ පල්ලිමුල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි එක්දරු පියෙකි. රාත්‍රි 7 ට පමණ මෙම පුද්ගලයා නිවෙස පිටුපසට නෑම සඳහා ගිය අවස්ථාවේදී ගොඩබිමේ රැඳී සිටි මෙම කිඹුලා මොහුව ඩැහැගෙන නිල්වලා ගඟට ඇදගෙන ගොස් ඇති බව පවුලේ අය පවසති.

කිඹුලා ගඟට ඇදගෙන යන ආකාරය පවුලේ අය දැක විලාප දී ඇත. පසුව කිඹුලා සමඟ මේ පුද්ගලයා ගඟේ ගිලී ඇති අතර ඊට විනාඩි දහයකින් පමණ නැවතත් කිඹුලා එම පුද්ගලයා සමඟ උඩට මතු වී තිබේ.

එම අවස්ථාවේදී එම පුද්ගලයාගේ සරම ගොඩ ගසා ගෙනැවිත් ඇති අතර එම පුද්ගලයාගේ සෙරෙප්පු දෙක ගං ඉවුරේ තිබී සොයාගෙන ඇත.

මෙම පුද්ගලයාගේ භාර්යාව සහ පුතා විදේශගතව සිටිති. ඊයේ දින ප්‍රදේශවාසීන් එක්ව නිල්වලා ගඟේ මළසිරුර සොයා බැලුවද මේ වනතෙක් සිරුර සොයාගෙන නැත.

පසුව ඊයේ (30 දා) එම නිවෙසට මහ සංඝරත්නය වැඩම කොට පාංශුකූල දීම සිදු කළේය. එහෙත් ප්‍රදේශවාසීන් තවදුරටත් මළසිරුර සොයා ගඟ දිගේ බෝට්ටු මඟින් සෝදිසි කිරීම් කරන අතර පිරිස විශාල කිඹුලකු ගඟේ සිටිනු දැක ඇත.

සිද්ධිය සම්බන්ධව මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

ගංවතුරෙන් පස්සේ මාතර තැන් රැසක් කිඹුල්ලුන්ගේ ආක්‍රමණයට ලක්වෙලා

(01.10.2019 – mawbima.lk)

පසුගියදා ඇති වූ ගංවතුර ආපදාවෙන් පසු මාතර දිස්ත්‍රික්කයේ බොහෝ කිඹුලන් ගැවසීම නිසා ගම්වැසියන් කිඹුල් තර්ජනයට ලක්ව ඇතැයි ඔවුන් මැසිවිලි නගති. විශේෂයෙන්ම නිල්වලා ගඟ පිටාර ගලා ඇති පානදුගම ප්‍රදේශය අකුරැස්ස බලුකාවල ප්‍රදේශය සහ මාලිම්බඩ කද්දූව යන ප්‍රදේශවල මෙම කිඹුල් තර්ජන තර්ජනය උග්‍ර වී පවතී . ගං වතුර සමග ගොඩබිමට පැමිණි කිඹුලන් මේ වන විට කැලෑ රොද පිහිටි ස්ථානවල සැඟවී සිටින බව ප්‍රදේශවාසීන් දැක තිබේ.

මෙලෙස ගම්වැදී සිටින කිඹුලන්ට නැවත නිල්වලා ගඟට යාමට නොහැකිව එම ප්‍රදේශ වල සැරිසරන බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වන විට තම ප්‍රදේශවල සිටි බලු පැටව් සහ බළල් පැටවු අතුරුදහන් වී ඇති බවයි. රාත්‍රී කාලයේ ගෙවතු වලට පැමිණෙන කිඹුලන් නිවසේ ඇතිකරන බලු පැටව් සහ බළල් පැටවු ඩැහැ ගෙන යන බව ඔවුන් කියයි. එම නිසා රාත්‍රී කාලයේ ගමන් කිරීම කිසියම් අවදානම් තත්ත්වයක් ඇති බවද නිල්වලා ගඟ ආශ්‍රිතව නානකොට වලට බැස දිය නෑම ද ඉතා අවදානම් බව එම ප්‍රදේශවාසීන් කියයි.

මේ පිළිබඳ බලධාරීන් කිසියම් සෝදිසි කිරීමක් සිදු කර ගම් වැදී ඇති කිඹුලන් නැවත ජලාශ වලට දමන ලෙස එම ප්‍රදේශවාසීන් ඉල්ලා සීටි. මෙම කිඹුල් තර්ජනයට ලක්ව වූ මාතර නගරය මධ්‍යයේ කොටුවේගොඩ පල්ලිමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු මීට දින තුනකට පෙර ඩැහැගෙන යාම ගැන ඛේදවාචකයත් මාතර නගරයෙන් ඇසෙන්නට විය. එය ද රාත්‍රී 7 ට පමණ එම පුද්ගලයා නිවසේ සිට නිවස පිටුපස ඇති ගංඉවුර ප්‍රදේශයට යාමේදී මෙම කිඹුලා ඩැහැගෙන ගොස් තිබුණි . එහෙත්එ ඔහුගේ සිරුර මේ වනතෙක්ම හමු වී නැත.

එලෙස මිය ගියේ මාතර පල්ලිමුල්ලේ පදිංචිව සිටි සම්පත් රණවීර යන පනස් හය හැවිරිදි පුද්ගලයෙක් කිඹුලාට ගොදුරු වීමෙනි. මීට පෙර සිටම සෑම ගංවතුරකින්ම පසු මාතර නිල්වලා ගඟේ සිටින කිඹුලන් ගම්වැදීම නිසා බොහෝ කාලයක් යන තෙක් ජනතාව පීඩාවට පත්වේ. අකුරැස්ස සහ කද්දූව යන ප්‍රදේශ වල කිඹුලන්ගෙන් ආරක්ෂා සහිතව දිය නෑම සඳහා කොටු කර ඇති ස්ථානවල යකඩ දැල් ද මේ වන විට කැඩී ගොස් ඇත. ඒ අධික ගංවතුර හේතුවෙන් සහ ගස් කොළන් කඩා වැටීම හා කොටන් ආදිය ජලයේ ගසාගෙන මෙම ස්ථානවල රැඳීම හේතුවෙන් ඒවා බොහොමයක් විනාශ විය.

එම නිසා බලධාරීන් එම නාන කොටු ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ද ජනතාව ඉල්ලා සිටී. මාතර නගර මධ්‍යයේ ඇති කොටුවේගොඩ ගං ඉවුර අසල ඇති ව්‍යාපාරික ස්ථාන වල ගොඩනැගිලි ආසන්නයට විශාල කිඹුලෙකු නිතර නිතර පැමිණෙන බවට එම ව්‍යාපාරිකයෝ කියයි. එය බොහෝ අවදානම් තත්ත්වයක් බව ද මෙම කිඹුලා අඩි 15 පමණ දිග විශාලත්වයෙන් වැඩි කිඹුලෙකු මෙලෙස එන බව ඇසින් දුටුවෝ පවසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *