ජිනීවා මර උගුලෙන් ගැලවෙන හැටි ජාතික සංවිධාන නව ජනපතිට පෙන්වා දෙයි

(23.11.2019 – 16:27 +0530 – lankaleadnews.com)

30/1 යෝජනාවලියෙන් ගැලවෙන ආකාරය පිළිබඳව තර්කානුකූලව යෝජනාවක් ප්‍රසිද්ධියට පත් කිරීමට ජාතික බලවේග ක්‍රියා කොට ඇත.

ඒ අනුව වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර මහතා විසින් ජාතික පුවත්පත් වලට ‘යුද අපරාධ ගැන ජනපති මතය සහ සැබැවින්ම කළ යුතු දේ’ යනුවෙන් ලිපියක් යොමු කොට ඇත.

එම ලිපිය :

යුද අපරාධ ගැන ජනපති මතය සහ සැබවින්ම කළ යුතු දේ – වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

ජනපතිවරණයට පෙර මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්ණයකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිතුරු ලෙස සඳහන් කරනු ලැබුවේ 2015 දී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සම අනුග්‍රහය දැක් වූ මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාව නීති විරෝධි බවය. එම ප්‍රකාශය මඟින් මූලික වශයෙන් අවධාරණය කෙරෙන්නේ රණ විරුවන්ට යුධ අපරාධ චෝදනා එල්ල කරන එම යෝජනාවට මංගල සමරවීර මහතා විසින් ව්‍යවස්ථා විරරෝධීව සහ නීති විරෝධීව සමඅනුග්‍රහය දැක්වීමේ වරද පිළිබඳව විය හැක. ඒ පිළිබඳ අපට නම් විවාදයක් නැත. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා වලට එරෙහිව පදනම් විරහිතව සහ නිසි සාක්ෂි අධ්‍යනයකින් තොරව චෝදනා එල්ල කරනු ලැබූ මානව හිමිකම් මහ කොමසාරිස් වරයාගේ වාර්තාව කිසිඳු අභියෝගයකින් තොරව පිළිගැනීම බලවත් වරදකි.

එය රටක විදේශ අමාත්‍යවරයෙකු විසින් තම රටේ ආරක්ෂක හමුදා විසින් යුධ අපරාධ සිදුකළ බවට දෑන් ඔසවා ඒකමතිකව පිළිගත් පළමු අවස්ථාව විය හැක. ඊට අමතරව ඔහු විසින් ස්වභාවික යුක්තිය අනුව එම චෝදනා වලට පිළිතුරු බැඳීම සඳහා කිසිඳු ඉල්ලිමක් නොකරමින් එම චෝදනා මත පදනම්ව ඉදිරිපත් කළ දඬුවම් හෙවත් 30/1 යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීම ඊට වඩා බරපතල වරදකි. දණ්ඩ නීති සංග්‍රහය අනුව එම වරද යුද්ධයක් පවතින අවස්ථාවකදී සිදුකළා නම් රාජද්‍රෝහී වීම හෝ රාජ්‍යයට එරෙහි කුමන්ත්‍රණය කිරීමක් ලෙස සැලකිය හැක. විදේශ අමාත්‍යවරයාට ඒ ආකාරයට මහ කොමසාරිස් වරයාගේ වාර්තාව මඟින් ඉදිරිපත් කළ නිර්දේශ 33 ක් සහ 30/1 යෝජනාවලියේ යෝජනා 20 කට එකඟවීම සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය විසින් කිසිදු නීත්‍යානුකූල බලයක් ලබා දී නොතිබුණි. උදාහරණයක් ලෙස පාර්ලිමෙන්තුව මඟින්, අමාත්‍ය මණ්ඩලය විසින් හෝ ජනාධිපතිවරයා විසින් කිසිඳු නිළ ලිඛිත අවසරයක් ඒ සඳහා ලබා දී නොමැති අතර අමාත්‍යවරයාට විධායක බලය පැවරෙන ගැසට් නිවේදනය තුළද එවැනි ප්‍රතිපාදනයක් නොමැත.

අමාත්‍යවරයා විසින් සමුළුව අමතා තම දේශණය සිදුකරන්නේ මහ කොමසාරිස්ගේ චෝදනා පත්‍රය හෙවත් වාර්ථාව එළි දැක්වූ දිනට පසු දිනය. ඉන් පසුව දින 15 ක් තුළ 30/1 යෝජනාවට එකඟතාව පළකිරීම තුලින් පැහැදිලි වන්නේ ඔහු විසින් අදාළ ලේඛන කිසිවක් ගැඹුරින් අධ්‍යනය කොට නැති බවය. ඊට පෙර ජූනි මාසයේදී ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමෙන්තුවේ නිලධාරින් සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉදිරිපිටදී 30/1 යෝජනාවලියට ඇතුලත් කෙරෙන කරුණු පිළිබඳව එකඟතාවයක් ඇති කර ගත් බව සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් පැවසූ බවද අයිලන්ඩ් පුවත්පත වාර්ථාකොට තිබුණි. ඒ අනුව ආරක්ෂක හමුදාවට යුධ අපරාධ එල්ල කිරීම සහ ඒ මත පදනම්ව ඉටු කළ යුතු කොන්දේසි පිළිබඳව ආණ්ඩුවට පූර්ව අවබෝධයක් තිබූ බව පැහැදිළි වේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව මානව හිමිකම් සමුළුව මඟින් රටකට විශේෂිත වූ යෝජනා සම්මත කිරීම නීත්‍යානුකුල විය හැකි වුවත් ස්වභාවික යුක්තියට පටහැනිව සහ නිසි පටිපාටි වලින් බැහැරව සිදු කළ එම ක්‍රියාවලිය ස්වෛරී රටකට පිළිගත නොහැකි බව ඉහත කරුණු වලින් පැහැදිලි වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රජයට බලපෑම් කොට කැමැත්ත ගැනීම සහ චෝදනා වලට පිළිතුරු බැඳීමට අවස්ථාවක් ලබා නොදීම යන කාරණා මත 30/1 යෝජනාවලිය නීත්‍යානුකූල නොවන බවට තර්ක කළ හැක. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 30/1 යෝජනාවලියේ නිත්‍යානුකුලභාවය ප්‍රශ්ණ කරනු ලබන්නේ එම දෙවන හේතුවද අදාළ කරගනිමින් විය හැක. ඊට අමතරව එම ක්‍රියාවලිය තුල ශ්‍රී ලංකාව විසින් තමාට එරෙහිව ඉදිරිපත්කරන යෝජනාවකට සම අනුග්‍රහය දැක්වීම හෙවත් සියතින් ගෙල සිරකර ගැනීම නිසා සෙසු රටවලටද අසාධාරණයක් සිදුවිය. ඒ එම ක්‍රියාවලිය මඟින් තහවුරු කරන වැරදි පූර්වාදර්ශයට එරෙහි වීමට එම රටවලට අවස්ථාව අහිමි වීම නිසාය. ඒ අනුව අනාගතයේදී එම බලහත්කාරය එම රටවලටද සිදුවිය හැක. ඊට අමතරව එම ක්‍රියාවලිය තුල රටක ව්‍යවස්ථාවකට අභියෝග කිරීමටද මානව හිමිකම් කොමිසමට අවස්ථාව ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව 6 වැනි යෝජනාව දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට කිසිසේත්ම හැකියාවක් නැත. ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු වේ. මංගල සමරවීර මහතා විසින් 34 වැනි සමුළුවේදී එනම් 2017 දී එම යෝජනාවලිය නැවත අනුමත කරන්නේ එවැනි තත්වයක් තිබියදිය.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව 30/1 යෝජනාවලියේ 6 වැනි වගන්තිය ක්‍රියාත්මක කළ නොහැකි බව මානව හිමිකම් සමුළුවට දැනුම් දෙන්නේ වර්තමාන විදේශ අමාත්‍යවරයා වන තිලක් මාරපන මහතා විසින් 37 වැනි සැසිවාරයේදීය. එසේ වුවත් ඒ වන විට අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල පනත, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැලැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥාප්ති පනත යන පනත් සම්මත කිරීම මඟින් දෙමුහුන් අධිකරණයකට වඩා බලවත් යාන්ත්‍රණයක් රටතුළ ස්ථාපිතකොට අවසානය. එසේ නීතිය මඟින් රණ විරුවන් යුද අපරාධ චෝදනා වලට ගොදුරු කිරීමට අමතරව 8 වැනි වගන්තිය අනුව රණවිරුවන්ට පරිපාලන වශයෙන් දඬුවම් කිරීම මහා පරිමානයෙන් සිදුකළ බව රහසක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු ප්‍රකාශයෙන් පසුව කලබල වූ මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ දෙමුහුන් අධිකරණයක් පිහිටවූයේ නැති නම් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවේ උසස් නිළධාරීන් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු විය හැකි බවය.

එහිදි ඔහු සඳහන් කරන්නේ එසේ දෙමුහුන් අධිකරණයක් පිහිටුවීම ප්‍රතික්ෂේප කිරීම මඟින් නිර්දෝශි හමුදා නිළධාරීන්ට අසාධාරණයක් සිදුවන බවය. ලෝකයේ අනාදිමත් කාලයක් පිළිගන්නා ස්වාභාවික යුක්තියේ මූලධර්ම අනුව යම් පුද්ගලයෙකුට එරෙහිව චෝදනා එල්ල කරන පාර්ශවය විසින් අදාළ චෝදනා ඔප්පු කළ යුතුය. අසාධාරණ චෝදනාවකට ලක්වන පුද්ගලයෙකු විසින් චෝදනා වලින් නිදහස් වීමේ වගකීම බාරගත යුතු නැත. මංගල සමරවීර අමාත්‍යවරයා විසින් දෙමුහුන් අධිකරණයක් පිහිටුවා නිර්දෝශි රණවිරුවන්ට තම නිර්දෝශීභාවය ඔප්පු කරන ලෙස යෝජනා කරන්නේ ඉදිරිපත් කළ චෝදනා වලට පිළිතුරු බැඳීමට කිසිඳු අවස්ථාවක් ලබා නොදෙන සහ ලබා නොගන්නා තත්වයක් තුළය. ඔහුගේ ප්‍රකාශය තුළ තවත් ප්‍රබල මුලාවක්ද අඩංගු වේ. එනම් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක වන්නේ දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ අනාගත රජය හෙවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය එකඟ නොවන තත්වයක් යටතේ බවය. එය පට්ටපල් බොරුවකි. අප රටේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට එරෙහිව දැනටමත් ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක වේ. ජනරාල් ජගත් ඩයස් මහතාට එරෙහිව යැස්මින් සුකා විසින් බ්‍රසිල අධිකරණයට පැමිණිලි කරන්නේ එම බලය අනුවය.

මංගල සමරවීර මහතා විසින් කොන්දේසි විරහිතව අනුමත කළ මහකොමසාරිස්ගේ වාර්තාවේ 92(c) වගන්තිය මඟින් ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ සාමාජික රටවලින් ඉල්ලා සිටියි. දරුස්මාන් වාර්තාවට ව්‍යාජ චෝදනා ඇතුල්කළ යැස්මින් සුකා විසින් එසේ ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උසස් නිලධාරීන් 57 දෙනෙකුගේ ලැයිස්තුවක් ඉදිරිපත් කොට ඇති බවද වාර්තා විය. ඒ අනුව අනාගතයේදී සාක්ෂි ආඥාපනත අදාල නොවන ලෙස ක්‍රියාත්මක වන අතුරුදහන්වුවන්ගේ කාර්යාලය නම් වූ අර්ධ අධිකරණ කොමිසම මඟින් එම අභූත චෝදනා අනුමත කළ විට දැනටමත් පවතින ජාත්‍යන්තර අධිකරණ බලය එම චෝදනා මත පදනම්ව හෝ වෙනත් චෝදනා මත ක්‍රියාත්මක වනු ඇත. එම නිසා එම තත්වය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමා ජනාධිපතිබවට පත් වූ පසුව 30/1 යෝජනාව නොසලකා කටයුතු කළහොත් පැන නගින නව තත්වයක් නොවේ.

එම නිසා එම තත්වයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ගලවා ගැනීම සඳහා 30/1 යෝජනාවලියේ නිත්‍යානුකූල භාවය දිගින් දිගටම ප්‍රශ්ණ කළ යුතු බවට විවාදයක් නැත. එහෙත් ඒ මඟින් එම යෝජනාව අහෝසි නොවන අතර ඊට අනුව රණවිරුවන් පාවාදීම සඳහා දැනටමත් දියත්කොට ඇති බලවත් ක්‍රියාවලිය ද අහෝසි නොවේ. ඒ නිසා ඒ සියල්ල ආපසු හැරවිම සඳහා 30/1 යෝජනාවලියට සහ මංගල සමරවිර අමාතයවරයාගේ රාජ්‍යද්‍රෝහී ක්‍රියාවට අභියෝග කිරීම පමණක් සෑහෙන්නේ නැත. ඒ සඳහා මානව හිමිකම් සමුළුවේ පවතින නිත්‍යානුකූල ප්‍රතිපාදන යොදා ගත යුතුවේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ වාඩි වූ පසුව පළමුව කළ යුත්තේ 2015 මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවට අදාළව කරුණු දැක්වීම හෙවත් යුද අපරාධ චෝදනා වලට පිළිතුරු බැඳීමය. එම අයිතිය රටකට අහිමි කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික හරයට පිටුපෑමකි. ප්‍රඥාප්තියේ 2(2) හා 2(5) වගන්ති අනුව සාමාජික රටක එම අයිතිය රැකීමට සෙසු රටවල් බැඳී සිටිති.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතා ලැයිස්තතුවේ ඉහළින්ම තිබෙන්නේ රණවිරුවන්ගේ ගෞරවය, අභිමානය සහ සුභසාධනය යන අරමුණු බවට කිසිඳු විවාදයක් නැත. එහෙත් පසුගිය රජය විසින් එම අරමුණු වලට සම්පූර්ණයෙන්ම පටහැකි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වී බොහෝ දුරක් ගොස් තිබෙන බැවින් ඔහුගේ අභියෝගය බරපතල වේ. නමුත් ඔහුට ‘බින්දුවෙන්’ පටන් ගැනීමට සිදුවන්නේ නැත. ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විධායක සභාව විසින් දැනටමත් එසේ උත්තර බැඳීමේ ක්‍රියාවලිය ආරම්භකොට ඇත. සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර, අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු ජාතික සංවිධාන නායකයින්ගේ මෙහෙයවීම සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ අනුග්‍රහය මත දැනටමත් අංග සම්පූර්ණ ‘විත්ති වාචිකයක්’ හෙවත් චෝදනා වලට ප්‍රති උත්තර මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කොට ඇත. ඊට අමතරව ඒ මත පදනම්ව මානව හිමිකම් සමුළුවේ ‘පෙත්සම් ක්‍රියාවලිය’ හරහාද රණවිරුවන් නිර්දෝශි කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස් ඇත.

රණවිරුවන්ට එරෙහිව මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්ථාව මඟින් එල්ල කළ මූලික චෝදනා 11 ට එරෙහිව කරුණුමය සාක්ෂි සහ නීති තර්ක එම විත්තිවාචිකය මඟින් ඉදිරිපත් කොට ඇත. එම වාර්තාව පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ඉතාම ඉහළ මට්ටමින් සකස්කොට ඇති බව ශ්‍රි ලංකාවේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා සහ සුප්‍රසිද්ධ ජාත්‍යන්තර නීති විශාරද ශ්‍රීමත් ජෙෆ්රි නයිස් මහතාද සඳහන් කොට ඇත. එම වාර්ථාව සකස් කිරීමේදී ලෝකයේ ඉහළින්ම පිළිගන්නා යුධ අපරාධ විශේෂඥයින් 05 දෙනෙකු විසින් සකස් කළ වාර්තා 6 ක් ද උපයෝගි කොට ගෙන ඇත. එම වාර්තා කැඳවනු ලැබුවේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී පත් කළ මැක්ස්වල් පරණගම කොමිසම විසිනි. ඒ සඳහා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ප්‍රබල දායකත්වයක් සපයන ලදි. අදාළ ප්‍රති තර්ක හෙවත් රණවිරුවන්ගේ නිර්දෝෂි භාවයට අදාළ ‘විත්ති වාචිකය’ ප්‍රබල ලියවිල්ලක් බව එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකාවේ කාර්යාලයේ නිලධාරීන් විසින්ද පිළිගනු ලැබීය. එම විශේෂඥ වාර්තා අධ්‍යනය කොට ශ්‍රීමත් ජෙෆ්රි නයිස් මහතා වැනි කීර්තිමත් නීතිඥයින් සමඟ පුද්ගලිකව සබඳතා පවත්වා ගනිමින් අදාළ ලියවිල්ල උසස් මට්ටමින් ඉදිරිපත් කිරීම සඳහා නීතිඥ දර්ශන් වීරසේකර මහතා විසින් ප්‍රබල මෙහෙයක් ඉටු කරනු ලැබීය. ඒ සඳහා ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් පළ කළ පර්යේෂනාත්මක ලිපිද බෙහෙවින් උපකාරී විය. දැනටමත් අංගසම්පූර්ණව සකස්කොට ඇති එම විත්තිවාචකය තව දුරටත් ප්‍රබලව ඉදිරිපත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ නේස්බි සාමිවරයාගේ ප්‍රකාශයද බෙහෙවින් උපකාරී වනු ඇත.

ශ්‍රීමත් ජෙෆ්රි නයිස් ඇතුළු එම නීතිඥ කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනීසිටීමට ඉදිරිපත් වි සිටින තත්වයක් යටතේ අදාල ක්‍රියාවලිය බලවත් ලෙස ඉදිරියට ගෙනයාමේ හැකියාව ඇත. නමුත් රාජ්‍යයට පිටින් රාජ්‍ය නොවන සංවිධායක් ලෙස එම ක්‍රියාවලියට තව දුරටත් ඉදිරියට ගෙනයා නොහැක. ඒ සඳහා රජයේ මැදිහත් වීම අවශ්‍ය වේ. වෙනත් වචන වලින් කියනවා නම් අනාගතයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ යුතුව ඇත්තේ ජාතික සංවිධාන අත තිබෙන ‘රිලේ බැටන් එක’ අතට ගෙන ඉදිරියට දිවීම පමණි. ඒ ආකාරයට මහ කොමසාරිස්ගේ වාර්තාව අභියෝගයට ලක් වූ විට 30/1 යෝජනාවලිය අභියෝගයට ලක්වන බැවින් ඊට දැක් වූ සම අනුග්‍රහය ඉවත් කර ගැනීමට සදාචාර සහ නිතිමය බලය ශ්‍රී ලංකාවේ රජයට ලැබේ. මානව හිමිකම් සමුළුව අසූචි වලක් බවට ඒක පාර්ශවීයව තීන්දු කොට සාමාජිකත්වයෙන් ඉවත්වීමට ඇමරිකාවට හැකියාව තිබේනම් ශ්‍රී ලංකාවට යුක්තිගරුකව සහ තර්කානුකූලව ‘සම අනුග්‍රහය’ ඉවත්කර ගැනීමට බාධාවක් තිබිය නොහැක. නමුත් යම් පාර්ශව විසින් යෝජනා කරන ආකාරයට මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව අභියෝගයට ලක් නොකොට 30/1 යෝජනාවට ප්‍රතියෝජනා ඉදිරිපත් කිරීම යනු සියතින් ගෙල වැලලා ගැනීමක් බව ඉතා හොදින් වටහා ගත යුතුය.

එසේ 30/1 යෝජනාවලියෙන් ඉවත් වීමට සමගාමීව ඊට අනුව ආරම්භ කළ ක්‍රියාවලිය අත්හිටුවීමට අවස්ථාව ලැබේ. එනම් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට පටහැනිව සම්මත කළ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සහ අතුරුදහන් වීම් වැලැක්වීමේ ජාත්‍යන්තර සම්මුති පනත අහෝසි කිරීම සදහා පාර්ලිමේන්තුවට ප්‍රකාශන පනත් ඉදිරිපත් කිරිමට අවස්ථාව උදාවේ. නමුත් ඒ සමඟම සැබෑ ලෙසම රටේ ජාතික සමඟිය සහ සංහිදියාව ඇති කිරීම සඳහා තමා විසින් අනුගමනය කරන වැඩපිළිවෙල ලෝකයට ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවනු ඇත. එහිදී බෙදුම්වාදී පක්ෂ වල ඉල්ලීම් හෙවත් ඔවුන්ට කප්පම් ලබා දීමේ අතීත ක්‍රියාවලියෙන් මිදී ජනතාව කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමේ ප්‍රවේශයක් තේරීමට සිදු වනු ඇත. ඊට උදවු කිරීම සැබෑ ලෙසම සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය සහ සංහිදියාව අපේක්ෂා කරන අවංක මිනිසුන් සියළු දෙනාගේ වගකීම වේ. ඊට අදාළ බොහෝ යෝජනා සහ අදහස් දැනටමත් සමාජ ගතවී ඇත. අවශ්‍යවන්නේ බලය බෙදීමේ මිත්‍යා විසඳුම පසෙක තබා සැබෑ විසදුම් පිළිබඳ විවෘත මනසකින් සමාජ කථිකාවක් ආරම්භ කිරීමය. නව ජනාධිපතිවරයාට ලැබුණු සුවිශේෂී ජන වරම ඒ සඳහා යොදා ගත යුතුය.

– වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *