2015 සිට පාර්ලිමේන්තුවට ගෙනාපු ව්‍යවස්ථා කෙටුම්පත් බෝම්බවලට වඩා භයානකයි – ගෙවිඳු කුමාරතුංග

(03.11.2019 – 17:58 +0530 – sinhala.adaderana.lk)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බලයට පත්වුවහොත් විනාශකාරී ව්‍යවස්ථා කෙටුම්පතක් බලාත්මක කිරීමේ අවදානමක් පවතින බව ‘යුතුකම සංවාද කවයේ’ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ඔහු මේ කරුණු පැහැදිලි කළේ අද මිනුවන්ගොඩ පැවති යුතුකම සම්මන්ත්‍රණයේදීයි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසිය :

“ඒගොල්ලන් යෝජනා කරන්නේ බලය බෙදන්නේ නැතිව රට හදන්න බෑ කියලානේ. ඒ ගමන් ඒකෙ ඇතුළෙම ප්‍රතිපාදන තියෙනවා උතුරු – නැගෙනහිර එකතු කරන්න. දෙමළ නිජභූමිය එකතු කරන්න ප්‍රතිපාදන තියෙනවා.

මෑතකදීත් ඉල්ලීම් වගයක් ඉදිරිපත් වුණානේ දෙමළ දේශපාලන පක්ෂ පහකින්. මේ යෝජනා පිළිගන්න අයටනේ ඒ අය ඡන්දය දෙනවා කියන්නේ. ඒකෙ මොනවාද තියෙන්නේ? ඒකෙ තියෙන්නේ උතුරු – නැගෙනහිර දෙමළ ජනයාගේ නිජභූමිය ලෙසින් පිළිගත යුතුයි කියලා. ඒ නිජභූමියේ පාලන අයිතිය දෙමළ ජනතාවට ලැබිය යුතුයි.

ව්‍යවස්ථාවේ පූර්විකාවක් තියෙනවා. පූර්විකාව පටන්ගන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ කියලා. වැඩි දෙනෙකුට බලපාපු ආගමික නායකයා බුදුරජාණන් වහන්සේ. කාදිනල්තුමාත් ඒක පිළිගන්නවා. ඒ ශ්‍රී බුද්ධ වර්ෂ කියන එක පවා ඉවත් කරලා තියෙන්නේ.

ඒ තරම් වෛරයකින් මේ රටේ සංස්කෘතියත් එක්ක මේ රටේ සභ්‍යත්වයත් එක්ක කටයුතු කරන ජයම්පති වික්‍රමරත්නලා සුමන්තිරන්ලා හදපු ව්‍යවස්ථාව තමයි මෙයා ආවාම අනුමත කරගන්න තියෙන්නේ.

2015 ඉඳලා පාර්ලිමේන්තුවට ගෙනැවිත් තියෙනවා ව්‍යවස්ථා කෙටුම්පත් ගණනාවක්. ආණ්ඩුක්‍රම සංශෝධන ගණනාවක්. අපේ අදහස නම් ඒවා අර එල්.ටී.ටී යේ බෝම්බවලට වඩා භයානකයි. මේ ව්‍යවස්ථා බෝම්බ සහරාන්ගේ බෝම්බවලට වඩා භයානකයි.”

***************************************

එකම පවුලේ පස් දෙනෙකු කළ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් අල්ලයි

(04.11.2019 – 08:44 +0530 – sinhala.adaderana.lk)

බාල වයස්කාර දැරියක යොදාගෙන දීර්ඝ කාලයක සිට එකම පවුලේ පස් දෙනකු විසින් මහා පරිමාණයෙන් සිදුකළ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් අනාවරණය කරගැනීමට බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීහු සමත්ව ඇත.

පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා(51), මව(50), පුතා(28), පුතාගේ බිරිය(24) සහ බාලවයස්කාර දියණිය(13) බව පොලීසිය කියයි.

අත්අඩංගුවට පත්වූ බාලවයස්කාර දියණිය මහරගම ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබමින් සිටින බව පොලීසිය පවසයි.

සැකකරුවන් සමඟ රුපියල් පන්සීයේ ව්‍යාජ මුදල් නෝට්ටු 21ක්, රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් සොයා ගැනීමට නිලධාරීහු සමත් වූහ.

බෙලිඅත්ත පට්ටියවෙල ප්‍රදේශයේ වෙළෙදසැලකට ව්‍යාජ මුදල් ලබා දී භාණ්ඩ ලබා ගැනීමට යාමේදී මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් සැක සිතී ඔවුන් පිළිබඳව ගම්වැසියන් විසින් පොලීසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙම ජාවාරම අනාවරණය කරගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුට අයත් බව කියන බිංගිරිය ප්‍රදේශයේ වෙළෙදසැලක දී ව්‍යාජ මුදල් මුද්‍රණය කර ඒවා විවිධ ප්‍රදේශවලට ගොස් වෙළෙදසැල්වලට ලබා දී භාණ්ඩ සහ වලංගු මුදල් ලබා ගැනීම මොවුන් දීර්ඝ කාලයක සිට සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

බිංගිරිය ප්‍රදේශයේ වෙළෙදසැලේදී ව්‍යාජ මුදල් මුද්‍රණය කර මොරටුවේ පිහිටි නිවෙසට ඒවා ගෙනවිත් ප්‍රධාන සැකකරුගේ පියා, මව, නැගණිය සහ බිරිය සමඟ සුඛෝපබෝගී මෝටර් රථයෙන් විවිධ ප්‍රදේශවලට ගමන් කර ඇති බවද ඒ ගමන්වාර කිහිපයේදී ව්‍යාජ මුදල් විශාල ප්‍රමාණයක් හුවමාරු කර ඇතැයි පොලීසිය කියයි.

සැකකරුවන් පැමිණි බව කියන සුඛෝපබෝගී මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාජ මුදල් හුවමාරු කර මිලදී ගත් බව කියන බිස්කට් වර්ග, ක්‍රීම් වර්ග, රසකැවිලි, ෂැම්පු, සහල්, නූඩ්ල්ස්, බයිට් වර්ග ඇතුළු භාණ්ඩ රාශියක් මෝටර් රථය තුළ තිබී සොයාගෙන ඇත.

තවද ව්‍යාජ මුදල්වලට හුවමාරු කරගත් රුපියල් සියය, පනහ, විස්ස, දහය, පහ ආදී වලංගු මුදල් රුපියල් හැට හයදහස් එකසිය අසූවක්(66,180) ද මෝටර් රථය තුළ තිබී සොයාගෙන තිබේ.

ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන පහක් සහ පවර් බෑන්ක් උපකරණයක්ද පොලිස් බාරයට ගෙන තිබේ ෴

***************************************

ගෝඨාභය කතා කරන්නේ රට හදන හැටි විතරයි – කෙහෙළිය රඹුක්වැල්ල

(03.11.2019 – 12:22 +0530 – sinhala.adaderana.lk)

2015 වසරේ ජනවාරි මාසයෙන් පසු රටේ සංවර්ධන කටයුතු සියල්ල අඩපණ කිරිමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහනුවර පැවති උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 2015 න් පසු ජනපති හා අගමැති අතර විරසකයන් සිදුවු බවත් එමඟින් රටේ පුරවැසියන් අනාථයන් බවට පත් වු බවයි.

එසේම පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනෙක් අපේක්ෂකයින්ට කිසිදු මඩ ගැසීමකින් තොරව තම මැතිවරණ ව්‍යාපාරය සිදු කරන බවත් ඒ මහතා පවසයි.

***************************************

රණවිරුවාගේ අභිමානය නැවත ගොඩනඟනවා – ගෝඨාභය රාජපක්ෂ

(04.11.2019 – 09:42 +0530 – sinhala.adaderana.lk)

රණවිරුවන්ගේ අභිමානය නැවතත් ගොඩනගන බවත්, රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට තමන් බලාපොරොත්තුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගාල්ල බලපිටියේ ඊයේ (03) පැවති ජනරැලියක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ තවත් ජන රැලියක් බලපිටිය අහුංගල්ල ප්‍රදේශයේදී ඊයේ (03) පැවැත්විය.

මෙම ජන රැලියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක්විය.

මෙම අවස්ථාවට එක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ‍, තමා ජාතික ආරක්ෂාවලට මුල් තැන කණ්ඩායමක් බවයි.

රටේ පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමට හැකි වු බවත් පැවසු ඒ මහතා, විවිධ ආණ්ඩු යටතේ හා ජනාධිපතිවරු යටතේ ඇඳි ඇදී ගිය එම ත්‍රස්තවාදය වසර 2 හමාරක් තුළ අවසන් කිරීමට හැකි වු බවත් පැවසීය.

යුද්ධය අවසන් කිරීමෙන් පසුව සීඝ්‍ර සංවර්ධනයක් රට තුළ ඇති කළ බවත් පැවසු ගෝඨාභය මහතා, නමුත් ජාතික ආරක්ෂාවට කිසිදු ප්‍රමුණඛත්වයක් නොදුන්නු හා ජාත්‍යන්තර බලවේගවලට යට වු ඇමති මණ්ඩලයක් ඇති මෙම රජයට රටේ ආරක්ෂාව ලබා දීමට නොහැකි වු බවත් කියා සිටියේය.

ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නොකල නිසා බෝම්බ පිපිරීමට පටන් ගත් බවත් පැවසු ගෝඨාභය මහතා, ජයග්‍රහණයෙන් පසුව තමා හදන රජයක ප්‍රමුඛස්ථානය ජාතික ආරක්ෂාවට ලබා දෙන බවත් පැවසීය.

රණවිරුවාගේ නැතිවු අභිමානය නැවත ඇති කරන බවත් කියා සිටි ඒ මහතා, බුද්ධි අංශ නැවත ඇති කර ඔවුන්ට නොබියව වැඩ කිරීමට හැකි තත්ත්වයක් ‍උදාකරන බවත් කියා සිටියේය.

+++++++++++++++++++++

02-11-2019

***************************************

පොහොට්ටුව තවත් පක්ෂ 14 ක් සමඟ ගිවිසුම් ගත වෙයි

(04.11.2019 – 09:24 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් සුළු පක්ෂ 14 ක් සමඟ අතර අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.

මෙලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ අද (04) ගිවිසුම් ගත වු පක්ෂ පහතින් සඳහන් වේ.

  • අහිල ඉලංගෛ ද්‍රවිඩ මහා සභාව.
  • ශ්‍රී ටෙලෝ පක්ෂය.
  • ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය.
  • ජනතා සේවක පක්ෂය.
  • එක්සත් ලංකා ජනතා පක්ෂය.
  • ඉන්දීය සම්බවයක් ඇති ජනතා පක්ෂය.
  • නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය.
  • දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය.
  • ප්‍රගතිශිලි ජනතා සේවක පක්ෂය.
  • ජාතික පෙරමුණ.
  • එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය.
  • එක්සත් ලංකා පොදුජන පක්ෂය.
  • දේෂප්‍රේමී ප්‍රගතිශිලි ජනතා පක්ෂය.
  • ඉස්ලාම් සමාජවාදී පෙරමුණ.
https://www.facebook.com/sinhala.adaderana.lk/videos/524996978321043/

***************************************

මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට ආධාර පතයි !

(03.11.2019 – divaina.com)

මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය වත්මන් විහාරාධිපති, කන්තලේ සෝමපුර ආදර්ශ විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය මිහිඳුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි කළුතර බෝඹුවල වයි. රත්නාවතී මහත්මිය සහ ආර්. එච්. ධර්මදාස මහතා ප‍්‍රධාන දායක පිරිස සහ විහාරස්ථ දායක සභාවේ අනුග‍්‍රහය ඇතිව සහ ජනකපුර, පරාක‍්‍රමපුර, වැලිඔය ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව නොවැම්බර් 9 සහ 10 දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

09 වන සෙනසුරාදා රාති‍්‍ර පරිත‍්‍රාණ ධර්ම දේශනාව ද 10 වැනි ඉරිදා කෝකිලායි මුලතිව් ප‍්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණෙන කඨින චීවරය රැගත් පෙරහැර හිමිදිරියේ විහාරස්ථානයට ගෙවැදීමෙන් අනතුරුව මහා සංඝයා උදෙසා දානය පිරිනැමීමක් සිදුවන අතර පිං කැමැති සියලු දෙනාගේම සහභාගීත්වය අපේක්ෂා කෙරේ.

පුණ්‍යාධාර – ගුරුකන්ද පුරාණ රජමහා විහාරය,

මහජන බැංකුව – මුලතිව් : 020200250052181

ලංකා බැංකුව – මුලතිව් : 83008066

විමසීම් : ලේකම් – 070 310 6224 / 077 918 7713

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *