ජාතික බලවේග විසින් ගෝඨාභය ජනපතිවරයාට අත්හැර යා නොහැකි යෝජනා හයක්..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජාතික බලවේග විසින් ගෝඨාභය ජනපතිවරයාට අත්හැර යා නොහැකි යෝජනා හයක්.. (විඩියෝ)

• හිටපු ඇමති මංගලට මහා සංඝරත්නයෙන් විරෝධය (විඩියෝ)

• අමරපුර නිකායේ මහනාහිමිගෙන් ජනපතිට ඉල්ලීමක් (විඩියෝ)

• පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය දරුවාට වන්දි ඉල්ලා ඇමරිකානු ජාතිකයකුගෙන් පෙත්සමක්

• ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර ඡන්ද බලයක් ලබාදිය යුතු බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියයි (විඩියෝ)

• දිවුරුම් දුන් කිහිපදෙනෙකු අදම (22) වැඩ අල්ලයි (විඩියෝ)

• කෝවිලකින් අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයෙකු අත්අඩංගුවට

• ඇමරිකා සහ ජපාන තානාපතිවරුන් ජනපති හමුවෙයි (විඩියෝ)

• බංග්ලාදේශ මහ කොමසාරිස් සහ ජනපති අතර හමුවක්

• අමාත්‍යවරුන් කිහිපදෙනෙකු වැඩ අරඹයි (විඩියෝ)

• කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල රථ වාහන තදබදය, කඩිනමින් විසඳිමට පොලීසියට උපදෙස්

• රු. කෝටි 13 ට අමතරව තවත් රු. කෝටි 3 ක හෙරොයින් රාජගිරියෙන් හමුවෙයි – කොළඹට ගෙන එමින් තිබූ කේරළ ගංජා කිලෝ 200 කුත් අත්අඩංගුවට

• අගමැති මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගනී (විඩියෝ)

• ගිලන් රථ දෙකක් සහ කැබ් රථයක් ගැටී මොණරාගල රිය අනතුරක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ජාතික බලවේග විසින් ගෝඨාභය ජනපතිවරයාට අත්හැර යා නොහැකි යෝජනා හයක්..

(23.11.2019 – 00:11 +0530 – lankaleadnews.com)

ජාතික බලවේග විසින් රට වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග ලෙස යොමු කරන ප්‍රශ්න කිහිපයක් තිබෙන බවත් ඒ එකම ප්‍රශ්නයක් හෝ ජනාධිපතිවරයාට අත් හැර යාමට නොහැකි බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි.

පසුගියදා (20.11.2019) දෙරණ රූපවාහිනියේ පැවති ‘අලුත් පාර්ලිමේන්තුව’ සජීවී වැඩසටහනට එක්වෙමින් ‘දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ’ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව අවධාරණය කර සිටියේය.

බෙදුම්වාදී තර්ජන, ඉස්ලාම් අන්තවාදයේ නැඟී සිටීම, ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ලවී තිබෙන චෝදනා වලින් නිදහස් වීම ඇතුළු ප්‍රශ්න වලට ජනාධිපතිවරයාට තම ධූරකාලය තුළ විසදුම් ලබා දීමට සිදු වන බව ඔහු පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ මෙම ප්‍රශ්න වලට විසදුම් සෙවීමමේදී ජාතික බලවේග වල පූර්ණ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවත් මේ වන විට ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නයට අදාලව මූලික විරෝධතාවය දක්වමින් ඊට අවශ්‍ය ලිඛිත සාක්ෂි ලේඛන ගත කර ඇති බවය‍.

https://www.facebook.com/1738335003114926/videos/461832911130504/

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=MQjPxXT9ujk
මිනිත්තු 144

***************************************

හිටපු ඇමති මංගලට මහා සංඝරත්නයෙන් විරෝධය

(22.11.2019 – 22:31 +0530 – sinhala.adaderana.lk)

මෙරට සංඝ සමාජය කහ සිවුරක් දවටාගත් පමණින් ගෞරවය බලාපොරොත්තු නොවිය යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගෞරවය ලබා ගැනීම සඳහා සංඝයාවහන්සේ බුදුන් වහන්සේගේ ධර්මයෙහි හැසිරිය යුතු බවයි.

මීට පෙර අවස්ථා ගණනාවකදී භික්ෂුන් වහන්සේට අගෞරව වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඔහුගේ නවතම ට්විටර් පණිවුඩයක් හරහා මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

උපුටා ගැනීම
“කහ සිවුරු ගත වෙලාගත් පමණින් සංඝයා වහන්සේ ගෞරවය බලාපොරොත්තු නොවිය යුතුයි. ඔවුන් එම ගෞරවය ලබා ගැනීමට කළ යුත්තේ සැබෑ ලෙසින්ම ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයෙහි හැසිරීමයි.”
උපුටා ගැනීම අවසන්.

මේ අතර, මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ අදහස් පළකළා.

***************************************

අමරපුර නිකායේ මහනාහිමිගෙන් ජනපතිට ඉල්ලීමක්

(22.11.2019 – 20:12 +0530 – hirunews.lk/sinhala)

රට තුළ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස නාහිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ අද (22) පස්වරුවේ ජනාධිපතිවරයා තමන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී.

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගොස් අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

***************************************

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය දරුවාට වන්දි ඉල්ලා ඇමරිකානු ජාතිකයකුගෙන් පෙත්සමක්

(22.11.2019 – 15:58 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් තම දොළොස් හැවිරිදි දරුවා මරණයට පත්වීම සම්බන්ධයෙන් රජයෙන් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙකු වන ඇලෙක්සැන්ඩර් ඇලෝ නැමැති අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු නව දෙනකු නම් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

පෙත්සම්කරු කියා සිටින්නේ පාස්කු ඉරුදින කොළඹ පුද්ගලික හෝටලයට එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය තුළින් තම දොළොස් හැවිරිදි දරුවා මරණයට පත්වූ බවයි.

එවැනි ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වලක්වා ගැනීමට රජය අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ හේතුවෙන් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව සුදුසු වන්දියක් ලබා දෙන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ ෴

***************************************

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර ඡන්ද බලයක් ලබාදිය යුතු බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියයි

(22.11.2019 – 18:48 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු බහුතර ඡන්ද බලයක් ලබාදී ඒ තුළින් රට එක්සත් කිරීමට සියලුදෙනා කැපවිය යුතු බව නාරාහේන්පිට – ශ්‍රී අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ එම විහාරස්ථානයේ ඊයේ (21) පැවති පුන්‍යෝත්සවයකට එක්වෙමින්.

ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ආශීර්වාද පතා එම පුන්‍යෝත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (23) මහනුවර ශ්‍රී දළඳා සමිදුන් වැඳ ආශිර්වාද ලබා ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමට ද නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

***************************************

දිවුරුම් දුන් කිහිපදෙනෙකු අදම (22) වැඩ අල්ලයි

(22.11.2019 – 18:44 +0530 – hirunews.lk/sinhala)

කිසිදු අයුරකින් විදුලි බිල ඉහළ දැමීමට කටයුතු නොකරන බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (22) දිනයේ දිවුරුම් දුන් තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

ඒ අනුව, අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිමල් සිරිපාල මහතා එම අමාත්‍යාංශයේදී සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.

මීට අමතරව, පරිසර සහ වනජිවි සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස්. එම්. චන්ද්‍රසේන මහතා ද සිය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මෙලෙස අදහස් දක්වා සිටියා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද අද (22) දිනයේ සිය අමාත්‍යාංශයේදී වැඩ භාර ගනු ලැබුවා.

ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආරුමුගම් තොණ්ඩමන් මහතා ද අද වැඩ භාර ගත් අතර, මාර්ග සහ මහා මාර්ග, වරායන් හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ධුරයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව මෙලෙස අදහස් පළ කර සිටියා.

***************************************

කෝවිලකින් අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයෙකු අත්අඩංගුවට

(22.11.2019 – 16:49 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් මෙම අල්ලස් මුදල ඔහු ඉල්ලා ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඉන් රුපියල් 190,000 ක මුදලක් ලබා ගැනීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

ඇමරිකා සහ ජපාන තානාපතිවරුන් ජනපති හමුවෙයි

(22.11.2019 – 16:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් සහ ජපාන තානාපති සුගියාමා අකීරා අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුනා.

ඇමරිකානු තානාපතිනිය සමග පැවති හමුවට තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මාර්ටින් කෙලී සහ දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලි ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී දෙපාර්ශවය සුහද කතා බහක නිරතව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකීරා ද අද (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී සුහද කතාබහක නිරතවුනා.

මෙරට ජපාන තානාපති කාර්හයාලයේ නියෝජ්‍ය ප්‍රධානී තොෂිහිරො කිතමුරා සහ නියෝජ්‍ය ලේකම් තකේෂි ඔසකි ද මෙම හමුවට එක්ව සිටියා.

+++++++++++++++++++++++++++++++++++

බංග්ලාදේශ මහ කොමසාරිස් සහ ජනපති අතර හමුවක්

(23.11.2019 – 08:49 +0530 – sinhala.adaderana.lk)

බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හම්දුල්ලා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) පස්වරුවේ එම හමුව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මෙහිදී බංග්ලාදේශ රජය වෙනුවෙන් සුබපැතුම් පිරිනමා ඇති මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරිත වූ බව සදහන්.

***************************************

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු වැඩ අරඹයි

(22.11.2019 – 15:09 +0530 – hirunews.lk/sinhala)

අද (22) දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මේ වනවිට සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිමල් සිරිපාල මහතා එම අමාත්‍යාංශයේදී සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.

මීට අමතරව, පරිසර සහ වනජිවි සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස්. එම්. චන්ද්‍රසේන මහතා මෙන්ම මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද අමරවීර මහතා ද අද එම අමාත්‍යාංශවලදී සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා.

එසේම, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද එම ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග අමාත්‍යාංශයේ අද පස්වරුවේ වැඩ භාර ගනු ලැබුවා.

***************************************

කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල රථ වාහන තදබදය, කඩිනමින් විසඳිමට පොලීසියට උපදෙස්

(23.11.2019 – 07:14 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවල පවත්නා රථවාහන තදබදය සහ අනෙකුත් රථ වාහන හැසිරවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැත්වුණා.

ඊට වැඩබලන පොලිස්පති සී. ඩි. වික්‍රමරත්න මහතා සහ පොලිස් රථ වාහන කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් එක්ව සිටියා.

එහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් පොලීසියට උපදෙස් දී ඇත්තේ පොදු මහජනතාව වෙත ගැටලුවකින් තොරව මාර්ග භාවිත කිරීමට පවතින රථ වාහන තදබදය අවම කිරීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ඊයේ (22) ආරක්ෂක ලේකම්වරයා මුණ ගැසී තිබුණා.

මීට අමතරව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් ද ඊයේ (22) ආරක්ෂක ලේකම්වරයා මුණ ගැසුණා.

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවට වැඩබලන පොලිස්පතිවරයා ද එක්වුණා.

එහිදී මත් ජාවාරමට එරෙහි කටයුතු කරන ආකාරය සහ මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා ෴

***************************************

රු. කෝටි 13 ට අමතරව තවත් රු. කෝටි 3 ක හෙරොයින් රාජගිරියෙන් හමුවෙයි – කොළඹට ගෙන එමින් තිබූ කේරළ ගංජා කිලෝ 200 කුත් අත්අඩංගුවට

(23.11.2019 – 12:01 +0530 – hirunews.lk/sinhala)

රාජගිරිය ප්‍රදේශයේදී සොයා ගැනුණු රුපියල් කෝටි 13 ක් පමණ වටිනා හෙරොයින් තොගය සම්බන්ධයෙන් තවත් සැකකාරියක පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත සිදුකරන වැටලීමකදී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු සහ කාන්තාවක හෙරොයින් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 24 ක් සමඟ ඊයේ (22) දිනයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් ලැඟුම් ගෙන සිටි ස්ථානයක සිටියදී තවත් සැකකාරියක අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එහිදී ඇය සතුව තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 11 යි යි ග්‍රෑම් 662 ක් පොලීසිය සොයා ගෙන තිබෙනවා. සැකකාරියන් 28 සහ 31 වන වියේ පසුවන ගන්දර, හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරු 25 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අනුව ඔවුන් සතුව තිබී සොයා ගත් මුළු හෙරොයින් තොගය කිලෝ 13 යි ග්‍රෑම් 686 ක් වනවා.

මේ අතර, මන්නාරම සිට කොළඹ දක්වා කේරළ ගංජා කිලෝ 200 යි ග්‍රෑම් 165 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොවුන්, ඊයේ රාත්‍රියේදී මාන්තෙයි ප්‍රදේශයේ සැක කටයුතු කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා. 40 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් එරුවිඞ්ඩාන් – නානට්ටාන් – මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

අගමැති මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගනී

(23.11.2019 – 10:50 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමත් සමඟ අද (23) පෙරවරුවේ දළදා සමිඳුන් වැද පුදා ගත්තා.

දළදා මාළිගාවට පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින්.

පසුව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගත් අතර, මාළිගාවේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබුවා.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ එම පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් සහ පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැ දුටුවා.

පසුව අග්‍රාමාත්‍යවරයා අස්ගිරි මහා විහාරයට ගොස් අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් බැහැදුටුවා.

+++++++++++++++++++++

***************************************

ගිලන් රථ දෙකක් සහ කැබ් රථයක් ගැටී මොණරාගල රිය අනතුරක්

(23.11.2019 – 10:06 +0530 – hirunews.lk/sinhala)

මොණරාගල – අම්පාර මාර්ගයේ 22 කණුව ප්‍රදේශයේදී ගිලන් රථ දෙකක් සහ කැබ් රථයක් ගැටී සිදුවූ අනතුරකින් එම ගිලන් රථ දෙකේ රියදුරන් තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (22) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරට ලක්ව ඇත්තේ බඩල්කුඹුර රෝහලට අයත් ගිලන් රථයක් සහ සුවසැරිය සේවයට අයත් ගිලන් රථයක් බවයි.

ඉදිරියෙන් ගමන් කළ කැබ් රථය දකුණට හැරවීමට යාමේදී ඊට පසු පසින් පැමිණි ගිලන් රථ දෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ ගිලන් රථ දෙක තුළ ඉතා අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දෙදෙනෙකු ද සිටි බව සඳහන්.

පසුව ඔවුන් සහ අනතුරෙන් තුවාල ලැබූ ගිලන් රථ දෙකේ රියදුරන් වහා මොණරාගල රෝහල වෙත යොමු කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *