රාජ්‍ය ආයතනවලට සුදුස්සෝ තෝරන්න ජනපතිගෙන් සය (6) පුද්ගල කමිටුවක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රාජ්‍ය ආයතනවලට සුදුස්සෝ තෝරන්න ජනපතිගෙන් සය (6) පුද්ගල කමිටුවක්

• පළමු විදෙස් නිල සංචාරය අරඹමින් ජනපති ඉන්දියාවට (විඩියෝ)

• දුම්රිය අනතුර ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් (විඩියෝ)

• උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව සහල්

• බදු සහන පිළිබඳ ගැසට් නිවේදනය සතියක් ඇතුළත – අමාත්‍ය බන්දුල ගුණවර්ධන (විඩියෝ)

• අඩු වූ බදු ඔබට බලපාන්නේ කෙසේ ද?

• IT ක්ෂේත්‍රය සියලු බදුවලින් නිදහස් – අමාත්‍ය බන්දුල ගුණවර්ධන (විඩියෝ)

• අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් ප්‍රධානීන්ට දැනුම්දීමක්

• බැසිල්ට රට යන්න අවසර

• මහවිරු සැමරුමට බල කරමින් අත් පත්‍රිකා බෙදු දෙදෙනෙක් අත්අඩංගුවට

• සැක කටයුතු ඩ්‍රෝන යානා ගැන කියන්න ගුවන් හමුදාවෙන් අංකයක්

• නියෝජ්‍ය ඇමතිවරු තිදෙනෙක් රාජ්‍ය ඇමතිවරු ලෙස දිවුරයි

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය ආයතනවලට සුදුස්සෝ තෝරන්න ජනපතිගෙන් සය (6) පුද්ගල කමිටුවක්

(28.11.2019 – 11:53 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත්කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිමට සය (6) පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය වෘත්තිකයන් සය (6) දෙනෙකුගෙන් යුත් කමිටුවක් මෙලෙස නම් කර ඇත.

හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම් සහ රාජ්‍ය අංශය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව,

  • සුසන්ත රත්නායක,
  • ආචාර්ය නාලක ගොඩහේවා,
  • ඩයන් ගෝමස්,
  • විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,
  • මහාචාර්ය ජගත් වැල්ලවත්ත

යන මහත්වරුන්ගෙන් සමන් විතය.

උක්ත තනතුරු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සුදුසුකම් ඇති වෘත්තිකයන් සිය අභිලාෂය පළ කිරීමේ ප‍්‍රකාශ 2019 දෙසැම්බර් 18 දින හෝ ඊට පෙර කමිටුව වෙත යොමු කරන්නැයි ජනාධිපති කාර්යාලය ඔවුන් වෙත දැනුම් දෙයි ෴

***************************************

පළමු විදෙස් නිල සංචාරය අරඹමින් ජනපති ඉන්දියාවට

(28.11.2019 – 14:04 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

අද (28) පස්වරු 2.05 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට යූ.එල්.195 දරණ යානයෙන් ජනාධිපතිවරයා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි ‘අද දෙරණ’ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංචාරය සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, ජනාධිපති උපදේශ ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන් සහභාගී වී සිටියි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වන අතර ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයක්.

සිය දෙදින රාජ්‍ය සංචාරය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ මෙන්ම ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.

කටුනායක ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් ඒ මහතා ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බවත් ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

+++++++++++++++++++++

***************************************

දුම්රිය අනතුර ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

(28.11.2019 – 13:57 +0530 – sinhala.adaderana.lk)

යාල්දේවී දුම්රිය පිලිපැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම දුම්රිය අනතුර පිළිබඳ සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කිරීමට නියමිත බවයි.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතර මාර්ගයේදී ඊයේ (27) දහවල් පිලිපැනීමට ලක් වුණි.

මෙහිදී දුම්රිය මැදිරි 05 ක් පිලිපැනිමට ලක් වී අතර දුම්රිය මාර්ගයට ඉන් දැඩි අලාභහානි සිදුවුණි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරන්නේ පිලිපැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ මීටර් 250 ක පමණ කොටසක් සම්පූර්ණයෙන්ම හානි වී ඇති බවයි.

මේ හේතුවෙන් ඊයේ (27) රාත්‍රියේ උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය කිරිමට නියමිතව තිබූ තැපැල් දුම්රියන් අවලංගු කිරිමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේය.

කෙසේවෙතත් ගල්ගමුව සහ අඹන්පොල අතර බස් රථ යොදා ගනිමින් මගීන් ප්‍රවාහනය කර, අද (28) දිනයේදී දුම්රිය කිහිපයක් ධාවනය කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ අනුව යාපනයේ සිට ගල්ගමුව දක්වා දුම්රියක් ධාවනය කරන අතර නැවත අඹන්පොල සිට කොළඹ කොටුව බලා දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

***************************************

උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව සහල්

(28.11.2019 – 13:55 +0530 – sinhala.adaderana.lk)

එළඹෙන උත්සව සමයේ දී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේ දී මිල දී ගත් වී තොග මේ වන විට අදාළ ගබඩාවල තැන්පත් කර ඇති බවත් මෙම වී තොග අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් හඳුනාගත් පෞද්ගලික අංශයේ වී මෝල් මඟින් සහල් බවට පත් කර ලංකා සතොස වෙත ලබා දීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන්ය.

මහා භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ දිසා ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (28) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹි ඇත.

මෙම සහල් උපරිම සිල්ලර මිල යටතේ ලංකා සතොස අලෙවිසල් මඟින් පාරිභෝගිකයන් වෙත අලෙවි කරන බවත් මේ සඳහා ලංකා සතොස මඟින් සහල් සඳහා වන මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන්වෙත ලබා දීමට නියමි බවත් මුදල් අමාත්‍යාංශව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ඒ අනුව එළඹෙන සතිය තුළ දිවයින පුරා ගබඩා කර ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස වෙත නිකුත් කිරීම ආරම්භ කෙරෙන බව ද මුදල් අමාත්‍යාංශය පවසයි ෴

***************************************

බදු සහන පිළිබඳ ගැසට් නිවේදනය සතියක් ඇතුළත – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

(28.11.2019 – 13:41 +0530 – sinhala.adaderana.lk)

නව බදු සහන සමග ඉදිරි වසර තුළ රටේ ආර්ථිකයේ සෑම අංශයකම පිබිදීමක් සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

‘අද දෙරණ 24’ ඔස්සේ විකාශය වූ BIG FOCUS වැඩ සටහනට අද (28) එක් වෙමින් අමාත්‍යවරයා රජය ලබා දී ඇති නව බදු සහන කිහිපයක් පිළිබදව පැහැදිලි කිරීමක් සිදුකළේය.

උපයන විට අයකරන බදු හේතුවෙන් රජයේ සේවකයින් සහ පුද්ගලික අංශයේ සේවකයින් රජය සහ බදු ගැන විශාල කලකිරීමකට පත්ව සිට බව අමාත්‍යවරයා සඳහන් කළේය.

“වැටුපෙන් බදු අඩුරලා තමයි ඉතුරු කොටස දෙන්නේ. උපයන විට බද්දට ඔබ යටත් නම් 1,25,000 ට වඩා වැඩිය දීමනා සහිතව වැටුප ලැබෙන්නේ නම් උපයන විට අයකරන බදු කපලා තමයි වැටුප දෙන්නේ.

විධායක මට්ටමේ නිලධාරීන්ට රුපියල් 30,000, 40,000 ක් එක මාසකයට අඩුවෙලා තමයි වැටුප ලැබෙන්නේ. දැන් මේ ක්‍රමය මින් පස්සේ නෑ.”

දෙසැම්බර් 09 දා සිට ඉඳන් උපයන විට අයකරන බද්දක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

නව බදු සහන ලබාදීම පිළිබඳ ගැසට් නිවේදනය සතියත් තුළ ලබාදීමට හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරට පැවසීය.

+++++++++++++++++++++

https://www.facebook.com/AdaDeranaLive/videos/485632305381345/

+++++++++++++++++++++

අඩු වූ බදු ඔබට බලපාන්නේ කෙසේ ද?

(28.11.2019 – 19:00 +0530 – sinhala.adaderana.lk)

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අතර මෙතෙක් ක්‍රියාත්මකව පැවති බදු වර්ග රැසක් ඊයේ (27) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අහෝසි කරනු ලැබූ අතර ජනතාවට සෘජුව බලපාන තවත් බදු වර්ග කිහිපයක්ම පහළ දමනු ලැබුවේය.

එම පියවර ජනතාවට සහ මෙරට ආර්ථිකයට බලපාන්නේ කෙසේදැයි අද දෙරණ විමසා බැලුවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ඊයේ (27) පැවති අතර එහිදී බදු සහන රැසක් ලබාදීමට සහ තවත් බදු වර්ග කිහිපයක් අහෝසිකිරීමට තීරණය කරනු ලැබුවේය.

ඒ අනුව දෙසැම්බර් මස පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි ආර්ථික සේවා ගාස්තුව, බැංකු හා මූල්‍යායතන මත පැනවෙන හර බද්ද, කොටස් වෙළෙඳපොළ මත පැනවෙන ප්‍රාග්ධන ලාභ බද්ද, පොලී ආදායම් මත අයකෙරෙන රැඳවුම් බදු, ණය සේවා බදු, ස්වාධිපත්‍ය දේපල මත පැනවෙන බද්ද, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් උපයන ආදායම් මත පැනවෙන බද්ද ආදි බදු අහෝසිකෙරෙන බව නිවේදනය කෙරුණි.

මේ අතර 2% ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කර, වැට් බද්ද 8% දක්වා අඩුකරමින් ජනතාවට 9% ක බදු සහනයක් ලබාදීම ආර්ථිකය පිබිදීමක් ඇතිකිරීම සඳහා ඉවහල් වන බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂක ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ප්‍රකාශ කළේ බදු පහත හෙළීමත් සමඟ භාණ්ඩ හා සේවාවලට ඇති ඉල්ලුම ඉහළ යන බවයි.

ඒ තුළින් ව්‍යාපාරික අංශයේ නව පිබිඳීමක් ඇති වීමට ඇති ඉඩකඩ වැඩි බවයි ඒ මහතා කියා සිටියේ.

මේ අතර වැට් බද්දට අදාළ වන මාසික පිරිවැටුම් සීමාව රුපියල් මිලියනයේ සිට රුපියල් මිලියන 25 දක්වා වැඩි කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

එමෙන්ම මෙතෙක් කල් ඉපැයුම් මත බදු අය කිරීමේදී රුපියල් ලක්ෂය දක්වා ආදායම බද්දෙන් නිදහස් වූ අතර එතැන් සිට රුපියල් 1,50,000 දක්වා ඉපැයමට 4% ක බද්දක් ද ,1,50,001 සිට රුපියල් 2,00,000 දක්වා ඉපැයුමට 8% ක බද්දක්ද ආදි වශයෙන් බදු පැනවුණි.

එහෙත් මෙවර ඉපැයම් මත බද්ද මුළුමනින්ම ඉවත් කර ඇත.

එහෙත් බදු අයකිරීමේදී පුද්ගලයකුගේ මාසික ආදායම රුපියල් 2,50,000 සීමාව ඉක්මවා යන්නේ නම් පමණක් එම තැනැත්තා සාමාන්‍ය පරිදි ආදායම් බද්දට යටත් වෙයි ෴

+++++++++++++++++++++

IT ක්ෂේත්‍රය සියලු බදුවලින් නිදහස් – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

(28.11.2019 – 16:59 +0530 – sinhala.adaderana.lk)

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සියලු බදුවලින් නිදහස් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාතයවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ, තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සියලූම බදු වර්ග මුළුමනින්ම අවසන් කර ඇති බවයි.

අදායම් බදු, වැට් හෝ ජාතිය ගොඩනැඟීමේ බදු ආදි වු සියලු බදුවලින් නිදහස් එකම ආදායම් මාර්ගය තොරතුරු තාක්ෂණය බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එය තොරතුරු තාක්ෂණයේ විශාල පිබිදීමක් සඳහා හේතුවන බවත් පැවසු ඒ මහතා, එය තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ වර්ධනයට ලබා දුන් විශාල පිටුවහලක් ලෙස තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

+++++++++++++++++++++

***************************************

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් ප්‍රධානීන්ට දැනුම්දීමක්

(28.11.2019 – 12:36 +0530 – sinhala.adaderana.lk)

තෙවැනි පාසල් වාරය අවසන් වන දින හා 2020 පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර දෙමව්පියන් සම්බන්ධ කරගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම‍ට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.

‍දිවයින පුරා මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් තෙවැනි පාසල් වාරය අවසන් වන දින හා 2020 පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර දෙමව්පියන් සම්බන්ධ කරගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම‍ට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.

එළඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අ.පො. ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුදරුවන්ගේ ආරක්ෂාව උදෙසා විභාගය පැවැත්වීමට පෙර පහසු දිනයක දී හා විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාගයට බාධා නොවන පරිදි ඉරිදා දිනයක දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කර ධුමායන කටයුතු සිදුකරගැනීමට කටයුතු කරන ලෙසත්, විභාගයට පෙර පාසල තුළ ආරක්ෂාකාරී පරිසරයක් පවත්නා බව තහවුරු කරගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

එමෙන් ම ඩෙංගු මර්දන වැඩසටහන් දිවයින පුරා සියලු පාසල් මෙන් ම පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු සියලු ම අධ්‍යාපන ආයතනවල අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසද මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් නිලධාරීන් දැනුවත් කර තිබේ ෴

***************************************

බැසිල්ට රට යන්න අවසර

(28.11.2019 – 12:09 +0530 – sinhala.adaderana.lk)

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සෞඛ්‍යය හේතූන් මත විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය අවසර විසින් අවසර දී ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනු හතර ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද(28) කැඳවනු ලැබුවේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දෙසැම්බර් මස 05 වනදා සිට ලබන වසරේ මාර්තු මස 6 වන දා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට අවශ්‍යව තිබෙන බවයි.

ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම අදාළ කාලසීමාව වෙනුවෙන් ලිහිල් කරන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට රජයේ නීතිඥවරයා විසින් විරෝධය පළ නොකළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විසින් අදාළ කාල සීමාව සඳහා බැසිල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර ලබා දුන්නේය ෴

***************************************

මහවිරු සැමරුමට බල කරමින් අත් පත්‍රිකා බෙදු දෙදෙනෙක් අත්අඩංගුවට

(28.11.2019 – 11:09 +0530 – sinhala.adaderana.lk)

ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිතව මහවිරු සමරුව පවත්වන ලෙස බල කරමින් වතුකරයේ අත් පත්‍රිකා බෙදාහැරි තරුණයින් දෙදෙනෙකු බගවන්තලාව පොලීසිය මඟින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

එල්.ටී.ටි. මහවිරු සමරුව වතුකරයේ පවත්වන ලෙස ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිතව අත් පත්‍රිකා මුද්‍රණය කර වතුකරයේ බෙදා හැරී තරුණයින් දෙදෙනෙක් බගවන්තලාව පොලීසිය මගින් ඊයේ (27) රාත්‍රියේ සැක පිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පවසයි.

බගවන්තලාව ටින්සින් නගරයේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකින් අදාල අත් පත්‍රිකා පරිගණකයක් ආධාරයෙන් සකස් කර මුද්‍රණය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මුද්‍රණය කරන ලද පිටපත් ගණනාවක් සැකකාර තරුණයන් දෙදෙනා විසින් බෙදා හැර ඇති බවත්, බෙදා හැර තිබූ අත් පත්‍රිකා කිහිපයක් පොලිස් බාරයට ගත් බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

අදාල අත් පත්‍රිකා මුද්‍රණය කල පරිගණක, උපාංග සහ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයේ හිමිකරුවාද සැකපිට අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැක කරුවන් තිදෙනා අවුරුදු 20-40 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලීසිය පැවසීය ෴

***************************************

සැක කටයුතු ඩ්‍රෝන යානා ගැන කියන්න ගුවන් හමුදාවෙන් අංකයක්

(28.11.2019 – 10:04 +0530 – sinhala.adaderana.lk)

හදිසි අවස්ථාවලදී මහජනතාව විසින් ගුවන් හමුදාව දැනුවත් කිරීමට යෑමේදී ඔවුන් අපහසුතාවයට පත්වෙන් බව ගුවන් හමුදාව පවසයි.

එයට පිළියමක් වශයෙන් සැස කටයුතු ගුවන් යානා (සැක කටයුතු ඩ්‍රෝන යානා ආදිය) පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

ඒ අනුව හදිසි දුරකථන අංකය වශයෙන් 115 ඇමතීමෙන් ජනතාවට ඉතා පහසුවෙන් මේ ගැන දැනුවත් කිරීමේ හැකියාව ලැබෙන බව ගුවන් හමුදාව පවසයි ෴

***************************************

නියෝජ්‍ය ඇමතිවරු තිදෙනෙක් රාජ්‍ය ඇමතිවරු ලෙස දිවුරයි

(28.11.2019 – 19:24 +0530 – sinhala.adaderana.lk)

පසුගියදා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබු නිමල් ලන්සා, කංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් අද (28) රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී ඇත.

මේ අතර පසුගියදා පත්කෙරුණු අන්තර්කාලීන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (28) සිය ධුරවල රාජකාරි ආරම්භ කළේය.

ඒ අනුව නිවාස අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු ඉන්දික අනුරුද්ධ මහතා අද (28) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

මේ අතර විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (28) උදැසන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද අද (28) සිය අමාත්‍යංශයේදී ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

එම අවස්ථාවට මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා වන චමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ කනක හේරත් මහතා ද වරාය හා නවික කටයුතු අමාත්‍යංශයේදී සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කළේය.

මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

මේ අතර ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (27) දිවුරුම් දුන් දිලුම් අමුණුගම මහතා අද (28) උදෑසන බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බී රත්නායක මහතා කොළඹ පිහිටි දුම්රිය අමාත්‍යංශයේ අද (28) උදෑසන රාජකාරී ආරම්භ කළේය.

මේ අතර ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා අද (28) උදෑසන කොළඹ කොටුව මිනෝදාය ගොඩනැගිල්ලේ පිහිටි සිය අමාත්‍යංශයේදී වැඩ භාරගත්තේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *