වහා ධුරවලින් අස්වනු.. – සියළු ආණ්ඩුකාරවරුන්ට ජනාධිපතිගෙන් නියෝග..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• වහා ධුරවලින් අස්වනු.. – සියළු ආණ්ඩුකාරවරුන්ට ජනාධිපතිගෙන් නියෝග..

• යුද සහ නාවික හමුදාපතිවරු, ජනපති හමුවෙති

• ජනාධිපති කාර්යමණ්ඩලය 2,500 සිට 250 දක්වා අඩු කෙරේ

• ජනපති ආරක්ෂක රථ පෙළත් සීමා කරයි… ගමන් කරන පාරවල් නොවසයි !

• බෙදුම්වායට යළි ඉඩ නෑ … ජාතික ගීය මින්පසු සිංහලෙන් පමණයි …

• මහ බැංකු සොරකමේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා – විමල් වීරවංශ (විඩියෝ)

• අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි (විඩියෝ)

• රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වේ (විඩියෝ)

• ජනපති ගෝඨාභය රාජපක්ෂ දළඳා සමිදුන් වැඳ පුදා ගනී (විඩියෝ)

• භාණ්ඩාගාරයේ නැති වී ගිය ගෞරවය යළි ගොඩනැංවිය යුතුයි – නව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල

• ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් මිල ඉහළ නැංවීම නිසා තිරිගු පිටි ආනයනය කිරීමට වෙනත් පාර්ශවයන්ට අවසර

• ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ධුරයේ වැඩ අරඹයි (විඩියෝ)

• හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ දුක් විඳින වකුගඩු රෝගීන් (විඩියෝ)

• ‘නව සිංහල රාවය’ත් විසුරුවා හරින්න සුදානම් (විඩියෝ)

• කවුද දිනන්නේ අද ? දිලිත් ජයවීර – TV Derana , FM Derana අයිතිකරු (15.11.2019) (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

වහා ධුරවලින් අස්වනු.. – සියළු ආණ්ඩුකාරවරුන්ට ජනාධිපතිගෙන් නියෝග..

(20.11.2019 – 14:14 +0530 – lankacnews.com)

සියලු ම පළාත් නියෝජනය කරන ආණ්ඩුකාරවරුන්ට වහාම සිය ධූරවලින් ඉවත් වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත මෙම දැනුම්දීම කර ඇත.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මේ බව තහවුරු කළේය ෴

***************************************

යුද සහ නාවික හමුදාපතිවරු, ජනපති හමුවෙති

(20.11.2019 – 14:09 +0530 – lankaleadnews.com)

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (19) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති සහ ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු හමුවූ පළමු නිල හමුව මෙය විය.

7 වන විධායක ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව නාවික හමුදාපතිවරයා සිය කැමැත්ත පළ කළ අතර පසුව ඔවුන් සුහද සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම අවස්ථාවට ඇති වැදගත්කම සනිටුහන් කරමින් නාවික හමුදා ප්‍රධානියා විසින් ජනාධිපතිවරයාට සිහිවටනයක් පිරිනමා තිබේ.

මේ අතර, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය පළමු නිල ගෞරවය දැක්වීය.

ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා විසින් ලබා දුන් මාර්ගෝපදේශයන්ට අනුව ජාතික කැපවීම් ඉටු කිරීම සඳහා තම හමුදාවේ හොඳම සහයෝගය සෑම විටම සහතික කළේය.

කෙටි හමුව අවසානය වන විට, ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා විසින් ජනාධිපතිවරයාගේ සමාරම්භක උත්සවයට සමගාමීව සිහිවටනයක් ලෙස නව ජනාධිපතිවරයාට දාගැබක අනුරුවක් පිරිනැමීය.

***************************************

ජනාධිපති කාර්යමණ්ඩලය 2,500 සිට 250 දක්වා අඩු කෙරේ

(20.11.2019 – 12:04 +0530 – lankaleadnews.com)

ජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19 දා) නියෝග කර තිබේ.

මේ වනවිට ජනාධිපති කාර්යමණ්ඩලයට 2,500 කට ආසන්න පිරිසක් සිටින බවට වාර්තා වේ.

එම පිරිස 250 දක්වා අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී ඇත.

මෙම කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් රුපියල් බිලියන 30 ක ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමට යොදවා තිබෙන අතර, මෙම ව්‍යපෘති ප්‍රමාණය අඩු කර ගැනීමට අවශ්‍ය වාර්තා තමාට ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

මේ අතර අමාත්‍යාංශවල රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දක්වමින් අද (20 දා) දිනයේදී සියලු අමත්‍යාංශ වෙත චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදී ඇත.

+++++++++++++++++++++++++++++++++++

ජනපති ආරක්ෂක රථ පෙළත් සීමා කරයි… ගමන් කරන පාරවල් නොවසයි !

(20.11.2019 – colombotoday.com)

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් ගන්න් වාහන සංඛ්‍යාව උපරිමය 4 කට සීමා කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබේ.

එසේම ඔහු මාර්ගයේ ගමන් ගන්නා විට කිසිම මාර්ගයක් වසා නොතබන ලෙසද ජනපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

සුපුරුදු පරිදි ඔහුගේ ආරක්ෂාව කොමාන්ඩෝ රෙජිමේන්තුව මගින් සපයනු ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

බෙදුම්වායට යළි ඉඩ නෑ … ජාතික ගීය මින්පසු සිංහලෙන් පමණයි …

(20.11.2019 – colombotoday.com)

මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය යහපාලන රජය පත්වූ වාහම ජාතික ගීය දෙමළ බසින්ද ගැයීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා දුන් අතර, එය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්විය.

ලෝකයේ කිසිදු රටක් ජාතීන් අනුව වෙන වෙනම ජාතික ගී භාවිතා කරන්නේ නැත ෴

***************************************

මහ බැංකු සොරකමේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා – විමල් වීරවංශ

(20.11.2019 – 14:39 +0530 – sinhala.adaderana.lk)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් පවතින ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන රජය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විමල් වීරවංශ මහතා මේ බව පැවසීය.

එමෙන්ම මහ බැංකුවේ සිදු වු සොරකම සම්බන්ධයෙන්ද සොයි බලා වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටය කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

සූදු වැන් රියදුරු ලෙස පසුගිය දා යම් පුද්ගලයෙක් ගෙන්නවා රාජිත සේනාරත්න මහතා විසින් කළ ක්‍රියාදාම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවත් අදාල රියදුරුයැයි පැවසු පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඔගේ සාක්ෂි අනුව එවැනි ඝාතන සිදු වි ඇත්නම් ඒ සම්බන්දයෙන්ද ක්‍රියා කරන බව ඒ මහතා සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රකාශ කිරීමට ප්‍රතිවාදීන් කටයුතු කළ බවයි.

ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.facebook.com/slppmediacentre/videos/476018943015550/

***************************************

අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි

(20.11.2019 – 15:52 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී ඔහු මේ බව නිල වශයෙන් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී ඇති බවයි වාර්තාවන්නේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වේ

(20.11.2019 – gossiplankanews.com)

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අභිමතය පරිදි පරිපාලක කණ්ඩායමක් සකසා ගැනීම පහසු කිරීම පිණිස අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව සවස 3.45 ට පමණ අගමැති කාර්යාලය නිවේදනය කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2/3 බලය ලබාදී නව ආණ්ඩුවක් පත්කරවන මහමැතිවරණයකට දැන්ම නොයාමට ජනපති ගෝඨාභය මහතා සමග පැවති සාකච්ඡාවේදී අගමැති රනිල් එකගවූයේ විශ්‍රාම ගැනීමට සිටින 40 කට වැඩි නවක මන්ත්‍රීවරුන් අමාරුවේ නොදමන අදහස මුල්කරගෙනයි.

එම තීරණය ගෝඨාභය හා රනිල් එක්ව ලබාගෙන තිබූ අතර ඒ අනුව එකම විකල්පය වූයේ පවත්නා රාමුව තුළම ආණ්ඩුවක් තැනීමය.

පාර්ලිමේන්තුවේ අඩු බහුතරයකින් මේ දක්වා විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු ඇමතිවරුන් බවට පත් කර ආණ්ඩුවක් සැකසීමය.

අගමැති රනිල්ගේ ඉල්ලා අස්වීම සමග ඇමති මන්ඩලයද අහෝසිවනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරය යටතේ නව අගමැතිවරයෙකු හා නව කැබිනට් මණ්ඩලයක් මේ අනුව ඉදිරියේදී දිවුරුම් දෙනු ඇත ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

ජනපති ගෝඨාභය රාජපක්ෂ දළඳා සමිදුන් වැඳ පුදා ගනී

(20.11.2019 – 10:09 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව, චාරිත්‍රානුකූලව දළදා මාලිගාව වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්.

ඉන් අනතුරුවයි, ජනාධිපතිවරයා දළදා සමිදුන් වැද පුදා ගනු ලැබුවේ.

https://www.facebook.com/hirunews/videos/432071067742122/

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

භාණ්ඩාගාරයේ නැති වී ගිය ගෞරවය යළි ගොඩනැංවිය යුතුයි – නව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල

(20.11.2019 – 15:25 +0530 – sinhala.adaderana.lk)

පැහැදිලි ජනවරමක් සහිතව රටට නව දැක්මකින් යුක්තව නායකත්වයක් ලැබී ඇති මේ මොහොතේ භාණ්ඩාගාරයේ නැති වී ගිය ගෞරවය යළි ගොඩනැංවීමට පෙරට ආ යුතු බව නව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.

රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබ සාධනය මත පදනම්ව රට ඉදිරියට රැගෙන යාම සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව හෙතෙම පැවැසීය.

අද (20) භාණ්ඩාගාරයේ ලේකම් ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ආටිගල මහතා මේ බවපැවැසීය.

“පැහැදිලි ජනවරමකින් රටට නව දැක්මක් සහිත නායකත්වයක් ලැබී තිබේ. දේශීයත්වයේ සුවඳ දැනෙන රාජ්‍ය නායකයකු යටතේ රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබසාධන මත පදනම් ව සියලු දෙනා ඇතුළත්කොට රටඉදිරියට ගමන් කිරීම සඳහා පියවර ගන්නා බව ආටිගල මහතා පැවැසීය.

කලක් මුදල් අමාත්‍යාංශය ගෞරවණීය තත්ත්වයක් උදාකරගෙන තිබූ අතර එහි නිලධාරීන් ලෙස අප ද ඒ ගෞරවයේ කොටස්කරුවෝ වීමු.

එහෙත් පසුව අප නිලධාරීන්ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට, අල්ලස් කොමිසමට සාක්ෂි ලබා දීමට යාමට සිදූවීමත් සමග එම ගෞරවණීය තත්ත්වය නැතිවී ගියඅතර නිලධාරීහු ද තීන්දු තීරණ ගැනීමෙන් වැළකී වගකීම අන් අයට පැවරීමට පුරුදුව සිටියහ.

එසේ කිරීමට මුදල් අමාත්‍යාංශය යනු ක්‍රීඩා පිටියක් නොවේ. මේ තත්ත්වය දිගින් දිගටම පැවැතීම රට ඉදිරියට ගමන් කිරීමට බාධා පමුණුවන බැවින් නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව නිලධාරීන්ට තිබිය යුතු ය.

ජනතාව පැහැදිලි තීන්දුවක් ලබා දීඇති මොහොතේ අපි නිලධාරීන් ලෙස නිවැරැදි තීන්දු තීරණ ගත යුතු ය. ඔබ ලබා ගන්නා සෑමතීන්දුවක් වෙනුවෙන් ම තමා පෙනී සිටින බව ද හෙතෙම මෙහි දී අවධාරණය කළේ ය.

අප මෙහි කාමරවලට වී කොපමණ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ ද එම සංඛ්‍යා ලේඛනවලට අදාළ තත්ත්වයන් මහ පොළොවේ යථාර්ථය තුළ දක්නට නොමැති බව පෙනේ.

එබැවින් සංඛ්‍යා ලේඛනවල ඇති දත්ත මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරලීම අපේ යුතුකම ය. සංඛ්‍යා ලේඛන අනුව ඒක පුද්ගල ආදායම ඉහළ තත්ත්වයේ තිබීම පිළිබඳව අප සතුටු වූව ද එය බිම් මට්ටමේ යථාර්ථයක් නොවන හෙයින් සැබෑ ලෙස එම තත්ත්වය ඇති කිරීමට නිලධාරීන් කැපවිය යුතු ය.

අමාත්‍යාංශයේ සියලු දෙපාර්තමේන්තු අතර නිවැරැදි සහසම්බන්ධතාවක් පවත්වාගෙන යායුතු ය.

ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් යම් කටයුත්තක් සඳහා මුදල් වෙන් කරද්දී එම මුදල් ලබා දීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට ඇති හැකියාව ද ඒ අවස්ථාවේදී ම අනාවරණය කර ගතයුතු ය.

මෙවැනි සහසම්බන්ධතා නිසා පහසුවෙන් භාණ්ඩාගාරය ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී.

මෙහි දී ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ භූමිකාව ද වැදගත් බවසිහිපත් කළ යුතු ය.

හිත ඇත්නම් පතකුඩා ද යන පැරැණි කියමනට අනුව යමින් අපට මේ රට වැටී ඇති තැනින් රට ගොඩ ගැනීමට අප සියලු දෙනා උත්සහ කරමු.

එය කළ හැකි ය යන්න මාගේ විශ්වාසයයි. ඒ හරහා ජනාධිපතිතුමාගේ සංකල්පය වන රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබ සාධනය සඳහා රටේසියලු කොටස් ඇතුළත් කර ගත යුතු ය.”

භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේශප්‍රිය, නියෝජ්‍ය ලේකම්වරු වන ඒ. එම්. පී. එම්. බී. අතපත්තු, ඒ. කේ. සෙනෙවිරත්න යන මහත්වරු සහ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක් වූහ.

මීට අමතරව වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය ෴

***************************************

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් මිල ඉහළ නැංවීම නිසා තිරිගු පිටි ආනයනය කිරීමට වෙනත් පාර්ශවයන්ට අවසර

(20.11.2019 – 11:50 +0530 – hirunews.lk/sinhala)

පී‍්‍රමා සහ සෙරන්ඩිබ් සමාගම් තිරිගු පිටි මිල ඉහළ දැමිමට කටයුතු කිරිම නිසා වෙනත් පාර්ශවයන්ට තිරිගු පිටි ආනයනන කිරිමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය අවසර ලබා දී තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ අදාළ සමාගම් පිටි මිල විටින් විට ඉහළ දැමීම නිසා තම කර්මාන්තය සිදු කර ගෙන යාමට නොහැකි බවට බේකරි හිමියන් කළ පැමිණිලි වලට අනුව මෙම තීරණය ගත් බවයි.

තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8 කින් ඉහළ දැමීමට පසුගියදා අදාළ සමාගම් පියවර ගනු ලැබුවා.

මෙම තත්ත්වයට පිලියමක් ලෙස තිරිගු පිටි ආනයනය කිරීමේදී දැනට පවතින රුපියල් 37.50 බද්ද රුපියල් 15 සහ 20 අතර මිලකට අඩු කරන ලෙසට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය භාණ්ඩාගාරයෙන් ඉල්ලිමක් ද කර තිබෙනවා ෴

***************************************

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ධුරයේ වැඩ අරඹයි

(20.11.2019 – 10:47 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අද (20) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.

පෙරවරු 8.15 ට යෙදුණු සුබ මොහොතින් ආරක්ෂක අමාත්‍යාංශයේදී වැඩ භාර ගැනීම සිදුකළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඔහු මෙරට පැවති යුද්ධය නිමා කිරීමේ අවසන් සටනේ පුරෝගාමී සෙන්පතියෙක් වන අතර, 53 වන බල සේනාවේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළා.

විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා බ්‍රසීලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

***************************************

හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ දුක් විඳින වකුගඩු රෝගීන්

(20.11.2019 – 13:25 +0530 – sinhala.adaderana.lk)

හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ පවතින වෛද්‍ය උපකරණ හිඟයක් හේතුවෙන් එහි ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

ඔවුන් පවසන්නේ දැන් දින පහක පමණ සිට තමාට රෝහලෙන් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිවූ බවයි.

හිඟුරක්ගොඩ රෝහලෙන් වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් 600 දෙනෙක් පමණ සිටින අතර එයින් දින දෙකකට වරක් රුධිර කාන්දුකරණය කිරීමට අවශ්‍ය රෝගීන් 20 දෙනෙකු පමණ සිටියි.

නමුත් දැනට දින පහක පමණ කාලයක සිට හිඟුරක්ගොඩ රෝහලෙන් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව තමා දැඩි අපහසුතාවයට පත්ව සිටින බව එම රෝගීන් පවසයි.

ඒ රුධිර කාන්දුකරණ ඒකකයේ පවතින උපකරණ හිඟයක් හේතුවෙන්.

මෙහිදී අදහස් දැක්වු රෝගීයෙකු කියා සිටියේ ද , උපකරණ නොමැති කමින් මෙම තත්ත්වය ඇතිව තිබෙන බව රෝහල පවසන බවයි.

මෙම උපකරණ නොමැතිකමින් රෝගීන් දැඩි ලෙස අසරණ වී ඇති අයුරු අද දෙරණට දක්නට ලැබිණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසිමකදි පොළොන්නරුව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. එස්. ඒ ජයසිංහ මහතා පැවසුවේ, හිගුරක්ගොඩ රෝහල් බලධාරීන් උපකරණ හිඟය සම්බන්ධයෙන් මේ වනතෙක් තමාට කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

***************************************

‘නව සිංහල රාවය’ත් විසුරුවා හරින්න සුදානම්

(20.11.2019 – 11:55 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය පෙළපතින් පසු රටට නියමාකාර නායකයෙක් ලැබී ඇති බැවින් මින් මතුවට රට ජාතිය ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික සංවිධානවල අවශ්‍යතාවක් නොමැති බව ‘නව සිංහල රාවය’ ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.

රට, ජාතිය, සංස්කෘතිය, ආගම, සාසනය සුරැකීමේ වගකීම නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිසි ආකාරව ඉටු කරන බවට මහා සංඝරත්නයට පුර්ණ විශ්වාසයක් පවතින බවත් එම කර්තව්‍ය ජනාධිපතිවරයාට භාර මහා සංඝරත්නය උපේක්ෂාවෙන් බල සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එම නිසා එළඹේන පාර්ලාමේන්තු මැතිවරයෙන් පසු නව සිංහල රාවය ජාතික සංවිධානය විසුරුවාහරින්ට කටයුතු කරන බවද උන්වහන්සේ පැවසීය.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සමස්ත සිංහළ ජනතාව පක්ෂ පාට භේදයකින් තොරව ඡන්දය ලබා දුන්නේ මහා සංඝ රත්නයේ ඉල්ලීම මත බවත් එම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්පාක්ෂික රාජ්‍ය නායකයෙක් බව උන් වහන්සේ පැහැදිල කළේය.

එක්සත් ජාතික පක්ෂයටය මේ ආකාරයට පරාජ වීමට හේතු වුයේ එම පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් මහා සංඝ රත්නයට, බෞද්ධාගමට සහ සිංහල සංස්කෘතියට නිගා කිරීම නිසා බවද උන්වහන්සේ පෙන්වා දුනේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ නිවැරදි රාජ්‍ය පාලන තන්ත්‍රයන් බිහි වී ඇති බවත් ඒ හරහා අන්තවාදයට හොඳ පිළිතුරක් ලැබී තිබෙන බවත් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැහැදිලි කළේය.

ඉතා ඉක්මනින් නව පාර්ලිමේන්තුවක් පිහිටුවා රට සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙසත් වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පවසයි.

එමෙන්ම තම කඳවුරේද රාජ්‍ය දේපළ මංකොල්ලකෑම් සහ වැරදි ක්‍රියා සිදු කළ පුද්ගලයින් සිටිනම් ඔවුන්ටද නිසි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමයන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

***************************************

කවුද දිනන්නේ අද ? දිලිත් ජයවීර – TV Derana , FM Derana අයිතිකරු (15.11.2019)

https://www.youtube.com/watch?v=0eolbdJYHks
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *