බුද්ධිමත් ජනතාව බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැහැ – ගෝඨාභය රාජපක්ෂ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• බුද්ධිමත් ජනතාව බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැහැ – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• මඩේ පිපෙන නෙළුම ගැන ප්‍රසන්න රණතුංග කියයි (විඩියෝ)

• ගෝඨාගේ සහයට අදත් (11) විදෙස් ගත ශ්‍රමිකයින් 65 ක් දිවයිනට

• පෙළපොත් සම්බන්ධයෙන් හෙළි වු මුල්‍ය වංචා ගැන පරීක්ෂණයක් කරන්න

• ගෝඨා වැඩක් කරලා පෙන්නපු කෙනෙක් – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි (විඩියෝ)

• ජනපති සහ අමාත්‍ය මණ්ඩල සේවකයින් ස්ථිර කිරීමේ සුදානමක් – PAFFREL

• ඇමති කාර්ය මණ්ඩලය ස්ථිර කරන්නේ පරාජය දන්නා නිසයි – විමල් වීරවිංශ (විඩියෝ)

• උතුරු නැගෙනහිර දමිළ ජනතාවට සාධාරණය ඉටුකර දීමට විමල්ගෙන් දස වැදෑරුම් යෝජනාවලියක් (10-11-2019) (විඩියෝ)

• අන්තවාදයට එරෙහි උතුරු – නැගෙනහිර නව දමිළ නායකත්වය ගෝඨාභය දිනවන්න පෙරට එති (10-11-2019) (විඩියෝ)

• සරල පුතාණෝගේ ආර්යාවට අමාත්‍යාංශ වාහන දෙකක් (11-11-2019) (විඩියෝ)

• ගෝඨාගේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් එපා – ඩලස් අලහප්පෙරුම (විඩියෝ)

• නැගෙනහිර නවෝදයට යළි සුදානම් වෙන්න – බැසිල් රාජපක්ෂ

• යාපනයේ ගුවන් තොටුපලින් ගිය පළමු ගුවන් ගමන

• සුදුවෑන් ගැන කියන්න රාජිත සමග ආවේ නමගිය බැංකු කොල්ලකරුවෙක්

+++++++++++++++++++++++++++++++++++

බුද්ධිමත් ජනතාව බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැහැ – ගෝඨාභය රාජපක්ෂ

(11.11.2019 – 13:16 +0530 – sinhala.adaderana.lk)

තමන්ගේ විරුද්ධ පාර්ශ්වය එල්ල කරන මඩ අවලාදවලට ජනතාව නොරැවටෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ විරුද්ධ පක්ෂය පරාජය පිළිගැනීම හේතුවෙන් මෙලෙස තමන්ට එරෙහිව මඩ අවලාද ප්‍රචාරය කරන බවයි.

මෙම රැළිය අමතමින් උදය ගම්මන්පිල මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය පරාජයෙන් වියරු වැටී ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, මැතිවරණය අත ළඟ තිබිය දී විරුද්ධ පක්ෂය විසින් විශාල බොරු ප්‍රචාරයක් සිදු කරන බවයි.

තමා සෑම රැළියක දීම කථා කරනු ලැබුවේ, තමාගේ ප්‍රතිපත්ති ගැන පමණක් බව පැවසු ඒ මහතා, තමා මඩ ගහන සංස්කෘතිය වෙනස් කිරීමට උත්සහ දැරූ බවද පැවසීය.

නමුත් අවාසනාවකට විරුද්ධ පක්ෂය කවදාවත් නොකියු බොරු ප්‍රචාර සිදු කරමින් සිටින බවත් පැවසු ගෝඨාභය මහතා, අද සිටින ඡන්දදායකයා ඉතාමත් බුද්ධිමත් බව ද කියා සිටියේය.

ඔවුන් බොරුවලට රැවටෙන්නේ නැති බව තමා දන්නා කරුණක් බවත් කියා සිටි රාජපක්ෂ මහතා, අද වන විට පරාජය පිළිගත් විරුද්ධ පක්ෂය තමාට පුරවැසිභාවය ගැන බොරු ප්‍රචාර ගෙනියන බවත් පැවසීය.

ජනතාවට බුද්ධිමත්ව ක්‍රියාකරන ලෙසත් පැවසු ගෝඨාභය මහතා, කාන්තාවන් විශාල සංඛ්‍යාවක් අද දිනයේ ද රැළිය තුළ දක්නට ලැබෙන බවත්, තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඔවුන් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කර ඇති බවත් සඳහන් කළේය.

කාන්තාවන් සියලු දෙනා අද ඉල්ලා සිටින්නේ ‘අපේ රට බේරා දෙන්න’ යැයි පැවසු ඒ මහතා, ඒ අය ආරක්ෂාව වෙනුවෙන් විශාල අවධානයක් යොමු කරන අය බවද පැවසීය.

විශේෂයෙන් කාන්තා හිංසනය නැවැත්වීමට තමා කටයුතු කරන බවත්, ඔවුන්ට හිමි තැන ලබා දීමට තම රජයක් තුළ ක්‍රියා කරන බවත් ගෝඨාභය මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

10-11-2019

***************************************

මඩේ පිපෙන නෙළුම ගැන ප්‍රසන්න රණතුංග කියයි

(11.11.2019 – 14:18 +0530 – sinhala.adaderana.lk)

පරාජයෙන් වියරු වැටී සිටින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම ඇතැම් මාධ්‍යද, භාවිත කරමින් පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රිකයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුවේට් කාර්යාලය වවෘත කිරීමේ අවස්තාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මැතිවරණය සඳහා සිය මඩ ව්‍යාපාර ‍ගෙන ඒමට උත්සහ දරණ බවත් ඒ සඳහා මෙරට ජනතාව හොඳින් සූදානම් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මඩ පෝස්ටර් ගසනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිය අතට ගැනීමට ගම්වල සිටින ජනතාව සූදානමින් සිටින බව ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මාධ්‍යවේදීයෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේ පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය මහතාගේ විදේශ ගමන් බල පත්‍රය මේ වන විට ඇත්තේ අධිකරණයේ බවත් ඒ පිළිබඳව ප්‍රචාරය වන සියලුම තොරතුරු අසත්‍ය බවයි.

***************************************

ගෝඨාගේ සහයට අදත් (11) විදෙස් ගත ශ්‍රමිකයින් 65 ක් දිවයිනට

(11.11.2019 – 15:07 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා ඊයේ (10) මෙන්ම අදත් (11) විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් මෙරටට පැමිණියේය.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තම සහය පළකිරීමට කුවේට්හි සේවය කරන විදෙස් ගත ශ්‍රමිකයින් 65 දෙනෙකු අද (11) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

එහිදි කුවේට් සිට පැමිණි ශ්‍රීරන්ත ගුරුසිංහ මහතා පැවසුවේ සිය රැකියාවද නොතකා ඡන්දය භාවිතා කිරීම සඳහා මෙරටට පැමිණියේ රට රැකගැනීමට අවශ්‍ය නිසා බවයි.

ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙරටට පැමිණි බවයි.

එමෙන්ම කුවේට් සිට පැමිණි මාරි විලියම්ස් මහත්මිය පැවසුවේ ඉතිහාසයේ පළමු වතාවට දේශපාලන මැතිවරණයක් හේතුවෙන් විදේස්ගත ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

මේ අතර ඊයේත් (10) ස්පාඤ්ඤයේ සිට පිරිසක් මෙරටට පැමිණියේ.

එහිදි අදහස් දැක්වු ස්පාඤ්ඤයේ සිට පැමිණි ගයාන් කනිෂ්ක දහනායක මහතා පැවසුවේ සිය පියා සහ මුත්තණුවන් එක්සත් ජාතික පාක්ෂිකයන් වුවද මෙම අවස්ථාවේදි දේශපාලන පක්ෂ පාට නොතකා රට රැක ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය භාවිතා කිරීමට මව් රටට පැමිණි බවයි ෴

***************************************

පෙළපොත් සම්බන්ධයෙන් හෙළි වු මුල්‍ය වංචා ගැන පරීක්ෂණයක් කරන්න

(11.11.2019 – 14:31 +0530 – sinhala.adaderana.lk)

2018 විගණකාධිපති වාර්තාවෙන් 2019 වසරට අදාළ පෙළපොත් සම්බන්ධයෙන් කෝටි ගණනක මුදල් අවභාවිතා වී ඇති බව එළිදරව් වී තිබීම පිළිබඳව පරීක්ෂණයක් කර වගකිවයුත්තන්ට දඩුවම් කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව 2019 වසර සඳහා පාසල් පෙළපොත් මුද්‍රණයේ දී හා බෙදා හැරීමේදී කෝටි ගණනක මුදල් අවභාවිතා කර ඇති බව 2018 විගණකාධිපති වාර්තාවෙන් පැහැදිලිව පෙන්වා දී ඇති බව ඔවුන් නිවේදනයක නිකුත් කරමින් පවසයි.

එම වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩල ප‍්‍රසම්පාදන කමිටුවේ අවසරයකින් තොරව අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් 2019 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 3,499.25 ක් වටිනා පොත් වර්ග 419 ක පිටපත් 39,714,000 ක් රාජ්‍ය ආයතන දෙකකින් හා පෞද්ගලික මුද්‍රණකරුවන් 27 දෙනෙකුගෙන් මුද්‍රණය කරවාගෙන ඇත.

ප‍්‍රසම්පාදන කමිටුවේ අවසරයකින් තොරව මුද්‍රණ කරුවන්හට පෙළපොත් මුද්‍රණ වගකීම පැවරීම විගණනයෙන් අනාවරණය වී ඇති තත්ත්වය තුළ ඒ පිළිබඳව වහා පරීක්ෂණයක් කළ යුතුය.

අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයාගේ අභ්‍යන්තර චක‍්‍රලේඛ 9/2014 හි 9 වන ජේදයට අනුව පෙළ පොත් බෙදාහැරීම සම්බන්ධයෙන් ගබඩාවල පෙළපොත් තබාගත නොහැකි අතර, අත්‍යවශ්‍ය පෙළපොත් අවශ්‍යතාවය නිවැරදිව ගණනය කර පාසල් විසින් කරනු ලබන ඉල්ලුම අනුව ලබාදිය යුතුය.

එහෙත් කොළඹ ප‍්‍රදේශයේ පාසල් 11 කට අවශ්‍යතාවය ඉක්මවා පෙළපොත් 10,545 ක් දෙපාර්තමේන්තුව විසින් වැඩිපුර නිකුත් කර ඇති බව ද එම විගණකාධිපති වාර්තාව පෙන්වා දෙයි.

එසේම 2018 වර්ෂයේදී බෙදාහැරීම සඳහා නව විෂය නිර්දේශය යටතේ මුද්‍රණය කළ 3 ශ්‍රේණිය ඉංගීසි වැඩ පොත, ඉංගී‍්‍රසි ලිවීම් පොත සහ ඉංගී‍්‍රසි පෙළ පොත යන පොත් තුනම දෝෂ සහිතවීම නිසා 2019 වර්ෂයේදී නැවත වරක් මුද්‍රණය කිරීම හේතුවෙන් 2018 වර්ෂයේ අවශ්‍යතාවයට වඩා වැඩිපුර රුපියල් මිලියන 5.72 ක් විටිනා පොත් 27,275 ක් සිසුන්ගේ භාවිතයකින් තොරව ඉවත් කර තිබූ බව ද විගණකාධිපති වාර්තාව සඳහන් කරයි.

2017 වර්ෂයේදී 2018 වර්ෂය වෙනුවෙන් මුද්‍රණය කළ පොත් වර්ග 106 ක දීප්තිය වෙනස්වීම හේතුවෙන් රුපියල් මිලියන 6.13 ක දඩ මුදලක් අය කර තිබුණද 2019 වර්ෂය වෙනුවෙන් 2018 වර්ෂයේදී මුද්‍රණය කරන ලද පොත්වල පිටකවර හා ඇතුළත කඩදාසි දෙපාර්තමේන්තුව නියම කළ පිරිවිතරට අනුව පැවතීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් කර නොමැති බවද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.

මේ ආකාරයට මුද්‍රණකරුවන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම දුෂිත තත්ත්වයකි.

වාර්ෂික පොත් අවශ්‍යතාවය නිවැරදිව හඳුනා නොගැනීම නිසා අතිරික්ත පොත් තොග ඉහළ යාම මෙන්ම එම පොත් ගබඩා කිරීමේ දුර්වලතා හේතුවෙන් 2016, 2017 හා 2018 වර්ෂවල පෙළ පොත් හා ගුරු අත්පොත් හා අතිරේක කියවීම් පොත් 1,190,691 ක් ප‍්‍රමාණයක් අපහරණය වී ඇති බවද 2018 විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.

මේ අනුව පැහැදිලි වන්නේ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තු පෙළපොත් මුද්‍රණයේදී කෝටි ගණනින් මුදල් අවභාවිතා වීමට ඉඩ හැර ඇති බවයි.

මෙම තත්ත්වය ඇති වී ඇත්තේ 2019 වසරට අදාළව නිසිලෙස පෙළ පොත් බෙදී නොමැති තත්ත්වයකය.

මේ පිළිබඳව වහා විධිමත් පරීක්ෂණයක් සිදු කර වගකිව යුත්තන් සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගත යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි ෴

***************************************

ගෝඨා වැඩක් කරලා පෙන්නපු කෙනෙක් – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

(11.11.2019 – 13:29 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩක් කරලා පෙන්නපු පුද්ගලයෙකු බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි.

ගාල්ල ප්‍රදේශයේදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මේ බව සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති කිසිඳු ජනාධිපතිධුර අපේක්ෂකයෙක් රටට දැනෙන වැඩක් කර පෙන්වූ පුද්ගලයින් නොවන බව බෙංගමුවේ නාලක හිමියන් මෙහිදී අවධාරණය කළේය.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ මණ්ඩලයේ සිටියද, රට වෙනුවෙන් යමක් සිදු නොකළ බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මණ්ඩලයේ සිටින කලය තුළ ලබා දුන් නිවාස සියල්ල ලබා දී ඇත්තේ ණයට බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

***************************************

ජනපති සහ අමාත්‍ය මණ්ඩල සේවකයින් ස්ථිර කිරීමේ සුදානමක් – PAFFREL

(11.11.2019 – 13:05 +0530 – sinhala.adaderana.lk)

ජනපති සහ අමාත්‍යමණ්ඩල සේවකයින් ස්ථිර කිරීමට කටයුතු කරමින් සිටින බවට දන්වමින් පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපිය යොමුකර ඇත.

වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණඩල ස්ථිර කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වී ඇති බව එම ලිපියේ සඳහන් කර තිබේ.

සාමාන්‍යයෙන් මෙතෙක් පැවති සම්ප්‍රදාය වූයේ ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණඩලය, කාර්ය මණ්ඩල එම රජය විසිරවූ පසු ඔවුන්ගේ සේවය අත්හිටුවීම හෝ ඔවුන් පෙර සිටි සේවා ස්ථානවලට අනුයුක්ත කිරීම බවද එම සංවිදානය පෙන්වා දෙයි.

එමෙන්ම මෙම කාර්ය මණ්ඩල පත් කිරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන්නේ දේශපාලන ලැදියාවන් සහ දේශපාලනඥයින් ඔවුන් කෙරෙහි පවතින විශ්වාසය බවද එම සංවිධාන පවසයි.

ඒ අනුව එවැනි පදනමක් සහිතව තෝරා පත්කර ගන්නා පිරිසක් දේශපාලන බලය පාවිච්චි කරමින් ස්ථිර කිරීම සම්ප්‍රදායට පටහැනි වන අතර මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බව එම ලිපියෙන් දන්වා තිබේ.

එබැවින් මේ පිළිබදව කොමිෂන් සභාවේ අවධානය යොමු කර මෙම ස්ථිර කිරීම් නැවැත්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිෂණ් සභාවෙන් ඉල්ලා සිටියි ෴

+++++++++++++++++++++

ඇමති කාර්ය මණ්ඩලය ස්ථිර කරන්නේ පරාජය දන්නා නිසයි – විමල් වීරවිංශ

(11.11.2019 – 13:19 +0530 – lankaleadnews.com)

ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල වල ඉන්න සාමාජිකයන් ස්ථිර කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් පරාජය වෙන බව දන්නා නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පවසයි.

අද (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය. එසේම ඉදිරියේදී ත්‍රස්තවාදී සහරාන්ගේ බිරිඳ සම්බන්ධ කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමටද ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඔහු මෙහිදී පැවැසීය.

“සජිත්ගේ අවසන් මැතිවරණ ප්‍රචාරක සතිය මඩ සතියක් කරගෙන තිබෙනවා. එක් පුද්ගලයෙක් කියනවා සුදුවෑන් එකෙන් පුද්ගලයින් අතුරුදහන් කළා කියලා. එහෙම කියන පුද්ගලයාව ගෙනවිත් පොලිසියෙන් ප්‍රකාශයක් ගන්නේ නැතුව මාධ්‍ය සාකච්ඡා තියලා රාජිත සේනාරත්න ඇමතිවරයාගේ වාහනයේම එක්කගෙන යනවා. විසුම් පාය කියන්නේ මඩ මන්දිරයක්.

ඒ වගේම සහරාන්ගේ බිරිය මාධ්‍ය සාකච්ඡාවක් තියලා බැසිල් රාජපක්ෂ මහතා සහ ගොඨාභය රාජපක්ෂ මහතා සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව කියන්න නියමිත බව ආරංචි වෙනවා. ඇයටත් විශාල මුදලක් ගෙවලා ඇති. මේ මාධ්‍ය සාකච්ඡාව තියවන්න ලැහැස්ති වෙන්නේ මංගල සමරවීර මහතා නිසා අපිට භයවෙන්න දෙයක් නැහැ.”

+++++++++++++++++++++++++++++++++++

උතුරු නැගෙනහිර දමිළ ජනතාවට සාධාරණය ඉටුකර දීමට විමල්ගෙන් දස වැදෑරුම් යෝජනාවලියක් (10-11-2019)

අන්තවාදයට එරෙහි උතුරු – නැගෙනහිර නව දමිළ නායකත්වය ගෝඨාභය දිනවන්න පෙරට එති (10-11-2019)

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සරල පුතාණෝගේ ආර්යාවට අමාත්‍යාංශ වාහන දෙකක් (11-11-2019)

***************************************

ගෝඨාගේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් එපා – ඩලස් අලහප්පෙරුම

(11.11.2019 – 12:05 +0530 – sinhala.adaderana.lk)

දිස්ත්‍රික්ක 22 න් 16 ක් ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට බුද්ධි අංශ වාර්තා ලැබී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ මාතරදී ඊයේ (10) පැවති ජනහමුවකදීයී.

බුද්ධි සේවාවන් විසින් දින පහකට පෙර රාජ්‍ය නායකයින්ට වාර්තාවක් ලබා දුන් බවත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පැවසීය.

එහි ඇති පරිච්ජේද 3 ක් ගැන තමා ඉතා වගකීමෙන් පවසන බවත් කියා සිටි ඒ මහතා, එහි පළමු පරිච්ජේදයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 16 ක ජය ගෝඨාභය මහතා සතු බව පෙන්වා දී ඇති බවයි.

ජනවාරි 8 වන දා මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපතිවරයා වුයේ ලංකාවේ දිස්‍ත්‍රික්ක 22 න් 11 ක් ජය ලබා ගෙන බවත් පැවසු ඒ මහතා, දෙවන පරිච්ජේදයේ ගෝඨාභය මහතා ජයග්‍රහණය කරන මැතිවරණ දිස්ත්‍රික්ක 13 ක එකදු මැතිවරණ කොට්ඨාශයක හෝ ජයක් සජිත් ප්‍රේමදාස මහතාට හිමි නොවන බවත් පැවසීය.

එමෙන්ම තුන් වන පරිච්ජේදයේ මැතිවරණ කොට්ඨාශ 160 න් අනිවාර්යයෙන්ම 119 ක් ගෝඨාභය මහතා ජයග්‍රහණය කරන බවත්, ඊට අමතරව කොට්ඨාශ 9 ක කරට කර සටනක් ඇති බවත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරනු ලැබුවේ මෙම කොට්ඨාශ 160 න් 72 ක් පමණක් ජය ගෙන බවත් පැවසු ඒ මහතා, ඒ නිසා ගෝඨාභයගේ ජයග්‍රහණය ගැන කිසිවෙකු සැකයක් තබා ගත යුතු නොවන බවත් පැවසීය.

***************************************

නැගෙනහිර නවෝදයට යළි සුදානම් වෙන්න – බැසිල් රාජපක්ෂ

(11.11.2019 – 11:39 +0530 – sinhala.adaderana.lk)

මෙරට 2005 සිට පැවැති ජනාධිපතිවරණ හතරටම වඩා , මෙවර ජනාධිපතිවරණයේ දී නැගෙනහිර ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණයකර වීමට පෙරමුණ ගෙන ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මඩකලපුවේ මියානිනගර් තන්න මුනායිහිමියානි ශාලාවේ ඊයේ (10) පැවැති දේශපාලන සම්මන්ත‍්‍රණයකදී ඒ මහතා මෙලෙස පැවසීය.

මෙම සම්මන්ත‍්‍රණයේ දී දෙමළ ජාතික සංධානයේ ප‍්‍රබලයින් රැසක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමද විශේෂත්වයකි.

ඒ අතර පෝරතිව් කිරි ගොවි සංවිධානයේ උපසභාපති ටි. ජයරත්නම් ඇතුළු එහි සාමාජිකයින් තිස්දෙනෙකු හා මඩකලපුවේ හිටපු එජාප නාගරික මන්ත‍්‍රී මයිකල් පද්මනාදන් හා දෙමළ ජාතික සංධානයේ ප‍්‍රාදේශිය ක‍්‍රියාකාරිකයින් හතලිස් දෙනෙකුද වූහ.

ඉකුත් සිව් වසර තුළ යහපාලන රජයේ ක‍්‍රියාකලාපය තුල නැගෙනහිර ජනතාව අන්ත අසරණව සිටින බව පෙන්වාදුන් බැසිල් රාජපක්ෂ මහතා ඒ ගැන තැකීමක් නොකර, නැගෙනහිර මුස්ලිම් හා දෙමළ නායකයින් තම තමන්ගේ වාසියට රජයේ යෝජනාවලට අත ඔසවන බවද කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය :

“නැගෙනහිර පළාතේ ජිවත් වන දමිල ජනතාවගේ රැකියා ප‍්‍රශ්නය, උපාධිධාරින්ගේ ප‍්‍රශ්නය, ධීවරයින්ගේ වගේම ගොවියන්ගේ ප‍්‍රශ්න විසදීමට දමිල ජාතික සන්ධානය උත්සාහ නොකරන බව තේරුම් ගත් වියලේන්ද්‍රන් මහතා නව පක්ෂයක් පිහිටුවා ගෙන තිබෙනවා.

වැඩකරන්න දක්ෂයෙක් වන එතුමාට 16 වැනිදායින් පසුව බිහිවන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජය මගින් නැගෙනහිරන වෝදයේ නායකත්ව වගකිම හිමිවෙනවා. දේශපාලන වශයෙන් බැරෑරුම් තීන්දුවක් ගත් එතුමා සමඟ විශාල පිරිසක් සිටීම ගැන අපි සතුටු වෙනවා.

මෙතැනට පැමිණියාට පසුව කණගාටුවක් වගේම සතුටකුත් දැනුනා. 2009 ට පෙර තිබුණු නැගෙනහිර අපිට මතකයි. නැගෙනහිර නවෝදය යටතේමේ ප‍්‍රදේශයට විශාල සේවයක් කරන්න අපිට හැකිවීමනිසයි අපි සතුටු වෙන්නේ.

නැගෙනහිර පාලම්, ගොවියාට අවශ්‍ය ජලය, වෙළෙදපොල, මාර්ග අපි සකසාදුන්නා. තරුණ තරුණියන්ට අපි රැකියා උත්පාදනය කළා. බිමට ජලය දෙන්නත් අපි අවශ්‍ය කටයුතු කරමින් තිබුණා.

සුනාමියෙන් හානිවූ දේපල නැවත සකස් කළා. නමුත් 2005 ජනවාරි 08 වැනිදා වෙනසක් මගින් ඊට වැඩිය වේගයෙන් සංවර්ධනය කිරීමේ උත්සාහයක ඔබ නිරත වුනත් පසුව මොකක්ද වුනේ. ගොවියා අසරණවුනා. වාරිජලය නැතිවුනා. කිසිදු වාරිමාර්ග යෝජනා ක‍්‍රමයක් දියත් වුනේ නැහැ.

පවතින වාරිමාර්ග යෝජනා නඩත්තු කලේ නැහැ. කළට වෙලාවට අවශ්‍ය බිජ ලැබුනේ නැහැ. වෙහෙස වෙලා නිපදවන නිෂ්පාදනවලට හොඳ මිලක් ලැබුනේ නැහැ. ධිවරයාටත් ඒ ටිකමයි. දෙමව්පියන්ගේ කණකර උකස් තියලා උපාධීය ගත්තත් රැකියා නැහැ.

අපි රැකියා සඳහා බ‍්‍රැන්ඩික්ස් එක හැදුවා. මේ අය මහබැංකුව හොරකම්කරලා ගත්ත මුදල් වලින් ජනතාවට බොන්න දෙන්න තැනක් හදනවා.

සංවර්ධනයකරමින් තිබූ මාර්ග ඇණහිටියා. මාර්ග නඩත්තුව නතරවුනා. අපි පාලම් හදන්න තියපු මුල් ගල් පැලවෙනවා. මඩකලපුවට බීමට ජලයදී මේ යෝජනා ක‍්‍රම කීහිපයක් අපි ඇරඹුවත් දැන් ඒ දේවල් නතර වෙලා.

මෙහේ ඉන්න මන්තී‍්‍රවරු කෝ. ඒ අය අයවැයට ගිහින් ආන්ඩුවට පක්ෂව අත ඔසවන එක විතරයි කරන්නේ. මේ ප‍්‍රදේශයේ ජනතාව ලබා ගත්ත එක දෙයක් කියන්න. ඒදේ බලන් ඉන්න බැරි නිසයි වියලේන්ද්‍රන් මන්ත‍්‍රීතුමා ඊට විරුද්ධව ජනතාව ළගට ආවේ.

අපි වියලේන්ද්‍ර‍්‍රන් මන්තී‍්‍රවරයා ආරක්ෂාකර ගත යුතුයි. එතුමා ගෙන් උගත් තරුණ තරුණියෝ ඒ මහතා ගිය අඩි පාරේ යන්න අවශ්‍යයි. ඔබට උගත් නායකයෙක් හිමිවෙලා තිබෙනවා.

ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න. 16 වැනිදා උදේ පාන්දර ඡන්දපොලට ගිහින් පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්කර ගන්න.

අපිට නැගෙනහිර තවත් පක්ෂ නායකයෝ ගණනාවක් ඉන්නවා. මම හතර වෙනි ජනාධිපතිවරණයටයි මේ සම්බන්ධ වෙන්නේ. නැගෙනහිර මේතරම් සහයෝගයක් ඒ කිසිදු මැතිවරණයකදි අපිට ලැබුනේනැහැ. පළමු වතාවට නැගෙනහිර පළාත පොහොට්ටුව ජය ගන්නබව ස්ථිරයි ෴

***************************************

යාපනයේ ගුවන් තොටුපලින් ගිය පළමු ගුවන් ගමන

(11.11.2019 – 14:18 +0530 – sinhala.adaderana.lk)

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට චෙන්නායි බලා යන පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද (11) ආරම්භ විය.

ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා එයාර් ඉන්දියා ඒඑල් 9 102 මගී ගුවන් යානයෙන් පියාසර කර තිබේ.

ආණ්ඩුකාරවරයා කියා සිටියේ, මෙම නව ගුවන්තොටුපළ දෙරට අතර නව සබඳතා මෙන්ම වෙළඳ සබඳතා ඇති කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි ෴

+++++++++++++++++++++

යාපනයේ ගුවන් තොටුපොළේ ගුවන් ගමන් අද ආරම්භ වේ – ඉන්දියාවට යන්න රු. 12,990 යි

(11.11.2019 – 11:03 +0530 – lankaleadnews.com)

මෙරට ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති කරමින් පසුගිය ඔක්තෝම්බර් මස 17 වෙනිදා විවෘත කරනු ලැබූ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපපළේ ගුවන් ගමන් සේවා අද (11) සිට සිවිල් ජනතාව වෙනුවෙන් ආරම්භ කරන බව ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කර සිටි.

ගුවන් තොටුපල නිලධාරීන් සඳහන් කර සිටියේ සතියට දින තුනක් ගුවන් ගමන් සේවාවන් සිදුකිරීමට නියමිත අතර සඳුදා, බදාදා, සහ සෙනසුරාදා යන දිනයන් හිදී ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක වන බවයි.

‍ඉන්දියාවේ චෙන්නායි සිට උදැසන 10:35 ගුවන් යානාය යාපනය බලා පිටත්වීමට නියමිත අතර, නැවත අදාළ ගුවන් යානය යාපනය සිට සවස 02:10 ට චෙන්නායි දක්වා ගමන් කිරීමට සුදානම් කොට ඇති බවද ගුවන් තොටුපොළ නිළධාරීන් ප්‍රකාශ කර සිටියේය.

යාපනය සිට චෙන්නායි දක්වා එක් ගුවන් ගමන් සේවාවක් වෙනුවෙන් රුපියල් 12,990 ක් අය කිරීමට නියමිත බවද ගුවන් තොටුපොළ නිළධාරීන් සඳහන් කර සිටි ෴

***************************************

සුදුවෑන් ගැන කියන්න රාජිත සමග ආවේ නමගිය බැංකු කොල්ලකරුවෙක්

(11.11.2019 – thecolomboexpress.com)

සුදු වෑන් රථයකින් තමාව පැහැරගත් බව කියමින් ඇමති රාජිත සේනාරත්න මහතා සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙක් බවත් මංකොල්කෑම් රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු විභාගයන් පවා පැවැත්වෙන බවත් ඉහළ පොලිස් නිලධාරියෙක් අනාවරණය කළේය.

නමගිය බැංකු කොල්ලකරු
මාධ්‍ය හමුවට සහභාගි වූ අනෙක් පුද්ගලයා

සුදු වෑන් රථයකින් කිසිදු අවස්ථාවක මේ පුද්ගලයා පැහැර ගැනීමකට ලක්ව නැති බවත් ඒ සම්බන්ධයෙන් ඔහු කිසිදු පැමිණිල්ලක් මෙතෙක් පොලීසියකට කර නැති බවත් එම නිලධාරියා කීය.

වසර කිහිපයකට පෙර සිය දියණියගේ විවහා මංගල්‍ය උත්සවය වෙනුවෙන් සමාගම් කළමනාකරුවෙක් බැංකුවෙන් ලබාගත් රුපියල් ලක්ෂ 75 ක මුදලක් රැගෙන යමින් සිටියදී ජා–ඇලදී එම මුදල් කොල්ලකෑමට පවා මෙම පුද්ගලයා සම්බන්ධව සිටි බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පවා ඔහු ලක්වුණු බවත් එම නිලධාරියා කීය. එම මංකොල්ලය නිසාම දියණියගේ විවහා මංගල්‍ය පැවැත්වීමට නොහැකිවූ අතර එම සමාගම් කළමනාකාරු කොල්ලයෙන් දින කිහිපයකට පසු හෘද රෝගයක් වැලදී මිය ගියේය.

2013 වසරේදී මෙම පුද්ගලයා තවත් අයෙක් සමග එක්ව මෝදර ප්‍රදේශයේ බැංකුවකින් කාන්තාවක් රැගෙන යමින් සිටි මුදල් කොල්ලකෑමට උත්සහ ගෙන තිබුණි.

එම අවස්ථාවේදී කාන්තාව මුදල් බෑගය රැක ගැනීමට එක් කොල්ලකරුවෙක් සමග පොරබදා ඇති අතර එහිදී ප්‍රවෘත්ති සාකච්ඡාවේ සිටි පුද්ගලයා සිය සගයා බේරා ගැනීමට කාන්තාවට තැබූ වෙඩිල්ලෙන් සගයාම මරුමුවට පත්වූ බවද එම පොලිස් නිලධාරියා කීය. රටපුරාම මෙවන් කොල්ලකෑම්වල නිරතව සිටි මේ පුද්ගලයා රුපියල් කෝටි තුනහාමාරක රත්තරන් කොල්ලයකට සම්බන්ධ වූවෙක් බවද එම නිලධාරියා කීය. ඔහු විසින් කළ මේ සෑම කොල්ලකෑමක් සම්බන්ධයෙන්ම පොලිස් වාර්තා තිබෙන බවද එම නිලධාරියා සදහන් කළේය.

මෙවන් සංවිධානාත්මක කොල්ලකරුවෙකු මෙන්ම තක්කඩියෙකු තමන් ළඟ තබාගෙන ඇමතිවරයෙකු කළ බොරුව සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම පිළිකුලෙන් හෙළා දකින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසුවේය.

– දම්පත් රණසිංහ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *