නව රජ‍යේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නව රජ‍යේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි (විඩියෝ)

• ගම්මන්පිලට ඇමතිකමක් නෑ.. හේතුව මෙන්න..

• ඊළඟට සිදුවන්නේ කුමක්ද…? නීතියට අනුව තත්ත්වය මේකයි… – හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

• නව අගමැති ලේකම් ගාමිණි සෙනරත්

• ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඉරිදා ජල සැපයුම අත්හිටුවයි

• නව ආණ්ඩුවේ පාර්ලිමේන්තු ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුව

• 2019 වර්ෂයට අදාළව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අවසන් ප්‍රතිඵල නිකුත්වේ

• හතු විෂ වු එකම පවුලේ තිදෙනෙකුට අසාධ්‍යයි

• නියෝග වැරදි ලෙස තේරුම් ගැනීමෙන් මාර්ග නාම පුවරු වලට රාජ්‍ය ලාංඡනේ (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

නව රජ‍යේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

(22.11.2019 – pmdnews.lk)

නව රජ‍යේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුවිය.

ඒ අනුව මෙලෙස දිවුරුම් දෙනු ලැබු නව අමාත්‍ය මණ්ඩලය වන්නේ,

  1. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය
  2. නිමල් සිරිපාල ද සිල්වා මහතා – අධිකරණ, මානව හිමිකම් සහ නිති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
  3. ආරුමුගම් තොණ්ඩමන් මහතා – ප්‍රජා සවිබල ගැන්විම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය
  4. දිනේෂ් ගුණවර්ධන මහතා – විදේශ කටයුතු, නිපුණතා සහ රැකිරක්ෂා අමාත්‍ය
  5. ඩග්ලස් දේවානන්ද මහතා – ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය
  6. පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය
  7. බන්දුල ගුණවර්ධන මහතා – තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය
  8. ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
  9. චමල් රාජපක්ෂ මහතා – මහවැලි, කෘෂි කටයුතු සංවර්ධන හා අභ්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය
  10. ඩලස් අලහප්පෙරුම මහතා – අධ්‍යාපන හා ක්‍රිඩා තරුණ කටයුතු අමාත්‍ය
  11. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා – මාර්ග සහ මහ මාර්ග වරාය සහ නාවික කටයුතු අමාත්‍ය
  12. විමල් විරවංශ මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකාරණ
  13. මහින්ද අමරවිර මහතා – විදුලිබල හා බල ශක්ති සහ මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය
  14. එස්.එම්. චන්ද්‍රසේන මහතා – පරිසර සහ වනජිවි සම්පත් සහ ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය
  15. වෛද්‍ය රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂි කර්ම
  16. ප්‍රසන්න රණතුංග මහතා – සංචාරක සහ ගුවන් සේවා / කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඇමති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපතිතුමා කළ කථාව :

+++++++++++++++++++++

එම උත්සවයේ සජීවී විකාශය පහතින් :

https://www.facebook.com/hirunews/videos/1016883495319977/

+++++++++++++++++++++++++++++++++++

ගම්මන්පිලට ඇමතිකමක් නෑ.. හේතුව මෙන්න..

(22.11.2019 – 10:00 +0530 – lankacnews.com)

මැතිවරණය තෙක් පැවැත්වෙන බාරකාර රජයක් සදහා අද (22) දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළත් නොවීම සම්බන්ධයෙන් කතිකාවක් ඇතිව තිබේ.

මේ ගැන අදහස් පල කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ තමන් ස්වෙච්චාවෙන්ම ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දන්වා ඇමති ධූරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.

අන්තර්කාලීන රජයේ ඇමතිධුර ඉතා සීමිත කිරීමට තීරණය කර ඇති නිසා එම ඉඩ පහසුකම් ඇති කිරීම වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

***************************************

ඊළඟට සිදුවන්නේ කුමක්ද…? නීතියට අනුව තත්ත්වය මේකයි… – හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

(22.11.2019 – divaina.com)

නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දී තිබෙන මොහොතක එහි ඊළඟ පියවර ලෙස නෛතික වශයෙන් සකස් වන්නේ කෙසේද…? දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල සහ ඊළඟ දේශපාලන පියවර සඳහා ඇති නෛතික හේතු සාධක කවරේද…? ඒ පිළිබඳව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් පළ කරන ලද අදහස් පහත දැක්වේ :

මෙහිදී ප්‍රථමයෙන් සදහන් කළ යුත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට පරාජිත අපේක්ෂකයා විසින් ද සිය ජයග්‍රාහී අපේක්ෂකයාගේ නායකත්වය පිළිගැනීමයි. එය දේශපාලන සදාචාරය අතින් බලන විට වැදගත් තත්ත්වයකි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති වගකීම විශාලය. ඔහු වෙත පැවරී ඇති විශාල කාර්යය ඉටු කිරීමේදී ව්‍යවස්ථාවේ විධිවිධාන සම්බන්ධයෙන් සලකා බැලීම අත්‍යවශ්‍යය. විවිධ සංශෝධන හේතුවෙන් මේ පිළිබඳව පැටලිලි සහගත තත්ත්වයන් රාශියක් ඇති වී තිබේ. මීට පෙර සිටි ජනාධිපති සිරිසේන මහතා මෙම ධුරය සම්පූර්ණයෙන්ම කෙලෙසා දමා තිබෙන බව කිව හැකිය. මේ නිසා දහනව වැනි සංශෝධනයෙන් පසු ජනාධිපති තනතුර පිළිබඳව නිසි පූර්වාදර්ශයක් ඇත්තේ ද නැත. මෙහිදී වැදගත් වන්නේ භූමිකාව යන වචනයයි. නව ජනාධිපතිවරයා සතු භූමිකාව සඳහා පූර්වාදර්ශයක් නොමැති තත්ත්වයක් තුළදී ඒ සඳහා මග පෙන්වනු ලබන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ චෝදනා රාශියක් තිබුණත් මෙය ආකෘතික වශයෙන් අතිශය ශක්තිමත් භාවයක් පවතින්නක් බව කිව හැකිය. මහාචාර්ය ඒ.ජේ. විල්සන් වැනි විද්වතුන් විසින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී, පරමාධිපත්‍යය බලය පිහිටවා ඇත්තේ ජනතාව කෙරෙහිය. පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම ද භුක්ති විඳීම පිළිබඳව සදහන් වන්නේ ව්‍යවස්ථාවේ හතර වැනි ව්‍යවස්ථාවේය. එහි හතර (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ‘රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය’ යනුවෙනි. මේ මූලික වගන්තිය කිසිම සංශෝධනයකින් යටපත් කර නැත. ඒ අනුව විධායක බලය ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා සතු වූවකි. අපේ ව්‍යවස්ථාවේ හත, අට සහ නවය යන පරිච්ඡේද තුනේම විධායක බලය යනු කුමක්දැයි පැහැදිලි කර තිබේ.

හත්වැනි පරිච්ඡේදයේ විධායක ජනරජයේ ජනාධිපතිවරයා සතු බලතල සහ ඔහුට සෘජුවම පැවරෙන කාර්ය භාරය යි. අට වැනි පරිච්ඡේදයේ සඳහන් වන්නේ කැබිනට් මණ්ඩලය පිළිබඳවයි. නව වෙනි පරිච්ඡේදයේ සඳහන් වන්නේ රාජ්‍ය සේවය පිළිබඳවයි. මේ තුනේම ප්‍රධානියා වන්නේ විධායක ජනාධිපතිවරයායි. ‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වේ. මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 සහ 30 යන ව්‍යවස්ථාවල දැක්වේ. මෙය දහනව වෙනි සංශෝධනයේ ද ඒ ලෙසම තිබේ. එසේම ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම එහි ප්‍රධානියා වන බව අටවෙනි වගන්තියේ සඳහන් වේ. මේ සියල්ල බලන විට ජනාධිපතිවරයා සතු බලතල පරාසය තේරුම් ගත හැකිය. මේ පිළිබඳව අවබෝධය සිරිසේන ජනාධිපතිතුමාට තිබුණේ නැහැ.

ජනාධිපතිවරයකු පත් වූ විට ඇමැති මණ්ඩලය පිළිබඳ සඳහන් වන ආකාරය අප සලකා බැලිය යුතුය. ජනරජයේ අටවෙනි වගන්තියේ :

42(1) ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය.

42(2) අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේ ය.

42(3) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වන්නේ ය.

42(4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය

යනුවෙන් සඳහන් වේ.

ඒ අනුව නව ජනාධිපතිවරයකු වෙත නව අගමැතිවරයකු පත්කරගැනීමේ බලය ලැබෙනු ඇත. මෙම අවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරයා පත් කර ඇති අගමැති නොව නව අගමැතිවරයකු පත් කර ගැනීම සඳහා නව ජන මතය අනුව ජනාධිපතිවරයා වෙත හැකිවෙනවා ඇත. ව්‍යවස්ථාවේ කිසිම තැනක නව අගමැතිවරයා පත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මැතිවරණයේ දී සිදුවෙන බව සඳහන් නොවේ. ඇමැති මණ්ඩලය පත්කිරීම ද එසේය. ව්‍යවස්ථාව අනුව 43 (1) අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය කළ යුත්තේ ය යනුවෙන් එහි සඳහන් වේ. එය ද ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පමණක් කළ හැකි අතර එම පත් කිරීම ද මහ මැතිවරණයකින් පසු නොව නව ජනාධිපති පත් කිරීමෙන් පසු කළ හැකි බලය ඔහුට තිබේ. මීට පෙර බලයේ සිටි ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද පත් කිරීම් සඳහා නව ජනාධිපතිවරයා බැඳී නොමැති බව මෙයින් කිව හැකිය.

මේ පිළිබඳව සඳහන් කිරීමේදී ප්‍රශ්න කළ හැකි අවස්ථා දෙකක් තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා, 2015 ජනවාරි නව වැනිදා සන්ධ්‍යාවේ, ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගස නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමත් 2018 ඔක්තෝබර් මස 26 දින රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස පත් කිරීමත් යන අවස්ථා දෙක මේ බලතල සම්බන්ධයෙන් සලකා බැලීම වැදගත්ය. ජනවාරි නව වැනිදා සන්ධ්‍යාවේදී ජනාධිපතිවරයා සිය බලතල ක්‍රියාත්මක කරන ලද්දේ, සෘජුවම මෙම වගන්තියට අනුවය. ඒ අනුව එය නෛතික තත්ත්වයක් බව කිව හැකිය. ඒ අනුව තවම එම බලතල ක්‍රියාත්මක වන අතර නව ජනාධිපතිවරයා වෙත ද එම බලතල පැවරී තිබේ. ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රිය ඊට වඩා වෙනස් තත්ත්වයක් බව කිව හැකිය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඔහුගේ වරම අනුව අගමැතිවරයෙක් ඒ වන විටත් පත් කර තිබුණි. මහ පළමු පත් කිරීමෙන් අනතුරුව මැතිවරණයෙන් ද ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස ඒ වන විට පත් කර තිබුණි. ඔක්තෝබර් මාසයේ පත් කිරීම ප්‍රශ්නකාරීය. එය නිවැරදි විය හැකි එකම ආකාරය වන්නේ ජාතික ආණ්ඩුව කඩා වැටීමේ අර්ථකථනයයි. එසේ නම් ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ කැබිනට් මණ්ඩලයම අලුතින් පත් කිරීමය.

දහ නව වැනි සංශෝධනය අනුව කලින් සිටි ජනාධිපතිවරයා නොව දැන් සිටින්නේ ඊට වඩා දුර්වල ජනාධිපතිවරයෙක් බව ප්‍රකාශ වේ. එතැනදී ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහ දක්වා අඩු විය. මේ නිසා නව ජනාධිපතිවරයාගේ සෑම දිනක්ම අතිශයින් වැදගත්ය. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කළමනාකරණ කුසලතාව අනුව ඔහුට සිය වැඩ කටයුතු සඳහා එක් දිනක් හෝ නාස්ති කළ හැකි නොවේ. මේ නිසා පවතින නීති රීති අනුව කැබිනට් මණ්ඩලයක් විද්‍යාත්මක ආකාරයෙන් නම් කර එය දිගටම ක්‍රියාත්මක කරගෙන යෑම රටේ සංවර්ධනය පාර්ශ්වයෙන් සලකා බලන විට අත්‍යවශ්‍ය ය. මහ මැතිවරණයකින් පසුව එම කැබිනට් තනතුර සඳහා යොදවන පුද්ගලයන් වෙනස් වුවත් අදාළ කර්තව්‍යයන් ඒ ලෙසම ඔහුට ක්‍රියාත්මක කරගෙන යා හැකි වනු ඇත. මේ නිසා ජනාධිපතිවරයාගේ බලතල සීමා වීම මෙම කටයුතු සඳහා බල නොපානු ඇත. කාලය අවමවීම, අගමැතිවරයා විමසීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය අවම වීම යන කාරණා දුර්වල තත්ත්වයන් නොව ඒවා ප්‍රජාතන්ත්‍රවාදී සීමා ලෙස ගෙන තම බලතල අනුව රට ඉදිරියට ගෙන යෑම නව ජනාධිපතිවරයා සතුය.

සාකච්ඡාවක් ඇසුරෙනි.

– මනෝජ් අබයදීර

***************************************

නව අගමැති ලේකම් ගාමිණි සෙනරත්

(22.11.2019 – divaina.com)

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් ගාමිණි එස්. සෙනරත් මහතා පත්කර ඇත.

ඒ මහතා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී ජනාධිපති අතිරේක ලේකම් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙසද, 2005 වසරේ සිට 2015 දක්වා කටයුතු කර ඇත.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා 2004 වසරේදී අගමැති ලෙස කටයුතු කළ කාලයේද අගමැති අතිරේක ලේකම් ලෙසද කටයුතු කළේ ගාමිණි සෙනරත් මහතායි.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති ගාමිණි සෙනරත් මහතා 1984 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් විය.

ප්‍රථමයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙස රාජ්‍ය සේවයට එක්වූ ඒ මහතා ආගමන විගමන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් යන ධුරද හොබවා ඇත.

ඒ මහතා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගම සහ මහජන බැංකුවේ සභාපති ධුරයන්ද දැරීය.

එමෙන්ම හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්‍ෂණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි ෴

***************************************

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඉරිදා ජල සැපයුම අත්හිටුවයි

(22.11.2019 – 13:07 +0530 – hirunews.lk/sinhala)

කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ ජල නළ පද්ධතියේ සිදුකෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් අනිද්දා (24) පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කටුනායක – සීදුව, ජාඇල නගර සභාව, වත්තල – මාබෝල නගර සභාවේ කොටසක් වන මාබෝල ප්‍රදේශයටයි.

එසේම, ජාඇල සහ වත්තල ප්‍රාදේශීය සභාවලට අයත් වැලිසර, කෙරවළපිටිය, දික් ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, පොල්ගහහේන, ජයශ්‍රීගම සහ බෝයිස්ටවුන් යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

නව ආණ්ඩුවේ පාර්ලිමේන්තු ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුව

(22.11.2019 – 12:49 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුව පත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුව සිදුකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීම සිදුකෙරෙන බවයි ඔහු කියා සිටියේ.

පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කිරීම සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා පැවැත්වෙන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කෙරෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

මේ අතර, විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳිමෙන් පසුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සම්බන්ධයෙන් පත් කිරීම සිදුකෙරෙන බවයි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි ඉල්ලා එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් ඊයේ (21) ලිපියක් යොමුකළා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස ඉල්ලමින් කතානායකවරයා වෙත ඊයේ (21) දිනයේදී තවත් ලිපියක් භාර දෙනු ලැබුවේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් යුතුවයි.

පාර්ලිමේන්තුවේ මීළඟ සභාවාරය ලබන දෙසැම්බර් 3 වන අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා ෴

***************************************

2019 වර්ෂයට අදාළව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අවසන් ප්‍රතිඵල නිකුත්වේ

(22.11.2019 – 12:33 +0530 – hirunews.lk/sinhala)

2019 වර්ෂයට අදාළව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අවසන් ප්‍රතිඵල අද (22) නිකුත් කර තිබෙනවා.

මෙම විභාගය 2019 මැයි 28 දින ආරම්භ වූ අතර, එය 2019 ඔක්තෝම්බර් 08 දින දක්වා නිශ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්‍ර යටතේ පරිගණක ආශ්‍රිතව පැවැත්වුනා.

විභාගය සඳහා අයදුම්කරුවන් 3319 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 2411 දෙනෙකු විභාගය සමත් වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල මෙම මස 29 වන දින නිකුත් කිරීමට නියමිතව තිබුණද, එම ආයතනය මගින් එම දිනට පෙර ඉහත ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා රජය හා කොරියානු රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමක් අනුව මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන අතර, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පවත්වනු ලබයි.

***************************************

හතු විෂ වු එකම පවුලේ තිදෙනෙකුට අසාධ්‍යයි

(22.11.2019 – 13:03 +0530 – sinhala.adaderana.lk)

කැලෑවක පිපී තිබූ විෂ හතු (බිම්මල්) වර්ගයක් ආහාරයට ගත් එකම පවුලක කාන්තාවක් ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු හතු විෂ වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව අද (22) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අරාව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 69 ක කාන්තාවක් හා අවුරුදු 75 සහ 45 වයස්වල පසුවන එකම පවුලක සාමාජික පිරිසකි.

කැලෑවේ පිපී තිබිය දී කඩාගෙන පැමිණී මෙම හතු වර්ගය පිස ආහාරයට ගැනීමෙන් පසුව ඇතිවූ අධික වමනය, බඩ දැවිල්ල, ඔක්කාරය සහ ක්ලාන්තය හේතුවෙන් මොවුන් රෝහල්ගත කර ඇත ෴

***************************************

නියෝග වැරදි ලෙස තේරුම් ගැනීමෙන් මාර්ග නාම පුවරු වලට රාජ්‍ය ලාංඡනේ

(22.11.2019 – gossiplankanews.com)

රජයේ කාර්යාල වල දේශපාලන නායකයින්ගේ ඡායාරූප එල්ලා තැබීම වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් යොදන්නැයි අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමට දිගුවක් සපයමින් ප්‍රාදේශීය දේශපාලනඥයින් පාරවල් නවීකරණයේදී තම තමන්ගේ මුහුණු රූප යොදාගෙන අටවා තිබූ පුවරු වෙනස් කරනු පසුගිය දිනවල වාර්තා විය. එම පුවරු වල ප්‍රමාණය ඇතැම් තැනක අඩි 3 ක් පළල හා අඩි 2 ක් උස වූ අතර මෙතරම් විශාල පුවරුවේ අදාළ දේශපාලකයින්ගේ මුහුණ හා විස්තර තිබූ කොටස් වෙනුවට එම හිස්තැනට දැන් යොදා ඇත්තේ පාරේ නම හා රාජ්‍ය ලාංඡනයයි, ජනපතිගේ නියමයට ඉක්මන් විසඳුමක් ලෙස තහඩු පුවරුව ඉවත් නොකොට තාවකාලිකව මුද්‍රණය කළ වැස්සට ඔරොත්තු දෙන බැනරයක් ලෙස මෙය දක්නට ලැබේ.

මෙහිදී පැනනැගි ගැටලු කිහිපයකි.

ජනපතිවරයා රාජ්‍ය ආයතනවල තමාගේ හා අගමැතිගේ රූප ඉවත් කිරීමට නියෝග කිරීම හා පාරවල් වල ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ රූප ඉවත් කිරීම අතර සම්බන්ධයක් නැත. එකිනෙක පරස්පර නිරූපණයන් වීම එක් කාරණාවකි. ජනපතිත් තම රූපය යොදන්නට අකමැති නම් අපේ රූප එපා යයි ප්‍රාදේශීය නායකයින් කල්පණා කළා විය හැකිය.

මෙහි දෙවන කාරණය වන්නේ රාජ්‍ය ලාංඡනය පාරක් නාම කරණයේදී කෙතරම් වැදගත්ද යන්නය. රාජ්‍ය ලාංඡනය විශාල ලෙස යෙදීම මෙන්ම පාරේ නම තහඩුව පිරෙන්නට විශාල ෆොන්ටයකින් සටහන් කිරීමද හාස්‍යයට කරුණකි. මේ කාරණා ජනපති නියෝග වැරදියට තේරුම් ගැනීමක් ලෙස හඳුනාගත හැක.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *