ශ්‍රී ලංකාවට කෝචොක් දමා ස්විස් තානාපති කාර්යාලය ගහපු ගේම – සමන් ගමගේ

(08.12.2019 – divaina.com)

ඇමරිකාව ප‍්‍රධාන බොහෝ බටහිර රාජ්‍යයන්ට මානව හිමිකම් යනු අදාළ නොවන්නකි. එහෙත් ලෝකයේ සෙසු රාජ්‍යයන්ට මානව හිමිකම් හා මූලික අයිතීන් පිළිබඳ උපදෙස් දෙන්නේ ඔවුහුය.

ස්විට්සර්ලන්තය යනු අද එකී රාජ්‍යයන් අතර ප‍්‍රධාන තැනක ඇති රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේය.

වසරකට දෙවතාවක් පමණ එහි රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය ඇතුළු සෙසු කි‍්‍රයාකාරීහු ලොව සෙසු රාජ්‍යයන්හි මානව හිමිකම් රැකීම පිළිබඳ නියාමන ඉදිරිපත් කරති. අර්ථකථන දෙති.

එහෙත් හැමදාමත් මෙකී බලවත් ජාතීහු මානව හිමිකම් යනුවෙන් සෙසු ලෝකයාට දේශනා කළේ වැදි බණම වූහ. එයට හොඳම උදාහරණය මේ වන විට සපයමින් සිටින්නේ ශී‍්‍ර ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතාය.

ශී‍්‍ර ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටරයා

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ මෙරට නිලධාරිනියක පැහැරගෙන ගියේ යැයි කියමින් ඉකුත් 26 වැනිදා අමූලික බොරුවක් පවසා මේ මොහොත වන විට හත්පොළේ උලාගෙන සිටින ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් අද කරමින් සිටින්නේ සමස්ත ශී‍්‍ර ලාංකිකයන්ගේම මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බව අපි වගකීමෙන් කියන්නෙමු.

මන්ද යම් රටක ස්වෛරීත්වයට අභියෝග කරමින් එරට අභ්‍යන්තර කි‍්‍රයාවලියට අත පෙවීමට ලොව කිසිදු රාජ්‍යයක තානාපති නිලධාරියකුට අයිතියක් නැත. යමෙකු එසේ කරන්නේ නම් ඔහු ලොව රටවල් අතර රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඇති වියානා සම්මුතිය බිඳ දමමින් අත්තනෝමතිකව හැසිරෙන මන්ද බුද්ධිකයකු යැයි කීමේද වරදක් නැත.

තානාපති නිලධාරියකු ලොව යම් රාජ්‍යයක් තුළදී එසේ කටයුතු කරයි නම් ඉන් එරට සමස්ත ජනතාවගේම මූලික අයිතීන් උල්ලංඝනය වන බව අමුතුවෙන් පෙන්වා දියයුතු කරුණක්ද නොවේ.

එහෙත් මේ මොහොතේ ශී‍්‍ර ලංකාවේ සිටින ස්විට්සර්ලන්ත තානාපතිවරයා හැසිරෙමින් සිටින්නේ අත්තනොමතික ස්වභාවයකින් නොවේද? සමස්ත ශී‍්‍ර ලාංකිකයන්ගේ කතාව පසෙක තබා අනෙකුත් කරුණු ගෙන හැර බැලුවද ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතා මේ වන විට කරමින් සිටින්නේ සිය තානාපති කාර්යාලය තුළදීම අතිශය දරුණු ලෙස මානව අයිතින් උල්ලංඝනය කිරීමක් බව පැහැදිලිවම පෙන්වා දීමට පුළුවන.

ස්විස් තානාපති හාන්ස් පීටර් මහතා සිය සේවිකාවක පැහැරගැනීමකට ලක්ව ඇති බවට ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යංශය හරහා ශී‍්‍ර ලංකාවේ විදේශ අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් 26 වැනිදාය.

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා අංශයේ රාජකාරි කළ කොළඹ මාලිගාකන්දේ සුපිරි නිවසක පදිංචිව සිටි ‘ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස්’ යනු එසේ පැහැර ගැනීමට ලක්වූවේ යැයි කියන කාන්තාව වූවාය.

මේ අනන්‍යතාව කිසිවිටෙකත් හාන්ස් පීටර් මහතා අනාවරණය කළ කරුණක් නොවූවකි. එය ශී‍්‍ර ලංකාවේ විදේශ අමාත්‍යංශයට අදාළ පැමිණිල්ල රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් යොමුවූවාට පසු ඒ පිළිබඳ ශී‍්‍ර ලංකා පොලිසිය සිදු කළ විමර්ශන අතරතුරු හෙළිකර ගත්තක් විය.

ස්විස් තානාපති හාන්ස් පීටර් මහතා එරට විදේශ අමාත්‍යංශය හරහා මෙකී පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ශී‍්‍ර ලංකා රජයේ උපදෙස් මත වහාම කි‍්‍රයාත්මක වන පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ඇරඹීය.

අදටත් ස්විස් තානාපතිවරයා වැන්නවුන් තුළ තිබෙන්නේ ශී‍්‍ර ලංකාවේ පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ ‘ලොසේ ලොස්ට්’ වූ අදක්ෂයන් නිසා ලොව අංක එකේ ත‍්‍රස්තවාදියා යැයි ඔවුන් විසින්ම අපට කී වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ජීවත්ව සිටින්නේ යැයි යන මනෝමය සිතුවිල්ලේ දැයි අපි නොදනිමු.

ඇමරිකාව, ස්විට්සර්ලන්තය ඇතුළු බටහිර කඳවුරේ සාදාතනික පැතුම වී තිබුණේද එසේ වනු දැකීමය. පසුගිය කාලයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා මෙකී විජාතික කඳවුර ශී‍්‍ර ලංකාවට පහරපිට පහර දුන්නේද ඒ සිහින බොඳවූ නිසාය.

මංගල සමරවීර, රාජිත සේනාරත්න වැනි ද්‍රෝහීන් සහ එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ ක්‍ෂණික බෞතීස්මය ලබාගත් සිල් බිඳගත්තවුන් සේම සෙසු දේශපාලන අපතයෝ රට ගන්ධබ්බ තැනකට ඇද දැමූ ගෙවී ගිය සිව් වසර තුළ නන්දිකඩාල් කලපු වැල්ලෙන් මොට්ටු තබාගෙන සංහිඳයාව යැයි දොඩවමින් ඊළම වන්දනාමාන කරන්නට වූයේද මෙකී විජාතික කඳවුරේ වුවමනාව අනුවය.

රටටත්, ජාතියටත්, ආගමටත් අමු අමුවේ ගරහමින් සිය කුජීත වූ දේශපාලන භාවිතාව තුළ ඔවුන් එසේ හැසිරෙද්දී ඉකුත් 2015 වසරේ අලි-හංස පූට්ටුව ඔස්සේ මේ පින්බිමේ විජයග‍්‍රාහී ගමන ආපසු හරවන්නට ද මෙකී විජාතික කඳවුර සමත් විය.

එහෙත් ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් හෙවත් ස්විස් අක්කාගේ නාටකය නිසා අද ‘අංගොඩ යන තැනට’ ඇනගෙන සිටින ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ මනෝභාවය කුමක් වුවත් ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ සහ පොලිසිය සිටියේ වේලුපිල්ලේ ප‍්‍රභාකරන් අපාගත කිරීමෙන් ලද පන්නරය සමගය.

එදා ප‍්‍රභාකරන් දකුණට එවූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හඹා ගිය මේ රටේ පොලිසියට සහ ආරක්‍ෂක අංශවලට ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ පිටපතේ සිටි ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස්ගේ කතාව සොයා යෑම ඉර මැදියමේ සෙවනැල්ල සොයනවාටත් වඩා පහසු කාර්යයක් වී තිබිණි.

එහෙයින් ස්විස් තානාපති විදේශ අමාත්‍යංශයට දුන් ‘ගාලියා බැරිස්ටර් පිටපත’ට අනුව ඔවුහු රාජකාරිය ඇරඹූහ. සීසීටීවී තාක්‍ෂණය පිළිබඳ දක්‍ෂයෝ පිරිසක් සිද්ධිය වූ බව කී තැන සිට අවට ප‍්‍රදේශයේ තිබූ සියලුම සීසීටීවී කැමරා නිරීක්‍ෂණය කළහ.

එහිදී ඔවුන්ව පෙනී ගිය ප‍්‍රථම කරුණු වූයේ ගාලියා බැරිස්ටර් ඉස්සුවේ යැයි ස්විස් තානාපති කී දිනයේ කොළඹ නගරයේ දඩාවතේ ගිය පූසෙක් කාණුවක දුවයන මීයකුවත් පැහැරගෙන නැති බවය.

ඊළඟට ඔවුහු ස්විස් තානාපති කාර්යාලය කී අන්දමට ගාලියා බැරිස්ටර් හෙවත් ස්විස් අක්කාට වුණ දේ සෙවීම සඳහා ප‍්‍රයෝජනයට ගත්තේ ‘ගූගල් අක්කා’වය. එසේ නැතහොත් ‘ජීපීඑස් තාක්‍ෂණය’ ය.

එහිදී පැහැරගත්තේ යැයි කී ස්විස් අක්කා ගිය මග සොයා ගන්නට විමර්ශකයන්ට වැඩි කාලයක් ගත වූයේ නැත. එසේ ජීපීඑස් තාක්‍ෂණය ඔස්සේ සිදු කළ විමර්ශනවලදී අවසානයට අනාවරණය වූයේ පැහැරගත්තේ යැයි කී ගාලියා බැරිස්ටර් හෙවත් ස්විස් අක්කා පැය දෙකක පමණ කාලයක් සිය මිතුරියකගේ නිවසක රැඳී සිට ඇති බවය.

ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර්ගේ පිටපතට අදාළ කතාව පිළිබඳ සෙවූ ශී‍්‍ර ලංකා විමර්ශකයන්ට ඉන් එහා සොයන්නට දෙයක් ඉතිරිව නොතිබිණි. එකී පිටපතට අනුව කියැවෙන ආකාරයේ කිසිදු පැහැරගැනීමක් සිදුව නැති බව සක්සුදක් තහවුරු කරගත් ඔවුහු අවසානයේ ඒ බව ඉහළට වාර්තා කළහ.

මෙසේ සත්‍ය අනාවරණය වෙමින් තිබියදී පසුගිය කාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ‘කිඹුල් රැවුලා’ වේදිකාවට ගෙන ආ රාජිත සේනාරත්න නින්දෙන් ඇහැරැණාක් මෙන් රට ඉදිරියට පැමිණ කරනු ලැබුවේ කුමක්ද?

වහා මාධ්‍ය හමුවක් කැඳවූ හේ ස්විස් තානාපතිගේ පිටපත තවත් හොඳට සංස්කරණය කරමින් ගාලියා බැරිස්ටර් පැහැරගත්තවුන් ඇගේ කටට පිස්තෝලය ඔබා කරකවා තර්ජනය කරමින් ප‍්‍රශ්න කර ඇති බවත් ඉන් භීතියට පත්වූ ඇය නිවැසියන් සමගද කතා නොකර උඩ බලාගෙන සිටින බවත් ප‍්‍රසිද්ධියේම කීවේය.

මේ හමුවේ අපි එකක් කියමු. ජනාධිපතිතුමනි, මෙවන් බල්ලන් බැඳ දැමිය යුතුය. මුං සපා කමින් සිටින්නේ මේ රටය. රටට ආදරය කරන ජනතාවගේ හදවත්ය. ඒ අනුභවය ඉතාම වෛරීය. ප‍්‍රකෝපකාරීය. දේශද්‍රෝහීය. එහෙයින් මෙවන් මළ පෙරේතයන් හමුවේ දුම්මළ වරම අතට ගෙන මුන් අල්ලා ගැටගසා සත්සමුදුරෙන් එහාට වීසි කර මෙවන් අපතයන් ජනිත කිරීමට වෙහෙසෙන තුන් බියෙන් මෙරට මුදා ගැනීමට ඔබ තවත් කල්ගත කළ යුතු නැත.

මේ අන්දමට පොලිසිය සියල්ල අනාවරණය කරගැනීමෙන් අනතුරුව හරියටම සිද්ධියෙන් දෙදිනකට පමණ පසු මෙරට ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් හමුවූ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහත්වරුන් තාක්‍ෂණික සාක්‍ෂි සහිතව ‘ස්විස් අක්කා’ගේ නාටකයේ විචාරය ඔහුට ඉදිරිපත් කළේය.

මේ විචාරයත් සමග උන්හිටි තැන් අමතක වූ ස්විස් තානාපති හාන්ස් පීටර් කියන්නට වූයේ ගාලියා බැරිස්ටර් පැහැර ගැනීමේ සිද්ධිය නිසා දැඩි ලෙස රෝගීව සිටින බැවින් වහාම ඇය සහ පවුලේ සාමජිකයන් ස්විට්සර්ලන්තයට රැගෙන යෑමට අවශ්‍ය බවය.

ඔහු එසේ කීවද එල්ල වූ චෝදනාවේ බරපතළකම නිසා ඊට ඉඩ දෙන්නට ශී‍්‍ර ලංකා රජය කැමැති වූයේ නැත. රජයේ ප‍්‍රතිචාරය වූයේ පැහැර ගැනීමට ලක්වූ තානාපති කාර්යාල සේවිකාවගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන සත්‍ය අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍ය බවය.

එය මේ පිළිබඳ විමර්ශනය කළ විමර්ශන නිලධාරීන්ගේද ඉල්ලීම වී තිබිණි. එසේ වුවද රජය කළ එකී දැනුම්දීමට නිසි ප‍්‍රතිචාර දක්වන්නට ස්විට්සර්ලන්ත තානාපතිවරයා කටයුතු නොකළේය.

ඒ අනුව පැහැර ගැනීමට ලක් වූවේ යැයි කී ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් නම් වූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට රටින් පිටවීම තහනම් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අවසානයේ පොලිසිය කි‍්‍රයා කළේය.

ඉකුත් අඟහරුවාදා එම අධිකරණ නියෝගය ලබා ගැනීමට පොලිසිය කටයුතු කරනු ලැබුවද මේ දක්වා පැහැරගැනීමට ලක් වූවේ යැයි කියන ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් පොලිසියට පැමිණ ප‍්‍රකාශයක් ලබා දුන් වගක් වාර්තා නොවුණි. ඒ සඳහා ඇයට අධිකරණය විසින් කාලය ලබා දී ඇත්තේ ලබන 9 වැනිදා තෙක්ය. එහෙත් තවමත් පොලිසියට ප‍්‍රකාශයක් ලබා නොදුන් ඇය සිය පවුලේ ඥාතීන්ද සමග ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රැඳී සිටින බවක් දැනගැනීමට ඇත.

දැන් අප එන්නේ ගාලියා බැරිස්ටර් හෙවත් ‘ස්විස් අක්කා’ගේ සිද්ධිය හරහා මෙරට ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් තානාපති කාර්යාලය තුළදීම බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කර ඇතැයි අප මෙහි මුලින් කළ සඳහනටය.

මේ මොහොත වන විට ගාලියා බැරිස්ටර් යනු තානාපති කාර්යාලය කියන පරිදි රෝගියෙකි. ඇය සිටින්නේ ප‍්‍රකාශයක් ලබාදීමට පවා නොහැකි තරමේ රෝගියකු බවට පත්වය.

රෝගයකට ප‍්‍රතිකාර ගැනීමට අවස්ථාව හිමිවීම යනු මූලික මිනිස් අයිතිවාසිකමකි. එසේ වුවද මේ වන විට ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතා ගාලියා බැරිස්ටර්ගේ එම අයිතිය උදුරාගෙන නොතිබේද? ශී‍්‍ර ලංකාව තුළ ඕනෑ තරම් රජයේ මෙන්ම පහසුකම් ඇති පෞද්ගලික රෝහල් පවා තිබුණද රෝගීව සිටින ‘ස්විස් අක්කා’ට ප‍්‍රතිකාර කරන්නට ස්විට්සර්ලන්ත තානාපතිවරයා මෙතෙක් පියවරක් ගෙන නැත.

තානාපතිවරයා රෝගීව පසුවන සිය කාර්යාල සේවිකාව සහ ඇගේ පවුලේ ඥාතීන්ද නිවාස අඩස්සියේ තබාගෙන ඇත.

එසේ නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මියගෙන් අපට අසන්නට තිබෙන්නේ රාජ්‍යතාන්ති‍්‍රක නිලධාරියකු වූ ස්විට්සර්ලන්ත තානාපතිවරයා මේ සිදු කර ඇත්තේ මානව හිමිකම් කඩකිරීමක් නොවේද යන්නය.

මේ විමසීම ‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්’ බව අපි දැන සිටිමු. එසේ වුවද සත්‍ය සෙසු ලෝකයා දැනගත යුතු බැවින් අපි ඇගෙන් එම විමසීම කරන්නෙමු.

මේ අන්දමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ විධායක ජනාධිපතිවරයා වී දෙසතියක් යන්නටත් මත්තෙන් මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයා සිය නිලධාරිනියක වූ ගාලියා බැරිස්ටර් යොදාගෙන මෙවැනි නාටකයක් රඟ දැක්වීමට කුමක් හේතු වූයේද?

එයට ආසන්නම හේතු වූයේ පසුගිය කාලයේ බුද්ධි අංශ දඩයමක යෙදෙමින් ජාතික ආරක්‍ෂාව වනසා දමන අතරේ විජාතික කොන්ත‍්‍රාත්තුවකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිරගත කරන්නට වෙහෙසුණු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පාගේ පලා යෑමය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ අනුග‍්‍රහය යටතේ ඔහු පැනගියේ ස්විට්සර්ලන්තයට ය. එකී පැන යෑමේදී කන්දප්පාගේ වීසා අවසර ලබාගැනීමේ කටයුතුවලට මැදිහත් වූයේ ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් නමැති පැහැරගත් බව කියන තානාපති කාර්යාල සේවිකාව බවද කියැවෙමින් ඇත.

නිශාන්ත කන්දප්පා යනු මෙරට අධිකරණයක් තුළ මිනීමැරුම් චෝදනා එල්ල වී සිටින චූදිතයෙකි. එසේම පසුගිය කාලයේ නීතිය අවභාවිත කරමින් සීඅයිඩීයේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, ඒ.එස්.පී. තිසේරා යන නිලධාරීන් සමග එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිරගත කිරීමට කුමන්ත‍්‍රණ කෙරූවෙකි.

ඒ කුමන්ත‍්‍රණයේදී විජයකාන්තන් නමැති හිටපු එල්ටීටීඊ සාමාජිකයකු යොදාගෙන අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීමක් පිළිබඳව ද කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේදී අනාවරණය වී තිබේ. එසේම නිශාන්ත කන්දප්පා යනු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරූවකු බවට වරදකරු වූවකුද වේ.

පසුගියදා මෙරට තුළ සිදුවූ දේශපාලන පෙරළියත් සමග ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතා විසින් දේශපාලන රැකවරණ මත ස්විට්සර්ලනත්යට පිටත් කර හරිනු ලැබුවේ මේ නිශාන්ත කන්දප්පාය.

පැහැරගැනීමට ලක්වූ තානාපති කාර්යාල සේවිකාව, තානාපති හාන්ස් පීටර් මහතාගේ සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ද අනුදැනුම මත මෙරටින් පලා යෑමට සලස්වනු ලැබුවේ එකී නිශාන්ත කන්දප්පාවය.

ඉහළින් මානව හිමිකම් පිළිබඳ කතා කරන ස්විට්සර්ලන්තය වැනි රටක් නිශාන්ත කන්දප්පා වැනි කුජීත පොලිස්කාරයකුට රටින් පැන යෑමට සහාය දක්වමින් මෙසේ තුට්ටු දෙකේ හැසිරීමක් ප‍්‍රදර්ශනය කිරීම පුදුම සහගතය.

ස්විට්සර්ලන්ත තානාපතිවරයා ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් හෙවත් ‘ස්විස් අක්කා’ගේ කතාව කරළියට ගෙන එන්නේ එකී තුට්ටු දෙකේ හැසිරීම තිරය පිටුපසට ගෙන සඟවා ගනු පිණිසය. රාජ්‍යතාන්ත‍්‍රික විශ්වසනීයත්වය අවභාවිත කරමින් ස්විස් තානාපති හාන්ස් පීටර් සිය අධිරාජ්‍යවාදී කුහකත්වය ලෝකයට පෙන්නුම් කළ ‘ගාලියා බැරිස්ටර් හෙවත් ස්විස් අක්කාගේ කතාව’ පිටුපස ඇත්තේ මේ සත්‍ය හැර වෙන කුමක්ද?

මේ කුමන්ත‍්‍රණකාරී සැලසුමේ අවසන් ඉලක්කය වූයේ ලබන මාර්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී නිශාන්ත කන්දප්පා සහ ගාලියා බැරිස්ටර් ශී‍්‍ර ලංකාවට එරෙහිව සාක්‍ෂිකරුවන් ලෙස එකවර ඉදිරිපත් කිරීම වූවා විය යුතුමය.

එහිදී ප‍්‍රධාන ඉලක්කය වන්නට ඇත්තේ හැටනව ලක්‍ෂයක ඡන්ද ප‍්‍රමාණයක් ලැබ ඉනුත් දහහතර ලක්‍ෂයක වැඩි ඡන්ද සංඛ්‍යාවකින් මේ රටේ විධායක ජනාධිපති වී 2015 දී විජාතික කඳවුර විසින් සිදුකළ කුමන්ත‍්‍රණකාරී ‘දේදුණු විප්ලවය’ ආපසු හැරවූ ගෝඨාභය රාජපක්‍ෂ සාධකය වූවා නිසැකය.

ඒ අනුව මෙතෙක් දේශද්‍රෝහීන් සහ කොටි ඩයස්පෝරාව ඇතුළු විජාතික බලවේග විසින් ශී‍්‍ර ලංකාවට එරෙහිව දියත් කළ කුමන්ත‍්‍රණවලට තටු දුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ගෙන් අපට අහන්නට ඇත්තේ මේ ‘පව් කන්ද’ටත් කරගහන්නට දැන් ඔබ සූදානම්ද යන්නය.

එසේ විමසීමට සිදුව තිබෙන්නේ කිසිඳු වගවිභාගයකින් තොරව බලවත් රාජ්‍යයන්හි පහත් අරමුණු වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හසුරුවන මිචෙලි බැචලට් ඉකුත් මානව හිමිකම් සැසිවාරයේ දී සිය වාර්තාවට නිශාන්ත සිල්වා කන්දප්පා වැනි අනීතික මිනිසකුගේ නම ඇතුළත් කිරීමට තරම් පහතට ඇද වැටුණු නිසාය.

– සමන් ගමගේ

+++++++++++++++++++++++++++++++++++

ස්විස් නාඩගම අවසන්.. CCTV දර්ශණ සමගින් ආණ්ඩුව සියල්ල හෙලි කරයි..

(08.12.2019 – 14:10 +0530 – lankacnews.com)

ස්විස් නාඩගමේ අලගිය මුලගිය තැන් ළගදීම රටට හෙළි කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අව‍ධාරණය කරන්නේ මේ කුමන්ත්‍රණයේ සුලමුල මේ වන විට ආණ්ඩුව හෙළි කර‍ගෙන ඇති බවයි. අදාළ සාක්ෂි ද සහිතව සී.සී.ටී.වී දර්ශන ද සමග මෙම තොරතුරු ලගදීම රටට හෙළි කරන බව රණතුංග මහතා කීවේ ය.

මීගමුව නගර ශාලාවේ දී පැවති මීගමුව ‍ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීගමුව ආසන බල මණ්ඩල රැස්වීමේ දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. ජනාධිපතිවරණයේ දි ලබා ගත් ප්‍රතිඵල විශ්ලේෂණය කොට ඉදිරි මහා මැතිවරණයේ දි ලබා ගත යුතු ඉලක්ක ලබා දීම සදහා රැස්වීම කැදවා තිබුණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා :

“ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරිමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. මේ කුමන්ත්‍රණය දේශීය හා විදේශීය වශයෙන් ක්‍රියාත්මක බව පැහැදිලියි. මේ පිටුපස ඉන්නේ බටහිර රටවල්, දෙමළ ඩයස් පෝරාව හා මෙරට තුළ ඔවුන්ට කඩේ යන රාජ්‍ය නොවන සංවිධාන, දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව කියවෙනවාත් එක්කම මේ නඩය ගෝඨාභය මහත්තයට හා ආණ්ඩුවට චෝදනා කරන්න වෙච්ච ඉක්මන දැක්කාම අපිට මේ සිද්ධවෙන දේ තේරුම් ගන්න පුළුවන්.

රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමා පසුගිය දා මාධ්‍ය හමුවක් තියෙමින් කිව්වා මේ කාන්තාවගේ කටට පිස්තෝලේ ඔබපු විදිහ. පරීක්ෂණ කණ්ඩායම් කියන්නේ මෙහෙම දෙයක් වෙලා නෑ කියලා. එහෙමනම් රාජිත කොහොමද මෙහෙම ප්‍රසිද්ධියේ කියන්නේ. රාජිතට කවුද මේ තොරතුරු දුන්නේ. මේ පිළිබද ව වහා පරීක්ෂණ කළ යුතුයි. රාජිත සේනාරත්න ඇමතිවරයා වහා අත්අඩංගුවට ගත යුතු ය.

මේ කුමන්ත්‍රණයේ ‘පිටපත් රචකයන් නළු නිළියන් සහ අධ්‍යක්ෂකවරුන්’ කවුදැයි ඉතා ඉක්මණින් රටට හෙළිදරව් කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට වත්මන් ආණ්ඩුව පසුබට වෙන්නේ නෑ. ඉතිහාසය පුරාම මේ වගේ පාවාදීම් අප දැක තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ රට පාවාදීමට උපන් හපන් පක්ෂයක්. ඔවුන්ට ඕනෑ කෙක්කෙන් හරි කොක්කෙන් හරි නැවත ආණ්ඩු බලය ගන්න. ඒ නිසයි අද මේ අය ඔය විදිහට කුමන්ත්‍රණ කරන්නේ.”

– ප‍්‍රදීප් අනුර කුමාර

+++++++++++++++++++++++++++++++++++

අන්තිම පැය 24 දී ස්විස් තානාපති දණ ගහයි.. සේවිකාව ප‍්‍රකාශයක් දෙන්න සූදානම්.. නොදුන්නොත් හෙට (09) වරෙන්තු…

(08.12.2019 – 09:20 +0530 – lankacnews.com)

පැහැරගැනීමට ලක්වූ බව කියමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙහි රඳවාගෙන සිටින කාන්තාව පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකගතාවය ඇතිව ඇති නමුත් කොන්දේසියක් ලෙස ස්විස් තානාපති කාර්යාලය දන්වා ඇත්තේ එම කාන්තාවගෙන් ප්‍රකාශය ගැනීම තම තානාපති කාර්යාල පරිශ්‍රය තුළදී සිදු කල යුතු බවය.

නමුත් රජය පාර්ශ්වයෙන් ඊට විරෝධතාවය පල කරමින් පෙන්වා දී ඇත්තේ සියලු පුද්ගලයන් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශ ලබා දෙන නිසා මෙම කාන්තාව ද එසේ කළ යුතු බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද වාර්තා වෙයි.

තානාපති කාර්යාලයක් තුළදී ශ්‍රී ලංකා පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඉතා දැඩි ලෙස සීමාවන් පැනවෙයි.

මෙම කාන්තාවට හෙට (09) දිනයට පෙර පොලීසියට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය විසින් නියෝගයක්ද ලබා දී ඇති අතර එය සිදු නොවුවහොත් අධිකරණ නියෝගයක් කඩ කලේ යයි නීතිය ක‍්‍රියාත්මක වීමක්ද සිදුවනු ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

පැහැර ගත්තායැයි ආන්දෝලනයට පත් ස්විස් නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් රහස් පොලිසියට එයි

(09.12.2019 – 04:31 +0530 – lankaleadnews.com)

පැහැර ගැනීමට ලක්වූ බව කියූ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන වීසා නිලධාරිනියක යැයි සඳහන් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ඊයේ (08 වැනිදා) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 04 කට ආසන්න කාලයක් තිස්​සේ ප්‍රකාශයක් ලබා දුන්නාය.

ඇගේ ප්‍රකාශයක් ලබා දීමට ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය පෙරේදා (07 වැනිදා) ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ කොන්දේසි සියල්ල ප්‍රතික්ෂේප කිරීම නිසා තම ප්‍රකාශය ලබාදීමට ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබිණි.

තම නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය නම් පෙරේදා (07 වැනිදා) ඇය නැවතී සිටි නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී එය ලබාදීමට ඉඩදීමට හැකි බවට ස්විස් තානාපති කාර්යාලය කොන්දේසි ඉදිරිපත් කර තිබිණි. ප්‍රශ්න කරන මොහොතේදී නීතිඥවරුන් දෙදෙනකුත්, ලංකාවේ ස්විස් තානාපතිවරයාත්, වෛද්‍යවරයකුටත්, ඇය ළඟ රැඳී සිටිය යුතු බවත්, සියලු දෙනාට ආරක්ෂාවක් සපයාදිය යුතු බවත්, ස්විස් තානාපති කාර්යාලයේ කොන්දේසිවල සඳහන් විය.

එයින් පසුව ගානියා බැරිස්ටර් නමැති ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික කාන්තාව නීතිඥවරුන් දෙදෙනක්ද සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණාය.

මෙම නිලධාරිනියට විදෙස්ගතවීම තහනම් කරමින් අද (09 වැනිදා) දිනයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉකුත් 03 වැනිදා නියෝග කර තිබිණි.

නිලධාරිනිය ඌබර් ටැක්සියක් ගෙන්වාගෙන ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ තම දරු දෙදෙනාගේ දෙමාපිය රැස්වීමක් සඳහා නොවැම්බර් 25 දා පස්වරු 04:15 ට ගිය බවත්, ඒ යන මොහොතේ පාසල අසලදී පස්දෙනකු විසින් ඇයව පැහැරගෙන ගොස් ලිංගික අතවර කර නිශාන්ත සිල්වා නමැති අයකුට වීසා ලබාදීම පිළිබඳ ප්‍රශ්න කර පැය කිහිපයක් රඳවා තබාගෙන මුදාහැර ඇතැයි ස්විස් තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කර තිබිණි.

මෙහිදී කාන්තාව ගැන කිසිදු තොරතුරක් ලබානොදුන්නද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය සම්බන්ධ සියලු තොරතුරු සොයාගෙන මෙම සියලු චෝදනා එකිනෙකට පරස්පර බව විමර්ශන මගින් තහවුරු කර පෙන්වාදී තිබුණේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න, සහකාර පොලිස් අධිකාරි ලොකුහෙට්ටි, මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ යන මහත්වරු විසින් විමර්ශන සිදුකළේය.

පැහැර ගැනීම සිදුවූවා යැයි කියන තැන පටන් සිදුවූ සියලු දේ සම්බන්ධව හා විමර්ශනවලින් හෙළි වූ තොරතුරු සම්බන්ධව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශය සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනාවරණය විය.

‍මෙම නිලධාරිනිය ස්විස් තානාපති කාර්යාලයේ සිටින විදෙස් නිලධාරීන් සමග පස්වරු 02:30 ට පමණ රහස් පොලිසියට පැමිණ ඇති අතර, එහිදී මූලික ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරියකු හමුවට පැමිණවීම සඳහා ආරක්ෂක රැකවල් මැද කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇත.

අධිකරණ වෛදය නිලධාරියකු හමුවට ඇය පැමිණවීම පිළිබඳව තානාපති කාර්යාලයේ නිලධාරීන් විරෝධය දැක්වීම නිසා, අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් හමුවට පැමිණවීමට කටයුතු කෙරිණි.

අනතුරුව ඇය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු රාත්‍රී 07:00 ට පමණ පිටව ගියාය ෴

+++++++++++++++++++++

08-12-2019

+++++++++++++++++++++

08-12-2019

+++++++++++++++++++++

ස්විස් තානාපති නිලධාරිනිය, අදත් (09) රහස් පොලීසියට

(09.12.2019 – 19:23 +0530 – hirunews.lk/sinhala)

පැහැර ගැනීමට ලක්වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට දේශීය නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අද (09) දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දුන්නා.

ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්

ඊට පෙර ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ද ඉදිරිපත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ අදාළ නිලධාරිනිය අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගත වීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය ලබන බ්‍රහස්පතින්දා (12) දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (090 නියෝග කළා.

ඒ, එම සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) අධිකරණයේ කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

කිසියම් පිරිසක් විසින් පැහැර ගැණුනු බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන ගානියා බැනිස්ට ෆ්‍රැන්සිස් නම් කාන්තාව සිද්ධියෙන් දින 14 කට පසු ප්‍රථම වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (08) පෙනී සිටියා.

එ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද (09) දිනට පෙර එහි පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදී තිබූ නියෝගයකට අනුවයි.

එ අනුව, ඊයේ (08) පස්වරු 2.30 ට පමණ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් සමඟ පැහැර ගැණුනා යැයි පවසන තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබූ අතර, එහිදී අනන්‍යතාවය තහවුරු කර ගත නොහැකි ආකාරයෙන් මුහුණු ආවරණය කර ගත් පුද්ගලයෙකු එම දෙපාර්තමේන්තුව තුළට කැටුව යන ආකාරයක් ද දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, පැය 5 ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අදාළ නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබුණා.

මේ අතර, එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද (09) යළි කැඳවනු ලැබුවා.

එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සඳහන් කළේ අධිකරණ නියෝගයට අනුව, ප්‍රකාශයක් ලබාදීම සඳහා අදාළ නිලධාරිනිය ඊයේ (08) පස්වරු 2.20 ට පමණ තම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි.

කෙසේ වෙතත්, ඊයේ (08) දින ඇයගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කරනු ලැබුව ද, එය අවසන් කිරීමට කාලය ප්‍රමාණවත් නොවූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී පැහැර ගැනීමට ලක්වූවායැයි පැවසෙන නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කළේ ඇයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ප්‍රකාශ ලබා ගන්නේ ද වෙනත් ස්ථානයකදී ප්‍රකාශ ලබා ගන්නේ ද යන්න තම පාර්ශවයට දැනුම්දීම ප්‍රමාද වූ බවයි.

ඒ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ පොලීසිය අතර පසුගිය සතිය පුරා සාකච්ඡා පැවති බව ද අවසානයේ ඊයේ (08) පෙරවරු 11 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ප්‍රකාශ ලබා ගත හැකි බව දැනුම් දුන් බව ද නීතිඥවරයා අධිකරණයේදී සඳහන් කළා.

පැහැර ගැනීමට ලක්වූ තම සේවාදායිකාව ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය සහ දේශීය වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂාවට භාජනය කර වාර්තාවන් ලබා ගෙන ඇති බවත්, එ ඔස්සේ පැහැර ගැනීමෙන් පසු ඇය පහරදීම්වලට සහ ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව අනාවරණ වී ඇති බවයි නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රශ්න කළේ එම නිලධාරිනිය අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගත්තේ ද යන්නයි.

එයට පිළිතුරු ලබාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහන් කළේ ඇය ඊයේ (08) දින එම දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ ද ඇය පිරිමි වෛද්‍යවරයෙකු හමුවේ කායික පරීක්ෂණයකට භාජනය වීමට අකමැත්ත ප්‍රකාශ කළ බවයි.

එ හේතුවෙන් ඊයේ (08) දින එම පරීක්ෂණය සිදුකිරීමට නොහැකි වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

තම සේවාදායිකාව කායික වෛද්‍ය පරීක්ෂණයකට පිරිමි වෛද්‍යවරයෙකු ඉදිරියේ පෙනී සිටීමට අකමැති බැවින් ඇයගේ ඉල්ලීම සලකා බලා කාන්තා වෛද්‍යවරියක් ඉදිරියේ ඇයට අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීමට හැකිවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය තුළ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකරනු ලබන්නේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සිටින පිරිමි වෛද්‍යවරුන් බැවින් එවැනි නියෝග නිකුත් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත්, ඊයේ (08) දින ලබා ගන්නා ලද ප්‍රකාශයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා එම තැනැත්තියට අද (09) දිනද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු වාර්තා කළේ.

එලෙස පැමිණි අවස්ථාවේ ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කාන්තා වෛද්‍යවරියක් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී දැනුම් දුන්නා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ පැහැර ගැණුනේ යැයි සැලකෙන එම තැනැත්තිය යහපත් මානසික මට්ටමක පසු නොවන බව මින් පෙර විත්ති පාර්ශවයේ නීතිඥයින් අධිකරණයේදී කරුණු දක්වා ඇති බැවින් ඇය මානසික වෛද්‍ය මඩුල්ලක් හමුවට යොමුකර වාර්තාවක් කැඳවිය යුතු බවයි.

එහිදී තානාපති කාර්යාල නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවාදායිකාව ප්‍රකාශයක් ලබාදීමට සුදුසු මානසික මට්ටමක මේ වනවිට පසුවන බවයි.

එම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නිළධාරිනිය කිසියම් පහරදීමකට හෝ ලිංගික අපයෝජනයකට ලක්ව ඇත්ද යන්නත් මෙම අවස්ථාවේ ඇය කිසියම් මානසික පීඩනයකින් පසුවන්නේ ද යන්නත් පරීක්ෂා කර, වාර්තා කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරින්ට නියෝග කළා.

එම නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය විසින් තම සේවාදායිකාවට පනවා ඇති විදෙස් ගමන් තහනම හැකි ඉක්මනින් ඉවත් කර ගැනීමට අවශ්‍ය බව මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නා.

එම ඉල්ලීමට පිළිතුරු ලබාදෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් එම තැනැත්තියගේ මූලික ප්‍රකාශ සටහන් කර ගැනීම හෝ මෙතෙක් අවසන් වී නොමැති බැවින් ඇයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම තුළ සමස්ත විමර්ශන ක්‍රියාවලියටම බලපෑම් එල්ල විය හැකි බවයි.

එබැවින් එම විදෙස් ගමන් තහනම ඉවත් කිරීම පිළිබඳ මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු එම ඉල්ලීම සලකා බැලිය හැකි බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද (09) දිනය දක්වා පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට නියෝග කළා.

මේ අතර, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නියෝජිතයෙකු බව පැවසූ මංජුල පෙරේරා නැමැත්තා සඳහන් කළේ අදාළ නිලධාරිනිය අද (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරන බවයි.

බාන්ස් පෙදෙසේ ලිපිනයක් ද සදහන් කළ ඔහු එම අවස්ථාවට පැමිණෙන ලෙස එහි සිටි මාධ්‍යවේදීන්ට ආරාධනාවක් ද සිදුකළා.

ඒ අනුව මාධ්‍යවේදීන් අද (09) උදෑසන ඔහු පැවසූ ලිපිනය සඳහන් නිවසට ගිය ද එහි අදාළ තානාපති කාර්යාල නිලධාරිනිය හෝ ඇයගේ නියෝජිතවරයා සිටියේ නැහැ.

එම අවස්ථාවේ අදාළ නියෝජිතයා ඊයේ (08) ලබාදුන් ප්‍රකාශය ඇතුළත් වීඩියෝපටය නිවසේ ආරක්ෂක නිලධාරියාට පෙන්වා තිබෙනවා.

එහිදී ආරක්ෂක නිලධාරියා එම පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කළේ තානාපති කාර්යාල නිලධාරිනිය හෝ අදාළ පුද්ගලයා දින කිහිපයකින් එම නිවසට නොපැමිණි බවයි.

මේ අතර, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියගේ නියෝජිතයෙකු බව පැවසූ මංජුල පෙරේරා ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණේ සී.ඒ.එෆ් – 0165 දරණ මෝටර් රථයෙන්. හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ එම මෝටර් රථය අංක 78/2 දේවාල පාර, මාකොළ – උතුර – මාකොළ යන ලිපිනයේ ලියාපදිංචි වී ඇති බවයි.

කෙසේ වෙතත්, එම නිවස වසර 8 ක් පමණ මුළුල්ලේ වසා දමා ඇති බවයි අසල්වාසීන් ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැය පහකට පසු පිටව යයි

(09.12.2019 – 21:18 +0530 – hirunews.lk/sinhala)

පැහැරගෙන යාමේ චෝදනාවට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පැය පහමාරක කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු රහස් පොලිසියෙන් පිටව ගොස් තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ස්විස් එම්බසි කාන්තාව එජාප සංවිධායකගේ ඥාති දුවක්.. ලගදී ආගම හා නම වෙනස් කරලා… පින්තූරය ප‍්‍රසිද්ධියෙන් සියල්ල හෙලිවෙයි..

(10.12.2019 – 00:02 +0530 – lankacnews.com)

තමන් පැහැරගැනීමකට ලක් වූයේ යයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලය සේවිකාව එක්සත් ජාතික පක්ෂය කැළණිය ආසනයේ හිටපු සංවිධායකවරයෙකුගේ සමීප ඥාතියෙක් යයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කරයි.

එමෙන්ම මෙම කාන්තාව මෑතකදී ආගම සහ නම වෙනස් කරගත් කාන්තාවක් යයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

රහස් පොලීසිය ඉදිරියේදී ඇය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් පල කරන ලද පුද්ගලයා අදාල එජාප සංවිධායකවරයාගේ පුත‍්‍රයා යයිද සදහන්ය.

+++++++++++++++++++++

ඔබ කිවේ බොරු.. අපේ රටේ සායම හේදුනා.. – ස්විස් එම්බසි ලොක්කන් කාන්තාවට බැණ වදිති..

(09.12.2019 – 22:36 +0530 – lankacnews.com)

තමන් පැහැරගැනීමට ලක් වූයේ යැයි පවසන ශ්‍රී ලංකාවේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඉහලම නිලධාරීන් විසින් දැඩි ලෙස දොස් පවරා ඇති බව වාර්තා වෙයි.

ඇගේ ප්‍රකාශය සහ හේතුවෙන් සහ ඇය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණපා තිබෙන බව එම නිලධාරීන් දැඩි ස්වරයෙන් පවසා ඇත.

ශ්‍රී ලංකා පොලීසිය විසින් පරීක්‍ෂණ කර හෙලි කරන ලද තොරතුරු බිද හෙලිය නොහැකි මට්ටමේ කිසිදු සාක්‍ෂියක් සේවිකාව පාර්ශවයෙන් ඉදිරිපත් නොවී ඇති බව පවසා ඇති එම නිලධාරීන් තවදුරටත් ඇය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවද සදහන් කර ඇත.

තම රාජ්‍යයට මෙම ප්‍රශ්නය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන්ද අපකීර්තියක් ඇති ව තිබෙන නිසා හැකි ඉක්මනින් එය නිරාකරණය කරගෙන තම රාජතාන්ත්‍රික ගෞරවය බේරාගත යුතු බවද ඔවුන් සඳහන් කර ඇත.

මෙම කාන්තාව කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවන බව සඳහන් කර පසුව කිසිදු හේතුවක් නොදන්වා එය අවලංගු කිරීම ගැනද ඔවුන් දොස් පවරා තිබේ ෴

+++++++++++++++++++++

හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුදර්ශන ගුණවර්ධන සමග ජවිපෙ උපුල් කුමාරප්පෙරුම ස්විස් තානාපති සේවිකාව වෙනුවෙන් අධිකරණයට

(09.12.2019 – colombotoday.com)

කොළඹ, නාවල විජයබා මාවතේ පවත්වාගෙන යන Rights Now නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමග 2015 මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත්වූ නීතිඥ උපුල් කුමාරප්පෙරුම පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව වෙනුවෙන් අද (09) අධිකරණය වෙත පැමිණ සිටියා.

Rights Now නැමැති රාජ්‍ය නොවන සංවිධානය සඳහා මුදල් ලැබන්නේ ස්විට්සර්ලන්තයේ සිට බවයි දැනගන්නට ඇත්තේ. රට තුල සිදුවන ඉතා කුඩා සිද්ධි කිහිපයක් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය දක්වා ගෙන යෑමට සුදර්ශන ගුණවර්ධන ප්‍රමුඛ කණ්ඩායම පසුගිය කාලය පුරා කටයුතු කර සිටියා.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම ද රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා කරුවෙකු වන අතර ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කල බවට චෝදනා කරමින් යුධ හමුදා බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥවරයෙක් ද වනවා. පසුගිය සමයේ බුද්ධි අංශ රණවිරුවන් සිරගත කිරීම සඳහා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර නඩු ගෙතු බවට චෝදනා එල්ලවූ අතර අදාළ බොහොමයක් නඩුවල පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි උපුල් කුමාරප්පෙරුම, පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිරගත කිරීම සඳහා අධිකරණය ඉදිරියේ බොරු සාක්ෂි ලාබා දුන් බවට භික්ෂුන් වහන්සේලාගේ චෝදනාවට ලක්වුවෙක් ද වනවා.

මුදල් වෙනුවෙන් රට ජාත්‍යන්තරය හමුවේ පාවා දෙන ඩොලර් කාක්කන් පසුගිය යහපාලන රජය සමයේදී වර්ධනය වූ අතර රටට එරෙහිව කුමන්ත්‍රණය කරන්න එවැනි පුද්ගලයන් හඳුනාගෙන රටේ නීතිය ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුව ඇත ෴

+++++++++++++++++++++

ස්විස් සිද්ධිය පිටපුස දෙමළ ඩයස්පෝරාව සිටින බවට ආරක්ෂක ලේකම්ගෙන් චෝදනා

(08.12.2019 – 19:30 +0530 – sinhala.adaderana.lk)

දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව පරිදි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කටයුතු කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ‍ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ අද (08) පස්වරුවේ පන්නිටිය බෝගහවත්ත ප්‍රදේශයේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ‍ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් ඔහු පදිංචි පන්නිපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ දී අද පැවැත්වුණි.

එම අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ පැහැරගත් බව කියන කාන්තාව ශ්‍රී ලාංකික පුරවැසියෙක් බැවින් ඇයට ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පිළිබඳව කටයුතු කරන ආරක්ෂක අංශවලට අයිති දෙයක් බවයි.

+++++++++++++++++++++++++++++++++++

ස්විස්ටර්ලන්ත ගරිල්ලා ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ අභියෝගය

(09.12.2019 – 16:03 +0530 – lankaleadnews.com)

ස්විස්ටර්ලන්තයේ ‘ස්වීස් බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන්’ නම් වූ මාධ්‍ය ආයතනයේ වෙබ් අඩවිය හරහා ( swissinfo.ch ) ලෝකයට අනාවරණය කළ සුදු වෑන් මඟින් පැහැරගැනීමේ නවතම සිද්ධිය මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇත. එම වෙබ් අඩවියට අනුව සුදු වෑන් රථයක් යොදා ගනිමින් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත් බව පළමුවෙන්ම වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ මහජනයා ඒ තරම් නොදන්නා ලංකානිව්ස්වෙබ් නම් වූ වෙබ් අඩවියක් මගිනි. නොවැම්බර් 25 වැනි දා සිදු වූ බව කියන මෙම සිදුවීම පිළිබඳවව ශ්‍රී ලංකාවේ රජයට දැනුම් දුන් බවත් ඊට අදාළව කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිටි බවත් ස්විස්ටර්ලන්ත විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කළ බවද ස්විස්ටර්ලන්ත වෙබ් අඩවිය විසින් වාර්තා කරනු ලැබීය. එම වෙබ් අඩවිය අදාළ වාර්තා මගින් ලෝකයට කියන්නේ ශ්‍රී ලංකාවේ නව රජය අදාල පරීක්ෂණ විධිමත්ව නොකරන බව ය. නමුත් සත්‍ය තත්ත්වය ඊට වෙනස් බව ශ්‍රී ලංකාවේ වැසියෝ මේ වන විට ඉතා හොඳින් දනිති.

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර මහතා

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති වරයා විසින් අදාළ පැහැර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රජයට ලබාදී ඇති තොරතුරු නිවැරදි නොවන බව ශ්‍රී ලංකාවේ විදේශ ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම් වරයා විසින් එම තානාපති අංශ වලට දැනුම් දුන් බව ශ්‍රී ලංකාවේ පුවත්පත් වාර්තා කොට තිබුණි. නමුත් තානාපති අංශ විසින් තමා විසින් එල්ල කරන චෝදනා සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු පළමු සාක්ෂිය වන පැහැරගැනීමට ලක්වූ තැනැත්තිය පොලිසිය වෙත භාර දීම ප්‍රතික්ෂේප කරයි. එම ලේකම් වරු දෙදෙනා තානාපති කාර්යාලයට ගොස් පුද්ගලිකව තානාපතිවරයා මුණගැසී ශ්‍රී ලංකාවේ රජය විසින් සිදුකළ පරීක්ෂණවල තොරතුරු ලබාදී ඇතත් තානාපතිවරයා විසින් සාක්ෂි වසන් කිරීම දිගින් දිගටම කරගෙන යන බවද වාර්තා විය. ඒ ආකාරයට තානාපති වරප්‍රසාද හිමි නොවන සේවිකාවක් පිළිබඳව අපරාධ වරදකට අදාළව තොරතුරු ලබා නොදීම මගින් වියානා සම්මුතිය පමණක් නොව ශ්‍රී ලංකාවේ නීතිය සහ ස්වෛයිරීත්වයද උල්ලංඝනය වේ.

ඒ ආකාරයට විදේශ තානාපති කාර්යාලයක් අපරාධයක් පිළිබඳව තොරතුරු වසන් කිරීමට ධෛර්යමත් වන්නේ ශ්‍රී ලංකාවේ රජය විසින් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා බව පැහැදිලිව පෙනී යයි. මෙවැනි තත්ත්වයකදී ඕනෑම රටක් විසින් ගත යුතු පළමු ක්‍රියාමාර්ගය වන්නේ අදාල තානාපතිවරයා විදේශ අමාත්‍යංශයට කැඳවීමය. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ විදේශ ලේකම්වරයා තානාපතිවරයා මුණ ගැසීමට යාම නිසා තානාපතිවරයාගේ හැසිරීම තවදුරටත් පිළිගත නොහැකි මට්ටමට වර්ධනය වූ බව පිළිගත හැක. අදාළ සිදුවීම මගින් ශ්‍රී ලංකාවේ රජයට විශාල අපකීර්තියක් සිදුවිය හැකි බැවින් වහාම ක්‍රියාත්මක වීම රජයේ වගකීමකි.

තානාපතිවරයා විසින් සාක්ෂි වසන් කරන තත්වයක් යටතේ පැහැර ගැනීමට ලක්වූ බව කියන වින්දිතයා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහා දින පහක් තිස්සේ බලා සිටීම හෝ කල් මැරීම යනු කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයකි. විශේෂයෙන්ම අදාළ තැනැත්තිය තානාපති කාර්යාලයේ රඳවාගෙන සිටීම තුළ සහ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අවදානම් බව දැන්වීම් නිසා වහා නීතිමය පියවර ගත යුතුව තිබුණි. තානාපති කාර්යාලයේ ‘රතුකුරුස’ ලකුණක් තිබුණද එය රෝහලක් නොවන බැවින් රෝගී තත්වයට පත්ව සිටින අපරාධයක වින්දිතයෙකු ප්‍රතිකාර ලබා නොදී තානාපති කාර්යාලය තුළ රඳවාගෙන සිටීම වරදක් බව කුඩා ළමයෙකුට වුවද වැටහේ. එහිදී අදාල තැනැත්තියගේ කැමැත්තෙන් තොරව රඳවාගෙන සිටිනවා ද යන ප්‍රශ්නය ද පැන නගින බැවින් තානාපතිවරයා විසින් කරනු ලබන වරද ඉතා බරපතල වේ. එසේ වුවත් ස්විස්ටර්ලන්ත රජය විසින් එම වරද නිවැරදි කිරීමට ඉදිරිපත් වූ බවක් වාර්තා වන්නේ නැත.

ඒ වෙනුවට ස්විස්ටලන්තයේ රාජ්‍ය ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා තානාපති වරයා කැඳවා ප්‍රශ්න කළ බව වාර්තා විය. එහිදී ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කිරීමට ලක් වන්නේ පැහැර ගැනීම සිදු වී දින 5 කට පසුව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක් මගින් ස්විස්ටර්ලන්ත තානාපතිවරයා විසින් ලබාදෙන තොරතුරු අභියෝගයට ලක් කිරීම ය. පුවත්පත් වාර්තා අනුව ස්විස්ටර්ලන්ත ප්‍රකාශකයා සඳහන් කොට ඇත්තේ වින්දිතයාගේ රෝගී තත්වයට ඔවුන් ප්‍රමුඛතාවය දෙන බවය. නමුත් එහිදී අදාළ රෝගියාට ශ්‍රී ලංකාවේ දී ප්‍රතිකාර කිරීම නීතියට අනුව සිදුවිය යුත්තක් බව ශ්‍රී ලංකාවේ තානාපති වරයා විසින් අවධාරණය කළ බවක් සඳහන් නො වීය. ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ කීර්තිනාමය විනාශ කරන නාට්‍යයක් ගෝලීය වේදිකාවේ දිගින් දිගටම රඟදැක්වීමට ස්විට්සර්ලන්ත බලධාරීන්ට හැකි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ දුර්වලකම නිසා බව ඉතා පැහැදිලිව පෙනේ.

මෙම නාට්‍ය ආරම්භයේ සිටම සුදු වෑන් කතාවක් ඊට එකතු කරන්නේ කුමක් නිසාදැයි ශ්‍රී ලංකාවේ කුඩා ළමයකුට වුව ද තේරුම් ගත හැක. එම වචනය නාට්‍ය පිටපතට එකතු කරන්නේ සුදු වෑන් කතා මුල් වරට නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලනඥයකුගේ වෙබ් අඩවියක් මගිනි. ඒ අනුව මෙම නාට්‍යය ශ්‍රී ලංකා – ස්විස් ඒකාබද්ධ නිෂ්පාදනයක් බව පැහැදිලිවේ. ස්විස්ටර්ලන්තය මෙන්ම එම දේශපාලනඥයා ද දෙමළ ඩයස්පෝරාව සමග ඉතා සමීප කටයුතු කරන බව ප්‍රසිද්ධ කරුණකි. දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ මූල්‍ය කේන්ද්‍රය පවතින්නේ ස්විස්ටර්ලන්තයේ බව ස්විස්ටර්ලන්තයේ පුවත්පතක් වන Tages Anzeiger වාර්තා කරයි. ස්විස්ටර්ලන්ත රජය පමණක් නොව එරට කෘෂිකාර්මික ඉඩම් හිමියන් ද ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයට අනුකම්පා කරන බව සහ සහාය දෙන බව ප්‍රසිද්ධ කරුණකි.

ස්විස්ටර්ලන්තයේ කෘෂිකාර්මික කම්කරුවන් අතිබහුතරය ශ්‍රී ලංකාවේ සරණාගතයන් බව මීට වසර 10 කට පමණ පෙර වාර්තා විය. එදා එම ප්‍රමාණය 60,000 ඉක්මවීය. එරට ඉඩම් හිමියන් ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ කෘෂිකාර්මික කම්කරුවන්ට වැඩි කැමැත්තක් දක්වන්නේ ඔවුන් නිර්දේශිත දෛනික වැටුපට වඩා අඩු වැටුපකට සේවය කරන බැවිනි. ඊට අමතරව ඔවුන් දිවා ආහාරය ඉල්ලා නොසිට කුමක් හෝ ගිලදමා වැඩ කිරීම ද එසේ ප්‍රසාදය ඇතිවීමට හේතුවක් බව එරට වැසියෝ පවසති. එරට නීතිය අනුව කෘෂිකාර්මික කම්කරුවන්ට දිවා ආහාරය ලබා දීමට ඉඩම් හිමියා බැඳී සිටියි. ඒ අනුව එම වහල් සේවය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයේ පැවැත්ම ද ඉතා වැදගත් බව කිව යුතු නැත. සුදු වෑන් මඟින් පැහැර ගැනිමේ කතාද දේශපාලන රැකවරණය ඉල්ලා සිටින්නන්ට ඉතා වැදගත් බව ප්‍රායෝගික සත්‍යයකි.

මේ වන විට හෙළිදරව් වී ඇති ආකාරයට ස්විස්ටර්ලන්ත සදු වෑන් නාටකයේ තිරය පිටුපස චරිතයක් වී ඇත්තේ බෙදුම්වාදී ව්‍යාපාරය සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරියෙකි. නිශාන්ත දසිල්වා කන්දප්පා ලෙස හෙළිදරව් වී ඇති එම නිලධාරියාට ආණ්ඩු පෙරළිය සිදු වූ විගස ස්විස්ටර්ලන්තයට පැන යෑමට ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය වීසා ලබාදී උදව් කොට ඇති බවට චෝදනා එල්ල වී ඇත. ඇතැම් විචාරකයන්ගේ මතය අනුව නාටකයේ මූලික අරමුණ එම සිදුවීම යටපත් කොට වෙනත් ඝෝෂාවක් ඇති කිරීමය. එහි යම් සත්‍යතාවයක් තිබිය හැකි වුවත් දැන් පෙනෙන ආකාරයට එම රඟදැක්වීම් අවුල් වී තිර රචකයින් ‘හත්පොලේ ගාගන්නා’ තත්ත්වයක් ඇතිවී ඇත. එහෙත් ස්විස්ටර්ලන්ත බලධාරීන් විසින් ස්විස්ටර්ලන්තයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා රඟදක්වන බව පෙනෙන මෙම නාටකයේ නළුවන්ගේ නිරුවත ලෝකයට එළිදරව් කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් අසමත් වී ඇති බව පිළිගැනීමට සිදුවේ. ඊට හේතුව තානාපතිවරයා සද්භාවයෙන් තොරව යම් සැඟවනු න්‍යායපත්‍රයකට අනුව කටයුතුකරන බව ඉතා පැහැදිලිව පෙනෙන තත්වයක් තුළත් ඒ බව ලෝකයට ඔප්පු කිරීමට කටයුතු නොකිරීමය.

එම වරද නිවරදි කිරීම සඳහා පළමුවෙන්ම ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ බලධාරීන් විසින් ස්විස්ටර්ලන්ත තානාධිපතිවරයා වහාම විදේශ අමාත්‍යාංශයට කැඳවා ප්‍රශ්න කළ යුතුය. එසේම ඔහු විසින් කරනු ලබන වරද ඔහුට මෙන්ම ඔහුගේ උසස් නිධාරීන්ට තර්කානුතකූලව පෙන්වාදිය යුතුය. එහි ඊලඟ පියවර විය යුත්තේ තානාපතිවරයා පිළිගත නොහැකි පුද්ගයෙකු ලෙස නම් කිරීමය. ඒ මඟින් ඔහුට රටින් පිටවීම හෝ වරද නිවරදි කිරීම යන දෙකින් එකක් තෝරා ගැනීමට සිදුවේ. ඒ සඳහා අදාළ නිලධාරීන්ට ධෛර්යයක් නොමැතිනම් ආර් ප්‍රේමදාස ජනාදිපතිවරයාගේ කාලයේදී බ්‍රිතාන්‍ය තානාපති ඩේවිඩ් ගැලැඩ්ස්ටන් මහතා එසේ පිළිගත නොහැකි පුද්ගලයෙකු ලෙස නම් කිරීමේ ක්‍රියාවලිය අධ්‍යයනය කළ හැක.

දෙමළ ඩයස්පෝරාව විසින් බටහිර රටවල මාධ්‍යවේදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලදී ගත් අවස්ථා පිළිබඳව ඉතිහාසයේ බොහෝ චෝදනා එල්ල වී ඇත. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයට ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට අදාළ ප්‍රකාශයක් ඇතුල් කෙරෙන්නේ මැතිවරණ අරමුදල් වලට දායක වී ම මඟින් බවට චෝදනා එල්ලවේ. ඒ නිසා එම ලයිස්තුවට තානාපතිවරුන් ඇතුල්විය හැකි බවට සැක කිරීමේ වරද කුමක්ද? එසේම මෙම නාටකයේ සැඟවුන නළුවකු වන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා කන්දප්පා පිළිබඳවද සැක පහළ කිරීම තර්කානුකූල වේ. ඔහු වරදක් නොකලේනම් දේශපාලන රැකවරණ පතා ස්විස්ටර්ලන්තයට පැන යන්නේ කුමක් නිසාද? ඔහු විසින් යුද සමයේ ප්‍රභල භූමිකාවක් ඉටු කළ ඔත්තුසේවා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 40 කට අධික පිරිසක් සිරගත කළ බව කියවේ. එම නිසා ඔහුගේ ක්‍රියාකලාපය පිලිබඳව පුළල් පරීක්ෂණයක් කිරීමද තානාපතිවරයා පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග දාමයටම අයත්වේ.

අවසාන වශයෙන්, රටේ ආරක්ෂක හමුදාවලට මහා විනාශයක් සිදු කළ පුද්ගලයෙකු ආරක්ෂා කිරීම සඳහා සහ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි සිදුකිරීම සඳහා රඟ දැක්වෙන ස්විස් නාටකය වියුක්තව තේරුම් ගැනීම බලවත් දේශපාලන වරදකි. මෙම නාටකය 2015 දී ජිනීවාහිදී ආරම්භ වූ රණවිරුවන් දඩයම් කිරීමේ ක්‍රියාවලියේ සහ 2019 පූර්ණ මැතිවරණ සමයේ දී දියත්වූ මඩ ව්‍යාපාරයේම දිගුවකි. ඒ ‍නිසා වේදිකාවේ තිරය විධිමත්ව වසා දැමීම යනු සමස්ථ කුමන්ත්‍රණයට මුහුණ දීමේ උපාය මාර්ගයේම කොටසක් බව නැවත අවධාරණය කළ යුතුය.

– වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Good. First thing is this woman MUST attend a police station or CID HQ 4th floor to give her statement. Sri lanka Police is not part of slave state of Switzerland to comply with its ambassadors say so. Second the ambassador MUST be declare a Persona non Grata and banish him from the country for interfering with the country’s legal process and spreading fake information about Sri lanka. Third, the bokku kata arajitha MUST be arrested for complicity with the woman for fabricating fake stories and spreading lies at public new conferences. \PD

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *