වෛද්‍ය සාෆි පිළිබඳ පසුගිය රජය ක්‍රියාකළ ආකාරය ගැන රතන හිමි කතා කරයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• වෛද්‍ය සාෆි පිළිබඳ පසුගිය රජය ක්‍රියාකළ ආකාරය ගැන රතන හිමි කතා කරයි (විඩියෝ)

• රණවිරු දඩයමට එරෙහිව ජනපති කොමිසක් පත් කරන්නැයි ඉල්ලීමක් (විඩියෝ)

• තාජුඩීන් සිද්ධියේ පරීක්ෂණ ගැන නාරාහේන්පිට හිටපු OIC ගෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• පසුගිය රජයේ දුෂණ අක්‍රමිකතා ගැන අල්ලස් කොමිසමට පැමිණිලි (විඩියෝ)

• බදියුදීන් මුදල් අවභාවිත කළ බව අමාත්‍යාංශයම කියයි (විඩියෝ)

• කර්මාන්ත අමාත්‍යාංශයෙන් බදුර්දීන් ලක්ෂ 95ක් අවභාවිතා කරලා – වහාම පරීක්ෂණ අරඹන්නැයි ඇමති විමල් අදාළ අංශ වලට කියයි

• ව්‍යාජ පන්දහසේ නෝට්ටු 124 ක් සමඟින්, දෙදෙනෙකු පොලිස් දැලේ

• ජනපති ගෝඨාභය අද ඉන්දීය ජනපති සහ, අගමැති මෝදි හමුවේ (විඩියෝ)

• ස්විස් සිද්ධිය ගැන අගමැති පූර්ණ වාර්තාවක් ඉල්ලයි (විඩියෝ)

• සුරක්ෂා රක්ෂණය දිගටම – නව අධ්‍යාපන ඇමතිගෙන් තීරණයක්

• වෙහෙරගල ප්‍රදේශයෙන් මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලියෙකු බේරා ගැනේ (විඩියෝ)

• පොලොන්නරුව, පුදුර් ප්‍රදේශයේදී අතරමංව සිටි කුඩා අලි පැටවෙකු සොයාගැනේ (විඩියෝ)

• කුඹුරට බැසීමට පෙර මී උණ රෝගයෙන් වැළකීම සඳහා ලබාගතයුතු ඖෂධ ගන්න

• රාජ්‍ය ආයතනවල මුල් පුටුවලට ඕනෑම පුරවැසියෙකුට අයදුම් කිරීමේ අවස්ථාව (ඔඩියෝ)

• මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ඉල්ලා අස්වීමේ ලිපිය යවයි

• රවීගේ සහ බටගොඩගේ එක බොරුවකින් රටට බිලියන ගණනක පාඩුවක්; ඇමැතිවරු සහ නිලධාරීන් ගත්ත ආතල්වල වන්දියත් ජනතාව ගෙවයි

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය සාෆි පිළිබඳ පසුගිය රජය ක්‍රියාකළ ආකාරය ගැන රතන හිමි කතා කරයි

(28.11.2019 – 22:38 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් පිළිබඳව පසුගිය ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අදහස් පළ කළා.

ඒ, කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

රණවිරු දඩයමට එරෙහිව ජනපති කොමිසක් පත් කරන්නැයි ඉල්ලීමක්

(28.11.2019 – 20:46 +0530 – hirunews.lk/sinhala)

රණවිරු දඩයමට එරෙහිව ජනාධිපති කොමිසක් පත් කරන ලෙස විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඉල්ලා සිටිනවා.

ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම පිලිබද නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (28) යලි සලකා බැලුනා.

මෙහිදී මෙතෙක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්ත අවසන් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා අද (28) තීරණය කළා.

මෙම නඩුවේ දෙවන විත්තිකරු වන ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් තිදෙනෙකු නිදහස් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

කෙසේ වෙතත් මෙම නඩුවට අදාළ චූදිතයන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී සහ හෝමාගම මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කර තිබෙනවා.

***************************************

තාජුඩීන් සිද්ධියේ පරීක්ෂණ ගැන නාරාහේන්පිට හිටපු OIC ගෙන් හෙළිදරව්වක්

(28.11.2019 – 20:14 +0530 – hirunews.lk/sinhala)

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ බවට සාවද්‍ය සාක්ෂි ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් තමන්ට සහ තම පවුලට දැඩි බලපෑම් එල්ලකළ බවට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා අද (28) අනාවරණ කළා.

‘සත්‍ය ගවේෂකයෝ’ සංවිධානය කොළඹ අද (28) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

පසුගිය රජයේ දුෂණ අක්‍රමිකතා ගැන අල්ලස් කොමිසමට පැමිණිලි

(28.11.2019 – 21:01 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ආණ්ඩුව සමයේදී සිදු වූ බවට පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි කිරීම සඳහා සිවිල් සංවිධාන කිහිපයක් අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා.

බිංගිරිය ආයෝජන කලාපයේ කිලෝමීටර් 6 ක මාර්ගයක් ඉදිකිරීමේදී සිදු වූ බවට පැවසෙන වංචාවක් පිළිබඳව බිංගිරිය ආයෝජන කලාපය සුරැකීමේ සංවිධානය අල්ලස් කොමිසමට පැමිණිලි කළා.

මේ අතර, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සිදු වූ මූල්‍ය වංචාවක් පිළිබඳව ජාතික නිදහස් වෘත්තීය සේවක සංගමයද අල්ලස් කොමිසමට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අනුදැනුම මත බාල ඖෂධ ගෙන්වමින් සිදු කළ බවට පැවසෙන මූල්‍ය වංචාව පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ‘සිංහලේ අපි’ සංවිධානය සහ ‘බෞද්ධ තොරතුරු කේන්ද්‍රය’ ද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා.

මේ අතර, අධිකරණ කටයුත්තක් වෙනුවෙන් බස්නාහිර පළාත් මහාධිකරණයට පැමිණි බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අදහස් පළ කළා.

***************************************

බදියුදීන් මුදල් අවභාවිත කළ බව අමාත්‍යාංශයම කියයි

(28.11.2019 – 19:55 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් විසින් දිර්ඝ කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියට වෙන් කල මුදල් ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඔහු විසින් රුපියල් 95,29,060 ක මුදලක් මෙලෙස ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ඒ වෙනුවෙන් ගෙවා ඇති බව සදහන්.

පසුගිය ජනාධිපතිවරණයේදි අවතැන් වුවන් ලෙස හදුන්වමින් පුත්තලමේ ජිවත් වු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ශ්‍රී ලංගම බස්රථ 222 කින් මන්නාරම දක්වා ප්‍රවාහනය කිරිම පිළිබදව හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන්ට එරෙහිව චෝදනා එල්ල වුණා.

ඒ පිළිබදව ප්‍රථමයෙන් කරුණු හෙළි කළේ ‘හිරු CIA’ මගින්.

කෙසේ වෙතත් අමාත්‍යාංශයේ ලේකම්වරයා දිර්ඝ කාලීනව අවතැන් වු පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂක වරයාට දන්වා ඇත්තේ මෙම ගෙවීම් ජනාධිපතිවරණයට අදාල ගෙවීමක් බැවින් රජයේ මුදල් මේ සදහා වැයකිරිම කිසිසේත්ම නොකල යුතු බවයි.

ඒ අනුව හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මෙම මුදල් නියමිත කාර්යයන්ගෙන් පරිබාහිර කාර්යක් වෙනුවෙන් භාවිත කර ඇති බවට පෙනි ගොස් ඇති බවයි එම අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

+++++++++++++++++++++

කර්මාන්ත අමාත්‍යාංශයෙන් බදුර්දීන් ලක්ෂ 95ක් අවභාවිතා කරලා – වහාම පරීක්ෂණ අරඹන්නැයි ඇමති විමල් අදාළ අංශ වලට කියයි

(29.11.2019 – 11:02 +0530 – lankaleadnews.com)

හිටපු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රුපියල් ලක්‍ෂ 95 ක් ජනාධිපතිවරණයට යොදාගෙන ඇති බව හෙළිවී ඇත.

අවතැන්වූවන් ලෙසට හදුන්වමින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීමට ඇමැතිවරයාගේ පූර්ණ අනුදැනුම මත බස් රථ 222 ක් සදහා රුපියල් අනූපන් ලක්‍ෂ විසිනව දහස් හැටක (95,29,060/=) මුදලක් ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවා ඇති බව හෙළිව ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍ය විමල් වීරවංශ මහතා වහාම පරික්ෂණයක් ආරම්භ කරන ලෙස අදාල අංශ දැනුවත්කර ඇත ෴

***************************************

ව්‍යාජ පන්දහසේ නෝට්ටු 124 ක් සමඟින්, දෙදෙනෙකු පොලිස් දැලේ

(29.11.2019 – 07:15 +0530 – hirunews.lk/sinhala)

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමඟ කුරුණෑගල – තෝරයාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු දෙසැම්බර් 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.

මෙම සැකකරුවන් මෝටර් රථයකින් පැමිණ කුරුණෑගල – තෝරයාය ප්‍රදේශයේ පිහිටි මස් අලෙවිසැලකින් කුකුළු මස් මිලට ගෙන ඒ සඳහා ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවක් වෙළඳසැල් හිමියාට ලබාදී ඇති බව සඳහන්.

ඒ පිළිබඳව සැක සිතූ වෙළඳසැල් හිමියා පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරීමෙන් අනතුරුව, සැකකරුවන් දෙදෙනා ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඔවුන් වයස අවුරුදු 25 සහ 26 වන වියේ පසුවන්නන්.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගනු ලැබූ පරිගණක යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් පොලිසිය සොයාගනු ලැබුවේ අත්අඩංගුවට පත්වූ සැකකරුවෙකුගේ පොළොන්නරුව – පැරකුම්පුර ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබියදීයි.

අනෙක් සැකකරු පොළොන්නරුව – සේවාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුවන් ගමන් කළ මෝටර් රථය, ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සහ පොලොන්නරුව නිවසෙන් සොයාගත් උපකරණ තොගය සමඟ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා ෴

***************************************

ජනපති ගෝඨාභය අද ඉන්දීය ජනපති සහ, අගමැති මෝදි හමුවේ

(29.11.2019 – 07:24 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන් හිදී පැවැත්වෙනු ඇති.

ඉන් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (28) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වූ අතර, එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං මහතා විසින්.

පිළිගැනීමේ උළෙල සංස්කෘතිකාංගයකින්ද විචිත්‍රවත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මෙම සංචාරයට අමාත්‍යවරුන් හෝ කිසිදු දේශපාලනඥයෙකු එක් නොවීම ද විශේෂත්වයක් ෴

+++++++++++++++++++++

***************************************

ස්විස් සිද්ධිය ගැන අගමැති පූර්ණ වාර්තාවක් ඉල්ලයි

(28.11.2019 – 19:52 +0530 – hirunews.lk/sinhala)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් රඳවාගෙන ප්‍රශ්න කළ බව කියන සිද්ධිය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ආරක්ෂක අංශ වලට තමා උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඔහු යටතේ පවතින නිවාස සංවර්ධන අමාත්‍යාංශයේදී අද (28) වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, අද (28) පස්වරුව දක්වා ඊට අදාලව කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොතිබුණු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

එහෙත් පැමිණිල්ලක් නොමැතිව වූවද, විමර්ශන සිදුකරන ලෙස තමන් දැනුම්දුන් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

***************************************

සුරක්ෂා රක්ෂණය දිගටම – නව අධ්‍යාපන ඇමතිගෙන් තීරණයක්

(28.11.2019 – 18:48 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය විසින් පාසැල් දරුවන් සඳහා ක්‍රියාත්මක කළ සුරක්ෂා රක්ෂණය කිසිසේත්ම නතර නොකරන බව අධ්‍යාපන, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හිරු ප්‍රවෘත්ති අංශය ඔහුගෙන් මේ පිළිබඳව විමසු අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අගය කළ යුතු බවයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ සාකච්ඡා කර මෙය යළිත් ක්‍රියාත්මක කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මිට අමතරව පාසැල් දරුවන්ට පසුගිය රජයෙන් ලබාදුන් ටැබ් පරිඝනක ව්‍යාපෘතියේ ගැටළු සහ අක්‍රමිකතා පවතින බැවින් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානම් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පසුගිය රජයේ දුෂණ වංචා සෙවීමට හිටපු ජනාධිපතිවරයා විසින් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂම මඟින් ද ටැබ් පරිඝනක ව්‍යාපෘතියේ යම් දුෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ටැබ් පරිඝනක වලට වඩා මුලික අවශ්‍යතා රැසක් පාසැල් දරුවන් වෙනුවෙන් සම්පුර්ණ කළ යුතුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

වෙහෙරගල ප්‍රදේශයෙන් මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලියෙකු බේරා ගැනේ

(28.11.2019 – 18:12 +0530 – hirunews.lk/sinhala)

වෙහෙරගල ප්‍රදේශයෙන් මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇලට වැටී සිටි වන අලියෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (28) අලුයම ඇලට වැටුනු මෙම වන අලියා පැය 4 ක පමණ මෙහෙයුමකින් පසු බේරා ගැනුනු බවයි.

පසුව එම සත්වයා අලුත්ඔය රක්ෂිතයට පලවාහැර තිබෙනවා.

වෙහෙරගල ප්‍රදේශයෙන් ඇලට වැටුනු වන අලියා කිලෝමීටර් 4 ක පමණ දුරක් සැඩ පහරේ ගසාගෙන ගොස් ඇති අතර බේරාගනු ලැබුවේ අලුත්ඔය ප්‍රදේශයේදීයි.

වන අලියාගේ වයස අවුරුදු 35 ක් පමණ වන බව සඳහන්.

***************************************

පොලොන්නරුව, පුදුර් ප්‍රදේශයේදී අතරමංව සිටි කුඩා අලි පැටවෙකු සොයාගැනේ

(29.11.2019 – 9:19 +0530 – hirunews.lk/sinhala)

පොලොන්නරුව පුදුර් ප්‍රදේශයේදී අතරමංව සිටි කුඩා අලි පැටවෙකු පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ (28) පස්වරුවේ මෙම අලි පැටවා සොයාගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම අලි පැටවාගේ වයස මාසයක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් සදහන් කළේ.

මෙලෙස සොයාගත් අලි පැටවා ගිරිතලේ වනජීවී කාර්යාලය වෙත භාරදිමටයි පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන ඇත්තේ.

***************************************

කුඹුරට බැසීමට පෙර මී උණ රෝගයෙන් වැළකීම සඳහා ලබාගතයුතු ඖෂධ ගන්න

(28.11.2019 – 19:07 +0530 – lankadeepa.lk)

මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගයෙන් වැළකීම සඳහා ලබාගතයුතු ඖෂධ පානය කර කුඹුරෙහි වැඩ ආරම්භ කරන ලෙස වෛද්‍ය නලීන් විජේසේකර මහතා පැවසීය. අද (28) පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු මේ දිනවල ආරම්භ කරන බැවින් එම කාලය තුළ සතිපතා මෙම ඹෟෂධ ලබා ගන්නා ලෙස ද වෛද්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය සේවා කාර්යාල මගින් හෝ කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ඖෂධය නොමිලේ ලබා ගතහැකි බවත් එසේ නොමැතිනම් සුළු මුදලක් ගෙවා ඔසු සලකින් ලබා ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

ගොවිතැනෙහි යෙදෙන්නන් පමණක් නොව පස් හා මඩ ආශ්‍රිතව කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු මෙම ඖෂධය ගැනීම අනිවාර්ය බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.

තද උණ සමඟ මස්පිඬු වේදනාව පවතින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රථිකාර ලබාගැනීමෙන් සංකූලතා ඇතිවීම වළක්වාගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය ෴

***************************************

රාජ්‍ය ආයතනවල මුල් පුටුවලට ඕනෑම පුරවැසියෙකුට අයදුම් කිරීමේ අවස්ථාව

(29.11.2019 – nethnews.lk)

රාජ්‍ය ආයතනවල ඉහල තනතුර සඳහා සුදුසුකම් සහිත ඕනෑම පුරවැසියෙකුට දැන් අයදුම් කළ හැකි බව ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඒ පිළිබඳ කරුණු දැක්වූ එම කමිටුවේ සමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා :

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු වාණිජ ව්‍යාපාර සදහා දක්‍ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයින් පත් කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සය පුද්ගල කමිටුවක් පත් කළේ ඊයේ (28) දිනයේදීයි.

හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම්වරයෙකුද වන සුමිත් අබේසිංහ මහතා මෙම සය පුද්ගල කමිටුවේ ප‍්‍රධානත්වය දරනවා. එහි සෙසු සාමාජිකයන් වන්නේ සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුයි.

සුදුසුකම් ලත් වෘත්තිකයින් සිය අභිලාශය පළ කිරීමේ ප‍්‍රකාශ දෙසැම්බර් 18 හෝ ඊට පෙර මෙම කමිටුව වෙත ඉදිරිපත් කළයුතු වනවා ෴

***************************************

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ඉල්ලා අස්වීමේ ලිපිය යවයි

(29.11.2019 – 13:40 +0530 – lankaleadnews.com)

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප‍්‍රමාද වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඔහු යවන ලද ලිපියේ සඳහන් වෙතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ නිල කාලය අවුරුදු පහක් වන අතර 2020 නොවැම්බරය දක්වා දේශප‍්‍රිය මහතාට සිය තනතුරෙහි රැඳී සිටිය හැක.

සාමාන්‍ය සම්ප‍්‍රදාය වන්නේ ජනාධිපතිවරයා වෙත මෙවැනි ලිපියක් ලද පසු එය ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීම වන අතර ව්‍යවස්ථාදායක සභාව තීරණයක් ගෙන එය නැවත ජනාධිපතිවරයා වෙත දැනුම් දීමය ෴

***************************************

රවීගේ සහ බටගොඩගේ එක බොරුවකින් රටට බිලියන ගණනක පාඩුවක්; ඇමැතිවරු සහ නිලධාරීන් ගත්ත ආතල්වල වන්දියත් ජනතාව ගෙවයි

(29.11.2019 – 12:53 +0530 – lankaleadnews.com)

බොරු විදුලි හිඟයක් මවා පා විදුලිබල මණ්ඩලයට රු. බිලියන ගණනක පාඩුවක් සිදුකළ හිටපු විදුලිබල ඇමැති රවි කරුණානායක සහ අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ යන දෙදෙනාට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේය.

අනියත බියක් ඇති කරමින් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිස විදුලිබල පනතේ ප‍්‍රතිපාදනවලට ද පටහැනිව හදිසි විදුලිය මිලදී ගැනීම නිසා 2019 වසරේ පමණක් රුපියල් බිලියන 130 ක පාඩුවක් විඳීමට විදුලිබල මණ්ඩලයට සිදු වූ බව ද සඳහන් කළ ඒ මහතා එම නිසා එහි වන්දිය රටේ සමස්ත ජනතාවට ගෙවීමට සිදුවී ඇති බව ද කීවේය.

මෙම පිරිස විසින් මහජන උපයෝගිතා කොමිසමේ ද අනුමැතිය නොමැතිව ටෙන්ඩර් ක‍්‍රමයට ද පිටතින් 2016 වසරේ මෙගා වොට් 100 ක් ද 2017 වසරේ මෙගා වොට් 120 ක් ද 2018 වසරේ මෙගා වොට් 170 ක් ද 2019 වසරේ මෙගා වොට් 370 ක් ද මිලදී ගැනීම නිසා මෙසේ විදුලිබල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත්වුණු බව සංජීව ධම්මික මහතා පැවසීය. ඒ මහතා මේ බැව් පැවසුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ කාර්යාලයේ ඊයේ (28 දා) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

-අරුණ බෝගහවත්ත

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *