යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම – වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

(01.12.2019 – 20:42 +0530 – lankaleadnews.com)

ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුල ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය ක්‍රමයෙන් තහවුරු වන විට මහජනයා විසින් ඊට විවිධ හේතු සාධක ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. ගෝඨාභය රාජපක්ෂ නම් වූ දේශපාලනයේ කුරුවල් නොවූ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයාගේ අතීත භූමිකාව පමණක් නොව ඔහු විසින් මැතිවරණ ක්‍රියාවලිය තුල පෙන්වූ උසස් නායකත්ව ගුණය ඔහුගේ ජයග්‍රහණයට හේතු වූ ප්‍රබල සාධකයක් බවට විවාදයක් නැත. ඔහු විසින් තර්කාණුකූලව ඉදිරිපත් කළ තිරණාත්මක ප්‍රතිපත්තිමය කාරණා පිළිබව ප්‍රබල මහජන අවධානයක් යොමුවූ බවද සත්‍යයකි. එහෙත් ඔහු විසින් ඉදිරිපත් කළ යම් පොරොන්දු පිළිබඳව මහජනයා විශේෂ අවධානයක් යොමුකළ බව පිළිගත නොහැක. ඊට හේතුව ව්‍යාජ පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේ ක්‍රියාවලියේදී ඔහුට තම ප්‍රතිවාදියා ආසන්නයටවත් ලඟාවීමට නොහැකි වීමය.

කෙසේ වෙතත් මැතිවරණ ක්‍රියාවලිය තුළ බහුතර සිංහල ජනතාව, විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව අතර වර්ධනය වූ අනාරක්ෂිත මනස ජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධකයක් වු බව පිළිගැනීමට සිදු වේ. ඒ බව බිම් මට්ටමේදී ජනතාව සමඟ සංවාදයේ නියුක්ත වූ දේශපාලන නායකයින්ට නම් රහසක් නොවේ. ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත් වල දෙමළ ජනතාවගේ කැමැත්ත සහ සමස්ථයක් ලෙස රටේ මුස්ලිම් ජන ප්‍රජාවගේ කැමැත්ත ජනාධිපතිවරණ ප්‍රතිඵල කෙරෙහි තීරණාත්මකව බලපාන බවට යම් දේශපාලන නායකයින් විසින් ඉදිරිපත් කළ මතය බහුතර සිංහල ජනතාව විසින් නිෂ්ප්‍රභා කොට ඇත. සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් නියෝජනය වන කුරුණෑගල සහ ගම්පහ වැනි දිස්ත්‍රික්කවල ජන මතය වෙනස් වී ඇති ආකාරය අනුව ඒ බව ඉතා හොඳින් පැහැදිලි වේ.

ඉහත සදහන් කළ ආකාරයට සහරාන්ලාගේ පිටේ බෝම්බ බැඳීම සඳහා මුල් වූ අන්තවාදි දේශපාලන නායකයින්ට නැවත වටයකින් ඇමතිකම් ලබාදෙන ආණ්ඩුවක් පිහිටුවහොත් රටට සිදුවන විපත පිළිබඳ බහුතර සිංහල ජනතාව අතර ස්වයං අවබෝධයක් වර්ධනය වූ බව ප්‍රකට කරුණකි. විශේෂයෙන්ම ඒ බව බිම් මට්ටමේ දේශපාලන සංවාද වලට සහභාගි වූ දේශපාලන ක්‍රියාකාරිකයින්ට පැහැදිළිව අත්විඳීමට හැකි විය. මැතිවරණ ක්‍රියාවලිය තුළ හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුගේ සිංහල විරෝධී ජාතිවාදී කටවල් වසා තැබීමට ආණ්ඩුවේ නායකයින් සමත් වුවද ආගමික අන්තවාදය පෝෂණය කරන ඇමතිවරුන් දෙදෙනාගේ හැසීරීම් සහ වචන වලින් ඔවුන් සහය දැක්වූ අපේක්ෂකයාට බරපතල අඟතියක් සිදු වූ බවට මහජනයා දක්වන අදහස් අනුව පැහැදිළි වේ. විශේෂයෙන්ම සිංහල ජනතාව පරාජය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටී සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පාරාවලල්ලක් බවට පත් විය.

එසේම ඉස්ලාම් මුලධර්මවාදීන් පෝෂණය කරන ඇමතිවරුන් දෙදෙනා දෙපස තබා ගනිමින් මුස්ලිම් ජනතාවගේ ඡන්ද කොල්ල කෑමට ගත් උත්සහාය යම් පමණකට සාර්ථක වූ බවට තර්ක කළ හැකි වුවද සමස්ථ ප්‍රතිඵලයට එය පරාවලල්ලක් වී ඇත. එහෙත් ආගමික අන්තවාදය පෝෂණය කිරීම මඟින් බහුතර මුස්ලිම් ජනතාවගේ පැවැත්ම අනතුරට ලක්වන බව උගත් සහ මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව යම් පමණකට හෝ තේරුම් ගන්නා බව උපකල්පනය කළ හැක. සමහර විට මුස්ලිම් ජනතාවගේ ඡන්ද ප්‍රතිශත ගැඹුරින් අධ්‍යනය කිරීමෙන් ඒබව වටහා ගත හැකි විය හැක. ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන වල කැපීමට ප්‍රධාන වශයෙන් දායක වූ පුද්ගලයින් දෙදෙනෙකු උදැල්ල ඇතැතිව සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩවීම නිසා ඔහුට තවදුරටත් අගතියක් සිදු වූ බව පිළිගත හැක. එහෙත් කැලණිය සහ අම්බලන්ගොඩ අපකිර්තියට පත්කළ එම දෙපළ පිළිබඳව එදා එන්.ජී.ඕ මහත්වරු දැක් වූ විරෝධය මෙදා දැකගත නොහැකි විය. ඔවුන්ගේ හැසිරීම් වලින් මහින්ද රාජපක්ෂ මහතා විශාල පාඩමක් ඉගෙන ගැනීමද අනාගතයේ දී එතුමාට හතුරු පාර්ශව වලට අවාසියකි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ලබන්නේ බහුතර සිංහල ජනතාව අතර විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව සහ මහා සංඝරත්නය අතර විශාල ප්‍රබෝධයක් ඇති කරමින් බව පිළිගැනීමට සිදුවේ. එම තත්වය යම් ආකාරයකට 1956 සමාජ පෙරළිය සමඟ දක්නට ලැබූ තත්වයට සමකළ හැක. එම නිසා සජිත් ප්‍රේමදාස කඳවුරට මඟපෙන් වූ බටහිර ස්වාමීවරුන්ගේ දීර්ඝ කාලීන න්‍යාය පත්‍රය අනුව ඔවුන් මහා ජනරැල්ලකට එරෙහිව උඩුගං බලා පිහිනීමට උත්සාහ නොකරන බව පිළිගත හැක. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට බෙදුම්වාදී බලවේග විසින් ඉල්ලා සිටින දේට වඩා වැඩි දෙයක් ලබා දෙන බවට ව්‍යවස්ථා සංශෝධන පොරොන්දුවක් ප්‍රතිපත්ති ප්‍රකාශයකට ඇතුල් කළද එය බහුතර සිංහල ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්වයක් යටතේ ඔවුන් වඩාත් සුක්ෂම උපක්‍රම තෝරනු ඇත. ඒ අනුව බටහිර බලවේග විසින් ජයග්‍රහණය නොකළ සජිත් ප්‍රේමදාස මත යැපීමට වඩා ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ සාධකය කළමණාකරනය සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බවට සැකයක් නැත. එහිදී යටත් කිරීමට පෙර යටත් වීම මඟින් දියුණු මනෝවිද්‍යාත්මක යුධ උපක්‍රම එම බලවේග විසින් තෝරනු ඇත.

කෙසේවෙතත් ඔවුන් පත් වී සිටින අසීරු තත්වය පිළිබඳ ඔවුනට පූර්ව අවබෝධයක් තිබු බව මැතිවරණ ක්‍රියාවලිය තුල ඔවුන් විසින් පෙන්වූ ‘පරිස්සම’ තුළින් පැහැදිළි වේ. ඔවුන්ගේ පැත්තෙන් ගත් විට පවතින අසීරු තත්වය පියමන් කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂයන්ගේ ඓතිහාසික ජයග්‍රහණය මහපොළොවේ යථාර්තයක් බවට පත් වීම වැළැක්වීමෙනි. එනම් ඔහු බලයට පත්කළ බලවේග වල අපේක්ෂා අනතුරට ලක්කිරීමෙනි. ඒ සඳහා සතුරු බලවේග විසින් තේරිය හැකි උපාය මාර්ගික ප්‍රවේශයේ පැතිකඩ සහ ක්‍රියාවලි කිහිපයක් හඳුනාගත හැක. එහිදී මුලික පුර්ව කොන්දේසිය වන්නේ ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණයේදී ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රතිනිර්මාණය විම වැළැක්වීමයි. ඒ සඳහා එක් පැත්තකින් තම ජයග්‍රහණය අපිරිසිදු කෙරෙන හෙවත් කිරි කළයට ගොම මුසු කරන තේරීම් වලට ජයග්‍රාහකයා පෙළඹවිය යුතුය. ඊට සමගාමිව අනෙක් පැත්තෙන් ඔහු බලයට පත් කිරීම සඳහා පෙළ ගැසුණු බලවේග ඔහුගෙන් දුරස්කළ යුතුය. ඊට අමතරව නව ජනාධිතිවරයාට ලැබී ඇති ප්‍රබල ජනවරම නොසලකා ප්‍රහාරාත්මක ප්‍රවේශයෙන් ආරක්ෂණවාදී ප්‍රවේශයට පීල්ල මාරු කල යුතුය. අන්තර් කාලීන හෝ භාරකාර ආණ්ඩු කථා වලින් පැහැදිළි වන්නේ එම උපක්‍රමය සාර්ථක වී ඇති බව නොවේද?

එහිදී විශේෂයෙන්ම පාර්ලිමෙන්තුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සෙසු කුඩා පක්ෂවල නියෝජිතයින් අවතක්සේරු කෙරෙන දේශපාලන තේරීම් වලට නව ජනාධිපතිවරයා තල්ලු කිරීමට සතුරා විසින් උත්සහා කරන බවට සැකයක් නැත. එනම් තමා බලයට පත් කිරීමට උර දුන් බලවේග අතර නොසතුට රෝපණය කෙරෙන සහ එය වර්ධනය කෙරෙන තත්වයක් නිර්මාණය කළ යුතුය. ජනාධිපතිවරණයේ ආරම්භක ක්‍රියාවලිය තුළ පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේද කිරීමට පිටතින් මෙන්ම ඇතුලතින්ද බොහෝ උත්සහායන් දියත් වූ බව රහසක් නොවේ. එම උත්සහායන් සාර්ථක වූවා නම් එම තත්වය මැතිවරණ ප්‍රතිපලය මත බරපතල බලපෑමක් එල්ල කිරීමට ඉඩ තිබුණි. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයට සතුරාට මූලික වශයෙන් වැදගත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනවරම මහජන හදවත් වල තහවුරු වීම වැළැක්වීමයි. එනම් පාර්ලිමේන්තු මැතිවරණ දක්වා වන ඉදිරි මාස 3 කට අධික කාලය තුළ ඔහුට වැඩ පෙන්වීමට අවස්ථාව ලබා නොදී හැකි ඉක්මණින් පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම හෝ ඊනියා ජාතික ආණ්ඩුවක් හෝ අශුද්ධ සන්ධානයක් මඟින් ඔහුගේ ජනවරම කිළිටි කිරීමය.

ජනාධිපතිවරයාට පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම සඳහා මාස 3 ක කාලයක් බලා සිටීමට සිදුවේ. ඊට පෙර එය සිදු කිරීමට නම් ඒ සඳහා විපක්ෂයේ සහ යෝගය ඉල්ලා සිටිය යුතුය. එනම් විපක්ෂයට වාසි සහගත තත්වයක් යටතේ මැතිවරණය කැඳවිය යුතුය. හදිසියේ මැතිවරණයක් කැඳවීම ඔවුනට වාසි සහගත නොවේ නම් ඔවුන් ඊට පාර්ලිමෙන්තුවේ විශේෂ බහුතර කැමැත්ත ලබා දෙන්නේ නැත. නව ජනාධිපතිවරයාට සහ රටට සතුරු බලවේග වලට හුස්ම ගැනීමට සහ නැවත වටයකින් ප්‍රහාරයට සූදානම් වීමට අවස්ථාව ලැබෙන්නේ නව ජනවරම හෑල්ලු කිරීම හෙවත් ඊට අනුව වහා ක්‍රියාමාර්ග තේරීම හැකිතාක් පමා කිරීම මඟිනි. එනම් ප්‍රහාරාත්මක ප්‍රවේශයෙන් ආරක්ෂණවාදී ප්‍රවේශයට තල්ලු කිරීම මඟිනි. සුළුතර ආණ්ඩු කථා සහ අන්තර්කාලීන ආණ්ඩු කථා මෙන්ම ඕනැම වේලාවක විපක්ෂයට ආණ්ඩු පෙරළිය හැකි බවට ඇතුලතින්ම කථා මැවීම තුලින් පෙන්වන්නේ සතුරු බලවේග වලට හුස්ම ගැනීමට අවස්ථාව ලැබෙන බවය. එනම් එම පිරිස් වලට අධිකරණ හමුවට යෑම වෙනුවට මැතිවරණ වේදිකාවලට ගොඩවීමට අවස්ථාව හෝ ප්‍රති ප්‍රහාර දීමට අවස්ථාව ලැබිය හැකි බවය.

දේශපාලන තේරීම් වල තත්වය එසේ වුවත් හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා වැනි දේශපාලනය සහ නීතිය යන ඇස් දෙකෙන්ම බලා පවතින තත්වය විග්‍රහ කරන විද්වතුන්ගේ මතය ඊට වෙනස් බව පෙනේ. ඔහුට අනුව ජනාධිපතිවරයා තමාට ලැබී ඇති බලවත් ජනවරම අනුව තම බලතල පාවිච්චි කළ යුතුය. එනම් ප්‍රතිපාර්ශව අධිකරණයට හමුවට යාහැකි බවට මානසික බාධක පනවා ගැනිමෙන් තොරව පරමාධිපත්‍යයේ බලය ක්‍රියාත්මක කළ යුතුය. එවැනි විද්වතුන්ගේ මතය අනුව අමාත්‍ය මණ්ඩලයට විධායක බලය ලැබෙන්නේ ජනාධිපතිවරයාට ජනතාව විසින් පවරා දෙන පරමාධිපත්‍යයේ බලය තුළිනි. එනම් අමාත්‍යවරුන්ට බලය පවරාදෙන ජනාධිපතිවරයාගේ ජනවරම අහෝසි වූ විට අමාත්‍යවරුන්ගේ බලය ද අහෝසි වේ. එනම් ජනාධිපතිවරයකුගේ ධූර කාලය අවසන් වී නව ජනපතිවරයෙකු පත් වන විට ඒවන විට තිබූ අමාත්‍ය මණ්ඩලය අහෝසි වේ. එසේම අගමැති වරයාට ධූරය දැරිය හැක්කේ අමාත්‍ය මණ්ඩලය පවතින තෙක් පමණි. ඒ අනුව නව ජනපතිවරයාට නව අගමැතිවරයෙකු සහ විධිමත් අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් නැත. එසේ නම් ධූරය අහෝසි වූ විට ඉල්ලා අස්වීම් ලිපි බාර දීම සහ එසේ කරන ලෙස ඉල්ලා සිටීම හෝ බලාපොරොත්තු වීම යන ක්‍රියාමාර්ග දෙක විසින්ම හාස්‍යය ජනනය කරන බව පිළිගත යුතුය.

එසේම නව ජනපතිවරයාට එදා 2015 දී මෛත්‍රී පාල සිරිසේන මහතා නව ආණ්ඩුවක් පිහිට වූ ආකාරයටම ආණ්ඩුවක් පිහිටුවීමේ බාධාවක් තිබිය නොහැක. ඒ සඳහා 113 ක් එකතු කිරීමට හෝ ජාතික ආණ්ඩු පිහිටුවීමට අවශ්‍ය නැත. එදා 43 දෙනෙකුගේ සුළුතර ආණ්ඩුව මාස 7 ක් ආණ්ඩු කළා නම් මෙදා 95 දෙනෙකුගේ සුළුතර ආණ්ඩුවට මාස 3 ක් ක්‍රියාත්මක වීමට තිබෙන බාධාව කුමක්ද? එම මාස 3 තුළ අයවැය සම්මත කිරීමක් හෝ විශ්වාස භංග යෝජනාවකට ඉඩක් හෝ නැත. එසේ නම් එදා ආණ්ඩුව විධිමත් ආණ්ඩුවක් වීමටත් මෙදා ආණ්ඩුව භාරකාර හෝ අන්තර් කාලීන වීමටත් හේතුව කුමක්ද? එසේම ව්‍යවස්ථාව මඟින් ප්‍රතිපාදන සලසා ඇති ආකාරයට සමාජිකයින් 30 කගේ පූර්ණ ඇමති මණ්ඩලයක් පත් කිරීමට ද බාධාවක් තිබිය නොහැක. ඊට අමතරව නව ජනාධිපතිවරයාට විධායක බලය මත ගත හැකි සියළු තීන්දු තීරණ ගැනීමට බාධාවක් තිබිය නොහැක. එපමණක් නොව පසුගිය යහපාලන ආණ්ඩුව සිදු කළ ආකාරයට ඉදිරි දින 100 තුළ රටට යහපත් අණ පනත් සම්මත කිරිමට ද බාධාවක් තිබිය නොහැක. එදා ඖෂධ පනත සම්මත කළ ආකාරයට මෙදා අල්ලස් පනතට සංශෝධන ගෙන ඒමට ඇති බාධකය කුමක්ද?

එසේ අල්ලස් පනත සංශෝධනය කිරීම මඟින් බැදුම්කර වංචා හොරුන්ට දඬුවම් දීම වැළැක්විය හැක්කේ කාටද? එසේම කාදිනල් තුමා නැවත නැවතත් ඉල්ලා සිටි පරිදි පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලා වැරදි කරුවන්ට දඬුවම් දීම සඳහා පූර්ණ බැලැති කොමිසමක් පත් කිරිමට පාර්ලිමෙන්තුවේ බහුතර බලය අවශ්‍ය නැත. ඒ ආකාරයට දිර්ඝ ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැක. ජනවරමට දායක වූ මහජනයා සැබෑලෙසම සතුටු වන්නේ එම දීර්ඝ ලැයිස්තුව කඩිනමින් ක්‍රියාත්මක කිරීමෙන් මිස අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමකින් නොවේ. එවැනි සීනි බෝල වලට සතුටු වන පිරිස් සිටින බව සත්‍යයකි. ජනවරමේ අපේක්ෂාවල බරපතලකම අනුව එවැනි පිරිස් සතුටු කිරීමට උත්සහා කිරීම තුළ සැබෑ අභියෝගය යටපත් විය හැක. ඇමති ධූර 30 ක් 15 ට අඩු කිරීමෙන් පමණක් සතුටුවන පිරිස් එය තවදුරටත් 5 කට අඩුකළහොත් තවත් සතුටු විය හැකි බවට තර්ක කළ හැක.

ඇමතිධුර අඩුවන විට ඔවුන්ගේ වගකීම වැඩිවන අතර ඒවා ඉටුනොවීමේ සම්භාවිතාව වැඩිවේ. කළ යුත්තේ ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩුකිරීම මිස වගකීම වැඩි කිරීම නොවේ. නව ජනාධිපතිවරයා ඉතා නිර්මාණශීලිව වරප්‍රසාද අඩුකරන හැටි පෙන්වා ඇත. ජනාධිපතිවරයා ආරක්ෂාවට රථ දෙකක් පමණක් භාවිත කරන විට ඇමතිවරුන්ට එකකකට සීමාවීමට සිදුවේ. ජනාධිපතිවරයා තම මුහුණ ප්‍රදර්ශණයට සීමා පනවන විට ඇමතිවරුන්ට එය අනුගමනය කිරීමට සිදුවේ. ස්විස්ටර්ලන්තයේ හෝ ඉන්දියාවේ ආදර්ශයක් ලංකාවට කෘතිමව ආදේශ කිරීමට උත්සහා කිරීම විද්වත් මතවාදයක් ලෙස පිළිගත හැකි ද? ඉන්දියාවේ නිලධාරීන්ගේ හැකියාවත්, විභවයන් සහ වගවීමේ සංස්කෘතිය ගත් විට අප සිටින්නේ බොහෝ පිටුපසිනි. ඒ බව එම රටේ දේශපාලකයින් විසින් අත් හරින වගකීම් නිලධාරීන් විසින් ඉටුකරන ආකාරයෙන් පැහැදිළි වේ. නමුත් ඊට හාත්පසින්ම වෙනස් තත්වයක් පවතින අප රටේ ඇමතිවරුන්ගේ වගකීම් වැඩිවන විට ඇති වන නිලධාරීවාදී ඒකාධිකාරීය තුල මහජන වගවීම කැලෑ වදින බවට බොහෝ උදාහරණ ඇත. එය වෙනම සාකච්ඡා කල යුතු මාතෘකාවකි. දැන් වැදගත් වන්නේ බොරු වලවල්වල නොවැටී වහාම ආරක්ෂණවාදී ප්‍රවේශයෙන් ප්‍රහාරාත්මක ප්‍රවේශයට මාරු වී ඓතිහාසික ජනවරමට සාධාරණය ඉටු කිරීමය.

– වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *