සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(15.11.2019 – 20:46 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සංධානය සහ ඊට සහය පළ කරන දේශපාලන පක්ෂ රට දෙකඩ කිරීමට උත්සාහ දරන්නේ යැයි සඳහන් කරමින් ඔවුන් තහනම් සංවිධාන ලෙස ප්‍රකාශ කරන්නැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය ලබාදීම සඳහා දෙමළ ජාතික සංවිධානය පසුගියදා කරුණු 13 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවා.

එහි නිජබිම් සංකල්පයල ස්වයං නිර්ණය අයිතිය ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කර තිබුණා.

මෙවැනි යෝජනා මගින් රට දෙකඩවීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ එවැනි යෝජනා ඉදිරිපත් කරන පක්ෂ තහනම් කරන්නැයි ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (15) මෙම පෙත්සම ගොනු කළා.

***************************************

ඡන්දය දෙන්න ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රමිකයන්ට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

(15.11.2019 – 21:52 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිට ඡන්දය දීමට පැමිණි ශ්‍රමිකයන් ඡන්ද පොළට පැමිණීමේදී විදෙස් ගමන් බලපත්‍රය රැගෙන ආ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා ෴

***************************************

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කළ පාරිභෝජනයට නුසුදුසු සහල් විනාශ කෙරේ

(15.11.2019 – 20:50 +0530 – hirunews.lk/sinhala)

= පණු කැදලි හා ගුල්ලන් සහිත පාරිභෝජනයට නුසුදුසු සහල් වෙළදපොලට යැවීමේ ලංකා ස.තො.ස. ආයතනයේ කූට ක්‍රියාමාර්ග =

පණු කැදලි හා ගුල්ලන් සහිත පාරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වෙළදපොලට යැවීමේ ලංකා ස.තො.ස. ආයතනයේ කූට ක්‍රියාදාමයක් හිරු සී.අයි.ඒ. පසුගියදා කළ අනාවරණය හේතුවෙන් නතර කෙරුණා.

මිනිසුන්ට පමණක් නොව සතුන්ගේ පාරිභෝජනයට පාවා නුසුදුසු තත්ත්වයේ පැවති එම සහල් කිලෝග්‍රෑම් 80,000 ක් අවසානයේදී වළ දැමීමටයි අධිකරණ නියෝග කළේ.

විදේශ රටකින් ආනයනය කර තිබූ මෙම සහල්වල තත්ත්වය පිළිබඳව හිරු සී.අයි.ඒ සිදුකළ අනාවරණයත් සමඟ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යටතේ පවතින කර්මාන්ත වාණිජ කටයුතු දිගු කාලීන අවතැන් වූවන් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය මගින් අපට ලිපියක් යොමු කර තිබුණා.

එහි සඳහන් කර තිබුණේ ලංකා සතොස පිළිබඳව සාවද්‍ය තොරතුරු පළ කර ඇති බව සහ පල්ලේගමුව සහල් මධ්‍යස්ථානය මගින් කිසිදු ආකාරයක සහල් මිලදී ගැනීමක් සිදු කර නොමැති බවයි.

අප කිසිවිටෙකත් හිරු සී.අයි.ඒ. හරහා පල්ලේගමුව සහල් මධ්‍යස්ථානයක් පිළිබඳව හෙළි නොකළ අතර අප අනාවරණය කළේ තිස්සමහාරාම පන්නගමුව සහල් මධ්‍යස්ථානය පිළිබඳවයි.

තම අමාත්‍යාංශයට අයත් සහල් සැකසුම් මධ්‍යස්ථාන පිළිබඳවත් ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති බව මෙම ලිපිය හරහාද ඔවුන් පැහැදිලිව ඔප්පු කර තිබුණා.

තත්ත්වය එසේ පවතිද්දී, මෙම සහල් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

එහිදීද හෙළිව ඇත්තේ හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කළ පරිදිම මැරුණු කෘමි සතුන්, සජීවි කෘමි සතුන්, කැඳලි මෙම සහල්වල ඇති බවයි.

ඒ අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳව කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පාරිභෝජනයට නුසුදුසු අදාළ සහල් තොගය වළ දමා විනාශ කිරීමටයි නියෝග කෙරුණේ.

මේ පිළිබඳව සොයා බැලීමට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණි අතර ඔහුට එම පරිශ්‍රයට ඇතුළුවීමට ආරක්ෂක නිලධාරීන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පසුව ඔහු වෙනත් ස්ථානයකින් සහල් සැකසුම් මධ්‍යස්ථානයට ඇතුලු වුණා.

අදාළ නියෝගය අනුව තිස්සමහාරාම, පන්නගමුව සහල් සැකසුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේම විශාල වළවල් කපා පාරිභෝජනයට නුසුදුසු කිලෝග්‍රෑම් 80,000 ක සහල් තොගය මෙලෙස වළ දැමුණා.

***************************************

මාධ්‍යයට එරෙහි ඇමති හකීම්ගේ තර්ජන ගැන පොලිසියට අදත් පැමිණිලි

(15.11.2019 – 20:34 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යයට එරෙහිව අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිදුකළ තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදත් (15) පොලිස් මූලස්ථානයට පැමිණිලි ගොනු කෙරුණා.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුල්ගල්ලේ සිරි ජිනානන්ද හිමියන් පොලිස් මූලස්ථානයට අද (15) පෙරවරුවේ මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියේ අමාත්‍ය රවුෆ් හකීම් මහතා මාධ්‍යයට එරෙහිව සිදු කළ තර්ජනය කිරීම සම්බන්ධයෙන්.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ ද අද (15) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද මාධ්‍යට එරෙහිව සිදු කෙරෙන විවිධ තර්ජන ලබලපෑම් සම්බන්ධයෙන් අදහස් පළවුණා.

මේ අතර පිවිතුරු හෙළ උරුමය පක්ෂයයේ නියෝජිතයින් අද (15) පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළේ තමන් මෙතෙක් ඉදිරිපත් කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු අවධානයක් සිදු කර නොමැති බවට චෝදනා කරමින්.

***************************************

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්

(15.11.2019 – 20:22 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට තර්ජනය කිරීම, බිය වැද්දීම සහ ඡන්ද අයිතියට හානිවන ක්‍රියා සිදුකළ හොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කර ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ හෙට (16) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින්.

***************************************

ජනපතිවරණය ඡන්ද විමසීම හෙට (16) යි

(15.11.2019 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට (16) පැවැත්වෙනවා.

අපේක්ෂකයින් 35 ක් තරඟ වදින මෙවර ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයට එක්වන්නේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරඟ වදින ජනාධිපතිවරණය ලෙසයි.

හෙට (16) පෙරවරු 7 ට ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම ආරම්භ වන අතර, එය අවසන් වන්නේ පස්වරු 5 ටයි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෙර පැවති මැතිවරණවලට වඩා අතිරේක පැයක කාලයක් ලබාදී තිබීම ද විශේෂත්වයක්.

එමෙන්ම, හෙට (16) පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා යොදා ගනු ලබන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛනයයි.

ඒ යටතේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූහයක් (1,59,92,096).

ඉන් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී සිටින අතර දෙවැනි වැඩිම ඡන්දදායකයින් පිරිසක් ලියාපදිංචි වී සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එමෙන්ම, 2017 වසරේ පැවති පළාත් පාලන ඡන්ද විමසීමට ලියාපදිංචි වී සිටි ඡන්ද දායකයින් ගණනට සාපේක්ෂව මෙවර නව ඡන්දදායකයින් දෙලක්ෂ තිස් එක් දහස් දෙසිය විසි නව (2,31,229) දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය හා සැසදීමේදී මෙවර ඡන්දදායකයින්ගේ වැඩිවීම නව ලක්ෂ හතලිස් හත්දහස් හයසිය හතක් (9,47,607).

2015 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් ගණන 19 ක් වූ අතර, මෙවර ජනාධිපතිවරණයේදී එම සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ ගියා.

ඒ හේතුවෙන් ජනාධිපතිවරණ ඉතිහාසයේ ඡන්දදායකයෙකු ලැබෙන දිගම ඡන්ද පත්‍රිකාව ද හෙට ඡන්දදායකයන් අතට පත්වනවා.

එහි දිග අඩි 2 යි අඟල් 2 ක්.

+++++++++++++++++++++

***************************************

ගම්බිම් බලා යන ජනතාවගෙන් බස් නැවතුම් පිරී යයි

(15.11.2019 – 20:00 +0530 – hirunews.lk/sinhala)

හෙට (16) පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව හේතුවෙන් කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සහ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලේ අද දැඩි තදබදයක් හට ගෙන තිබුණා.

අද (15) පෙරවරුවේ සිට මගීන් විශාල සංඛ්‍යාවක් දුම්රිය හා බස් නැවතුම්පොල වෙත පැමිණෙමින් සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ වලින් ගාල්ල සහ මාතර බලා පිටත්වන මගීන් හේතුවෙන් කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දිගු පෝලිම් දක්නට ලැබුණා.

එමෙන්ම, කොළඹ – ගුණසිංහපුර සහ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොලවල ද මගීන් විශාල වශයෙන් එක්රැස්වී සිටි බවයි වාර්තා වන්නේ.

එසේම, ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට (16) දිනයේදී පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, අන්තර් පළාත් මගී ප්‍රවාහන සංගමය සඳහන් කළේ දුරගමන් සේවා බස් රථ කාල සටහන්වලින් බැහැරව ධාවනයට යොදවා ඇති බවයි.

මේ අතර, ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරි නිහාල් හිදැල්ල ආරච්චි මහතා කියා සිටියේ අද (15) සහ හෙට (16) දිනවල අතිරේක බස් රථ 150 ක් ධාවනයට එක් කර ඇති බවයි.

එමෙන්ම, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතාද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ධාවන කාල සටහන්වලින් බැහැරව මගී අවශ්‍යතාවය මත අද (15) දිනයේත් බස් රථ යෙදවූ බවයි.

මේ අතර, ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය ගමනාගමන අධිකාරි වජිර පොල්වත්තගේ මහතා කියා සිටියා.

එහෙත්, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ප්‍රකාශ කළේ හෙට (16) දිනයේ දී දුම්රිය ධාවනයේ අඩුවක් සිදුවිය හැකි බවයි.

***************************************

අනින්දා (18) ට අලුත් ආණ්ඩුවක්.. එජාප මන්ත‍්‍රීන් 24 ක් වසන්ත සේනානායකගේ නිවසේ…

(16.11.2019 – 00:03 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිපස් (25) දෙනෙකුට ආසන්න පිරිසක් එළැඹෙන 18 වෙනිදායින් පසු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකඟතාවය පළකර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කරමින් එම ආණ්ඩුව පිහිටුවීම සඳහා මෙම පිරිස එකඟතාවය පලකර ඇති බව වාර්තා වේ.

මෙම පිරිස කණ්ඩායම් තුනක් ලෙස වෙනවෙනම සාකච්ඡා කරන ලද අතර මුලින්ම 10 දෙනෙක් නැවත පස් දෙනෙකු (05) ඊයේ (15) දිනයේ තවත් 09 දෙනෙකු පමණ පිරිසක් සාකච්ඡාවන්ට එක්ව ඇත.

මෙම අවසන් සාකච්චාව පැවැත්වී ඇත්තේ පාර්ලිමේන්තු ජපන් පාර, පහලවෙල පාර, බත්තරමුල්ල යන ලිපිනයේ පිහිටි රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතාගේ නිවසේදීය.

මෙහිදී මන්ත‍්‍රී පිරිස පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක් නොවෙන බවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත්ය.

තමනට වසර 05 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම වැටුප සඳහා සුදුසුකම ලැබෙන තෙක් පාර්ලිමේන්තුව නොවිසුරුවන්නැයි එම පිරිසෙන් වැඩි මන්ත‍්‍රී පිරිසක් යෝජනා කර ඇති බවද වාර්තා වෙයි ෴

***************************************

පැෆ්රල් සංවිධානයෙන් විශේෂ පැමිණිලි ඒකකය

(15.11.2019 – 22:01 +0530 – sinhala.adaderana.lk)

මෙවර ජනාධිපතිවරණයට අදාළව පූර්ව මැතිවරණ සමයේ ක්‍රියාත්මක වූ පරිදිම මැතිවරණ දිනයේදී ද පැෆ්රල් විශේෂ පැමිණිලි ඒකකය පැය 24 ක් පුරාවටම ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාත්මක වේ.

එබැවින් මැතිවරණ දුෂණ, අක්‍රමිකතා හෝ මැතිවරණය සම්බන්ධයෙන් ඇතිවන ඕනෑම ගැටළුවක් අපගේ එම පැමිණිලි ඒකකය වෙත ඔබට ද යොමු කළ හැක.

ඔබ විසින් එසේ යොමුකරනු ලබන පැමිණිලි අපගේ පළපුරුදු නීතිඥ මඩුල්ල වෙත යොමු කරන අතර ඔවුන් විසින් එම පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් අදාළ ආයතන වෙත යොමු කර ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇත.

එසේම එම පැමිණිලි සම්බන්ධයෙන් පූර්ණ රහස්‍යභාවය ද ආරක්ෂා කිරීමට ඔවුන් කටයුතු කරන බවද එම සංවිධානය පවසයි .

විශේෂ පැමිණිලි ඒකකට අදාළ තොරතුරු පහත සඳහන් වේ :

පළාතදුරකථන අංකය
බස්නාහිර070 470 1141
මධ්‍යම070 470 1142
වයඹ070 470 1143
සබරගමුව070 470 1144
උතුරු මැද070 470 1145
දකුණ070 470 1146
ඌව070 470 1147
උතුර හා නැගෙනහිර070 470 1148
  • පොදු දුරකථන : 011 255 8570 /71/74
  • ෆැක්ස් : 011 255 8572
  • Email : paffrel.complains@gmail.com
  • WhatsApp / Viber : 070 470 1155

නිදහස් හා සාධාරණ, සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට සැමදෙනාගෙම සහය ලබා දෙන ලෙසද එම සංවිධානය පවසයි ෴

***************************************

ඡන්ද පොළට යෑමේදී ජංගම දුරකතන රැගෙන යාමෙන් වළකින්න

(15.11.2019 – 23:00 +0530 – lankadeepa.lk)

ඡන්ද පොළට යෑමේදී ජංගම දුරකතන හා ගමන් මළු ආදිය රැගෙන යාමෙන් වළකින්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඡන්ද පොළේදී ජංගම දුරකතන නාද කිරීම , දුරකතනය මගින් හෝ කැමරා මගින් ඡායාරූප ගැනීම සපුරා තහනම් බවද එවැනි වැරදි කරන ඡන්ද දායකයින් පොලිස්භාරයට ගන්නා බවද මැතිවරණ කොමිසම පවසයි.

***************************************

ජනාධිතපතිවරණ කාලසීමාව තුළ විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක්

(15.11.2019 – 21:28 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණ කාලසීමාව තුළ යම් ආපදා තත්වයක් හේතුවෙන් මැතිවරණ කටයුතුවලට සිදුවිය හැකි බාධා වැළැක්වීම සදහා විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් 2019.11.14 දින සිට 2019.11.19 දින දක්වා ස්ථාපිත කර ක්‍රියාත්මක කරමින් පවතී.

මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාරකණ සහ පශු සම්පත් අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු සියලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ධානය තුළ මෙම මෙහෙයුම් ඒකකය ස්ථාපිත කර ඇත.

මැතිවරණ කාල සීමාව තුළ යම් ආපදාතත්වයක් නිසා මැතිවරණයට බාධාවක් වේ නම් හෝ යම් එවැනි ආපදා තත්වයක් හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයේ :

070 211 7117

011 366 8032

011 366 8028

011 366 8029

011 366 8030

යන දුර කථන අංක වෙත හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් ඇමතුම් අංක 117 වෙත දැනුම් දෙන මෙන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි ෴

***************************************

ව්‍යාජ ලෙස හඬකවන ලද අමෙරිකානු ප්‍රකාශිකාවකගේ වීඩියෝවක්

(15.11.2019 – 19:32 +0530 – sinhala.adaderana.lk)

පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සැරිසරන වීඩියෝව ව්‍යාජ එකක් බව අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය ‘අද දෙරණ’ට තහවුරු කළේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සැරිසරන තවත් නිවේදනයක්ද ව්‍යාජව සකස් කළ එකක් බව අප අමෙරිකානු නීති දෙපාර්තතෙම්න්තුවෙන් කළ විමසීමකදී තහවුරු කළේය.

පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වොෂින්ටන්හි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශයක් ලෙස සකස් කෙරුණු ව්‍යාජ වීඩියෝ පටයක් අද (15) දිනයේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

එම වීඩියෝව ව්‍යාජ ලෙස හඬකවා අර්ථ විකෘති කර සකස් කළ එකක් බව අප කළ විමසුමකදී මෙරට අමෙරිකානු තානාපති ප්‍රකාශිකාව වන නැන්සි වැන්හෝන් මහත්මිය සඳහන් කළේය.

එමෙන්ම ඇය වැඩිදුරටත් කියා සිටියේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2019 වසරේ ජූලි මස 09 වනදා පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශිකා මෝගන් ඔටේගස් විසින් නිකුත් කළ මෙම ප්‍රකාශය අද (15) දිනයේදී ව්‍යාජ ලෙස හඬ කවා විකෘති කර සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවයි.

මෙම වීඩියෝව ව්‍යාජ වීඩියෝවක් බව තවදුරටත් තහවුරු වන්නේ වර්ණද ව්‍යාජ ලෙස වෙනස් කර ඇති බැවින් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අමෙරිකානු නීති දොපර්තමේන්තුව විසින් නිකුත් කළ බව පැවසෙන ව්‍යාජ ලිපියක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යනවා.

මෙම ලිපියද ව්‍යාජ ලිපියක් බව අප කළ විමසුකදී අමෙරිකානු නීති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ නොවැම්බර් 11 වන දිනය අමෙරිකාවේ රාජ්‍ය නිවාඩු දිනයක් වන බැවින් එවැනි ලිපියක් කිසිසේත් නිකුත් විය නොහැකි බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් සකස් කළ ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇතැයි ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. ගෝඨාභය රාජපක්ෂ සිය පුරවැසි භාවය සම්බන්ධයෙන් සියලු ලේඛන ඉදිරිපත් කර ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන එම ලිපියේ ඇතුළත් කරුණු අසත්‍ය බවයි ඔහු ප්‍රකාශ කළේ. (15.11.2019 – nethnews.lk)

***************************************

ජනාධිපතිවරණයේ ඉතිහාසය

(15.11.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk)

හත් වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා හෙට (16) පැවැත්වෙන්නේ මෙරට අට වැනි ජනාධිපතිවරණයයි.

අප දැන් යොමුවන්නේ, මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය පිළිබඳ ගෙන එන සටහනකි.

1978 වසරේදී ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළමුවරට විධායක ජනාධිපතිධුරයක් හඳුන්වා දෙනු ලැබූ අතර ඒ අනුව මෙරට පළමු ජනාධිපතිවරණය 1982 දී පැවැත්වුණි.

එහිදි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වු එවක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා 52.91 % ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට ලබාගත හැකි වූයේ 39.07 % ක් පමණයි.

1988 පැවති දෙවන ජනාධිපතිවරණයේදි එවක අගමැති වූ රණසිංහ ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වු අතර සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරගවැදුණි.

එහිදී 50.43 % ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ රණසිංහ ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත් වූ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලබා ගත්තේ 44.95 % ක් පමණයි.

මෙරට තුන්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වන ඡන්දය පැවැත්වුණේ 1994 වසරේදිය.

එහිදි පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 62.28 % ක් ලබා ජයගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ ශ්‍රීමා දිසානායක මහත්මියට ලබාගත හැකි වූයේ 35.91 % කි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලබා ගත් 62.28 % ඡන්ද ප්‍රතිශතය මෙරට ජනාධිපතිවරයකු වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙසින් ඉතිහාසගත වී තිබේ.

1999 වසරේ පැවති ජනාධිපතිවරණයට නැවත වරක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් වු අතර එහිදි ඇය 51.12 % ක් ලබා ගත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජන කරමින් ඉදිරිපත් වු රනිල් වික්‍රමසිංහ මහතාව පරාජයට පත් කරමින්ය.

2005 වසරේ පැවැති ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ මහතා තරග වැදුණු අතර ඔහුගේ ප්‍රතිවාදියා වූයේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතායි.

මහින්ද රාජපක්ෂ මහතා 50.29 % ක් ලබා ගනිමින් තියුණු ජයග්‍රහණයක් වාර්තා කළ අතර රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වුයේ 48.43 % ක් පමණයි.

2010 දි නැවත වරක් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය වෙනුවෙන් තරග කළ අතර එහිදි ඔහු 57.88 % ක් ලබා ගත්තේ එවර ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාව පරාජයට පත් කරමින්ය.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේදි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණින් තරග වැද 51.28 % ක ප්‍රතිශතයක් ලබාගත් අතර එවක ජනාධිපතිධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ මහතාට ලබාගත හැකි වූයේ 47.58 % ක් පමණයි.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලංකාවිධායක ජනාධිපතිධුරයට පත් හය වැන්නා බවට පත්වුණි.

හෙට දිනයේද පැවැත්වෙන්නේ මෙරට 08 වැනි ජනාධිපතිවරණය වන අතර ඉන් ජයගන්නා අපේක්ෂකයා ඉදිරි වසර 05 ක කාලයක් විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *