අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය – හේමන්ත රන්දුණු

(08.12.2019 – divaina.com)

නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ පවුලේ සාමාජිකයකු ඝාතනය කිරීමට සැලසුම් කළ සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයකු කටුනායක ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමෙන් මුළු රටම උණුසුම් වුණේය.

මෙවන් කුමන්ත‍්‍රණ පිළිබඳව අතීතයේදී ද නිතර අසන්නට ලැබිණි. එවැනි කුමන්ත‍්‍රණ පිළිබඳ ලැබුණු තොරතුරු සැලකිල්ලට නොගැනීම නිසා අපට අත්විඳින්නට සිදුවූ අමිහිරි සිදුවීම්ද අමතක කළ නොහැක.

ඒ නිසා කටුනායකදී අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයා කළ කුමන්ත‍්‍රණය නිකම්ම නිකන් කතාන්දරයක් කියා බැහැර කළ නොහැක.

යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ. ය ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවස්ථා කීපයකදීම ඝාතනය කිරීමට උත්සාහ කළහ. කොල්ලුපිටිය පිත්තල හන්දියේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිවි ගලවා ගත්තේ රටේ වාසනාවටය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ඇති බවට නාමල් කුමාර නමැත්තෙකු විසින් පසුගියදා කරනු ලැබූ හෙළිදරව්වක් මගින් ආන්දෝලනයට තුඩුදුන් සිද්ධියක් බවට පත්ව තිබුණේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීමට මෙන්ම මෙරට පාතාලය මට්ටු කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ රටම අනුමත කළහ. මේ වැඩපිළිවෙළ නිසා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් මෙන්ම පාතාල අපරාධකරුවන්ද ගෝඨාභය මහතා කෙරෙහි පසුවන්නේ දැඩි වෛරයකින් යුතුවය.

ගෝඨාභය මහතා ජනාධිපති ධුරයට පත්වීම මුස්ලිම් අන්තවාදීන්ට, කොටි හිතවාදීන්ට, පාතාල අපරාධකාරයන්ට මෙන්ම ඇතැම් ප‍්‍රතිවිරුද්ධ දේශපාලනඥයන්ට එල්ල වූ මරු පහරක් විය.

මෙවැනි සතුරු බලවේග ක‍්‍රියාත්මක වෙමින් තිබීම නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා විනාශ කර දැමීමට සංවිධානාත්මක පිරිස් උත්සාහ කරනු ඇතැයි යන සැකය කෙසේවත් බැහැර කළ නොහැක.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පවුලේ සාමාජිකයකු ඝාතනය කිරීම සඳහා සංවිධානාත්මක කල්ලියක සාමාජිකයකු කළ කුමන්ත‍්‍රණයට අදාළ තොරතුරු කටුනායක පොලිසිය වෙත ලැබෙන්නේ අහම්බයකිනි.

පසුගිය 01 වැනිදා කටුනායක පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ඉන්දික වෙත තොරතුරක් ලැබී තිබුණේය.

කටුනායක මාදුව ප‍්‍රදේශයේ මහා පරිමාණයෙන් ක‍්‍රියාත්මක වන කසිප්පු තිප්පළක් පිළිබඳව ලැබුණු තොරතුර අනුව එය වැටලීමට පොලිස් නිලධාරීන් සූදානම් වූහ.

උප පොලිස් පරීක්‍ෂක ඉන්දික ඇතුළු නිලධාරීන් සිව් දෙනෙක් කටුනායක මාදුව ප‍්‍රදේශය වෙත ගොස් කසිප්පු තිප්පළ වැටලූහ. එහෙත් පොලිසිය ප‍්‍රමාද වැඩිය. මේ වැටලීමට ටික වේලාවකට පෙර ජාවාරම්කාරයන් කසිප්පු අරගෙන පලාගොස් සිටියහ.

වැටලීම අසාර්ථක වීමෙන් පසු පොලිස් නිලධාරීන් හිස් අතින්ම ආපසු කටුනායක පොලිසිය වෙත එන්නට සූදානම් වූහ.

මෙම වැටලීම සිදුකළ මාදූව ප‍්‍රදේශයේ පදිංචිව සිටි එක්තරා දෙමළ ජාතිකයකු උප පොලිස් පරීක්‍ෂක ඉන්දික ඉදිරියේ පෙනී සිටියේ කිසියම් වැදගත් තොරතුරක් ලබාදීම සඳහාය.

“සර්… මට සර්ට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මම දවස් ගණනක් තිස්සේ සර්ව හම්බ වෙන්න හිටියෙ මේ ගැන කියන්න.” දෙමළ ජාතිකයා පොලිස් පරීක්‍ෂකවරයාට කීවේය.

කන්දයියා නමැති මේ දෙමළ ජාතිකයා කටුනායක මාදුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු නිතර කටුනායක පොලිසිය සමග සබඳතා පවත්වමින් වැදගත් තොරතුරු ලබාදුන් පුද්ගලයෙකි. වැදගත් තොරතුරු ලබාදීම නිසා කන්දයියා පොලිස් නිලධාරීන්ගේ විශ්වාසය දිනාගෙන සිටියේය.

උප පොලිස් පරීක්‍ෂක ඉන්දික කන්දයියා කැඳවාගෙන පසෙකට ගොස් ඔහු සමග දොඩමළු වුණේය.

“සර්… මගේ මල්ලි මදන්. එයා රස්සාව කරන්නෙ කටුනායක සෝන් එකේ ෆැක්ටි‍්‍රයක. මදන් නැවතිලා ඉන්නෙ සීදුවෙ බෝඩිමක. එයා ඉන්නෙ කමල් රාජ් කියලා යාළුවෙක් එක්ක….”

කන්දයියා තම බාල සොහොයුරා පිළිබඳව විස්තරයක් උප පොලිස් පරීක්‍ෂකවරයා හමුවේ කියා සිටියේය.

කන්දයියා මදන් මෙන්ම කමල්රාජ්ද එල්.ටී.ටී.ඊ. මහවිරු පවුල්වල සාමාජිකයන්ය. මදන්ගේ වැඩිමහල් සොහොයුරිය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප‍්‍රබල සාමාජිකාවකි. ඇය යුද්ධයේදී මියගිය පසු ඇගේ පවුලේ සාමාජිකයන් වෙත එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මහවිරු පවුල් සඳහා ලබාදෙන ගෞරව නාමය ලබාදී තිබිණි.

මදන් 22 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. ඔහු ආයෝජන කලාපයේ රැකියාව කරන්නේ මීට වසර දෙක තුනකට පෙර සිටය.

කන්දයියා තවත් තොරතුරු උප පොලිස් පරීක්‍ෂකවරයා වෙත ලබා දුන්නේය.

“සර් මගේ මල්ලි නැවතිලා ඉන්න බෝඩිමේ ඉන්නවා හකීම් කියලා මුස්ලිම් කොල්ලෙක්. මිනිහා එතන නැවතිලා ඉන්නේ මාස දෙක තුනක ඉඳලා. මිනිහා මගේ මල්ලි එක්ක බොහොම හිතවත්. නිතර මේ කට්ටිය මත්පැන් පානය කරනවා. හොඳට බීපු දවසක මේ හකීම් කියන මනුස්සයා මගේ මල්ලිවයි කමල්රාජ්ටයි අලුත් යෝජනාවක් ගෙනල්ලා…”

කන්දයියා තම සොහොයුරා සහ හකීම් නමැති මුස්ලිම් තරුණයා අතර සිදුවූ රහසිගත කතාබහ පිළිබඳව තොරතුරු එකින් එක කියන්නට වූයේය.

හකීම් මොහොම්මදු රිස්කාන් 26 හැවිරිදිය. මොහු ඔට්ටමාවඩි වාලච්චේනේ පදිංචිකරුවෙකි. දෙදරු පියෙකු වූ හකීම් කටුනායක ආයෝජන කලාපයේ රැකියාවක් කිරීමට පැමිණෙන්නේ මීට වසරකට පමණ උඩදීය.

හකීම්ගේ බිරිඳ දරුවන් දෙදෙනා අතහැර යන්නේ මීට වසර තුන හතරකට උඩදීය. දරුවන් දෙදෙනා හකීම්ගේ මව්පියන් සෙවණේ ඇතිදැඩි වන අතර ඔහු ඉඳහිට වාලච්චේන ප‍්‍රදේශය වෙත ගොස් ඔවුන්ගේ දුක සැප සොයා ආපසු ආවේය.

මදන් සහ කමල්රාජ් නවාතැන් ගෙන සිටින බෝඩිමේ කාමරයක පදිංචි වී සිටින හකීම් ඉන් පිටතට ගියේ එහෙමත් වෙලාවකය.

මදන් සහ කමල්රාජ් සමීපව ඇසුරු කළ හකීම් සතියකට දෙතුන් වතාවක් ඔවුන් සමග මත්පැන් පානය කිරීමට පුරුදුව සිටියේය.

මදන් සහ කමල්රාජ් රැකියාවට ගොස් ආපසු බෝඩිමට පැමිණෙන තුරු හකීම් බලාසිටියි. හකීම්ට අවශ්‍ය වූයේ මදන් සහ කමල්රාජ් සමග මත්පැන් පානය කරමින් ඔවුන් සමග දොඩමළු වීමටය.

දිනක් මදන් කමල්රාජ් සහ හකීම් බෝඩිමේ අඳුරු කාමරයක මත්පැන් පානය කළහ. එදින හකීම් පදම ඉක්මවා මත්පැන් පානය කළේය. මදන් සහ කමල්රාජ් මහවිරු පවුල්වල සාමාජිකයන් බව හකීම් හොඳින් දැන සිටියේය. එදින හකීම් තම සිතේ කාලයක් තිස්සේ සඟවාගෙන සිරකරගෙන සිටි ඉතාම වැදගත් කාරණාව මදන්ට සහ කමල්රාජ්ට කීවේය.

“මට උඹලා දෙන්නා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි මම මේ වැදගත් දේ උඹලට කියන්නෙ. අනික උඹලා එල්.ටී.ටී.ඊ. මහවිරු පවුල්වල සාමාජිකයෝ. ඒ නිසා උඹලට මේ වැඬේ හරියට කරන්න පුළුවන්.”

හකීම් තම සැලසුම පිළිබඳව පියවරෙන් පියවර මිතුරන් දෙදෙනාට පැහැදිලි කරන්නට පටන් ගත්තේය.

“මේ වැඩේ කළොත් උඹලා දෙන්නට හිතාගන්න බැරි ධනස්කන්ධයක් දෙන්න පුළුවන්. උඹලා දෙන්නා යුරෝපේ හොඳ රටකට යවන්නත් පුළුවන්.”

හකීම් තම මිතුරන් වූ මදන්ට සහ කමල්රාජ්ට කීවේය. හකීම් කුමක් කියන්නට යනවාදැයි සිතාගැනීමට නොහැකිව දෙදෙනාම තුෂ්නිම්භූතව බලා සිටියහ.

“හරි හරි අපි කැමැති වෙන්න හරි අකමැති වෙන්න හරි මොකක්ද වැඩේ කියලා කියපං..” මදන් කීවේය.

“මේ පාර ජනාධිපතිවරණයට තරග කරන ගෝඨාභය රාජපක්‍ෂ මහතාව හරි එයාගේ ටීම් එකේ කාව හරි ඉවරයක් කරලා දාන්න ඕනෙ. ඒක කළොත් උඹලා දෙන්න ගොඩ යනවා.” හකීම් කීවේය.

එය ඇසීමෙන් මදන් සහ කමල්රාජ් තුෂ්නීම්භූත වූහ. රැකියාවක් කරගෙන පැත්තකට වී සිටින තමන්ට මෙවැනි අපරාධයක් කිරීමට කෙසේවත් ඉදිරිපත් විය නොහැකි බව මදන් මෙන්ම කමල්රාජ්ද හොඳින් තේරුම් ගෙන සිටියහ. එහෙත් මේ බවක් නොපෙන්වූ මදන් මේ පිළිබඳව හකීම්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කළේය.

“හරි අපි ඔය වැඩේ කළොත් අපට කවුද සල්ලි දෙන්නෙ? කවුද අපිව රට අරගෙන යන්නෙ.” මදන් හකීම්ගෙන් විමසුවේය.

“මේ වැඩේ කළොත් අපිට සල්ලි දෙන්නෙ අනුරාධපුර පැත්ත නියෝජනය කරන යූ.එන්.පී. මන්තී‍්‍ර කෙනෙක්. එයා මුස්ලිම් කෙනෙක්. එයා තමයි මේ වැඩේ ‘කෝඩිනේට්’ කරන්න භාර අරගෙන ඉන්නෙ.”

“අනික මේ වැඩේට ඕන කරන ආයුධ සේරම අපට දෙනවා. අපට තියෙන්නෙ වැඩේ කරන්න විතරයි.” හකීම් සිය සැලසුම පිළිබඳව සියලු විස්තර මදන්ට සහ කමල්රාජ්ට කීවේය.

ඒ වන විට මදන් සහ කමල්රාජ් දැඩි ලෙස කලබලයටත් භීතියටත් පත්ව සිටියහ. ඔවුන් දෙදෙනා හකීම්ගේ ඉල්ලීම එකපයින් ප‍්‍රතික්ෂේප කළහ.

“අපිට නිකං අමාරුවේ වැටෙන්න බැහැ. අපි දෙන්නා බොහොම අමාරුවෙන් රස්සාවක් කරලා කීයක් හරි සොයාගෙන ඉන්නෙ. උඹ මේවට අපිව ගාව ගන්න එපා.” මදන් තම මිතුරා වූ හකීම්ට කීවේය.

“හරි හරි උඹලා මේ වැඩේට කැමැති නැත්නම් මම බල කරන්නෙ නැහැ. හැබැයි මේ කතාව වෙන කිසි කෙනෙකුගෙ කනට යන්න බැහැ.”

“උඹලා මේ කතාව මේ කනෙන් අහලා අනෙක් කනෙන් එළියට දාන්න ඕනෙ. මාව සී.අයි.ඩී. එකෙන් හොයනවා. ඒ නිසයි මම මෙතන හැංගිලා ඉන්නෙ. මගේ ෆොටෝ එකක්වත් කිසි කෙනෙකුට පෙන්නන්න එපා. එහෙම වුණොත් මාව අහුවෙයි. මා එක්ක මේ දේවල් ගැන කතා කළා කියලා කිසි කෙනෙකුට දැනගන්න ඉඩ තියන්න එපා.”

හකීම් එසේ කීවේ තරමක තර්ජනාත්මක ස්වරූපයකින්ය. හකීම් මදන් සහ කමල්රාජ් අතර පැවැති රහසිගත සාකච්ඡාව එතැනින් අවසන් විය. එතැන් පටන් හකීම් කිසිවක් සිදුනොවූ අයුරින් කාලය ගත කළේය.

එහෙත් මදන්ගේ සහ කමල්රාජ්ගේ සිත්වලට නිවනක් නැත. හකීම් කුමන ආකාරයක පුද්ගලයකු දැයි සිතාගත නොහැක. මදන් මේ සිදුවීම පිළිබඳව තම සොහොයුරා වන කන්දයියාට කීවේ කිසියම් උපදෙසක් බලාපොරොත්තුවෙන්ය.

“මම දන්න මහත්වරු ටිකක් ඉන්නවා කටුනායක පොලිසියෙ. අපි එයාලට මේ ගැන කියලා බලමු.” කන්දයියා තම සොහොයුරාට කීවේය.

කන්දයියා ලබාදුන් තොරතුරු ඉතාම වැදගත් විය. උප පොලිස් පරීක්‍ෂක ඉන්දික මේ තොරතුරු සියල්ල පිළිබඳව තම ඉහළ නිලධාරීන් දැනුවත් කළේය.

බස්නාහිර උතුර පළාත භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාද දැනුවත් කිරීමට පහළ නිලධාරීන් කටයුතු කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ ජීවිතවලට අනතුරක් කිරීමට සැලසුම් කරන කල්ලිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පහළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව ක‍්‍රියාත්මක වූ කටුනායක පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ඉන්දික ඇතුළු නිලධාරීන් සීදුව ජයවර්ධනපුර මාවතේ පිහිටි බෝඩිම වැටලූහ.

ඒ වන විට හකීම් මෙන්ම මදන් සහ කමල්රාජ්ද මේ බෝඩිමේ නවාතැන් ගෙන සිටියහ. පොලිස් නිලධාරීන් මේ තරුණයන් තිදෙනාම අත්අඩංගුවට ගත්හ.

ජනාධිපති ගෝඨාභය මහතා සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව මත හකීම් අත්අඩංගුවට ගන්නා ලදී. මෙවැනි බරපතළ කුමන්ත‍්‍රණයක් හෙළි නොකර ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මදන් සහ කමල්රාජ් ද අත්අඩංගුවට ගැනීමට කටුනායක පොලිසිය කටයුතු කළහ.

කටුනායක පොලිසිය හකීම්ගෙන් ප‍්‍රශ්න කිරීමටත් ඔහුගේ පැටිකිරිය සෙවීමටත් පටන් ගත්හ. හකීම් කොල්ලකෑම්, සොරකම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයකු බව පොලිසිය සොයා ගත්තේය.

2012 වර්ෂයේදී හකීම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. වාලච්චේන ප‍්‍රදේශයේ අනතුරක් සිදුවූ අවස්ථාවක මුස්ලිම් ජාතිකයන් කලහකාරී ලෙස හැසිරුණාහ. ඒ අවස්ථාව පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් රැගත් ජීප් රථයට ගල්මුල් ප‍්‍රහාර එල්ල කර ඊට බරපතළ හානි සිදු කළහ. පොලිස් ජීප් රථයට පහර දීමේ සිද්ධියට නායකත්වය දී තිබුණේ හකීම්ය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හකීම් අත්අඩංගුවට ගෙන තිබුණේ මේ සිද්ධිය සම්බන්ධයෙන්ය. පොලිස් ජීප් රථයකට පහරදීම රජයේ දේපළවලට හානි පැමිණවීම සම්බන්ධයෙන් හකීම් කලක් බන්ධනාගාරගතව සිටියේය.

ඇප මත මුදාහැරීමෙන් පසු හකීම්ට මසකට වරක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට අධිකරණ නියෝගයක් ද තිබුණේය.

මුල් කාලයේදී හකීම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියද පසු කලෙක ඔහු එය මඟහැරියේය.

හකීම්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ තමන් රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් සීදුවේ බෝඩිමට වී සිටින බවයි.

මදන් සහ කමල්රාජ්ගෙන් පොලිසිය වෙන වෙනම ප‍්‍රශ්න කළ අතර ඔවුන් දෙදෙනාම හකීම් කියූ සියලු දේ ඒ අයුරින්ම කීය. හකීම් මදන්ට සහ කමල්රාජ්ට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන්ට අනතුරක් කිරීමට යෝජනා කළ බවට ඉන් පැහැදිලි විය.

හකීම් වසර කීපයක් තිස්සේ සෞදි අරාබියේ රැකියාවක් කර ඇති බවද පොලිසිය සොයා ගත්තේය. කටුනායක පොලිසිය හකීම් පිළිබඳව විමර්ශන පැවැත් වුවද ඔහු අන්තවාදී සංවිධානයකට හෝ අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු කිසිවක් හෙළි නොවීය. මේ ප‍්‍රහාරක සැලසුම සඳහා මුදලින් ආධාර ලබාදීමට සූදානමින් සිටින මන්ත‍්‍රීවරයා පිළිබඳව සෙවීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය හකීම්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කළහ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද මොහු රඳවාගෙන දින දෙකක් තිස්සේ ප‍්‍රශ්න කළේය. අවසානයේදී හකීම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ද අවසර ලබාගෙනය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මදන් සහ කමල්රාජ් මුදාහැරියේ ඔවුන් මේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ නොවූ බව හෙළිව තිබූ නිසාය.

හකීම්ට අයත් ෆේස්බුක් ගිණුම් 4 ක් ද පොලිසිය සොයාගත්තේය. ඒ ෆේස්බුක් ගිණුම් එකක සියයකට වැඩි මිතුරු මිතුරියන් සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටිති.

හකීම්ගේ ෆේස්බුක් මිතුරු සබඳතා පිළිබඳව සෙවීමටද පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

සිංහල බෞද්ධ බහුතර ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මුස්ලිම් අන්තවාදීන්ගෙන් මෙන්ම කොටි හිතවාදීන්ගෙන් විශාල තර්ජනයක් එල්ල වී ඇති බව නිසැකය.

මුස්ලිම් අන්තවාදීන් විනාශ කරදමා පාතාලය මට්ටු කර කොටි හිතවාදීන් පලවාහැර රටට සාමය රටේ ආරක්‍ෂාව නැවත ස්ථාපිත කරන බවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැතිවරණ පොරොන්දුවක් ද දී තිබුණේය.

මෙරට මුස්ලිම් අන්තවාදීන් කණ්ඩායමක් බෝම්බ ඇඳුම් කට්ටලවලින් සැරසී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපි කිසිවෙකුත් නොසිතුවෙමු.

මේ පිළිබඳව කල්තියා සියලු තොරතුරු ලැබී තිබුණද රටේ ආරක්‍ෂක ප‍්‍රධානීන් පවා එය ගණනකට නොගෙන සිටියේ එවැනි මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල නොවනු ඇතැයි යන විශ්වාසයේ සිටය.

පාස්කු ප‍්‍රහාරයේ තොරතුරු සැලකිල්ලට නොගෙන බැහැර කිරීම නිසා අපට අත්විඳින්නට සිදුවුණේ ඉතාම ඛේදනීය තත්ත්වයකටය.

අශ්වයා පලාගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් නැත. ගෝඨාභය රාජපක්‍ෂ මහතා තම ආරක්‍ෂාව පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුය. ගෝඨාභය මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන් 2250 ක් ඉවත් කළේය. ගමන් බිමන් යෑම සඳහා යොදා ගන්නා ආරක්‍ෂක වාහන ද කීපයකට පමණක් සීමා කර ගත්තේය.

ආරක්‍ෂකයන් දහස් ගණනින් සිටියදීත් රාජ්‍ය නායකයන් මරා දැමූ සිදුවීම් රැසක් ඉතිහාසය පුරා ලියැවී තිබෙයි. ආරක්‍ෂකයන් පිරිවරා සිටියදී හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා එල්.ටී.ටී.ඊ. ය විසින් මහමගදී ඝාතනය කළහ. ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා අති විශාල ආරක්‍ෂක රැකවරණයක් තිබියදී එල්.ටී.ටී.ඊ. ය විසින් ඉතාම සාහසික අන්දමින් මරා දැමුවේ මිනිස් බෝම්බයක් යොදා ගනිමින්ය.

ඇමරිකාවේ ජනප‍්‍රියතම ජනාධිපතිවරයකු වූ ජෝන් එෆ්. කෙනඩි ඝාතනය කළේ කුමන්ත‍්‍රණකාරීන් පිරිසක් විසින් මහමගදීය. අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා තම නිවස ඉදිරිපිටදීම ඝාතනය කර දැමුවේ සංවිධානාත්මක කල්ලියක් විසින්ය.

අප ජීවත් වන්නේ බලලෝභී මිනිසුන් වෙසෙන සමාජයකය. ඒනිසා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ අතීත සිදුවීම් ගැන අවධානය යොමුකළ යුතුය.ගෝඨාභය රාජපක්‍ෂගේ සරල බවට මුළු ශ‍්‍රී ලාංකිකයන්ගෙන්ම හිමිවන්නේ ගෞරවයකි. එහෙත් රට තුළ ක‍්‍රියාත්මක වන විරුද්ධවාදීන්ගෙන් ආරක්‍ෂා වීමට රාජපක්‍ෂ මහතා මීට වඩා සැලකිලිමත් විය යුතුය.

ඒ නිසාම කටුනායක දී අල්ලාගත් හකීම් නමැති සැකකරු කළ කුමන්ත‍්‍රණය නිකම්ම නිකන් කතාන්දරයක් කියා සුළුකොට තැකිය නොහැක.

– හේමන්ත රන්දුණු

***************************************

වියත්මග ලොක්කන්ට තනතුරු නොගන්නැයි ජනාධිපති දන්වයි.. මහ මැතිවරණයේදී වියත්මග විශාල පිරිසක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට..

(09.12.2019 – 03:28 +0530 – lankacnews.com)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ බොහෝ දෙනාට රජයේ ඉහල තනතුරු හිමි වුවද ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුළු ඉදිරිපෙළ ක්‍රියාකාරිකයන් ගණනාවක් එවන් තනතුරු ලබා නොගැනීම පසුගිය සති කිහිපයේ දේශපාලන කරලියේ කතා බහට ලක් වූ සිදු වීමකි.

මීට හේතුව මේ වන විට අනාවරණය වී ඇති ඇත. ඒ අනුව මේ පිරිසට රජයේ ඉහල තනතුරු භාර නොගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඊට පාදක වී ඇත්තේ මෙම වෘත්තිකයන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ඇති සැලසුමයි.

මේ අයට අමතරව වියත්මග, එළිය වැඩසටහන් සමග සම්බන්ධ වූ වෘත්තිකයන් කිහිප දෙනෙක්ම මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇති බව වාර්තා වේ. දැන උගත් දේශප්‍රේමී වෘත්තිකයන් දේශපාලනයට පිවිසිය යුතු බවට රට පුරා ප්‍රබල ජනමතයක් මේ වන විටත් නිර්මාණය වී ඇත.

දේශපාලන ආරංචිමාර්ග අනුව මහාචාර්ය චන්න ජයසුමන මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය නාලක ගොඩහේවා මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය චරිත හේරත් මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වනු ඇත.

– ශානක ප්‍රසන්න

***************************************

මේ ආණ්ඩුවට විරුද්දව කැරලි ගහන්න සූදානම්.. සති දෙකක් කල් දෙනවා…

(08.12.2019 – 18:47 +0530 – lankacnews.com)

පැවැති යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් 10 දෙනකු සම්බන්ධයෙන් එල්ල වී ඇති ප්‍රබල චෝදනා ගැන ඉදිරි දෙසතියක කාලය ඇතුළත කටඋත්තරයක් හෝ ලබා නොගතහොත් වර්තමාන ආණ්ඩුවට විරුද්ධව කැරැලි ගැසීමට සිදුවන බව ‘රාවණ බලය’ සංවිධානය මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කළහ.

මේ සඳහා භික්ෂු සංවිධාන රැසක් අවධානය යොමුවී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

ස්විස් තානාපති කාර්යාල සේවිකාවකගේ කටට පිස්තෝලයක් දැමීම, සුදු වෑන් නාට්‍ය සම්බන්ධයෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට විරුද්ධව රහස් පොලිසියේ පැමිණිලි කර ඇති බව ද උන්වහන්සේ පැවසූහ.

පාස්කු ප්‍රහාරය එල්ල කල සහරාන්ට රැකවරණය දීම, සංඝරත්නයට අපහාස කිරීම, බැඳුම්කර වංචාව, විල්පත්තු විනාශය ඇතුළු හිටපු ඇමතිවරුනගේ වංචා දූෂණ රැසක තොරතුරු ද ඇතුව රහස් පොලීසියට මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇතත් මෙතෙක් ඒ ගැන කිසිවකුගෙන් හෝ ප්‍රකාශයක් සටහන් කරගෙන නැතැයි උන්වහන්සේ කීහ.

මෙතරම් පැමිණිලි ගණනාවක් සිදු කර සිටියදීද දිගින් දිගටම පොලිසි වල රස්තියාදු වීමට මහා සංඝරත්නයට නොහැකි බවද කී උන්වහන්සේ මෙම චෝදනා ගැන නීතිය ක්‍රියාත්මක වන තුරු බලා සිටින බවද කියා සිටියහ ෴

***************************************

දෙල්ගොඩ අනතුරකින් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

(09.12.2019 – 07:15 +0530 – hirunews.lk/sinhala)

දෙල්ගොඩ ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (08) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්.

ශිෂ්‍යාව මාර්ගයේ ගමන්කරමින් සිටින අවස්ථාවේ පසුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරටපත් ශිෂ්‍යාව රෝහල් ගතකරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බව සඳහන්.

අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරා එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවයි මීගහවත්ත පොලිසිය සඳහන් කළේ.

අදාල රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (09) දින මහර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

හිටපු අමාත්‍ය සජිත්ගේ නිවාස ව්‍යාපෘතියක් නිසා ජනතාව දැඩි අසීරුතාවක

(08.12.2019 – 20:09 +0530 – hirunews.lk/sinhala)

නිවාස සංවර්ධන හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස ව්‍යාපෘතියක් හරහා තිස්සමහරාම, වීරහෙළ ග්‍රාම සේවා කොට්ඨාසයේ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

ඒ, නිවාස ඉදිකිරීම් සඳහා ලබාදුන් ආධාර මුදල් නිවාස සංවර්ධන අධිකාරියේම නිලධාරීන් පිරිසක් විසින් යටිමඩි ගැසීම හේතුවෙන්.

නිවාස සංවර්ධන හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මඟපෙන්වීම මත තිස්සමහාරාම, වීරහෙළ ග්‍රාම සේවා කොට්ඨාසයේ අඩු ආදායම් ලාභීන් උදෙසා මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී තිබුණේ මීට වසර දෙකකට පෙරයි.

‘සාම සිසිලග’ නිවාස ව්‍යාපෘතිය ලෙස එය නම් කර තිබුණා.

එම නිවාස ව්‍යාපෘතිය මගින්, එක් නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 6 ක මුදලක් කොටස් වශයෙන් ජනතාවට ලබාදීමටයි නිවාස අධිකාරිය පොරොන්දු වී තිබුණේ.

නිවාස ඉදිකිරීම සඳහා කොටස් වශයෙන් ජනතාවට මුදල් ලබා දී තිබුණේ චෙක්පත් මාර්ගයෙන්.

එහෙත් මෙහි සිදුව ඇති පුදුම සහගත කරුණ වන්නේ එලෙස ලබාදෙන මුදල් ජනතාව විසින් යළි නිවාස අධිකාරියේ නිලධාරීන් පිහිටුවා ගත් සමිතියකටම ලබාදීමට නියම කර තිබීමයි.

ඒ අනුව, නිවාස ඉදිකිරීමට වැලි, ගල්, සිමෙන්ති ආදී අමුද්‍රව්‍ය සඳහා අධික මුදලක් වැය වූ බව පවසමින් නිවාස අධිකාරියේ නිලධාරීන් මෙම ජනතාවට වංචා සිදුකර තිබෙනවා.

අඩු ආදායම් ලාභී ජනතාවට නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සිදුකළ මෙම වංචා සහගත ක්‍රියාවලිය හරහා ඔවුන් මේ වනවිට නිවෙස්වල ඉතිරි වැඩ නිම කර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

මෙම ගම්මානයේ ජනතාවගේ නිවාස සිහිනය මේ වනවිට වනගත වී අවසන්.

එදාවේල හරි හම්බ කර ගැනීමටවත් නොහැකි ඇතැමුන් අලුතින් ඉඳිකල නිවාසවල බිත්තිවලටම ආවරණයක් යොදා ගනිමින් මෙලෙස ජීවත් වනවා.

පසුගිය රජය සමයේ මාධ්‍ය සංදර්ශන යොදා ගෙන නිවාස ව්‍යාපෘති ඉදිකලත් එම බොහෝ නිවාස ව්‍යාපෘතිවල තත්ත්වය මෙය බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

***************************************

පුටුව-බුලත් කොලය මහ අවාසනාවන්ත ලකුණු.. පොරොන්දු අදාලම නෑ.. මීලඟ මැතිවරණය වාසනාවන්ත පොහොට්ටුවෙන්ම පමණයි.. – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

(09.12.2019 – 13:20 +0530 – lankacnews.com)

බුලත් කොළය හෝ පුටුව ළකුණ අපට වාසනාවන්ත ළකුණක් නොවන බවත්, වාසනාවන්ත ළකුණ පොහොට්ටුව බැවින් ඉදිරි මහා මැතිවරණයේ දි ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුවෙන් පමණක් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යළි අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කුමන ගිවිසුමක් තිබුණ ද පුටුව ළකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු ආසන බල මණ්ඩලයක කැමැත්තක් නැතැයි පෙන්වා දුන් රණතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉදිරි මහා මැතිවරණය පොහොට්ටුවෙන් තරග කරන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීම් කර ඇතැයි කීවේ ය.

කවුරු කා සමග ගිවිසුම් ගත වුවත් ජනතාව සමග ඇතිව තිබෙන ගිවිසුම් ඒ සියල්ලටම වඩා වටින බැවින් පාක්ෂික ඉල්ලීම සලකා පක්ෂ නායකයින් මේ ගැන තීන්දුවක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද රණතුංග මහතා කියයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජා-ඇල පැවති බලමණ්ඩල රැස්වීමේදි රණතුංග මහතා මේ බව සදහන් කලේය. ජා-ඇල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආසන බල මණ්ඩලය පසුගිය සිකුරාදා (06) සවස ජා-ඇල රෝයල් පාර්ක් හෝටලයේදි පැවැත්විනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා :

“පසුගිය පළාත් පාලන මැතිවරණය පොහොට්ටුවෙන් තරග කළ යුතු යැයි මුලින්ම කිවේ ගම්පහ අපියි. එදා අපි බුලත් කොළෙන් ඉල්ලුවානම් සමහරවිට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් නොවන්නත් තිබුණා. මොකද එහෙම වුණානම් බුලත් කොළයේ උදවිය අපේ කකුලෙන් අදින නිසා. ජනාධිපතිවරණයේදිත් අපි ඉතා තදින් පෙනී සිටියා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදරිපත් විය යුත්තේ පොහොට්ටුවෙන් බවට. ඒකත් අපි ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටින මන්ත්‍රිවරු, ජනතාව ඉල්ලන්නේ ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයත් පොහොට්ටුවෙන් තරග කළ යුතු බවයි. මම ඒක කියපුවාම මම දැක්කා අපේ ම සමහරු කියලා තියෙනවා ගිවිසුමක් තියෙනවා කියලා තියෙනව ඉදිරි මහා මැතිවරණය පුටුවෙන් තරග කරන්න. කවුරු කා සමග ගිවිසුම්ගත වුණත් ජනතාව සමග අපේ තිබෙන ගිවිසුමයි වටින්නේ. අපේ කිසිම ආසනයක බල මණ්ඩල වල කැමැත්තක් නෑ ඉදිරි මහා මැතිවරණය පුටුවෙන් තරග කරන්න. ඒ නිසා අපි අපේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලනවා පොහොට්ටුවෙන් ම තරග කරන්න කියලා.

2015 බලයට ආපු යහපාලන ආණ්ඩුව තරම් කාලකණ්ණි ආණ්ඩුවක් අපේ රටේ ඉතිහාසයේ බිහි වුනේ නෑ. පත් වුණ ගමන් කළේ මහින්ද මහත්යාගෙන්, රාජපක්ෂවරුන්ගේ පළි ගන්න එක. මේ වහපාලන කාලකණ්නි ආණ්ඩුව ඒ රජයට කටයුතු කළේ දෙමව්පියෝ දරුමල්ලෝ නැති අය නිසයි. තව ටික දවසක් ගියා නම් මේ රට නැත්තටම නැතිවෙනවා.

යහපාලන ආණ්ඩුව මේ රටේ බෞද්ධකම විනාශ කළා. සංස්කෘතිය විනාශ කළා. ඒ වෙලාවේ හිටපු නායකයෝ ඇස්කන් පියාගෙන හිටියේ . මංගල සමරවිරලා, රන්ජන් රාමනායකලා බෞද්ධ භික්ෂුන්ට අපහාස කළේ තරගෙට. 2015 දී ජාතික ආණ්ඩුව හදලා UNP එක SLFP, TNA, JVP එකතු කරගෙන ෆෙඩරල් රාජ්‍යක් හදන්න ගිවිසුම් ගැහු හ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න හැදුවා. උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කළා. හාමුදුරුවරුන් ව හිරේ දැම්මා. එහෙ ම කරපු එජාපයට දැන් ආපහු පන්සල මතක් වෙලා. බෞද්ධ ජනතාව බෞද්ධ සංස්කෘතිය මතක් වෙලා. අනේ සාදු !

2019 දි ජනාධිපතිවරණයේ දි සජිත් ප්‍රේමදාස දෙමළ ජාතික සන්ධානය සමග හොර රහසේ ක්‍රියාත්මක කරන්න හැදුවේත් මෙම වැඩපිළිවෙලම තමයි. පසුගිය ජනාධිපතිවරණයේ දි අවසන් ප්‍රතිඵලයේ ලංකා සිතියමේ සටහන අරන් බැලුවාම ඇත්තටම තෙරේනවා මොකද වෙලා තියෙන්නේ කියලා. උතුරේ මිනිස්සු හංසයාට ඡන්දය දුන්නේ ඊළම ගන්න. දකුණේ හංසයාට ඡන්දය දීපු මිනිස්සු ඡන්දය දීලා තියෙන්නේ ඊළම දෙන්න. දකුණේ හංසයාට දිපු හැම ඡන්දයක්ම මේ රට බෙදන්න දිපු ඡන්දයක්.

අද සමහරු හිතාගෙන ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වුණා ම ඔක්කොම හරි කියලා. නෑ එහෙම නෑ. අපිට තවත් ලොකු වැඩ ටිකක් ඉදිරියේ තියෙනවා. ජනාධිපතිවරණයේ දි ලබා දුන් ජනවරම අප ආරක්ෂා කර ගත යුතුයි. ඉදිරි මහා මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගත යුතුය. පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටවිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වීමත් සමග අපේ රට විනයක් සහිත රටක් බවට පත්වෙලා තිබෙනවා. දරුවෝ ස්වේච්ඡාවෙන් රට ලස්සන කරන්න ඉදිරිපත් වෙලා. රට ගැන හිතන්න පටන් අරන්. රාජ්‍ය නායකයා රටට ආදරය කරන විනයක් සහිත කෙනෙක් වෙනකොට රටත්, ජනතාවත් ඉබේ ම ඒ තත්ත්වයට පත් වෙනවා. එදා තිබුණ ආණ්ඩුව ගමට විතරයි යහපාලන වුණේ. ඔක්කොම ගියේ අනිත් පැත්තට. ඒත් අපි ප්‍රතිපත්තියෙන් වගේම ක්‍රියාවෙනුත් විනගරුක රටක් හදනවා.

ගෝඨාභය මහත්තයා බලයට පත් වූ වහා ම රාජ්‍ය ආයනත වල රාජ්‍ය ලාංඡන සවි කෙරුණා. බොහෝ වෙනස්කම් රට තුළ සිදු වෙමින් තිබෙනවා. මුඩුබිමක් වු රට වැඩබිමක් කරන්න අවශ්‍ය කටයුතු සිදු වෙනවා. මම දැක්කා සමහරු කියනවා වැලි, පස්, ප්‍රවාහන බලපත්‍ර ඉවත් කරපු එක වැරදියි කියලා. ආණ්ඩුව ඒ බලපත්‍ර ඉවත් කළේ රට නැවත වැඩ කරන රටක් බවට පත් කිරිමෙ අරමුණින්. හැබැයි අපි පස් වැලි කපන්න ලබා දි ඇති බලපත්‍ර කොන්දේසි ලිහිල් කරන්නේ නෑ.‍

– ප‍්‍රදීප් අනුර කුමාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *