රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල් ගෙන් පොරොන්දුවක්

(09.12.2019 – 14:19 +0530 – lankaleadnews.com)

එළඹෙන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ගෝලීය සංසදය විධායක සභාවේ නියෝජිතයි සහ ජාතික සංවිධාන සම්මේලනයේ නියෝජිකයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීය. ඒ සදහා ගෝලීය සංසදය විධායක සභාවේ විධායක සභාව නියෝජනය කරමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ (රුසියානු නියෝජිත) (එක්සත් අරාබි එමිර් රාජ්‍යය) ප්‍රීමාල් ප්‍රනාන්දු ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ ජාතික සංවිධාන සම්මේලනය නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ දර්ශන් වීරසේකර යන මහත්වරු සහභාගි විය.

පැවති රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්වරයාගේ වාර්තාව ( ISL වාර්ථාව) පිළිගැනීම වරදක් බවත් ඒ මත පදනම්ව රණවිරුවන්ට චෝදනා ගෙන එමින් 30‍/1 යෝජනාවට පාර්ලිමේන්තුවේත්, ජනාධිපතිවරයාගේත්, කැබිනට්ටුවේත්, අනුමැතියක් නොමැතිව සම අනුග්‍රාහකත්වය දැක්වීම බරපතළ වරදක් බවත් 2020 මාර්තු ජිනීවා සැසියේ දී නව ජනවරමකින් පත්වූ ජනාධිපතිවරයාගේ රජය යටතේ බහුතර ජනතාවගේ අපේක්ෂාව වන රණවිරුවන් මෙම අභූත චෝදනාවලින් නිදහස් කිරීම් සඳහා ජනතාවාදී විදේශ ප්‍රතිපත්තියක් මත පිහිටා මෙම OISL වාර්තාවේ චෝදනාවන්ට පිළිතුරු දීම සඳහා විත්තියේ – යුක්තියේ සාධාරණත්වය වෙනුවෙන් අවස්ථාවක් ලබා ගැනීම ගත යුතු පියවර බව සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා විසින් පිළිගන්නා ලදී.

ඉතා කෙටි කාලයක් තුළ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාත්, අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් මේ පිළිබඳව දැනුවත් කොට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ජාතික සංවිධාන නියෝජිතයින්ට දැනුම් දෙන ලදී.

+++++++++++++++++++++++++++++++++++

දැන් බැටන් එක අතට ගන්න… මානව හිමිකම් කොමිසමට කතා කරන්න… ගෝඨාභය මහතා ජයග‍්‍රහණය කිරීම ඔවුන්ට වැදුන කනේ පහරක්!! – ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක කමිටු සාමාජික ආචාර්ය ජගත් චන්‍ද්‍රවංශ

(08.12.2019 – divaina.com)

විදේශගත ශ‍්‍රී ලාංකිකයන් වැඩියෙන්ම ඡන්දය ප‍්‍රකාශ කළ මැතිවරණය ලෙස වාර්තා වූයේ පසුගිය ජනාධිපතිවරණයයි. ඒ සඳහා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ ක‍්‍රියාකාරකම් මෙන්ම, උනන්දු කිරීම් ද හේතු වූ බව පැවැසීම අතිශයෝක්තියක් විය නොහැකිය. එබැවින් අප ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය පිළිබඳව මෙන්ම ඉන් අනතුරුව උදා වී ඇති දේශපාලන පසුබිම පිළිබඳව ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක කමිටු සාමාජිකයකු මෙන්ම එම සංවිධානයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය ජගත් චන්‍ද්‍රවංශ මහතා ගෙන් ඒ පිළිබඳව විමසා සිටියෙමු. ජගත් චන්‍ද්‍රවංශ මහතා පළ කළ අදහස් පහත පළවේ.

ප‍්‍රශ්නය – ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් අතරින් දේශමාමක, දේශහිතෛෂී අපේක්‍ෂකයා ලෙස අපි තේරුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා. ඒ සඳහා වසර 30 ක් පැවැති යුද්ධය අවසන් කිරීම සඳහා ඒ මහතා විසින් ඉටුකළ කාර්යභාරය වගේම ඉන් අනතුරුව නාගරික සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරලා, මේ රට ලෝකයේ දියුණු රටක් බවට පත් කිරීමට දරපු උත්සාහයත් බලපෑවා. අපි හිතනවා එම තේරීම ඉතාම සාධාරණ තේරීමක් කියලා. එම තේරීමෙන් පසුව එතුමා ජයග‍්‍රහණය කරවීම සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම ජාතික සංවිධාන සමග එක් වී අපි කළා. ඒ යටතේ දීප ව්‍යාප්තව දේශන මාලාවක් පැවැත්වීමට උත්සාහ කළා. ඊට අමතරව ජනතාව දැනුවත් කිරීම සඳහා පත‍්‍රිකා බෙදීම මෙන්ම විහාරස්ථානවලදී ආශිර්වාද පූජා පවත්වා අපේ රට යහපත් මඟට යොමු කරන ලෙස ඉල්ලා සිටියා. ඒ වගේම අපි දිවයින පුවත්පත හරහාත් (Online) ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය ප‍්‍රකාශ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ වගේ කටයුතු කිහිපයක්ම අපි කළා. එම කටයුතු සාර්ථක වූ බව අපි සිතනවා.

වැදගත්ම කාරණය තමයි පසුගිය වසර 4 ක කාලය පුරා අපි ජිනීවා මානව හිමිකම් කොමිෂම මගින් රණවිරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනාවට එරෙහිව විදේශගත ශ‍්‍රී ලාංකිකයන් අපෙළගැස්සුවා. අපි සිතනවා එම කටයුත්ත මූලපාදක වූ බව විදේශගත ශ‍්‍රී ලාංකිකයන් මෙතරම් උද්යෝගයෙන් මෙරටට පැමිණ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා. එම වසර හතරක කාලය තුළ දී ජනතාව දැනුවත් වූවා අපේ රණවිරුවන් දඬුඅඬුවට ගෙන යෑම සඳහා ද්‍රෝහී බලවේග දරන උත්සාහය පිළිබඳව. ඒ සඳහා අපි ගෝලීය සංසදයේ විධායක සභාව ලෙස සාමාජිකයන් ලෙස විශාල කාර්යභාරයක් කළා. ජනතාවගේ නැගිටීම පිළිබඳ අද අපි අවංකවම සතුටු වනවා.

ප‍්‍රශ්නය – මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව ගෙන ඇති පියවරයන් ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – ජනාධිපතිතුමා අපි සිතුවාටත් වඩා ඉදිරියට ගිහින් තිබෙනවා. ඒ වගේම සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙන් පමණක් මැතිවරණයක් ජයග‍්‍රහණය කිරීමට පුළුවන් බව ඔප්පු කිරීමත් ඉතිහාසගත වන කටයුත්තක් ලෙස මම දකිනවා. මොකද සුළු ජාතිකයන් නොමඟ යැවූ ආත්මාර්ථකාමී සුළුජාතික දේශපාලනඥයන් පසුගිය වසර 25 ක් 30 ක් පමණ කාලය තුළ කටයුතු කළේ මහ ජාතිය ඔවුන්ගේ උගුලකට හසු කරගෙන. එම උගුලෙන් ගැලවීම සඳහා දරපු උත්සාහයටත් මම සිතනවා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය ජාතික සංවිධාන සමග එක්ව කටයුතු කළ බව. මෙම අවස්ථාවේදී අපට පුළුවන් වෙලා තිබෙනවා සිංහල – බෞද්ධ මතවාදය රටපුරා නඟාසිටුවීමට. ඒ සඳහා සිංහල ජනතාව පක්‍ෂ පාට යන කිසිදු භේදයකින් තොරව ගෝඨාභය රාජපක්‍ෂ මහතා වටා එක් වී තිබෙනවා. අපි සිතනවා අපි එතුමා පිළිබඳව තබපු විශ්වාසයටත් වඩා විශ්වාසයකින් කැපවී මේ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරාවි කියලා. එතුමා මේ ටික කාලය තුළදී රාජ්‍ය ලාංඡනය පමණක් භාවිතා කිරීමටත්, පාරවල් නම් කළ යුතු ආකාරය පිළිබඳවත් නව ආදර්ශයක් ලබා දී තිබෙනවා. නායකයෙකුට පුළුවන් නම් තමන් තුළින්ම උදාහරණයක් ලබා දීමට ඒක තමයි වැදගත්ම දේ. යම් දෙයක් කිරීම ඉහළ තැනින්ම පටන් ගන්නවා නම් එම රට හදන්න ලේසියි.

එතුමා වචනවලින් නොවෙයි ක‍්‍රියාවෙන්ම කළ යුතු දේ පසක් කරමින් සිටිනවා. රාජ්‍ය වාහන භාවිතා කළ යුතු ආකාරය පිළිබඳවත් එතුමා තමා තුළින්ම ආදර්ශයක් සපයා තිබෙනවා. තමන්ගේ ආරක්‍ෂාවට යොදා තිබූ වාහන සංඛ්‍යාව අඩු කර තිබෙනවා. නමුත් අපට එතුමාගේ ආරක්‍ෂාව පිළිබඳව භයක් තිබෙනවා. අද වන විට ලෝකයේ විවිධ රටවල් ආරක්‍ෂාව සඳහා නව තාක්‍ෂණය යොදා ගනිමින් සිටිනවා. එම තාක්‍ෂණය ජනාධිපතිතුමාගේ සහ ඉහළ ප‍්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගත යුතුව තිබෙනවා. එම කටයුත්ත ත‍්‍රස්තවාදීන්ට වඩා හොඳින් ආණ්ඩුවට කිරීමේ හැකියාව තිබෙනවා. එම කටයුතු සඳහා සහයෝගය ලබාදීමට අපි වුවත් සූදානම්.

ප‍්‍රශ්නය – නව ජනාධිපතිතුමාට කටයුතු කිරීමට සිදුවී තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට හිතවත් මන්ත‍්‍රීවරුන් බහුතරයක් සිටින පාර්ලිමේන්තුවත් සමග මෙම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – මම සිතනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මේ රටේ තීරණාත්මක මැතිවරණයක් කියලා. ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිතුමාගේ මෙම ව්‍යායාමයත් සාර්ථක කර ගැනීමට හැකි වන පාර්ලිමේන්තුවක් පත් කිරීමට මේ රටේ ජනතාව කටයුතු කළ යුතු වෙනවා. එම නිසා සෑම පක්‍ෂ නායකයෙකුගෙන්ම සහ සෑම ලේකම්වරයකුගෙන්ම අපි කරන ආයාචනය තමයි මේ රට පිළිබඳ ඉදිරි දැක්මක් තිබෙන අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන්න කියන එක.

දැන් සමහරුන් කියනවා උගතුන් පාර්ලිමේන්තුවට අරින්න කියලා. ඇත්තටම උගතුන් කවුද කියන එක තේරීම අපහසු කටයුත්තක්. අද වන විට උපාධියකින් උගතුන් තෝරන්න බැහැ. අපි අවම වශයෙන් පසුගිය අවුරුදු 10 ක පමණ කාලය තුළදී ක‍්‍රියාවෙන් යමක් කරල පෙන්නපු බුද්ධිමතුන් තමයි අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කළ යුත්තේ. ඒ වගේම ජාතිහිතෛෂී. දේශ හිතෛෂී මේ රට පිළිබඳව කැක්කුමක් තිබෙන බුද්ධිමතුන් තමයි අපි මීළඟ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ඇරිය යුත්තේ. ඒ සඳහා ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය ලෙස අපට කළ හැකි දේ කිරීමට අපි කටයුතු කරනවා.

අවම වශයෙන් අපේ කඳවුරෙන් හෝ එබඳු අපේක්‍ෂකයන් ඉදිරිපත් කළ යුතුයි. ඔවුන්ගේ ජයග‍්‍රහණය තුළින් ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කළ යුතුයි. ඒ තුළින් තමයි ජනාධිපතිතුමා අපේක්‍ෂා කරන වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට හැකි වෙන්නේ.

ප‍්‍රශ්නය – ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක් පැහැර ගෙන ගිය බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය විදියට ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර කුමක්ද?

පිළිතුර – එම චෝදනාව මේ රට බෙදීමට බලාගෙන සිටින බලවේගයන්ගේ චෝදනාවක් තමයි. මෙම චෝදනාව වෙනම සාධකයක් ලෙස ගෙන බලන එක වැරදියි. මේ පිළිබඳව අපි ගැඹුරින් විශ්ලේෂණය කරලා බැලිය යුතුයි.

කොටි සංවිධානය පරාජයට පත්වීමෙන් පසුව 2010 සිටම ගෝලීය ද්‍රවිඩ සංවිධානය ඔවුන් හිතවත් විජාතික බලවේග සමඟ එක්ව අපට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් සිටිනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2015 දි මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව නමින් වාර්තාවක් ඉදිරිපත් කළා. ඉන් අනතුරුව එම වාර්තාව පදනම් කරගෙන ඉදිරිපත් කළ 30/1 ක යෝජනාවෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියා පටිපාටියක් ආරම්භ කරලා තිබෙනවා. අපේ අවාසනාවට 2015 දි පත් වූ ආණ්ඩුව දේශද්‍රෝහී විදියට එම යෝජනාවට ඇමරිකාව සමග සම අනුග‍්‍රහය දැක්වූවා. පසුගිය අවුරුදු 4 තිස්සේම යුද්ධයට නායකත්වය දුන් නායකයන්ට සහ රණවිරුවන්ට එරෙහිව ඔවුන් ක‍්‍රියාවලියක් ආරම්භ කරලා තිබෙනවා. එම ක‍්‍රියාවලියේ අවසානයට ඔවුන් අපේක්‍ෂා කළේ රට බෙදන ව්‍යවස්ථාවක්. නමුත් ජාතික සංවිධානය, දේශමාමක භික්‍ෂුන් වහන්සේලාත් එකතු වී එම ව්‍යවස්ථාව ගෙන එන එක වැළැක්වූවා. එසේ වුවත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන්ට පවා පිටින් ගිහින් වෙනත් අණපනත් සම්මත කරගෙන තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය මහතා ජයග‍්‍රහණය කිරීම, ඔවුන් අපේක්‍ෂා නොකළ දෙයක්. එය ඔවුන්ට වැදුන කනේ පහරක් බවට පත් වී තිබෙනවා. මෙම ජයග‍්‍රහණය නිසා ඔවුන්ගේ ක‍්‍රියාදාමයන් ඇන හිටින්න පුළුවන්කම තිබෙනවා. එම නිසා ඔවුන්ගේ එම ක‍්‍රියාදාමයන් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහාත්, විජාතිකයන්ගේ අනුකම්පාව ලබා ගැනීම සඳහාත් ඔවුන් දැන් වෙනත් මාර්ග සොයමින් සිටිනවා. එම නිසා ඔය චෝදනාව අපට නම් විශේෂ සිදුවීමක් නොවෙයි.

එසේ වුවත් මෙම අවස්ථාවේදී අපි රෝග මූලය තේරුම් අරන් ඊට ලබා දිය යුතු ප‍්‍රතිකාරය තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඊට මුහුණදීමට අපට පුළුවන් වනවා. මෙබඳු අවස්ථාවලදී වැනි වැනී ඉන්නේ නැතිව සෘජුව කටයුතු කළ යුතුයි.

මේ අවස්ථාවේදීත් ස්විට්සර්ලන්ත තානාපතිතුමිය විදේශ අමාත්‍යාංශයට කැඳවලා මෙම සිදුවීම පිළිබඳව අපගේ අප‍්‍රසාදය පළ කරලා, සටහනක් දිය යුතුයි.

මේ වන විට විදේශ ඇමැතිවරයා ලෙස පත් වී සිටින්නේ දේශ හිතෛෂී නායකයකු වන දිනේෂ් ගුණවර්ධන මහතා. තිබෙන නීතිමය රාමුව තුළ අවශ්‍ය පියවර ඒ මහතා ගනීවි කියලා අපි අපේක්‍ෂා කරනවා. මෙම චෝදනාව රටට එරෙහිව යන මහා සංග‍්‍රාමයේ එක් අවස්ථාවක් පමණක් බව අපි තේරුම් ගත යුතුයි.

ප‍්‍රශ්නය – ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් සමුළුව රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී 30/1 යෝජනාව සම්බන්ධයෙන් කුමන පියවරක් ගත යුතුද?

පිළිතුර- අපි දින කිහිපයකට පෙර දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාටත්, සුසිල් පේ‍්‍රම්ජයන්ත් ඇමැතිතුමාටත් ලිපි යොමු කළා. එම ලිපි මගින් අපි ඉල්ලා සිටියේ ජාතික සංවිධායක ලෙසත්, ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය ලෙසත් පසුගිය කාලය තුළදී යහපාලන ආණ්ඩුව විසින් කළ යුතු දේ අපි විසින් සිදුකළා, නමුත් දැන් දේශමාමක රජයක් බලයට පත් වී ඇති බැවින් 30/1 ක යෝජනාව පිළිබඳව අපේ පිළිතුරු ලබාදීම සඳහා විශේෂ සැසියක් ඉල්ලා සිටින ලෙස දැන්වූවා. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් එම යෝජනාවේ තිබූ චෝදනා පිළිබඳව පිළිතුරු බැන්දේ නෑ.

මහින්ද මහතා බලයේ සිටියදී හදපු වාර්තා 6 ක් තිබුණා. සුප‍්‍රසිද්ධ පරණගම වාර්තාවත් ඒ අතර තිබෙනවා. එම වාර්තා 6 ත් තවත් කරුණුත් අධ්‍යයනය කරලා 30/1 යෝජනාවට එරෙහිව අපි රණවිරුවන්ගේ විත්ති වාචිකය පිළියෙල කරලා තිබෙනවා. එය ඉතා විශිෂ්ට ගණයේ ලේඛනයක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම නෙස්බි සාමිතුමා, නීතිඥ ජෙෆ්රි නයිස් විශේෂඥතුමා වැනි අයත් එම වාර්තාව සහතික කරලා තිබෙනවා.

දැන් මේ රජයට තිබෙන්නේ බැට්න් එකක් අතට ගන්නවා වගේ ඒ වාර්තාවත් අතට අරගෙන එය මානව හිමිකම් කවුන්සිලයට භාරදීලා අවශ්‍ය පිළිතුරු බැඳලා අපිට පිළිතුරු ලබාදීම සඳහා අවස්ථාවක් ලබා ගන්න. 2015 පිට වූ මානව හිමිකම් කොමසාරිස්තුමාගේ වාර්තාව හෙවත් OISL වාර්තාවෙන් අපේ රටේ රණවිරුවන්ට හා හමුදාවට අභූත චෝදනා රැසක් එල්ල කර තිබෙනවා. අප පළමුවෙන්ම යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් එම චෝදනාවලට පිළිතුරු සැපයීම සඳහා විශේෂ සැසියක් ඉල්ලා සිටියයුතු වෙනවා.

අනෙක් කාරණාව තමයි 30/1 යෝජනාවට අපේ රටත් සමග ඇමරිකාව සම අනුග‍්‍රහය දැක්වීම. ඇමරිකාව මේ වන විට මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වී සිටිනවා. අපි එම අවස්ථාව ප‍්‍රයෝජනයට ගත යුතුයි. ඒ වගේම මංගල සමරවීර මහතා එම යෝජනාවට අත්සන් කළේ ජනාධිපතිතුමාගේ හෝ පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව. එම නිසා එම සියලු සාධකයන් පෙන්වා දීලා, අපිට පුළුවන් සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වන්න.

ඉන් අනතුරුව මේ රටේ සිටින දක්‍ෂ විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් තුළින් යහපාලන ආණ්ඩුව සමයේදි සම්මත වූ අණපනත් සියල්ල අධ්‍යයනය කරලා, අවශ්‍ය පියවර ගත යුතුයි. අපි සිතනවා ප‍්‍රකාශන පනතක් තුළින් එම අණපනත් අවලංගු කරලා, අවශ්‍යම ඒවා තිබෙනවා නම් සම්ප‍්‍රදායන්ට අනුව ඒවා සම්මත කර ගැනීමට පුළුවන්.

ප‍්‍රශ්නය – ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත පාර්ලිමේන්තු මැතිවරණය පදනම් කරගෙන කන්සවේටිව් පක්‍ෂය සහ ලේබර් පක්‍ෂය ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල මෙරට තුළ වෙනම රටක් පිහිටුවීම සඳහා සහයෝගය ලබාදෙන බව සඳහන් කරලා තිබෙනවා.

එම තත්ත්වය නිවැරැදි කිරීම සඳහාත් උතුර සහ නැගෙනහිර ප‍්‍රදේශයේ දෙමළ ඊළමක් නොපැවති බව පෙන්වාදීම සඳහාත් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය ලෙස ගෙන තිබෙන පියවර මොනවාද?

පිළිතුර – එංගලන්තය වැනි රටක මැතිවරණයකදී එරට පුරවැසි භාවය ලබාගෙන තිබෙන ජනතාවගේ ඡන්දයටත් වැදගත් ස්ථානයක් හිමිවෙනවා. අපි දන්නවා 1983 න් පසුව දෙමළ සම්භවය තිබෙන විශාල පිරිසක් එංගලන්තයට ගිහින් පුරවැසිකම ලබාගෙන තිබෙනවා. ඒ වගේම ලංකාවේ දෙමළ ජනතාව පිළිබඳව කැක්කුමක් තිබෙන දකුණු ඉන්දියානුවන් පිරිසකුත් එංගලන්තයේ සිටිනවා.

කන්සවේටිව් පක්‍ෂය සහ ලේබර් පක්‍ෂය ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලට මෙරට වෙනම රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව සඳහන් කරලා තිබෙන්නේ ඔවුන්ගේ ඡන්දය අපේක්‍ෂාවෙන්. නමුත් සිංහල සම්භවයක් මෙන්ම මුස්ලිම් සම්භවයක් තිබෙන පුරවැසියන් පිරිසකුත් එම රට තුළ සිටිනවා. ඒ වගේම දෙමළ ජනතාව අතරත් බෙදුම්වාදයට එරෙහි පිරිසක් සිටිනවා. අපි කළ යුත්තේ එම පිරිස ඒකරාශී කරගෙන ඊට එරෙහිව නැගී සිටීමයි.

ඒ අනුව අපි ගෝලීය සංසදයේ විධායක සභාව ලෙස පසුගිය 04 වැනිදා කම්කරු පක්‍ෂයේ මූලස්ථානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් කරලා, අපගේ ස්ථාවරත්වය සටහන් කරලා දීර්ඝ ලිපියක් එම පක්‍ෂයේ සම සභාපතිවරයාට භාර දුන්නා. කන්සර්වේටිව් පක්‍ෂයටත් අපි ලිපියක් භාර දීලා තිබෙනවා. මම දන්නා පරිදි කන්සර්වේටිව් පක්‍ෂය ප‍්‍රකාශය කරලා තිබෙනවා. අදාළ කොටස ඉවත් කර ගන්නා බවට. අපි බලාපොරොත්තු වනවා ශ‍්‍රී ලංකාව මිත‍්‍රශීලී රටක් ලෙස සලකා ඔවුන් අපේ ඉල්ලීමට සුබවාදී ප‍්‍රතිචාරයක් දක්වාවි කියලා.

එංගලන්තය තුළ දෙමළ සම්භවය සහිත නීතිඥයන් විශාල පිරිසක් සිටිනවා. ඒ වගේම දෙමළ සම්භවයක් සහිත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පවා සිටිනවා. එයත් අපට සිංහලයන් ලෙස හොඳ උදාහරණයක්. මීටත් වඩා වෙනත් ක්‍ෂේත‍්‍රවල අවස්ථාවන් ලබාගැනීම සඳහා අපේ රජයන් උදව් කළ යුතුයි.

ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලින් එම යෝජනා ඉවත් කරගත්තත් මෙම අනතුර තවදුරටත් පවතිනවා. එම නිසා එම තත්ත්වය නැතිකර ගැනීම සඳහා අපි බුද්ධි මණ්ඩල පත් කරලා, විදේශගත ශ‍්‍රී ලාංකිකයන් සමඟ වෙනම කතාබහ කරලා ලොකු වැඩ කොටසක් කරන්න තිබෙනවා කියන එක තමයි මෙයින් පෙනෙන්නේ.

එම කටයුත්ත සඳහා යොදා ගත හැකි ඉතිහාස පොතක් සිංහල, දෙමළ, සහ ඉංග‍්‍රීසි යන භාෂාවලින් ප‍්‍රකාශයට පත් කිරීම සඳහාත් ගෝලීය සංසදය මීට පෙර අනුග‍්‍රහය දැක්වූවා. එය ප‍්‍රකාශයට පත් කළේ සිංහල හඬ සංවිධානය විසින්. එම කෘතියේ නම ‘දෙමළ ඊළාම් නිජබිම් ප‍්‍රශ්නය’ ඒ මගින් උතුර – නැගෙනහිර භූමිය තුළ කිසිදාක දෙමළ ඊළමක් නොපැවති බව මනාව පෙන්වා දී තිබෙනවා. මෙම අභියෝගය ජය ගැනීම සඳහා උතුර සහ නැගෙනහිර දෙමළ නිජභූමියක් නොපැවති බව පෙන්වාදීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ සඳහාත් අපි අනුග‍්‍රහය දක්වා තිබෙනවා.

සාකච්ඡා කළේ – එරික් ගාමිණී ජිනප‍්‍රිය

***************************************

MCC ගිවිසුමේ ප්‍රවාහන ව්‍යාපෘතියට විරුද්ධ නෑ – ගම්මන්පිල

(09.12.2019 – 16:29 +0530 – lankaleadnews.com)

ඇමෙරිකා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා ඉදිරිපත් කර ඇති ප්‍රවාහන ව්‍යාපෘතියට විරුද්ධ නොවන බවත් ඒ සඳහා අදාළ ප්‍රධාන මුදලෙන් සියයට 70 ක් වෙන්කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

පෙරේදා (07 දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම ඇමෙරිකාවෙන් ලැබෙන සෑම දෙයකටම විරුද්ධවීමේ කුහකකමක් හෝ මෝඩ කමක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

“එම ගිවිසුම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඉතාම පැහැදිලියි. අප හැමදාමත් ඒක කිව්වා. ඒ තමයි MCC ගිවිසුම තුළ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට. එනම් 70% ක මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා. 30% අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වෙන් වන්නේ.

ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිදු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැම දෙයටම විරුද්ධ වන කුහකකමක් හෝ මෝඩ කමක් නැහැ. රටට හානියක් වන දේට විතරයි අප විරුද්ධ වෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු කියලා.

නමුත් ඇමරිකාව කියනවා කරනවා නම් දෙකම කරමු එකක් විතරක් කරන්න අපට බැහැ කියලා. ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියටත් සල්ලි දෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කර ගැනීමේ යටි අරමුණින් කියන එක.

ඇමෙරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අප සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘතිය පමණක් කරන්න අපේ කිසිම විරෝදයකුත් නැහැ.

Q 70% ක් ‍ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා වෙන් වෙනවා නම් ඉතිරි 30% සඳහා වෙනත් ව්‍යාපෘතියක් කිරීම සඳහා ඔබතුමන්ලා යෝජනාවක් ගෙන ආවේ නැද්ද ?

A ඇමරිකාව කියනවා නම් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කිරීම අත්‍යවශ්‍යයි අනිත් මුදලුත් ලබාදීම සඳහා කියලා අප වෙනත් ව්‍යාපෘතියක් යෝජනා කිරීමෙන් වැඩක් නැහැ.

Q ඔය යෝජනා දෙකම නැතුව යන්නට බැරිද ?

A ඒ අය දෙකම ඕනේ කියනවා නම් අප කියන්නේ මොකුත් එපා කියලයි. එය තමයි අපේ ස්ථාවරය. දෙනවා නම් ප්‍රවාහන ව්‍යාපෘතියේ අරමුදල් විතරක් දෙන්න. සතුටු සිතින් පින් දීලා බාරගන්නට අපි ලැහැස්තියි. නමුත් දෙකම කෙරෙන්නට ඕනෑ කියන ස්ථාවරයේ ඇමෙරිකාව ඉන්නවා නම්, මුකුත් එපා කියන ස්ථාවරයට අපට යන්න සිදු වෙනවා.

Q ඇමරිකාව කියන්නේ ප්‍රබල රටක්. මේ නිසා ඇමරිකාවත් තරහ කරගන්නට වෙයිද ?

A අප තරහ කර ගන්නේ නැහැ. අපි විකල්පයක් ඉදිරිපත් කර තියෙනවා. ඉතින් ඒ විකල්පය පිළිගන්නේ නැතුව මේකම ඕනේ කියනවා නම් අපට තේරුම් ගන්නට වෙනවා මෙහි යටි අරමුණක් තියෙනවා කියලා.

ඇමරිකාව පමණක් නොවෙයි සියලුම බලගතුයැයි සම්මත බටහිර රටවල් කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න එපා කියද්දී තමයි අප කොටි ත්‍රස්තවාදය පරාජය කරලා ඔබයි මමයි භුක්තිවිදින සාමය ලැබිලා තිබෙන්නේ. බටහිර රටවල් තරහවීමේ පිරිවැයක් තියෙනවා.

බටහිර රටවල් යාළු කරගෙන ඉන්නට පුළුවන්. හැබැයි අපේ රටේ සම්පත් ටික ඔවුන්ට දෙන්න වෙනවා. බෙදුම්වාදීන් ශක්තිමත් කරන්නට වෙනවා. අන්තවාදය දැක්කම අහක බලාගෙන ඉන්න වෙනවා.

එහෙම කරන එකද හොඳ බටහිර රටවල සිත් රිදිලා හරි අපේ රටේ ජනතාවගේ සිත් සනසන එකද හොඳ කියන ප්‍රශ්නය ජනතාව ඉදිරියේ තියෙද්දි, බටහිර සනසන සජිත් ප්‍රේමදාස මැතිතුමාව ලක්ෂ 13 කට වඩා වැඩියි ඡන්දයකින් පරාජය කරලා ජනතාව සනසන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කිරීමෙන් මේ රටේ ජනතාව කියලා තියෙනවා බටහිර අසතුටු වුණත් කමක් නැහැ අපව සතුටු කරලා තියන්න කියලා ෴

***************************************

මහා බැංකු බැඳුම්කර වංචාව ගැන වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – පූජ්‍ය අගුනුගල්ලේ ජිනානන්ද හිමි

(09.12.2019 – 20:22 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ මහා බැංකු බැඳුම්කර වංචාව ඇතුළු අකටයුතුකම් සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පූජ්‍ය අගුනුගල්ලේ ජිනානන්ද හිමියන් පවසනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූලස්ථානයට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර අදත් ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී භික්ෂූන් වහන්සේ අදහස් පල කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *