ජනාධිපතිවරණය අතහැර රනිල් විරෝධීන් එක් කරගෙන එජාප නායකත්වය මහ දවාලේ කොල්ලකන්න සජිත් සූදාමනක..

(01.10.2019 – 15:00 +0530 – lankacnews.com)

සජිත් පේ‍්‍රමදාස මහතා අපේක්ෂකත්වය ලබා ගත්තේ ජනාධිපතිවරණය දිනවීමට නොව ඒ මුවාවෙන් රනිල් විරෝධීන් එකතු කරගෙන එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය මහ දවාලේ කොල්ල කෑමට බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

චන්ද්‍රගුප්ත තේනුවර, ගාමිණි වියන්ගොඩ වැනි ඩොලර්වලට පමණක් කටවල් ඇරෙන ඊනියා සමාජ ක‍්‍රියාකාරීන් 2015 ජනවාරියේදී ‘යහපාලනය’ ගැන සිදු කළ දේශනා යළි අරඹා ඇති බවත් රට රැකිය හැකි නායකත්වයක් 2019 ජනාධිපතිවරණයේදී බලයට ගෙන ඒමේ සමාජ අභිලාෂයයට එරෙහිව යමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැටලවීමේ කොන්ත‍්‍රාත්තුවක් ඔවුන් අද ක‍්‍රියාත්මක කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ගෙවීගිය වසර හතරහමාර තුළ මේ ඊනියා සමාජ ක‍්‍රියාකාරීන්ගේ යහපාලන සටන්පාඨ පුස්සක් වූ බවත් එම කාලය තුළ නීතිය නමන පොලිස්පතිවරුන්, සොලිසිටර් ජනරාල්ලා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරු බිහි වූ බවත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවට අරලියගහ මන්දිරය, විපක්‍ෂයේ නායකයන්ට නඩු ගොනු කරන තැනක් වූ බවත් මොහොමඩ් මුසම්මිල් මහතා සිහිපත් කර සිටියේය. නමුත් මේ අනීතික, ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී නින්දිත ක‍්‍රියාදාමයට එරෙහිව මේ ඊනියා ‘පුරවැසි බලයේ’ ඩොලර් කාක්කන්ගේ කටවල් ඇරුණේ නැති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකන් පුරවැසිභාවය අහෝසි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර ඇත්තේ ඔහුට ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබෙන බව 100% ක් තහවුරු වූ පසුව බවත් මේ ඩොලර්වලට කට ඇරෙන බත්බැලයන් ඒ බව හොඳින්ම දැනදැනත් ව්‍යාජ කරුණු සමාජගත කර ඇති බව ද මොහොමඞ් මුසම්මිල් මහතා මෙහිදී අනාවරණය කළේය. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පුරවැසිභාවය ගැන ප‍්‍රශ්න කරන මේ මහත්වරුන් ශ‍්‍රී ලංකාවේ පුරවැසියකු නොවන අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කරන විට ද ඔහු මහ බැංකුව කොල්ලකා මෙරටට රුපියල් බිලියන 3000 ක අලාභයක් කළ විට ද පූස් පැටියන් මෙන් නිහඬව සිටි බව ද වැඩිදුරටත් සිහිපත්කර සිටියේය.

එසේම පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව, අලි පැටියකු නීතිවිරෝධීව රඳවා ගැනීම පිළිබඳ නඩු නිමිති සෑදූ මේ ‘සිවල් ක‍්‍රියාකාරීන්’ අද ඇතින්නියන් 07 දෙනකු ඝාතනය කිරීමේ සිදු වීමට නම් පැටලැවී ඇති ‘පුතාණෝ’ ගැන කටක් අරින්නේ නැති බවත් පෙන්වා දුන් මොහොමඩ් මුසම්මිල් මහතා මේ පිරිස 2015 කළ පරණ සෙල්ලම 2019 දී සිදු කිරීමට හිතනවා නම් එය වැරදීමක් බව ද සඳහන් කළේය.

‘ටී.එන්.ඒ. සහාය සජිත්ට’

එසේම සජිත් පේ‍්‍රමදාස මහතා දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ ෆෙඩරල් ඉල්ලීම්වලට එකඟව ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීමට කටයුතු කර ඇතත් තැපැල් ඡන්දය අවසන් වන තෙක් ඒ බව රට හමුවේ නොතැබීමට දෙපාර්ශ්වයම ගිවිස ගෙන ඇති බව ද ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා මෙහිදී අනාවරණය කර සිටියේය.

සජිත්ගේ ‘අගමැති – මුදල් ඇමති’ කවුද?

සජිත් පේ‍්‍රමදාස මහතා මුහුණ දී සිටින්නේ මේ රටේ විධායක ජනාධිපතිවරයා පත් කරන ඡන්දයට බැවින් ‘මේක අගමැති පත් කිරීමේ ඡන්දයක් නොවෙයි’ කියා ඇඟ බේරාගත නොහැකි බවත් තමන් ‘හීනෙන්’ හෝ ජනාධිපති වුවහොත් තම විධායක බලය ප‍්‍රකාරව අගමැති ධුරයට පත් කරන්නේ මංගල සමරවීර සහ රනිල් වික‍්‍රමසිංහ යන අයගෙන් කවුරුන්දැයි මෙහිදී මොහොමඩ් මුසම්මිල් මහතා ප‍්‍රශ්න කර සිටියේය. එසේම මුදල් ඇමති ධුරය රවී කරුණානායක මහතාට ලබා දෙනවාදැයි ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රශ්න කර සිටියේය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කරන බව ඍජුව පවසා ඇති බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිබඳව ඍජුව එසේ පැවසීමට සජිත් පේ‍්‍රමදාස මහතාට ලැජ්ජාවක් තිබෙන බව පෙනෙන්නට ඇතැයි ද ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

‘එජාප නායකත්වය උදුරා ගැනීම’

කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතා රනිල් විරෝධීන් එකතු කරගෙන ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගත්තේ ජයග‍්‍රහණය කිරීමට හැකි නිසා නොව රනිල් විරෝධී පිල මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ ශක්තිමත් කරගෙන පසු කලෙක එජාප නායකත්වය රනිල් වික‍්‍රමසිංහගෙන් කොල්ලකෑමට බවත් එසේම ඒ සමග විපක්ෂ නායක සිහිනය සැබෑ කර ගැනීමට බවත් මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට කැස්බෑව නාගරික මන්ත‍්‍රී අතුල සේනානායක, බොරලැස්ගමුව නාගරික මන්ත‍්‍රී ජගත් කිත්සිරි යන මහත්වරු ද එක්ව සිටිහය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

***************************************

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉදිරියේ විමල් වීරවංශ මහතා කළ දේශනය (01-10-2019)

***************************************

හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව මුල්‍ය අවභාවිතා චෝදනාවක් !

(02.10.2019 – colombotoday.com)

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව විසින් මෙම පැමිණිල්ල ගොනු කොට ඇත.

එම පැමිණිල් මගින් ඔහු සඳහන් කරන්නේ සර්වෝදය අරමුදලේ මුදල් මහේෂ් සේනානායක මහතාගේ දේශපාලන කටයුතු සදහා අවභාවිතා කරන බවයි.

පාස්කු දිනයේ එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වලක්වා නොගැනීම සම්බ්නදයෙන්ද හිටපු හමුදාපතිවරයා වගකිව යුතු බවත් පැමිණිල්ලෙන් ඔහු කියා සිටී ෴

***************************************

අහිංසක සතුන් ඝාතනය කරද්දී වැගිරෙන රුධිරයෙන් ගුරුකන්ද පුද භූමිය කිළිටි වන්නේ නැද්ද?

(02.10.2019 – divaina.com)

= අහිංසක සතුන් පණ පිටින් ඝාතනය කරද්දී වැගිරෙන රුධිරයෙන් ගුරුකන්ද පුද භූමිය කිළිටි වන්නේ නැද්ද? දමිළ බසින් කොට්ටියාර් පත්තු කියන්නේ කෝටියක් ආරාම තිබූ බවයි =

මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ වැඩවාසය කළ නායක හිමියන්ගේ දේහය එම භූමියේ මිහිදන් කිරීම නිසා භූමිය කිළිටි වේ යැයි කියන්නේ නම් එහි පිහිටි කෝවිල් භූමියේදී අහිංසක සතුන් පණපිටින් ඝාතනය කරද්දී වැගිරෙන රුධිරයෙන් භූමිය කිළිටි නොවන්නේ දැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (01 දා) ප‍්‍රශ්න කර සිටියහ.

ගුරුකන්ද විහාරය යුද්ධයෙන් රට නිදහස් කර ගැනීමට පෙර සිටම පූජා භූමියක් බවත් එම ප‍්‍රදේශයට දමිළ බසින් කොට්ටියාර්පත්තු කියන්නේත් කෝටියක් ආරාම තිබුණාය යන්න බවත් උන්වහන්සේ කීහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (01 දා) එම අදහස් පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ :

“මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ සිදුවීම මුල්කර ගනිමින් අද එහි අපට විරුද්ධව යම් යම් ක‍්‍රියාකාරකම් සිදුකරනවා. අපි ඒ දමිළ මිනිස්සුන් සමඟ කිසිදු අමනාපයක් නැහැ. මොකද ඒ සිදුවීම් ඔවුන්ගේ අවශ්‍යතා අනුව නොවන බවත් ඒ පිටුපස ආගමික කණ්ඩායමක් සිටින බවත් අපට දැනගන්න ලැබී තිබෙනවා. එය වගකීමෙන් අපි කියනවා.

මේ උද්ඝෝෂණවල ඉදිරියේම සිටි පියතුමන්ලා දෙස බලද්දී අපිට මතක් වෙන්නේ රායප්පු ජෝෂප් පියතුමයි. ඒ වගේම මේ රට තවමත් බෙදුම්වාදයට තල්ලු කළ යුතු යැයි සිතන, අපේ කාදිනල්තුමාගේ මතයවත් පිළිනොගන්නා ඇතැම් පූජකයොත් ද්‍රවිඩ සන්ධානයට සම්බන්ධ අවස්ථාවාදී මුග්ධ දේශපාලනඥයෝ මේ අහිංසක දෙමළ මිනිස්සු කුලප්පු කිරීම පිටුපස ඉන්නවා.

නයාරු පන්සල 1936 දී අක්කර 36 ක පූජා භූමියක් ලෙස නම් කර තිබෙන්නේ සුදු ආණ්ඩුව කාලයේදියි. ඒ කියන්නේ අපිට නිදහස ලැබෙන්නත් කලින්. මේ ප‍්‍රදේශයට කියන්නේ කොට්ටියාර්පත්තු කියලයි. එහි අදහස කෝටියක් ආරාම තිබුණා යන්නයි. මේ සියලු සලකුණු සාක්‍ෂි තිබියදී තමයි ඔවුන් සාවද්‍ය මත පළ කරන්නේ.

අපවත් වූ කොළඹ මේධාලංකාරකිත්ති හාමුදුරුවෝ මෙහි වැඩ ඉන්නේ වසර 2009 සිටයි. ඊට වසර දෙකකට පෙර සේරුවාවිල නායක හිමි වන සරණකිත්ති නායක හාමුදුරුවෝ තමයි මෙහි පන්සල ආරම්භ කර තිබෙන්නේ. සරණකිත්ති හිමියන්ගේ ගෝලයා තමයි අපවත් වූ මේධාලංකාරකිත්ති හිමියන්. මේ පන්සලේ සිට කිලෝමීටර් 2 ක් පමණ එපිට කොහොඹ ගහක් යට විසිකරලා දාල තිබුණ පුල්ලෙයාර් දෙවියන්ගේ පිළිමයක් පන්සලට ගෙනැවිත් කාටහරි පුද සත්කාර කරන්න පුළුවන් යැයි සිතා තැන්පත් කරන්නෙ අපවත් වූ අපේ හාමුදුරුවෝයි. පන්සලේ කෝවිලක් තිබුණා යැයි කියන කතාවේ සැබෑ ඉතිහාස කතාව එයයි.

ඇත්තටම මෙහි වෙසෙන මිනිසුන් හරි අහිංසකයි. ඔවුන් වසර තිස් ගණනක් ලයිට් එකක්වත් දැකලා නොතිබූ අයයි. ඒ මිනිස්සු ඉස්සරහ වීරත්වයට පත්වෙන්න තමයි විග්නේෂ්වරන්ලා මේ කටයුතු කරන්නේ.

ඇත්තටම මේ අපේ ප‍්‍රදේශයයි. විග්නේෂ්වරන් ඇතුළු නඩය තමයි මේ මිනිස්සුන්ට විෂ කවන්නේ…කෝවිල් කමිටු හදන්නේ විග්නේෂ්වරන්ලායි. මෙම ස්ථානය ඓතිහාසික බෞද්ධ පූජනීය ස්ථානයක් බව පුරාවිද්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අගමැතිවරයාට පිටු තුනක ලිපියක් මඟින් දැනුම් දෙනවා. නමුත් විග්නේෂ්වරන්ලා ඒ එකක්වත් පිළිගන්නේ නැහැ.

මේ බලහත්කාරයට අපි යටත් වෙනවාද ඊට එරෙහිව සටන් කරනවාද යන්න අප තීරණය කළ යුතුයි. හාමුදුරුවන්ට ඒ ඓතිහාසික භූමිය තුළ ඉන්න පුළුවන්. බණ භාවනා කරන්න පුළුවන්. හැබැයි අපවත් වූ පසු මිහිදන් කරන්න බැහැ. එහෙම කළොත් ඒ භූමිය කිළිටි වෙනවලු…අනේ මන්ද මේ මොන මෝඩ තර්කද…? කෝවිලේ බිලි පූජා පවත්වද්දි හැළෙන ලේ වලින් ඒ භූමිය කිළිටි වෙන්නේ නැද්ද? අනේ අම්මපා…මේ වගේ මෝඩ හැත්තක්…අපේ පන්සල් ඇතුළේ හැම දෙයියෙක්ම ඉන්නවා. අපිට කිසි ප‍්‍රශ්නයක් නැහැ. අපිට දුක ආගම ඉදිරියට දමාගෙන මොවුන් දේශපාලනය කිරීම ගැනයි.

මේ ගැන කෝවිලේ පිරිසක් පොලිසියට පැමිණිලි කළ පසු පොලිසියේ හැසිරීම අනුමත කරන්න බැහැ. පැමිණිල්ල දැමූ පසු අනෙක් පාර්ශ්වය කැඳවා ගැටලුව සමථයකට පත් කරනවා වෙනුවට එය උසාවියට දමනවා. සියල්ල වෙන්නේ විග්නේෂ්වරන්ලාට ඕන විදියටයි. අපවත් වූ හාමුදුරු නමකගේ දේහය හේවිසි නාදය නොමැතිව මිහිදන් කළ මගේ ජීවිතේ පළමු අවස්ථාව මෙයයි. මේ සිංහල බෞද්ධ රටක් දැයි හිතෙනවා. අඩුම තරමින් බෙර දවුලක් හේවිසියක් නැතිව හාමුදුරු නමකගේ දේහය මිහිදන් කිරීමට වීම රටේ අවාසනාවක්.

මේ රටට පළමුව ආවේ පන්සල් ද කෝවිල් ද කියා අපි විමසනවා. ඉස්සෙල්ලා අපේ පුරාවස්තු ද දෙමළ මිනිසුන්ද? මේ අයිතිය ගැන එක සිංහලයෙක් එම මන්ත‍්‍රීයෙක් කතා කරනවාද? මොනරාගල දිස්ත‍්‍රික් පද්ම උදයශාන්ත මන්ත‍්‍රීවරයා හැර කිසි දේශපාලනඥයකු එහි ආවේ නැහැ. උතුරට, දකුණට කියා වෙන වෙනම නීති තිබෙන්න බැහැ…

කුලී විරෝධකරුවෝ හාමුදුරුවන්ගේ දේහයට ගල් ගැහුවා…දේහයට සහ අපිට අඩන්තෙට්ටම් කරන්න පැමිණි මිනිස්සු ගැන නෙමෙයි අපට ප‍්‍රශ්නය තිබෙන්නේ. ඒ මිනිස්සු පිටුපස ඉන්න අය ගැනයි අපට ප‍්‍රශ්නය තිබෙන්නේ.

ප‍්‍රභාකරන්ගේ අවතාර තවමත් තිබෙන්න පුළුවන්…”

මෙම අවස්ථාවට බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියෝ ද එක්වූහ.

– සිරිමන්ත රත්නසේකර

***************************************

ෆෝන් එකෙන් සිංදු අහන ගමන් නිදාගත්ත 14 වියේ පසු වූ දැරියට සිදුවණු අවාසනාවන්ත සිදුවීම මෙන්න..

(01.10.2019 – webgossip.lk)

Alua Asetkyzy Abzalbek කියන්නේ ගොඩක් සිංදු අහන්න ප්‍රියකරන දැරියක්. ඇය වෙනදා වගේම තමන්ගේ ජංගම දුරකථනයෙන් සිංදු අහන ගමන් නින්දට ගිහින් තියෙනවා. චාර්ජ් කරමින් තිබුණු තමන්ගේ ජංගම දුරකථනය ඇඳේ කොට්ටය යටින් තියාගන තමයි ඇය නින්දට ගොස් තියෙන්නේ.

පසුදින උදයේ ඇගේ දෙමාපියන්ට දකින්න ලැබිලා තියෙන්නේ දුරකථනයේ බැටරිය ඇගේ හිසට ආසන්නයේ පුපුරා ගොස් ඇය අවාසනාවන්ත ලෙස මිය ගිහින් සිටින ආකාරයයි. මිය යන විට ඇය අවුරුදු 14 වයසැති පාසල් යන වයසේ දැරියක් බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.

කසකස්ථානයේ සිදුවුණු මේ සිදුවීමේ දී ඒ එරට පොලිසිය පවසන්නේ අනතුරින් ඇයගේ හිසට බරපතල තුවාල සිදුවී ඇය වහාම මිය යන්න ඇති බවයි. මරණ වාර්තාවට අනුව ජංගම දුරකථනය අධික ලෙස රත්වී පිපිරීම සිදුවන්නට ඇති බව වාර්තා වෙනවා ෴

***************************************

ගෝඨාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

(02.10.2019 – 18:11 +0530 – sinhala.adaderana.lk)

2005 දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවයට අත්සන් තැබීමට විධායක ජනාධිපති බලතල මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව තිබු බව නීතිපති විසින් අධිකරණයට දන්වයි.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද සිදුකෙරුණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලීම සිදුවූ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධ අයදුම්පත් හා ලියකිවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් අදාල ලියකියවිලි නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දී තිබේ.

මෙහිදී මූලික විරෝධතා මතු කරමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙම නඩුවට පාදක වන කරුණ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ පැවැත්වෙන, මේ දක්වා අවසන් කර නොමැති පරීක්ෂණයක කරුණු පදනම් කර ගනිමින් පෙත්සමක් ඉදිරිපත් කර එය විභාගයට ගැනීම ගැටළු සහගත බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නේය.

යම් හෙයකින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන පරීක්ෂණයෙන් තම සේවාදායකයා නිදොස් බවට තීරණයකට පැමිණියහොත් මෙම පෙත්සමට පාදක වන කරුණු පදනම් විරහිත වනු ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙහිදී පැවසුවේ වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන විරෝධතා පිළිබඳව ඉදිරියේ දී කරුණු සලකා බලන බවයි.

කෙසේවෙතත් පෙත්සම්කාර පාර්ශවයට කරුණු දැක්වීමට අවස්ථාව ලබා දිය යුතු බව සඳහන් කළ සභාපති විනිසුරුවරයා පෙත්සම්කරුවන්ට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර ඇති පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවයි.

පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බව සදහන් කළ නීතිඥවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට එම සහතිකය නිකුත් කර ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පෙන්වා දී තිබේ.

වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ද ජනාධිපතිවරයා වෙත පැවරෙන බවයි ඔහු සඳහන් කර සිටියේය.

ඒ අනුව නඩු විභාගය පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට පස්වරු 01.30 තෙක් කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *