ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට දෙසැම්බර් මස 09 වනදා තෙක් විදෙස් ගමන් තහනම්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට දෙසැම්බර් මස 09 වනදා තෙක් විදෙස් ගමන් තහනම්

• තානාපති කාර්යාලයේ නිලධාරීනිය ගැන රාජිත ගෙන් අහන්න – ආචාර්ය ගුණදාස අමරසේකර (විඩියෝ)

• කොළඹ ස්විස් තානාපති අමාරුවේ.. වියානා සම්මුතිය බරපතල ලෙස බිද දමයි.. (විඩියෝ)

• ගෝලීය ශ‍්‍රී ලාංකික සන්සදයෙන් අනාවරණයක් (04.12.2019) (ඔඩියෝ)

• දුර ගමන් බස්රථ සේවා සඳහා සේවා සැපයුම් ස්ථාන කිහිපයක්

• හමුදා ලොරි රථයක් අනතුරක (විඩියෝ)

• පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

• LTTEයට අරමුදල් රැස්කළ 12 දෙනෙකු ස්විස්ටර්ලන්ත ෆෙඩරල් අධිකරණය නිදහස් කරයි (විඩියෝ)

• රුවන්වැලිසෑයේ චූඩාමානික්‍ය අනුග්‍රාහකයා ආතර් මහතාද ප්‍රභාත් මහතාද? සාවද්‍ය ප්‍රචාර ගැන මාධ්‍ය නිවේදනයක්

• කටුනායකදී ගෝඨා ඝාතන තැතක් – වන්නියේ සහ නැගෙනහිර 05 ක් අල්ලයි

• කෝප් කමිටුව සිදු කරන විමර්ශන නොකඩවා ඉදිරියටත් සිදුකරනවා – ඇමති දිනේෂ් (විඩියෝ)

• ‘හිරු සී.අයි.ඒ.’ දැලේ පැටලුණු රැකියා ජාවාරම්කාරිය (විඩියෝ)

• අපේ රටේ දක්ෂයින් පිරිසක් යථාර්තයක් බවට පත් කළ සින්තටික් තොප්පිය (විඩියෝ)

• CID ශානි වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් ආරක්ෂා කළා – යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානය (විඩියෝ)

• පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට එරෙහිව පැමිණිල්ලක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට දෙසැම්බර් මස 09 වනදා තෙක් විදෙස් ගමන් තහනම්

(03.12.2019 – 16:31 +0530 – sinhala.adaderana.lk)

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වනදා තෙක් ඇයට අධිකරණයේ අවසරයෙන් තොරව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

රහස් පොලිසිය විසින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව අදාළ නිලධාරිනියට දෙසැම්බර් මස නව වනදාට පෙර රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් තවත් නියෝගයක් කළේය.

රහස් පොලිසිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ඉකුත් 25 වනදා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික වීසා නිලධාරිනියක කිසියම් කණ්ඩායමක් විසින් සුදු කාර් රථයකින් පැහැරගෙන ගොස් දැනට විදේශගතව සිටින රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට වීසා ලබාදීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් තර්ජනාත්මකව කරුණු විමසා ලිංගික අඩන්තේට්ටම් කළ බවට එම තානාපති කාර්යාලයේ තානාපතිවරයා විසින් විදේශ අමාත්‍යාංශය හරහා පොලිස්පතිවරයා වෙත යොමු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව සඳහන් කළේය.

මේ පිළිබඳව රහස් පොලිස් නිලධාරීන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට ගොස් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සහ කළ ද එම නිලධාරිනිය පිළිබඳව තොරතුරු හෙළි කිරීම අදාල තානාපති කාර්යාලයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බව රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඉන් පසුව ඇයගේ නිවසට ගොස් පරික්ෂා කිරීමේදී නිවෙසේ ද කිසිවෙකු නොමැති බවට කරුණු අනාවරණය වූ බවත් ඇයගේ සැමියා බැංකු නිලධාරියකු වන අතර ඔහු රැකියාව කළ බැංකුවට ගොස් පරික්ෂා කිරීමේ දී ඔහු සේවයට වාර්තා කර නොමැති බවට කරුණු අනාවරණය වූ බව ද රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසා ඇත.

තානාපති කාර්යාලයේ නිලධාරියකු පැහැරගෙන යාම බරපතළ සිද්ධියක් බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා එහි සත්‍ය අසත්‍යතාවය අනාවරණය කර ගැනීම සඳහා පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.

යම් හෙයකින් ඇය විදේශ ගත වුවහොත් සත්‍ය අනාවරණය කර ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වන බවත් එසේ වුවත් රටට විශාල කැළලක් සිදු වන බවත් පෙන්වා දුන් රජයේ නීතිඥවරයා මෙය පුද්ගල බද්ධ කරුණක් නොව සමස්ත රටටම බලපාන ප්‍රධාන කරුණකැයි ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එබැවින් අදාල තැනැත්තියට විදේශ ගතවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම විමර්ශනයට අදාළව සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශකර සිටියේය.

ඒ අනුව ඇයගේ ප්‍රකාශය සටහන් කර ගන්නා තුරු එනම් දෙසැම්බර් මස 09 දා තෙක් අදාළ තැනැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරන බව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය.

මෙය පූර්ණ විදේශ ගමන් තහනමක් නොවන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේය.

එම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කර ලෙසද රහස් පොලිසියට නියෝග කර ඇත.

එමෙන්ම අදාළ කාන්තාවට දෙසැම්බර් මස නව වනදාට පෙර රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස නිකුත් කර තිබෙන අධිකරණ නියෝගය පිළිබඳව ඇයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසියට නියෝග කර තිබේ.

අනතුරුව පැමිණිල්ල ලබන 09 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

තානාපති කාර්යාලයේ නිලධාරීනිය ගැන රාජිත ගෙන් අහන්න – ආචාර්ය ගුණදාස අමරසේකර

(03.12.2019 – 16:53 +0530 – lankaleadnews.com)

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන ගියා යැයි කියන සිද්ධිය පිළිබදව බොහෝ තොරතුරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා දන්නා බව ඔහුගේ ප‍්‍රකාශ වලින් හෙළිවන බැවින් පොලිසිය වහා ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කරගත යුතුයැයි ‘ජාතික සංවිධාන එකමුතුවේ’ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශ කළේය.

ඔහු මේ සිද්ධිය ගැන මේ තරම් තොරතුරු දැන දැනත් මෙසේ වසන් කරගෙන සිටීම අපරාධයකැයි ද හෙතෙම කියා සිටියේය.

‘ජාතික සංවිධාන එකමුතුව’ට නම් මේ සිද්ධිය පෙනෙන්නේ නාටකයක් ලෙසින් යැයි ද ජනාධිපතිවරයා හෝ රජය අපකිර්තියට පත්කිරීමේ ‘ජාත්‍යන්තර නාටකයක්’ බව පැහැදිලි යැයි ද කී අමරසේකර මහතා ලබන මාර්තු මාසයේ දී ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ දී ඔවුන්ගේ චෝදනා සනාථ කිරීමට මෙම උගුල් අටවන්නේ යැයි ද පැවසීය.

19 වන සංශෝධනය යළිත් සලකා බලන්නේ නම් ඊට සහය දෙන බව පාරලිමේන්තු මන්ත‍්‍රී කිරිඇල්ල මහතා කියා ඇති බවත් සංශෝධනය කළ යුතු යැයි කියන්නේ නම් එය සම්මත කර ගත්තේ ඇයි දැයි විමසා සිටින බවත් හෙතෙම කියා සිටියේය.

කිසිසේත්ම එය යළි සංශෝධනය නොකල යුතු යැයි කී අමරසේකර මහතා එය ‘රෑ වැටුන වලේ දවල් වැටීමක්’ යැයි ද කළයුත්තේ තුනෙන් දෙකක බලය ලබාගෙන නව ව්‍යවස්ථාවක් සකසා ගැනීම බවත් අමරසේකර මහතා සඳහන් කළේය.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ අදහස් පල කළේ රාජගිරිය ‘ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ’ අද (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

+++++++++++++++++++++++++++++++++++

කොළඹ ස්විස් තානාපති අමාරුවේ.. වියානා සම්මුතිය බරපතල ලෙස බිද දමයි..

(03.12.2019 – 22:12 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය :

“පච නාටක අධ්‍යක්ෂණය කරමින් සිටි ඇමති රාජිත පරාජිත වී ගෙදර ගියාට පස්සේ ඒ රාජකාරිය දැන් භාර අරන් තිබෙන්නේ ස්විස් තානාපති. සුදු වෑන් නාටකයේ අළුත් ජවනිකාව කල එළි බහින්නේ ස්විස් තානාපතිගේ අධ්‍යක්ෂණයෙන්. තමන්ගේ කාර්යාලයේ වැඩ කරන නිලධාරිනියක් සුදු වෑන් එකකින් පැහැර ගෙන ගියාලු. එයාට දැන් හොඳටම අසනීපයිලු. වහාම මේ පිළිබඳ පරීක්ෂණ කරන්නලු. පැහැර ගත්තා කියන අයගේ නමක් ගමක් කියන්නේ නෑ. ඒ අයගෙන් ප්‍රකාශයක් ගන්න දෙන්නේ නෑ. හැබැයි වහාම පරීක්ෂණයක් කර වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නලු. මේක හරියට අත පය ගැට ගහලා වැවට දාලා දැන් ඉතින් පීනපන් කිව්වා වගේ වැඩක්.

ඊලඟ කාරණය තමයි මේ නිලධාරිනිය ලාංකික කතක්. තානාපති නිලධාරීන් සම්බන්ධයෙන් තියෙන ජාත්‍යන්තර සම්මුතිය වන වියනා සම්මුතියේ 38(2) වගන්තිය අනුව ඇයට තානාපති මුක්තිය නෑ. ඇය පොලිසියට ප්‍රකාශයක් ලබා දිය යුතු ද නැද්ද කියන එක තීරණය කරන්නේ ලංකා ආණ්ඩුව මිස ස්විස් තානාපති නොවේ.

අප දැක්කා ඊයේ (02) රාජිත මන්ත්‍රීතුමන් මාධ්‍ය හමුවකට ඇවිත් කියනවා එම කාන්තාවගේ කටට පිස්තෝලයක් තියලා ප්‍රශ්ණ කළා කියලා. කාටවත් හමුවෙන්න බැරිවුණු කාන්තාවක් රාජිත මන්ත්‍රිතුමාට නං හමුවෙලා තියෙනවා. වෙඩි වැදී පණ අදින අයගෙන් පවා පොලිසිය ප්‍රකාශ ලබා ගන්නා අවස්ථා තිබෙනවා. ඇයට ප්‍රකාශයක් ලබා දීමට හැකි ද නැද්ද කියන එක තීරණය කරන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියා මිස දත් දොස්තර රාජිත නොවේ.

ලංකාවේ කාන්තාවක් තම තානාපති කාර්යාලය තුල රඳවා ගෙන ඉන්න ස්විස් තානාපතිට අයිතියක් නෑ. ඇයව බලහත්කාරයෙන් රඳවා ගෙන ඉන්නවා ද නැතිනම් ස්වෙච්ඡාවෙන් ඉන්නවා ද කියන එක අපි දන්නේ නෑ. ඇත්තටම සුදු වෑන් සංස්කෘතියක් ක්‍රියාත්මක කරන්නේ ස්විස් තානාපති මිස ආණ්ඩුව නොවේ. මේක ජාත්‍යන්තර කරලියට අරන් ගිහිල්ලා වියානා සම්මුතිය උල්ලංඝනය කිරීම පිළිබඳ තානාපතිවරයාට එරෙහිව කටයුතු කරන්නට කලින් අපේ රටේ කාන්තාව අපට ලබාදෙන්න කියලා අප ස්විස් තානාපති තුමාට කියනවා.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

ගෝලීය ශ‍්‍රී ලාංකික සන්සදයෙන් අනාවරණයක් (04.12.2019)

***************************************

දුර ගමන් බස්රථ සේවා සඳහා සේවා සැපයුම් ස්ථාන කිහිපයක්

(03.12.2019 – 16:28 +0530 – sinhala.adaderana.lk)

දැනට දුර ගමන් සේවා සඳහා යොදවා තිබෙන පුද්ගලික හා ලංගම බස්රථ නවත්වන ස්ථානවල මගීන් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව මගීන් විසින් මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.

ජනතා කේන්ද්‍රීය ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක් අද (03) දින මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මගී ප්‍රවාහන කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී සැලසුම් අංශය විසින් මෙම කෙටිකාලීන ව්‍යාපෘති ඉදිරිපත් කළ අතර අමාත්‍යාංශ ලේකම් එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාද මෙම සාකච්ඡාවට සහභාගී විය.

විශේෂයෙන් දුර ගමන් බස්රථ නවත්වන ස්ථානවල ආහාරපාන සඳහා වන අධික මිල, සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම ආබාධිත සහිත පුද්ගලයින්ට උචිත පරිදි පහසුකම් නොමැතිවීම හා අපිරිසිදුකම නිසා විශාල වශයෙන් මගී ජනතාව අපහසුතාවයට පත්වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම නිසා වැඩිපුර දුර ගමන් සේවා ක්‍රියාත්මක වන මාර්ග ආශ්‍රිතව සියලු පහසුකම් සහිත බස්රථ නවත්වන ස්ථාන කිහිපයක්, නියාමන ව්‍යාපෘතියක් ලෙස ඉදිරි මාස 02 තුළ කඩිනමින් ඇරඹීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එම නිලධාරීන් ට උපදෙස් දෙනු ලැබීය.

මේ සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම මෙන්ම පුද්ගලික අංශයෙන්ද සහයෝගය ලබාගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් මගී ජනතවාගෙන් දිනපතා පැමිණිලි ඉදිරිපත් වුවද මෙතෙක් ඔවුන්ගේ ගැටළුවලට විසඳුමක් නොලැබූ නිසා මගී ජනතාව බරපතළ ලෙස අපහසුතාවයන්ට පත්වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය ෴

***************************************

හමුදා ලොරි රථයක් අනතුරක

(03.12.2019 – 15:32 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබු හමුදා ලොරි රථයක් අනතුරට ලක්ව තිබේ.

ඒ වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ දංගහමුල මංසන්දිය ආසන්නයේ දී.

අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබු හමුදා ලොරි රථයක් ඊයේ (02) රාත්‍රියේ කුඹුක් ගසක ගැටී අනතුරට ලක්ව තිබේ.

මෙම අනතුර ඊයේ රාත්‍රී 11:00 ට පමණ සිදු වී ඇති බව වාර්තා වෙයි.

රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පලකරයි.

එම අනතුරින් එක් අයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු යුද හමුදා මාණ්ඩලික සැරයන් වරයෙකු බව අප වාර්තාකරු පැවසුවේය.

ඔහුත් සමඟ ගමන් ගත් අනෙක් දෙදෙනා ද බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

***************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

(04.12.2019 – 07:10 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා මියගොස් ඇත්තේ.

මියයනවිට ඒ මහතා 57 හැවිරිදි වියේ පසුවූවා ෴

+++++++++++++++++++++

සිංගප්පූරුවේ දී අභාවප්‍රාප්ත වු රංජිත් සොයිසා මහතාගේ දේහය අද (04) රාත්‍රියේ දිවයිනට

(04.12.2019 – 13:09 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයාසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ, සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට මන්ත්‍රීවරයා 57 හැවිරිදි වියේ පසු වුණා. ඔහුගේ දේහය අද (04) රාත්‍රියේ දිවයිනට ගෙන ඒමට නියමිතයි.

වර්ෂ 1962 මැයි මස තුන්වනදා ගොඩකවෙල අල්පිටිය ගම්මානයේ උපත ලැබූ රංජිත් සොයිසා මහතා පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැනු දරුවන් දෙදෙනෙකු ගෙන් යතු පවුලේ දෙවැනි පිරිමි දරුවායි.

ගොඩකවෙල අල්පිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ගොඩකවෙල අල්පිටිය රාහුල විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලබන රංජිත් සොයිසා මහතා කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියෙකු ද වෙයි.

පසු කාලීනව විප්ලවකාරී අදහස් දරමින් 88-89 සමයේ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන රැල්ලට එක්ව දේශපාලනයේ අත් පොත් තබයි.

අනතුරුව 1997 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගොඩකවෙල අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරීපත් වන අතර 2002 දී යළි පත්වන්නේ එහි විපක්ෂනායකවරයා ලෙසයි.

අනතුරුව 2004 වසරේදී සහ 2008 වසරේදී සබරගමු පලාත් සභාවට තේරීපත්වන රංජිත් සොයිසා මහතා එහි අමාත්‍යධුර කිහිපයකම කටයුතු කරනු ලබයි.

2010 වසරේදී රක්වාන ආසනය නියෝජනය කරමින් ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර 2015 වසරේදීද එම ආසනයම නියෝජනය කරමින් යළි පාර්ලිමේන්තුවට තේරීපත් වෙයි.

එතැන්සිට වත්මන් ක්‍රියාකාරී දේශපාලනයේ ප්‍රබල චරිතයක් වෙමින් විටෙක පුවත් මවන්නෙකු ද වූ රංජිත් ද සොයිසා මහතා මියයන තෙක්ම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ධූරයේ කටයුතු කළේය.

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ රංජිත් සොයාසා මහතාගේ දේහය අද (04) රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිත අතර අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මේ අතර රංජිත් සොයිසා මහතාගේ අභාවයත් සමඟ පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා මීළඟට මනාප ලැයිස්තුවේ පෙරමුනේ පසුවන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ ලියනගේ මහතායි ෴

***************************************

LTTEයට අරමුදල් රැස්කළ 12 දෙනෙකු ස්විස්ටර්ලන්ත ෆෙඩරල් අධිකරණය නිදහස් කරයි

(03.12.2019 – 20:27 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. සංවිධානය ස්විට්සර්ලන්තය තුළ තවදුරටත් අපරාධ සංවිධානයක් නොවන බව එරට ෆෙඩරල් අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ මීට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බව දක්වමින් ස්විට්සර්ලන්ත අධිකරණයක් ලබාදුන් තීන්දුවකට එරෙහිව එරට නීතිපති දෙපාර්තමේන්තුව ගොනුකළ අභියාචනයක තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.

ඒ අනුව 1999 සිට 2009 දක්වා එල්.ටී.ටී.ඊ. යට අරමුදල් රැස් කළ පුද්ගලයින් 12 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය තීරණය කර ඇත්තේ.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරුන් පෙන්වා දුන්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පැමිණිලි පාර්ශ්වය ඉදිරිපත් කර නොතිබූ බවයි.

අදාළ පුද්ගලයින් අරමුදල් රැස්කරන කාලසීමාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීත්වය, අල්කයිඩා හෝ අයි.එස්. ත්‍රස්ත සංවිධාන මට්ටමේ නොපැවති බව, අද ප්‍රකාශයට පත්වූ ෆෙඩරල් අධිකරණ තීන්දුවේ සඳහන්.

එමෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මූලික අරමුණ වී තිබුණේ ඔවුන් නියෝජනය කරන ජන කොට්ඨාසය, ස්වාධීන ජන කොට්ඨාසයක් ප්‍රකාශයට පත්කර ගැනීම බවයි.

***************************************

රුවන්වැලිසෑයේ චූඩාමානික්‍ය අනුග්‍රාහකයා ආතර් මහතාද ප්‍රභාත් මහතාද? සාවද්‍ය ප්‍රචාර ගැන මාධ්‍ය නිවේදනයක්

(02.12.2019 – gossiplankanews.com)

අනුරාධපුර රුවන්වැලිසෑයේ චූඩාමානික්‍යය තැන්පත් කිරීම පසුගියදා උත්සවාකාරයෙන් සිදුවෙද්දී ඒ වෙනුවෙන් සම්පූර්ණ බරපැන දැරූ පුද්ගලයා ගැන නිවැරදි නොවන ආරංචි සමාජ මාධ්‍ය තුළ පැතිර ගොස් තිබුණි. ඇතැම් තැනක සඳහන් කර තිබුනේ ලංකාවේ ප්‍රකට ධනපති ව්‍යාපාරිකයකු වන ආතර් සේනානායක මහතා මෙයට අන්‍රග්‍රහය දක්වා තිබූ බවකි. ලංකාවට වෝල්වෝ, පොෂේ වාහන ගෙන්වන හෙලිකොප්ටර අලෙවි කරුවෙකුද වන සම්පත් බැංකුවේ හා සෙල්ටෙල් සමාගමේ ආරම්භක ප්‍රධානියෙකු වන අයිඩබ්ලිව්එස් සමූහයේ අධ්‍යක්ෂ ආතර් සේනානායක මහතා මෙබදු පින්කම් වලට මින් ඉහත දායකවූවෙකු වන නමුත් රුවන්වැලි සෑයේ මේ පින්කමට ඔහු දායකවී නැත.

මින් ඉහත 2013 දී මිහින්තලා සෑයේ චූඩා මාණික්‍යයටත් 2016 සෙල්ල කතරගම කරිවිලේ වතුරුවා සෑයේ චූඩා මාණික්‍යය වෙනුවෙනුත් ආතර් සේනානායක මහතා දායකවූ බව ඇත්තකි. අකාලයේ ඩෙංගු රෝගයෙන් මියගිය ඔහුගේ පුතු වෙනුවෙන් එම පින්කම් සිදු කර තිබුණි.

නමුත් මෙවර කාගේත් කතාබහට ලක්වූ රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය නිර්මාණය කොට සම්පූර්ණ බරපැන දරමින් ඒ වෙනුවෙන් දායක වූයේ ‘විශ්ව පාරමී බෞද්ධ සමිතිය’ පවත්වා යන ප්‍රභාත් නානායක්කාර මහතාය.

නම් ගම් ප්‍රසිද්ධ කර ඒ තුළින් වෙනම ප්‍රතිරූපයක් මවාගන්නට අවශ්‍ය නැති නිසා ඔහු මේ වෙනුවෙන් මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රචාරණයට උනන්දුවක් දක්වා තිබුනේ නැත.

නමුත් දිගින් දිගටම නොදන්නා පුද්ගලයින්ගේ වැරදි ප්‍රචාරයකට මෙම කාරණාව ලක්වීම නිසා මේ ගැන පැහැදිලි කිරීමට රුවන්වැලි සෑයේ විහාරාධිපති පූජ්‍ය පල්ලෙගම හේමරතන ස්වාමීන් වහන්සේට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නටද සිදුව තිබේ.

එම මාධ්‍ය නිවේදනය :

***************************************

කටුනායකදී ගෝඨා ඝාතන තැතක් – වන්නියේ සහ නැගෙනහිර 05 ක් අල්ලයි

(04.12.2019 – aruna.lk)

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පවුලේ සාමාජිකයන්ට ජීවිත අනතුරක් කළහොත් විශාල මුදලක් සමග විදේශගතවීමේ අවස්ථාවක් උදාකරගත හැකි බව කියමින් තවත් පිරිසක් සමග කුමන්ත්‍රණය කළැයි කටුනායක පොලිසිය පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ‌ගෙන ඇත.

වාලච්චේන පදිංචි මුහම්මද් රිෆ්කාන්, කිලිනොච්චි අක්කරායන්කුලම් පදිංචි ගනේෂලිංගම් මදන්, විශ්වමඩු ධර්මපුරම් පදිංචි වේලු කෝනේෂ්වරම්, විශ්වමඩු කල්ලාරු පදිංචි ගුණරත්නම් නගුලේන්ද්‍රන්, මස්කෙළියේ ආරියරාජන් කමලරාජ් යන අය මේ අනුව කටුනායක පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික ඇතුළු කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සීදුව, ජයවර්ධනපුර, අමන්දොළුව අංක 01/16 ලිපිනයේ වූ නිවසක කුලී පදනම මත සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (02 වැනිදා) පස්වරු 2.00 ට පමණය.

මදන් නමැති සැකකරුගේ සොයුරියන් දෙදෙනා එල්ටීටීඊ සංවිධානයේ සිටි අය බවත්, ඉන් එක් අයකු මේ වනතුරුත් පුනරුත්ථාපනය වී නොමැති බවත් හෙළි වී තිබේ.

පසුගිය නොවැම්බර් 28 වැනිදා මෙම සැකකරුවන් තම බෝඩිමේදී බියර් පානය කරමින් සිටියදී මුහම්මදු රිෆ්කාන් නමැත්තා ප්‍රභූ ඝාතන සැලසුම ගැන අනෙක් පිරිසට යෝජනා කර ඇත.

“ගෝඨාභය රාජපක්ෂ හෝ පවුලේ කෙනකු හෝ එයාලගේ ළඟ හිතවතෙක්ට අනතුරක් කළොත් අපිට විශාල මුදලක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් වුණොත් වෙන රටකට යන්නත් පුළුවන්. මොනවා හරි වුණොත් අපි වෙනුවෙන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක් ඉන්නවා. එයාට කියලා අපිට ඇපයක් හරි දාගන්න පුළුවන්” යැයි මුහම්මදු රිෆ්කාන් ගනේෂලිංගම් ඇතුළු පිරිසට යෝජනා කර ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි නම් මෙම තොරතුරු කිසිවකුටත් නොකියන ලෙසත්, තම ඡායාරූප පෙන්වා විමසීම් කළහොත් නාඳුනන බව කියන ලෙසත් රිෆ්කාන් පවසා තිබේ.

මෙම රිෆ්කාන් නමැත්තා සෞදියේ රැකියාවක් කර මෙරටට පැමිණ සීදූවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක සේවය කළ අරාබි හා හින්දි භාෂාව පවා දන්නා අයෙකි. මෙම පුද්ගලයා අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව වසර තුනක් තිස්සේ ආශ්‍රය කරන බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. ඇල්ලූ සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන රාජ්‍ය බුද්ධි සේවය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, විශේෂ කාර්යාංශය, බස්නාහිර පළාත් බුද්ධි ඒකකය ඇතුළු ඒකක මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත විමර්ශන සිදු කෙරේ.

– තිස්ස රවින්ද්‍ර පෙරේරා

***************************************

කෝප් කමිටුව සිදු කරන විමර්ශන නොකඩවා ඉදිරියටත් සිදුකරනවා – ඇමති දිනේෂ්

(03.12.2019 – 21:33 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව වාර අවසාන කෙරුණද, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදු කරන විමර්ශන නොකඩවා ඉදිරියටත් සිදු කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ වල නායකයින් සමඟ අද (03) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂවල නායකයින්ගේ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිවසේදී අද (03)පස්වරුවේ පැවැත්වුණා.

***************************************

‘හිරු සී.අයි.ඒ.’ දැලේ පැටලුණු රැකියා ජාවාරම්කාරිය

(03.12.2019 – 20:15 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ රැකියා ලබාදෙන බව පවසා දිවයින පුරා තරුණ තරුණියන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ කාන්තාවක් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණය කර ගත්තා.

දේශපාලනඥයන් සමඟ සමීප සබඳතා ඇති බව පවසමින් ඔවුන් සමඟ ලබාගත් ඡායාරූප ද ජනතාවට පෙන්වමින් අදාළ කාන්තාව මෙම මුදල් වංචාව සිදුකර තිබෙනවා.

මාතර, දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි චම්පිකා ජීවනි නම් මෙම කාන්තාව වැඩි දෙනෙක් හඳුනන්නේ ‘බොබි’ යන අන්වර්ත නාමයෙන්.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දෙවිනුවර ආසනයේ ප්‍රධාන සංවිධායකවරිය ලෙස කටයුතු කර ඇති මෙම කාන්තාව දකුණු පළාත් සභාව සඳහා එම පක්ෂයෙන් මැතිවරණයට ද ඉදිරිපත්ව තිබෙනවා.

තමන්ට ඇති දේශපාලන සබඳතා මත තරුණ තරුණියන් ජපානයේ රැකියා සඳහා යැවිය හැකි බව පවසමින් මෙම කාන්තාව රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර තිබෙනවා.

***************************************

අපේ රටේ දක්ෂයින් පිරිසක් යථාර්තයක් බවට පත් කළ සින්තටික් තොප්පිය

(03.12.2019 – 20:10 +0530 – hirunews.lk/sinhala)

තොප්පිය කියන්නේ විලාසිතාවක්. ඒ විලාසිතාවට ජීවයක් දෙන්නට පුළුවන් නම්..

සින්තටික් ලොව මවිත කළ තොප්පියක්, යථාර්තයක් බවට පත් කිරීමට හැකිවේදැයි ලොව කිසිවෙකු කවදා හෝ නොසිතන්නට ඇති.

නමුත් අපේ රටේ දක්ෂයින් පිරිසකට ඒ හැකියාව ලැබුණා.

මේ අපුර්ව නිර්මාණය ‘හැරී පොටර් පැළඳි විස්මිත තොප්පිය’ එහෙමත් නැත්නම් ‘සෝටින් හැට්’ එක කියලා හඳුන්වන්නට පුළුවන්.

මෙම නිර්මාණය ක්‍රියාත්මක වෙන්නේ පරිගණක තාක්ෂණය ඇසුරෙන්.

තොප්පිය පැළඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයෙකු පැමිණියහොත් ඒ බව තොප්පිය පැලද සිටින පුද්ගලයාට දැන ගැනිමට හැකියාව පවතින්නේ එහි සවි කර ඇති සංවේදක මගින්.

එමෙන්ම ඔටිසම් රෝගින්ට ප්‍රතිකාර සඳහාත් මෙම තොප්පිය භාවිත කල හැකියි.

පසුගිය දිනක ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර පැවති ජාත්‍යන්තර රොබෝටික් තරගාවලියකට මෙම අපූරු නිර්මාණය ඉදිරිපත් කෙරුණා.

එහිදි නිර්මාණ ඉදිරිපත් කළ සියලු රටවල් අභිභවමින් එහි පළමු ස්ථානය දිනා ගන්නට මේ නිර්මාපකයින්ට හැකිවූණේ ශ්‍රී ලාංකීය අභිමානය යළිත් ලෝ පතල කරමින්.

***************************************

CID ශානි වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් ආරක්ෂා කළා – යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානය

(03.12.2019 – 19:45 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ වලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කරන ලෙස ඉල්ලා අද (03) ජාතික පොලිස් කොමිෂන් සභාවට පෙත්සමක් ඉදිරිපත් කළා.

එය ඉදිරිපත් කළේ යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානයයි.

යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානය මෙම පෙත්සම ඉදිරිපත් කරමින් චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෛද්‍ය සාෆි සම්බන්ධ පරීක්ෂණවලදී සාක්ෂි වසන් කිරීමට කටයුතු කර ඇති බවයි.

***************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට එරෙහිව පැමිණිල්ලක්

(03.12.2019 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැණුනේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතු බවට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.

එම පැමිණිල්ල සිදු කළේ ‘සිංහලේ ජාතික සංවිධානය’ යි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඊයේ (02) පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යායේ නිලධාරිනිය පැහැර ගැනීමට ලක්වූ ආකරය විස්තර කළා.

මේ අතර මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමැණිල්ලක් ඉදිරිපත් කළා

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පල කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *