රාජිතගේ සුදු වෑන් මාධ්‍ය හමුව ගැන, පොලීසියේ අවධානය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රාජිතගේ සුදු වෑන් මාධ්‍ය හමුව ගැන, පොලීසියේ අවධානය

• ගෝඨාභයට එරෙහි තවත් මඩ පත්‍රිකා තොගයක්, රුවන්වැල්ලෙන් සොයා ගැනේ – හර්ෂගේ ලේකම් ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

• බෙන්තොට ෆේස්බුක් සාදයකදී 21 දෙනෙකු අත්අඩංගුවට

• දරුපල අහිමි පවුල් වෙනුවෙන් රජයේ රෝහල්වලට නවීන තාක්ෂණය – මහින්ද රාජපක්ෂ

• විමල් වීරවංශ ගෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• විපක්ෂ නායකවරයා ජනතාව ගැන විශ්වාසයෙන් (විඩියෝ)

• MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් (විඩියෝ)

• කසල කළමණාකරණය කිරීමේ නව තාක්ෂනික ක්‍රමවේද හඳුන්වා දෙන බව ගෝඨාභය කියයි (විඩියෝ)

• ජනපති-ඇමැති පෞද්ගලික කාර්යමණ්ඩල ස්ථිර කරන කැබිනට් පත්‍රිකා ඉවත් කරගනී

• ආර්ථිකය පණගන්වා ව්‍යාපාරිකයින් දිරි ගන්වනවා – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

රාජිතගේ සුදු වෑන් මාධ්‍ය හමුව ගැන, පොලීසියේ අවධානය

(11.11.2019 – 19:24 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඊයේ (10) කැදවා තිබූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අමාත්‍යවරයා සහ ඊට සහභාගි වූ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිංහලේ සංවිධානය අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කළා.

එමෙන්ම, කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ ලේකම්වරයෙකු විසින් ඊයේ (10) මිරිහාන ප්‍රදේශයේ බෙදා හරිමින් සිටි මඩ පත්‍රිකා සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකරන ලෙසට ද එම සංවිධානය පැමිණිලි කර තිබෙනවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සදහන් කළේ අපරාධයකට සම්බන්ධ පුද්ගලයින් පිළිබදව තොරතුරු පැවතියත් ඒ පිළිබදව දැනුම් නොදීම සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගත යුතු බවයි.

එමෙන්ම සුදු වෑන් රථයේ රියදුරු යැයි සැලකෙන පුද්ගලයා සහ අනෙක් පුද්ගලයා ද අපරාධයකට සම්බන්ධ බැවින් ඔවුන් ද අත්අඩංගුවට ගත යුතු බවයි උන්වහන්සේ සදහන් කළේ.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුව පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

***************************************

ගෝඨාභයට එරෙහි තවත් මඩ පත්‍රිකා තොගයක්, රුවන්වැල්ලෙන් සොයා ගැනේ – හර්ෂගේ ලේකම් ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

(11.11.2019 – 19:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මුද්‍රණය කළ තවත් මඩ පත්‍රිකා තොගයක් අද (11) රුවන්වැල්ල – මාගම්මන ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම මඩ පත්‍රිකා තොගය මාගම්මන ප්‍රදේශයේ බෙදා හරින බවටලද තොරතුරකට අනුව ඒවා සොයා ගත් බවයි. දැනට ඒවා පොලිස් භාරයට ගෙන විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මිරිහාන ප්‍රදේශයේ මඩ පත්‍රිකා බෙදා හරිමින් සිටියදී අත්අඩංගුවට ගත් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ ලේකම්වරයා ඇතුළු දෙදෙනා මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ මිරිහාන – ඇලෝතියාව පාර ප්‍රදේශයේ පදිංචි සිරිල් ප්‍රනාන්දු නැමැති 60 හැවිරිදි පුද්ගලයෙකු සහ නුගේගොඩ – දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි ජයන්ත හේමසිරි නැමැත්තෙක් ෴

***************************************

බෙන්තොට ෆේස්බුක් සාදයකදී 21 දෙනෙකු අත්අඩංගුවට

(11.11.2019 – 14:16 +0530 – hirunews.lk/sinhala)

බෙන්තොට – කහල්ල ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් විසි එක්දෙනෙකු (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබී මත්පෙති, ගංජා, හෙරොයින් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් 21 දෙනා අතර මත්පෙති සන්තකයේ තබාගෙන සිටි 13 දෙනෙකු සහ ගංජා සන්තකයේ තබාගෙන සිටි පස්දෙනෙකු ද වනවා.

කහල්ල ප්‍රදේශයේ බෙන්තොට ගඟ ආසන්නයේ මෙම සාදය පවත්වා තිබූ අතර, එය සංවිධාන කළ පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබුවා ෴

***************************************

දරුපල අහිමි පවුල් වෙනුවෙන් රජයේ රෝහල්වලට නවීන තාක්ෂණය – මහින්ද රාජපක්ෂ

(11.11.2019 – 21:51 +0530 – sinhala.adaderana.lk)

දරුවන් නොමැතිව ළතැවෙන පවුල් සඳහා නවීන තාක්ෂනික ක්‍රම අනුව නල දරුවන් ලබා ගැනීමේ තාක්ෂණය රජයේ රෝහල් වලට ලබා දීමට පියවර ගන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (11) හලාවත පැවැති ජනහමුව අමතමිනි.

ස්භාවික හෝ විවිධ පාරිසරික තත්ත්වයන් හේතුවෙන සමාජයේ දරුපල නොමැති පවුල් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ.

ඇති හැකි අය විදේශ රටවලට ගොස් හෝ නල තාක්ෂණය ඔස්සේ තමන්ගේම දරුවෙක් හිමිකර ගන්නා නමුත් නැතිබැරි බොහෝ පිරිස් දරුවන් නොමැතිව ලතැවෙන බවද ඒ මහතා පැවසීය.

නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ තමන්ගේම දරුවකුගේ සුරතල් බැලීමේ හැකියාව තිබියදිත් නැතිබැරිකම හේතුවෙන් දරු සුරතල් බැලීමේ හැකියාව අහිමිව පීඩා විදින්නේ නම් රජයක් වශයෙන් ඔවුන් වෙනුවෙන් පහසුකම් සැපයිය යුතුව ඇතැයි ඒ මහතා පැවසීය.

ඒ අනුව නව රජයක් බලයට පත්වීමෙන් පසුව නල දරු උපත් තාක්ෂණය රජයේ රෝහල්වලට හදුන්වාදී, රෝහල් කාර්ය මණ්ඩල දැනුම්වත් කිරීම්ද සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය ෴

***************************************

විමල් වීරවංශ ගෙන් හෙළිදරව්වක්

(11.11.2019 – 21:11 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය දරා ගත නොහැකි සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය ඉදිරියේදී පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ප්‍රහාරයක් එල්ල කොට එහි වගකීම තමන් පිට පැවරීමේ උත්සාහයක නිරත වන බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ඊට ඩලස් අලහප්පෙරුම මහතාද එක්වුණා.

මේ අතර මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

***************************************

විපක්ෂ නායකවරයා ජනතාව ගැන විශ්වාසයෙන්

(11.11.2019 – 21:07 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරි කාලය තුල ප්‍රතිවාදින් කුමන අසත්‍ය චෝදනා එල්ල කලද ජනතාව බුද්ධිමත්ව තීරණ ගනුඇතැයි තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අනුරාධපුරයේ පැවති ආගමික වැඩසටහන් කිහිපයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් අටමස්ථානාධිපති අචාර්ය පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

විපක්ෂ නායකවරයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේ ඉන් අනතුරුවයි.

රුවන්වැලි මහා සෑ විහාරාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් රාජපක්ෂ මහතා රුවන්වැලි සෑරදුන් වැඳ ආගමික වතාවත් වල නිරතවුණා.

අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මිරිසවැටි විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥාණතිලක නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

පසුව ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන වෙත පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශාස්ත්‍රපති විශ්‍රාමික පිරිවෙන් පරිවෙනාධිපති පූජ්‍ය අටබාගේ විමලඤාණ නාහිමියන් හා පාලන පිරිවෙනාධිපති පූජ්‍ය උඩගම්පල ඤාණාලෝක නාහිමියන් බැහැදැක අගමික වතාවත්වල නිරතවුණා.

මෙහිදී විපක්ෂ නායකවරයාහට ජය පිරිත් සජ්ජායනා කර ආශිර්වාද සිදුකරන ලැබුවා.

ඉන් අනතුරුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

***************************************

MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

(11.11.2019 – 21:01 +0530 – hirunews.lk/sinhala)

එම්.සී.සී. හෙවත් ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුමට අත්සන් තැබීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරුවරයා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

අදාළ පෙත්සම් ලබන 13 වැනිදා සලකා බැලීමට නියමිතයි.

එම්.සී.සී. හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සඳහා රජය අත්සන් තැබීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ශ්ව 3 ක් පෙත්සම් ගොනු කර තිබුණා.

ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතීඥ දර්ශන වේරදූවගේ මහතා සහ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින්.

පෙත්සම්කරුවන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබුණේ එම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරන ලෙසයි.

ඒ අනුව අගවිනිසුරුවරයා විසින් නම් කරනු ලැබූ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිත්වයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නම් කර තිබෙනවා.

විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වන්නේ එල්.ටී.බී. දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක්.

පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබුණේ එම්.සී.සී. ගිවිසුම යටතේ ශ්‍රී ලංකා රජය අමෙරිකානු රජය සමඟ හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුමකට, අත්පත් කරගැනීම සහ අන්තර් සේවා සැපයීමේ ගිවිසුමකට සහ සහශ්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කිහිපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවට ඉකුත් 30 වැනිදා පළ වූ මාධ්‍ය වාර්තා මගින් දැනගත් බවයි.

පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගේ කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරිමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක් සිදුවිය හැකි බවත් එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එම ගිවිසුම්වලට අත්සන් තැබීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණා.

ලබන 13 වැනිදා මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතයි.

මේ අතර එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් අදත් විවිධ ස්ථානවලදී අදහස් පළ වුණා.

***************************************

කසල කළමණාකරණය කිරීමේ නව තාක්ෂනික ක්‍රමවේද හඳුන්වා දෙන බව ගෝඨාභය කියයි

(11.11.2019 – 23:04 +0530 – sinhala.adaderana.lk)

කසල ප්‍රශ්නය තව දුරටත් රටට ප්‍රශ්නයක් නොවන ආකාරයේ විසඳුමක් ලබාදීමට සියලූ කටයුතු සුදානම්කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (11) පුත්තලමේ පැවැති ජන රැළියකට එක්වෙමිනි.

කසල කළමණාකරණය කිරීමේ නව තාක්ෂනික ක්‍රමවේද පිළිබදව පසුගිය කාලයේදි අධ්‍යයනය කිරිමටත්, කසල කළමණාකරණය කරන ආකාරය නැරඹිමටත් තමන්ට අවස්ථාව ලැබුණු බව සදහන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා කසල හේතුවෙන් පුත්තලමේ ජනතාව පත්ව සිටින අපහසුතාවය අවසන් කරන බවද පැවසිය.

***************************************

ජනපති-ඇමැති පෞද්ගලික කාර්යමණ්ඩල ස්ථිර කරන කැබිනට් පත්‍රිකා ඉවත් කරගනී

(11.11.2019 – 22:00 +0530 – lankadeepa.lk)

ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය කැබිනට් නොවන අමාත්‍ය රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ස්ථිර කිරිම අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (11) ඉවත් කරගනු ලැබීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ අවසන් කැබිනට් රැස්වීම ජනාධිපති කාර්යාලයේ දී අද (11) පෙරවරුවේ පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මෙම කැබිනට් පත්‍රිකා දෙක ඉවත් කරගෙන ඇත.

ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා විසින් ද අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ස්ථිර කරන ලෙස ඉල්ලා ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් ද වෙන වෙනම කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබිණි.

එම කැබිනට් පත්‍රිකා දෙක මීට සති දෙකකට ඉහතදී ඉවත් කර ගෙන ඇතැත් එය අද පැවැති කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රයට ද ඇතුළත් ව තිබිණි.

කැබිනට් රැස්වීම අද ආරම්භ වූ අවස්ථාවේදී අදහස් දක්වමින්, එම කැබිනට් පත්‍රිකා දෙක න්‍යාය පත්‍රයෙන් ද ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබිණි ෴

***************************************

ආර්ථිකය පණගන්වා ව්‍යාපාරිකයින් දිරි ගන්වනවා – ගෝඨාභය රාජපක්ෂ

(12.11.2019 – 16:03 +0530 – sinhala.adaderana.lk)

ආර්ථිකය පණගන්වා ව්‍යාපාරිකයින් දිරිගන්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී ඊයේ (11) පැවති ජනහමුවක් අමතමින්.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පවත්වන ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ (11) පැවැත්වුණේ මහනුවර පොදු වෙළෙඳපොල ඉදිරිපිටදීයි.

ඒ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන්.

මෙහිදී අදහස් දැක්වු ගෝඨාභය මහතා කියා සිටියේ, ආර්ථිකය පණ ගන්වමින් ව්‍යාපාරිකයන් දිරි ගැන්විය යුතු බවයි.

සෑම කේෂ්ත්‍රයක් තුළින්ම ආර්ථිකය දියුණු කර විදේශ විනිමය ගෙනැවිත් රැකියා බහුල කිරීමට පහසුවෙන්ම හැකි බවත් පැවසු ඒ මහතා, එයට අවශ්‍ය හරි නායකත්වයක් හා දැක්මක් බවත් පැවසීය.

සෑමදාම අභියෝග බාර ගන්නා පිරිසක් බවත් පැවසු ගෝඨාභය මහතා, මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තැබු බවත් තමා ගැන ද එවැනි විශ්වාසයක් තබන ලෙසත් තමාට බාර දුන් සියලු වගකීම් තමා අවසන් කර ඇති බවත් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ මහනුවරට පැයෙන් පමණ ළඟා වීමට හැකි වෙන්න තිබු නමුත් “අධිවේගී මාර්ගය කිරිඇල්ලගේ සාක්කුවේ” යනුවෙනි.

මහනුවර සුන්දර නගරයක් බවට තමා පත් කරමින් පැමිණි බවත් ඒ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන් ඇණ සිටි බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, 16 න් පසුව සුන්දරම නගරය වන්නේ මහනුවර බවත් පැවසීය.

ගෝඨාභය මහතා රටේ ජනපති බවට පත් කර දිනට ඔබත් දිනුම් යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

මේ අතර රැළිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේ, ජනාධිපතිවරණ සටනේ අවසන් දින කීපය ගතවෙමින් තිබෙන බවයි.

අවසන් දින කීපයේ ගෝඨාභය මහතා පැමිණෙන්නේ ජනතාව නඟා සිටුවන ප්‍රතිපත්ති ප්‍රකාශයත් ඇතැතිව යනුවෙන් පැවසු ඒ මහතා, “පුතාණෝ එන්නේ මඩ කරියා වගේ මඩ අනඅනා” යනුවෙන්ද කියා සිටියේය.

මේ වන විට විරුද්ධ පක්ෂය පරාජය පිළිගෙන අවසන් බවත් කියා සිටි ඒ මහතා, රට දිනවිම සඳහා පොහොට්ටුව ලකුණට කතිරය ගසන ලෙසත් පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *