රාජිතගේ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන CIDයට දෙන්න

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රාජිතගේ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන CIDයට දෙන්න

• අපේ ළමා වියේ යෝධයා ඇස්. ඒ. දිසානායක

• පාදයේ තුවාලයකට රෝහලට ගිය කතට පියයුරු පිළිකාවට දෙන බෙහෙත් එන්නත් කරයි; අසාධ්‍ය වූ කත මියයයි

• රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය පළමුවරට යුද හමුදා නිලධාරියෙකු අතට

• ජනතාවට වග නොකියන උගත් බුද්ධිමත් මන්ත්‍රීවරු මොකටද? – ආචාර්ය සරත් වීරසේකර (05.12.2019) (විඩියෝ)

• ගම්මිරිස්, කරුංකා සහ කුරුඳු ඇතුළු කුළු බඩු රැසක ආනයන තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක් (විඩියෝ)

• විදුලිබල ඇමති අමරවීර කොමිස්කාරයන්ට වැට බඳියි

• නොමිනිසුන් අතින් අහිමි වු මව් සෙනෙහස හොයන අලි පැටියෙක් (විඩියෝ)

• බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට පවුම් 2400 ක දඩයක්

• පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන්ගෙන් රහසිගත ප්‍රකාශයක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

රාජිතගේ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන CIDයට දෙන්න

(06.12.2019 – mawbima.lk)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියක පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පසුගිය 02 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා සියලු සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන මෙන් සියලු මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (05 දා) නියෝග කළාය.

ඊයේ (05) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මඟින් මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවා තිබිණි.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනිය පැහැර ගැනීමකට ලක්වූ බව කියන සිද්ධිය පිළිබඳව මේ වනවිට විමර්ශන සිදුකරන බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔහු විසින් මේ පැහැරගෙන යෑමේ සිද්ධිය හා එම පැහැර ගැනීමට ලක් වූ කාන්තාවගේ වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමක් සිදුකරගෙන ඇති බවට පෙනී යන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙතෙක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර කාන්තාව වන ‘ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්’ (Ganiyer Bannister Francis) යන අය විසින් ප්‍රකාශයක් ලබා දී නොමැති අවස්ථාවක, පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා මඟින් මෙම කාන්තාවට සිදුවූ දේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ඉහත සඳහන් මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන අවශ්‍ය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහෙස්ත්‍රාත්වරිය මේ පිළිබඳව වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා සිටියාය.

මහෙස්ත්‍රාත්වරිය: එම සාකච්ඡාවේදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කරන්නේ කුමක්ද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: “එම පැහැර ගැනීමට ලක් වූ කාන්තාව පැහැදිලි ලෙසම බයවෙලා ඉන්නේ, මේ සිද්ධිය සම්බන්ධයෙන්” යනුවෙන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර තිබෙනවා ස්වාමිනී.

මහෙස්ත්‍රාත්වරිය: මේ පිළිබඳව කෙළින්ම ගොස් මන්ත්‍රිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තෙ නැත්තේ ඇයි?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: අපට මුලින්ම එම මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන විමර්ශනය කිරීමට අවශ්‍ය වෙනවා ස්වාමිනී. එම විමර්ශනයෙන් පසුව අප එම මන්ත්‍රිවරයා ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.

මහෙස්ත්‍රාත්වරිය: එම කාන්තාවට ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා අදාළ නොතීසි බාර දුන්නාද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අපි එම ලිපි භාර දුන්නා ස්වාමිනී.

මහෙස්ත්‍රාත්වරිය: දැනට මෙම තැනැත්තිය සිටින ස්ථානය පිළිබඳව කරුණු අනාවරණය වී තිබෙනවාද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: නැත ස්වාමිනී.

මහෙස්ත්‍රාත්වරිය: ඔබලා ඇයගේ පදිංචි නිවෙසට ගොස් බැලුවාද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: ඔව් ස්වාමිනී. අප ඇයගේ නිවෙසට ගොස් බැලුවා. නිවෙස වසා තිබුණා.

මහෙස්ත්‍රාත්වරිය: කවුරුත් නිවෙසේ හිටියාද? කවුද පැවැසුවේ ඔවුන් නිවෙසේ නෑ කියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: එම නිවාස සංකීර්ණයේ මුරකරු සිටියා. ඔහු පැවැසුවා පසුගිය 27 වැනිදායින් පසුව නිවෙසේ සිටි අය ගියා කියා.

ඔවුන් රට යනවා කියා ගියේ කියා මුරකරු පැවැසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා මේ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළාය.

පසුගිය 25 වැනිදා ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියක් පැහැරගෙන ගොස් ලිංගික අතවර කර පහරදී නිශාන්ත සිල්වා නමැති අයකුට වීසා ලබා දීම පිළිබඳව ප්‍රශ්න කර පැය කිහිපයක් රඳවා තබාගෙන මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය නොවැම්බර් මස 27 වැනිදා පැමිණිල්ලක් ලැබී තිබිණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබිණි.

මෙම පැහැරගැනීමට ලක් වූ බව කියන කාන්තාව එදින සිය දරුවාගේ පාසල වෙත යන අතරතුර මෙම පැහැර ගැනීමට ලක් වී ඇති බව එම පැමිණිල්ලේ සටහන් වී තිබිණි.

– හංසි නානායක්කාර

***************************************

අපේ ළමා වියේ යෝධයා ඇස්. ඒ. දිසානායක

(06.12.2019 – mawbima.lk)

දරුවන් චිත්‍රකතාව ඇසුරු කරනවාට බොහෝ ගුරු-දෙගුරුන් එකළ නොමනාප වුවද එස්. ඒ. දිසානායකයන්ගේ චිත්‍රකතාව ඇසුරු කරන දරුවන්ට වැට බැඳීමට ගුරු-දෙගුරු කිසිවකු නොසිතූ බව නම් සහතිකය. දිසානායකයන් යනු ළමා ළපටින්ගේ පමණක් නොව ගුරු-දෙගුරුන්ගේ ද මනාපය දිනා ගත්තකු වීම ඊට හේතුවය.

80 දශකයේ නයිට් රයිඩර්, සුපර් මෑන්, රම්බෝ ආදී බටහිර වීර චරිත ළමා ලෝකයේ හිමි වූ තැන 60-70 දශකවල හිමිවූයේ ඇස්. ඒ. දිසානායකයන් නිර්මාණය කළ බටකොළ ආච්චි, තුල්සි, බූ, බබා, පඬිතුමා, යෝධ රාලහාමි ආදී චරිතවලටය.

එකල ජනප්‍රිය ළමා පුවත්පතක් වූ ‘මිහිර’ට හෙතෙම නිර්මාණය කළ ඔන්න බබෝ, පඬිතුමා, හාල්මැස්සා, කපුටුලන්ද චිත්‍රකතාවල මේ චරිත ඇතුළත් විය.

අවිස්සාවේල්ලේ දෙහිගහපිටිය පල්ලියේ ඉස්කෝලෙන් සිප් සතර හදාරා 1952දී ජ්‍යෙෂ්ඨ විභාගයෙන් සමත් වූ දිසානායකයන් පවුලේ අගහිඟකම් නිසා උසස් අධ්‍යාපනයට යොමුනොවී ලිපිකාර රැකියාවකට බැඳුණේය. එහෙත් ඔහුගේ කැමැත්ත තිබුණේ කවදා හෝ චිත්‍රශිල්පියකු වීමටය.

ඇස්. ඒ. දිසානායකයන් සිය චිත්‍ර ශිල්පය ඇරඹුවේ වෙසක් කූඩු සඳහා මෝස්තර ඇඳීමෙනි. ඒ මෝස්තරවලින් සේයා තහඩු කපා මුද්‍රණය කර තැනූ වෙසක් පහන් අලෙවි කෙරුණද ඔහුට ඒ සඳහා මුදලක් ලැබුණේ නැත. චිත්‍රකතාවක් රැගෙන ලේක්හවුස් ආයතනයට ගොස් කතුවරයකු වූ ශ්‍රීලාල් ලියනගේ මහතා මුණගැසුණද ඔහු එය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළේය. ළමා චිත්‍රකතාවක් ඇඳගෙන එන්නැයි ලියනගේ මහතා කළ යෝජනාව නිසා ඇස්. ඒ. දිසානායක මහතා ළමා චිත්‍රකතාකරුවකු විය.

ඇස්. ඒ. ගේ බටකොළ ආච්චි, නපුරු මායාකාරියකි. ඇය ඉදලක නැඟී අහසේ ගමන් කරන්නීය. ඇගේ ඒකායන අරමුණ අමරණීය වීමටය. ඒ සඳහා ‘තුල්සි’ නමැති දැරිය බිලිදීමට බටකොළ ආච්චි වෑයම් කරයි. තුල්සිගේ මිතුරන් වූ බූ සහ බබා, ඇයව ඉන් වළකාලයි. තුල්සි, බූ, බබා සහ බටකොළ ආච්චිගේ මේ නොනිමි ගැටුම ඇස්. ඒ. දිසානායකයන් නිර්මාණය කර ඇත්තේ ළමා සිත් පමණක් නොව වැඩිහිටියන්ගේ සිත් ද ආලෝලනය කරමිනි. ඔහු නිර්මාණය කළ යෝධ රාලහාමි සහ පඬිතුමා ළමයින් අතර අතිශය ජනප්‍රිය වූ චරිත විය. පඬිතුමා සැමවිටම අර අඳින්නේ රාලහාමිට උගුලක් ඇටවීමටය. රාලහාමි ඒවාට හසුවන්නේ නැත. අවසානයේ තමන් ඇටවූ උගුලට පඬිතුමාම හසුවෙයි. එවිට ඔහුගේ හිසින් විසි වන්නේ තරු පොකුරකි. ඇස්. ඒ. ගේ පුංචිත්තා, ඔව්, සාගත මල්ලා විශිෂ්ට නිර්මාණය.

‘සිංහල චිත්‍රකතා වංශකතාව’ ග්‍රන්ථයේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇස්. ඒ. දිසානායකයන් ගැන මෙසේ ලියා ඇත.

‘ළමා මනස ආමන්ත්‍රණය කිරීම, ළමා රුචිය වටහා ගැනීම ඉතා නිරීක්‍ෂණව කළ යුතු කාරියකි. එය වැඩිහිටි නිර්මාණ කරනවාට වඩා දුෂ්කර, වගකීම් සහිත කටයුත්තකි. ඇස්. ඒ. ඒ කටයුත්ත අකුරටම ඉටු කළේය. ඔහුගේ කතා සියල්ලම පාහේ හාස්‍යයට නැඹුරුය. සිතුවම් ද එසේමය. මූලික කතා සංකල්ප හා චරිතවල බටහිර සුරංගනා කතාවල ආභාසය ඇතත් ඔහු ඒවා මැනවින් දේශානුගත කර ඇත්තේය.’

විවිධ ග්‍රන්ථ රාශියක් ද ලියා පළ කර ඇති ඇස්. ඒ. දිසානායකයන් රාජ්‍ය සාහිත්‍යය සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. හෙතෙම ගුරුවරයකු ලෙස ද කලක් කටයුතු කර තිබේ. අඩසියවසකට වැඩි කාලයක් ‘මිහිර’ ඇතුළු පුවත්පත් සහ සඟරා රැසකට චිත්‍රකතා නිර්මාණය කළ ඇස්. ඒ. දිසානායකයන් මිය යන විට 88 වැනි වියේ පසුවිය.

අද දැයෙන් සමුගන්නා කලාභූෂණ ඇස්. ඒ. දිසානායකයන්ට අපි සුබ ගමන් ප්‍රාර්ථනා කරමු.

– සුසිල් සුරවීර

***************************************

පාදයේ තුවාලයකට රෝහලට ගිය කතට පියයුරු පිළිකාවට දෙන බෙහෙත් එන්නත් කරයි; අසාධ්‍ය වූ කත මියයයි

(06.12.2019 – mawbima.lk)

පාදයේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීමට පොළොන්නරුව රජයේ මහ රෝහලට ඇතුළත් වූ තිදරු මවකට නොසැලකිලිමත් අන්දමින් පියයුරු පිළිකා රෝගයට ලබාදෙන අධිසැර සහිත ඖෂධ එන්නතක් ශරීර ගතකිරීමෙන් බරපතළ ලෙස රෝගාතුරව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉතා අවසනාවන්ත අන්දමින් පෙරේදා (04 දා) සවස ජීවිතක්ෂයට පත්වූවාය.

පොළොන්නරුව නව නගරයේ ගල්විහාරය අසල පදිංචිව සිටි 52 හැවිරිදි තිදරු මවක වූ මානෙල් කුමාරි අමරකෝන් මහත්මිය පොළොන්නරුව මහ රෝහලේ වාට්ටු අංක තුනේ සේවයේ නියුතුව සිටි කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් රාජකාරි සිදුකිරීම හමුවේ සිය දිවිය, පෙරේදා (04 දා) සවස අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවසන් කළාය.

රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම නිසා ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට ගිය ඇයගේ එක් පාදයක විළුඹ ප්‍රදේශයෙන් කපා ඉවත් කර තිබූ අතර එම තුවාලය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයට යාබද ඇඳේ සිටි පියයුරු පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටි රෝගී කාන්තාවකට ලබාදෙන ඖෂධ එන්නතක් වැරදි අන්දමින් ශරීරගත කිරීම නිසා රෝගී තත්ත්වයට පත්වී වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමුකර තිබුණාය.

පාදයේ තුවාලයට ප්‍රතිකාර සඳහා ඉතා හොඳ ශරීර තත්ත්වයකින් පොළොන්නරුව රෝහලට ගිය ඇයට පිළිකා මර්දන එන්නත එල්ල කිරීමෙන් පසුව ඇටසැකිල්ලක තත්ත්වයට පත්වී ශ්වසන අපහසුතාවට පත්වීම නිසා කෘත්‍රිම ශ්වසනය ලබාදෙන තත්ත්වයට පත්ව සිටියාය. සිය මවගේ මරණයට හේතුව පොළොන්නරුව රජයේ රෝහලේ වාට්ටු අංක තුනේ සේවයේ නිරතවූවන්ගේ දැඩි නොසැලකිල්ල බව ඇගේ පුත්‍රයා පැවැසුවේය.

“අම්මව මුලින්ම රෝහලට ඇතුළත් කළේ ලයිටරයක් පුපුරලා පාදයේ තිබ්බ සුළු තුවාලයක් සුවනොවීම නිසයි. එම තුවාලයට ප්‍රතිකාර සඳහා ශල්‍යකර්මයක් සිදුකළා. ඒ ශල්‍යකර්මයත් වැරදි විදියට කරලා අම්මාගේ පාදයේ යටි පතුලේ තිබ්බ ගල්තැළුමත් එක්කම විළුඹෙන් කොටසක්ම අනවශ්‍ය විදියට කපලා ඉවත්කර තිබ්බා. ඒ තුවාලය සුවනොවීම නිසා අම්මා හුඟක් පීඩා වින්දා. පස්සේ අම්මාගේ කකුල කපන තත්ත්වයට ආපු නිසා තාත්තා හුඟක් මහන්සිවෙලා ඒ තත්ත්වය මඟහැර ගන්නට උත්සාහ ගත්තා. මහනුවර ගෙනිහිල්ලා පාදය පෙන්නලා හුඟක් සුවකර ගත්තා.

නමුත් තුවාලය සම්පූර්ණයෙන්ම සුවනොවීම නිසා තමයි නැවතත් අම්මව පොළොන්නරුව රෝහලට ඇතුළත් කළේ. ඒ අතරතුරේදී තමයි අම්මට යාබද ඇඳේ හිටපු පියයුරු පිළිකා රෝගී කාන්තාවට දෙන එන්නත විදලා තියෙන්නේ. ඒ අතරතුරේ අම්මට වැරදිලා එන්නත විද්ද බව වාට්ටු අංක තුනේ සේවය කරපු හෙදියක් තාත්තා ඉන්න තැනම වැරදිලා කියලා තිබ්බා.

‘සර් ලියපු බෙහෙතේ අකුරු දෙකක් වැරදිච්චි නිසානේ මේ ඔක්කොම වුණේ’ කියලා. ඒ වාට්ටුවේ එදා සේවයේ නියුතු වූ සියලුම දෙනා දන්නවා අම්මට සිද්ධකරපු අපරාධය මොකක්ද කියලා.

අම්මට එන්නත දුන්නට පස්සේ ‘මුත්‍රා මාර්ගයෙන් හා පිටුපසින් දුම්දානවා, පුදුම දැවිල්ලක් තියෙනවා’ කියලා තාත්තට කියලා තිබ්බා. මුළු ඇඟම දනවා කියලා තිබ්බා. අම්මට බෙහෙත විද්දට පස්සේ එයා හිටපු ඇඳේ කොට්ට මෙට්ට පවා ඉක්මනින් අයින්කරලා. අම්මා ඒ ස්ථානයෙන් ඉවත්කළාට පස්සේ නර්ස් කෙනෙක් ඇවිල්ලා අහලා තියෙනවා ‘ලෙඩා මැරුණාද’ කියලා. අම්මට මේක ඇහිලා අම්මා බැනලා තියෙනවා ‘තාම මැරුණේ නෑ ඉන්නවා’ කියලා.

තාත්තා අම්ම බලන්න ගියපු දවසක වාට්ටු කාර්ය මණ්ඩලය කියලා තියෙනවා එයා හිටපු ඇඳේ කොට්ට මෙට්ට අයින් කළේ බැක්ටීරියාවක් ආපු නිසා කියලා. ඒ අය කරපු වැරැද්ද වහගන්න විවිධ බොරු, විවිධ මනස්ගාත, මැව්වා. නමුත් ඔවුන්ගේ කටවල්වලින් කියවුණා අම්මට වැරදි පිළිකා බෙහෙතක් සහිත එන්නතක් දුන්නා කියලා. අම්මට මැරෙන්න ලෙඩක් තිබ්බේ නෑ. අම්මව එන්නතක් විදලා මරලා දැම්මා.

වැරදි එන්නතින් පස්සේ අම්මාට ෆිට් එක හැදුණා. අම්මගේ මොළේ ස්නායු මැරිලා කියලා අනුරාධපුර රොහලේ වෛද්‍යවරු පරික්ෂා කරලා කිව්වා. තුවාල නිසා ප්‍රතිකාර ගන්න හොඳට රෝහලට ආපු අම්මගේ ශරීරයේ ඇටකටු මතුවුණා. ඒවා එකින් එක ගලවන්න පුළුවන් තත්ත්වයට පත්වුණා. කෑමක් බීමක් ගන්න බැරිවුණා. කිසිම සැලකිල්ලක් නැතිව අවස්ථා කිහිපයක්ම අම්මට ප්‍රතිකාර කරපු පොළොන්නරුව රෝහලේ වාට්ටු අංක තුනේ කාර්ය මණ්ඩලය නිසා එයා අපිව තනිකරලා යන්නම ගියා” යනුවෙන් ඔහු පැවැසුවේය.

සිය බිරියට වැරදි එන්නතක් ශරීර ගතකිරීම සම්බන්ධව අදාළ වාට්ටුවේ වෛද්‍යවරුන්ට සැමියා විසින් ‍දොස් නඟා තිබූ අතර ඒ සම්බන්ධයෙන් වහාම විනය පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජනාධිපතිතුමා ඇතුළු පිරිසට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරන බව මරණකාරියගේ සැමියා පැවැසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

***************************************

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය පළමුවරට යුද හමුදා නිලධාරියෙකු අතට

(06.12.2019 – 12:56 +0530 – lankaleadnews.com)

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ බිගේඩියර් සුරේෂ් සලේ මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර තිබේ.

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව අදාළ බුද්ධි තොරතුරු කල් ඇතිව ලබාදී තිබුණේද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසිනි.

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමට නියමිත බිගේඩියර් සුරේෂ් සලේ මහතා යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

බුද්ධි මෙහෙයුම් රැසක් මෙහෙයවන ලද බුද්ධි නිලධාරියෙකු ලෙස ඔහු ප්‍රකට වී ඇත.

ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා යුද හමුදා නිලධාරියෙකු පත්වන්නේ පළමු වරට වීම විශේෂත්වයකි ෴

***************************************

ජනතාවට වග නොකියන උගත් බුද්ධිමත් මන්ත්‍රීවරු මොකටද? – ආචාර්ය සරත් වීරසේකර (05.12.2019)

+++++++++++++++++++++

***************************************

ගම්මිරිස්, කරුංකා සහ කුරුඳු ඇතුළු කුළු බඩු රැසක ආනයන තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්

(06.12.2019 – 07:37 +0530 – lankaleadnews.com)

සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමේ සහ දිරි දීමේ අරමුණින් අයිතම කිහිපයක ආනයන නියාමණය කිරීමට නව නියමයන් පනවා තිබේ.

ඒ අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා සහ කුරුඳු ආනයනය තහනම් වනු ඇති. සාදික්කා, වසාවාසී, කරදමුරුගු, ඉගුරු, කහ සහා කාරඹුනැටි ද ආනයනය තහනම් වන බවයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පවසයි.

ගම්මිරිස් ඇතුළු කුළු බඩු වෙනත් රටවලින් ආනයනය කර සෘජුව හො සුළු පිරිසැකසුම්වලින් පසු ප්‍රති අපනයනය කිරීම ඉකුත් සමයේ ප්‍රබල සංවාදයක් ඇති කළේය. මෙම ප්‍රති අපනයන හේතුවෙන් ශ්‍රී ලංකාවේ කුළු බඩුවල ඉහල ප්‍රමතිය පිළිබඳ ජාත්‍යන්තර වෙළද පොලේ ඇති විශ්වාසය බිද වැටෙන බවයි එහිදී ප්‍රකාශ කෙරුණි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කුළු බඩු සඳහා ජාත්‍යන්තර වෙළද පොලේදී ලැබෙන මිලද පහළ වැටුනු අතර මෙලෙස මිල කඩා වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වගාකරුවන් හා අපනයනකරුවන් ද පීඩාවට පත්වන බව දිගින් දිගටම ප්‍රකාශ වුණි.

කෙසේවෙතත් නව නියමයන්ට අනුව ගම්මිරිස් ඇතුළු කුළු බඩු මෙලෙස සෘජුව හෝ සුළු පිරිසැකසුම්වලින් පසු ප්‍රති අපනයනය කිරීම මින් පසු තහනම් වනු ඇත.

දේශීය තරගකාරී ගෘහ කර්මාන්තවන වෙසක් කූඩු, සරුංගල් සහ හදුන් කූරු ආනයනයද නව නියමයන් යටත් නියාමනය වන බවද මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පවසයි .

අපද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය සැකසීම හෝ ප්‍රතිචක්‍රිකරණය සඳහා වූ ව්‍යාපාර සඳහා අවසර ලබා නොදීමටද මෙම නව නියමයන් යටතේ විධිවිධාන සලසා තිබේ ෴

+++++++++++++++++++++

***************************************

විදුලිබල ඇමති අමරවීර කොමිස්කාරයන්ට වැට බඳියි

(06.12.2019 – 16:33 +0530 – lankaleadnews.com)

මින් ඉදිරියට තමා යටතේ පවතින අමාත්‍යාංශයේ හෝ ඒ යටතේ තියෙන ආයතනවල සැපයුම්වලදී හෝ ඉදිකිරීම්වලදී කිසිදු කොමිස් මුදලක් ලබා ගැනීමට ඉඩ නොතබන බවත්, සියළු කොමිස් මුදල් අඩුකර ඒ සැපයුම් හා ඉදිකිරීම් කටයුතු කළ යුතු බවත් මගී ප්‍රවාහන කළමණාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ අද (06) ලුනුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

මෙහිදී තවදුරටත් අදහස්දැක්වු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය :

“ඔබ දන්නවා මේ අමාත්‍යාංශය දූෂණයෙන්, වංචාවෙන් හා කොමිස්වලින්පිරිච්ච අමාත්‍යාංශයක් බවට. මේ අමාත්‍යාංශයෙන් තමයි බාල පෙට්ට්‍රල් ගෙන්නුවේ. කොමිස් මුදල් අරන් පෙට්ට්‍රල් ෂෙඩ් දුන්නේ.

මේ තත්ත්වය වෙනස් කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය වුණා. වංචාවෙන්, දුෂණයෙන් තොරපුද්ගලයෙකුට මේ අමාත්‍යාංශය භාර දෙන්න. ඒ නිසයි මේ අමාත්‍යාංශය මට භාර කළේ. ඒ ඒකොමිස් මුදල් අමාත්‍යවරයාටත් ගියා. නිළධාරීන්ටත් ගියා. කොමිස් මුදල් අඩු කරලා නියම මිල ගණන්වලට ඒ සැපයීම් හා ඉදිකිරීම් කටයුතු කළ යුතුයි.

ඒ වගේම රැකියා දීලා තියෙන්නෙත් ලක්ෂ ගණන් මුදල් අරගෙන. මින් ඉදිරියට ඒවා කරන්න මම ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම මගේ අමාත්‍යාංශය යටතේ රැකියා දීමේදීත් සුදුසුකම් අනුව නියම ක්‍රමවේදයකට අනුවයි මම රැකියා දෙන්නේ. ඛනිජතෙල් අමාත්‍යාංශයෙත් රැකියා ගන්න රුපියල් ලක්ෂ ගනන් දීපු අයත් ඉන්නවා. ඒ අයට අද සල්ලිත් නෑ. රැකියාත් නෑ. ඒ නිසා මගේ අමාත්‍යාංශයේ රැකියා ලබාගන්න කිසිකෙනෙකුට සල්ලි දෙන්න එපා.

මොකද අපිට මේ ආදර්ශයලබාදීලා තියෙන්නේ අපේ නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා පොරොන්දු නොවිච්චදේවලුත් අද ඉටු කරල තියෙනවා. එතුමා කිව්වේ නැහැ පරිවාර වාහන අඩු කරනවා කියලා,කාර්යය මණ්ඩල අඩුකරනවා කියලා ඒත් එතුමා ඒ දේවල් අද කරලා තියෙනවා.

ඒ වගේම අද ජනතාවටආරක්ෂාව පිළිබඳවත් විශ්වාසයක් තියෙනවා. සහරාන්ලට, ප්‍රභාකරන්ලට බෝම්බ පත්තු කරන්නආයේ ඉඩක් නැහැ.

අද මිනිහෙක් පාරේ කුණු ටිකක් දාන්නේ නැහැ. ඒ වගේම පෝස්ටර්වලින් කැතකරපු තාප්ප තරුණ තරුණියන් ස්වේච්ඡාවෙන් එකතු වෙලා චිත්‍ර ඇඳලා ලස්සන කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දීපු අය විතරක් නෙවෙයි ඡන්දය නොදීපු අයත්අද සතුටට පත්වෙලා ඉන්නේ. ඒ එතුමා රටටම දුන්නු ආදර්ශය නිසයි. ඒ ආදර්ශය තුළින්ම මේරට ගොඩනඟන්න අපි එතුමාට පූර්ණ සහයෝගය ලබාදිය යුතුයි.”

***************************************

නොමිනිසුන් අතින් අහිමි වු මව් සෙනෙහස හොයන අලි පැටියෙක්

(06.12.2019 – 15:03 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාෂි නගර් ප්‍රදේශයේ වෙල්යායක මිය ගොස් සිටි ඇතින්නියකගේ මළ සිරුරක් හමුවී ඇත.

හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මෙසේ ඇතින්නක් මියගොස් ඇති බව කන්තලේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසයි.

වයස අවුරුදු 30 ක් පමණ වන මෙම ඇතින්න මාස 04 ක අලි පැටවා සමඟ මෙම වෙල්යායට පැමිණ ඇති අතර එහිදී හක්ක පටස් ආහාරයට ගැනීමෙන් ඇතින්න මිය ගොස් ඇත.

පසුව කන්තලේ වනජීවි කාර්යාලයේ නිලධාරීන් විශාල පරිශ්‍රමයක් යොදා මෙම අලි පැටවා කන්තලේ කාර්යාලයට ගෙනවිත් පසුව ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයට භාර දී ඇත.

***************************************

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට පවුම් 2400 ක දඩයක්

(06.12.2019 – 19:31 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතානයේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදුකළ සිද්ධියට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කරමින් එරට අධිකරණයක් මඟින් පවුම් 2400 ක දඩයක් නියමකර තිබෙනවා.

***************************************

පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන්ගෙන් රහසිගත ප්‍රකාශයක්

(06.12.2019 – 19:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (06) සාක්ෂි ලබාදුන්නා.

උන්වහන්සේ අද (06) පස්වරු 2 ට පමණ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පළමු මහලේ පිහිටා ඇති කොමිෂන් සභා කාර්යාලයට පැමිණි අතර ඉන් පිටව ගියේ පස්වරු 6 ට පමණයි.

එහිදී උන්වහන්සේ පස්වරු 03:45 පමණ වනතුරු ප්‍රසිද්ධියේ සාක්ෂි ලබා දුන් අතර, පසුව කොමිසම හමුවේ රහසිගතව සාක්ෂි ලබාදුන්නා.

මේ අතර, අගරදගුරු හිමිපාණන්තවදුරටත් සාක්ෂි ලබාදීම සඳහා හෙට (07) පෙරවරු 9 ට කොමිසම හමුවට පැමිණීමට නියමිතයි.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *