රටින් පැන්න නිශාන්ත සිල්වා කොටි ඩයස්පෝරාවේ ඒජන්තයෙක් – ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රටින් පැන්න නිශාන්ත සිල්වා කොටි ඩයස්පෝරාවේ ඒජන්තයෙක් – ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ

• ස්විස් පැන්න නිශාන්ත ළඟ රහස් ලියවිලි රැසක්….. ඒ අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇඟිලි සලකුණුත්

• විදේශ අමාත්‍යාංශය මැදිහත් වී නිශාන්ත පිටුවහල් කරන්නැයි ස්විස් රජයට දැන්විය යුතුයි – විජයදාස රාජපක්‍ෂ

• ඖෂධ සංස්ථාවේ සභාපතිට ඇති චෝදනා ගැන සොයන්න විශේෂ කමිටුවක්

• කෝටි 1,200 ක බෙහෙත් වංචා චෝදනා ලැබූ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් රට පනින වෑයමක් CID යට පැමිණිල්ලක්

• ඩෑන් ප්‍රියසාද්ගෙන් රිෂාඩ්ට එරෙහිව චෝදනා විස්සක්

• තහනම නොතකා යාපන සරසවිය තුල මහවිරුවන් සමරයි..

• මියගිය මහවිරුවන් 25,000 කගේ නම් ලැයිස්තුවක් උතුරේ ප‍්‍රදර්ශණයේ…

• රාජ්‍ය ලාංඡනයෙනුත් නිලධාරීන් ගොඩ

• බස්නාහිර පළාත් සභාවේ තැන්පතුවක තිබූ බිලියන 9 ක මුදලක් අනවශ්‍ය ලෙස වැය කරලා

• ජනාධිපතිතුමනි, දේශපාලුවන්ගෙන් විල්පත්තුව බේරා දෙන්න

• කාත්තන්කුඩියටත් ශ‍්‍රී ලංකා නීතිය අකුරට ක‍්‍රියාත්මකයි.. හෙල්මට් නැත්නම් දඩ කොල නෑ.. කෙලින්ම උසාවි..

+++++++++++++++++++++++++++++++++++

රටින් පැන්න නිශාන්ත සිල්වා කොටි ඩයස්පෝරාවේ ඒජන්තයෙක් – ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ

(27.11.2019 – mawbima.lk)

බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත කන්දප්පා හෙවත් නිශාන්ත සිල්වා කොටි ඩයස්පෝරාවේ ඒජන්තවරයකු බවත් තමා මෙම කරුණු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් අවස්ථාවේදී නිශාන්ත කන්දප්පා මහතාව ආරක්ෂා කළේ රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා විසින් බවත් හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.

2018 වසරේ අගභාගයේදී මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවෙසේදී නිශාන්ත කන්දප්පා මහතාට කොටි ඩයස්පෝරාව සමඟ තිබෙන සම්බන්ධය තමා සාක්ෂි සහිතව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් බවත් මේ ගැන විමසීම සඳහා පැවැති එම සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා කැඳවා තිබුණු බවත් ඔහු සමඟ එම සාකච්ඡාවට ජේ. සී. වැලිඅමුණ මහතාද පැමිණ සිටි බවත් විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

නිශාන්ත කන්දප්පා මහතා කොටි ඩයස්පෝරාවේ වුවමනාවන්ට අනුව රණවිරුවන් දඩයම් කරමින් බුද්ධි අංශ විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවත්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණරත්න මහත්වරුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් තමා මෛත්‍රිපාල සිරිසේන මහතාට ඒ බව දැනුම් දුන් බවත් විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

නිශාන්ත කන්දප්පා මහතාට චෝදනා කිරීම අසාධාරණ බවත් ඔහු රහස් පොලිසියේ දක්ෂ නිලධාරියකු බව සඳහන් කරමින් නිශාන්ත කන්දප්පා මහතා ඒ අවස්ථාවේදී ආරක්ෂා කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා විසින් බවත් විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

කොටි ඩයස්පෝරාවෙන් මෙන්ම ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) වලින්ද නිශාන්ත කන්දප්පා මහතාට වරප්‍රසාද ලැබුණේ බුද්ධි අංශ අඩපණ කිරීමට බව තමා දැඩි වගකීමකින් යුක්තව ප්‍රකාශ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙම සාකච්ඡාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා තනිවම ජනාධිපති නිල නිවෙසට පැමිණෙන විට ඊට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වී ඇති බවත් ජේ. සී. වැලිඅමුණ මහතා සමඟ යන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නිශාන්ත කන්දප්පා මහතා කොටි ඩයස්පෝරාවේ ඒජන්තවරයකු ලෙස බුද්ධි අංශ දුර්වල කිරීමට කටයුතු කිරීම සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා විසින් නිශාන්ත කන්දප්පා මහතා ආරක්ෂා කිරීම යන කරුණු සම්බන්ධයෙන් තමා ඉදිරියේදී වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට ක්‍රියාකරන බවත් විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

+++++++++++++++++++++++++++++++++++

ස්විස් පැන්න නිශාන්ත ළඟ රහස් ලියවිලි රැසක්….. ඒ අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇඟිලි සලකුණුත්

(27.11.2019 – divaina.com)

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට පලා යෑමේදී ඔහු සන්තකයේ තිබූ ජිනීවා චෝදනා එල්ල වූ ඉහළම දේශපාලනඥයකුගේ සහ මෙරට යුද සහ නාවික හමුදා බුද්ධි අංශවල රාජකාරි කළ නිලධාරීන් එක්දහස් පන්සියයකගේ (1500) පමණ ඇඟිලි සලකුණු සටහන් හා අතිශය රහස්‍ය ලියකියවිලි ඇතුළු තොරතුරු රැසක් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මේ සියල්ල ඉදිරියේදී ස්විස් කොටි ජාලය අතට පත්කිරීමේ සහ ශී‍්‍ර ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමේ අදහසින් රැගෙන යන්නට ඇතැයි ආරක්‍ෂක අංශ විශ්වාස කරයි.

බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව පසුගිය කාලයේ සීඅයිඩිය සිදු කළ විමර්ශනවලදී ප‍්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත සිල්වා භාරයේ අදාළ සියලු තොරතුරු පරිගණකගතව තිබී ඇත. අතිශය රහස්‍ය සංවේදී ලියකියවිලි තිබී ඇත්තේද ඔහු භාරයේය. මේ තොරතුරු අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ ලිපිනයන්, දුරකථන අංක, අත් අකුරු සටහන් සහ පවුලේ සාමාජිකයන්ගේ විස්තර ආදී වශයෙන් අනන්‍යතාව හෙළිවන බොහෝ කරුණු තිබී ඇත.

බුද්ධි නිලධාරීන් ප‍්‍රශ්න කිරීම සඳහා දිගින් දිගටම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ අවස්ථාවලදී එසේ අත් අකුරු සටහන් අතුළු අනන්‍යතාව තහවුරු වන සියලු තොරතුරු ලබා ගැනීමට ප‍්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස නිශාන්ත සිල්වා කටයුතු කර තිබේ.

ඉකුත් මානුෂීය මෙහෙයුම සමයේ හමුදා ඔත්තුකරුවන් ලෙස කටයුතු කළ විශාල පිරිසකගේ තොරතුරු ද මේ අන්දමට නිශාන්ත සිල්වා භාරයේ තිබී ඇති අතර මෙම තොරතුරු කොටි ඩයස්පෝරාව අතට පත්වීම මෙරට බුද්ධි අංශවලට එල්ල වන මරු පහරක් බව උසස් ආරක්‍ෂක අංශ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

– සමන් ගමගේ

+++++++++++++++++++++++++++++++++++

විදේශ අමාත්‍යාංශය මැදිහත් වී නිශාන්ත පිටුවහල් කරන්නැයි ස්විස් රජයට දැන්විය යුතුයි – විජයදාස රාජපක්‍ෂ

(27.11.2019 – divaina.com)

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා ලංකාවට පිටුවහල් කරන ලෙස විදේශ අමාත්‍යාංශය මැදිහත් වී ස්විට්සර්ලන්ත රජයට දැනුම් දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි.

එමෙන්ම මෙම නිලධාරියා කොළඹ තානාපති කාර්යාල සමග පැවැත්වූ සබඳතා ගැන ද පරීක්‍ෂණයක් කළ යුතු බව රාජපක්‍ෂ මහතා කීය.

විශේෂයෙන්ම නිශාන්ත ද සිල්වාට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් වීසා ලැබීම සඳහා ඉහළ මැදිහත්වීමක් සිදුව ඇති බවත් හෙතෙම කීය.

නිශාන්ත ද සිල්වාගේ කූට වැඩපිළිවෙළ ගැන තමා හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ද පැමිණිලි කළ බව හෙතෙම සඳහන් කරයි.

එක් අවස්ථාවක හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න හා අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යන දෙදෙනාම නිශාන්ත ද සිල්වා යනු තම දෙපාර්තමේන්තුව සතු හොඳම නිලධාරියකු කියමින් ඔහු ආරක්‍ෂා කළ බවත් හෙතෙම සඳහන් කළේය. එම අවස්ථාවේදී තමාත් එම ස්ථානයේ සිටි බව ද රාජපක්‍ෂ මහතා කියයි.

– ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

***************************************

ඖෂධ සංස්ථාවේ සභාපතිට ඇති චෝදනා ගැන සොයන්න විශේෂ කමිටුවක්

(27.11.2019 – 14:03 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා ඖෂධ ගෙන්වීමේ දී හා බෙදාහැරීමේ දී සිදු කොට ඇති දුෂණ, වංචා, මුල්‍ය අවභාවිතයන් සහ හොර රහසේම විදේශගතවීමට උත්සාහ දැරීම පිළිබදව මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ දැඩි අවධානය යොමුව ඇත.

ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා පිළිබද තමා දැඩි අවධානයෙන් සිටින බවත්, පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් කිසිවිටෙකත් මොහුට රට හැර පළා යාමට ඉඩ නොතබන බවත් ඒ පිළිබද අදාල අංශ දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරිය පැවැසීය.

එමෙන්ම මොහු විසින් ඖෂධ ගෙන්වීමේ දී සහ බෙදාහැරීමේ දී සිදු කොට ඇති බවට පැවැසෙන දූෂණ, වංචා, මූල්‍ය අවභාවිතයන් පිළිබද සොයා බැලීම සදහා විශේෂ විමර්ශණ කොමිටියක් පත් කරන ලෙස තමන් අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දුන් බවත් ඊට අදාල කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බව ද අවධාරණය කරන ලදි.

තව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් ඖෂධ ගෙන්වීමේ දී හා බෙදාහැරීමේ දී සිදු කොට ඇති දුෂණ, වංචා ඇතුලු මූල්‍ය අවභාවිතාවන් පිළිබද තොරතුරු දන්නා අය වෙතොත් තමා වෙත පෞද්ගලිකව හෝ අමාත්‍යාංශය මගින් පිහිටුවීමට පියවර ගෙන ඇති විශේෂ විමර්ෂණ කොමිටිය වෙත ලිඛිතව හෝ වාචිකව නොපමාව දැනුම් දෙන ලෙස ද අමාත්‍යතුමිය වැඩිදුරටත් ඉල්ලා සිටියි ෴

+++++++++++++++++++++++++++++++++++

කෝටි 1,200 ක බෙහෙත් වංචා චෝදනා ලැබූ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් රට පනින වෑයමක් CID යට පැමිණිල්ලක්

(27.11.2019 – mawbima.lk)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා හට බරපතළ මූල්‍ය චෝදනා එල්ලව තිබියදී ඔහු හොර රහසේ විදේශගත වීමට උත්සාහ දරන බවත් එලෙස විදේශගත වීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ‘සිංහලේ අපි’ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවල චන්දරතන හිමියෝ ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළහ.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභා වාර්තාව මඟින් සෞඛ්‍ය ලේකම් වෙත දන්වා ඇත්තේ මොහු හා ප්‍රශ්නගත ඖෂධ සමාගමක ඇති කිට්ටු සම්බන්ධතාව පිළිබඳ වහාම විමර්ශනයකට ලක්විය යුතු බවද පූජ්‍ය චන්දරතන හිමියන් සිය ලිඛිත පැමිණිල්ල මඟින් දන්වා ඇත.

එමෙන්ම තමන් වහන්සේට දැන ගන්නට ලැබී ඇති පරිදි ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මඟින්ද ඖෂධ සංස්ථාවේ සිදුව ඇති වංචාවන් පිළිබඳව රූමි මොහොමඩ්ටද එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට නිර්දේශ කර ඇති බවද පූජ්‍ය චන්දරතන හිමියන් සිදුකළ ලිඛිත පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.

එසේම මොහු ඇතුළුව පසුගිය පාලන සමයේ දූෂණ චෝදනාවන්ට සම්බන්ධ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් හට ගුවන්තොටුපොළෙන් විදෙස් ගතවීම වළකාලමින් නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ‘බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ’ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන්ද ආරක්ෂක ලේකම්වරයාට ඊයේ (26 දා) ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසුවේ ඖෂධ සංස්ථාවේ සභාපති රූමි මොහොමඩ් මහතා විසින් එම සංස්ථාවට ඖෂධ මිලදී ගැනීමේදී රුපියල් කෝටි 1200 ක වංචාවක් සිදුකර ඇති බවට චෝදනා ලැබ සිටියදී ඔහු රටින් බැහැරවීමේ උත්සාහයක යෙදෙමින් සිටින බවයි.

ඔහු ඖෂධ ආනයනය කරන ‘ෆාමර්ස්’ නමැති ආයතනය සමඟ සමීප සම්බන්ධකම් පවත්වන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් එම ආයතනය වෙතින් ඖෂධ මිලදී ගැනීමේදී මෙම මූල්‍ය වංචාව සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් වෛද්‍ය අලුත්ගේ මහතා සඳහන් කළේය.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය ලේකම්වරියට දැනුම් දී ඇති අතර පැවැති රජයේ දූෂණ වංචා සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැරැදිකරුවකු ලෙසට තීරණය කළ බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය ෴

***************************************

ඩෑන් ප්‍රියසාද්ගෙන් රිෂාඩ්ට එරෙහිව චෝදනා විස්සක්

(27.11.2019 – 12:35 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව චෝදනා 20 ක් යටතේ නව සිංහලේ ජාතික සංවිධානය අද (27) පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා කියා සිටියේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින්ට සතොස ආයතනයේ වාහන මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීම හරහා රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කර ඇති බවයි ෴

***************************************

තහනම නොතකා යාපන සරසවිය තුල මහවිරුවන් සමරයි..

(27.11.2019 – 14:10 +0530 – lankacnews.com)

යුද සමයේදී මිය ගිය මහවිරුවන් සිහිපත් කොට යාපනය විශ්වවිද්‍යාල භූමිය තුල කිසිදු සැමරීමක් සිදු නොකරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් පනවා තිබූ තහනම් නියෝගය නොසලකා හරිමින් එහි සිසුන් පිරිසක් අද (27) උදෑසන සරසවිය තුල මහවිරු සැමරීමක් සිදු කොට ඇත.

යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි යුද්දයෙන් මිය ගිය අය වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කය ඉදිරිපිටදී මෙම මහවිරු සැමරුම් සිදු කොට ඇති අතර ඒ සඳහා විශ්වවිද්‍යාලයේ සිසුන් 50 ක් පමණ දෙනා සහභාගී වී මහවිරුවන් සමරා පුෂාපෝපහාර දක්වා ඇත.

කෙසේ වෙතත් ඊයේ (26) දින යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ 26, 27 හා 28 දිනයන්හි විශ්ව විදයාල භූමිය තුල මහවිරුවන් සැමරීමට කිසිදු සිසුවෙකුට ඇතුල්විය නොහැකි බවටත් එසේ ඇතුල් වී සැමරුම් සිදු කරන සිසුන් හට විනයානු කූල පරික්ෂණයක් සිදු කරනු බවටත්ය.

කෙසේ වෙතත් අද (27) දින එම තහනම නොසලකා හරිමින් සිසුන් පිරිසක් සරසවියේ ස්මාර්කය ඉදිරිපිට මෙසේ මහවිරු සැමරුමක් සිදු කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර මෙලෙසින් යපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිසුන්ට මහවිරු සැමරුමක් තහනම් කරනු ලැබුවේ පළමු වතාවට වීමද විශේෂත්වයකි.

පසුගිය මහවිරු සැමරුම් දිනයන්හි යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සිසුන්ගේ කාර්යාල තුල තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානයේ පෝස්ටර් තිබී සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වීමද සිදු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++

මියගිය මහවිරුවන් 25,000 කගේ නම් ලැයිස්තුවක් උතුරේ ප‍්‍රදර්ශණයේ…

(27.11.2019 – 17:30 +0530 – lankacnews.com)

අදට (27) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් යුද සමයේදී මිය ගිය මහවිරුවන් 25,000 කගේ පමණ නම් ලැයිස්තුවක් යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ජනතාවට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කොට ඇත.

නොවැම්බර් 27 වනදාට යෙදෙන මහවිරු දිනය නිමිත්තෙන් ඊයේ (26) රාත්‍රියේ මෙම නම් ලැයිස්තුව නල්ලූර් ප්‍රදේශයේ ප්‍රදර්ශනය කෙරුනු අතර අදාල නම් ලැයිස්තුවේ මිය ගිය දරු මුණුබුරන් ඇත්තේද යන්න දැක ගැනීම සඳහා සාමාන්‍ය වැසියන් ඊයේ (26) රාත්‍රියේ සිට අද දිනය පුරා පැමිණෙමින් සිටින අතර ඇතම් වැසියන් මිය ගොස් සිටි මහවිරුවන් වෙනුවෙන් මල් පහන් දැල්වීය.

අදාල නම් ලැයිස්තුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික පුෂ්පය වශයෙන් සැලකුණු නියගලා මළ පමණක් ප්‍රදර්ශනය කොට තිබූ අතර එම සංවිධානයේ හෝ පුද්ගල ඡායාරූපයක් ප්‍රදර්ශනය කොට නොතිබුණි.

කෙසේ වෙතත් තහනම් ත්‍රස්ත සංවිධානයක් වූ කොටි සංවිධානයේ කිසියම් නීතිවිරෝධී සැමරීමක් සිදු වන්නේද යන්න පිළිබඳව උතුරේ ආරක්ෂක අංශ විසින් සීරුවෙන් සිටින අතර එවැනි සැමරීම් සිදු කරන පුද්ගලියින්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමටද ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

***************************************

රාජ්‍ය ලාංඡනයෙනුත් නිලධාරීන් ගොඩ

(27.11.2019 – 13:46 +0530 – lankaleadnews.com)

රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කර වියදම් අවම කරන්නැයි දන්වා තිබියදී ඇතැම් ආයතන පිත්තලින් නිමකළ රාජ්‍ය ලාංඡන රුපියල් විසිදෙදහසේ සිට හතළිස්හතර දහස දක්වා මිලකට ලබා ගැනීමට කටයුතු කර ඇතැයි හෙළි වෙයි.

රාජ්‍ය ආයතනවලින් ඇති අධික ඉල්ලුම නිසා ලක්සල ආයතනයේ සියලුම ශාඛාවල තිබූ පිත්තල රාජ්‍ය ලාංඡන මෙම සතිය වන විට අවසන් වී ඇති බවත් යළි ඇණවුම් කර බලා සිටින බවත් ලක්සල අලෙවි ආයතනවලින් අනාවරණය විය.

රාජ්‍ය ලාංඡනයේ ඡායාරූපයක් රාමු කිරීමට හැකියාව තිබියදී රාජ්‍ය ආයතනවල සිටින නිලධාරීන් පිත්තල රාජ්‍ය ලාංඡන සඳහා මිල ගණන් කැඳවා මිලදී ගෙන ඇතැයි හෙළිවිය.වැඩිපුරම අලෙවි වී ඇත්තේ රුපියල් තිස්හත් දහසක් පමණ වන අඩි දෙකක් දිගැති රාජ්‍ය ලාංඡන බව ලක්සලෙන් අනාවරණය විය.

මෙම රාජ්‍ය ලාංඡන අතින් කැටයම් කරන පිළිමතලාවේ කැටයම් ශිල්පීන් දෙදෙනාගෙන් එක් අයකුට අඩි එකහමාරක් උසැති රාජ්‍ය ලාංඡන සියයක ඇණවුමක් ඊයේ (26 වැනිදා) වන විට ලැබී ඇතැයි හෙළිවිය.

රුපියල් හයදහසට පිළිමතලාවෙන් දෙන අඩි එකහමාරේ රාජ්‍ය ලාංඡනයක් කොළඹදී රුපියල් දාහත්දහස් පන්සියයකටත්, රුපියල් විසිපන්දහසට දෙන අඩි දෙකේ රාජ්‍ය ලාංඡනයක් රුපියල් තිස්පන්දහසේ සිට ඉහළ ගණන්වලට විකිණෙන බවත් හෙළිවිය ෴

***************************************

බස්නාහිර පළාත් සභාවේ තැන්පතුවක තිබූ බිලියන 9 ක මුදලක් අනවශ්‍ය ලෙස වැය කරලා

(23.11.2019 – lankadeepa.lk)

බස්නාහිර පළාත් සභාවේ ස්ථාවර තැන්පතුවක තිබූ රුපියල් බිලියන නවයකට (09) අධික මුදලක් වියදම් කර ඇති ආකාරය සොයා බලන ලෙස එම පළාත් සභාවේ සේවක පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා ඇත.

පසුගිය කාලය පුරාම අනවශ්‍ය ලෙසින් මුදල් වියදම් කරන ලද මෙම පළාත් සභාව, සාකච්ඡා සම්මන්ත්‍රණ සඳහා විශාල වශයෙන් ආහාර පානවලට වියදම් කර ඇති අතර විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඒවා සඳහා ද අනවශ්‍ය ලෙස මුදල් වියදම් කර තිබෙන බව ද සේවක පිරිස් චෝදනා කරති.

ඇතැම් සම්මන්ත්‍රණ සඳහා දිවා ආහාරයට ලක්ෂ 47 ක් ද, උදේ ආහාරයට ලක්ෂ 17 ක් ද වියදම් කර ඇති බව වාර්තා වේ.

රුපියල් බිලියන 9 ක මුදලක් දිවා ආහාරයට වියදම් කර ඇති බස්නාහිර පළාත් සභාවේ අය හා වැය පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන ලෙසට ද සේවක පිරිසක් ඉල්ලා සිටිති ෴

***************************************

ජනාධිපතිතුමනි, දේශපාලුවන්ගෙන් විල්පත්තුව බේරා දෙන්න

(27.11.2019 – mawbima.lk)

විල්පත්තු වන සංහාරය නැවැත්වීම වෙනුවෙන් ගෙන ඇති නීතිමය පියවර නවතා දැමීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත්, විල්පත්තු රක්‍ෂිත වනාන්තරය දේශපාලුවන්ගෙන් බේරා ගැනීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැදිහත් විය යුතු බවත් සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දක්වමින් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ ප්‍රකාශ කළහ.

විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගේත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ වනජීවී දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට චෝදනා එල්ල වෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් මේ වන තෙක් ගෙන නොමැති බවත් පූජ්‍ය ආනන්ද සාගර හිමියෝ ප්‍රකාශ කළහ.

ඊයේ (26 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.

“විල්පත්තු වන විනාශය පිළිබඳව අප දිගින් දිගටම කතා කළා. නමුත් සාධාරණ පරීක්‍ෂණයක් සිදුවී නැහැ. නමුත් විගණන වාර්තාවට අනුව පාරිසරික නීති උල්ලංඝනය කිරීමක් සිදුව තිබෙනවා. විල්පත්තුවේ ජනතාව පදිංචි කරලා තිබෙන්නේ දේශපාලන වුවමනාවන් මතයි.

මේ පිළිබඳව කථානායකතුමාටත් අප දැනුම් දී තිබෙනවා. නමුත් තවමත් පියවරක් අරගෙන තිබෙන බවක් අපට පෙනෙන්නේ නැහැ.

අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ විල්පත්තු වනය මහමැතිවරණය වෙනුවෙන් යොදාගත්තා කියලයි. නීතිපති දෙපාර්තමේන්තුවට අපි කියන්නේ මේ ගැටලුව සමථයකට පත් කරන්න කියලයි. නැත්නම් විල්පත්තුව විතරක් නෙවෙයි සිංහරාජය, කන්නෙලිය, නකල්ස් ඇතුළු ජාතික සම්පතුත් විනාශ වේවි.

අපට අන්තවාදී ආණ්ඩු අවශ්‍ය නැහැ. මංගල සමරවීර අන්තවාදියෙක්, චම්පික රණවක අන්තවාදියෙක්. අපි බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුවෙනුත් මොනවාද වෙන්නේ කියලයි.”

විල්පත්තුව රක්‍ෂිත වනාන්තරය පිළිබඳ දැනට පැනනැඟී ඇති ගැටලු සහගත තත්ත්වයට වහා විසඳුමක් ඉල්ලා පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ විසින් රාජගිරියේ පිහිටි එම ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ ඊයේ (26 දා) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ ෴

***************************************

කාත්තන්කුඩියටත් ශ‍්‍රී ලංකා නීතිය අකුරට ක‍්‍රියාත්මකයි.. හෙල්මට් නැත්නම් දඩ කොල නෑ.. කෙලින්ම උසාවි..

(27.11.2019 – 16:40 +0530 – lankacnews.com)

නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි හා ඒ ආසන්න ප්‍රදේශවල හිස්වැසුම් රහිතව යතුරු පැදිය ධාවනය කරන්නන් නීතියට කොටුකර ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් වැඩිකර තිබේ.

කාත්තන්කුඩි පොලිසිය සඳහන් කරන්නේ හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කරන්න දඩ පත්‍රිකා නිකුත් නොකර කෙලින්ම අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඉකුත් දින කිහිපයේ දී එවන් පුද්ගලයන් 50 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම ප්‍රදේශයන්හි කලක සිට හිස්වැසුම් නොමැතිව යතුරු පැදිය ධාවනය පෙළඹී සිටියහ.

මෙම මෙහෙයුම් වැඩි කර ඇත්තේ රටපුරා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් උපදෙස් අනුවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Given that Nishantha Kandappa was working for LTTE, it is high time that all former and current military persons held in prisons, who were framed by this traitor nishantha, are released immediately. All other cases handled by this hyena must be reviewed and appropriate actions taken to deliver justice to victims of his conspiracies. I think Ranil should be questioned by law enforcers for all his implications in the bank robbery and these anti-sinhala, anti-sri lankan activities

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *