කොළඹ වරාය නගර භූමිය ශ්‍රී ලංකා භූමිය හා එක්කිරීමේ උත්සවය ඇරඹෙයි

(07.12.2019 – 17:58 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා භූමියට අලුතින් එක්වු කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269 ක් හෙවත් වර්ග කිලෝමීටර් 02 යි දශම 06 කොටසක් මෙරටට ලබාදීමේ නිළ උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ.

එම විශේෂ සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය නගර භුමියේ පැවැත්වෙයි.

මෙරටට මෙලෙස අළුතින් එක්වු බිම් කොටස වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නික්තු කිරීමට නියමිතයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ චීන ජනාධිපති ෂී ජිං පිංග් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය සඳහා මුල්ගල තැබුණි.

චීනයේ සී.එච්.ඊ.සී හෙවත් චයිනා හාබර් ඉංජිනේරින් කෝපරේෂන් සමාගම මෙහි කටයුතු සිදුකළ අතර එම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලයන 01 යි දශම 05 ක ආයෝජනයක් සිදුකළේය.

ඒ අනුව කොළඹ වරාය සහ ගාලුමෝදර ක්‍රිඩාංගනය අතර මුහුදු කොටස වන හෙක්ටයාර 233 ක ප්‍රදේශය ගොඩකිරීමට සැලසුම් කර තිබුණි.

කෙසේවෙතත් 2015 වසරේ බලයට පත්වු යහපාලන රජය මෙහි වැඩකටයුතු තාවකාලිකව නතර කර පරිසර දත්ත වාර්තා යළි සකස් කර මුල් ගිවිසුමද සංශෝධනය කිරීමට පියවර ගත්තේය.

ඒ යටතේ ගොඩකිරීමට අපේක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 269 ක් දක්වා වැඩි කළ අතර චීන සමාගමට ලබා දී තිබු හෙක්ටයාර 20 වෙනුවට හෙක්ටයාර 116 දක්වා භූමි ප්‍රමාණයක් 99 අවුරුදු බදු පදනම යටතේ ලබා දීමට යහපාලන රජය ගිවිසුම් ගතව තිබුණි.

ඉදිකිරීම් කටයුතු සිදුකළ හැකි මෙම හෙක්ටයාර 178 ක භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 116 ක් චීන සමාගමටත් ඉතිරි හෙක්ටයාර 62 ක ශ්‍රි ලංකා රජයටත් ඉදිකිරීමේ කටයුතු සඳහා බදු දීමට අවස්ථාව හිමිවෙයි.

කෙසේවෙතත් කොළඹ වරාය නරගයේ දෙවන අදියර හෙට සිට ආරම්භ වන අතර ඒ යටතේ මහාමාර්ග, විදුලිය, ජලය සහ මළපවාහන පද්ධති සකස් කිරීමද මෙම ඉදිකිරීම් සමාගම් විසින් සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරෙන මෙම භූමියේ ඉඩම් රජය විසින් හෙට සිට ව්‍යාපාර කටයුතු සඳහා වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම චීන රජයට හිමිවන හෙක්ටයාර 116 ක භූමිය ඔවුන්ටද, ප්‍රතිබදු දීමට අවස්ථාව හිමිවෙයි.

https://www.facebook.com/AdaDeranaLive/videos/770271283399876/

+++++++++++++++++++++

***************************************

හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ඉවතට

(07.12.2019 – 17:42 +0530 – lankaleadnews.com)

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින් ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත.

ඒ අනුව තානාපතිවරුන් සහ මහකොමසාරිස් වරුන් 30 දෙනෙකුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී ඇත.

ඔවුන් අතර රුසියාවේ තානාපති ලෙස කටයුතු කරන දයාන් ජයතිලක, ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ජේ. සී. වැලිඅමුණ, ඔස්ට්‍රේලියාවේ කොන්සල් ජෙනරාල් ලාල් වික්‍රමතුංග, ඉන්දියාවේ මහ කොමසාරිස් ඔස්ට්‍රින් ප්‍රනාන්දු, නෝර්වේ තානාපති අරුෂා කුරේ යන මහත්ම මහත්මීන් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරක් දරණ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ට්‍රින් ප්‍රනාන්දු මහතාගේ බෑණාට සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලයක් දරණ මාධ්‍යව්දී ලසන්ත වික්‍රමතුංග බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මියට ලබා දී ඇති තනතුරුවලින් ඔවුන් ඉවත් කිරීමට ද තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය ෴

***************************************

යාපනයේ භටපිරිස් හානියට පත් පාලමක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ගමනාගමනය යථා තත්ත්වයට පත් කරයි

(06.12.2019 – 11:09 +0530 – army.lk)

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් හානි සිදුවූ කීරමලෙයි සිට පොන්නලෙයි දක්වා දිවෙන බී 75 මාර්ගයේ අඩි 30 ක් දිග කුසුමන්තුරෙයි පාලම පිළිබඳ සිකුරාදා (06) දින සන්ධ්‍යාවේ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත දැනුම්දීමෙන් අනතුරුව 10 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 16 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස්හි සහාය ඇතිව පැය දෙකක් ඇතුලත හානි සිදුවූ පාලම ප්‍රතිසංස්කරණය කිරීමට සමත්විය.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශයේ එකතු වූ ජලය ගලා බසින විට පාලමේ එක් කොටසක් කඩාවැටි ඇති අතර පාලම මතින් වාහන ගමන් කිරීමේ අවදානම් තත්ත්වයක් ඇතිවිය. ඒ හේතුවෙන් මාර්ගයේ ඇතිවූ වාහන තදබදය අවම කර මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරීයේ බලධාරීන් යුද්ධ හමුදාවේ සහාය ඉල්ලා සිටියේය. ඒ අනුව ඇති වූ හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා කඩිනමින් පාලම ප්‍රතිසංස්කරණය කරන ලෙස 10 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව වෙත උපදෙස් ලබාදුනි.

ඒ අනුව, මෙම කාර්යභාර්ය සාර්ථකව ඉටුකරගැනීම සඳහා 513 බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් 10 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් වෙත සිය සහයෝගය ලබාදුන්හ. මේ වනවිට පාලම ප්‍රතිසංස්කරණය කර මහජනතාවගේ ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

***************************************

අයහපත් කළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට නාවික හමුදා සහන කණ්ඩයම් අනුයුක්ත කෙරේ

(07.12.2019 – navy.lk)

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

රටේ ඇතිවන ඕනෑම ස්වාභාවික විපත් සඳහා සිය දායකත්වය සපයන නාවික හමුදාව මේ දිනවල ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් රැසක් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව, ගිං ගඟ හරහා වැටී ඇති අගලිය, දොඩංගොඩ සහ වක්වැල්ල පාලම් තුල අපද්‍රව්‍ය සිරවීමෙන් ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාවට ඉදිරියේදී ගං වතුර අවදානමකට පිළියමක් වශයෙන් ආපදාවට පෙර එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කිරීම සඳහා 2019 දෙසැම්බර් මස 05 සහ 06 යන දෙදින මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී නාවික හමුදා කිමිදුම් අංශයේ සහ මැරීන් බලඝණයට අනුයුක්ත නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා අනුයුක්ත කරන ලද අතර, එහිදී දැඩි පරිශ්‍රමයක් යොදා එම අපද්‍රව්‍ය ඉවත් කර ජලය බාධාවකින් තොරව බැස යන පරිදි යථාතත්වයට පත් කිරීම නාවික හමුදාව කටයුතු කරන ලදී.

එමෙන්ම, යාන් ඔය ජල මට්ටම පිටාර දැමීමෙන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ විපතට පත් ජනතාවට නාවික හමුදාව විසින් මේවන විට සහන සලසමින් සිටින අතර, ඒ සඳහා නාවික හමුදා මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් ඇතුළු නාවික පුද්ගලයින් විශාල පිරිසක් මේවන විට අනුයුක්ත කර ඇත.

***************************************

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

(07.12.2019 – 17:25 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල සහ දියතලාව අතර දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ආසන්න ඕබඩඇල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මීට දින 3 ක සිට බණ්ඩාරවෙල සහ දියතලාව අතර, දුම්රිය ධාවනය ඇණ හිටියා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය මාර්ගයේ බාධා ඉවත් කිරීමෙන් අනතුරුව, පළමු දුම්රිය අද පස්වරු 3.10 ට පමණ දියතලාවේ සිට බදුල්ලට ගමන් කළ බවයි.

ඒ අනුව මෙතෙක් දියතලාව දක්වා සීමා කෙරුණු කොළඹ සිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ද යථා තත්ත්වයට පත් කෙරෙනු ඇති.

***************************************

CCTV කැමරාවේ සටහන් වූ අනතුර

(07.12.2019 – 11:49 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය, ගන්නොරුව ප්‍රදේශයේදී ඉන්ධන පිරවුම්හලක් අසල නවතා තිබු ත්‍රි රෝද රථයකට ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (07) උදෑසන සිදුවූ මේ අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුරට පත් ත්‍රි රෝද රථය තුල මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක්ද සිට ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර,මෙම අනතුර සිදුවන ආකාරය ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

එම වීඩියෝව :

***************************************

කොමිසම අවංකයි වැඩකටයුතු හොඳින් කරාවි – අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

(07.12.2019 – 18:55 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (07) දිනයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැය දෙකහමාරක පමණ කාලයක් සාක්ෂි ලබාදුන්නේය.

ඊයේ (06) දිනයේදී පැය 4ක පමණ කාලයක් සාක්ෂි දුන් උන්වහන්සේ අද (07) ප්‍රකාශ කළේ ජනාධිපති කොමිසම කෙරෙහි තමන්ගේ විශ්වාසයක් ඇති බවයි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දෙවන දිනටත් සාක්ෂි ලබාදීම සඳහා අද (07) පෙරවරු 9.30 ට පමණ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියේය.

ඊයේ (06) දිනයේදී පැය 04 ක පමණ කාලයක් සාක්ෂි ලබාදුන් කාදිනල් හිමිපාණන් අද (07) පැය දෙකහමාරකට ආසන්න කාලයක් සාක්ෂි ලබාදී තිබේ.

උන් වහන්සේ අද (07) දිනයේදී සාක්ෂි ලබාදෙන ආකාරය මාධ්‍යයට විවෘත වූයේ නොමැත.

එහිදී අදහස් දක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මේ බව පැවසීය :

“දන්න කරුණු බෙදාගත්තා”

ප්‍රශ්නය – ඔබවහන්සේ ඊයේ කොමිසම හමුයේ සඳහන් කරලා තිබ්බා මේ සිදුවීම වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රටේ නායකයින් වගකියන්න ඕනේ කියලා.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – කොමිසම වාර්තාවක් ඉදිරිපත් කරයි. වාර්තාව එනතුරු මුකුත් කියන්නේ නෑ

ප්‍රශ්නය – රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් නෛතික පියවර අරන් තියෙනවා. නමුත් දේශපාලන නායකයින් සම්බන්ධයෙන් කිසිඳු නෛතික පියවරක් අරන් නෑ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – කොමිසමේ නිගමනවලට බාරදෙමු. නිර්දේශ කරාවි. රජය අවශ්‍ය දේවල් කරාවි අපි බලාපොරොත්තුවෙනවා.

ප්‍රශ්නය – පසුගිය රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් කියලා තිබ්බා එතුමගේ පියාණන් කිව්වා කියලා පූජාවට යන්න එපා එහෙම කියලා. ඒ පිළිබඳව කොමිසමක අධ්‍යයනයට ලක්වුණේ නෑ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – ඇමති කියපු දෙයක් .

ප්‍රශ්නය – ඇමතිවරයා ඔබවහන්සේව දැනුවත් කරලාවත් තිබුණේ නැද්ද ඒ පිළිබඳව?

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – දැනගෙන හිටියේ නෑ

ප්‍රශ්නය – ඔබවහන්සේට මේ කොමිසම සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙනවද?

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – කොමිසම අවංකයි. වැඩකටයුතු හොඳින් කරාවි.

ප්‍රශ්නය – මීට පෙරත් කොමිසමක් දැම්මා. ඒවගේම නෛතික නඩුත් තිබුණා. නමුත් මේ වෙනකන් සාධාරණයක් ඉටුවෙලා නෑ. මේ කොමිසම ගැන විශ්වාසයක් තියන්න පුළුවන් ද?

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – විශ්වාස කරන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබවහන්සේට මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා දැනුම්දීමක් කළා ද?

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – පූර්ව දැනුම්දීමක් කරලා තිබෙන බව දැනගත්තා.

ප්‍රශ්නය – ජනාධිපතිතුමන් ඔබවහන්සේව හමුවුණා. එතුමාගේ මතය මොකද්ද?

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – කොමිසම අනුමත කරනවා . අපේ පැත්තෙන් කාවත් නම් කරන්න කැමති වුණේ නෑ. පක්ෂග්‍රාහී ලේබලය ඇලවෙන නිසා. පත්කර සිටින අය විශ්වාසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *