මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි උපවාසයක

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි උපවාසයක (විඩියෝ)

• කාශ්‍යප හිමි උපවාස කරන්නේ දේශපාලන බලපෑමක් නිසා නෙමෙයි – පූජ්‍ය ආනන්ද සාගර හිමි (විඩියෝ)

• MCC ගිවිසුම අත්සන් කරන්න ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නෑ – පූජ්‍ය අතුරුලියේ රතන හිමි (විඩියෝ)

• MCC ගිවිසුම අත්සන් කිරීම නතර කරන්නැයි නීතීඥ සංගමය රජයට කියයි (විඩියෝ)

• MCC ගිවිසුම අත්සන් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශය පවරා ගන්න! – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව ජනපතිට ලියයි

• මිලේනියම් චැලේන්ජ් ගිවිසුම යළි කැබිනට් මණ්ඩලයට

• ගෝඨා කඳවුර ගැන වියත්මගේ මහාචාර්ය චන්න ජයසුමන මහතා ගෙන් විවේචනයක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි උපවාසයක

(05.11.2019 – 09:42 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සන් නොකරන ලෙස ආණ්ඩුවට බලකරමින් කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් අද (05) පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

ඒ කොළඹ නිදහස් චතුරශ්‍රයේදීයී.

අද (05) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත වැඩම කළ පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් සිය මාරාන්තික උපවාසය මෙලෙස ආරම්භ කරනු ලැබීය.

පිටු 3 ක ලිපියක් මඟින් උන්වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රට පාවා දෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන ලෙසයි.

එම ලිපියෙන් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මාතෘභූමිය විදෙස් රටකට පාවා දෙන අවස්ථාවේදී ඒ දෙස නිහඩව බලාසිටිමට තමන් වහන්සේට නොහැකි බැවින් මෙලෙස උපවාසයක් ආරම්භ කිරිමට තීරණය කළ බවයි.

ඒ අනුව මෙම ගිවිසුම අස්සන් නොකරන බවට වූ ලිඛිත පොරොන්දුවක් ජනාධිපතිවරයාගෙන් හෝ අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබෙන තෙක් සිය උපවාසය අඛණ්ඩව සිදුකරන බවද උන්වහන්සේ පවසයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

කාශ්‍යප හිමි උපවාස කරන්නේ දේශපාලන බලපෑමක් නිසා නෙමෙයි – පූජ්‍ය ආනන්ද සාගර හිමි

(05.11.2019 – 16:11 +0530 – sinhala.adaderana.lk)

පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් අද (05) පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ කිසිදු දේශපාලන කටයුත්තක් නිසා නොවන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසයි.

අමෙරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සන් නොකරන ලෙස ආණ්ඩුවට බලකරමින් කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් අද (05) පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව පැවසීය.

MCC ගිවිසුම හරහා මේ රටේ ස්වෛරීභාවය නැති වී රට විනාශයට යන ආකාරය ගැන පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි දැක ඒ අනුව මෙම උපවාසය ආරම්භ කළ බවත් පැවසු පූජ්‍ය ආනන්ද සාගර හිමියන්, රට ජාතිය ආරක්ෂා කිරීමට තම ජීවිතය පුජා කර හෝ කැපවීමක් සිදු කරන බවට පූජ්‍ය කාශ්‍යප හිමියන් අධිෂ්ඨාන කර ගෙන ඇතැයි ද කියා සිටියේය.

ජනපති ගෙන් හෝ අගමැතිවරයා ගෙන් මේ සම්බන්ධයෙන් ලිඛිත ලියවිල්ලක් ලැබෙන තුරු පූජ්‍ය කාශ්‍යප හිමියන් මෙම උපවාසය නවත්වන් නැති බවත් පූජ්‍ය ආනන්ද සාගර හිමියන් මෙහිදී පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

MCC ගිවිසුම අත්සන් කරන්න ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නෑ – පූජ්‍ය අතුරුලියේ රතන හිමි

(05.11.2019 – 12:47 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අනිවාර්යෙන් පරාජය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසයි.

අද (05) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත වැඩම කළ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මේ බව සඳහන් කළේය.

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ මෙවැනි ගිවිසුමක් මේ මොහොතේ අත්සන් කිරීමට ආණ්ඩුවට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

මේ අතර රටේ ඡන්දයක් ඇති මොහොතක මෙවැනි ගිවිසුමක් ගෙන ඒම සම්පූර්ණයෙන් එක් පාර්ශවයක් වෙනුවෙන් අමෙරිකානු තානාපති කාර්යාලය විසින් සහය දැක්වීමක් බව පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය විසින් තම රටේ රජ්‍ය නිලධාරීන් දැනුවත් කළ යුතු බව උන්වහන්සේ පැවසීය.

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මෙහිදී පවසා සිටියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරනු ලබන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී විපක්ෂනායකධුරයේ සිටීමේ අරමුණෙන් බවයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරනු ලැබුවහොත් රට විශාල අනතුරකට පත් වන බව පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

MCC ගිවිසුම අත්සන් කිරීම නතර කරන්නැයි නීතීඥ සංගමය රජයට කියයි

(05.11.2019 – 12:03 +0530 – sinhala.adaderana.lk)

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

එම සංගමය සිය ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ගිවිසුම වහා ක්‍රියාත්මක වන පරිඳි අවලංගු කළ බව අමෙරිකානු රජයට සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම වෙත දන්වන ලෙසයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සඳහා අද (05) දිනයේදී අස්සන් තැබීමට මුදල් අමාත්‍යාංශය කටයුතු සූදානම් කරමින් සිටින බවට තම සංගමය වෙත විශ්වසනීය තොරතුරක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනය මඟින් පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමේ, ණය මුදලක් ලබාගැනීම හෝ ආධාර මුදලක් සඳහා වන සරල ගිවිසුමකට එහා ගිය කරුණු ඇතුළත් බවත්, භූමිය හා අධිකරණ බලතලවලට අදාළ නියමයන් රැසක් එහි අන්තර්ගත බවයි.

අදාළ කරුණු මුදල් අමාත්‍යංශයේ කාර්ය සීමාවෙන් ඔබ්බට ගිය කරුණු වන බැවින්, ගිවිසුම අත්සන් තැබීමට මුදල් අමාත්‍යංශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි නොවිය යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

රටේ ස්වාධිපත්‍යයට දැඩි බලපෑම් එල්ල විය හැකි මෙවන් තීන්දුවක් ගැනීමේදී, යහපාලන සංකල්පයේ මූලික හරය වන රජයේ සාමූහික වගකීම හා ව්‍යවස්ථාපිත වගවීම වැනි කරුණු පවා මේ අවස්ථාවේදී නොසලකා හැර තිබේ.

නීතිඥ සංගම් නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ ගිවිසුම අස්සන් කිරීමට පෙර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම නීතීඥ සංගමයේ සලකාබැලීම සඳහා යොමු කරන බව‍ට පසුගිය ජූලි, අගෝස්තු මාසවලදී ලබාදුන් පොරොන්දුව අගමැතිවරයා ආරක්ෂා කළ යුතු බවයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පලක් නොවන බවත්, ගිවිසුමක් අත්සන් කිරීමම බැදීමක් ඇති කරන බවත් එම නිවේදනය මඟින් අවධාරණය කර තිබේ.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, ප්‍රමාණවත් තරමේ සාකච්ඡා හා කතාබහක් ඇති වන තුරු මෙම ගිවිසුම ප්‍රමාද කරන ලෙස මෙරට පළපුරුදු දේශපාලනඥයෙක් වන අගමැතිවරයාගෙන් තම සංගමය ඉල්ලා සිටින බවයි.

+++++++++++++++++++++++++++++++++++

MCC ගිවිසුම අත්සන් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශය පවරා ගන්න! – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව ජනපතිට ලියයි

(05.11.2019 – 15:55 +0530 – lankaleadnews.com)

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම මෑත දිනයකදී අත්සන් කිරීමේ සූදානමක් ඇති බවට තමන් වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබුණු බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව පවසයි.

ගරු ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මේ බව පවසා ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් මෙම ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක් ඇති බවත් එම අමාත්‍යාංශයට මෙම ගිවිසුම අත්සන් කිරීමේ බලයක් නොමැති බවත් පෙන්වාදෙන එම සංගමය මුදල් අමාත්‍යාංශය තමා යටතට පත්කර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ගරු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින් :

***************************************

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම යළි කැබිනට් මණ්ඩලයට

(05.11.2019 – 11:00 +0530 – lankaleadnews.com)

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණද එය හෙට (06) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සලකා බැලීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව නොලැබුණද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගිය සතියේ ලබාදී තිබිණි.

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වලින් විරෝධතා එල්ල වූ අතර ජනාධිපතිවරයාට පෙර එම ගිවිසුමට අත්සන් නොකරන්නැයි ජනාධිපතිවරයා මුදල් ඇමැති මංගල සමරවීර මහතාටද දැනුම් දී තිබිණි.

එම ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ ගත් තීන්දුව හෙට (06) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සලකා බැලීමට බොහෝදුරට ඉඩ ඇති බවද වාර්තා වේ ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

MCC ගිවිසුම ගැන මංගල සහ චම්පික සමඟ විවාදයකට මම සූදානම් – උදය ගම්මන්පිල

(05.11.2019 – 23:04 +0530 – sinhala.adaderana.lk)

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තරම් මව්බිම දැවැන්ත පාවා දීමකට සැරසෙන ගිවිසුමක් ඉතිහාසයේ කවදාවත් නොතිබුණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

1505 දී ගෙරි හම් කඩක ඉඩක් කඳවුරක් ඉදි කරන්න පෘතුගීසින්ට ලබා දීමේ ගිවිසුමට වඩාත්, 1580 දී දොන් ජුවන් ධර්මපාල රජු විසින් කෝට්ටේ රාජ්‍යය පෘතුගීසින්ට පැවරීමට වඩාත්, 1815 දී ඉංග්‍රිසින් එක්ක අත්සන් කළ උඩරට ගිවිසුමට වඩාත් මෙය භයානක බවද මන්ත්‍රීවරයා පවසයි.

නමුත් ඇමෙරිකාවේ කුණු ලොන්ඩරි බවට පත් වී ඇති මංගල සමරවීර අමාත්‍යවරයා පා.ච රණවක අමාත්‍යවරයාත් මාධ්‍ය ඉදිරියේ මේ ගිවිසුම සාධාරණීකරණයට අසාර්ථක උත්සාහයක යෙදෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මංගල අමාත්‍යවරයා බටහිර ඉත්තෙක් ගැත්තෙක් කියන එක කවුරුත් දන්නා කරුණක් බවත් නමුත් පා.ච රණවක අමාත්‍යවරයා ඇමෙරිකානු සී.අයි.ඒ ඒජන්තයෙක් කියන එක නම් අළුත් පුවතක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අද (05) එම පක්ෂ කර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා,

“මිලේනියම් චැලේන්ජ් ගිවිසුමක් මුලින්ම අත්සන් කලේ මැඩගස්කරයයි. ඒ 2005 දී. ලංකාවේ වගේම මැඩගස්කරයේත් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් තිබුණා. ඒ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස රටේ වගා කළ හැකි ඉඩම් වලින් 50% ක් ඒ කියන්නේ හෙක්ටයාර මිලියන 1.3 ක් කොරියානු සමගමකට බදු දෙන්න ආණ්ඩුව එකඟ වුණා.

මේ ගිවිසුමට එරෙහිව රටේ මතු වුණු විරෝධය අන්තිමට අවසන් වුණේ කුමන්ත්‍රණයකින් ආණ්ඩුව පෙරලීමෙන්. අළුත් ආණ්ඩුව කොරියානු සමාගමට ඉඩම් දෙන්න බෑ කිව්වාම මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හකුලා ගෙන මැඩගස්කරයෙන් යන්න ඇමෙරිකාව තීරණය කළා.

ඇමෙරිකාවට ඉඩම් බදු දීමෙන් ලොකුම අමාරුවේ වැටුණු රට පැනමාවයි. පැනමා ඇල හදන්න ඇමෙරිකාවට ඉඩම් බදු දීලා පැනමාවේ පාලනය ඇමෙරිකාව අතට ගත්තා. ඊට විරුද්ධ වුණු එක ජනාධිපති කෙනෙක් මරලා දාන්නත් තවත් ජනාධිපති කෙනෙකු පැහැරගෙන ගිහින් ඇමෙරිකාවේ හිරේ දාන්නත් ඇමෙරිකාව පසුබට වුණේ නෑ.

‘වීසි කළ නොහැකි කිසිවක් අල්ලාගනු එපා’ යැයි ඉංග්‍රීසි කියමනක් තියෙනවා. මේ රට ඇතුළට එන්න හදන්නේ ලෝකයේ බලගතුම රාජ්‍යයයි. එම රාජ්‍යය අපේ ඉඩම් අල්ලා ගත්තාට පස්සේ අප යන්න කිව්වත්, අපට ඔවුන් එළවා ගැනීමට අවශ්‍ය වුණත් අපට එළවා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඇමරිකානු සීඅයිඒ ඒජන්තයන් විදිහට මංගල සහ චම්පික මේ ගිවිසුමට පක්ෂ වීම තේරුම් ගන්න පුළුවන්. ඔවුන් හදන්න බෑ. ඔවුන් වැඩ කරන්නේ ඩොලර් කුට්ටි වලට. නොදන්නා කමට පක්ෂ වන අය ඉන්නවා නම් ඇමෙරිකාව සමග ඉඩම් ගිවිසුම් ගහලා පැනමාවට සහ මැඩගස්කරයට මොකද වුණේ කියලා සොයා බලන්න කියා අපි ඉල්ලා සිටිනවා.

ඒ අයනම් කියන්නෙ මේ ගිවිසුම පිළිබඳ අපි මවන්නේ බොරු බිල්ලෝලු. ජනපතිවරණයේ දී දේශපාලන වාසි ගන්න හදනවාලු. අපි ‘ස්ටොප් යූඑස්ඒ’ සංවිධානය ගොඩ නගලා මේ ගිවිසුමට විරුද්ධ වුණේ අවුරුද්දකට තරම් කලින්.

එතකොට මැතිවරණයක් තිබුණේ නෑ. හරි; අපි දේශපාලන වාසි ගන්න හදනවා කියමුකො. කිසිම දේශපාලන පක්ෂයක් එක්ක සම්බන්ධයක් නැති කිසිම දවසක දේශපාලනයට ඇවිත් නැති පූජනීය උඩුදුම්බර කස්සප හාමුදුරුවන් මාරාන්තික උපවාසයකට වාඩි වෙන්නේ ඇයි? මේ රටට ආදරය කරන කිසිම කෙනෙකුට මේ පාවා දීම ඉදිරියේ ඇස් කන් පියාගෙන බලා ඉන්න බැරි නිසා.

ඉදිරියේදී රටට ආදරය කරන හැමෝම පුජනීය උඩුදුම්බර කස්සප ස්වාමින්වහන්සේගේ පිටුපසින් සිටගෙන මේ ගිවිසුම අහෝසි කරන තෙක් සටන් කරාවි කියලා විශ්වාසය අපට තියෙනවා.

මංගල චම්පික ඇමතිවරුන් රෙදි ගලවා ගෙන ඇමෙරිකාවට කඩේ යමින් බොරු වපුරනවා. ඒ නිසා පාළු ගෙවල් වල වලං බිඳින්නේ නැතුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ මාත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියා මංගල සහ චම්පික ඇමතිවරුන්ට අභියෝග කරනවා.

බොරු හේතු ඉදිරිපත් නොකර අවංකවම මේ ගිවිසුමක් හොඳ යැයි ඔවුන් සිතනවා නම් ඔවුන් මේ විවාදයට පැමිණේ යැයි අප සිතනවා.”

+++++++++++++++++++++++++++++++++++

උපවාසය අත්හරින්නැයි ගෝඨාභයගෙන් කාශ්‍යප හිමිට ලිපියක්

(05.11.2019 – 21:25 +0530 – sinhala.adaderana.lk)

පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් අද (05) පෙරවරුවේ ආරම්භ කළ මාරාන්තික උපවාසය නතර කරන මෙන් ඉල්ලමින් ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් යවා තිබේ.

අත්සන් කිරීමට නියමිත අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කාශ්‍යප හිමියන් විසින් මෙම උපවාසය ආරම්භ ක‍ළේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන මොහොත දක්වා මෙම ආණ්ඩුව විසින් අත්සන් තබන ලද සියලුම ගිවිසුම් ජාතික ආරක්ෂාව, ස්වෛරීයභාවය සහ ජාතික අවශ්‍යතාවයන්ට යටත්ව නැවත සලකා බැලීමටත්, ජාතික උවමනාවන්වලට පටහැනි නම් ඒවා අහෝසි කිරීමට කටයුතු කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි :

මෙම උපවාසය අත්හරින ලෙස කාශ්‍යප හිමියන්ගෙන් තමා බැගෑපත්ව ඉල්ලා සිටින බවද එම ලිපියේ වැඩිදුරටත් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙන්වා දී ඇත.

මෙම ලිපිය අද (05) සවස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් උන්වහන්සේල පිළිගන්වනු ලැබීය.

එම දර්ශන මෙම වීඩියෝවේ දක්වා තිබේ.

අද (05) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත වැඩම කළ පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් සිය මාරාන්තික උපවාසය ආරම්භ කළේය.

කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ලෙස කටයුතු කරන පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් බුදු දහම ආරක්ෂා කිරීම සඳහා සුවි‍ශේෂි ශාසනික සේවාවන් රැසක් ඉටු කරමින් සිටින හිමිනමක්.

ආණ්ඩුවට පිටු 3 ක ලිපියක් යොමුකරන උන්වහන්සේ පවසන්නේ, එම්.සී.සී. ගිවිසුම හරහා මාතෘභූමිය විදෙස් රටකට පාවා දෙන අවස්ථාවේදී ඒ දෙස නිහඩව බලාසිටිමට තමන් වහන්සේට නොහැකි බැවින් මෙලෙස උපවාසයක් ආරම්භ කිරිමට තීරණය කළ බවයි.

එමෙන්ම මෙම ගිවිසුම අත්සන් නොකරන බවට ජනාධිපතිවරයාගෙන් හෝ අග්‍රාමාත්‍යවරයාගෙන් වූ ලිඛිත පොරොන්දුවක් ලැබෙන තෙක් සිය මාරාන්තික උපවාසය අඛණ්ඩව සිදුකරන බව ද කාශ්‍යප හිමියන් කියා සිටියි.

***************************************

ගෝඨා කඳවුර ගැන වියත්මගේ මහාචාර්ය චන්න ජයසුමන මහතා ගෙන් විවේචනයක්

(05.11.2019 – colombotoday.com)

අවුරුදු 4 ක් තිස්සේ යම් අපේක්ෂකයෙක් ඉදිරියට ගෙන එන්න කැපකිරීමක් කල බවත් ඔහුට නාමයෝජනා ලැබීමෙන් පසු දැන් තමාගේ වටිනාකමක් නැති බවත් ජනාධිපතිවරණයෙන් පසු දැනට තියෙන වටිනාකමත් නැති වෙතැයි තමන් විශ්වාස කරන බව ‘වියත්මග’ ප්‍රධාන කථිකයෙකු වන මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

225 ම එපා; දැන උගත් අලුත් පරපුරක් ඉදිරි මැතිවරණයේදී ඉදිරියට ගෙන ආ යුතු බව පැවසුවද දැන උගත් පරපුරට නාමයෝජනා ලැබෙතැයි තමා විශ්වාස නොකරන බව පැවසූ මහාචාර්යවරයා දැන් ඉන්න කට්ටියටවත් නාමයෝජනා දීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බව සඳහන් කර සිටියා.

ජනාධිපතිවරණය හේතුවෙන් කතා නොකර ඉන්න මාතෘකා කිහිපයක් තිබෙනවා. හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය, ෂාෆිගේ ක්‍රියාදාමය සහ ඒ හා බැදිච්ච තවත් කාරණා කිහිපයක් පිළිබඳව හිතා මතාම අඩුවෙන් කතා කරනවා. නැත්නම් කතා නොකර ඉන්නවා. එකක් තමයි කතා කලොත් කෝල් කරලා කියනවා කතා කරන්න එපා කියලා. අනික තමයි පස්සේ අපිට චෝදනාවක් එල්ලවෙන්න ඉඩ තියෙනවා අපි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කලා කියලා… අපේම කඳවුර ඇතුළෙන්ම. ඒ නිසා සමහර ඒවා අමරුවෙන් දරාගෙන ඉන්නවා.

මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියේ ඊයේ (04) කොළඹ පදනම් ආයතනයේදී පැවති පූජ්‍ය සංසුන්ගම ඤාණරතන හිමියන් විසින් රචිත ‘කදුළින් ලියැවුණ රටක අපේක්ෂා’ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

+++++++++++++++++++++

https://www.facebook.com/jayasumanachanna/videos/2556240108034051/
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *