පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ස්වාධීන කමිටුවක් පත්කරන බව ජනපති කියයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ස්වාධීන කමිටුවක් පත්කරන බව ජනපති කියයි (විඩියෝ)

• ගෝඨාභය ජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

• භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

• ශානි අබේසේකර CID අධ්‍යක්‍ෂ තනතුරින් ඉවතට

• ශානි අබේසේකර රහස් පොලිසියෙන් ඉවත් කරයි

• ජන මතය කිලිටි කරන ජාතික ආණ්ඩු එපා – වෛද්‍ය වසන්ත බන්ඩාර (19.11.2019) (විඩියෝ)

• තක්කඩි අවස්ථාවාදින්

• හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය නම් ඔහු

• ප්‍රචාරක පුවරු – ප්‍රචාරණ කාර්යාල වසා දමන්නැයි ජනපතිගෙන් උපදෙස්

• කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (23) ජල සැපයුම අත්හිටුවයි

• කටුබැද්දේ රසායනික ද්‍රව්‍ය ගබඩාවක් ගිනි ගනී – මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ 15 ක් – ගුවන් හමුදාවත් කැදවයි (විඩියෝ)

• ‘හිරු සී.අයි.ඒ’ : හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ට චෝදනාවක් (විඩියෝ)

• බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් (විඩියෝ)

• විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ අරඹයි (විඩියෝ)

• හකීම්ගෙන් තර්ජන නිසා රටින් ගිය මවුලවි යළි දිවයිනට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ස්වාධීන කමිටුවක් පත්කරන බව ජනපති කියයි

(21.11.2019 – 20:11 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමට අගරදගුරු නිල නිවස වෙත පැමිණියේ අද (21) පස්වරුවේයි.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සමරු සටහනක් ද තබනු ලැබුවා.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සංසරණයවීම පිලිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

***************************************

ගෝඨාභය ජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

(22.11.2019 – 06:48 +0530 – lankaleadnews.com)

ජනාධිපති මන්දිරයේ පදිංචියට නොයා මිරිහානේ පිහිටි තම පෞද්ගලික නිවසේ දිගටම පදිංචිව සිටීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික නිල අවශ්‍යතා සඳහා පමණක් ජනපති මන්දිරය භාවිත කිරීමටත් නිල නිවසක් නොගැනීමටත් ජනපතිවරයාගේ තීරණය වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මන්දිරය වෙනුවට මහගමසේකර මාවතේ නිල නිවසක් භාවිත කළ අතර ධුරයෙන් ඉවත්ව යන මොහොතේ එම නිවස කැබිනට් පත්‍රිකාවකින් ඔහුගේ පෞද්ගලික භාවිතයට ලබා ගැනීමට අනුමැතිය ගත්තේය ෴

***************************************

භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

(22.11.2019 – 01:18 +0530 – lankaleadnews.com)

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෙට (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

නව ආණ්ඩුව මීළඟ මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක් ලෙස කටයුතු කරන අතර එහි කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමතිධුර 03 ක්, පොදුජන පෙරමුණට ඇමති ධුර 07 ක්, සෙසු පක්‍ෂවලට ඇමති ධුර 05 ක් ලෙස ඇමතිධූර බෙදී යන බව ද වාර්තාවේ.

කැබිනට් ඇමැතිවරුන් 15 දෙනකු පත් කරන බව කලින් ප්‍රකාශ කළද එම සංඛ්‍යාව ඉක්මවා යනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. තරුණ මන්ත්‍රීවරුන්ට සහ වැඩිම ඡන්ද ලබා දුන් දිස්ත්‍රික්කවල ජනප්‍රිය මන්ත්‍රීවරුන්ටත් ඇමැති ධුර ලබාදීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.

දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ​ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් ‌සේමසිංහ, රමේෂ් පතිරණ, ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්ද, ආරුමුගම් තොණ්ඩමන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

කැබිනට් ඇමැතිවරුන් 15 දෙනාට අමතරව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමක් සිදු නොවන බවද දැනගන්නට තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අද (21) අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එතෙක් පැවැති කැබිනට් මණ්ඩලය ද අහෝසි විය ෴

***************************************

ශානි අබේසේකර CID අධ්‍යක්‍ෂ තනතුරින් ඉවතට

(21.11.2019 – 19:20 +0530 – lankaleadnews.com)

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් අද (21 දා) දින ඉවත්කර තිබේ.

ඒ අනුව ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරියා ලෙස පත්කර යවා ඇත.

ජාතික පොලිස් කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත්කිරීමට නියමිතව තිබේ ෴

+++++++++++++++++++++

ශානි අබේසේකර රහස් පොලිසියෙන් ඉවත් කරයි

(21.11.2019 – 20:34 +0530 – lankadeepa.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසන් සභාව අද (21) තීරණය කළ බව එහි ආරංචි මාර්ග කියයි.

පොලිස් කොමිසන් සභාව ගත් එම තීරණය අද (21) සවස්වරුවේ පොලිස් මූලස්ථානයට ද යොමු කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ශානි අබේසේකර මහතා ස්ථාන මාරු කළේ බැඩබලන පොලිස්පතිවරයාගේ ද නිර්දේශ අනුව බව පොලිස් කොමිසන් සභාව කියයි. අබේසේකර මහතා ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කර තිබේ.

රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.

මාධ්‍යවේදීන් වන ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ.

ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කරනු ලැබ ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් හත් වැනිදාය. රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මත ජාතික පොලිස් කොමිසන් සභාව විසින් එම පත්වීම කරනු ලැබීය ෴

***************************************

ජන මතය කිලිටි කරන ජාතික ආණ්ඩු එපා – වෛද්‍ය වසන්ත බන්ඩාර (19.11.2019)

***************************************

තක්කඩි අවස්ථාවාදින්

(21.11.2019 – 19:41 +0530 – lankaleadnews.com)

විදෙස්ගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ මේ ජයග්‍රහණයේ විශාල පංගුකාරිත්වයක් දැරුවා. කිසිදු ලාභ අපේක්ෂාවක් නැතුව රට වෙනුවෙන් සමාජ ජාල ඇතුලේ කරන්න පුළුවන් උපරිම දේ කරලත් ඡන්දය දාන්නත් බොහෝ පිරිසක් ලංකාවට ඇදී ආව. අපි අපේ වටිනාම ස්තුතිය පළමුව ඔවුන්ට පුද කර සිටින්න කැමතියි.

දෙවනුව පහුගිය අවුරුදු පහ ඇතුළත මේ ආණ්ඩුවෙන් රටට වූ කොතෙකුත් වැරදි නොදැක්කා සේ ඉදිමින් , කිසිම විවේචනයක් නොකර, ගෝටාභය බලයට ගෙන්න කිසිම සංවාදයක් නොකර, කිසිම පොස්ටුවක් නොලියා , අනුන් ලිව්ව එකක් හෝ share නොකර , අපි ඔය ජරා දේශපාලනයට නෑ වගේ ෂේප් න්‍යායෙන් පාඩුවේ හිටපු අය දැන් නෙළුම් පොහොට්ටුවෙයි ගෝටභයගේ ඡයාරූපයි විනාඩියට දෙක ගානේ අප්ලෝඩ් කරන්න පටන් අරන්. ඔය උනන්දුව යහපාලනය කියාගෙන ආව ආණ්ඩුව රටට අහිතකර තීන්දු තීරණ ගන්නකොට තිබුනා නම් කොච්චර එකක් ද ? තමන්ගේ වෝල් එකේ ඉන්න මිතුරන් අමනාප වෙයි , ඔවුන් අකමැති වෙයි , තමන්ගේ දේශපාලන ඔවුන් ඉදිරියේ හෙළිදරව් වෙයි කියල හිතාගෙන දේශපාලනය තම තමන්ගේ මුහුණු පොතට ඇකැප දේවල් ලෙස සලකා ගෙවත්තේ මල් පැලයක ඡායාරූපයක්, උයා පිහා ගත් දෙයක් හෝ ෂොපින් යනගමන් ගත් සෙල්පියක් වගේ දේවල් ෆේස්බුක් දාගෙන, ශේප් එකේ හිටපු අය දැන් හදිසියේම නින්දෙන් ඇහැරිලා තියෙන්නේ ඇයි කියල අපිට නොතේරෙනවා කියල වෙන්න ඇති එයාල හිතාගෙන ඉන්නේ.

මෙන්න මේ තක්කඩි අවස්ථාවාදී මිනිස්සු දේශපාලන ප්‍රතිවාදීන්ටත් වඩා භයානක පහත් මිනිස්සු බවයි මගේ පෞද්ගලික අදහස. මොකද මේ අයට අපි කියන්නේ නැහැ අපිවාගේ රුදාවකින් දිවා රෑ දෙකේ දේශපාලනය ගැන උනන්දු වෙන්න කියලා. නමුත් ෆෙඩරල් ව්‍යවස්ථා ගේන්න හැදුවා වගේ රටේ තීරණාත්මක ප්‍රශ්න අභියස පවා වචනයක් කතා නොකර කන් පැලෙන නිහඩතාවයකින් මේ අය හිටියා. අඩුම තරමේ ඒ සම්බන්ධයෙන් තමන්ගේ මතය සනිටුහන්වීම තමන්ගේ වෝල්වල යහපාලන මිතුරන්ට පෙනෙයි කියලා දේශපාලන පොස්ට්වලට ලයික් කමෙන්ට් එකක්වත් නොදා ඉන්න තරම් අරපරිස්සම් වුණා. වරාය වගේ රටේ ස්වභාවික සම්පත් අනූනම අවුරුද්දකට බදු දෙද්දී නිහඩව හිටපු අය, දැන් පුදුමාකාර විදිහට රාජපක්ෂ ප්‍රේමින් වෙලා තියෙන්නේ ඇයි? ජනාධිපතිවරණයෙන් Gotabaya Rajapaksa දිනනකම් තමන්ගේ පැත්ත මොකක් ද කියලාවත් හෙළිදරව් නොකරන්න තරම් පරිස්සම් වූ අය දින්නට පස්සේ ඒ ජයග්‍රහණයේ ලොකුම පංගුකාරයන් බව පෙන්නන හදන්න එකෙන් පේන්නේ මොවුන් කොතරම් කපටි අවස්ථාවාදීන්ද යන්නයි.

ඒත් අපි පහුගිය අවුරුදු පහ පුරාම දවසින් දවස වෛරක්කාරයෝ හදාගෙන , නින්දා අපහාස මඩ අවලාද නාගෙන , මිතුරන් නැතිකරගෙන, අපි විශ්වාස කරපු සමාජ ධර්මයක් වෙනුවෙන් පෙනී හිටියා. ඒ ගමනේ දී අපෙන් ඈත් වෙන්නේ කවුද ? අපේ මත රුස්සන්නේ නැත්තේ කවුද ? වෝල් එකේ ඉන්න අනෙක් මිතුරන් අපි ලියන ඒවාට කැමති වෙයි ද? අකමැති වෙයි ද? වගේ දේවල් අපි අදාළ කරගත්තේ නැහැ. අපිට තිබුනේ ඉලක්කයක් සහය අරමුණක් විතරයි. අපේ සහයට කවුරු ආවත් නාවත් අපි විශ්වාස කරපු පාරේ අපි ගියා. ඒත් පහුගිය ආණ්ඩුව කන පිගානටත් බදු ගහන දවසක් එනකම් අඳ ගොළු බිහිරන් සේ හිටපු අය තමයි දැන් අපටත් වඩා මේ ජයග්‍රහණයේ පංගුකාරයෝ බව පෙන්වමින් ඉන්නේ. අපි තමයි දැන් සියඹලා ගෙනල්ලම නැති මිනිස්සු.

රාජපක්ෂවරුන් ඇතුළු මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටත් තමන්ගේ සතුරා මිතුරා හා අවස්ථාවාදීන් හඳුනා නොගත්තොත් මේ ආණ්ඩුවටත් වැඩි ආයුෂක් නැති බව නිකමට වගේ මතක්කර තියන්නත් කැමතියි.

– රත්තනදෙණියේ මේධානන්ද හිමි

***************************************

හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය නම් ඔහු

(21.11.2019 – 23:43 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා නිලධාරියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර දේශපාලනඥයකු නොවන පුද්ගලයකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ පළමු අවස්ථාව ද මෙය වේ.

හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරකු වන ඔහු තිස් අවුරුදු සිවිල් යුද්ධය අවසන් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ප්‍රමුඛ දායකත්වයක් සැපයීය.

හිටපු නියෝජ්‍ය කතානායකවරයකු වූ ඩී. ඒ. රාජපක්ෂ මහතා සහ දන්දිනා සමරසිංහ මවුපියන්ට දාව නන්දසේන ගෝඨාභය රාජපක්ෂ 1949 ජූනි 20 වැනිදා මාතර, පාලටුවේදී සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුත් පවුලක උපත ලැබීය.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා 1971 අප්‍රේල් මාසයේ දී ආධුනික නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. 1972 දී උප ලුතිනන්වරයකු ලෙස රාජකාරි ආරම්භ කළ ඔහු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස්, ගජබා යන රෙජිමේන්තුවලට අනුයුක්තව සේවය කර ඇත.

1992 දී ලුතිනන් කර්නල් නිලයට උසස් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ඔපරේෂන් ලිබරේෂන්, ස්ට්‍රයික් හාර්ඞ් හා ත්‍රිවිධ බලය’ යන හමුදා ක්‍රියාන්විතවලට සහභාගී වී ඇත.

මවුබිමට ඉටුකළ සේවය වෙනුවෙන් ඔහු රණ වික්‍රම හා රණ ශූර පදක්කම්වලින් පිදුම් ලබා තිබේ.

1992 දී ස්වකැමැත්තෙන් යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එරට පුරවැසිභාවය ලබාගත්තේය. අයෝමා රාජපක්ෂ මහත්මිය සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඔහු එක්දරු පියෙකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරාසි (චෙන්නායි) විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමි කරගෙන ඇත.

2005 වසරේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරනු ලැබිණ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් මාතෘභූමිය මුදාගැනීම සඳහා ආරම්භ කළ මානුෂීය මෙහෙයුමේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හෙතෙම 2006 දෙසැම්බර් මාසයේදී එම සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරාගත්තේ අනූනවයෙනි.

යුද්ධය අවසන් වීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ද පත්වූ ඔහු කොළඹ නගරය අලංකරණය කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කළේය.

කොළඹ නරගයේ ප්‍රසිද්ධ ස්ථානවල තිබූ තාප්ප ඉවත් කර නගරාලංකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හෙතෙම බත්තරමුල්ල දියත උයන, ආකේඩ් චතුරශ්‍රය, කොළඹ කොටුව පාවෙන වෙළෙඳසල් සංකීර්ණය ආදිය ඉදිකරමින් කොළඹ ආකර්ෂණීය නගරයක් බවට පත් කළේය.

ත්‍රිවිධ හමුදා මූලස්ථානය සහ අමාත්‍යාංශ කොළඹ නගරයෙන් පිටතට ගෙනගොස් නගරයේ තදබදය අඩු කිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද ඔහු පියවර ගත්තේය.

මෑතකදි විවෘත කරන ලද ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලයේදී සැලසුම් කළ එකකි.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට නොහැකි බැවින් ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ හවුල්කාර පක්ෂ ඉකුත් අගෝස්තු මස 11 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ද ඉවත් කරගත් බව ගෝඨාභයගේ නීතිඥවරු පවසති.

ලංකාදීප

***************************************

ප්‍රචාරක පුවරු – ප්‍රචාරණ කාර්යාල වසා දමන්නැයි ජනපතිගෙන් උපදෙස්

(21.11.2019 – 20:32 +0530 – lankadeepa.lk)

තම ජයග්‍රහණයට සුබ පතමින් දිවයිනපුරා ප්‍රදර්ශනය කර ඇති සියලුම ප්‍රචාරක පුවරු ඉවත්කරන ලෙසට හා මැතිවරණ සමයේදී විවෘතව තැබුණු ප්‍රචාරණ කාර්යාල වසාදමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (21) වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

පොලිස්පතිවරයා මෙම නියෝගය සම්බන්ධයෙන් අද දිනයේදීම සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් හා උසස් නිලධාරීන් දැනුවත් කර ඇත.

එමෙන්ම දැන්වීම් පුවරු හා මැතිවරණ ප්‍රචාරණ කාර්යාල ඇති ස්ථාන හඳුනා ගැනීමට බුද්ධි අංශ නිලධාරීන්ගේ සහයද ලබාගැනීමට කටයුතු කරන බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

ඒ අනුව පොලිසිය හා දේශපාලන ආධාරකරුවන් එක්වී අද දිනයේදී දැන්වීම් පුවරු ඉවත් කිරීම් හා මැතිවරණ ප්‍රචාරණ කාර්යාල වසා දැමීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පරිසර හිතකාමීව තමන් ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂකධූරයට පත්වූ දිනයේදීම ප්‍රකාශ කළහ ෴

***************************************

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (23) ජල සැපයුම අත්හිටුවයි

(22.11.2019 – 07:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, රාජගිරිය, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ මෙන්ම ඊට සම්බන්ධ සියළුම අතුරු මාර්ගවලට ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

කටුබැද්දේ රසායනික ද්‍රව්‍ය ගබඩාවක් ගිනි ගනී – මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ 15 ක් – ගුවන් හමුදාවත් කැදවයි

(22.11.2019 – 06:28 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – අඟුලාන පාරේ රසායනික ද්‍රව්‍ය සහ නිෂ්පාදන ගබඩා කරන සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේ ඇති වූ ගින්න අද (22) අලුයම වන තුරුම පැවති බව සඳහන්. ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර, එය පාලනය කිරීම අපහසු වී ඇත්තේ ගිනිගෙන ඇති ගබඩාවේ රසායනික ද්‍රව්‍ය පැවතීම හේතුවෙන්.

මොරටුව ගිනි නිවීමේ සේවා ඒකකය මුලින්ම ගින්න නිවීම සඳහා එම ස්ථානයට ගොස් ඇති අතර, පසුව දෙහිවල සහ කොළඹ ගිනි නිවීම් සේවා ඒකකවල ගිනි නිවීමේ රථ ද මෙහෙයුමට එක්වුණා.

ඒ අනුව මේ වන විට ගිනි නිවීමේ රථ 15 ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව රත්මලාන ගුවන් හමුදා කදවුරේ සහයෝගය ද ඒ සඳහා ලබාගෙන තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

‘හිරු සී.අයි.ඒ’ : හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ට චෝදනාවක්

(21.11.2019 – 20:30 +0530 – hirunews.lk/sinhala)

පුත්තලමේ ජීවත්වන අවතැන් වැසියන් බව පවසන පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරිම සඳහා මන්නාරම ප්‍රදේශයට රැගෙන යාමට අද දිනයේ ධුරයෙන් ඉවත්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අමාත්‍යාංශයෙන් රු. ලක්ෂ 95 ක් වැය කළ බවට මේවන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

අද ‘හිරු සී.අයි.ඒ’ අනාවරණය මේ පිළිබඳවයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අධාර අනුබල යටතේ පුත්තලමේ ස්ථිර නිවාස සාදාගෙන මේවන විට ජීවත් වන පිරිස් අවතැන් වූ ජනතාව බව පවසමින් මන්නාරම ප්‍රදේශයට ඡන්දය භාවිත කිරීම සඳහා රැගෙන යාමට සූදානමක් ඇති බව පසුගිය 15 වැනිදා රාත්‍රියේ අනාවරණ වුණා.

ජනාධිපතිවරණය පැවැත්වෙන 16 වැනිදා අලුයම ලංගම බස් රථ 200 කට වැඩි ප්‍රමාණයකින් ජනතාව රැගෙන යාමට සූදානමක් පවතින බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් චෝදනා කළේ.

ඡන්දය භාවිත කිරීමට පුත්තලමේ සිට මන්නාරම ප්‍රදේශය දක්වා මෙම ලංගම බස් රථ මගින් ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 95 කට අධිකයි.

එම මුදල කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් අමාත්‍යාංශය හරහා ලබාදී ඇති බවටයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ලවන්නේ.

අදාළ අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්වූ රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අදාළ චෝදනාව පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

***************************************

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක්

(21.11.2019 – 19:37 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ බී.බී.සී. පුවත් සේවය විසින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බව පවසමින් සිවිල් සංවිධාන කිහිපයක් අද මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාර දුන්නා.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ අදාළ කරුණ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය වහාම ක්‍රියාමාර්ග ගෙන දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා තහවුරු කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, යුද නායකයෙකු ලෙස සිව්වැනි ඊලාම් යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ බව කියන දමිළ ජනතා සමූල ඝාතනයට වගකිව යුතු පුද්ගලයෙකු ලෙස දක්වමින් බ්‍රිතාන්‍යයේ බී.බී.සී. පුවත් සේවාව පසුගියදා ප්‍රවෘත්තියක් විකාශය කර තිබුණා.

එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස යොමුකළ සංදේශයේ දැක්වෙන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්, සිවිල් වැසියන්, මිනිස් පලිහක් ලෙස භාවිත කළ අතර, ඔවුන්ගේ ග්‍රහණ යෙන් මිදී පලා යන අවස්ථාවලදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ඔවුන්ට වෙඩි තැබූ බව සත්‍යය කරුණ වන බවයි.

එමෙන්ම, අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බී.බී.සී ප්‍රවෘත්ති සේවාව හරහා පළ වූ විවිධ වාර්තාවල වගකීම් විරහිත භාවය සහ අසත්‍ය තොරතුරු අන්තර්ගත වීම සහ ඒ හරහා මෙරට ආරක්ෂක හමුදාවේ කීර්තිනාමයට හානි සිදුවීම සම්බන්ධයෙන් වූ කරුණු මෙම සංදේශයෙහි අඩංගු වනවා.

***************************************

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ අරඹයි

(21.11.2019 – 20:03 +0530 – sinhala.adaderana.lk)

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්වූ ඕෂධ සේනානායක මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

ඒ මහතා අද (21) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කර තිබේ.

***************************************

හකීම්ගෙන් තර්ජන නිසා රටින් ගිය මවුලවි යළි දිවයිනට

(21.11.2019 – 19:30 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසු තර්ජන එල්ල වූ බව පවසමින් විදෙස්ගතව සිටි මුස්ලිම් අයිතීන් සුරැකිමේ සංවිධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාර් මවුලවිවරයා අද (21) යළි දිවයිනට පැමිණියේය.

ඔහු සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයගත්තේ නම් තමන් යළි මෙරටට නොපැමිණෙන බවයි.

2015 මහ මැතිවරණයෙන් පසු හිටපු අමාත්‍ය රවූෆ් හකීම් මහතා, පාස්කු ප්‍රහාරය පිටුපස සිටි සහරාන් සමඟ සාකච්ඡා පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මුස්ලිම් අයිතීන් සුරැකිමේ සංවිධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාර් නම් මුස්ලිම් මවුලවීවරයා විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී රටට අනාවරණ කලේය.

සහරාන් සමඟ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිළිබඳව හකීම් සාකච්ඡා කරන අයුරු එහි දැක්වුණි.

ඒ පිළිබඳව මවුලවිවරයා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ඉන් පසු තමාට තර්ජන ඇති බව පවසමින් ඔහු විදෙස් ගත වුණි.

අද (21) පෙරවරුවේ මවුලවිවරයා යළි මෙරටට පැමිණියේය.

රවුෆ් හකිම් මහතාට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල හේතුවෙන් එල්ල වූ තර්ජන මත තමා රටින් පලාගොස් සිටි බව ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරණයේදී රවුෆ් හකීම් මහතා සහය දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පරාජයට පත්වීම හේතුවෙන් තමා යලි දිවයිනට පැමිණි බවයි හෙතෙම පවසන්නේ.

තමාට එල්ල වු තර්ජන පිළිබඳව තමන් පොලීසියට පැමිණිලි කළ ද මේ වන තෙක් රවුෆ් හකීම් මහතාගෙන් කිසිදු කට උත්තරයක් හෝ ගෙන නොමැති බවත් ඒ පිළිබඳ වහා පොලීසිය ක්‍රියාත්මක වන ලෙසත් මවුලවිවරයා ඉල්ලා සිටියේය.

දිගින් දිගටම ප්‍රශ්න කළහොත් සහරාන් පිටුපස සිටින්නේ කවුදැයි අනාවරණය වනු ඇති බවත් මවුලවිවරයා කියා සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *