නේපාලයේ 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 13 දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැලඳේ

(07.12.2019 – 20:47 +0530 – sinhala.adaderana.lk)

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට අවාසනාවන්ත අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබේ.

ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැලඳීම හේතුවෙන්ය.

ඩෙංගු උණ රෝගය වැලඳුනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනා අතුරින් 7 දෙනෙකුට ශ්‍රී ලංකාවේදී මෙම රෝගී තත්වය වැලඳී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

ඊට අමතරව නේපාලයේදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැළඳී රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙක් තවමත් නේපාලයේ කත්මණ්ඩු නුවර රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබයි.

ඒ අතරට ඊයේ (06) කාන්තා මීටර 100 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකා අමාෂා සිල්වා ද ඇතුළත්ය.

කෙසේ වෙතත් නේපාලයේ වෛද්‍යවරුන් රෝගීන් කළමණාකරණය කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බැවින් ශ්‍රී ලංකා වෛද්‍යවරයකුගේ උපදෙස් මත මේවනවිට ප්‍රතිකාර සිදු කරයි.

මෙලෙස ඩෙංගු රෝගය වැළඳුනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනා අතරින් 12 දෙනෙක්ම ක්‍රීඩා උළෙලට සහභාගි වීමට පෙර සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ නේවාසිකාගාරයේ රැඳී සිට ඇති අතර ඔවුන්ට එහිදී මෙම රෝගය වැලදෙන්නට ඇතැයි සැක පලකරයි.

මෙවැනි මාරාන්තික රෝගී තත්ත්වයන්ගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කරගැනීමට බලධාරීන්ගේ අවධානය මීට වඩා යොමු විය යුතු බව අපගේ විශ්වාසයයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

09-12-2019

***************************************

විදේශ අමාත්‍යංශයේ අනුදැනුමකින් තොරව එංගලන්තය මෙරට පවුම් මිලියන 10 ක් ආයෝජනය කිරීම ගැන සොයා බැලිය යුතුයි – උදය ගම්මන්පිල

(07.12.2019 – 20:16 +0530 – hirunews.lk/sinhala)

විදේශ අමාත්‍යාංශයේ දැනුවත් වීමකින් තොරව එංගලන්තය විසින් පවුම් මිලියන 10 ක් මෙරට ආයෝජනය කර ඇත්තේ කුමන කරුණක් සඳහා ද යන්න වහා සොයා බැලිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (07) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

+++++++++++++++++++++

***************************************

ක්‍රිස්තියානි මූලධර්මවාදී සජිත්ට පක්ෂ නායකත්වය බාර දිය යුතුද?

(08.12.2019 – 07:43 +0530 – lankaleadnews.com)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ජනාධිපතිවරණ පරාජයත් සමග පක්ෂ නායකත්වය ඉල්ලා සටන ආරම්භ කළත් ‘ඉවැන්ජිකල් ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකු’ට පක්ෂ නායකත්වය දෙන්නේ කෙසේද යන ගැටළුව පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට මතුව තිබේ.

සජිත් ප්‍රේමදාස මුදලට තමන්ගේ ආත්මය පාවා දෙමින් ක්‍රිස්තියානි මූලධර්මාදය වැළද ගත්තේය. ඒ ඉරාන් වික්‍රමරත්නගේ ‘එසෙම්බ්ලි ඔෆ් ගෝඩ්’ මූලධර්මවාදි නිකාය හරහාය. මුලින්ම මුලධර්මාදි ආගම වැලද ගන්නේ සජිත් ගේ නැගණිය වන දුලාංජලීය. සජිත්ව ක්‍රිස්තියානි මූලධර්මවාදයට ඇදගෙන යන්නේ රෝසි සේනානායකය.

ඉන්පසු 2001 දී සජිත් ඉවැන්ජිකල් මූලධර්මවාදි ක්‍රිස්තියානි නිකායට සම්බන්ධ වේ. නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ලෙස සිටින කාලයේදි හම්බන්තොට ගැබිණි මාතාවන්ට පෝෂණ මළු බෙදූ අතර ඒ සියල්ලට අනුග්‍රහය දක්වා තිබුණේ මෙම මූලධර්මවාදී ක්‍රිස්තියානි නිකායය. එය පෝෂණ මළුවල මුද්‍රණය කර තිබීම හේතුවෙන් සජිත් අපහසුතාවයට පත් වූ අතර ඉන් පසුව බෙදූ සියළු පෝෂණ මළුවල එම මුද්‍රාව ඉවත් කර තිබුණි.

හම්බන්තොට ප්‍රජාසේවා සියළු කටයුතු සදහා අනුග්‍රහකත්වය දක්වා තිබුණේ ‘ඉවැන්ජිකල් මූලධර්මවාදීන්’ විසිනි. නමුත් සජිත්ගේ ඉල්ලීම පරිදි නම සදහන් කෙරුණේ නැත. ‘සසුනට අරුණ’ වැඩසටහන සදහා මෙම සංවිධානයෙන් ආධාර ඉල්ලා තිබුණත් මූලධර්මාදීන් එය ලබාදීමට කැමැත් පළ නොකළේ එය බෞද්ධ කටයුත්තක් බැවැනි.

සජිත් මේ වැඩසටහන සදහා එකතු කර ගන්නේ කුප්‍රකට කැසිනෝ අන්තුවකු වන රවි විජේරත්නය. රවී විජේරත්න මූල්‍ය අනුග්‍රහය යටතේ ඔහු සසුනට අරුණ වැඩසටහන දියත් කරමින් සිටියි. රවී විජේරත්න සජිත්ව යොදා ගෙන කළු සල්ලි කෝටිප්‍රකෝටි ගණන් සුදු කලේය.

සජිත් මුලධර්මවාදී ක්‍රිස්තියානුවෙකු බව තහවුරු කරමින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ වගකීම ඉරාන් වික්‍රමරත්නට පැවරුවේය. මෙය මංගල සජිත් හිත් නොහොද වීමකටද හේතුවිය. මුලින් සජිත් ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ වගකීම මංගල බාරදී තිබුණත් ඉරාන් ගේ මැදිහත්වීමෙන් ඔහු එය ඉරාන් ට පැවරීමට කටයුතු කෙරුනි.

සජිත් සෑම ඉරුදිනකම විශේෂ දේවමෙහෙයක් වෙනුවෙන් නාවල කිරිමණ්ඩල මාවතේ පිහිටි ඉරාන්ගේ අයියා මෙහෙයවන ක්‍රිස්තියානි දේව මෙහෙයට ද සහභාගී වේ. මෙය ජනතාව අතර ප්‍රසිද්ධ කරුණක් නොවුනද මූලධර්මවාදි ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් අතර ප්‍රසිද්ධ කරුණකි.

සජිත් ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකු වීම ද සිංහල බෞදධ ඡන්ද පදනම සජිත්ගෙන් ඉවත්වීමට තවත් හේතුවකි. රටේ වෙහෙර විහාරස්ථානවලින් එම කරුණ අභ්‍යන්තරව ගලායාමද මෙයට හේතුවක්ය.

සජිත්ට පක්ෂ නායකත්වය දුනහොත් සිංහල බෞද්ධ ඉතිරි පිරිසත් පක්ෂය හැර යාවිය යන සැකය පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ට ඇතිව තිබේ. බෞද්ධයන්සේම කතෝලිකයන්ද මේ නිසා පක්ෂයෙන් ඈත් විමේ සම්බාවිතාවයක් පවතියි. මේ කරුණ මත එක්සත් ජාතික පක්ෂ දැඩි ගැටළුවකට මුහුණ දී සිටියි.

රනිල්ට ද මුල් අවධියේ කතෝලික ලේබලය ඇලවීමට උත්සාහ කළද ඔහුගේ මෑණියන් හෙළේනා විජයවර්ධන ළමාතැනියගේ දියණියවීමත්, රනිල් බම්බලපිටිය වජිරාරාමයේ ආදි ශිෂ්‍යයෙකු වීමත් යන කරුණු මත එම උත්සාහය ව්‍යර්ත විය.

– මලිත් විජේනායක

***************************************

බ්‍රිගේඩියර් ප්‍රියංකට රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමියි – වෙස්ට්මිනිස්ටර් අධිකරණ තීන්දුව පිටුපස දේශපාලන පෙළඹවීම් – විදේශ අමාත්‍යාංශය කියයි

(07.12.2019 – 17:07 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිදු කළ විරෝධතාවයකදී තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදුකිරීමේ සිද්ධියට වරදකරු වී සිටින බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට තවදුරටත් රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමිවන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය අවධාරණය කළේ වෙස්මිනිස්ටර් අධිකරණයේ තීන්දුව දේශපාලන පෙළඹවීමක් මත සිදුවූවක් බවයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා එම චෝදනාවට වරදකරු බවට එරට වෙස්ට්මිනිස්ටර් අධිකරණය ඊයේ (06) තීන්දු කළා.

එහිදී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම අධිකරණය නියෝග කරනු ලැබුවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගෙන් දඩයක් ලෙස ස්ටර්ලිං පවුම් 2400 ක් අය කර නඩුව අවසන් කරන ලෙසයි.

2018 වසරේ පෙබරවාරි 4 වන දා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසකට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සිදුකළ හස්ත සංඥාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා.

ඒ වනවිට ඔහු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙසයි කටයුතු කළේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 31 වන වගන්තියට අනුව, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමිවන බවයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මෙම සිද්ධියෙන් පසුව, වත්තල රණවිරු සම්පත් කේන්ද්‍රයේ රාජකාරි කළ අතර, ඔහු මේ වනවිට යුද හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරනවා.

මේ අතර, වෙස්ට්මිනිස්ටර් අධිකරණය ලබාදුන් තීන්දුව අනුව අදාළ දඩ මුදල නොගෙවා ඒ වෙනුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව ද, ආරංචි මාර්ග අනාවරණ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *