කැබිනට් මණ්ඩලය තීරණ : බදු රැසක් අහෝසියි – තවත් බදු සංශෝධනය කෙරේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කැබිනට් මණ්ඩලය තීරණ : බදු රැසක් අහෝසියි – තවත් බදු සංශෝධනය කෙරේ (විඩියෝ)

• සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයෙන් පැහැදිළි කිරීමක් (විඩියෝ)

• දෙමළ ජාතික සන්ධානයේ සූදානම (විඩියෝ)

• අගමැතිවරයා නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස ඇමැතිධුරයේ වැඩ අරඹයි (විඩියෝ)

• ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) ඉන්දියාවට

• දේශපාලන පලිගැනීම්වලට ලක්වූ රාජ්‍ය නිලධාරීන් ගැන සෙවීමට සති 06 ක් තුළ කොමිසමක්

• ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම පිළිබදව අවිනිශ්චිතතාවයක් හෙළි වෙයි

• රාජිත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්, ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිගේ දූෂණ සෙවීමටත් කමිටුවක් (විඩියෝ)

• යාපනය සරසවියේ, තහනම නොතකා සැමරුමක් (විඩියෝ)

• උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට තවදුරටත් බාධා (විඩියෝ)

• ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කිරීම ගැන විමර්ශන අරඹයි

• පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතී

• මහ දහවල් සිදුවු ජංගම දුරකථන හොරකම (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කැබිනට් මණ්ඩලය තීරණ : බදු රැසක් අහෝසියි – තවත් බදු සංශෝධනය කෙරේ

(27.11.2019 – 16:44 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග රැසක් අහෝසි කිරීමට අද (27) පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා.

ඊට අමතරව, තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව, භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැගිමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතන වලින් අය කරන හර බද්ද, කොටස් වෙළදපොල මත අයකරන ප්‍රාග්ධන ලාභ බද්ධ, උපයන විට අයකරන ආදායම් බදු, උපයන විට ගෙවන ආදයම් බදු, පොලිය මත අයකරන රැදවුම් බදු සහ ණය සේවා බදු වහාම ක්‍රියාත්මක කෙරෙන පරිදි අහෝසි කර තිබෙනවා.

එමෙන්ම, දෙසැම්බර් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම භාණ්ඩ හා සේවා සදහා පනවා තිබෙන සියයට 15 ක වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීමට තීරණය කළ බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ.

රුපියල් මිලියනයක්ව පැවති වැට් බද්ද අය කිරීමේ පිරිවැටුම, රුපියල් මිලියන 25 දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඉදිකිරිම් ක්ෂත්‍රය සදහා අයකල සියයට 28 ක ආදයම් බද්ද සියයට 14 දක්වා අඩු කර ඇති අතර, විදුලි සංදේශ බද්ද ද, සියයට 25 කින් අඩු කෙරුණා.

එසේම, විදේශ ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන ප්‍රේෂණ සම්පුර්ණයෙන් ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ස්වාධිපත්‍ය දේපල, මහල් නිවාස සදහා අයකල වැට් බද්ද සම්පුර්ණයෙන් අහෝසි කිරීමට තීරණය කළ බවයි.

එමෙන්ම, සියලුම ආගමික ස්ථාන බදු වලින් නිදහස් කිරීමට ද තීරණය කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක කෙරෙන පරිදි අහෝසි කළ බදු :

1) භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැගිමේ බද්ද (NBT) ,

2) ආර්ථික සේවා ගාස්තු,

3) බැංකු හා මූල්‍ය ආයතන වලින් අය කරන හර බද්ද,

4) කොටස් වෙළදපොල මත අයකරන ප්‍රාග්ධන ලාභ බද්ධ,

5) උපයන විට අයකරන ආදායම් බදු,

6) උපයන විට ගෙවන ආදයම් බදු,

7) පොලිය මත අයකරන රැදවුම් බදු

8) ණය සේවා බදු

9) ස්වාධිපත්‍ය දේපල, මහල් නිවාස සදහා අයකල වැට් බද්ද

10) සියලුම ආගමික ස්ථාන බදු වලින් නිදහස් කිරීම

සංශෝධනය කළ වැට් බදු :

1) දෙසැම්බර් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම භාණ්ඩ හා සේවා සදහා පනවා තිබෙන සියයට 15 ක වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීම

2) රුපියල් මිලියනයක්ව පැවති වැට් බද්ද අය කිරීමේ පිරිවැටුම, රුපියල් මිලියන 25 දක්වා ඉහළ නැංවීම.

3) ඉදිකිරිම් ක්ෂත්‍රය සදහා අයකල සියයට 28 ක ආදයම් බද්ද සියයට 14 දක්වා අඩු කිරීම.

4) විදුලි සංදේශ බද්ද ද, සියයට 25 කින් අඩු කිරීම.

5) විදේශ ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන ප්‍රේෂණ සම්පුර්ණයෙන් ආදායම් බද්දෙන් නිදහස් කිරීම.

+++++++++++++++++++++

***************************************

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයෙන් පැහැදිළි කිරීමක්

(27.11.2019 – 20:21 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තු වනාන්තර පද්ධතියේ කොටසක් එහි අනවසර පදිංචිකරුවන්ට ලබාදුන් බවට පැතිර යන කටකතා අසත්‍ය බව ‘සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය’ පවසනවා.

එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද වනජීවි අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත විල්පත්තු නඩුව සමතයකට පත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව යෝජනා කර ඇති බවයි.

මේ අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් බව කියන ඉඩම් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහිදී අනාවරණ කළා.

***************************************

දෙමළ ජාතික සන්ධානයේ සූදානම

(27.11.2019 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුළු ජාතික ඡන්ද පදනමක් නොලැබුණ ද තමන් ලද සුළු ජාතික ඡන්ද පදනමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව වැඩ කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මෙම අදහස් පළ කළේ යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

අගමැතිවරයා නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස ඇමැතිධුරයේ වැඩ අරඹයි

(27.11.2019 – 20:13 +0530 – hirunews.lk/sinhala)

නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) එම ධුරයේ රාජකාරී ආරම්භ කළා.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අද (27) දිනයේම සිය අමාත්‍යාංශවලදී රාජකාරී කටයුතු ආරම්භ කිරීම විශේෂත්වයක්.

නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙසද පසුගියදා දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) එම අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කළා.

ඒ බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අමාත්‍යංශයේදී.

මේ අතර නව රජයේ මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද පත්වූ ලොහාන් රත්වත්තේ මහතා බත්තරමුල්ලේ පිහිටි මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේදී නිල වශයෙන් රාජකාරී ආරම්භ කළා.

එස්. බී. දිසානායක මහතාද ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේදී පස්වරුවේ යොදුණු සුබ නැකතින් සිය රාජ්‍ය අමාත්‍යධුරයේ රාජකාරී ආරම්භ කළා.

අද (27) දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වනජීවී සම්පත් අමාත්‍යාංශයේදී රාජකාරී ආරම්භ කළේ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේයි.

මේ අතර මහවැලි, කෘෂිකර්ම වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (27) කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මේ අතර ‘දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්’ වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) සිදු කෙරුණා.

ඒ අනුව,

  • සරත් අමුණුගම මහතා මහනුවර දිස්ත්‍රික්කය සඳහාත්,
  • චන්දිම වීරක්කොඩි මහතා ගාල්ල දිස්ත්‍රික්ය සඳහාත්,
  • ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා මාතලේ දිස්ත්‍රික්කය සඳහාත්,
  • තේනුක විදානගමගේ මහතා බදුල්ල දිස්ත්‍රික්කය සඳහාත්,
  • පියල් නිශාන්ත මහතා කළුතර දිස්ත්‍රික්කය සඳහාත්,
  • නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාතර දිස්ත්‍රික්කය සඳහාත්,
  • සුමේධා ජී. ජයසේන මහත්මිය මොනරාගල දිස්ත්‍රික්කය සඳහාත්,
  • ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය අම්පාර දිස්ත්‍රික්කය සඳහාත්,
  • වීරකුමාර දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහාත්,
  • සාරථී දුෂ්මන්ත මහතා කෑගල්ල දිස්ත්‍රික්කය සඳහාත්,
  • දුනේෂ් ගන්කන්ද මහතා රත්නපුර දිස්ත්‍රික්කය සඳහාත්,
  • වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගම්පහ දිස්ත්‍රික්කය සඳහාත්,
  • විජේදාස රාජපක්ෂ මහතා කොළඹ දිස්ත්‍රික්කය සඳහාත්,

සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත්කර තිබෙනවා.

***************************************

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) ඉන්දියාවට

(28.11.2019 – 07:33 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව යනවා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.

ජනාධිපතිවරයා මෙහිදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා හමුවීමට ද නියමිතව තිබෙනවා.

මෙම සංචාරයට ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවීනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුද එක්වනවා ෴

***************************************

දේශපාලන පලිගැනීම්වලට ලක්වූ රාජ්‍ය නිලධාරීන් ගැන සෙවීමට සති 06 ක් තුළ කොමිසමක්

(28.11.2019 – 07:34 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පලිගැනීම් නිසා පසුගිය කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන්ට සිදුවූ අසාධාරණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සති 06 ක් තුළ විශේෂ කොමිෂන් සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (27) පැවති නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා මීට අදාළ යෝජනාව ඉදිරිපත් කළ බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ෴

***************************************

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම පිළිබදව අවිනිශ්චිතතාවයක් හෙළි වෙයි

(27.11.2019 – 19:24 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ මාර්තු 31 වනදායින් අවසන් වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 44 ක් පාඩු ලබා ඇති බව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා පවසනවා.

එම වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් විගණකාධිපතිවරයා මේ බව සදහන් කළා.

එම වාර්තාවේ දැක්වෙන්නේ මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 230 ක පාඩුවක් ලබමින් සිටින බවයි.

මෙලෙස පාඩු ලැබීම තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉදිරියට පවත්වාගෙන යාම පිළිබදව අවිනිෂ්චිතතාවයක් මතුවන බව ද, විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවේ සදහන් ෴

***************************************

රාජිත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්, ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිගේ දූෂණ සෙවීමටත් කමිටුවක්

(27.11.2019 – 19:22 +0530 – hirunews.lk/sinhala)

දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු සෞඛ්‍ය නිලධාරින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ‘බෞද්ධ තොරතුරු කේන්ද්‍රය’ රජයෙන් ඉල්ලීමක් කරනවා.

පිළිකා සම්බන්ධ ඖෂධ ගෙන්වීමේදී සිදුව ඇතැයි සැලකෙන රුපියල් බිලියන 3 යි දශම 8 කට ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔවුන් පසුගිය 25 වනදා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා එහි විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණා.

එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ඒ බව සඳහන් කළේ.

මේ අතර, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ගේ දූෂණ වංචා පිලිබදව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.

එසේම, වන්ද්‍යකරන සැත්කම් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් වහා සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි ‘කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය’ අද (27) මාධ්‍ය හමුවක් කැදවමින් ඉල්ලීමක් කළා.

මේ අතර, ‘විදුලි පාරිභෝගිකයින්ගේ සංගමය’ ද, අද (27) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ 2015 වසර වනවිට අනුමත කොට තිබූ එල්.එන්.ජී. විදුලි ව්‍යාපෘතිය ඉදිකිරීම වංචනික හා දූෂිත ලෙස ප්‍රමාද කිරීමෙන් යහපාලන ආණ්ඩුව විසින් රටට රුපියල් බිලියන 3360 ක් අහිමිකර ඇතැයි පවසමින්.

***************************************

යාපනය සරසවියේ, තහනම නොතකා සැමරුමක්

(27.11.2019 – 18:49 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාලයට සිසුන් බලහත්කාරයෙන් ඇතුළු වී යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීමේ උත්සවයක් පවත්වා තිබෙනවා.

ඒ අද (27) සහ හෙට (28) දිනයන්වල යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළු නොවන ලෙසට පාලනාධිකාරිය සිදුකළ තහනම ද නොතකමින්.

මේ අතර, 30 වසරක යුද්ධයකින් මියගිය පුද්ගලයින්ගේ නම් සහිත ලේඛනයක් යාපනය – නල්ලූර්හිදි ප්‍රදර්ශනය කර තිබූ අතර, එම ස්ථානයට පැමිණි පිරිසක් පහන් දල්වා ඔවුන් සිහිපත් කළ බවයි එහි සිටි හිරු වාර්තාකරු සදහන් කළේ.

***************************************

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට තවදුරටත් බාධා

(28.11.2019 – 09:09 +0530 – hirunews.lk/sinhala)

ගල්ගමුව සහ අඹන්පොල අතරදී ඊයේ (27) සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

ඊයේ (27) පෙරවරු 6.25 ට යාපනය සිට කොළඹ බලා පැමිණි යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලිපැනීමකට ලක්ව තිබුණා.

දුම්රියේ මැදිරි 5 ක් පීලිපැනීමකට ලක්වී ඇති අතර, ඒ හේතුවෙන් කොළඹ සිට උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය මහව දුම්රිය ස්ථානයට පමණක් සීමා කර තිබෙනවා ෴

+++++++++++++++++++++

***************************************

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කිරීම ගැන විමර්ශන අරඹයි

(28.11.2019 – 07:33 +0530 – sinhala.adaderana.lk)

මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ස්විස්ටර්ලන්ත රජය ශ්‍රී ලංකා බලධාරින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් හා සම්පූර්ණ පරික්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පැමිණිවිමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බවයි.

පසුගිය සදුදා දිනයේ (25) මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් ප්‍රශ්න කර තර්ජනය කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වී තිබුණි.

අදාල මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ තානාපති කාර්යාලයේ තොරතුරු හෙලිකරන ලෙස නාදුනන පිරිසක් සිය සේවකයාට තර්ජනය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුවත් කර ඇති බව ද ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මේ අතර මෙරට ස්විස්ටර්ලන්ත තානාපති හෑන්ස්පීටර් මොක් මහතා ඊයේ (27) දිනයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ඇත.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතී

(28.11.2019 – 06:48 +0530 – sinhala.adaderana.lk)

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නරත කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (27) දිනයේ සිට මෙම ඒකකයේ කටයුතු නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් කිසිදු මාධ්‍ය නිවේදනයක් ඊයේ (27) දිනය තුළ මාධ්‍ය ආයතන වෙත නිකුත් නොකළ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ජංගම දුරකතනය ද ක්‍රියාවිරහිත කර තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථාවර දුරකතන අංකයන් ද ඊයේ (27) දිනය තුළ ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය හරහා නව ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බැවින් පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි ෴

***************************************

මහ දහවල් සිදුවු ජංගම දුරකථන හොරකම

(28.11.2019 – 09:14 +0530 – sinhala.adaderana.lk)

හාලිඇල නගරයේ ඊයේ (27) දහවල් සිදුවු දුරකථන හොරකමක් අසල වෙළඳසැකල සී.සී.ටීවි කැමරාවක සනිටුහන්ව තිබේ.

ත්‍රීරෝද රථයක යමින් සිටි රියදුරෙක් තම දුරකථනය ඩෑෂ් බෝඩය මත තබා වෙළඳ සැල වෙතට ගමන් කරන අතර, අසල සිටි පුද්ගලයෙක් එම දුරකථනය ඉතා සූක්ෂම ලෙස හොරකම් කරන ආකාරය එහි දක්වෙයි.

පසුව වෙළඳ සැල්හිමියා සහ අනෙක් අය විසින් සී.සී.ටීවි දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව හොරකම් කරන ලද පුද්ගලයා හඳුනාගෙන ඇත.

ඔවුන් එම පුද්ගලයා පොලීසියට බාර දීමට කටයුතු කර තිබේ.

හැලිඇල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *