ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

(09.12.2019 – 12:11 +0530 – hirunews.lk/sinhala)

පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීය වශයෙන් බදවා ගත් නිලධාරිණියක වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් නැමැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වලක්වාලමින් ලබාදුන් නියෝගය යළි දීර්ඝ කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (09) කරුණු වාර්තා කළ අතර ඒ අනුවයි මේ මස 12 වනදා දක්වා මෙම විදෙස් ගමන් තහනම දීර්ඝ කරනු ලැබුවේ.

අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම කාන්තාවගෙන් සිය දෙපාර්තමේන්තුව ඊයේ (08) පස්වරු 5 යි 30 සිට අද අළුයම 2 යි 30 දක්වා ප්‍රකාශයක් ලබාගත් බවයි.

එමෙන්ම තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අද (09) දිනයේද ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබූ බවත් එහිදී ඇයව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ මෙම කාන්තාව සිද්ධිය වූ පසුගිය 25 වනදා කිසියම් ලිංගික අපයෝජනයකට හෝ පහර කෑමකට ලක්ව ඇත්දැයි වාර්තාවක් ලබා දෙන ලෙසටයි.

එමෙන්ම ඇයගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසටද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා.

මේ අතර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඇයගේ නියෝජිතයෙකු බව පැවසූ මංජුල පෙරේරා නැමැත්තෙකු සඳහන් කළේ අදාළ නිලධාරිනිය අද (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරන බවයි.

බාන්ස් පෙදෙසේ ලිපිනයක් සඳහන් කළ ඔහු, එම අවස්ථාවට පැමිණෙන ලෙස එහි සිටි මාධ්‍යවේදීන්ට ආරාධනාවක්ද සිදුකළා.

ඒ අනුව මාධ්‍යවේදීන් අද (09) උදෑසන ඔහු පැවසූ ලිපිනය සඳහන් නිවසට ගියද, එහි අදාළ තානාපති කාර්යාල නිලධාරිනිය හෝ ඇයගේ නියෝජිතවරයා සිටියේ නැහැ.

ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන් නියෝජිතවරයා ඊයේ (08) ලබාදුන් ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය නිවසේ ආරක්ෂක නිලධාරියාට පෙන්වා තිබෙනවා.

එහිදී ආරක්ෂක නිලධාරියා, ඔහුව හඳුනාගෙන ඇති අතර, ප්‍රකාශ කර ඇත්තේ දින කිහිපයකින් එම පුද්ගලයා හෝ තානාපති කාර්යාල නිලධාරිනිය නිවසට නොපැමිණි බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ස්විස් තානාපති නිලධාරිනිය දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(09.12.2019 – 16:28 +0530 – hirunews.lk/sinhala)

පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීය වශයෙන් බදවා ගත් නිලධාරිණියක වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අද (09) දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ තිබෙනවා.

ඊට පෙර ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ද ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුවයි ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ.

ඊයේ (08) දිනයේදී ද ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට අතර ඇයගෙන් පැය 9 ක් ප්‍රශ්න කළ බවයි එම දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ෴

+++++++++++++++++++++

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ විදෙස් ගමන් තහනම තවදුරටත්

(09.12.2019 – 11:52 +0530 – sinhala.adaderana.lk)

ඉකුත්දා පැහැරගෙන යාමට ලක් වූ බව කියන කොළඹ, ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගත වීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය දෙසැම්බරු 12 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියම කළාය.

එම පැමිණිල්ල අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කෙරුණි.

එමෙන්ම පැහැරගෙන යාමට ලක්වූ බව කියන අදාළ කාන්තාව කිසියම් පහරදීමකට හෝ ලිංගික අපයෝජනයකට භාජනය වී තිබේද යන්න පිළිබඳව සහ ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකට ලක්ව සිටින්නේද? යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළාය.

මෙම පැමිණිල්ල අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැහැරගෙන යාමට ලක්වූ බව කියන කාන්තාව ඊයේ (08) දහවල් 2.30 ට පමණ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලීසිය හමුවේ පෙනී සිටි බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කළ බව රහස් පොලිසිය කියා සිටියෝය.

එහෙත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අදාළ කාන්තාව පිරිමි වෛද්‍යවරයකු හමුවේ කායික වෛද්‍ය පරීක්ෂණයට භාජනය වීමට අකැමැත්ත පළ කිරීම නිසා එම පරීක්ෂණය ඊයේ (08) දින අවසන් කර ගැනීමට නොහැකි වූ බවයි.

කාන්තා වෛද්‍යවරියක් ඉදිරියේ එම පරීක්ෂණය සිදු කිරීමට පියවර ගන්නා ලෙස ඇය ඉල්ලීමක් කළ බවත් ඒ අනුව ඇයට අද (09) දින කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයට වෛද්‍ය පරීක්ෂණ සදහා පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් රහස් පොලිසිය ප්‍රකාශ කළාය.

එම කාන්තාවගේ මූලික ප්‍රකාශ සටහන් කරගැනීම ඊයේ (08) දින සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ හෙයින් අද (09) දිනයෙන් ඇගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි රහස් පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියෝය.

මෙහිදී පැහැරගෙන යාමට ලක්වූ බව කියන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාවගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කාන්තා වෛද්‍යවරයක් ඉදිරියේ සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියෝය.

අතවරයට පත් තම සේවාදායකයිකාව ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය වෛද්‍යවරයකු සහ දේශීය වෛද්‍ය වරයෙකු විසින් පරික්ෂා කර වාර්තාවන් දෙකක් ලබාගෙන ඇති බවත් එහිදී ඇය පහරදීමකට සහ ලිංගික අපයෝජනයට භාජනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් නීතිඥ කුමාරප්පෙරුම මහතා සඳහන් කර සිටියෝය.

ඒ පිළිබඳව කරුණු දැක්වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ සඳහන් කළේ සියලුම ස්ත්‍රී දූෂණ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ සිදුකරන්නේ සාමාන්‍යයෙන් අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සිටින පිරිමි වෛද්‍යවරු විසින් බවයි.

සාමාන්‍ය ක්‍රියා පටිපාටිය එය බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් තමන්ට නියෝගයක් නිකුත් කළ නොහැකි බව සඳහන් කර සිටී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කෙසේ වෙතත් මෙම කාන්තාව කාන්තා වෛද්‍යවරියක ඉදිරියේ පරීක්ෂණයට භාජනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස රහස් පොලීසියට දැනුම් දුන්නෝය.

මෙහිදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැහැරගෙන යාමට ලක් වූ බව කියන කාන්තාව යහපත් මානසික තත්වයකින් පසු වන්නේ ද යන්න පිළිබඳව මානසික වෛද්‍ය මණ්ඩලයක් හමුවට යොමු කර වාර්තාවක් ලබා ගැනීම සුදුසු බව අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එහිදී අදාල කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා කරුණු දක්වමින් මෙම අවස්ථාවේ තම සේවාදායකයාව සුදුසු මානසික තත්ත්වයෙන් සිටින බවයි සඳහන් කළාය.

අගතියට පත් කාන්තාව මෙම අවස්ථාවේ සුදුසු මානසික තත්ත්වයෙන් පසුවන බවට ඇයගේ නීතිඥවරුන් විසින් ප්‍රකාශ කරන හෙයින් එවැනි මානසික වෛද්‍ය පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහෙත් ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළාය.

ඊට අමතරව එම කාන්තාව කිසියම් පහරදීමකට හෝ ලිංගික අතවරයට භාජනය වී තිබේ ද යන්න පිළිබඳවත් පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණි.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රහස් පොලීසිය මෙම කාන්තාවගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් ඒ සඳහා ඇයට අද (09) දිනයේත් රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් ප්‍රකාශ කළාය.

මෙහිදී අගතියට පත් පාර්ශවය නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාව වෙත විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය හැකිතාක් ඉක්මනින් ඉවත් කරගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම කඩිනමින් අවසන් කරන ලෙස පොලීසියට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම කටයුතුවල ප්‍රගතිය ලබන 12 වනදා වාර්තා කරන ලෙස ද රහස් පොලීසියට නියම කළාය.

***************************************

ඩෙංගු මඳුරුවො බෝ වුණ තැන් හොයන්න ඩලස් හදිසියේ සුගතදාසයට

(09.12.2019 – 16:23 +0530 – sinhala.adaderana.lk)

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නේපාලයට ගොස් සිටින ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහතුන් දෙනෙකුට (13) ඩෙංගු උණ සහ තවත් හත් දෙනෙකුට (07) උණ රෝගය වැළඳී තිබේ.

ඔවුන් ශ්‍රී ලංකාවේ දී තාවකාලිකව නවාතැන් ගත් සුගතදාස හෝටලයේ මඳුරු කීටයන් රැඳී සිටීම හේතුවෙන් බව අනාවරණය වීමත් සමඟ මතුව ඇති තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (09) පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ නිරීක්ෂණයකට එක්ව තිබේ.

සුගතදාස හෝටල් පරිශ්‍රය සහ ක්‍රීඩාංගන පරිශ්‍රය ඉතා අපිරිසිදු කැලිකසල බහුල පරිශ්‍රයක් වන අතර, මේ වනවිට අදාළ හෝටල් පරිශ්‍රය තුළ මඳුරු කීටයන් බහුලව ගැවසෙන බව ද ඊයේ (08) දිනය තුළ කොළඹ නගරසභාවේ වෛද්‍ය නිලධාරී කණ්ඩායම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් තහවුරු කර තිබේ.

මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා, “බොහොම කාලෙකට පස්සෙ අපේ රටේ ක්‍රීඩාවේ රන් අස්වනු ලබාදෙමින්, රන් පදක්කම් 36 ක් ශ්‍රී ලංකාවට ලබාදෙන්නට දකුණු ආසියානු ක්‍රීඩා තරගවලට සහභාගී වූ අපේ දරුවන්ට හැකිව තිබෙනවා.

උණ රෝගය වැළදිලා, එහෙත් තරගාවලියට එක් වූ අය, උණ රෝගය වැළඳීම නිසා මානසික ව පසුබෑමට ලක් වූ අය මෙන් ම උණ රෝගය වැළඳිමෙන් තරගවලට සහභාගීවීමට නොහැකී වූ දරුවන් මේ අය අතර ඉන්නවා.

මම මේ රටේ ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මේ සම්බන්ධයෙන් දරුවන්ගෙන් සමාව ඉල්ලනවා.

මම මේ දරුවන්ගෙ දෙමව්පියන්ට කතා කළා. මේ අයගෙන් වැඩි පිරිසක් ගම්වල ඉතාම අහිංසක දරුවො.

මේ රටට කීර්තිය ගෙන දෙන මේ වගේ දරුවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.

රටට ක්‍රීඩාවෙන් කීර්තිය ගෙන එන්නට වෙහෙසුණ මේ දරුවන්ට අත්වූ අමිහිරි සිදුවීම සම්බන්ධයෙන් මා නිහතමානී ව ඉතා කණගාටුවට පත්වෙනවා.

මේක මගේ කාලෙ වුණ දෙයක් නෙවෙයි කියලා ඇඟ බේරාගන්න දේශපාලනයක් නෙවෙයි අපි කරන්නෙ.” යැයි ද පැවසීය.

සුගතදාස ක්‍රීඩාංගනය හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තාවකාලික ව නවාතැන් ගන්නා සුගතදාස හෝටල් පරිශ්‍රය මේ අයුරින් කිසිවෙකුගේ අවධානයට යොමු නොවී ඇත්තේ, පසුගිය වසර පහ තුළ සභාපතිවරුන් පස්දෙනෙක්, ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්, සහ ඇමතිවරුන් සිව්‍දෙනෙක් යටතේ විවිධ තීන්දු ගනිමින් ඉතා පිරිහුණු දේශපාලනයක් මේ තුළ ක්‍රියාත්මක ව පැවතී ඇති නිසා බව ද අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.

2015 වසරේ මෙම පරිශ්‍රයෙහි ආරම්භ කරන ලද ඇතැම් ඉදිකිරීම් ද වැඩ අවසන් නොකොට ඒ අයුරින්ම තිබෙන අයුරු මෙහි දී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මේ සම්බන්ධ ව අද ම ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කර, මෙම පරිශ්‍රයෙහි පවත්නා කණගාටුදායක තත්ත්වය සම්බන්ධව එතුමන් දැනුවත් කරන බව ද, ඉතා ඉක්මණින් මෙම ආයතනයට සභාපතිවරයෙක් පත්කරන බව ද මේ පරිශ්‍රය මැදින් ගලාගෙන යන කැළි කසල සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිරි ඇල මාර්ගය සහ මෙම ක්‍රීඩා පරිශ්‍රය සම්පූර්ණයෙන් ම පිරිසිදු කිරීමට නගරසභාවේ සහයෝගය ද ලබාගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම බාධා රැසක් මධ්‍යයෙහි මාතෘභූමිය රනින් සැරසූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දරුදැරියන්ට ආත්ම ශක්තියෙන් හා චිත්ත ධෛර්යයෙන් යුතුව අනාගත ජයග්‍රහණ ලබාගැනීමට හැකිවේවායි ආශිර්වාද කරන බව ද ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මෙම දරුවන්ට රජය මැදිහත් වී කිසියම් වන්දි මුදලක් හෝ අනුග්‍රාහක දීමනාවක් ලබාදීමට ද, පදක්කම්ලාභී දරුවන්ට ජාතික මට්ටමේ ඇගයීමක් සිදුකිරීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය ෴

***************************************

ශානිගෙන් හා තිසේරාගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි

(09.12.2019 – 16:26 +0530 – lankaleadnews.com)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගෙන් හා සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා මහතා ගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ස්ථානාධිපති පොලස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා රටින් පිටවයෑමේ සිදුවීම ගැන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.

සිකුරාදා දිනයේදී ශානි අබේසේකර මහතා ගෙන් පැය 4 ක පමණ ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි වාර්තා වෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *