උසස්පෙළ සමතුන් ඉක්මණින් සරසවිවලට ඇතුළත් කරගන්න – ජනාධිපති

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• උසස්පෙළ සමතුන් ඉක්මණින් සරසවිවලට ඇතුළත් කරගන්න – ජනාධිපති

• ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප ලක්ෂ 20 සිට ලක්ෂ 2.5 ට අඩු වෙයි

• රිෂාඩ් පව් සෝදා ගැනීමේ උත්සාහයක…තමන්ට එරෙහි චෝදනා ගැන හොයන්න කොමිසක් ඉල්ලයි

• කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මහා සංඝරත්නයේ විරෝධය

• පූජ්‍ය ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩු : හිටපු ජනාධිපති මෛත්‍රීත් වගඋත්තර කරුවෙක් කරන්න නියෝග (විඩියෝ)

• මෙරට තරුණ තරුණියන්ගේ ඒකරාශී වීම ජාති ද්‍රෝහීන්ට මනා පාඩමක් – පූජ්‍ය පරදූවේ ජිනරතන හිමි (විඩියෝ)

• පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගෙන් චෝදනාවක් (විඩියෝ)

• බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික වාර්තාව රටට ඉදිරිපත් කරන බව ඇමති විමල් කියයි (විඩියෝ)

• වැලිකන්දේ ගංවතුරට සිරවී සිටි 7 දෙනෙකු මුදා ගැනේ (විඩියෝ)

• අලුත් පරිසර ඇමැති ඉවත් කරනු..! වැලි ප්‍රවාහනයට බලපත්‍ර අහෝසි කළ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගනු..! – ආණ්ඩුවට එරෙහි පළමු ගල පාහියංගල ආනන්ද සාගර හිමිගෙන්

• ජනපති ඝාතනයට කුමන්ත්‍රණය කළ සැකකරු ගැන තවත් තොරතුරු හෙළි වෙයි

• කිලිනොච්චියට තද වැසි : සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හමුදාව මැදිහත් වෙයි (සේයාරූ)

• ගුරුකන්දේ සිද්ධිය ගැන මානව හිමිකම් නිලධාරිට මරණීය තර්ජන

+++++++++++++++++++++++++++++++++++

උසස්පෙළ සමතුන් ඉක්මණින් සරසවිවලට ඇතුළත් කරගන්න – ජනාධිපති

(05.12.2019 – 18:41 +0530 – lankadeepa.lk)

පසුගිය වසරේ උසස්පෙළ විභාගය සමත් වූ සිසුන් හැකි ඉක්මණින් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (05) පැවැසීය.

එමෙන්ම මෙම වසරේ උසස් පෙළ විභාග ප‍්‍රථිඵල නිකුත්වී කෙටි කාලයක් ඇතුළතදී එම සිසුන්ද විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

උසස් පෙළ විභාගය සමත්වන සෑම දරුවකුම විශ්ව විද්‍යාල වරම් හිමිකර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ලබාදිය යුතු බව කී ජනාධිපතිවරයා කෙටිකාලීන වශයෙන් රටට අවශ්‍ය ශ‍්‍රම බලකාය බිහිකර ගැනීමට විශ්ව විද්‍යාල පද්ධතිය තුළම ඩිප්ලෝමා පාඨමාලා ඇති කළ යුතු බවද සඳහන් කළේය.

තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ප‍්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ උන්නතිය සඳහා වූ ක‍්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තාක්‍ෂණය මූලික කරගත් ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක‍්‍රමවේදයකට කඩිනමින් ගමන් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (05) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමවේදයෙන් මිදීය යුතු බව පෙන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටේ අවශ්‍යතාවයට මෙන්ම අන්තර් ජාතික මට්ටමේ විෂය නිර්දේශ හා විෂය මාලාවන් සැකසී ඇති ආකාරය පිළිබඳව එහිදී දැඩිව අවධානය යොමු කළයුතු බවද කීය.

එහිදී රටේ අවශ්‍යතාවය සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවස්ථාව විශ්වවිද්‍යාල වෙත ලබාදීම කාලය එළැඹ තිබෙන බව කී ජනාධිපතිවරයා ඒ සඳහා විශ්ව විද්‍යාල දිරිමත් කළ යුතු බවත් බොරු න්‍යායන්ගෙන් ඉවත්ව අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය නගා සිටුවිය යුතු බවද සඳහන් කළේය.

එමෙන්ම රැකියා වෙළඳපෙළ ඉලක්ක කරගනිමින් ගුරු විද්‍යාපීඨ, හෝටල් පාසල් ආරම්භ කිරීමට ක‍්‍රියා කළ යුතු බව කී ජනාධිපතිවරයා ගාල්ල, මාතර, හම්බන්තොට මෙන්ම සෑම දිස්ත‍්‍රික්කයක්ම ආවරණය වන පරිදි විශ්ව විද්‍යාල ආරම්භ කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

උස්ස අධ්‍යාපනය සදහා විදේශගතවන දරුවන්ට අධ්‍යාපන කටයුතු තම රට තුළම කරගෙන යෑමට අවස්ථාව සළසා දිය යුතු බව කී ජනාධිපතිවරයා විද්‍යා හා ගණිත අංශයන්ගෙන් වැඩි දරු පිරිසක් රටට දායාද කළ යුතු බවත් කලා අංශයෙන් අධ්‍යාපනය ලබන සිසුන් කෙටිකලකින් තොරතුරු තාක්‍ෂණ දැනුම සමඟ මුසුකර ආර්ථික ක‍්‍රියාවලියට එක්කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්හ.

එමෙන්ම මඩකළපුව විශ්ව විද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මනින් ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගතයුතු බව කී ජනාධිපතිවරයා ගුරු හිඟය පියවීමටත් වසරක් ඇතුළතදී අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් සැකසිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය.

***************************************

ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප ලක්ෂ 20 සිට ලක්ෂ 2.5 ට අඩු වෙයි

(06.12.2019 – 00:32 +0530 – lankaleadnews.com)

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර සඳහා ගෙවන වැටුප රුපියල් ලක්ෂ 2.5 දක්වා අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. දැනට ටෙලිකොම් සභාපතිවරයාට ගෙවන වැටුපට අනුව එය දැවැන්ත වැටුප් සංශෝධනයකි.

ජනාධිපතිවරණයෙන් පසුව නව රජය බලයට පත්වීමත් සමග රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපතිවරුන් ඉවත් කළද තවමත් ශ්‍රී ලංකා ටෙලි‍කොම් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතාය.

ඔහුගේ වත්මන් වැටුප රුපියල් ලක්ෂ 20 ක් හෙවත් මිලියන 02 කි. කෙසේ වෙතත් ඔහු මේ වනවිට රුපියල් මිලියන 20 කට අධික මුදලක් වැටුප් හා දීමනා ‍ලෙස ටෙලිකොම් ආයතනයෙන් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ. ඒ ටෙලිකොම් ආයතනයට අනුබද්ධ මොබිටෙල් සමාගම ඇතුළු ආයතනවලින් ලබා ගන්නා දීමනා ද ඇතුළුවයි.

කුමාරසිංහ සිරිසේන මහතාගේ සභාපති තනතුර ආරක්ෂා කරදෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අප මීට පෙර ද වාර්තා කළේය.

කෙසේ වෙතත් ටෙලිකොම් ආයතනය සඳහා සුදුසුකම් හා පළපුරුද්ද සහිත පුද්ගලයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා මේ වනවිටත් තීරණය කර ඇති අතර ඒ පිළිබඳව සොය බලන්නැයි රාජ්‍ය ආයතන ප්‍රධානීන් තෝරා ගැනීම සඳහා පත්කළ කමිටුව ද දැනුවත් කර තිබේ ෴

***************************************

රිෂාඩ් පව් සෝදා ගැනීමේ උත්සාහයක…තමන්ට එරෙහි චෝදනා ගැන හොයන්න කොමිසක් ඉල්ලයි

(06.12.2019 – 00:09 +0530 – lankaleadnews.com)

පාස්කු ප්‍රහාරය හා විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙළිකිරීමට එරෙහිව තමාට එල්ල වන චෝදනා ගැන ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (05) ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇත.

විල්පත්අතු ජාතික වනෝද්‍යානය හෙලිකර නිවාස ඉදිකිරීම හා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට තමා සම්බන්ධ බවට නැගෙන චෝදනා පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හා පොලිසිය සිදුකළ විමර්ශනවලින් තමා නිර්දෝෂී පුද්ගලයෙකු බව තහවුරු වී තිබෙන බවද රිෂාඩ් බදියුඩීන් මහතා අවධාරණය කර සිටීයි.

එම ලිපියේ මෙසේද සඳහන් කර ඇත :

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිධූරයට පත්වීම පිළිබඳව ඔබතුමාට ප්‍රථමයෙන් මාගේ හා මා නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාක්ෂිකයන්ගේ හෘදයාංගම සුභපැතුම් එක්කරමි.

රටේ පිළිගත් දේශපාලනික පක්ෂයක් නියෝජනය කරන නායකයෙකු වන මා ඉලක්ක කරගනිමින් මා විසින් නොකරන ලද ක්‍රියා සම්බන්ධයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට හා ජාතිවාදය ඇවිලවීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව මා ඉමහත් කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි.

පසුගිය රජයේ අමාත්‍යධූරය හොබවමින් සිටියදීම මා ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල කිරීමට මෙම පිරිස් කටයුතු කළ අතර එම චෝදනා අතරින් විල්පත්තු රක්ෂිතය හෙලිකර මුස්ලිම් ජනයා පදිංචි කරවීම හා සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වීම යනාදිය මූලික වේ.

එම චෝදනා වචනයට පමණක් සීමා වී කිසිදු සත්‍යතාවයකින් හෝ වලංගු භාවයකින් තොර හුදෙක් පටු වාසි ලබාගැනීමේ අරමුණින් කළ චෝදනාවන් බව ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.

තවද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මා සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සදහාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවමගින් විමර්ෂණය කළ අතර පොලිසිය මගින් කළ පරීක්ෂණ හමුවේද මා නිර්දෝශී බව පවසමින් එවකට සිටි වැඩබලන පොලිස්පතිවරයා විසින් කතානායකවරයා වෙත වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදි.

එහෙත් මේ පිරිස් විසින් මෙම මාතෘකාවන් නැවත නැවතත් වැරදි ආකාරයකට කරළියට ගෙනවිත් මේ සිදුකරමින් පවතින මඩ ව්‍යාපාරයෙන් අපහසුතාවයට පත්වන්නේ මාගේ අසරණ සමාජය බව දැන්වීමට කැමැත්තෙමි.

එකාමෙන් සමගියෙන් ජීවත්වන අපගේ මේ මාතෘ භූමියේ ආගම්, ජාති, කුල, බේද ඇති කර රට අස්ථාවර කිරීමේ උත්සාහයක මේ පිරිස යෙදෙන බවද ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.

තවද විල්පත්තු රක්ෂිතය තුළ රජයේ ඉඩම් කිසිවක් මාගේ බලය අයථා ලෙස භාවිතා කරමින් විනාශ කර නොමැති බව ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි.

1990 වසරේ උතුරු ප්‍රදේශයෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව හට 2009 වසරෙන් පසුව තම ගම්බිම් වල නැවත පදිංචි වීමේ අවස්ථාව උදාවූ අතර මෙම අවස්ථාව උදාකර දීම සඳහා ඔබතුමා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ලබාදුන් සහයෝගය මා ඉතාමත් කෘතඥපූර්වකව මතක් කිරීමට කැමැත්තෙමි.

වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ අත්හැර දමා තිබූ මෙම ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්විය. එබැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලදි. නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හදුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සඳහා කටයුතු කරන ලදි.

මෙම විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් විවිධ වූ සාකච්ඡා හා රැස්වීම් සමාලෝචන ආදිය පවත්වා මෙහි සත්‍ය අවබෝධ කළ අතර පරිසරවේදීන් විසින්ද එය පිළිගන්නා ලදි.

කරණු මෙසේ තිබියදීත් දිගින් දිගටම මෙම සිද්ධිය පිළිබදවඅසත්‍ය චෝදනා ඉදිරිපත් වෙමින් පවතින බැවින් එම චෝදනා වල සත්‍යතාවය රටට හෙලිකිරීම සදහාත් අප රටේ වටිනා ස්වභාවික සම්පතක් වු විල්පත්තු වනෝද්‍යානයට යම් හෙයකින් හෝ හානියක් වී ඇත්නම් ඒ සදහා වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා බැලීම සදහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කර ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින මුලු මහත් ජනතාවම ශෝකයට පත්කරමින් සිදු වු ඒ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමඟ මා සම්බන්ධ යැයි පවසමින් කරන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ පවත්වා මා නිවැරදි බවට තහවුරු වී ඇතත් අවශ්‍යනම් නැවත ජනාධිපති කොමිසමක් පත්කර එම ප්‍රහාරය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කරන මෙන්ද ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි.”

***************************************

කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මහා සංඝරත්නයේ විරෝධය

(05.12.2019 – 22:21 +0530 – lankaleadnews.com)

එංගලන්තයේ , කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඇතුළත් කරුණු දැඩි ලෙස හෙළාදකින බව මහාසංඝරත්නය පවසයි.

මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පැසුවේ එංගලන්තයේ පැරණිතම දේශපාලන පක්සය ලෙස කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව රාජ්‍යයන් දෙකක් ලෙස නම් කර තිබීම දැඩි ලෙස හෙළාදකින බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ සියළුම ජන කොටස් ඉතාම සාමකාමී සෙල ජීවත් වන බවත් එම නිසා එය හෙළා දකින බවත් උන්වහනසේ පැවසූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පැවුසුවේ ශ්‍රී ලංකාව ස්වෛරී මෙන්ම ස්වාධීන රාජ්‍යයක් බවයි.

තවදුරටත් එංගලන්තයේ යටත් විජිතයක් නොවන බව ඔවුන් සිහිතබා ගත යුතු බවද උන්වහන්සේ පැහැදිලි කළේය.

විවිධ රාජ්‍ය නොව සංවිධාන සහ ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන පිරිසගේ ඇතැම් ක්‍රියාවන් නිසා තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දීමට සිදු වු බව සිහිපත් කළ ඒ උන්වහන්සේ පැවසුවේ එම නිසා විවිධ ව්‍යවසන වලට මුහුණ දීමට සිදු වු බවයි.

වර්තමානයේ සිදු වු දේශපාලන පෙරළියත් සමඟ රටට එරෙහි පිරිස කම්පාවට පත් වු බවත් වත්මත් රජය සමඟ ඔවුගේ සිතැඟි ඉටු කර ගැනීමට නොහැකි වන බව දන්නා බැවින් මෙවැනි කරුණු ඉදිරිපත් කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළේය ෴

***************************************

පූජ්‍ය ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩු : හිටපු ජනාධිපති මෛත්‍රීත් වගඋත්තර කරුවෙක් කරන්න නියෝග

(05.12.2019 – colombotoday.com)

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා කරුවන් වන පාක්‍යශෝක්ති සරනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කෙරූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (05) සලකා බැලූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම නඩුවේ පාර්ශවකරුවෙකු කිරීමට පෙත්සම්කාර පාර්ශවය සිදුකල ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

අද (05) මෙම නඩුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්. ටී. ඩී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හමුවේ කඳවු අවස්ථාවේදී අදාළ නියෝගය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව යලි කැඳවීම සඳහා 2020 මාර්තු 02 දක්වා කල්තැබීමට නියෝග කරන ලදි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් ජේෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින ලදි.

නඩුව අවසන් වීමෙන් පසු ඥානසාර හිමි මාධ්‍යයට දැක්වූ අදහස් :

***************************************

මෙරට තරුණ තරුණියන්ගේ ඒකරාශී වීම ජාති ද්‍රෝහීන්ට මනා පාඩමක් – පූජ්‍ය පරදූවේ ජිනරතන හිමි

(05.12.2019 – 22:32 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ මෙරට තරුණ තරුණියන්ගේ ඒකරාශී වීම ජාති ද්‍රෝහීන්ට මනා පාඩමක් බව රුහුණු රට භික්ෂු පෙරමුණේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය පරදූවේ ජිනරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මාතරදී අද (05) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගෙන් චෝදනාවක්

(05.12.2019 – 20:06 +0530 – hirunews.lk/sinhala)

සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් වූ විමර්ශන නිසිපරිදි සිදුනොකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ්‍ය ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා.

පුලතිසිපුර ඒකාබද්ධ භික්ෂු පෙරමුණ සංවිධානය කර තිබූ ආගමික වැඩසටහනක් දියසෙන්පුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී අද (05) පැවැත්වුණා.

***************************************

බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික වාර්තාව රටට ඉදිරිපත් කරන බව ඇමති විමල් කියයි

(05.12.2019 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 3 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වීමෙන් අනතුරුව මහා බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික වාර්තාව රටට ඉදිරිපත් කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

මීගමුව අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

***************************************

වැලිකන්දේ ගංවතුරට සිරවී සිටි 7 දෙනෙකු මුදා ගැනේ

(05.12.2019 – 15:25 +0530 – hirunews.lk/sinhala)

පොලොන්නරුව – වැලිකන්ද – මාදුරුඔය – කුඩා ඔය ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි පුද්ගලයින් 7 දෙනෙකු පමණ පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව මුදා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් අද (05) උදෑසන ගොවිතැන් කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදී මාදුරුඔය අමුණ පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් කොටුවී සිටි බවයි.

කෙසේ වෙතත්, පැය 8 ක පමණ මෙහෙයුමකින් පසු ඔවුන් 7 දෙනා මුදා ගැනීමට හැකිවූ බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, අධික වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැව් රැසක ජල මට්ටම් මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

නාච්චදූව වැවේ ජල මට්ටම අද දහවල් වනවිට අඩි 25 ඉක්මවා යාම හේතුවෙන් හදිසි වාන්දොරටු හයම විවෘත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මීට අමතරව, රාජාංගන ජලාශයේ ද ජල මට්ටම අඩි 33 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ජලාශයේ ද වාන්දොරටු 30 න් 16 ක් විවෘත කර ඇති බවයි රාජාංගනය වාරිමාර්ග කාර්යාලය ප්‍රකාශ කළේ.

***************************************

අලුත් පරිසර ඇමැති ඉවත් කරනු..! වැලි ප්‍රවාහනයට බලපත්‍ර අහෝසි කළ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගනු..! – ආණ්ඩුවට එරෙහි පළමු ගල පාහියංගල ආනන්ද සාගර හිමිගෙන්

(06.12.2019 – 07:57 +0530 – lankaleadnews.com)

නව පරිසර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

වත්මන් පරිසර ඇමැති පිළිබඳව ඉතිහාසයේ සිටම ඇත්තේ කලකිරුණු ප්‍රතිරූපයක් බැවින් පරිසර විෂය කෙරෙහි ඇල්මක් ඇති, එය විනාශ නොකරන පුද්ගලයකුට පරිසර ඇමැති ධුරය ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ. උන්වහන්සේ මේ පිළිබඳව පවසා සිටියේ රාජගිරිය ජයශේඛරාරාම විහාරස්ථානයේ ඊයේ (5 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

“අපිම තමයි ගෝඨාභය රාජපක්ෂ වටා ජන බලවේගයක් ගොඩනගලා මේ රටට අලුත් නායකයෙක් අවශ්‍යයි කියලා ඔහුව ගෙනාවේ. ඔහු ජනාධිපති වුණාට පස්සේ අපිට බණක් භාවනාවක් කරගෙන පාඩුවේ පන්සකට වෙලා ඉන්න පුළුවන් වෙයි කියලයි අපි හිතුවේ. ජනාධිපතිතුමා පත්වෙලා සතියයි. නිසසලව රට තිබුණේ. හොරු පත් කළා ඇමැති මණ්ඩලයට. කැබිනට් පත්‍රිකාවක් දැම්මා වැලි ප්‍රවාහනය කරන්න බලපත්‍ර අවශ්‍ය නෑ කියලා. මේ රටේ පරිසරය දවසෙන් දවස විනාශ වෙලා යනවා. රටේ ඉන්න ඇමැතිලාට ඕන විදියට තමයි හැමදේම තීරණය වෙන්නේ.

ගිය වසර පහ සියයට අසූ දෙකක් ගල්-වැලි ප්‍රවාහනයේදී පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් රජයෙන් කරලා තියෙන්නේ නීත්‍යනුකූල නොවන වැඩකට නීත්‍යනුකූල තත්ත්වයක් දීලා රාජ්‍ය මට්ටමින්ම වැලි ප්‍රවාහනය කරන්න අනුමැතිය ලබා දීපු එක. පැහැදිලිව හොර ජාවාරම්කාරයන්ගේ මනදොළ පිනවන්න තමයි මේ ක්‍රියාමාර්ගය ගත්තේ කියලා අපි හොඳාකාරවම දන්නවා.

වලපනේදී සිදුවුණු සිද්ධිය ගැන කතා කරනවා. ඒ නාය යාමෙන් මියගියේ අහිංසක පුද්ගලයන්. මම කියන්නේ නම් මියගියා කියලා නෙමෙයි මැරුවා කියලා. බලධාරීනුයි ඒ අහිංසකයෝ මරණයට පත්කෙරුවේ. මියගිය අයගේ නිවස ළඟම තියෙනවා මීටර් 100 ක් විතර එහාට වෙන්න ගල් වළක්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ඇවිල්ලා ඒ මිනිස්සුන්ගේ ගෙවල්වලට කියනවා අයින් වෙන්න, මේ ස්ථාන අනතුරුදායකයි කියලා. නමුත් ගල් කඩන්න අවසර දීලා තියෙනවා.

ලංකාවේ තියෙන ගල් වළවල් නිසා තමයි උග්‍ර ජල හිඟයක් මේ වෙනකොට​ ලංකාවේ ඇතිවෙලා තියෙන්නේ. මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට අයිති ගල් වළවල් තමයි රට වටේම තියෙන්නේ. පරිසරයට හානියක් වෙන එක හෝ මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙන එක ඔවුන්ට අදාළ නෑ. ඒ නිසා ඔවුන්ට අදාළ තමන්ගේ මඩිය තරකර ගන්න එක විතරයි. පැහැදිලිවම එදා සිදුවුණු මරණවලට වගකියන්න ඕනේ ඒ බලධාරියෝ සහ මේ රටේ පාලකයෝ.

පරිසරය ගැන, රට ගැන ඒ කාලේ කතා කරපු උදය ගම්මන්පිලලා දැන් පේන්නවත් නෑ. මම අභියෝගයක් කරනවා පුළුවන් නම් කොන්ද කෙළින් තියන් මාධ්‍යයට ඇවිත් කතා කරන්න මේ සිදුවන විනාශය පිළිබඳව. ඔවුන්ට ඇත්තටම කතා කරන්න බෑ. මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තු මේ ආණ්ඩුව පිළිබඳව දීලා දැන් ඔහු හැංගිලා ඉන්නවා.

වහාම මේ රට විනාශ කරන මේ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් ඉවත් කරගන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය ඇතුළත මේ විනාශකාරී කැබිනට් පත්‍රිකාව ඉවත් කරගනී කියලා. කරුණාකරලා අපිට නීතිය ඉස්සරහට යන්න, පාරේ උද්ඝෝෂණ කරන්න, සත්‍යග්‍රහ කරන තැනට අපිව පත් කරන්න එපා. රට ගැන හිතලා මේ පත්‍රිකාව අහෝසි කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.”

***************************************

ජනපති ඝාතනයට කුමන්ත්‍රණය කළ සැකකරු ගැන තවත් තොරතුරු හෙළි වෙයි

(06.12.2019 – nethnews.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සමීපතමයන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළේ යැයි අත්අඩංගුවට ගැනුණු සැකකරු පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා. හකීම් මොහම්මදු රිෆ්කාන් නැමැති මෙම සැකකරු වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි හෙළි වී ඇත්තේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සමීපතමයෙකු ඝාතනය කළහොත් විදෙස් රටක සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ හැකි බව මෙම සැකකරු තවත් දෙමළ ජාතිකයින් තුන්දෙනෙකුට පවසා ඇතැයි හෙළි වුණා. අදාළ දෙමළ ජාතිකයින් සීදුව අමන්දොලුව ජයවර්ධනපුර ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින්නන් බවයි වැඩිදුරටත් හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරු ද සීදුව අමන්දොලුව ජයවර්ධනපුර ප්‍රදේශයේම තාවකාලිකව නවාතැන් ගෙන සිට තිබෙනවා. මෙම සැකකරු තාවකාලිකව නවාතැන් ගෙන සිටි නිවාස සඳහා මුදල් ගෙවා ඇත්තේ සිය බැංකු ගිණුමට පිටස්තර පුද්ගලයින්ගෙන් ලැබෙන මුදල්වලින්.

හකීම් මොහම්මදු රිෆ්කාන් නැමැති මෙම සැකකරු ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ තමන් එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සමීපතමයෙකු බවයි. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ද සැකකරු, අදාළ මන්ත්‍රීවරයාට ඇමතුමක් ලබාගනිමින් සිට ඇතිබව පොලිසිය හමුවේ ප්‍රකාශයක් කර තිබෙන බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මෙම සැකකරු සන්තකයේ තිබී සිම්පත් 11 ක්ද සොයාගත් අතර ඔහු විසින් පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුම් 04 ක් පිළිබඳව ද තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. ඔහු වසර 02 ක් සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි අයෙකු බවද සඳහන්. ඒ අනුව අයි එස් සංවිධානය සමගද ඔහු සබඳතා පවත්වා තිබේදැයි විමර්ශණ සිදුවනවා.

හකීම් මොහම්මදු රිෆ්කාන් නැමැති මෙම සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරන බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ. ඔහුගෙන් එලෙස මාස 03 ක් රඳවා ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණ අවසරද හිමි වුණා.

මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනේ කටුනායක පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච් ජී ඩබ්ලිව් ඉන්දික කුමාරට ලැබුණු තොරතුරකට අනුවයි ෴

***************************************

කිලිනොච්චියට තද වැසි : සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හමුදාව මැදිහත් වෙයි

(06.12.2019 – nethnews.lk)

අධික වර්ෂාව නිසා කිළිනොච්චිය, ආනන්දපුරම් ඇතුළු ගම්මාන කීපයක කොටු වී සිටි පුද්ගලයින් 168 දෙනෙකු යුද හමුදාව විසින් අද (06) උදෑසන බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ඒමට සමත්ව තිබෙනවා.

කිළිනොච්චිය ආරක්ෂක සේනාංක ආඥාපතිවරයාගේ උපදෙස් මත හමුදා භට පිරිස් ගම්වල කොටුවී සිටි ගම්වැසියන් බේරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබුණා.

මේ අතර කිලිනොච්චිය, ධර්මපුරම් මහ විද්‍යාලයේ සහ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ සකස් කර ඇති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානය ජලයෙන් යටවී තිබෙනවා.

යුධ හමුදා නිලධාරීන් පැවසුවේ වැසි ජලයෙන් යටවූ පහළ විභාග මධ්‍යස්ථානයේ මේස සහ පුටු ඉහළ මාලයට වෙත ගෙන ගොස් විභාගය කරගෙන යාමට හැකි පරිදි කටයුතු සකස් කරනු ලැබූ බවයි.

විභාගයට පෙනී සිටින දරුවන් යුධ හමුදා භට පිරිස් ට්‍රැක්ටර් රථ සහ බෝට්ටු යොදා ගනිමින් විභාග ශාලාව වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී ඇති අතර හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් දරුවන්ගේ ආරක්ෂාව සඳහා යුධ හමුදා නිලධාරීන් ස්ථානගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

– මාධව කුලසුරිය / දිනසේන රතුගමගේ

+++++++++++++++++++++

+++++++++++++++++++++

Kilinochchi Troops Carry Flood-Affected O/L Candidates in Time

(06.12.2019 11:09 +0530 – army.lk)

A massive operation to facilitate the GCE O/L candidates in Kilinochchi who have been worst-affected by Thursday (5) evening’s torrential rains was undertaken by 7 Sri Lanka Light Infantry troops and 6 Sri Lanka Sinha Regiment troops of the Security Forces Kilinochchi this morning (6) before the examination began.

Troops using their tractors and boats swiftly jump into action and collected more than 150 marooned students in an around Kilinochchi and took them to the examination centres Dharmapuram Maha Vidyalaya and Hindu college in Kilinochchi before the scheduled commencement of the examination.

At the same time, those troops assisted school authorities to remove furniture on ground floors of both schools which were also under water.

Major General Vijitha Ravipriya, Commander, Security Forces – Kilinochchi, and General Officer Commanding, 57 Division, together with under command establishments coordinated the entire emergency need.

***************************************

ගුරුකන්දේ සිද්ධිය ගැන මානව හිමිකම් නිලධාරිට මරණීය තර්ජන

(06.12.2019 – 10:56 +0530 – lankaleadnews.com)

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියා දිස්ත‍්‍රික් විමර්ශන නිලධාරි රෝහිත ප‍්‍රියදර්ශන මහතාට මරණීය තර්ජන සහිතව ලිපියක් ලැබී ඇති බවට ඒ මහතා ඊයේ (05 දා) වවුනියාව පොලිසියට පැමිණිලි කොට තිබේ.

තැපැල් මගින් එවා ඇති එම ලිපියේ සඳහන් කොට ඇත්තේ මුලතිව් ගුරුකන්ද නීරාවි අඩි පිල්ලයාර් කෝවිලේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විශාල පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අවස්ථාවේදී ඒ වෙනුවෙන් රෝහිත ප‍්‍රියදර්ශන මහතා කිසිවක් නොකළ බවයි.

පිල්ලයාර් කෝවිලේ අයිතිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙස මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව ඒ ගැන සොයා නොබලා ගුරුකන්ද විහාරයේ භික්‍ෂූන් වහන්සේට එහි වැඩ සිටීමට ඉඩ ලබා දුන් බවත් ඒ නිසා ප‍්‍රශ්න රාශියක් සිදුවූ බවත් ලිපිය මගින් දැනුම් දී ඇති අතර එහිදී සාධාරණය ඉටුනොකිරීම නිසා පරෙස්සම් වන ලෙසට රෝහිත පි‍්‍රයදර්ශන මහතාට තර්ජනය කොට ඇත.

රෝහිත පි‍්‍රයදර්ශන මහතා පොලිසියට පවසා ඇත්තේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා වාර්තාවන් අදාළ බලධාරීන් වෙත යොමුකොට ඇති බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දේපළ / ඉඩම් පැමිණිල්ලක් කිරීම මත අදාළ පාර්ශ්වයකට පවරා දීමට හැකියාවක් මානව හිමිකම් කොමිසමට නොමැති බවද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කොට තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *