රටට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට විජයධරණී නමින් ජාතික සභාවක් පිහිටුවයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රටට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට විජයධරණී නමින් ජාතික සභාවක් පිහිටුවයි (විඩියෝ)

• අරුවක්කාරුවට කසල රැගෙන ඒමට එරෙහිව අදත් විරෝධතා (විඩියෝ)

• හබරණ අභිරහස් අලි මරණ ගැන අතුරු වාර්තාවක් (විඩියෝ)

• ණය අර්බුදය බරපතල තත්ත්වයකට පැමිණ ඇති බව විපක්ෂ නායක කියයි (විඩියෝ)

• ගෝඨා සහ පොහොට්ටුව දැන් ගහට පොත්ත වගේ – එස්.එම්. චන්ද්‍රසේන (විඩියෝ)

• ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 17 ක් ඇප වෙයි (විඩියෝ)

• සුහද ගම්ලත් ඉල්ලා අස් නොවුනොත් ජනාධිපති ලේකම් අවශ්‍ය පියවර ගනී – තලතා අතුකෝරළ (විඩියෝ)

• ධුරයෙන් අස්වන්නේ නෑ.. බලපෑම් කලොත් තවත් කරුණු හෙලි කරනවා.. – යහපාලකයන් ප‍්‍රාණ ඇපයට ගනිමින් සුහද ගම්ලත් කියයි..

• බිරිඳ – දරුවන් ගින්නෙන් බේරාගත් රාමනාදන්ට ජනපතිගෙන් ලක්ෂ 10 ක්

• බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ විමර්ශන භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති කළ අනාවරණය (ඔඩියෝ)

• අටළුගම ෆතුමාට අඩත්තේට්ටම් කල තවත් මුස්ලිම් ජාතිකයන් 10 ක් අත්අඩංගුවට

• ඡන්දයට පෙරම ප‍්‍රතිඵල එයි… ගෝටා උදාරතර රණකාමියෙක් කියමින් TNL නාලිකාව සජිත් පිලට පස් පඩංගුවේ බැණ වදී… (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

රටට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට විජයධරණී නමින් ජාතික සභාවක් පිහිටුවයි

(01.10.2019 – 19:58 +0530 – hirunews.lk/sinhala)

රට තුළ වර්තමානයේ පවතින අනාරක්ෂිත සහ අස්ථාවර තත්ත්වය හේතුවෙන් රටට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා භික්ෂු සංවිධාන එකමුතුවෙන් විජයධරණී නමින් අද ජාතික සභාවක් පිහිටුවා ගැණුනා.

ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

රටට ජාතික ප්‍රතිපත්තියක් සෑදීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ගැනුණු විජයධරණී ජාතික සභාව පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹදී පැවැත්වුණේ භික්ෂු සංවිධාන ගණනාවක භික්ෂූන්වහන්සේලාගේ සහභාගීත්වයෙන්.

***************************************

අරුවක්කාරුවට කසල රැගෙන ඒමට එරෙහිව අදත් විරෝධතා

(01.10.2019 – 19:51 +0530 – hirunews.lk/sinhala)

අරුවක්කාරු කසල අංගනයට කසල රැගෙන ඒමට එරෙහිව අදත් වනාතවිල්ලුව සහ සේරක්කුලිය ප්‍රදේශවල ජනතාව කසළ රැගෙන එන මාර්ගය අවහිර කරමින් පැය 10 කට ආසන්න කාලයක් විරෝධතාවක නිරතවුණා.

ඒ, කසළ අංගනයේ අධික දුර්ගන්ධය සහ තවත් පරිසර ගැටලු රැසක් අවට ගම්මානවලට පැතිර යන බව පවසමින්. විරෝධතාව අද අලුයම එකට පමණ ආරම්භ වූ අතර, ඒ හේතුවෙන් කසළ රැගෙන ආ කිසිදු ටිපර් රථයකට අංගනයට ඇතුලුවීමට ඉඩ ලැබුණේ නැහැ.

පසුව, පෙරවරු 10 ට පමණ පොලීසිය මැදිහත් වී පුත්තලම අධිකරණයට මේ පිළිබඳව කරුණු වාර්තා කරන බව සඳහන් කිරීමෙන් අනතුරුවයි පිරිස විසිර ගියේ.

දින කිහිපයක් පුරා මෙම සිද්ධියට අදාළව ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවූ අතර, ඊයේ කුඩා දරුවන්ද ඊට එක්ව සිටියා. ඔවුන් ප්‍රදර්ශනය කළ ඇතැම් පුවරුවල සටහන් වී තිබුණේ ලෝක ළමා දිනයේ පාඨලී චම්පික ඇමතිවරයාගෙන් ළමයින්ට ලැබෙන තෑග්ග මෙයද යනුවෙන්.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයා මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් කාර්යාලයට සහ පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයාට නියෝග කර ඇත්තේ මේ පිළිබඳ වාර්තාවක් ලබන 8 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

***************************************

හබරණ අභිරහස් අලි මරණ ගැන අතුරු වාර්තාවක්

(01.10.2019 – 19:31 +0530 – hirunews.lk/sinhala)

හබරණ – හිරිවඩුන්න – තුම්බිකුලම රක්ෂිතයේ දී ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු අස්වභාවික ලෙස මියායාම සිද්ධිය විෂ රසායනිකයක් ශරීර ගත වීමෙන් සිදුවන්නට ඇති බවට සැක කෙරෙන බව වනජිවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ඊට වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග ද එක්ව සිටියා.

***************************************

ණය අර්බුදය බරපතල තත්ත්වයකට පැමිණ ඇති බව විපක්ෂ නායක කියයි

(01.10.2019 – 17:23 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව විසින් මේ වනවිට මෙරට බරපතළ ණය අර්බුදයක් නිර්මාණය කර ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

“යහපාලන ආණ්ඩුව ඇතිකළ ණය අර්බුදයේ වත්මන් තත්වය” මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් විපක්ෂනායකවරයා මේ බව පෙන්වා දී තිබෙනවා.

අදාළ නිවේදනය මගින් විපක්ෂනායකවරයා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ වත්මන් ආණ්ඩුව ලබාගත් වානිජ ණය එදිනෙදා වියදම් පියවා ගැනීමට ලබාගැනීමට යොදවා ඇති බවයි.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින් :

යහපාලන ආණ්ඩුව මේ රටේ ඇතිකළ ණය අර්බුදය මේ වන විට අතිශයින්ම බරපතල තත්වයකට පැමිණ තිබේ. වර්තමාන ආණ්ඩුව 2015 ජනවාරියේදී බලයට පැමිණෙන අවස්ථාවේදී රුපියල් ට්‍රිලියන 7.39 ක් වූ ලංකාවේ මුලු ණය බර, 2019 ජුලි මස අවසානය වන විට රුපියල් ට්‍රිලියන 12.64 ක් දක්වා 71% කින් ඉහල ගොස් තිබුණි. මේ ණය ගැනිල්ල වඩාත්ම අවදානම් සහගත වන්නේ විදේශ විනිමය ණය වැඩි වශයෙන් ගැනීම නිසයි.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩීස් සමාගමද මීට නොබෝ දිනකට පෙර ලංකාවේ මේ විදෙස් ණය ගැනීම ගැන විශේෂ අනතුරු හැඟවීමක් කර තිබුණි. 2015 ජනවාරි මස සිට අද දක්වා මේ ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩිකේටඩ් ලෝන් යනාදී නොයෙක් මුලාශ්‍ර වලින් ඇමරිකානු ඩොලර් බිලියන 26 ක් ඉක්මවූ මුදලක් විදෙස් විනිමය ණය වශයෙන් පමණක් ලබා ගෙන ඇත. විදෙස් විනිමය ණය ගත්විට ඒ ණය සියල්ලම විදේශ විනිමයෙන්ම ආපසු ගෙවීමට සිදු වේ. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම වැඩිවන විට විනිමය අනුපොතයේ ඇතිවෙන වෙනස්කම් නිසාද රටේ ණය බර නිරායාසයෙන්ම වැඩි වෙයි. මහා පරිමාණයෙන් විදෙස් විනිමය වානිජ ණය ගැනීම මර උගුලක් වන්නේ මේ නිසාය. 2014 අවසානයේදී රුපියල් 131 ක් වූ ඇමරිකානු ඩොලරය යහපාලන ආණ්ඩුව යටතේ සිදුවූ ආර්ථික පරිහානිය හේතුවෙන්, අද වන විට රුපියල් 183 දක්වා ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට වැඩිවී ඇත.

2015 සිට රුපියලේ වටිනාකම බිඳවැටීම හේතුවෙන්ම පමණක් 2018 අවසානය වන විට ලංකාවේ මුලු ණය බර රුපියල් බිලියන 1,709 කින් වැඩි වී තිබුණි. වත්මන් ආණ්ඩුවේ ණය ගැනීමේ සුවිශේෂම ලක්‍ෂණය වන්නේ ඒ කිසිවක් රට දියුණු කිරීමට ලබාගත් ව්‍යාපෘති ණය නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා ලබාගත් වානිජ ණය වීමයි. මගේ ආණ්ඩුවෙන් ලබාගත් ණය ගැන යහපාලකයන් කතා කරන විට ඔවුන් හැමවිටම සඳහන් කරන්නේ නොයෙක් ව්‍යාපෘති සඳහා ගත් ණය ගැන පමණි.

මගේ ආණ්ඩුව කාලයේ ව්‍යාපෘතියකට සම්බන්ධ නැති ණයක් ගැන පසුගිය අවුරුදු පහ මුලුල්ලේම යහපාලන ආණ්ඩුවේ අය කිසිඳු සඳහනක් කර නැති බව ජනතාවගේ විශේෂ අවධානයට ලක් විය යුතුය. මගේ ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුකර, සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩිකේටඩ් ලෝන් වැනි මූලාශ්‍ර වලින් වානිජ ණය ලබාගැනීම ඉතාමත්ම අවම මට්ටමකින් පවත්වාගෙන ගියේය. අපේ පාලන සමයේ ව්‍යාපෘති සඳහා විදෙස් ණය ගනු ලැබුවේ 2% වැනි සහනදායි පොලියට දිගු කාලීන ණය වශයෙන්ය. එසේ ලබාගෙන තිබෙන්නේද, යහපාලන ණය ගැනිල්ලට සාපේක්ෂව ඉතාමත්ම සුලු මුදලකි.

නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට වැය වූයේ ඇ.ඩො. බිලියන 1.35 කි. හම්බන්තොට වරාය අද තිබෙන තත්වයට ගෙන ඒමට ගත් මුලු ණය ඩොලර් බිලියන 1.26 කි. මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 740කි. මත්තල ගුවන්තොටුපලට ඩොලර් මිලියන 209කි. කටුණායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 292 කි. නෙළුම් කුලුණ ඉදිකිරීමට ගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 67කි. මේ සියලුම ව්‍යාපෘති වලට වැය වූ මුදල් එකට එකතු කළත්, යහපාලන ආණ්ඩුව මේ වසරේදී පමණක් සවරින් බොන්ඩ් දෙකක් හරහා ලබාගත් ඩොලර් බිලියන 4.4ට කිට්ටුවටවත් එන්නේ නැත. යහපාලන ආණ්ඩුව විසින් අවරුදු පහකට අඩු කාලයක් තුළ ඇතිකළ මේ ණය අර්බුදයේ තරම එයයි. මම පසුගිය වකවානුව පුරාම මේ ප්‍රශ්නය ගැන විටින් විට ජනතාව දැණුවත් කිරීමට පියවර ගත්තේ මෙහි ඇති බරපතලකම නිසාමය.

මගේ ආණ්ඩුව ණය අරගෙන කළේ ආයෝජනයයි. අද වන විට නොරොච්චෝලේ බලාගාරය අධික ලාභ ලබන ව්‍යාපෘතියකි. අධිවේගී මාර්ගද ලාභ ලබන බව විගනකාධිපතිවරයා ගිය අවුරුද්දේ පැවසීය. පුද්ගලික සමාගමකට අවුරුදු 99 කට බදු දී ඇති හම්බන්තොට වරායේ තට්ටු නවයේ පරිපාලන ගොඩනැගිල්ලෙන් 95% ක් දැනටමත් වරාය ආශ්‍රිත වානිජ මෙහෙයුම් කරන නොයෙක් සමාගම් වලට බදු දී හමාර බව පසුගිය ඉරිදා මාධ්‍යයේ පලවිය. එයින් පෙනෙන්නේ හම්බන්තොට වරායත් තව නොබෝ කාලෙකින් ලාභ ලබන තත්වයට පත්වෙන බවයි. මෑතකදී විවෘත කළ නෙළුම් කුලුනෙන්ද ආණ්ඩුවට විශාල ආදායම් ලබාගත හැක. නමුත් පසුගිය අවුරුදු හතරහමාර තුළ යහපාලන ආණ්ඩුවෙන් ලබාගත් ඩොලර් බිලියන 26ක විදෙස් ණයෙන්, කිසිඳු කල්පවතින, ආදායම් උපයන ආයෝජනයක් කර නැත.

මගේ පාලන සමයේදී මහා පරිමානයෙන් පරිභෝජන ණය ගැනීමට සිදු නොවුණේත්, වර්තමාන ආන්ඩුවට එසේ කිරීමට සිදුවී තිබෙන්නේත් අන් කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩුව මැතිවරණ ජයගැනීමට හා බලය රැකගැනීමට රජයේ මුදල් විසිකිරීම නිසාය. තමන්ගෙ බලය රැකගැනීමට යහපාලන ආණ්ඩුව කරන වියදම් සියල්ල අවසානයේදී ගෙවීමට සිදුවන්නේ මහජනතාවටමය. මීට කළින් පැවති ආණ්ඩු යටතේත්, මේ රටේ නොයෙක් ආර්ථික අර්බුද ඇති වී තිබුණත්, ආණ්ඩුවේ මූල්‍ය පාලනය අවුල් කිරීම තුළින් අපේ රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වූ පළමු අවස්ථාව මෙයයි. ආණ්ඩුවේ මුදල් පාලනය කෙරෙහි මේ තරම් වගකීම් විරහිත ආකල්පයක් දැක්වූ වෙනත් කිසිම ආණ්ඩුවක් නිදහසින් පසු ගත වූ අවුරුදු 71 දී අපි දැක නැත.

***************************************

ගෝඨා සහ පොහොට්ටුව දැන් ගහට පොත්ත වගේ – එස්.එම්. චන්ද්‍රසේන

(02.10.2019 – 09:50 +0530 – sinhala.adaderana.lk)

අධිකරණය අනවශ්‍ය ලෙස යොදාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වළක්වාලීමට උත්සාහ දැරීම නිවට ක්‍රියාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

අනුරාධපුර පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය නැති කරන්නට සුදානම් වෙනවා නම් එය කොන්ද පන නැති නිවට ක්‍රියාවක් බවද මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද කැඩිමට හැකියාවක් නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එහිදි අදස් දැක්වු ඒ මහතා පැවසුවේ ජනාධිපතිවරණයේදි පොහොට්ටුවේ ලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ කාලයේ යෝජනා කලේ නම් යම් වෙනසක් සිදු කිරීමට හැකියාවක් තිබු බවයි.

නමුත් වර්ථමානයේ එය සිදු කිරිමට කිසිදු හැකියාවක් නොමැති බවත් ගෝඨාභය සහ පොහොට්ටුව යනු ගසට පොත්ත ලෙස බැදී අවසන් බවත් මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට අවශ්‍ය නම් කල යුත්තේ ලකුණ සම්බන්ධයෙන් ඇති ගැටළු අමතක කර දමා ප්‍රතිපත්තිමය ගැටළු ගැන සාකච්ඡා කරමින් රටේ ආනාගතය ගැන තීරණය කිරීම බවද මන්ත්‍රීවරයා පවසයි.

***************************************

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 17 ක් ඇප වෙයි

(02.10.2019 – 06:47 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදිම සඳහා මේ වන විට අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ඉන් අපේක්ෂයින් 09 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ මඟින් ඇප තැන්පත් කර ඇති බවයි.

මෙයින් අපේක්ෂකයින් 8 දෙනෙකු ස්වාධීන හෝ පිළිගත් දේශාපාලන පක්ෂ නොවන පක්ෂවලින් බවද ඒ මහතා පැවසීය.

තවදුරටත් ඇප තැන්පත් කිරීමට වේලාව ඉතිරිව ඇති බවත් පැවසු දේශප්‍රිය මහතා, මෙම සතියේ ඉදිරි දින 3 හා ඔක්තෝබර් 6 වන දින පෙරවරු 8.30 සිට මධ්‍යහ්න 12 දක්වා ද ඒ සඳහා හැකියාව ඇතැයි කියා සිටියේය.

නාමයෝජනා බාර දිය හැක්කේ ඔක්තෝබර් 7 වන සඳුදා පෙරවරු 9 සිට 11 දක්වා පමණක් බවත් පැවසු ඒ මහතා, ඒ සඳහා විරෝධතා දැක්වීමට පෙරවරු 9 සිට 11.30 දක්වා හැකියාව ලැබෙන බවත් පැවසීය.

ජනාධිපතිවරණයට තැපෑලෙන් ඡන්දය දීමට සිටින අයගේ අයඳුම්පත් බාර ගැනීම සැප්තැම්බර් 30 වන දා අවසන් වීමට තිබුණත්, පසුගිය සතියේ ඇති වු අයහපත් කාලගුණය හා වැඩවර්ජන හේතුවෙන් බලාපොරොත්තු තරම් ඉල්ලුම්පත් ඉදිරිපත් නොවීම හේතුවෙන් එම දිනය ඔක්තෝබර් මස 4 වන දා මධ්‍යම රාත්‍රී 12 දක්වා දිගු කර තිබේ.

***************************************

සුහද ගම්ලත් ඉල්ලා අස් නොවුනොත් ජනාධිපති ලේකම් අවශ්‍ය පියවර ගනී – තලතා අතුකෝරළ

(01.10.2019 – 22:48 +0530 – sinhala.adaderana.lk)

අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති තනතුරින් ඉල්ලා අස් වෙන බව සුහද ගම්ලත් මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වලා තිබේන බවත් එසේ ඉල්ලා අස් නොවුණහොත් අවශ්‍ය පියවර ගන්නා බවට අධිකරණ හාබන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එහිද ප්‍රකාශ කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ දහ අට දහස් පන් සීයකට (18,500) වැඩිය තිබුණේ ළමා අපචාර සම්බන්ධයෙන් නඩු බවත් දැන් මේ වන කොට ඒකත් හත් දාහකට (7,000) විතර අඩුකර ගෙන තිබෙන බවද අමාත්‍යවරිය පවසයි.

නීතිය පාසල් විෂය ධාරාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් තීන්දු කලාට එය සිදු වන්නේ කෙරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් , ඒ සම්බන්ධයෙන් වෙනමකමිටු පත් කරලා විද්වත් අයගේ අදහස් අවශ්‍ය උපදෙස් අර ගෙන ඒ ඇති බව ඇය ප්‍රකාශ කළේය.

අධිකරණ හාබන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නතලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ අද (01) ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

+++++++++++++++++++++

ධුරයෙන් අස්වන්නේ නෑ.. බලපෑම් කලොත් තවත් කරුණු හෙලි කරනවා.. – යහපාලකයන් ප‍්‍රාණ ඇපයට ගනිමින් සුහද ගම්ලත් කියයි..

(02.10.2019 – 10:40 +0530 – lankacnews.com)

තමන් මේ වන විට දරණ ධූරයෙන් ඉවත් වීමට කිසිදු උවමනාවක් නැති බව හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා සඳහන් කර ඇත.

තමන් මෑතදී කරන හෙලි කරන ලද කරුණු හේතුනෙක් ධුරයෙන් ඉල්ලා අස් වෙන්න යයි බලපෑම කළහොත් තවදුරටත් සියලු තොරතුරු හෙළි කරන බවද ඒ මහතා සඳහන් කර ඇත.

තම සමීපතම හිතවතකු සමග අදහස් පල කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

තමන් රාජකාරී දිවිය පුරාම නිවැරදිව හා අවංකව කටයුතු කල බවත් එසේ නොවූයේ නම් තමන්ට තවත් ඉහල තනතුරු වරප‍්‍රසාද ලබා ගැනීමට අවස්ථාව බොහෝ තිබූ බවත් ඒ මහතා සදහන් කර ඇත.

දැනට ඒ මහතා දරමින් සිටිනේ ‘වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ’ සභාපති ධුරයයි. එය ජනාධිපතිවරයා විසින් පත් කරන ලද තනතුරකි.

අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල කියා සිටියේ සුහද ගම්ලත් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් නොවුනහොත් ඉවත් කිරීමට කටයුතු කරන බවයි ෴

සුහද ගම්ලත් මහතා

***************************************

බිරිඳ – දරුවන් ගින්නෙන් බේරාගත් රාමනාදන්ට ජනපතිගෙන් ලක්ෂ 10 ක්

(01.10.2019 – 18:42 +0530 – lankadeepa.lk)

මහනුවර යටිනුවර වීදියේ ගොඩනැගිල්ලක ඉකුත් ජනවාරි මාසයේ හටගත් ගින්නකින් තම දරු පවුල බේරාගත් රාමනාදන් රාමරාජ් මහතා පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ අයෙකි.

එම ගොඩනැගිල්ලෙහි පස්වන මහලේ පදිංචිව සිටි මෙම පියා තම දරුවන් තිදෙනා හා බිරිඳ ඉන් පහළට දමා බේරාගත්තේ තමන්ගේ ජීවිතය ද පරදුවට තබමිනි.

ඒ වෙනුවෙන් රාමරාජ් මහතා වෙත රුපියල් ලක්‍ෂ 10 ක මුදල් පරිත්‍යාගයක් ලබාදීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (01) සිදුවිය.

වෘත්තියෙන් ආභරණවල රන් ආලේප කරන්නකු වන නාමනාදන් මහතාගේ නිවස ගිනි ගැනීම හේතුවෙන් ඔහුට ජීවනෝපාය මාර්ගයද අහිමි වූ අතර ඊට අවශ්‍ය යන්ත‍්‍ර යළි මිලදී ගැනීමට සහ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම මුදල ලබාදුන්නේය.

රාමරාජ් මහතා ජනාධිපතිවරයා අතින් මුදල් පරිත්‍යාගය ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ. ඔහුගේ බිරිඳ හා දරුවන්ද මෙහි වෙති.

***************************************

බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ විමර්ශන භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති කළ අනාවරණය

(02.10.2019 – nethnews.lk)

මුස්ලිම් අන්තවාදීන්ගේ තර්ජනය සම්පූර්ණයෙන්ම අවසන් යැයි ප‍්‍රකාශ කළ නොහැකි බව හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පවසනවා. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර මාවනැල්ල ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමාවලට හානි කිරීමේ සිද්ධිය වාර්තාවන විට කෑගල්ල දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේද ඔහුයි.

එමෙන්ම, අදාළ සිද්ධියේ විමර්ශන භාරව සිටියේද හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතායි.

ඊයේ (01) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් පළ කළා.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.

***************************************

අටළුගම ෆතුමාට අඩත්තේට්ටම් කල තවත් මුස්ලිම් ජාතිකයන් 10 ක් අත්අඩංගුවට

(01.10.2019 – colombotoday.com)

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ දී මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකුට පහර දී හිරිහැර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගහරිමින් සිටි පුද්ගලයන් 10 දෙනෙකු පොලිසියට බාරවීමෙන් පසු අද (01) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

සිංහල ජාතිකයකු සමග විවාහවීම හේතුවෙන් ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් තම නිවසට කඩා වැදී කාන්තාවකට සහ ඇගේ මවට පහරදී නිවසේ දේපළවලට අලාභ හානි සිදුකළැයි ඉකුත් මාර්තු 24 වැනි දින බණ්ඩාරගම පොලිසියට කරන ලද පැමිණිලි කර තිබිණි.

ඊට අදාළ තවත් සැකකරුවන් හයදෙනෙකු පොලිසිය මගින් 2019-06-21 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත්කළ බව පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසිය පක්ෂග්‍රහිව කටයුතු කිරීම හේතුවෙන් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉකුත් අගෝස්තු 2 වැනි දින ඉවත් කළ අධිකරණය ඒ පිළිබඳව විමර්ශන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇත.

මේ අතර මෙම පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අබ්දුල් හමීඩ් මොහොමඩ් ඉමිතියාස් නමැත්තා මේ වනතුරුත් රිමාන්ඩ් බාරයේ පසුවන බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (2) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි ෴

***************************************

ඡන්දයට පෙරම ප‍්‍රතිඵල එයි… ගෝටා උදාරතර රණකාමියෙක් කියමින් TNL නාලිකාව සජිත් පිලට පස් පඩංගුවේ බැණ වදී…

(02.10.2019 – 11:20 +0530 – lankacnews.com)

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව විශ්වාස කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තරඟ වදින උපන් බිම රකින කඳවුරද, එසේ නොවන්නේ නම් තම සාක්කුව දෙස බලා උපන් බිමට හතුරු වූ රාජ්‍ය නොවන සංවිධාන මූලික කරගත් සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරදැයි තීරණය කළ යුතු බව ටී.එන්.එල්. රූපවාහිනිය සිය ප්‍රවෘත්ති විකාශය අතරතුර වැඩසටහනකදී විකාශය කළේය.

බලයට පත් කිසිදු රාජ්‍ය නායකයෙකුට අවසන් කිරීමට නොහැකි වූ තිස් වසරක සාප කාරී යුද්ධය මහින්ද රාජපක්ෂ රජය අවසන් කළ බව කෘතගුණ දත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අමතක නොකරන බවද එහි සඳහන් කළේය.

මෙරට යුද බිය දුරු කළ එකී පාලනයේ ආරක්ෂාව භාරව සිටි ප්‍රබල චරිතය අන් කිසිවකු නොව රණකාමී වීරවරයෙක් වන ගෝඨාභය රාජපක්ෂ බවද නාලිකාව කියා සිටියේය.

පුරවැසිකම ප්‍රශ්නයක් කරගෙන චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ උසාවි ගොස් ඇත්තේ එවන් උදාරතර රණකාමී ගෝටාභය රාජපක්‍ෂට විරුද්දව යයිද එහි තව දුරටත් කියැවිනි.

ටීඑන්එල් නාලිකාව අයත් වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාටයි.

https://www.facebook.com/GoldenCandidate.lk/videos/758726217894683/
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *