ගෝටා ජනපති වෙන්න කලින් පුණ්‍ය කාලයක්… 14-15 දෙදින පුරා ආධ්‍යාත්මික ශක්තිය දෙන්න රට පුරා පන්සල්වල බෝධි පූජා..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගෝටා ජනපති වෙන්න කලින් පුණ්‍ය කාලයක්… 14-15 දෙදින පුරා ආධ්‍යාත්මික ශක්තිය දෙන්න රට පුරා පන්සල්වල බෝධි පූජා.. (විඩියෝ)

• ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (13) මැදියම් රැයෙන් අවසන්

• සුනඛයින් තිස් දෙදෙනෙකුගේ රැකවල් මැද සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු, අංගොඩ ලොක්කාගේ ගෝලයෙක්

• තවත් මඩ වීඩියෝවක් පිළිබඳ ඩලස්ගෙන් හෙළිදරව්වක්

• සෑම අංශයකටම වැදගත් වන පැහැදිලි වැඩසටහනක් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ – ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

• එජාප මන්ත්‍රී ජයම්පතිගේ කාර්යාලයෙන් හමුවූ, ගෝඨාභයට එරෙහි මඩ පත්‍රිකා ගැන, පොලීසිය නීති උපදෙස් පතයි

• ‘දෙරණ 360’ : අන්තවාදීන් කිසිම කෙනෙක් මගේ ආණ්ඩුවට ගන්නේ නෑ – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• හිරු ටීවී – සළකුණ – මහින්ද රාජපක්ෂ – 2019-11-08 (විඩියෝ)

• හිරු ටීවී – සළකුණ – නාමල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු – 2019-11-06 (විඩියෝ)

• ගෝඨාභය ලේසියෙන්ම දිනනවා – ආචාර්ය චරිත හේරත් (07.11.2019) (විඩියෝ)

• රාජිතට වැඩ වරදියි.. සුදු වෑන් රියැදුරන් ගැන සී.අයි.ඩීයට පැමිණිල්ලක්

+++++++++++++++++++++++++++++++++++

ගෝටා ජනපති වෙන්න කලින් පුණ්‍ය කාලයක්… 14-15 දෙදින පුරා ආධ්‍යාත්මික ශක්තිය දෙන්න රට පුරා පන්සල්වල බෝධි පූජා.. (විඩියෝ)

(12.11.2019 – 08:02 +0530 – lankacnews.com)

සිංහල අවුරුද්දට පෙර පුණ්‍ය කාලය උදාවන ලෙස නොවැම්බර් 13 මධ්‍යම රාත්‍රියෙන් පුණ්‍ය කාලය උදා වන බවත් 14, 15 දින දෙකේ රට පුරා පන්සල්වල බෝධි පූජා සුදානම් කරන ලෙසත් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

රට දැය රැකගත හැකි නායකයකුට රටේ භාරකාරත්වය උරුම කරදීමට ඇවසි අධ්‍යාත්මික ශක්තිය එක් කිරීම එහි අරමුණ බව ඔහු සදහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ තඹුත්තේගම දී පැවති ජන රැළියකදීය.

https://www.facebook.com/426109791161748/videos/719461788553719/

***************************************

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (13) මැදියම් රැයෙන් අවසන්

(12.11.2019 – 12:37 +0530 – hirunews.lk/sinhala)

මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (13) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වනවා.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියළුම පාසල් අනිද්දා (14) පාසල් වේලාවෙන් පසු අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීන් වෙත ලබා දිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව දිවයින පුරා දැඩි ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළා.

ඒ අනුව ආරක්ෂක රාජකාරී සහ සාමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 60,175 දෙනෙකු යොදවා තිබෙනවා.

ඊයේ (11) දිනය වන විට ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3519 ක්. ඉන් 3387 ක් ලැබී ඇත්තේ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන්.

මේ අතර, ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා තවත් විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් අද (12) සහ හෙට (13) යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතයි. ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, මාලදිවයින සහ භූතානය යන රටවල නිරීක්ෂකයින් මීට ඇතුළත් වනවා.

විදේශීය නිරීක්ෂකයින් 15 දෙනෙකු මෙලෙස පැමිණෙන අතර, ඉන් 7 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතයි.

අනෙක් විදේශ නිරික්ෂකයින් 8 දෙනා හෙට (13) දිනයේදී දිවයිනට පැමිණෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයන් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දැනටමත් දිවයිනට පැමිණ අවසන් ෴

***************************************

සුනඛයින් තිස් දෙදෙනෙකුගේ රැකවල් මැද සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු, අංගොඩ ලොක්කාගේ ගෝලයෙක්

(12.11.2019 – 12:51 +0530 – hirunews.lk/sinhala)

කඩුවෙල, හෝකන්දර ප්‍රදේශයේ සුවිසල් නිවසක සුනඛයින් තිස් දෙදෙනෙකුගේ (32) අධි ආරක්ෂාව යටතේ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු දැනට කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය භාරයේ පසුවන බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පසුගියදා සැකකරු රැදී සිටි නිවස වැටලීමට ලක්කළ අතර එහිදී එම නිවසට යාමට පොලිස් නිලධාරීන්ට නොහැකි වූයේ විදෙස් රටවලින් පුහුණුව ලත් සුනඛයින්ගේ ආරක්ෂාව යටතේ රැදී සිටීම හේතුවෙන්.

කෙසේ වෙතත්, දැඩි පරිශ්‍රමයක් යොදා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් නිවසට ඇතුළු වී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගැනුණා.

වැටලීමට එක් වූ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම සුනඛයින් වායු සමීකරණය කළ කාමරවල සුඛෝපභෝගී ලෙස ඇති දැඩි කර ඇති බවයි.

සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ මෙම නිවසේ සිට තවත් කිහිප දෙනෙකුගේ සහයෝගය සහිතව හෙරොයින් ජාවාරම සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා ෴

***************************************

තවත් මඩ වීඩියෝවක් පිළිබඳ ඩලස්ගෙන් හෙළිදරව්වක්

(12.11.2019 – 12:42 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන අද (12) දිනයේ තවත් මඩ ප්‍රචාර ඇතුළත් වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හැරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇතැයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (12) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් මන්ත්‍රීවරයා මෙම අනාවරණය සිදුකළා.

මේ අතර, එම කාර්යාලයේ තවත් මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත නීතිඥ සංගමය විසින්. එහි සාමාජික නීතිඥ ජයන්ත වීරසිංහ මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොපවතින බවයි ෴

***************************************

සෑම අංශයකටම වැදගත් වන පැහැදිලි වැඩසටහනක් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ – ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

(12.11.2019 – 07:33 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්මය, සංචාරක ඇතුළු රටේ සෑම අංශයකටම වැදගත් වන පැහැදිලි වැඩසටහනක් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කුරුණෑගල – සත්‍යවාදී පිටියේ ඊයේ (11) පැවති දිස්ත්‍රික් ජන රැළියට එක්වෙමින්.

ඊට සහභාගිවීම සඳහා ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කුරුණෑගල – වැහැර ක්‍රීඩාංගණයට ගුවනින් පැමිණියා.

එම ස්ථානයට ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටි අතර ඔවුන් සමඟ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සුහද කතාබහක නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව ඔහු සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල වැව රවුමේදී රුක්රෝපණ වැඩසටහනකටද එක්වුණා.

පරිසර හිතකාමී කාබන් නිශ්ක්‍රීය ජනාධිපතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළිවලට සමගාමීව ‘රටේ පැළවෙන නිදහසේ හුස්ම’ නමින් මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

ඒ හරහා සමස්ත දිවයිනම ආවරණ වන පරිදි පැළ 30,000 ක් සිටුවීමට සැලසුම් කර තිබෙනවා ෴

***************************************

එජාප මන්ත්‍රී ජයම්පතිගේ කාර්යාලයෙන් හමුවූ, ගෝඨාභයට එරෙහි මඩ පත්‍රිකා ගැන, පොලීසිය නීති උපදෙස් පතයි

(12.11.2019 – 07:28 +0530 – hirunews.lk/sinhala)

රුවන්වැල්ල – මාගම්මන ප්‍රදේශයෙන් සොයා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මුද්‍රණය කර තිබූ ‘මඩ පත්‍රිකා’ තොගය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය, පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාශයෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා.

ඒ, එම මඩ පත්‍රිකාවල අඩංගු කරුණු සම්බන්ධයෙන්.

පොලීසිය සඳහන් කළේ මෙම මඩ පත්‍රිකා තොගය මාගම්මන ප්‍රදේශයේ බෙදා හරින බවට ලද තොරතුරකට අනුව ඊයේ (11) ඒවා සොයා ගත් බවයි. පසුව පොලීසිය සිදුකරන ලද විමර්ශනයකදී ඊට අදාළව තවත් මඩ පත්‍රිකා තොගයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්නගේ රුවන්වැල්ල ප්‍රදේශයේ තිබූ කාර්යාලයකින් ද සොයාගෙන තිබෙනවා.

එම මඩ පත්‍රිකා බෙදා හළ පුද්ගලයින්ට ප්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබුණා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මිරිහාන ප්‍රදේශයේ මඩ පත්‍රිකා බෙදා හරිමින් සිටියදී අත්අඩංගුවට ගත් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ ලේකම්වරයා ඇතුළු දෙදෙනා මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) නියෝග කළා ෴

***************************************

අන්තවාදීන් කිසිම කෙනෙක් මගේ ආණ්ඩුවට ගන්නේ නෑ – ගෝඨාභය රාජපක්ෂ

(12.11.2019 – 13:08 +0530 – sinhala.adaderana.lk)

තමා නිසි ක්‍රමවේදයට අනුව අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

‘දෙරණ 360’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමන් ජනාධිපති වූ පසු ආණ්ඩුවක් පිහිටුවන අතර ඊට අන්තවාදීන් කිසිවෙකු සම්බන්ධ කර නොගන්නා බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටයේ, තමාට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අව්‍යශ්‍ය වු බවයි.

ඒ අනුව තමා ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් ඒ බව පැවසු බවත් කියා සිටි රාජපක්ෂ මහතා, ඒ අනුව අප්‍රේල් 17 වන දින සිට තමා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙක් නොවන බව යැයි ද පැවසීය.

(01) මෑතකදී මේක නැවතත් කතාබහට එන්නෙ ළඟදි නිකුත් කරපු නාමලේඛනයේ ඔබතුමාගේ නම නැහැ කියලා ?

එය පුරවැසිභාවයට කිසිදු සම්බන්ධයක් නැති එකක් යනුවෙන් පැවසු ඒ මහතා, තමා දන්නා තරමින් ලංකාවේ සිටින ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් සමහර අයගේ නම් එම නාමලේඛනයට ඇතුලත් වූයේ වසර 1 හමාරකට පමණ පසුව බව කියා සිටියේය.

තමා ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස ලබා ගත් ගුවන් ගමන් බලපත්‍රය මාධ්‍යයට පෙන්වා සිටි ඒ මහතා, එය 2022 ඔක්තෝබර් 30 දක්වා වලංගු වී ඇතැයි ද පැවසීය.

නමුත් පුරවැසිභාවය ඉවත් කර ගැනීම නිසා ගමන් බලපත්‍රයේ සිදුරු දෙකක් සටහන් කර ඔවුන් ඒ බව සනාථ කර ඇතැයි ද පැවසු ඒ මහතා, තමා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණක් යැයි කියා සිටියේය.

(02) ඔබතුමා අපේ ආරාධනාව නම් පිළිගත්තා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා දිගින් දිගටම අභියෝග කළා විවාදයකට එන්න. නමුත් ඔබතුමා කිසිම ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.

තම වගකීම ඇත්තේ ජනතාව සමඟ බව පැවසු ගෝඨාභය මහතා, ජනතාවට තම ප්‍රතිපත්ති ප්‍රකාශ කර ඇති බවත් මාධ්‍ය සාකච්ඡාවලට තමන් සහභාගී වෙන බවත් කියා සිටියේය.

තමා මෙන්ම අනෙක් අයටත් ජනතාව සමඟ තම සංවාදය සිදු කළ හැකි බවත් රාජපක්ෂ මහතා පැවසීය.

ජනතාව විසින් අවසන් වශයෙන් ප්‍රතිපත්ති තෝරා ගැනීමට හැකි බවත් කියා සිටි‍ ගෝඨාභය මහතා, යම් ප්‍රතිපත්තියක් සැබවින්ම ක්‍රියාත්මක කළ හැක්කේ කවුරුන්ට ද ඒවා ක්‍රියාත්මක ‍කළේ කවුද යන කරුණු ජනතාව විසින් තේරුම් ගත යුතු බවත් කියා සිටියේය.

පෞද්ගලිකව තම විරුද්ධවාදීන් සමඟ විවාද කිරිමෙන් සිදුවන්නේ මඩ ගසා ගැනීමක් හැර අන් කිසිවක් නොවන බව කියාසිටි ඒ මහතා, තමා මෙතෙක් කල් කිසිදු අපේක්ෂකයෙකුගේ නමක් භාවිතා නොකර තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කර ඇතැයි ද පැවසීය.

ලංකාවේ ඇති මෙම දේශපාලනික සංස්කෘතිය වෙනස් කළ යුතු යැයි ද කියා සිටි ගෝඨාභය මහතා තමාට ‍කවුරුන් මොන දේ පැවසුවත් තමා කිසිවෙකුගේ නමක් ප්‍රකාශ කර නැතැයි ද එය තමාගේ ප්‍රතිපත්තිය බවද වැඩිදුරටත් සඳහන් කළේය.

(03) ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ඇත්තටම ඔබට හැකියාවක් තියෙනවද ? මොනවගේ සාධනීය කරුණු මතද එහෙම පුළුවන් කියලා ඔබතුමා විශ්වාස කරන්නේ? මොකක්ද ඒකට පෙන්වන්න පුළුවන් සාධක ?

එයට පිළිතුරු දෙමින් ගෝඨාභය මහතා, ‘හොඳම සාධකය වන්නේ පසුගිය වසර 5 තුළ රජයේ අසාර්ථකභාවය හා ඒ තුළින් සෑම කේෂ්ත්‍රයක්ම කඩා වැටී තිබීම’ බව පැවසීය.

(04) ජයග්‍රහණය කළාට පස්සෙ ආණ්ඩුවක් පිහිටුවන එක පිළිබඳවත් කතා කරනවා. 19 වන සංශෝධනය යටතේ හැකියාවක් තියෙනවද ආණ්ඩුවක් පිහිටුවන්න ?

මෙහිදී ගෝඨාභය මහතා කියා සිටියේ, තමාට ආණ්ඩුවක් පිහිටුවිය හැකි යැයි ලොකු විශ්වාසයක් ඇති බවයි.

රජය ස්ථාවර කරන්න තව අය එකතු වෙනු ඇතැයි තම අපේක්ෂාව බවත් අන්තවාදීන් කිසිවෙක් ආණ්ඩුවට ගන්නෙ නැති බවට තමා ප්‍රකාශ කරන බවත් පැවසු ගෝඨාභය මහතා, තමා ජනාධිපතිවරයා වශයෙන් පටන් ගත් දිනයේ සිට ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කළ යුතු බවත්, එලෙස ක්‍රියාත්මක නොකර පස්සට අදින ආණ්ඩුවක් සමඟ තමාට වැඩ කළ නොහැකි බවත් එනිසා අනිවාර්යයෙන්ම අපේ රජයක් අපි පිහිටු වන බවත් පැවසීය.

11-11-2019 – මිනිත්තු 110

+++++++++++++++++++++++++++++++++++

Hiru TV Salakuna – Mahinda Rajapaksha – 2019-11-08

71 min.s

+++++++++++++++++++++++++++++++++++

Hiru TV Salakuna – Johnston Fernando & Namal Rajapaksa – 2019-11-06

114 min.s

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභය ලේසියෙන්ම දිනනවා – ආචාර්ය චරිත හේරත් (07.11.2019)

https://www.youtube.com/watch?v=CkR7XmDqYU8
මිනිත්තු 32

***************************************

රාජිතට වැඩ වරදියි.. සුදු වෑන් රියැදුරන් ගැන සී.අයි.ඩීයට පැමිණිල්ලක්

(12.11.2019 – 05:18 +0530 – lankaleadnews.com)

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ දී පෙරේදා (10 වැනිදා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ සුදු වෑන්වල රියැදුරන් බව කියාගත් පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (11 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක යන එම පුද්ගලයන් දෙදෙනාව රාජිත සේනාරත්න විසින් වෙස් ගන්වාගෙන එම මාධ්‍ය හමුවට කැඳවාගෙන පැමිණි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මාධ්‍ය හමුවේදී ඔවුන් කළ සෑම ප්‍රකාශයක්ම එකිනෙකට පරස්පර බවත් රාජිත සේනාරත්න විසින් ඔවුන් දෙදෙනාට මුදල් ගෙවා එවැන්නක් සිදුකර ඇති බවත් ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *