නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනාධිපති කාර්යාලයේදී සිදුවුනා

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනාධිපති කාර්යාලයේදී සිදුවුනා (විඩියෝ)

• තනතුරු, වරප්‍රසාදයක් නොව වගකීමක් ලෙස සළකන්න ජනපතිගෙන් නව ඇමතිවරුන්ට උපදෙස් (විඩියෝ)

• නව අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කෙරේ

• අපි මූණ දෙන්නේ ඉතාම අභියෝගාත්මක කාලපරිච්ඡේදයකට – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

• එක්නැලිගොඩ නඩුවේ චෝදනා ලැබූ බුද්ධි නිලධාරීන් පෙර ඇප මත මුදාහරී

• ඕමානයේදි වද හිංසාවට ලක් වු ගෘහ සේවිකාවන් 42 ක් යළි දිවයිනට

• ජනපති පොහොට්ටුවේ පක්ෂ නායකයින් හමුවෙයි (විඩියෝ)

• මහ මැතිවරණය ගැන ඉඟියක්

• පොලොන්නරුවේ හාල් මෝලක පරණ හාල් මිශ්‍රකිරීමේ ජාවාරමක් (විඩියෝ)

• මහ බැංකුව අනතුරු අඟවයි – අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න

+++++++++++++++++++++++++++++++++++

නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනාධිපති කාර්යාලයේදී සිදුවුනා

(27.11.2019 – 09:57 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනාධිපති කාර්යාලයේදී සිදුවුනා.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියා.

පසුගියදා කැබිනට් අමාත්‍යවරුන් 16 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

දිවුරුම් දුන් නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් :

රාජ්‍ය අමාත්‍යවරුන් :

  • චමල් රාජපක්ෂ මහතා – රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා
  • වාසුදේව නානායක්කාර මහතා – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා
  • ගාමිණී ලොකුගේ මහතා – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  • මහින්ද යාපා අබේවර්ධන මහතා – වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  • එස්. බී දිසානායක මහතා – ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  • ජෝන් සෙනවිරත්න මහතා – ආර්ථික සහ ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍යවරයා
  • මහින්ද සමරසිංහ මහතා – රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
  • සි. බි රත්නායක මහතා – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා
  • ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා – තොරතුරු සහ සන්නිවේදන රාජ්‍ය අමාත්‍යවරයා
  • සුසන්ත පුංචි නිලමේ මහතා – කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍යවරයා
  • අනුර ප්‍රියදර්ශන යාපා මහතා – අභ්‍යන්තර වෙළඳ කටයුතු සහ පාරිභෝගික රාජ්‍ය අමාත්‍යවරයා
  • සුසිල් ප්‍රේම්ජයන්ත මහතා – ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා
  • ප්‍රියංකර ජයරත්න මහතා – දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා
  • රංජිත් සියඹලාපිටිය මහතා – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා
  • මහින්දානන්ද අලුත්ගමගේ මහතා – විදුලි බල රාජ්‍ය අමාත්‍යවරයා
  • දුමින්ද දිසානායක මහතා – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
  • රෝහිත අබේගුණවර්ධන මහතා – බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා
  • දයාසිරි ජයසේකර මහතා – කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා
  • ලසන්ත අලගියවන්න මහතා – රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
  • කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  • අරුන්දික ප්‍රනාන්දු මහතා – සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  • තිලංග සුමතිපාල මහතා – තාක්ෂණ සහ නව උත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා
  • මොහාන් ද සිල්වා මහතා – මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා
  • විජිත බේරුගොඩ මහතා – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
  • රොෂාන් රණසිංහ මහතා – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  • ජානක වක්කුඹුර මහතා – අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා
  • විදුර වික්‍රමනායක මහතා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා
  • ෂෙහාන් සේමසිංහ මහතා – සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා
  • කනක හේරත් මහතා – වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
  • දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා
  • ලොහාන් රත්වත්තේ මහතා – මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
  • විමලවීර දිසානායක මහතා – වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා
  • ජයන්ත සමරවීර මහතා – පරිසර රාජ්‍ය අමාත්‍යවරයා
  • සනත් නිශාන්ත මහතා – ධිවර සහ මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍යවරයා
  • තාරක බාලසුරිය මහතා – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරුන්

නියෝජ්‍ය අමාත්‍යවරුන් :

  • නිමල් ලන්සා මහතා – ප්‍රජා සවිබල සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
  • කාංචන විජේසුරිය මහතා – ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
  • ඉන්දික අනුරුද්ධ මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

+++++++++++++++++++++

අද (27) දිනයේ දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍ය ධුර 3 හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. මීට අමතරව, රාජ්‍ය අමාත්‍ය ධුර 27 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජ්‍ය අමාත්‍ය ධුර 5 ක් හිමිව තිබෙනවා. ජාතික නිදහස් පෙරමුණට ද රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවුණා.

පසුගිය රජය සමයේ ස්ථාපිත කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 40 කට සීමා වනවා. ඒ අනුව, වත්මන් රජයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීමේ හැකියාව පවතිනවා.

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ තනතුරු, වරප්‍රසාදයක් ලෙස නොව, වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේදී සිය රාජකාරි ආරම්භ කළ අතර තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද අද දිනයේ රාජකාරි ආරම්භ කළා.

බත්තරමුල්ල – ඉසුරුපායේ 17 වන මහලේ පිහිටි සිය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කළ ද විශාල වැඩකොටසක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, නව රජයේ මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ ලොහාන් රත්වත්තේ බත්තරමුල්ලේ පිහිටි සිය අමාත්‍යාංශයේ නිල රාජකාරි ආරම්භ කළා.

එම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මහතා ද එක්ව සිටියා ෴

https://www.facebook.com/hirunews/videos/635220627014723/

+++++++++++++++++++++

+++++++++++++++++++++

තනතුරු, වරප්‍රසාදයක් නොව වගකීමක් ලෙස සළකන්න ජනපතිගෙන් නව ඇමතිවරුන්ට උපදෙස්

(27.11.2019 – 12:29 +0530 – hirunews.lk/sinhala)

තනතුරු, වරප්‍රසාදයක් ලෙස නොව වගකීමක් ලෙස සළකා කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අද (27) දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. රාජ්‍ය සේවයේ කාර්යක්ෂම ලෙස ඉටුකිරීමට සියලු අමාත්‍යවරුන් කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

+++++++++++++++++++++++++++++++++++

නව අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කෙරේ

(27.11.2019 – 19:07 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍යාංශ 20 ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (27) සිදුකෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

සම්පූර්ණ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාමාවලිය :

***************************************

අපි මූණ දෙන්නේ ඉතාම අභියෝගාත්මක කාලපරිච්ඡේදයකට – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

(27.11.2019 – 11:54 +0530 – sinhala.adaderana.lk)

වර්තමානයේ මූණ දෙමින් සිටින්නේ ඉතාම අභියෝගාත්මක කාලපරිච්ඡේදයකට බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කෙසේ හෝ එම අභියෝගය ජයගත යුතු බවද ඒ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ දී රාජකාරි අරඹමිනි.

අමාත්‍යාංශ නිලධාරීන් හා ආයතන ප්‍රධානීන් වෙත අදහස් දක්වමින් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“මානව සම්පත ඉතාම වැදගත් දෙයක්. එය ශක්තියක්. එය හරියාකාරව දියුණු කර ගත යුතුයි. වඩා සක්‍රීයභාවයකට පරිවර්තනය කළ හැකි ක්‍රියාකාරීත්වයක් ඇති කිරීමට අලුත් මාවතක් ඇතිකරගැනීමට මග පෙන්වීමට හැකි ආයතන රාශියක් මෙහි තිබෙනවා.

අපි බලාපොරොත්තු වූ ඉලක්කයට රට ගෙන ඒමට අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් සුවිශේෂී අවධානයක් මෙම වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය වෙත යොමු කර තිබෙනවා.

මේ සංවර්ධන ක්‍රියාදාමය යථාර්ථයක් බවට පත් කරන්නට මෙන්ම අපේ රටේ වෘත්තීය නිපුණතාවයෙන් හෙබි පරම්පරාවක් ඇති කරන්නට වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ප්‍රකාශයටපත් කොට තිබෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අප වැඩ කළ යුතුයි.

ප්‍රකාශයට පත්කොට තිබෙන වැඩපිළිවෙළ වේගවත්ව කරගෙන යායුතුයි. අපි මූණ දෙන්නෙ ඉතාම අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට. කෙසේ හෝ අපි ඒ අභියෝගය ජයගත යුතුයි.

ආර්ථික පසුබෑම, නව පරම්පරාවේ බලාපොරොත්තු සුන්වීම අද බොහෝ විට දැක ගන්නට පුළුවන්. පාසල්වලින් පිටවී යන සිසුන්ට අනාගතයට මුහුණදීමට මග පෙන්වීම, පුහුණු කිරීම, සුදුසුකම්ලබාදීම, වෘත්තීන් සඳහා යොමු කිරීම මෙම වැඩපිළිවෙළ මගින් සිදු කෙරෙනවා.

ඒ තුළින් අනාගතය පණ ගැන්විය හැකි නවීන ආර්ථිකයක් බවට පත් කිරීම අපේක්ෂා කරන අතර මම හිතනවා මේ වෙනුවෙන් ඔබ කැපවී කටයුතු කරනවා කියලා.

වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීම සඳහා අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් සුවිශේෂී උනන්දුවක් දක්වනවා.

මම විශ්වාස කරනවා මේ ඉලක්කය ඉටු කර ගැනීමට ඔබ සැමකැපවීමෙන් කටයුතු කරයි කියලා.”

***************************************

එක්නැලිගොඩ නඩුවේ චෝදනා ලැබූ බුද්ධි නිලධාරීන් පෙර ඇප මත මුදාහරී

(27.11.2019 – 11:37 +0530 – sinhala.adaderana.lk)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යෑමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

මෙම නඩුව අද (27) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම සිදු කෙරුණු අතර පසුව ඔවුන් පෙර ඇපමත මුදා හැරීමටද නියම කෙරුණි.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේනම් ඒවා සතියක් තුළ අධිකරණය වෙත බාර දෙන ලෙසද නියම කළේය.

පසුව විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබුවේය.

අනතුරුව නඩුව දෙසැම්බර් මස 18 වනදා කැඳවීමට ද නියම වුණි.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු විත්තිකරුවන් නම දෙනෙකු නම් කර තිබේ.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමඟ එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ ෴

***************************************

ඕමානයේදි වද හිංසාවට ලක් වු ගෘහ සේවිකාවන් 42 ක් යළි දිවයිනට

(27.11.2019 – 11:18 +0530 – sinhala.adaderana.lk)

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී එරට වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42 ක් අද (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇත.

ඔවුන් සියලු දෙනාම කාන්තාවන් වූ අතර , ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් ඕමානයේ වසර දෙකකට අඩු කාළයක් සේවය කර තිබුණ ද , ඔවුන්ට ඒ සඳහා වැටුප් ගෙවා නොතිබුණි.

ඔවුන් ගෘහ සේවය සඳහා යොමු කළ ඕමානයේ නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදර ඔවුන්ට සිදු වී තිබූ අතර, වැටුප් නොගෙවීම නිසා ද, මෙම සේවිකාවන් තවදුරටත් එම නිවෙස් වල නොසිට, පලා විත්, එරට රැකියා ඒජන්සි වෙත මෙම තොරතුරු පැවසූ විට, යළිත් මෙම සේවිකාවන් වෙනත් නිවාස වෙත යොමු කර, ඔවුන්ට හිමිවිය යුතු වැටුප්, එම ඒජන්සිකරුවන් විසින් ලබා ගෙන තිබු බව එම පිරිස පවසයි.

පසුව මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ අතර, ඔවුන් ඕමානයේ “සබායා ගිලිස් ” සහ “අබු අලීෆා” හි රැදවුම් මධ්‍යස්ථාන වල රදවා තිබී ඇත.

මෙම රැදවුම් මධ්‍යස්ථාන වල මෙම ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ට අමතරව, අප්‍රිකානු ජාතික කාන්තාවන් විශාල පිරිසක් ද සිටින බව මෙම පිරිස පවසා තිබේ.

මෙම කාන්තාවන් ඕමානයේ මස්කට් සිට පැමිණි සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 431 දරන ගුවන් යානයෙන් අද උදෑසන 8.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබු බව අද දෙරණ වාර්තාකරු පැවසීය ෴

***************************************

ජනපති පොහොට්ටුවේ පක්ෂ නායකයින් හමුවෙයි

(27.11.2019 – 09:09 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (26) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණි.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ විජේරාම නිවසේදීය.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය සහිතව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැනි තනතුරු පත් කරන ලෙස උපදෙස් දුන් බවයි.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර යම් ප්‍රමාණයක් ඇති බවයි.

එමෙන්ම තෙල් මිල සහ විදුලි බිල ඉදිරියේදී වැඩි නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුටත් පැවසීය.

***************************************

මහ මැතිවරණය ගැන ඉඟියක්

(27.11.2019 – 07:05 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව ලබන මාර්තු මස 01 වනදායින් පසු විසුරුවා හැරිමක් සිදු කළහොත් 2020 අප්‍රේල් මස අගදී හෝ මැයි මස මුල් සතියේදී මහමැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව සදහන්.

ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධින හා සාමකාමී ලෙස පැවැත්විම තහවුරු කිරිම සදහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනිමට පාර්ලිමේන්තුවේ සහය ලබා දෙන ලෙස ද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී කතානායකවරයාගේ සහය ඉල්ලා ඇති බව සදහන්.

ඒ සදහා වන යෝජනා ඉදිරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවනබව ද මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබේ.

එමෙන්ම දැනට අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විම සදහා අවශ්‍ය වන රෙගුලාසි පාර්ලිමේන්තුවේදී හැකි ඉක්මනින් සම්මත කර දෙන ලෙස ද සභාපතිවරයා එහිදී කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇති බව සදහන්.

මීට අමතරව 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී හදුනාගත් අඩුපාඩු නිවැරදි කර ගැනිම සදහා වන නව සංශෝධන පළාත් පාලන මැතිවරණ පනතට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ ෴

***************************************

පොලොන්නරුවේ හාල් මෝලක පරණ හාල් මිශ්‍රකිරීමේ ජාවාරමක්

(26.11.2019 – 19:07 +0530 – sinhala.adaderana.lk)

කල්ඉකුත් වූ සහල් අලුත් සහල් සමඟ මිශ්‍රකර යළිත් වෙළෙඳපොළට නිකුත් කරන ජාවාරමක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ විය.

මේ අනාවරණය ඒ පිළිබඳවයි.

කල්ඉකුත් වූ සහල් අලුත් සහල් සමග මිශ්‍රකර යළිත් වෙළෙඳපොළට නිකුත් කෙරෙන ජාවාරමක් පොලොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාන සහල් මෝලක සිදු කෙරෙන බව උකුස්සාට වාර්තා විය.

ඒ අනුව උකුස්සා අදාල සහල් මෝලට රහසිගතව ඇතුළුවූයේ ඒ පිළිබඳව සොයා බැලීම සඳහායි.

එහිදී පළමුව දැකගත හැකිවුණේ කල් ඉකුත් වූ සහල් වෙනත් ගබඩාවකින් මෙම ස්ථානයට ගෙන එන ආකාරයයි.

තවදුරටත් උකුස්සා සිදුකළ සොයාබැලීමේදී මෙම කල්ඉකුත් වූ සහල් සමග පණුවන් සහ මැස්සන්ද සිටින අයුරු දැකගත හැකිවිය.

පරණ සහල් තොග සවල් ආධාරයෙන් එහි සිටින කාන්තාවන් පිරිසක් විසින් අලුත් සහල් සමඟ එක්කරන ආකාරයයි මේ.

ඒ අනුව උකුස්සා සිදුකළ ගවේෂණයේදී දැකගත හැකිවුණේ කල්ඉකුත් වූ සහල් මෙම උපකරණය හරහා සුද්ධ පවිත්‍රකිරීම හෙවත් පොලිෂ් කරන ආකාරයයි.

මෙලෙස සුද්ද කරන ලද සහල් සඳහා යම් කිසි රසායනික ද්‍රව්‍යයක් එක්කිරීම සිදුකෙරෙයි.

එහි වැඩකරන සේවිකාවන් මෙහි ඇති සහල්වල තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

එමෙන්ම මෙම ප්‍රදේශයේ සිටින සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධයෙන්ද එහි සේවකයින් අදහස් දැක්විය.

ඉන් අනතුරුව මෙම කූට මෝල් හිමියා විසින්, කල් ඉකුත් වූ සහල් සමග මිශ්‍ර කළ අලුත් සහල් ඇතුළත් උර වෙළඳපොළට නිකුත්කරන අයුරුද උකුස්සාට එහිදී දැකගත හැකිවිය.

මිනිසුන් කන බත්පතට පවා මෙලෙස වස මිශ්‍ර කරන ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ කූට ක්‍රියා පිළිබඳව බලධාරීන් ක්‍රියාත්මක වනතෙක් උකුස්සා අවදියෙන්.

https://www.youtube.com/watch?v=s6-XyM2XUFM#t=6

***************************************

මහ බැංකුව අනතුරු අඟවයි – අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න

(25.11.2019 – biz.adaderana.lk)

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු තමන් වෙත ලැබී ඇති බවත් මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී නිරීක්ෂණය වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.

මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ බැංකු ගිණුම් අංක සහ ඔවුන්ගේ බැංකු පුද්ගලික හැඳුනුම් අංක (PIN) වැනි රහස්‍ය තොරතුරු තමන්ට ලබාගැනීම සඳහා මහජනයා පොළඹවයි. එමගින් වංචාකරුවන් පාරිභෝගික ගිණුම් වෙත පිවිස ඒවායේ ඇති මුදල් සොරකම් කිරීමට එවැනි තොරතුරු භාවිතා කරනු ලබයි.

ගිණුම්හිමියන්ගේ රහස්‍ය තොරතුරු වශයෙන් ගිණුමෙහි සහ ගිණුම් හිමියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට භාවිතා කළ හැකි තොරතුරු ලෙස හැඳින්විය හැකිය.

  • ඉතුරුම් සහ ජංගම ගිණුම් අංක, අන්තර්ජාලයෙන් හෝ ජංගම දුරකථනයෙන් පිවිසෙන බැංකු ගිණුම් හෝ විද්‍යුත් පසුම්බි (e-wallet) හෝ පරිශීලකනාම (User Name / User ID) සහ මුරපද (Password),
  • ගෙවීම් කාඩ්පත්වල හෝ අන්තර්ජාල බැංකු පහසුකම් වල පුද්ගලික හැඳුනුම් අංක (PIN) එනම්, සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මඟින් මුදල් ලබා ගැනීමට භාවිතා කරන හෝ අන්තර්ජාල බැංකු ගිණුම් වලට පිවීසීමට භාවිතා කරන අංක ආදිය,
  • ගනුදෙනු සහතික කිරීමේදී යොදාගන්නා එක්වරක් පමණක් භාවිතා කල හැකි මුරපද (One-Time-Password – OTP),
  • ගනුදෙනු සත්‍යභාවය සහතික කිරීම සඳහා ගිණුම් හිමිකරුට පමණක් එවනු ලබන අගයන් සඳහන් වන කෙටි පණිවිඩ,
  • හර හෝ බැර ගෙවීම් කාඩ්පත් වල අඩංගු තොරතුරු වන කාඩ්පත් අංක, එම කාඩ්පත් කල් ඉකුත් වීමේ දින, ආරක්ෂිත කේත එනම්, බොහෝවිට ගෙවීම් කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා CVV, CVC හෝ CVS යන්නෙන් හැඳින්වෙන ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක සහ පාරිභෝගිකයන්ගේ බැංකු ගිණුම්, ගෙවීම් කාඩ්පත්, විද්‍යුත් පසුම්බි හෝ වෙනත් ඕනෑම ගිණුමකට පිවිසීමට හෝ ඒවා සත්‍යාපනය කිරීමට භාවිතා කළ හැකි තොරුතුරු ආදිය මෙයට ඇතුළත් වේ.

මෙවැනි වංචාවක් සිදු වූ විට ක්ෂණිකව එය පාරිභෝගිකයාට දැනගැනීම සඳහා තම බැංකු හෝ මූල්‍ය සමාගම් වැනි බැංකු නොවන මූල්‍ය ආයතන වලින් කෙටි පණිවිඩ වැනි එසැනින් දැනුම්දීමේ සේවා සක්‍රීය කරගන්නා ලෙස ජනතාවට දන්වනු ලැබේ.

ගිණුම් හිමිකරුවන් මෙවැනි වංචා පිළිබඳ සැමවිටම අවධානයෙන් සිටිය යුතු බවත්, තමන්ගේ රහස්‍ය තොරුතුරු විශේෂයෙන්ම ගිණුම් පරිශීලක නාම, මුරපද, පෞද්ගලික හැඳුනුම් අංක (PINs), එක්වරක් පමණක් භාවිතාවන මුරපද (OTP), හෝ ගිණුම්වලට පිවිසීමේදී ගිණුම් හිමියාගේ අනන්‍යාතාවය තහවුරු කිරීම සඳහා භාවිතා කළ හැකි වෙනත් ඕනෑම රහස්‍ය තොරතුරක් අනෙකුත් පුද්ගලයින් සමග හුවාමාරු කර නොගැනීමට පියවර ගත යුතු බවත් මහ බැංකුව තරයේ අවවාද කරයි. ගනුදෙනුකරුවන් ඕනෑම මූල්‍ය සේවාවක් ලබා ගැනීමට පෙර එහි ඇති කොන්දේසි හොඳින් කියවා බැලීම කල යුතු වේ.

තවද, ගිණුම් හිමියන්ට තම ජංගම හෝ ඉතුරුම් ගිණුම් වෙත ප්‍රවේශ වීමට භාවිතා කරන තම අනන්‍යතාවය සම්බන්ධ රහස්‍ය තොරතුරු දැනුම් දෙන ලෙස පහසු ණය යෝජනා ක්‍රම වැනි වෙනත් පාර්ශවයන්ගේ ලැබෙන ඉල්ලීම් හෝ තමන් විසින් සිදු නොකළ සැක සහිත ගනුදෙනු සඳහා කෙටි පණිවිඩ හෝ විද්‍යුත් තැපැල් දැනුම්දීම් හෝ දුරකථන ඇමතුම් ලැබුණහොත් ඒ පිළිබඳව නොපමාව නිසි ක්‍රියාමාර්ග ගෙන තම බැංකුවට හෝ තමන්ගේ ගිණුම් පවත්වාගෙන යනු ලබන ඇති අනෙකුත් මූල්‍ය ආයතනවලට දැනුම් දෙන මෙන් මෙමගින් මහජනතාව දැනුවත් කරනු ලැබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *