සන්ධානගත වීම ගැන අවසන් තීරණයක් ගැනීමේ බලය ජනපතිට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

සන්ධානගත වීම ගැන අවසන් තීරණයක් ගැනීමේ බලය ජනපතිට (විඩියෝ)

• රතන හිමියන්ගේ සහය ගෝඨාභය රාජපක්ෂට (විඩියෝ)

• අසාර්ථක වූ එජාපයේ සැලසුම – ඩලස් අලහප්පෙරුම (විඩියෝ)

• සජිත් ප්‍රේමදාසට ඉල්ලීමක් (විඩියෝ)

• නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ පාර්ශවය තමන් නියෝජනය කරන බව ගෝඨාභය කියයි (විඩියෝ)

• රස්සා බෙදන්න ගිය මනෝ ගනේෂන්ට, මැතිවරණ කොමිසම හරස් වෙයි (විඩියෝ)

• වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් 3000 කට සේවය අහිමිවීමේ අවදානමක් – වෘත්තීය සමිති හෙළිකරයි (විඩියෝ)

• ගෝඨාභයගේ අපේක්ෂකත්වයට එරෙහිව තවත් නඩු බැහැ – පොහොට්ටුවෙන් ප්‍රකාශයක් (විඩියෝ)

• අගරදගුරු හිමියන් යොමු කළ ලිපියට ක්‍රියාමාර්ග ගෙන ඇති බව යුද හමුදාව කියයි (විඩියෝ)

• පෙම් යුවළක් බිය ගන්වා බලහත්කාරයෙන් මුදලක් ලබා ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

• සජිත් නරකාදියෙන් චුත වු දේවදත්තයන්ගේ පුනරුත්පත්තියදැයි ගම්මන්පිලට සැකයක්

+++++++++++++++++++++++++++++++++++

සන්ධානගත වීම ගැන අවසන් තීරණයක් ගැනීමේ බලය ජනපතිට

(05.10.2019 – 22:47 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණයේදී සන්ධානගතවීම සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය පවරා තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර අවසන් වූ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා මේ බව සදහන් කළා.

+++++++++++++++++++++

***************************************

රතන හිමියන්ගේ සහය ගෝඨාභය රාජපක්ෂට

(05.10.2019 – 20:46 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට තමන් ප්‍රමුඛ ජාතික සංවිධාන එක්ව ක්‍රියාකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

ජාතික සංවිධාන එක්ව සංවිධානය කර තිබූ විජයධරණී ජාතික මහා සමුළුව අමතමින් උන්වහන්සේ මේ අදහස් පළ කළා.

නොබෙදී සුරකිමු මව්බිම යන මැයෙන් සංවිධානය කර තිබූ විජයධරණී ජාතික මහා සමුළුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම සමුළුවට එක්වුණා.

එහිදී මහා සංඝරත්නය විසින් විජයධරණී ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශක ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබුවා.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=uaxba3g5iDk#t=6

***************************************

අසාර්ථක වූ එජාපයේ සැලසුම – ඩලස් අලහප්පෙරුම

(05.10.2019 – 20:32 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ ව්‍යාපාරය පුරා ගෙනයාමට සැලසුම් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුව අධිකරණය විසින් නිරාකරණය කරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=HG4p0LSDUTE#t=6

***************************************

සජිත් ප්‍රේමදාසට ඉල්ලීමක්

(05.10.2019 – 20:05 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය සජිත් ප්‍රේමදාස කොළඹ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට ඊයේ (04) එක්වෙමින් ඔහුගේ ‘ශ්‍රී මුඛයෙන් පවසන වදන්’ යනුවෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුළ පුළුල් සංවාදයක් මතුව තිබෙනවා.

බුදු පියාණන් වහන්සේ උදෙසා වූ ගෞරවය දේශපාලනයට යොදා නොගන්නා ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කළේ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ හෘද සාක්ෂියේ ආමන්ත්‍රණය යන තේමාව යටතේ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කළ පාද යාත්‍රාව අතරතුර පේරාදෙණිය – ගැටඹේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පාද යාත්‍රාව අද මහනුවරින් අවසන් කෙරුණා.

+++++++++++++++++++++

***************************************

නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ පාර්ශවය තමන් නියෝජනය කරන බව ගෝඨාභය කියයි

(05.10.2019 – 19:19 +0530 – hirunews.lk/sinhala)

තමන් නියෝජනය කරන්නේ මෙරට ජනතාවට නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ පාර්ශවය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ අද පැවති උඩරට තරුණ සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=oXTiH3M8eeY#t=6

***************************************

රස්සා බෙදන්න ගිය මනෝ ගනේෂන්ට, මැතිවරණ කොමිසම හරස් වෙයි

(05.10.2019 – 19:59 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් අද ගුරු පුහුණු තනතුරට අදාළ පත්වීම් 400 ක් ලබාදීමට සංවිධානය කර තිබූ උත්සවයක් අත්හිටුවීමට මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ පොලීසිය මැදිහත් වුණා.

හෝමාගම – මාකුඹුර ප්‍රදේශයේ පිහිටි ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයෙහි මෙම පත්වීම් ලබාදීමේ උත්සවයට සංවිධානය කර තිබුණේ අමාත්‍ය මනෝ ගනේෂන්ගේ සහභාගිත්වයෙන්.

එම කටයුත්ත අත්හිටවූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි නාගරික මන්ත්‍රීවරියක් සහ අමාත්‍ය මනෝ ගනේෂන් අතර උණුසුම් සංවාදයක් ඇති වුණා.

බදුල්ල, වව්නියාව, මඩකලපුව, නුවරඑළිය ඇතුලූ ප්‍රදේශ ගණනාවක දෙමළ ගුරුවරුන් සඳහා ගුරු පත්වීම් ලබාදීමටයි මෙම උත්සවය සංවිධානය කර තිබුණේ.

අදාළ පත්වීම් ලබාදීම අත්හිටුවීම හේතුවෙන් පැමිණ සිටි පිරිස යළි හරවා යැවීමටයි අමාත්‍යවරයා එහිදී කටයුතු කළේ.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=YLWtCKuY6_s#t=6

***************************************

වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් 3000 කට සේවය අහිමිවීමේ අවදානමක් – වෘත්තීය සමිති හෙළිකරයි

(05.10.2019 – 19:15 +0530 – hirunews.lk/sinhala)

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් 3000 ක් පමණ සේවයෙන් ඉවත් කිරීමේ අවදානමක සිටින බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

කෙසේ වෙතත්, වැටුප් විෂමතා මුල් කරගෙන මෙම දුම්රිය වර්ජනය අද 10 වන දිනටත් ක්‍රියාත්මකයි.

අද (05) පෙරවරුවේ දුම්රිය ගමන්වාර 12 ක් ක්‍රියාත්මක වූ අතර පස්වරුවේ දුම්රිය 8 ක් ධාවනය කෙරුණා. සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මර්දනය කිරීම සඳහා රජය විවිධ උපක්‍රම සිදුකළ ද, තමන් ක්‍රියාත්මක කරන වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

එම මාධ්‍ය හමුවට එක්වූ දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ සිය ගැටලු සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවකදී බලධාරින් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

මේ වනවිටත් වර්ජනයේ නිරත සේවකයන් පිරිසකට සේවයෙන් ඉවත් කිරීමේ ලිපි ලැබී ඇති බව ඔහු සඳහන් කළා.

***************************************

ගෝඨාභයගේ අපේක්ෂකත්වයට එරෙහිව තවත් නඩු බැහැ – පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

(05.10.2019 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු නඩුවක් යළි පැවරිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව කියා සිටියා.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කතා නොකළ පිරිස් ජනතාව රාජ්‍ය නායකයෙකු ලෙස පත් කිරීමට සැලසුම් කර තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවයි.

එමෙන්ම, ඔහුට එරෙහිව ඉදිරියේදීත් විවිධ නඩු පැවරීමේ සැලසුම් පිළිබදව දැන ගැනීමට ඇති බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළා.

මේ අතර එහිදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඇප මුදල් තැන්පත් කළ චමල් රාජපක්ෂ වෙනුවෙන් නාම යෝජනා ලබාදීමක් සිදුනොකරන බවයි.

කොළඹ අද පැවති තවත් මාධ්‍ය හමුවකදී කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ කියා සිටියේ තම පක්ෂය ලබන 10 වන දා පස්වරු 2ට කොළඹ ගාලුමුවදොර පිටියේදී දැවැන්ත රැළියක් පවත්වන බවයි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් එක්ව කොළඹ අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ඊට එක්වෙමින් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පසුගිය දා සිදුකළ ප්‍රකාශයකදී එය තම ශ්‍රී මුඛයෙන් ප්‍රකාශ කිරීම යනුවෙන් හැදින්වීම තුළින් බුදු රජානන් වහන්සේට අගෞරවයක් සිදුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ හා බෞද්ධයන් සංවේගයට පත්ව ඇතැයි ද උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළා.

***************************************

අගරදගුරු හිමියන් යොමු කළ ලිපියට ක්‍රියාමාර්ග ගෙන ඇති බව යුද හමුදාව කියයි

(05.10.2019 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්ත තර්ජනයක් පිළිබඳව අගරදගුරු හිමිපාණන් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කළ ලිපියකට අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව යුද හමුදාව පවසනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මේ වන විට සියළු ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි.

***************************************

පෙම් යුවළක් බිය ගන්වා බලහත්කාරයෙන් මුදලක් ලබා ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(05.10.2019 – 09:35 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස – බොරුපන ප්‍රදේශයේදී පෙම් යුවළක් බිය ගන්වා රුපියල් 30,000 ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ බස්නාහිර, දකුණ අපරාධ කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අදාළ ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සිටි පෙම් යුවළක් අශෝභන ලෙස හැසිරුණේ යැයි පවසා ඒ අසලට පැමිණි එම පොලිස් නිලධාරියා ඔවුන් බියගන්වා ඇත්තේ නීතිමය කටයුතු සිදුනොකිරීමට නම් තමන්ට රුපියල් 50,000 ක මුදලක් ලබා දිය යුතු බවටයි.

ඒ අනුව පෙම්වතාගෙන් රුපියල් 30,000 ක මුදලක් බලෙන් ලබා ගත් බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර, ඊට අදාළව සිදුකළ විමර්ශනයට අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *