නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන්වහන්සේ !

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන්වහන්සේ ! (විඩියෝ)

• රටේ භූමිය බෙදීමට ඉදිරිපත් වන සියළු බලවේග පරාජය කිරීමට එක්විය යුතු බව මහා සංඝරත්නය කියයි (විඩියෝ)

• හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ හා මුදල් ලබා දුන්නා – වරධරාජා පෙරුමාල් (විඩියෝ)

• ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට මේ වන විටත් නැකැත් සකස් කර අවසන් (විඩියෝ)

• සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරි පැය 48 වෙන්වන්නේ ගෝඨාභයට මඩ ගැසීමටයි (විඩියෝ)

• ගෝඨාභය රාජපක්ෂ කිසි විටෙකත් ජනතා විශ්වාසය කඩ කරන්නේ නෑ (විඩියෝ)

• ගෝඨාභයට එරෙහිව සැකසූ තවත් අසත්‍ය තොරතුරු ඇතුළත් අත්පත්‍රිකා තොගයක් පානදුරේදී සොයා ගනී (විඩියෝ)

• නිදහස් පාක්ෂිකයින් රැක ගැනීමට කැප වී සිටින බව විපක්ෂ නායක මහින්ද කියයි (විඩියෝ)

• වතු කම්කරු වැටුප රුපියල් දහසක් කරන බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි (විඩියෝ)

• ජනාධිපතිවරණය ජයගන්නේ ගෝඨාභයයි – විදෙස් මාධ්‍ය කියයි (විඩියෝ)

• සජිත් පොළොන්නරුවට ආ හෙළිකොප්ටර් යානය ගොඩබැස්වීමේදී ගොඩනැගිලි කිහිපයකට හානි (විඩියෝ)

• දෙමළ සන්ධානයේ, නැදුන්කර්නි සභාපතිගේ සහය ගෝඨාභය රාජපක්ෂට (විඩියෝ)

• කතාකරුවන් නොව වැඩකරුවන් දැන් රටට අවශ්‍ය – ජනප්‍රිය නිලි සංජිවනි වීරසිංහ මහත්මිය (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන්වහන්සේ !

(12.11.2019 – 19:43 +0530 – sinhala.adaderana.lk)

නාග ලෝකයෙන් සර්වඥ ධාතූන්වහන්සේ 14 නමක් කැලණියට වැඩම කර ඇති බව කැලණි රජ මහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පවසයි.

ගුප්ත විද්‍යා විශාරදවරයෙකු විසින් කැලණිය ගං මිටියාවතේ පැවති විශේෂ පූජාවක් අතරතුර ධාතූන්වහන්සේ වැඩම කිරීම සිදුව තිබේ.

ශාසන ඉතිහාසයේ කියැවෙන පරිදි බුදුරජානන්වහන්සේ තෙවැනි වරට ලංකාද්වීපයට වැඩම කරන්නේ කැලණියටයි.

ඒ කැලණි ගං මුවදොර විසූ මනිඅක්ඛිත නා රජුගේ ආරාධනාවක් අනුව බව ඉතිහාසයේ සඳහන් වෙයි.

එම ආරාධනයට කෘතගුණ සැලකීමක් ලෙස කැලණිය රාජ මහා විහාරය විසින් මනිඅක්ඛිත දිව්‍ය රාජයාණන් වෙනුවෙන් මීට සිව් වසරකට පෙර නානුමුර පූජාව නමින් විශේෂ පූජාවක් ආරම්භ කෙරෙයි.

එම පූජාව පවත්වනු ලබන්නේ ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ මහතා විසින්.

ඒ අනුව සෑම මසකම පළමු සෙනසුරාදා මෙම නානුමුර පූජාව පැවැත්වෙන්නේ බුදුරජානන්වහන්සේ ජල ස්නානය කළ බව පැවසෙන, විහාරස්ථානයේ පිහිටා ඇති “සිවුරු ගල” නම් මෙම ස්ථානයේදී.

ඒ අනුව ඉකුත් 9 වැනිදා රාත්‍රී 10 ට පමණ සිවුරුගල දී විශේෂ පූජාවක් පවත්වා ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ මහතා , තොටුපළේ සේවකයන් දෙදෙනෙක් සමග කැලණි ගඟට ගොස් තිබේ.

ඔහුගේ සහායට සිටි තොටුපළේ සේවකයින් දෙදෙනා තමන් දුටු දේ පැහැදිලි කළේය.

ඒ අනුව නා ලොවින් ලද බවට විශ්වාස කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬුව විහාරස්ථානයේ ධාතූ මන්දිරයේ තැන්පත් කෙරුණි.

මෙම සර්වඥ ධාතූන් වහන්සේ අද (12) මධ්‍යම රාත්‍රිය දක්වා සැදැහැවතුන්ගේ වන්දනාමානයට ප්‍රදර්ශනය කෙරෙයි.

***************************************

රටේ භූමිය බෙදීමට ඉදිරිපත් වන සියළු බලවේග පරාජය කිරීමට එක්විය යුතු බව මහා සංඝරත්නය කියයි

(12.11.2019 – 19:58 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදි රටේ භූමිය බෙදීමට හෝ ජාතික සමගිය විනාශ කිරීමට ඉදිරිපත්වන සියලු බලවේග පරාජය කිරීමට ජනතාව එකමුතු විය යුතු බව මහා සංඝරත්නය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරගනිමින් වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට හැකියාවක් ඇති පුද්ගලයාට ඡන්දය භාවිත කරන ලෙසයි.

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන්, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ අනුනාහිමියන්, මහාචාර්ය පූජ්‍ය කහපොල සුගතරතන අනුනාහිමියන්, ආචාර්ය පූජ්‍ය වල්පොල විමලඥාණ අනුනාහිමියන්, ඊට අදාළ නිවේදනය සඳහා අත්සන් තබා තිබෙනවා.

එමෙන්ම මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවාස හිමියන්, මහාචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර අනුනාහිමියන්, මහාචාර්ය පූජ්‍ය කිවුලේගෙදර නාරද හිමියන්, පූජ්‍ය ගංතුනේ අස්සජි හිමියන්, පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමියන්, පූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාර හිමියන්, පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමියන් සහ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන යන හිමිවරුන්ද ඊට අත්සන් තබා තිබුණා.

එමඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය කාල පරිච්ඡේදයේ මෙරට පත්වූ අවාසනාවන්ත තත්ත්වය නිසා රටේ ස්වෛරී භාවය, භෞමික අඛන්ඩතාව හා ස්වාධීනත්වය මෙන්ම ජාතික ආරක්ෂාව අතිශයින් පිරිහී ඇති බවයි.

මිලියන ගණන් වංචා සිදුවූ මහ බැංකු කොල්ලයට මෙතෙක් කිසිදු වගකිව යුත්තෙක් නොමැති අතර, මිනිස් ජීවිත සිය ගණනක් විනාශ කළ බෝම්බ ප්‍රහාරයට දායකවූවන් තවමත් නිදැල්ලේ පසුවන බවද එමඟින් සඳහන් කර තිබෙනවා.

එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේදි රටේ ඒකීය භාවය රැකදීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, වැටී ඇති ආර්ථික අගාධයෙන් රට ගොඩනැගීමටත් හැකියාවක් ඇති වඩාත් සුදුසුම නායකයා තෝරාගැනීමට තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි මහා සංඝ රත්නය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර අවස්ථාවාදී දේශපාලනඥයින්ගේ අදුරදර්ශී ක්‍රියා හේතුවෙන් මේ වනවිට දිවයිනේ සැම ක්‍ෂේත්‍රයකම ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇති බව මාළිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙණ සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම පිරිවෙන්වල පරිවේණාධිපතිවරුන් වන ආචාර්ය පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමියන් සහ ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිවරුන්ගේ අත්සනින් යුත් එම ඒකාබද්ධ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ අවස්ථාවාදි පාලකයන්ගේ අමනෝඥ ක්‍රියාවන් හේතුවෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවූ බවයි.

සතුරු කුමන්ත්‍රණවලින් අප මාතෘ භූමිය බේරාගැනීමට නම් එළඹෙන 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධීපතිවරණයේදි දේශයට, ජාතියට සහ ශාසනයට ආරාධනය කරන ශක්තිමත් නායකයෙකු පත් කරගත යුතු බව මෙම නිවේදනයේ දක්වා තිබෙනවා.

***************************************

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ හා මුදල් ලබා දුන්නා – වරධරාජා පෙරුමාල්

(12.11.2019 – 20:41 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ හා මුදල් ලබා දුන් බව උතුරු නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍ය වරධරාජා පෙරුමාල් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට මේ වන විටත් නැකැත් සකස් කර අවසන්

(12.11.2019 – 20:39 +0530 – hirunews.lk/sinhala)

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිධුරයේ දිවුරුම් දීම සඳහා මේ වන විටත් නැකැත් සකස් කර අවසන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තංගල්ල, උණාකූරුව ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින්.

***************************************

සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරි පැය 48 වෙන්වන්නේ ගෝඨාභයට මඩ ගැසීමටයි

(12.11.2019 – 20:24 +0530 – hirunews.lk/sinhala)

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරි පැය 48 ක කාලය වෙන්ව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ප්‍රචාර එල්ල කිරීමට පමණක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++

***************************************

ගෝඨාභය රාජපක්ෂ කිසි විටෙකත් ජනතා විශ්වාසය කඩ කරන්නේ නෑ

(12.11.2019 – 20:19 +0530 – hirunews.lk/sinhala)

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා කිසි විටෙකත් ජනතා විශ්වාසය කඩ නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අම්පාර, සයින්දමර්දු නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

අම්පාර සයින්දමර්දු නගරයේ සංවිධානය කර තිබූ මෙම ජන හමුවට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

+++++++++++++++++++++

***************************************

ගෝඨාභයට එරෙහිව සැකසූ තවත් අසත්‍ය තොරතුරු ඇතුළත් අත්පත්‍රිකා තොගයක් පානදුරේදී සොයා ගනී

(12.11.2019 – 20:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සකස් කළ අසත්‍ය තොරතුරු ඇතුළත් තවත් අත්පත්‍රිකා තොගයක් පානදුර නගරයේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ මැතිවරණ කාර්යාලයක තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඒ, එම පත්‍රිකා බෙදාහරිමින් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.

මේ අතර සූරියවැව ප්‍රදේශයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, සූරියවැව ප්‍රාදේශීය සභා මන්ත්‍රී චතූ සේනාධීර මහතා කියා සිටියේ තමන්ට, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් රැළියකට එක්වන ලෙස ඉල්ලීමක් ලැබුණු බවයි.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා එම ඉල්ලීම ඇතුළත් හඬ පටයද මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.

මේ අතර පසුගියදා රාජිත සේනාරත්න අමාත්‍යවරයා සමඟ මාධ්‍ය හමුවකට එක්වූ පුද්ගලයෙකු සිදුකළ ප්‍රකාශයකට අදාළ ස්ථානය මීට පෙර මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිල නිවාසයක් ලෙස භාවිත කළ බවට අනාවරණ වී තිබෙනවා.

එම ස්ථානය මොණරාගල ඩිපෝවට යන මාර්ගයේ පිහිටි නිල නිවාසයක් වන අතර, පසුව එය ජාතික ශිෂ්‍ය භට බලකාය භාවිත කළ බවට වාර්තා වනවා.

මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව එක්සත් ජාතික පක්ෂ කඹුරුපිටිය හිටපු සම සංවිධායක උදය දිසානායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

+++++++++++++++++++++

***************************************

නිදහස් පාක්ෂිකයින් රැක ගැනීමට කැප වී සිටින බව විපක්ෂ නායක මහින්ද කියයි

(12.11.2019 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින් රැකගැනීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපවී සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

වතු කම්කරු වැටුප රුපියල් දහසක් කරන බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

(12.11.2019 – 19:42 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා ඉහළ නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කොටගල ප්‍රදේශයේ අද (12) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් කළා.

මෙම ජන හමුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.

+++++++++++++++++++++

***************************************

ජනාධිපතිවරණය ජයගන්නේ ගෝඨාභයයි – විදෙස් මාධ්‍ය කියයි

(12.11.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවල අවධානයක් යොමු වී තිබෙනවා.

රොයිටර් පුවත් සේවය සහ ‘ද හින්දු’ වෙබ් අඩවි වාර්තාවල දැක්වුණේ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට ඉඩ ඇති වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්ව සිටින බවයි.

රොයිටර් පුවත් සේවයේ අදාළ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිල මත විමසුමක් පවත්වා නොමැති වූවද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයගත හැකි වඩා ජනප්‍රිය අපේක්ෂකයා බවයි.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මන්දගාමී ගමනක නිරත බවද එහි දක්වා තිබෙනවා.

ඉන්දීය ‘ද හින්දු’ වෙබ් අඩවිය වෙනුවෙන්ද මෙරට ජනාධිපතිවරණය පිළිබඳව වාර්තාවක් සම්පාදනය වී තිබුණා.

ශක්තිමත් නායකයෙකු, යුද්ධය නිමා කිරීම සඳහා කළ මෙහෙය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි බලාපොරොත්තු තබා සිටින බව එම වාර්තාවේ සඳහන්.

දකුණු පළාතේ පිටිසරබද ප්‍රදේශ නියෝජනය කරන සජිත් ප්‍රේමදාසට සහය දක්වන ඇතැම් පිරිස් පවා ප්‍රකාශ කරන්නේ එම ප්‍රදේශවල බහුතර ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වනු ඇති බව යැයිද ‘ද හින්දු’ වාර්තාවේ දැක්වෙනවා.

***************************************

සජිත් පොළොන්නරුවට ආ හෙළිකොප්ටර් යානය ගොඩබැස්වීමේදී ගොඩනැගිලි කිහිපයකට හානි

(12.11.2019 – 18:54 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැමිණි හෙළිකොප්ටර් යානය කදුරුවෙල සීවලී ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාංගණයට ගොඩබැස්වීමේදී ඒ ආසන්නයේ තිබූ වෙළඳසැල් කිහිපයකට අලාභහානි සිදුව තිබෙනවා.

අද (12) පස්වරු 3 ට පමණ හෙළිකොප්ටර් යානයකින් අමාත්‍යවරයා එහි පැමිණියේ කදුරුවෙල පැවති ජන හමුවට සහභාගී වීම සඳහායි.

මේ අතර එම ස්ථානයේ සිටි දෙදරු මවක් තුවාල ලබා ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර පසුගිය 7 වනදා ද දෙනියාය මොරවක ජන රැළියට සජිත් ප්‍රේමදාස පැමිණි හෙළිකොප්ටර් යානය ගොඩබැස්වීමේදීද කොටපොළ ජාතික පාසල් ක්‍රීඩාංගණය ආසන්නයේ තිබූ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවූණා.

අද (12) පස්වරුවේ කදුරුවෙල සීවලී විද්‍යාලයේ ක්‍රීඩාංගණය ආසන්නයේ පැවති ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවූ අයුරු පහතින්.

***************************************

දෙමළ සන්ධානයේ, නැදුන්කර්නි සභාපතිගේ සහය ගෝඨාභය රාජපක්ෂට

(12.11.2019 – 17:20 +0530 – hirunews.lk/sinhala)

යාපනය – නැදුන්කර්නි ප්‍රාදේශිය සභාවේ සභාපති පී. රොෂාන් මහතා අද (12) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කළා.

ඒ, යාපනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින්.

තමන්, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයෙන් නැදුන්කර්නි ප්‍රාදේශීය සභාවට තේරී පත්වුවද ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු ආධාරයක් හෝ සහයෝගයක් ලබාදීමට දෙමළ සන්ධානයට නොහැකිවූ බවටයි ඔහු එහිදි චෝදනා කළේ.

“අපි ප්‍රාදේශීය සභාවේ පාලනයට ඇවිල්ලා අවුරුදු 2 ක් වෙනවා. කිසිදු සංවර්ධන කටයුත්තක් සිද්ධවෙලා නැහැ. මම මේ සභාවට තේරී පත් වුණේ දෙමළ ජාතික සන්ධානයෙන්. හැබැයි අවුරුදු දෙකක් ගිහිල්ලත් ඒකේ කිසිඳු මන්ත්‍රීවරයෙක් ‘මොනවද වෙන්න ඕන’ කියලා මේ දක්වා විමසීමක්වත් කරලා නැහැ. ගම්පෙරළිය වැඩසටහන හරහා පමණක් මිලියන 65 ක මුදලක් අපට ලැබුණා. ඒ හැර මේ රජය හෝ දෙමළ ජාතික සන්ධානය කිසිඳු ආධාරයක් අපිට කරලා නැහැ. ඒ නිසා අපි ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් මෙම තීරණයට ආවා. ඒ නිසා අපි එළඹෙන මැතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදෙන්න තීරණය කළා. මම අවුරුදු තුනක් පුනරුත්ථාපන කඳවුරේ හිටියා. වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇවිත් මා ඇතුලු 800 දෙනෙකු එකවර පුනරුත්ථාපන කඳවුරෙන් නිදහස් කළා. ඒකෙන්ම ඔහුගේ විශ්වසනීයත්වය තහවුරු වෙනවා. ඒ නිසා ඔහු පිළිබඳව විශ්වාසය තියලා තමයි අපි මේ වගේ තීරණයකට එළඹුනේ.”

***************************************

කතාකරුවන් නොව වැඩකරුවන් දැන් රටට අවශ්‍ය – ජනප්‍රිය නිලි සංජිවනි වීරසිංහ මහත්මිය

(12.11.2019 – 14:47 +0530 – hirunews.lk/sinhala)

කලාකරුවන් ලෙස රට වෙනුවෙන් අත දීම සිදු කළ යුතු මොහොතකට මේ වන විට රට පැමිණ ඇති බව ජනප්‍රිය නිලි සංජිවනි වීරසිංහ මහත්මිය පවසනවා.

ඇය මේ සම්බන්ධව අදහස් දැක්වුයේ මාතර අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් ඇය කියා සිටියේ කතාකරුවන් නොව වැඩකරුවන් මේ වන විට රටට අවශ්‍ය බවයි.

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභය ගැන කවුරුත් නොදන්න රහසක් ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා හෙළි කරයි (12.11.2019)

https://www.youtube.com/watch?v=CI-rorlKxog
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *