උතුරේ කිසිඳු හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• උතුරේ කිසිඳු හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම් (විඩියෝ)

• උතුර, නැගෙනහිර පුරාවස්තු සංරක්ෂණයට රජයේ විශේෂ අවධානය

• රටට හිතකර නායකයින් බිහිකර ගැනීමට මහා සංඝරත්නය ඉදිරියේදීත් කැපවිය යුතුයි – කුඹුක්කන්වෙල රේවත හිමි (විඩියෝ)

• සාවද්‍ය සාක්ෂි රැස් කරමින් රණවිරුවන් සිරගත කළ සියලුදෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සුදත්ත හිමියන් කියයි (විඩියෝ)

• බාල යන්ත්‍ර සූත්‍ර හේතුවෙන් චම්පිකගේ වැලි ව්‍යාපෘතියක් අකර්මන්‍ය වේ (විඩියෝ)

• ස්විස් තානාපති කාර්යාලයෙන් රහස් පොලීසියට තොරතුරු කිහිපයක් (විඩියෝ)

• ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය, ඉන්දීය ජනපති හමුවෙයි (විඩියෝ)

• කුඩා පරිමාණ සහල් මෝල් හිමියන්ට සහනයක් (විඩියෝ)

• අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට

• බස්නාහිර පළාතේ යාචකයින් ඉවත් කිරීම ඇරඹේ

• ආරක්ෂක ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් අගමැති හමුවෙයි (විඩියෝ)

• මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී තවත් වාහන 4 ක ගැටෙයි

+++++++++++++++++++++++++++++++++++

උතුරේ කිසිඳු හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

(30.11.2019 – 13:01 +0530 – sinhala.adaderana.lk)

උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමේ සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

මහනුවරදී අද (30) පෙරවුරුවේ මල්වතු – අස්ගිරි මා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (30) අලුයම මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රි දළදා මාලිගය වැඳපුදා ගත්තේය.

ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා අස්ගිරි මහ විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා පැමිණියේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යයට අදහස් පළ කළේය.

+++++++++++++++++++++++++++++++++++

උතුර, නැගෙනහිර පුරාවස්තු සංරක්ෂණයට රජයේ විශේෂ අවධානය

(30.11.2019 – 20:09 +0530 – hirunews.lk/sinhala)

උතුරු නැගෙනහිර ඇති පුරා වස්තු විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

අද (30) මහනුවරදී ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමිනුයි ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ.

දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා, මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන්ද බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

***************************************

රටට හිතකර නායකයින් බිහිකර ගැනීමට මහා සංඝරත්නය ඉදිරියේදීත් කැපවිය යුතුයි – කුඹුක්කන්වෙල රේවත හිමි

(30.11.2019 – 21:05 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ මෙන් රටට හිතකර නායකයින් ඉදිරියේදීත් බිහිකර ගැනීමට මහා සංඝරත්නය කැපවිය යුතු බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය කුඹුක්කන්වෙල රේවත හිමියන් පවසනවා.

පුලතිසිපුර ඒකාබද්ධ භික්ෂු පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් සංඝ සමුළුව අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

***************************************

සාවද්‍ය සාක්ෂි රැස් කරමින් රණවිරුවන් සිරගත කළ සියලුදෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සුදත්ත හිමියන් කියයි

(30.11.2019 – 20:35 +0530 – hirunews.lk/sinhala)

සාවද්‍ය සාක්ෂි රැස් කරමින් රණවිරුවන් සිරගත කළ හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම, පසුගිය රජයේ සිට ඊට උපදෙස් ලබා දුන් දේශපාලනඥයින්ට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නව ‘සිංහල රාවය’ සංවිධානය පවසනවා.

කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා සිටියා.

මේ අතර, හිරු මාධ්‍ය ජාලයට එරෙහිව සිදුකළ මඩ ප්‍රචාර සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම පිලිබඳව ද අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවලදී අදහස් පළ වුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නව ‘සිංහල රාවය’ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ මසක් ගතව ඇතත්, විමර්ශන නිසි පරිදි සිදුව නොමැති බවයි.

එමෙන්ම, මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ප්‍රකාශ කළේ සාක්ෂි සහිතව හිරු මාධ්‍ය ජාලය විසින් පැමිණිලි සිදුකළත් මෙතෙක් නීතිය ඉටු වී නොමැති බවයි.

***************************************

බාල යන්ත්‍ර සූත්‍ර හේතුවෙන් චම්පිකගේ වැලි ව්‍යාපෘතියක් අකර්මන්‍ය වේ

(30.11.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala)

මහනගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී විවෘත කරන ලද මුහුදුවැලි සෝදා ඇසුරුම් කිරීමේ කර්මාන්තශාලාව මේ වනවිට අකර්මන්‍ය වී තිබෙනවා.

ඒ අදාල ව්‍යාපෘතියට ආනයනය කරන ලද යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකාරි තත්ත්වයේ නොතිබීම හේතුවෙන්.

මුතුරාජවෙල පිහිටි මෙම කර්මාන්තශාලාව විවෘත කෙරුණේ පසුගිය නොවැම්බර් පළමුවනදායි.

එම කර්මාන්තශාලාව මගින් සෝදා පිරිසිදු කරන ලද කිලෝ 50 ක ඇසුරුම් කරන ලද මුහුදුවැලි උරයක් රුපියල් 220 කට අලෙවි කිරීමට සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතියේ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට චෝදනා කරමින් ‘ජාතික නිදහස් වෘත්තීය සේවක සංගමය’ පසුගිය නොවැම්බර් 28 වනදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේදී නිසි ක්‍රියා පටිපාටියකින් තොරව සිදු කිරීම නිසා අද වනවිට මෙම යන්ත්‍ර සූත්‍ර අකර්මන්‍ය වී භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.

***************************************

ස්විස් තානාපති කාර්යාලයෙන් රහස් පොලීසියට තොරතුරු කිහිපයක්

(30.11.2019 – 19:55 +0530 – hirunews.lk/sinhala)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම තානාපති කාර්යාලය සතු තොරතුරු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව, තානාපති කාර්යාලය අදාළ තොරතුරු ලබාදුන් බවයි.

මෙරට, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ, දේශීයව බඳවා ගත් නිලධාරිනියක් පසුගිය 25 වනදා පැහැර ගෙන ගොස් ප්‍රශ්න කර ඇති බව ‘ස්විස් ඉන් ෆෝ’ නමැති වෙබ් අඩවියක් වාර්තා කර තිබුණා.

ඒ අනුව, ස්විට්සර්ලන්ත රජය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳව සැලවූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර, එම විමර්ශනවලට සහය දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

එමගින් සඳහන් කර ඇත්තේ තම නිලධාරිනියක මහමගදී බලහත්කාරයෙන් මෝටර් රථයක නංවා ගත් පිරිසක් ඇයට දීර්ඝ ලෙස තර්ජනය කර ඇති බවයි.

තානාපති කාර්යාලයට අදාළ තොරතුරු හෙළි කරන ලෙස ඇයට බල කර ඇති බව ද නිවේදනයේ දැක්වෙනවා.

එහි තවදුරටත් දැක්වෙන්නේ සිද්ධිය වූ වහාම තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත නීත්‍යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා ශ්‍රී ලංකා බලධාරින් වෙත පූර්ණ සහය ලබාදීමට සූදානම් බවයි.

තවද, වින්දිතයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඇගේ ඥාතීන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත්, සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා ඇය මේ වනවිට ප්‍රකාශයක් ලබාදීමට සුදුසු තත්ත්වයක නොසිටින බවත්, නිවේදනයේ දැක්වෙනවා.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු අයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්විට්සර්ලන්තයෙන් පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම ස්විස් රජය ප්‍රතික්ෂේප කළ බවට චෝදනාවක් එල්ල වී ඇතත්, ශ්‍රී ලංකා රජයෙන් තම රජයට එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවයි.

මේ අතර, වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ’ සභාපතිවරයා පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තම කොමිෂන් සභාව දැඩි අවධානයෙන් පසුවන බවයි.

ඒ අනුව, මෙම සිද්ධිය සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති බැවින් ඒ සම්බන්ධ කඩිනම් සහ අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අදාළ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 27 වනදා විමර්ශනයක් ආරම්භ කළ බවයි.

ස්විට්සර්ලන්ත තානාපතිවරයා ද දැනුවත් කරමින් විමර්ශන සඳහා වැඩිදුර තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව තානාපති කාර්යාලය සතු තොරතුරු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවත්, එම නිවේදනයේ දැක්වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලට සහය වීම පිණිස කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් පිරිසක් සහ පොලිස් සමීප රූප අවේක්ෂණ කැමරා කොට්ඨාශය හෙවත් සී.සී.ටී.වී. කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් ද යොදවා ඇති බවයි.

අදාළ පැහැර ගැනීම සිදුකළ බව කියන සැකකරුවන් වින්දිත තැනැත්තියට තර්ජනය කරමින් පවසා ඇත්තේ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වන බවත්, එය විමර්ශකයින් නොමග යැවීම සඳහා සැකකරුවන් කළ අසත්‍ය ප්‍රකාශයක් බවයි.

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සම්බන්ධයෙන් පසුගිය සතිය වනවිට කථාබහක් ඇතිවූයේ දේශපාලන වුවමනා මත, මතභේදාත්මක ලෙස පරීක්ෂණ මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සමඟ සේවය කළ, එම දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පලායාමත් සමඟයි.

එහිදී ඔහුට වීසා ලබාදීම සහ ස්විට්සර්ලන්තයට පලායාමට අනෙකුත් පහසුකම් සැළසීම සම්බන්ධයෙන් එම තානාපති කාර්යාලයේද නම සම්බන්ධ කරගනිමින් මාධ්‍ය වාර්තා පළවුණා.

බොහෝ වාර්තාවල සඳහන් වූයේ නිශාන්ත සිල්වාට මෙරටින් පලායාමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ගේ සහය ලැබී ඇති බවටයි.

මේ අතර, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක් පැහැර ගෙන ගොස් ප්‍රශ්න කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා.

***************************************

ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය, ඉන්දීය ජනපති හමුවෙයි

(30.11.2019 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පැමිණීම දෙරට අතර ඓතිහාසික සබඳතාවේ නව ප්‍රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා ප්‍රකාශ කළා.

ඒ රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේදීයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සකසා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය රටේ සියලු අංශ වල වේගවත් ප්‍රගමනයට හේතුවනු ඇතැයි ඉන්දීය ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉන්දියාව සමග වෙළඳ, ආර්ථික සහ සමාජයීය සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අද (30) ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරාල් වී.කේ.සිං මහතා හමුවුණා.

එම හමුවේ විශේෂත්වය වූයේ හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේදී එකම කඳවුරේ ඔවුන් දෙදෙනා පුහුණුව ලබා තිබීමයි.

එම හමුවට ඔවුන් දෙදෙනා සමග පුහුණුව ලැබූ මේ වනවිට විශ්‍රාම ලබා සිටින තවත් හමුදා නිලධාරින් 15 දෙනෙකු පමණ එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) දහවල් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් හමුවුණා.

එහිදී සිය ඉන්දීය චාරිකාව සනිටුහන් කරමින් කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළා.

අනතුරුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහා බෝධි සංගමයේ සභාපති සහ දඹදිව සාංචි චේතියගිරි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් ද බැහැදුටුවා.

සාංචි විහාරස්ථානයේ වර්තමාන තත්ත්වය සහ එහි දියුණුව පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇති අතර, මෙරට වන්දනාකරුවන් වෙනුවෙන් විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු සිංහල භාෂාවෙන් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව ද එහිදී පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

එසේම, භාරතීය ජනතා පක්ෂයේ මහලේකම්වරයා සහ ජනාධිපතිවරයා අතර හමුවක් ද අද (30) පස්වරුවේ පැවැත්වුණා.

***************************************

කුඩා පරිමාණ සහල් මෝල් හිමියන්ට සහනයක්

(30.11.2019 – 13:43 +0530 – hirunews.lk/sinhala)

රජයේ ගබඩාවල පවතින වී තොග කුඩා පරිමාණ සහල් මෝල් හිමියන්ට ලබාදීමට කටයුතු කරන්නේ නම්, සහල් මිල ඉහළ යාම පාලනය කළ හැකි බව සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සම සභාපති රොෂාන් ජානක ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා කියා සිටියේ එළඹෙන 2 වනදා සිට කුඩා පරිමාණ සහල් මෝල් හිමියන්ට අදාළ වී තොග ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

***************************************

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට

(30.11.2019 – 13:40 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර තිඛෙනවා.

ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අද (30) සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම අනුයුක්ත කිරීම සිදුකර ඇති බවයි පොලිස් කොමිසම සඳහන් කළේ ෴

***************************************

බස්නාහිර පළාතේ යාචකයින් ඉවත් කිරීම ඇරඹේ

(30.11.2019 – 13:31 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ සිඟමන් යදින යාචකයින් ඉවත් කිරීම පොලීසිය විසින් ආරම්භ කර තිඛෙනවා.

පොලිස් මූලස්ථානය බස්නාහිර පළාතේ සියලුම පොලිස් මූලස්ථානය වෙත ලබා දුන් උපදෙස් අනුවයි මෙලෙස යාචකයන් ඉවත් කිරිම සිදුකරනු ලබන්නේ.

මේ වනවිට ගාලුමුවදොර පිටිය සහ කොටුව දුම්රියපොළ අවට සිටි යාචකයන් 700 ආසන්න පිරිසක් ඉවත් කර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් පිරිසක් අම්බලන්තොට – රිදියගම යාචක රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිතයි.

මෙලෙස ඉවත් කළ යාචකයන් අතර විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් ද සිටි බව පොලිසිය සඳහන් කළා. එමෙන්ම, අද (30) පෙරවරුවේ පොලිසිය, වෙළඳසැල් හිමියන් සහ මහජනතාව එක්ව ගාලුමුවදොර පිටිය පිරිසිදු කරනු ලැබුවා.

පෙරවරු 8 සිට 10 දක්වා මෙලෙස ගාලුමුවදොර පිටියේ කැලි කසළ ඉවත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, දුම්රියේ සිඟමන් යදින යාචකයන් සහ අනවසර වෙළඳුන් ඉවත් කිරිමේ කටයුතු හෙට (01) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි ආරක්ෂණ අධිකාරි අනුර ප්‍රේමරත්න කියා සිටියේ සහකාර අධිකාරී කොට්ඨාශ මගින් මෙම යාචකයින් සහ අනවසර වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සිදුකරන බවයි ෴

***************************************

ආරක්ෂක ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

(30.11.2019 – 11:01 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදුවූ මෙම හමුව අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා නිළ වශයෙන් මුණගැසුණු පළමු අවස්ථාවයි.

එහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබුවා.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ද ඊයේ (29) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණ ගැසුණා.

මීට අමතරව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සහ වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න යන මහත්වරු ද ඊයේ (29) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණු බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

***************************************

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී තවත් වාහන 4 ක ගැටෙයි

(30.11.2019 – 11:18 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී නවතා තිබූ ත්‍රි රෝද රථ තුනක සහ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද (30) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අනතුරින් මෝටර් රථයට, ත්‍රි රෝද රථ තුනට සහ යතුරුපැදිය දැඩි හානි සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි කිසිවකුත් නොසිටී බවයි පොලිසිය පැවසුවේ.

කන්දකැටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *