බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයෙන් ලක් රජය කරුණු විමසයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයෙන් ලක් රජය කරුණු විමසයි (විඩියෝ)

• කාලගුණයෙන් රතු නිවේදනයක්

• තවත් පළාත් දෙකකට ආණ්ඩුකාරවරු දිවුරයි

• පරිසර සංරක්ෂණ නීති ලිහිල් කර නැහැ ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් (විඩියෝ)

• වැලි-පස්-මැටි ප්‍රවාහනයට ඇති බලපත්‍ර ඉවත් කිරීමේ තීරණයට පරිසර සංවිධානවල විරුද්ධත්වය (විඩියෝ)

• සියලුම ගුරුවරු උපාධිධාරීන් කරන්න සැලසුමක්

• අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මන්ත්‍රීවරයාගේ දේහය ගොඩකවෙල නිවසට (විඩියෝ)

• මවක් සහ බිළිඳෙකු මියයෑම ගැන හලාවත මහ රෝහලේ වෛද්‍යවරුන්ට චෝදනා – පාලනාධිකාරියෙනුත් පරීක්ෂණයක්

• උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය දියතලාවට සීමා වෙයි (විඩියෝ)

• සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් චෝදනාවක් (විඩියෝ)

• ස්විස් සිද්ධිය ගැන විදේශ අමාත්‍යාංශයෙන් තානාපතිවරුන්ට පැහැදිලි කිරීමක් (විඩියෝ)

• ස්විස් තානාපති කාර්යාලයෙන් උතුරේ පිරිස් රට යැවීම ගැන පූජ්‍ය චන්ද්‍රරතන හිමිගෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• ඇමති විමල් අගරදගුරු හිමිපාණන් බැහැ දකී (විඩියෝ)

• මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවහොත්, මහ මැතිවරණය අප්‍රේල් අගදී (විඩියෝ)

• ජනපතිතුමා හෝ පවුලේ අයෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ සැකකරුවෙකු රදවා ගෙන ප්‍රශ්න කෙරේ (විඩියෝ)

• මාතර-කතරගම දුම්රිය මාර්ගයේ දෙවෙනි අදියරේ ඉදිකිරීම් ප්‍රමාදයි

+++++++++++++++++++++++++++++++++++

බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයෙන් ලක් රජය කරුණු විමසයි

(04.12.2019 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ රාජ්‍යයන් දෙකක් බිහි කළ යුතු බවට බ්‍රිතාන්‍යයේ කන්සරේවේටිව් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සිදුකර ඇති කරුණු දැක්වීම පිළිබඳව කරුණු විමසා එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය කන්සර්වේටිව් පක්ෂ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමඟින් සඳහන් කර ඇත්තේ එංගලන්තයේ පාලක පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මෙවැනි කරුණක් අඩංගුවීම අනුමත කළ නොහැකි බවයි.

එමෙන්ම මීට පෙර බ්‍රිතාන්‍යයේ කිසිදු දේශපාලන පක්ෂයක් මෙවැනි ස්ථාවරයක් ප්‍රකාශයට පත් කර නැහැ.

මෙමඟින් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් අන්තවාදී පිරිස්වලට අනුබලයක් ලැබෙන බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සිය ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ලබන 13 වනදා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් පසුගිය නොවැම්බර් 25 වනදා බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වනු ලැබුවා.

එහි 53 වන පිටුවේ සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයට විසඳුම ලෙස රාජ්‍යයන් දෙකක් බිහිකළ යුතු බවටයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (03) මාධ්‍ය හමුවක් පවත්වමින් මුල්වරට මෙය අනාවරණ කළා.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය යොමුකළ ලිපියට කන්සර්වේටිව් පක්ෂය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එහි නියෝජ්‍ය සභාපති පෝල්ස් කලී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රාජ්‍යයන් දෙකක් බිහිකළ යුතු බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වගන්තිය අදාළ වන්නේ ඊශ්‍රායලය සහ පලස්තීන යන රටවලට පමණක් බවයි.

එය ශ්‍රී ලංකාවට අදාළ නොවන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ලේකම් ඩොමිනි ග්‍රාබ් ද සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ ඉදිරි සංවර්ධනයට බ්‍රිතාන්‍යය සහයෝගය දක්වන බවයි.

මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් අපරාධ සංවිධානයක් නොවන බව ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව විදේශ අමාත්‍යාංශය හරහා කරුණු දක්වන බවට රජය පවසනවා.

රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් ක්‍රියාත්මක වන පිරිස් ජාත්‍යන්තරය තුළ තවදුරටත් සිටියදී මෙවැනි තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම ගැටළු සහගත වන බවයි.

ඊයේ (03) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදීද ජාත්‍යන්තරය තුළ කථාබහට ලක්වන මෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා.

මේ අතර නව රජයේ දෙවන අමාත්‍ය මණ්ඩලය රැස්වීම මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී නගර පවිත්‍රතාව සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක්ද සාකච්ඡාවට ලක් කිරිමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

කාලගුණයෙන් රතු නිවේදනයක්

(04.12.2019 – 15:08 +0530 – sinhala.adaderana.lk)

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැ,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද (04) සහ හෙට (05) වැඩි වෙන බවද කාලගුණ අංශ පවසයි.

ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇති වෙන බවද කාලගුණ අංශ පවසයි.

උතුරුමැද, සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වල මෙන්ම අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක සහ යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට තාවකාලික තද සුළං හා අකුණු ඇති වෙයි.

මේ අතර උතුරුමැද පළාතට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයත් සමග අංගමුව ජලාශය වාන්දැමීම ආරම්භ වී තිබේ.

එමෙන්ම රාජාංගනය ජලාශයේද වාන් දොරටු 2 ක් ඊයේ (03) පස්වරුවේ විවෘත කර තිබුණේය.

කෙසේවෙතත් අයහපත් කාළගුණයෙන් වැඩිම බලපෑම එල්ල වූ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුර මට්ටමේ පහලයාමක් අද වනවිට දැකිය හැකි වූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර පස්සර, කණවරැල්ල නැගෙනහිර ග්‍රාමසේවා වසමට අයත් ඇටිකෙහෙල්ලන්ද හා කටුවලන්ද යන ගම්මාන ගිලාබැසීමේ හා නායයෑමේ අවදානමකට ලක්ව ඇති බවට ප්‍රෙද්ශවාසීන් පෙන්වා දෙයි.

අධික වර්ෂාවත් සමඟ වැලිමඩ හරහා මුලතිව් දක්වා ගමන් කිරිමට ඇති මුලතිව් – අනුරාධපුර ප්‍රධාන මාර්ගය ඊයේ දහවල් වනවිට හානිවී තිබුණේය.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඇහැටුගස්වැවට ජලය පිරීම හේතුවෙන් මහවැලි ඉංජිනෙරුවන් වැව් බැම්ම කපා දැමීමත් සමඟ ඇතිවූ ජල පහර හේතුවෙන් මාර්ගයට මෙලෙස හානි සිදුවී ඇති බවයි.

මේ අතර මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාන්චෝලේ, රහ්මත්පුරම්, කට්ටකඩුව සහ අක්කර 05 යන ගම්මානවල ජනතාවද අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.

ඒ මාස 1½ කට වැඩි කාලයක් පුරා ප්‍රෙද්ශයේ වැසි ජලය බැස නොයාමත් සමඟ නිවාස, මාර්ග මෙන්ම වගා බිම් ද ජලයෙන් යටවී විනාශයට පත්වීම හේතුවෙන්.

පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරන්නේ වැසි ජලය බැස යාමට තිබූ ස්වාභාවික මාර්ග ඇතැම් පුද්ගලයින් විසින් වසා දමා තිබීමත්, පොළොවේ භූගත ජල මට්ටම ඉහළට පැමිණීමත් මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

+++++++++++++++++++++

Satellite Image From India Met. Dept. [Asia Sector – INSAT-3D-IR1]

***************************************

තවත් පළාත් දෙකකට ආණ්ඩුකාරවරු දිවුරයි

(04.12.2019 – 17:26 +0530 – sinhala.adaderana.lk)

නැගෙනහිර සහ උතුරු මැද පළාත සඳහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් මහත්මිය පත් කර තිබෙන අතර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා දිවුරුම් දුන්නේ ය.

***************************************

පරිසර සංරක්ෂණ නීති ලිහිල් කර නැහැ ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්

(05.12.2019 – 10:59 +0530 – hirunews.lk/sinhala)

පරිසර සංරක්ෂණය වෙනුවෙන් පනවා ඇති කිසිදු නීතියක් ලිහිල් කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේ ඉදිකිරීමේ කර්මාන්තය සඳහා ගල්, වැලි සහ පස් ප්‍රවාහනයට ලබාදී ඇති බලපත්‍ර අහෝසි කිරිමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින්.

එමෙන්ම ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී නීති ලිහිල් කිරීම අඛණ්ඩව සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් වු අවසන් තීරණය මීළග කැබිනට් මණ්ඩලයේදි ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි අතර, වැට් බදු අඩුකිරීම සහ පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් පත් ක්‍රමවේදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වවුචර් ක්‍රමය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් විරෝධතා දක්වන්නේ නම් ඒ පිළිබඳව සළකා බැලීමටද සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීම සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍ර නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කිරීමට අනුමැතිය හිමිවූ බවයි මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

එසේම ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකයින්, ගුරු අධ්‍යාපනඥයින් සහ අධ්‍යාපන පරිපාල සේවා නිලධාරින් සඳහා අධ්‍යාපන සංවෘත සේවාවන් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබෙනවා.

ඒ සඳහා යෝජනාවලියක් සකස් කිරීමට ක්‍ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සහ විෂය ප්‍රවීනයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

වැලි-පස්-මැටි ප්‍රවාහනයට ඇති බලපත්‍ර ඉවත් කිරීමේ තීරණයට පරිසර සංවිධානවල විරුද්ධත්වය

(05.12.2019 – 19:20 +0530 – sinhala.adaderana.lk)

වැලි, පස් හා මැටි ප්‍රවාහනය කිරීම සඳහා දැනට පවතින බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙවන් පසුබිමක පරිසර සංවිධානය පවසන්නේ මේ හරහා දැඩි පරිසර විනාශයක් සිදුවිය හැකිබවයි.

කෙසේවෙතත් මෙම තීරණය දැනට සතියක් සඳහා පමණක් ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

වැලි, පස් හා මැටි ප්‍රවාහනය කිරීම සඳහා දැනට පවතින බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ඊයේ (04) පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් තිරීණය කර තිබේ.

එවන් පසුබිමක අද දිනයේදී විෂභාර අමාත්‍යඅවරයා ඇතුළු පිරිසක් මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් පල කළේය.

මේ අතර පසුගිය කාලය තුළ සිදු කළ විල්පත්තුව ඇතුලු වන විනාශයන් පිළිබඳව කමිටුවක් පත්කිරිමට ඊයේ (04) දිනයේ කැබිනටි අනුමැතිය ලැබුණු බව විෂය භාර අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

+++++++++++++++++++++

සියලුම ගුරුවරු උපාධිධාරීන් කරන්න සැලසුමක්

(05.12.2019 – 12:00 +0530 – sinhala.adaderana.lk)

සියලු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල විද්‍යා පීඨ බවට පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් මූලික පියවර ගැනීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.

අද (05) පැවති කැබිනට්තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, මානව සම්පත් සංවර්ධනය කිරීම ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණක් බවයි.

ඒ අනුව අධ්‍යාපන කේෂ්ත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් ආරම්භ කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවත් පැවසු ඒ මහතා, මෙලෙස කිරීම තුළින් ඩිප්ලෝමා ලබා දෙන ක්‍රමවේදය වෙනස් කර සියලූම ගුරුවරු උපාධිධාරින් බවට පත් කරන ක්‍රමවේදයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

මෑත ඉතිහාසය තුළ ලංකාවේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන විට ඉතා වැදගත්ම කාරණය වන්නේ ගුරුතුමා හා ගුරුතුමිය බවත් පැවසු බන්දුල ගුණවර්ධන මහතා පුහුණු ගුරුවරු ඇති කිරීම සඳහා මෙතෙක් කර ගෙන පැමිණි ක්‍රියාපිළිවෙත වන්නේ උසස් පෙළ මත සමත් කොටසක් z-score ලකුණු මත පිරිසක් විශ්වවිද්‍යාල වෙතටත් අනෙක් පිරිස විද්‍යා පීඨ වෙත යොමු කිරීමත් බව කියා සිටියේය.

විද්‍යා පීඨ යන ළමුන්ට වසර තුනකට ලැබෙන්නේ ඩිප්ලෝමාවක් පමණක් බවත් එයින් ගුණාත්මක හා වැටුප් වශයෙන් ද විෂමතාවයක් ඇති වෙන බවත් ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් එයට අනුමැතිය හිමි වු බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව විශ්වවිද්‍යාල විද්‍යා පීඨ තුළ වසර 4 ක පුහුණුවකින් අනතුරුව ඔවුන්ට උපාධියක් පිරිනැමෙන බවත් එයින් උපාධිධාරී පුහුණු ගුරුවන් බිහිකරන බවත් එයට අදාළ විශේඥයින් ගෙන් සමන් විත කමිටුවක් විසින් අදාළ වැඩපිළිවෙල සකස් කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය ෴

***************************************

අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මන්ත්‍රීවරයාගේ දේහය ගොඩකවෙල නිවසට

(05.12.2019 – 13:17 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද (05) පස්වරුවේ ගොඩකවෙල – මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

දේහය අද පෙරවරුවේ සබරගමුව පළාත් සභා පරිශ්‍රයට රැගෙන ආ අතර, එම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද එක්ව සිටියා.

සබරගමුව පළාත් සභාවට අවස්ථා දෙකකදී තේරී පත්වූ ඔහු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා.

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි පෙරේදා අභාවප්‍රාප්ත වූ මන්ත්‍රීවරයාගේ දේහය දිවයිනට රැගෙන එනු ලැබුවේ ඊයේ (04) රාත්‍රියේදියි.

එහිදී බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම ඇතුලු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දේහය භාරගැනීම ගුවන් තොටුපල වෙත පැමිණ සිටි බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කියා සිටියේ පසුගිය 27 වනදා නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීමේදි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාටද ඇමති ධුරයක් වෙන් කර තිබූ බවයි.

04-12-2019

***************************************

මවක් සහ බිළිඳෙකු මියයෑම ගැන හලාවත මහ රෝහලේ වෛද්‍යවරුන්ට චෝදනා – පාලනාධිකාරියෙනුත් පරීක්ෂණයක්

(05.12.2019 – 07:29 +0530 – hirunews.lk/sinhala)

හලාවත මහ රෝහලේදී මවක් සහ බිළිඳෙකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් එම රෝහලේ පාලනාධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අවුරුදු 34 ක් වයසැති දෙදරු මවක් වන ආණමඩුව – පල්ලම ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පෙරේදා මියගොස් ඇති අතර, බිළිඳා මියගොස් ඇත්තේ පසුගිය 28 වනදායි.

පසුගිය 28 වනදා පෙරවරුවේ මෙම මව පපුවේ දැවිල්ල සහ කැරකිල්ල ඇතුලු රෝග ලක්ෂණ කිහිපයකට ප්‍රතිකාර ගැනීම සඳහා හලාවත මහ රෝහලට ගොස් තිබුණා.

ඒ වනවිටත් ඇය අටමස් ගැබිණියක්ව සිටි අතර, දරු ප්‍රසූතියට දින තිබුණත් ඇය රෝහලට පැමිණ තිබුණේ දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය සියලු බඩු බාහිරාදියද රැගෙනයි.

හලාවත මහ රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා ඇය පරීක්ෂා කර ගැස්ට්‍රයිටීස් රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කර යළි නිවසට එවා තිබෙනවා.

පසුව නිවසට පැමිණි ඇයට යළි එම රෝග ලක්ෂණ ඇති වී තිබෙන අතර, කඩිනමින් ඇය පල්ලම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි මියගිය කාන්තාවගේ මාමණ්ඩිය සඳහන් කළේ.

පල්ලම රෝහලේ වෛද්‍යවරයා ඇයගේ රුධිර පීඩනය ඉහළ ගොස් ඇති බැවින් වහාම හලාවත රෝහලට ඇතුළත් කරන ලෙස ඥාතීන් දැනුවත් කර තිබෙනවා.

එහිදී ඇයව හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වෛද්‍යවරුන් සිසේරියන් සැත්කමකින් දරුවා මව් කුසින් පිටතට ගෙන ඇති නමුත් එම බිළිඳා ඉපදී සුළු කාලයක් තුළ මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

පසුව මෙම මව කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහි රඳවා ගැනීමෙන් පසුව සිද්ධියට පසුදින නැවත හලාවත මහ රෝහල වෙත එවා තිබෙනවා.

එහි දින 4 ක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

කෙසේ වෙතත්, පවුලේ ඥාතීන් චෝදනා කළේ හලාවත රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් අප හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරෝෂ විජේවික්‍රමගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් මේ වනතෙක් පැමිණිල්ලක් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රෝහල් මට්ටමින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.

***************************************

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය දියතලාවට සීමා වෙයි

(05.12.2019 – 07:13 +0530 – hirunews.lk/sinhala)

දියතලාව සහ බණ්ඩාරවෙල අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ඊයේ (04) රාත්‍රියේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දියතලාවට සීමා කර තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ වනවිට එම පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇති බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් චෝදනාවක්

(04.12.2019 – 20:33 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩකටයුතු අවසන් කර නොමැතිව අනාරක්ෂිතව විවෘත කිරීමට අනුබල දුන් පුද්ගලයන්ට දඞුවම් ලබාදිය යුතු බව ‘සත්‍ය ගවේෂකයෝ’ සංවිධානය පවසනවා.

අද (04) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා මේ බව සඳහන් කළා.

***************************************

ස්විස් සිද්ධිය ගැන විදේශ අමාත්‍යාංශයෙන් තානාපතිවරුන්ට පැහැදිලි කිරීමක්

(04.12.2019 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ලක් රජය මේ වනවිට ගෙන ඇති පියවර පිළිබදව මෙරට සිටින සියළුම තානාපතිවරුන් කැඳවා දැනුවත් කිරීමක් සිදුකළ බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අද (04) දහවල් විදේශ අමාත්‍යාංශයේදී මේ සම්බන්ධයෙන් තානාපතිවරුන් දැනුවත් කළ බවයි එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබද රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද එක්ව සිටියා.

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක පැහැර ගෙනගොස් බලපෑම් කල බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදත් (04) දේශපාලනඥයන් හා පූජ්‍ය පක්ෂය අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

ස්විස් තානාපති කාර්යාලයෙන් උතුරේ පිරිස් රට යැවීම ගැන පූජ්‍ය චන්ද්‍රරතන හිමිගෙන් හෙළිදරව්වක්

(05.12.2019 – 09:49 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා ලබා දීම තාවකාලිකව නතර කරන බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ප්‍රකාශ කළද, උතුරේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින් රැසකට වීසා ලබාදීමට සිව්ට්සර්ලන්තය කටයුතු කර ඇති බව ‘සිංහලේ අපි’ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් පවසයි.

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය :

“ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා ලබා දීම තාවකාලිකව කතර කරලා තියෙනවා කියලා අපිට වාර්තා වුණා.

නමුත් ගිය වසර 2 ට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය දේශපාලන රැකවරණය යටතේ ශ්‍රී ලාංකිකයන් 642 ක පිරිසකට වීසා ලබා දීලා.

ඒ පිළිබඳ හාන්කවිසියක්වත් රජය දන්නේ නෑ, රජයට තොරතුරු දන්වලා නෑ.

එසේ වීසා ලබා දීම සඳහා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණයන් පිළිබඳ කාර්යාලයන් තුළ වීසා අයදුම්පත් 2418 කට අධික ප්‍රමාණයක කටයුතු දැන් සිදු වෙමින් තියෙනවා.

ඒ වගේම දැනට දේශපාලන රැකවල් මැද ස්විස්ටර්ලන්තයට ගිහින් තියෙන පිරිසත් දැනට අයදුම් පත්‍ර ඉදිරිපත් කරලා තියෙන පිරිසත් සියයට 95 ක්ම උතුරේ දෙමළ ජනතාව.

මේ ජනතාවගේ වීසා අයදුම්පත්‍ර ලිපි ගොනුව තුළ තිබිය යුතු ප්‍රධාන ලිපියක් තමයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ලබා ගත් ලිපිය.

එසේම උතුරු පළාතේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක අනුමැතියත් මේ කියන පුද්ගලයන්ට ලැබිය යුතුයි.

ඒ අනුව ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය අද වන විට දේශීයව නීත්‍යානුකුලව විදෙස් ගත වීමට අපේක්ෂා කරන පුරවැසියන්ට වීසා පහසුකම් ලබා නොදී හුදෙක් දෙමළ ජාතික සන්ධානය හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවය මත දේශපාලන රැකවරණය ලබා ගැනීම උදෙසා රජයටත් කරුණු වසන් කරලා දෙමළ ජාතිකයන් විදේශ ගත කරමින් ඉන්නවා.”

***************************************

ඇමති විමල් අගරදගුරු හිමිපාණන් බැහැ දකී

(04.12.2019 – 19:26 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සිදුකළ ත්‍රස්තවාදීන් පිටුපස සිටින දේශපාලනඥයින් කවුරුන්ද යන්න හෙලි වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

අද (04) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (04) පෙරවරුවේ අනුරාධපුර පූජා නගරයට පැමිණ විහාරස්ථාන වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත් බව අප වාර්තාකරු පැවසුවා.

ඔහු පළමුවෙන් අනුරාධපුර – ලංකාරාම විහාරයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය රලපනාවේ ධම්මජෝති හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තා.

අනතුරුව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැමිණියේ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයටයි. පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා මිරිසවැටිය විහාරස්ථානය වැඳපුදාගෙන එහි වත්මන් විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත්තා.

***************************************

මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවහොත්, මහ මැතිවරණය අප්‍රේල් අගදී

(04.12.2019 – 19:05 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබන වසරේ මාර්තු මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අප්‍රේල් මස 25, 27 හෝ 28 යන දින තුනෙන් එකක මහ මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ ජාල සමඟ මැතිවරණ කොමිසමේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

ජනපතිතුමා හෝ පවුලේ අයෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ සැකකරුවෙකු රදවා ගෙන ප්‍රශ්න කෙරේ

(04.12.2019 – 18:25 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා අද (04) කටුනායක පොලීසියට අවසර ලබාදුන්නා.

ඊයේ (03) මෙලෙස අත්අඩංගුවට පත්වුණේ වාලච්චේන, ඕට්ටමාවඩි, මීරාවෝඩ්, ආලිම් පාර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු තවත් පුද්ගලයින් 3 දෙනෙකු සමග කටුනායක – අමන්දොළුව, ජයවර්ධනපුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

කෙසේ වෙතත්, ඉතිරි සැකකරුවන් යම් අපරාධයක් කිරීමට සූදානම් නොවන බවට අනාවරණ වීමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරි බවයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ.

27 හැවිරිදි මුස්ලිම් ජාතික සැකකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරීම සදහා සැලසුමක් ක්‍රියාවේ යොදවා ඇති බවට කරුණු අනාවරණ වී ඇති බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලීසිය දැනුම් දුන්නා.

ඒ අනුව, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදුන් අතර විමර්ශන අවසන් කිරීමෙන් පසු ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි පොලීසියට නියම කළේ.

අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරුණු සැකකරුවෙකු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ ඝාතනය සදහා එක්වන ලෙස ප්‍රධාන සැකකරු තමන්ගෙන් ඉල්ලා සිටි බවයි.

එමෙන්ම, ඝාතනයෙන් පසුව ඕනෑම පහසුකමක් ලබාදෙන බවට සහ අවශ්‍ය නම් විදෙස් ගත වීමට ද පහසුකම් සපයා දෙන බව ප්‍රධාන සැකකරු ඔහුට පවසා තිබෙනවා.

මීට අමතරව, කිසියම් හේතුවක් මත පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් ඉන් මුදා ගැනීමේ ක්‍රමවේදයක් ද තමන් සතුව පවතින බවයි ප්‍රධාන සැකකරු සදහන් කර ඇත්තේ.

***************************************

මාතර-කතරගම දුම්රිය මාර්ගයේ දෙවෙනි අදියරේ ඉදිකිරීම් ප්‍රමාදයි

(05.12.2019 – 15:04 +0530 – sinhala.adaderana.lk)

මාතර-කතරගම දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ සිට හම්බන්තොට දක්වා වූ දෙවෙනි අදියරේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සෑහීමකට පත්විමට නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ (04) පස්වරුවේ බත්තරමුල්ල සෙත්සිරිපාය ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මගී ප්‍රවාහන කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී හෙළිවු කරුණු අනුව කතරගම දුම්රිය මාර්ගයේ දෙවන අදියර වන බෙලිඅත්ත-හම්බන්තොට කොටසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම වසර 03 කින් ප්‍රමාද වී ඇති බව පෙනී ගියේය.

මෙම දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වූ කි.මි. 48 ක ප්‍රමාණය ඉදිකිරීම් කටයුතු අවසන් කළ යුතු වූයේ 2016 වසරේදීය.

එහෙත් මෙම ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සඳහා එම සමාගමෙන් කිසිදු වන්දි මුදලක් හෝ ප්‍රමාද ගාස්තුවක් අයකර ගැනීමට නීත්‍යානූකූල අයිතියක් නොමැති වී ඇත්තේ මේ සම්බන්ධව ඇති ගිවිසුමේ එවන් වගන්ති අඩංගු නොවීම හේතුවෙන් බව අනාවරණය විය.

එහෙත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් යම් ප්‍රමාදයක් හෝ අතපසුවීමක් සිදුවී නම් අනිවාර්යයෙන්ම එම සමාගමට අප විසින් ගාස්තු ගෙවියයුතු වන බවද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටියේය.

එම කරුණු සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය බළධාරීන්ට ප්‍රකාශ කර සිටියේ, ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට ගිවිසුම් සකස් කිරීමේදී මෙවැනි ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ඒ අදාළ ඉදිකිරීම් භාරව කටයුතු කරන සමාගම හෝ ඒ පාර්ශවය ශ්‍රී ලංකා රජයට අනිවාර්යයෙන්ම ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු බවට වගන්ති ඇතුළත් කළ යුතු බවයි.

කි.මී. 115 ක දිගින් යුතු මාතර – කතරගම දුම්රිය මාර්ගය අදියර 03 කින් නිම කිරීමට නියමිත වන අතර, කිලෝමීටර 26.75 ක් දුර මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම් අවසන් කොට ජනතා අයිතියටද පත් කර ඇත.

ඒ සඳහා වැයවූ මුදල ඇ.ඩො. මිලියන 278.2 කි. දෙවන අදියර ලෙස කි.මි. 48 ක් දුරැති ඛෙලිඅත්ත සිට හම්බන්තොට දුම්රිය මාර්ගයද, තෙවන අදියර ලෙස කි.මි.39 ක් දුර හම්බන්තොට සිට කතරගම දක්වා මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට නියමිතව ඇත.

මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම මගින් ලැබෙන සමාජයීය හා ආර්ථීක වාසි රැසක් එම ප්‍රදේශයේ ජනතාවට අත්වන බවත් දිවයිනේ දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇතිවන වර්ධනය තුළින් කොළඹ-ගාල්ල-මාතර වැනි නාගරික ප්‍රදේශ සමග සම්බන්ධවීමේ හැකියාව හම්බන්තොට-මොනරාගල වැනි ප්‍රදේශවල ජනතාවට අත්වන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

හම්බන්තොට වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල, හම්බන්තොට තෙල් පිරිපහදු මධ්‍යස්ථානය, ජාත්‍යන්තර කන්ටේනර් බහාලූම් මධ්‍යස්ථානය, මිරිජ්ජවිල කර්මාන්ත නගරය, හම්බන්තොට පරිපාලන සංකීර්ණයට දුම්රිය ප්‍රවාහන පහසුකම් සැපයිම තුළින් ප්‍රදේශයේ ආර්ථීක සංවර්ධන ක්‍රියාවලියේ කේන්ද්‍රීය ප්‍රවාහන ජාලය බවට දුම්රිය ප්‍රවාහනය පත්වීමද අපේක්ෂා කළ හැකි බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව දැනට මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැඛෙන පැමිණිලි සහ ජනමාධ්‍ය ඔස්සේ පලවන පුවත් සහ මේ පිළිබඳව විද්වතුන් ඉදිරිපත් කරන විදේශීය සමාගමේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සෑහිමකට පත්විය නොහැකි බවත්, මේ වන විට ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතින මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර පිළිබඳව තාක්ෂණික විමර්ශනයක් සිදුකර තමන් වෙත කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දෙන ලදී ෴

***************************************

From : YouTube – Udaya Gammanpila

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *