ස්විස් තානාපති කියූ බොරු හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ස්විස් තානාපති කියූ බොරු හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න.. (විඩියෝ)

• ස්විස් තානාපති නිලධාරිනිය පොලීසියට ප්‍රකාශයක් ලබාදිය යුතුයි පවසමින් අජිත් ප්‍රසන්න උපවාසයක (විඩියෝ)

• ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලයක් ඔබලා.. ඇය භීතියෙන් බලාගත් අත බලාගෙන.. ඇගෙන් ප‍්‍රශ්න කරන්න බෑ.. – රාජිත සේනාරත්න (විඩියෝ)

• පැහැර ගැනීමට ලක්වූ නිලධාරිනිය ජිනීවා ගෙන යෑමේ සැලසුමක්

• විශේෂ ජනාධිපති කොමිසන් සභාවට කැබිනට් අනුමැතිය

+++++++++++++++++++++++++++++++++++

ස්විස් තානාපති කියූ බොරු හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න..

(02.12.2019 – 10:40 +0530 – lankacnews.com)

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ‍්‍රී ලාංකික කාන්තාවක් පැහැර ගත්තේ යයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්‍ෂණවල තත්වය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි :

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක මුහුණ පෑ බව කියන සිද්ධිය පිළිබඳ නවතම තොරතුරු…

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක 2019 නොවැම්බර් 25 දා සඳුදා මුහුණ දුන් බව කියන සාපරාධි සිද්ධිය බරපතළ ලෙස සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව පූර්ණ විමර්ශණයක් කිරීමට වහාම නියෝග කළේය.

අද සවස (2019 දෙසැම්බර් 01) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ අදාළ නිලධාරින් සමඟ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් (Hanspeter Mock) මහතා හා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හමු වූ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආර්යසිංහ මහතා පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශණවල ප්‍රතිඵල ගැන ඔවුන් දැනුවත් කළේය.

ස්විස් තානාපති කාර්යාලය 2019 නොවැම්බර් 29 සිකුරාදා ලබාදුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය තමන් වෙත යොමු කරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් කළ ඉල්ලීම ඉටුකිරිමට තානාපති කාර්යාලය ක්‍රියා නොකළ ද විමර්ශණය ඉදිරියට ගෙන යනු ලැබීය. ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව උබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වා දෙන ලදී.

නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් ස්විස් දූත කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාර අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවරැදිව හඳුනා ගැනිමට තවදුරටත් විමර්ශණ කළයුතු බව අවධාරණය කෙරිණ. ඒ සඳහා සිද්ධියට මුහුණ පෑ බව කියන කාර්ය මණ්ඩල සාමාජිකාව නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් විසින් ප්‍රශ්න කරනු ලැබිය යුතුය. සිද්ධියට මුහුණ පෑ බව කියන තැනැත්තිය සිදුවුණාය කියන පැහැර ගැනීමේ දී තමාට තුවාල සිදු වු බව කියා ඇති බැවින් ඇය ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් කරණු ලබන වෛද්‍ය පරික්ෂණයකට භාජන කළ යුතු බව පෙන්වා දෙන ලදී.

සිදුවුවායි කියන සිද්ධිය සම්බන්ධ යථා තත්ත්වය නිශ්චය කරනු සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන්නැයි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදී.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ස්විස් තානාපති නිලධාරිනිය පොලීසියට ප්‍රකාශයක් ලබාදිය යුතුයි පවසමින් අජිත් ප්‍රසන්න උපවාසයක

(02.12.2019 – 12:47 +0530 – lankaleadnews.com)

පැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.

පැහැර ගැනීමට ලක්වූ බවට සඳහන් කළ නිලධාරිනිය තානාපති කාර්යාලය තුළ සඟවාගෙන සිටින බවත් මේ නිසා පොලිස් පරීක්ෂණවලට සහාය ලබාදීමට තානාපතිවරයා කටයුතු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

පැහැර ගැනීමට ලක්වූ බවට සිදුකරණ ප්‍රකාශ අසත්‍ය බවට තහවුරු වෙමින් තිබෙන බවත් මෙම ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාව ඉදිරියේ අපකීර්තියකට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලයක් ඔබලා.. ඇය භීතියෙන් බලාගත් අත බලාගෙන.. ඇගෙන් ප‍්‍රශ්න කරන්න බෑ.. – රාජිත සේනාරත්න

(02.12.2019 – 14:10 +0530 – lankacnews.com)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලය ඔබා ප්‍රශ්න කර ඇති බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එමගින් ඇති වූ බිය නිසා අද ඇයට කතාබහ කිරීමට පවා නොහැකිව බලා ගත් අත බලාගෙන සිටින බවද ඔහු පැවසීය.

මෙවන් තත්ත්වයක් යටතේ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි බවද ඔහු පැවසුවේය.

මේ හේතුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් එම කාන්තාව සහ ඇයගේ පවුලේ සියළුම දෙනා ස්විට්සර්ලන්තයට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සුදුවෑන් සංස්කෘතිය යළි ඇරඹී ඇති බවත් කී ඔහු යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ කිසිදු දිනයක මෙවන් භිතියක් සමාජයෙන් නොතිබූ බවද සඳහන් කළේය ෴

+++++++++++++++++++++

සතියක් යන්න කලින් සුදු වෑන් එකක් ඇවිල්ලා කාන්තාවකගේ කටට පිස්තෝලේ දැම්මා

සතියක් යන්න කලින් සුදු වෑන් එකක් ඇවිල්ලා කාන්තාවකගේ කටට පිස්තෝලේ දැම්මා – රාජිත සේනාරත්න යළි කට අරියි

Posted by Lanka Lead News on Monday, December 2, 2019

+++++++++++++++++++++

පැහැර ගැනීමට ලක්වූ නිලධාරිනිය ජිනීවා ගෙන යෑමේ සැලසුමක්

(03.12.2019 – divaina.com)

පැහැර ගැනීමකට ලක්වී ලිංගික හිංසනයට ද ලක්වූ බව කියන කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ ශී‍්‍ර ලංකා නිලධාරිනිය වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් නොකර ජිනීවා නුවරට ගෙන යෑම සඳහා ස්විස් නිලධාරීන් සැලසුම් කරන බව ආරංචි මාර්ග ඊයේ (02 දා) හෙළි කළේය.

ඇයව වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ස්විස්ටර්ලන්තයට ගෙනයන බව ස්විස් තානාපති වොන් රජයට දන්වා තිබේ. මෙම නිලධාරිනියගේ අනන්‍යතාව ස්විස් තානාපති කාර්යාලය මෙතෙක් ශී‍්‍ර ලංකා රජයට හෙළිකර නැත.

එහෙත් ඇය ‘මිසින් ජේ’ නමින් හඳුන්වන තැනැත්තියක බව හෙළිකිරීමට දිවයිනට හැකිවී ඇත. තානාපති මුක්තිය නැති මේ කාන්තාව පසුගිය නොවැම්බර් 25 දා සිට ස්විස් තානාපති කාර්යාලයේ රඳවාගෙන ඇති අතර ඇයට අදාළ සියලු තොරතුරු ස්විස් තානාපති බලධාරීන් වසන් කර තිබේ.

ඇය පැහැර ගැනීමට ලක්වූ බව කියන ප‍්‍රදේශයේ ඔස්ටේ‍්‍රලියානු සහ ජපන් තානාපති කාර්යාල ඇතත් එම තානාපති කාර්යාලවල කිසිදු ආරක්‍ෂක නිලධාරියෙක් එම පැහැර ගැනීමක් දැක නැත.

මෙම කාන්තාව ස්විස් තානාපති කාර්යාලයේ සංක‍්‍රමණික නිලධාරියා යටතේ සේවය කරන තැනැත්තියක් බවත් සංක‍්‍රමණිකයන් ස්විස්ටර්ලන්තයට යෑමට නිර්දේශ කිරීමට අවසර නියමව තිබූ බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්වයි.

– කීර්ති වර්ණකුලසූරිය

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

From : Gotabaya Rajapaksa (FB) (02.12.2019)

තරුණ පරපුරේ සුභවාදී ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ නායකත්වය රටේ වටපිටාව පමනක් නොව අනාගතයද වෙනස් කරන්නට පදනම දමමින් සිටී. සිය නිර්මාණශීලීත්වය සමාජයට ඵලදායි අයුරින් යොදවන්නට පෙරමුණගෙන සිටින තාරුණ්‍ය හෙටට ඔබින වැඩකරන රටක් ගොඩනැගීමේ පෙරනිමිති පෙන්නුම් කරමින් ඇත. එය මුළු රටටම ආඩම්බරයකි.

நமது இளைஞர்களின் முயற்சி, தலைமைத்துவப் பண்பு, ஆக்கபூர்வமான சக்தி மற்றும் குழு முயற்சி போன்றவற்றால் நமது எதிர் காலத்தின் போக்கை மாற்றுவதற்கான ஒரு வலுவான அடித்தளம் அமைக்கப்பட்டுள்ளது. அவர்களது இந்த நேரிய சிந்தனையை ஆக்கபூர்வமான சக்தியாக வெளிக்கொண்டுவருவது உற்பத்தித்திறன் மிக்க கலாச்சாரத்திற்கு அவர்கள் தயாராக இருப்பதை வெளிப்படுத்துகின்றது. அவர்கள் நமது நாட்டிற்கு பெருமை சேர்க்கும் ஒரு வளமாகும்.

A strong foundation is being laid to change the course of our future by the youth, with their initiative, leadership, positive energy and teamwork. Bringing forth their creativity as a positive force in our society, signifies their readiness to contribute to a productive culture. They are a source of great pride to our nation

***************************************

විශේෂ ජනාධිපති කොමිසන් සභාවට කැබිනට් අනුමැතිය

(01.12.2019 – 11:20 +0530 – lankadeepa.lk)

ඝාතන හෝ ඒ හා සම්බන්ධ අනෙකුත් විමර්ශනවලදී ඊට සම්බන්ධ නැති පුද්ගලයන් අසත්‍ය ලෙස වරදේ පටලවන අභූත ලෙස සම්බන්ධ කරවන නිලධාරීන් හා ඊට අනුබල දෙන්නන් හා මෙහෙයවන්නන්ගේ සිවිල් අයිතිවාසිකම් ඉවත් කිරීම සඳහා පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවත් ඒ සඳහා ස්ථාපිත කිරීමට යන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබීමට නියමිත එම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව යටතේ එවැනි නිලධාරීන්ගේ හා පුද්ගලයන්ගේ හැසිරීම හා භාවිතය විමසා බැලීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී) සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී.) යනාදී විමර්ශන ආයතන සහ අනෙකුත් ආයතන ආවරණය වන පරිදි ඉහත කී විශේෂ ජනාධිපති කොමිෂන් සභාව කටයුතු කරනු ඇති බවත් නිලධාරීන්ට අමතරව එම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව මගින් එවැනි කටයුතුවල නිරත වන සිවිල් වැසියන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිත බවත් වාර්තා වේ.

විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සොයා ගැනීම් අවසන් වූ පසුව සිවිල් අයිතිවාසිකම් ඉවත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවැසේ.

විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සොයා බැලීම්වලට අමතරව අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කෙරෙන බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා හදිසියේම ස්විට්සර්ලන්තය බලා යෑම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

නිශාන්ත ද සිල්වා මහතා පසුගිය ඉරිදා ඔහුගේ පවුලේ සාමාජිකයන් ද සමඟ ස්විට්සර්ලන්තය බලා ගිය අතර ඔහු එරට දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයි ආණ්ඩුවට දැනගන්නට ලැබී ඇත.

නිශාන්ත ද සිල්වා මහතා විමර්ශනය කළ ඉහළ පෙළේ සිදුවීම් අතර ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ යන මහත්වරුන් ඝාතනය කිරීම සහ ‘ද නේෂන්’ පුවත්පතේ සහකාර කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම යනාදිය ද විය.

එම සිදුවීම් හා විමර්ශනවලදී ඒවාට හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයකු සම්බන්ධ කිරීමට ද උත්සාහයක් ගෙන ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.

නිශාන්ත ද සිල්වා මහතා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානී අබේසේකර මහතා යටතේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ නැති නිලධාරියකු සමඟ කොළඹ හෝටලයකදී කරන ලද සාකච්ඡාවක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ. මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන නීතිඥයකු ද මීට සම්බන්ධ යැයි ද එහිදී කියැවී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකුගේ වීඩියෝවක් සංස්කරණය කර මුදාහැරීම සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීමට නියමිත බව ද සඳහන් වෙයි.

සංස්කරණය කරන ලද එම වීඩියෝ පටය විදේශීය පාර්ශ්වවල සහාය ද ඇතිව සකස් කර ඇතැයි පොලිසිය සැක කරයි. එම වීඩියෝ පටය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ගිය අසත්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයකුව සිටියදී ඔහු තවදුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියකු බවට පෙන්වීමටත් ගත් උත්සහායක් බවත් අනාවරණය වී ඇත.

– සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *